Saturday, December 29, 2012

මගේ පනස්වෙනි පියවර



මගේ සිංහල බ්ලොග් එකේ පනස්වෙනි පෝස්ට් එක තමයි මේ. මේ අවුරුද්දේ අප්‍රේල් 6 වෙනිදා ඉඳන්, මේ වෙනකල් පෝස්ට් පනහක් ලියලා තියෙනවා කියපුවහම ටිකක් විතර පුදුමයි. මොකද මම ඒ අතරමැද මාස තුනක් විතර ලියුවෙම නැහැ නේ. එහෙම බලද්දී, ඒ මාස තුන අත ඇරලා බැලුවොත් මම දවස් හතරකට පෝස්ට් එකක් ගානේ වගේ ලියලා තියෙනවා. දෙසැම්බර් මාසේ ලැබුන නිවාඩුවත් ඊට බොහොම උපකාරී වුනා.

මම බ්ලොග් ලියන්න පටන් ගත්තේ 2010. ඒ ඉංග්‍රීසි බ්ලොග් එකකින් (The History Club). මම මුලින්ම ලියුවේ ඉතිහාසය ගැන. සිංහල බ්ලොග් එකක් ලියන්න ආසාවේ උන්නත් සිංහල ටයිප් කරන්න බැරි නිසා ඒ වැඩේ කල් ගියා. අන්තිමට ගූගල් එකේ පිහිටෙන් ඒ ගැටලුවත් ලිහා ගත්තා නේ. දැන් ඉතින් කොටන්නයි තියෙන්නේ දෙයියනේ කියලා...

මට සිංහල බ්ලොග් එකක් ලිවීමේ මූලික අරමුණු තුනක් තිබුනා. එකක් තනිකරම ආත්මාර්ථකාමී එකක්. ඒ තමයි, මගේ සිංහල භාෂා හැකියාව දියුණු කරගැනීම සහ සිංහල රචනා ශෛලිය ඔප මට්ටම් කර ගැනීම. ඒක ඉතින් දවසෙන් දෙකෙන් වෙන්නේ නැහැ. මම හිතන්නේ මම සිංහලෙන් ලියනකල් ඒක ටික ටික හරි දියුණු වෙයි.

මගේ දෙවැනි අරමුණ වුනේ මට හිතට එන අනේකවිධ අදහස්වලින් ලියා දක්වන්නට සුදුසුයි කියලා හිතෙන ටිකක් බෙදා හදා ගැනීම. දේශපාලනය වගේ වැඩකට නැති මාතෘකා ගැන නෙවෙයි. එදිනෙදා දකින දේවල්, මට වෙච්ච අකරතැබ්බ වගේ පුංචි පුංචි දේවල්. ඒ අතරේම සමාජය තුල වෙනස් වෙන්න ඕන කියලා මට හිතිච්ච තැන් ගැනත් මම ඉඳ හිට ලියනවා. "අද 12.12.12: ඉතින් මොකෝ?" වගේ ලිපි ඒ අතර වැදගත් ඒවා.

තුන්වෙනි අරමුණ නම් තනිකරම සාමාජීය අරමුණක්. මගේ ඉංග්‍රීසි ලිපි කියවාපු සමහරුන් මට කිව්වේ, සිංහලෙන් තියා ඉංග්‍රීසියෙන්වත් මම ලියන මාතෘකා ගැන ලියන අය ලංකාවේ නැති බව; නැත්නම් හිඟ බව. ඒ වගේම මම අපේ සමාජයේ දැකපු ලොකු අඩුවක් තමයි, රටේ ලෝකේ මොනවාද වෙන්නේ කියලා නොදන්නාකම. ගොසිප් කියෙව්වාට ඇසූ පිරූ ඇත්තෙක් වෙන්නේ නැහැනේ. නමුත් අවාසනාවකට වගේ, ටික දෙනෙක්ට ලැබිලා තියෙන ඉන්ටර්නෙට් වගේ සම්පත් අපේ අය යොදවා ගන්නේ ගොසිප් බලනවා වගේ පටු දේවල්වලට. මම රාජකාරි කරන තැන උනත් සමහරු එහෙමයි.

