මම අහපු, දැකපු, කියවපු, රස විඳපු, විවේචනය කරපු දේවල්වලින් ලියන්න පුළුවන් සහ ලියන්න වෙලාව ලැබුණු දේවල්වල එකතුව.
Saturday, March 9, 2013
ලෝකයේ විශාලතම පාර්ලිමේන්තු ගොඩනැගිල්ල
පවතින දේශපාලන ක්‍රමය කුමක් වුවද, ලෝකයේ සෑම රටකම ව්‍යවස්ථාදායකයක් ඇත. පාර්ලිමේන්තුව, ජාතික සභාව යනාදී විවිධ නම්වලින් එය හැඳින්වෙන අතර ඇතැම් රටවල ව්‍යවස්ථාදායකයට එම රටටම ආවේනික නම්ද පවතී. කෙසේ හෝ වේවා, මෙම ව්‍යවස්ථාදායකයන් රැස්වන විශේෂිත ගොඩනැගිල්ලක් ඒ ඒ රටවල වන අතර එය එම රටේ වැදගත් ස්ථානයක් ලෙස ගැනේ. මෙම ලිපියෙහි අපි ඒ සියල්ල "පාර්ලිමේන්තු ගොඩනැගිලි" ලෙස හඳුන්වමු.
ලෝකයේ තිබෙන මෙවන් පාර්ලිමේන්තු ගොඩනැගිලි අතරින් විශාලම ගොඩනැගිල්ල කුමක් විය හැකිද? එය ලෝකයේ ජනාධිකම රටවන චීනයේ ජාතික මහජන කොංග්‍රස් ගොඩනැගිල්ල හෝ ජනාධිකම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය වන ඉන්දියාවේ ලෝක් සභා ගොඩනැගිල්ල හෝ ලෝකෙට ලොක්කා ලෙස ගැනෙන ඇමරිකා එක්සත් ජනපදයේ කොංග්‍රස් සභා ගොඩනැගිල්ල හෝ විශාලත්වයෙන් ලෝකයේ විශාලතම රට වන රුසියාවේ ඩූමාව හෝ වන්නට ඇතැයි කෙනෙක් සිතයි නම් එය සාධාරණය. එහෙත් ලෝකයේ විශාලතම පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වන්නේ මෙයින් එකක්වත් නොවේ.
ඇත්තෙන්ම මේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙහි විශාලත්වය සමඟ සංසන්දනය කරන විට අනෙක් සියලු පාර්ලිමේන්තු ගොඩනැගිලි අඟුටුමිට්ටන් වැනිය. උදාහරණයක් ලෙස ගතහොත් ලෝකයේ වැඩිම සාමාජිකයන් සංඛ්‍යාවක් සිටින චීනයේ ජාතික මහජන කොංග්‍රසය (නියෝජිතයින් 2987) රැස්වන මහජනයාගේ උත්තරීතර ශාලාවේ (Great Hall of the People) භූමි ක්ෂෙත්‍රඵලය වර්ග මීටර 171,800 ක් වන අතර අපගේ අවධානයට ලක් වන පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ භූමි ක්ෂෙත්‍රඵලය එමෙන් දෙගුණයකි; එනම් වර්ග මීටර් 340,000 කි.
මේ ඔබ දකින්නේ එම ගොඩනැගිල්ලේ ඡායාරූපයක්.
People's Palace, Bucharest, Romania. Photo by Michael Day. Wikimedia Commons.
මේ නැගෙනහිර යුරෝපා රටක් වන රුමේනියාවේ බුකාරෙස්ට් අගනුවර පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල. මෙය 1965-1989 කාලයේ රුමේනියා කොමියුනිස්ට් පක්ෂ මහලේකම් සහ 1967-1989 සමයේ එරට ජනාධිපති වූ නිකොලයේ චෞසෙස්කු (Nicolae Ceausescu) නම් ඒකාධිපතියාගේ සංකල්පයකි. ස්පිරී කන්ද, අවි ගබඩා කන්ද සහ යුරේනස් කන්ද වැනි නම්වලින් හඳුන්වන ලද කන්ද කපා, ඒ අවට වූ ඓතිහාසික ස්ථාන ගණනාවක් විනාශ කොට ඔහු මෙම ගොඩනැගිල්ල ඉදි කිරීම ඇරඹීය. ඒ 1984 ජූනි මාසයේදීය. රුමේනියාවේ කඩා වැටුන ආර්ථිකයට මෙම ව්‍යාපෘතිය මහත් බරක් විය. 1989 දෙසැම්බර් 25 වනදා චෞසෙස්කු බලයෙන් පහ කොට මරා දමන විටත් එය නිමවා අවසන්ව නොතිබිණ.