ගුණාත්මක දේ පරිශීලනය කරනවා අඩු වීමට එක හේතුවක් තමයි, ඒවා ඇති පමණ සංසරණය නොවීම. මේ අඩුව පුරවන්න සමහර බ්ලොග් රචකයින් ලොකු උත්සාහයක් ගන්නවා. නමුත් එයාලට ඊට කිසි මූල්‍ය ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැනේ. ඒ අය කරන්නේ සේවාවක්. මටත් ඕන වුනා ඒකට දායක වෙන්න. මම ලියන්නේ විනෝදයට, ඒ වගේම සේවාවක් විදියට.

අපි නොහිතුවාට අමුතු අමුතු තොරතුරු ගැන දැනගැනීමට අපි ගොඩාක් දෙනා ආසයි. මට ඒක තේරුම් ගියේ ඇමරිකාවේ ස්වීඩන් කොලනිය ගැන මම ලියපු ලිපියෙන්. ඒ දවස්වල මට ලොකු පාඨක පිරිසක් හිටියේ නැහැ. ඒ වුනත් වෙන ලිපියක් කියවනවා වගේ දෙගුණයක් විතර ඒ ලිපිය කියවලා තිබුනා. ඒ ගැන ඇත්තෙන්ම මට පුදුමයි.

මම සිංහල බ්ලොග් ලියන්න පටන් ගනිද්දීත් බ්ලොග් ලිවීම ගැන දැනගෙන හිටියේ බොහොම චුට්ටයි. මට පාඨකයෝ ගොඩක් හිටියේ නැත්තෙත් ඒකයි. මට සින්ඩිකේටර් ගැන කියල දීලා මගේ බ්ලොග් එක ඉන්ටර්නෙට් එකේ ජනප්‍රිය කරන්න උදව් කරපු අය තමයි දූපත් වැසියා, චන්දන සහෝදරයා සහ රතු රජරට සහෝදරයා. ඒ වගේම මට මගෙත් එක්ක ඉන්න සහෘදයින් ඔක්කොගෙන්ම ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ ගැන ඔක්කොටම ස්තූති කරන්න ඕන.

යමක් ලියනවා කියන එක ලොකු, භාරදූර කාර්යයක්. ඡායාරූපය ගත්තේ නෝනා මහත්තයා, කළණි. (2012 ජනවාරි)



යමක් ලියනවා කියන එක ලොකු, භාරදූර කාර්යයක්. අද මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න සමහරුන්ටත් ඒ බව තේරෙන්නේ නැහැ. ඉන්ටර්නෙට් එකෙන් ගන්නා මොකක් හරි ගෙඩි පිටින් සිංහලට පරිවර්තනය කලාට ලේඛකයෙක් වෙන්න බැහැ. ඉතාම විශේෂිත කරුණක් ගැන නම් එහෙම දෙයක් පල කිරීම කාටත් සෙතක් වෙන්න පුළුවනි. නමුත් යමක් ලියද්දී ඊට වැඩිය සැලකිලිමත් වෙන්න ඕන. මම ලියන දේවල් එක මූලාශ්‍රයකින් විතරක් අරගෙන ලියන්නේ නැහැ. කිහිප තැනකින් කියවලා තොරතුරු සම්පිණ්ඩනය කරලා තමයි ලියන්නේ. නමුත් වැඩේ තියෙන්නේ එහෙම ලියන්න ගතවෙන කාලය වැඩියි.

ඒ වුනත් වඩා නිවැරදි ක්‍රමය ඒක කියලයි මම හිතන්නේ. "බැළලියක් අවරුද්දකට දෙතුන් පාරක් පැටවු ගහයි. ඒත් උන් වැඩි දෙනෙක් මැරිලා යනවා. ඇතින්නක් පැටියෙක් බිහි කරන්නේ අවුරුදු කීපයකට වතාවයි. ඒ බිහි කරන්නේ ඇත් පැටියෙක්." ඒ මම අහල තියෙන කතාවක්.