චෞසෙස්කුගේ සමයෙහි ජනරජ මන්දිරය (Casa Republicii) ලෙස හඳුන්වනු ලැබූ මෙම ගොඩනැගිල්ල අද හඳුන්වනු ලබන්නේ ජනතාවගේ මන්දිරය (Casa Poporului) ලෙසය. මෙහි දිග සහ පළල මීටර 270 ක් සහ 240 ක් වන අතර උස මීටර 86 කි. මීට අමතරව මීටර 92 ක් ගැඹුරට බිම් මහල් තනා ඇත. ගොඩනැගිල්ලේ පොළවෙන් ඉහල ඇතැම් කොටස් සහ භූගත කොටස් රැසක් තවම නිමවා නැත. එමෙන්ම එහි කාමර 1100 න්, සැලකියයුතු ප්‍රමාණයක් හිස්ය. ගොඩනැගිල්ල මුළුමනින්ම පාහේ දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන සාදා ඇතැයි කියවේ. චෞසෙස්කු සිය පාලන සමයෙහි අවසන් වසර කිහිපයේ බොහෝ රටවල් සමඟ එතරම් යහපත් සබඳතාවක් නොපැවැත්වීමත්, ආර්ථිකය බොහෝ පහත අඩියක පැවතීමත් නිසා ඔහුට වෙනත් විකල්පයක්ද නොතිබෙන්නට ඇත.
පාර්ලිමේන්තු මන්දිරය ඇතුලත ශාලාවක්. Ferran Cornella, Wikimedia Commons.
චෞසෙස්කුට අවැසි වූයේ රුමේනියානු රාජ්‍යයේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ආයතන ත්‍රිත්වයම ඔහුගේ ජනරජ මන්දිරයට රැගෙන ඒමටය. ඔහුගෙන් පසුව රුමේනියාව පාලනය කල අය පාර්ලිමේන්තුව පමණක් මෙම ගොඩනැගිල්ලට ගෙන ඒමට ක්‍රියා කළහ.
රුමේනියානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඒකාධිපතියකුගේ මාන්නක්කාර අදහස් පිළිබඳ වැදගත් සංකේතයකි. සිය ජනතාව කුසගින්නේ සිටියදී, ඇතැම් කාලවල දිනකට පැය තුනක් පමණක් විදුලි බලය සැපයීමට හැකියාව තිබියදී මෙවන් විශාල ව්‍යාපෘතිවල නිරත වීම කෙතරම් අනුචිතදැයි චෞසෙස්කුට වැටහෙන්නට නැත. ඔහුව බලයෙන් නෙරපා හැර, අල්ලාගත් පසු ව්‍යාජ නඩු විභාගයක් කොට මරා දමන ලදී. මරණය අබියස පවා ඔහු පවසා සිටියේ තමා ජනතාවට සේවය කල බවත් ජනතාවගේ නායකයා බවත්ය.
සටහන: චෞසෙස්කු සිය 'නඩු විභාගයේදී' කියා සිටියේ තමාට එරෙහිව නැගී සිටියේ සාමාන්‍ය ජනතාව නොව කුමන්ත්‍රණකරුවන් පිරිසක් බවය. ඔහුගේ අනුගාමිකයින් කිහිප දෙනා අදටත් විශ්වාස කරන්නේ එසේය. ජනතාව ඔහුට විරුද්ධව නැගී නොසිටියේ යයි කිව නොහැකි නමුත් ඔවුන්ව උසි ගැන්වීමට යම් කිසි පිරිසක් කටයුතු කල බවට සාධාරණ සැකයක් පවතී.
Subscribe to:
Post Comments (Atom)
එහි වටිනාකමක් අද තිබුණද ඒදා එය ගොඩ නැඟිම තුල අහිංසක ජනයා අපහසුතාවයට පත්විම සංවේදියි.
ReplyDeleteඅනේ මන්දා. මට නම් හිතෙන්නේ නැහැ මේකේ කිසිම වටිනාකමක් තියෙනවා කියලා. :-)
Delete"සිය ජනතාව කුසගින්නේ සිටියදී, ඇතැම් කාලවල දිනකට පැය තුනක් පමණක් විදුලි බලය සැපයීමට හැකියාව තිබියදී මෙවන් විශාල ව්‍යාපෘතිවල නිරත වීම කෙතරම් අනුචිතදැයි චෞසෙස්කුට වැටහෙන්නට නැත. " වෙන වෙන එව්වා මැවිලා පේනවනෙ.. :)
ReplyDelete"ගොඩනැගිල්ලේ පොළවෙන් ඉහල ඇතැම් කොටස් සහ භූගත කොටස් රැසක් තවම නිමවා නැත. " ඒ තරමට ලොකුයි..
අද නම් බොහොම කෙටි ලිපියක්.. මම අහලා තියෙනවා රාවණා කට්ටිය කියන කතාවක්.. අද රුමේනියාව වෙලා තියෙන්නෙ රාවණාගෙ කාලේ 'රමණීය' කියපු උද්‍යානෙටලු.. මේක ඇහුවෙ වර්ගපූර්ණිකාව ලියවෙන්ඩ කලින්.. :) මට මතක හැටියට ආනන්දෙන් මුද්‍රණය කළ පත්‍රිකාවක..
රමණීය උද්‍යානය කතාව නම් මම දන්නේ නැහැ හරී.... ඒත් රුමේනියාව නම් ලස්සන රටක් කියලා අහලා තියෙනවා. ඒ රටේ ඉතිහාසය නම් එච්චර ලස්සන නැහැ.
Deleteවෙන වෙන එව්වා මැවිලා පේන එකට මට නම් කල හැකි දෙයක් නැත. :)
මේක ගොඩක් කාලයක් තිස්සේ ලියන්න ඔලුවේ තියාගෙන හිටපු දෙයක් නිසයි කෙටියෙන් ලියලා ඉවර කලේ. එතකොට මේක ඔලුවෙන් අහක් කරන්න පුළුවන් නේ. ඊළඟ එක ගැන හිත යොදවන්න ඔලුව නිදහස් වෙනවා නේ. :-)
ඊළඟ එකත් ඔළුවට බරක් වෙන්න කලින් ඉවර කරන්න ඕන....
කාමර 1100 ක්. ලේසි නෑ නේද. ? අතරමං වෙන්නත් බැරි නෑ.
ReplyDelete//ස්පිරී කන්ද, අවි ගබඩා කන්ද සහ යුරේනස් කන්ද වැනි නම්වලින් හඳුන්වන ලද කන්ද කපා, ඒ අවට වූ ඓතිහාසික ස්ථාන ගණනාවක් විනාශ කොට// ඒ ස්ථාන ගැන වැඩි සඳහනක් නැද්ද..
හරී කිව්වා වගේ අද නම් පොඩ්ඩයි. චාමරට කම්මැලි හිතිල ද කොහෙද. . :)
කම්මැලිකමක් නෙවෙයි, මේ දවස්වල වැඩ වැඩියි. තරමක වැඩකට සෙට් වෙලා හිටියේ. අද තමයි නිවාඩුවක් ලැබුණේ. ඒ මදිවට දැනුත් තව බ්ලොග් පෝස්ට් එකක් ලියමින් ඉන්නේ.
Deleteඔය කියන කන්දේ ඉස්සර පල්ලියක් තිබිලා තියෙනවා. 19 සියවසේ ආයුධ ගබඩාවක් තිබිලා තියෙනවා. මේ කන්ද අවට ප්‍රදේශයට කියලා තියෙන්නේ යුරේනස් කලාපය කියලා.
ස්ප්‍රී කියන නම නම් කොහොම හැදුනද කියලා හොයාගන්න බැරි වුනා.
කානිවා ලංකාවෙන් කොපි කරපු තියරිය..... රට පෙරට - අපි වලට
ReplyDeleteචෞසෙස්කු අපෙන් කොපි කළා නම් වෙන්න බැහැ. අපි කළා නම් මිසක. හැබැයි ඉතින් කෙනෙක් කියන්න පුළුවන් අපේ පාර්ලිමේන්තුවටත් අච්චර ලොකු ගොඩනැගිල්ලක් හදාපු එක අනවශ්‍ය දෙයක් කියලා.. අපේ එක හැදුවේ නම් මේකට කළින්.
Deleteඅපි වලට ගියත් මොකෝ රට පෙරට යනවා නම්.