අනික් කාරණය අපි ලියන දෙකින් විශේෂයෙන් තව කෙනෙක් විවේචනය වෙනවා නම් ඒ ගැන පරිස්සම් වෙන්න ඕන. නමුත් ඇත්ත කියන්න බය වෙන්න ඕනත් නැහැ. මම ජපන් දැනුම මිනුම තරඟය ගැන ලියපු කරුණු එක්ක ගොඩාක් දෙනා එකඟ වුනා. කීප දෙනෙක් විරුද්ධ වුනා. පලවෙනි වතාවට ලියපු පෝස්ට් එකක් අයින් කරන්නත් ඒ සිද්ධිය හේතු වුනා. ආයේ එහෙම දෙයක් නොවෙන්න මම වග බලා ගන්නවා. පුවත්පත් ගැන මම ලියාපු සමහර දේවල් සමහරුන්ට වැදිලා තියෙන බව ඊයේ පෙරේදා වෙච්ච දේවල් සමහරක් නිසා මට තේරුනා. මම විසි කරපු තොප්පියක් අහක ඉන්න කට්ටියක් දාගෙන. "හත්වලාමෙ වෙච්චි දේට මක්කොරන්නද?" ඒ සිද්ධිය ගැන මම ලියනවාද නැද්ද කියලා තවම තීරණය කලේ නැහැ. ඒක අනාගතයේදී බලමු.

මට තියෙන ප්‍රශ්නය මේකයි. මම පුංචි බ්ලොග්කරුවෙක්. මගේ බ්ලොග් පෝස්ට් එකක් වැඩිම වුනොත් සීයක් දෙනා කියවයි. එහෙමනම් ඇයි මේ අපි ලියන සමහර දේවල් සමහර අයට දිරවගන්න බැරි? ඒකට නම් මට උත්තර නැහැ. උත්තර හොයන්න උත්සාහ කරන්නෙත් නැහැ. මට ඊට වැඩිය ගොඩාක් වැඩ තියෙනවා. ලබන අවුරුද්දේ (ඒ කියන්නේ අපි පාවිච්චි කරන කැලැන්ඩරයට අනුව 2013) ලියන්න දේවල් තොගයක ලැයිස්තුවක් දැනුත් මගේ ළඟ තියෙනවා. ඒ වගේම, අලුත් මාතෘකා දිනෙන් දින එකතු වෙනවා. ඒවා සේරම කවදා ලියල ඉවර කරන්නද කියලා හිතාගන්නත් බැහැ.

Friday, December 28, 2012

අපට වෙච්ච දේ 007: 007



කලකට පස්සේ බ්ලොග් එක පැත්තේ ආපු නිසා ආපහු ලියන්න පුරුදු වෙන්න පොඩි පෝස්ට් එකක් එකතු කරන්න හිතුනා. පොඩි වුනත් මේක මම බොහොම කාලයක් තිස්සේ ලියන්න හිතාගෙන හිටියේ. අපේ මේ කතා මාලාවේ 6 වෙනි එක මම අයින් කලාට පස්සේ ඒක වෙනම ආපහු ලියුවානෙ. ඉතින් ආපහු 6 වෙනි කතාවක් ලියන්න ඕන නෑ කියලා මම තීරණය කළා. 7 වෙනි කතාව මම කලින්ම ඉඳන් වෙන් කරලා තිබුනේ Agent 007, එහෙමත් නැත්නම් ජේම්ස් බොන්ඩ් ගැන ලියන්න.

අපේ ගොඩක් දෙනා ජේම්ස් බොන්ඩ් ගැන යමක් දන්නවා. සමහර විට ජේම්ස් බොන්ඩ් පොත් කියවලත් ඇති. චිත්‍රපට බලලත් ඇති. සමහරවිට අපේ ජේමිස් බණ්ඩා පොත් පවා කියවලා ඇති. මම ජේමිස් බණ්ඩා පොත් ආසාවට හොයාගන්න උත්සාහ කළා. එත් තවම ලැබුනේ නැහැ. ඇත්තෙන්ම ඒ පොත් ඩීමන් ආනන්ද මහතා විසින් ලියන ලද බව විතරයි මම දන්නේ.

ජේම්ස් බොන්ඩ් චරිතය නිර්මාණය කලේ ඉංග්‍රීසි ජාතිකයෙකු වූ ඉයන් ෆ්ලෙමිං විසින්. ඔහු දෙවන ලෝක යුද්ධය කාලේ රාජකීය නාවික හමුදාවේ බුද්ධි අංශ අධ්‍යක්ෂකගේ පෞද්ගලික සහයකයා ලෙස කටයුතු කළා. මේ කාලයේ අත් දැකීම් ජේම්ස් බොන්ඩ් නිර්මාණය කරද්දී දායක වුනා. ඒ කාලයේ කමාන්ඩෝ ආදී විශේෂ බලකායන් බටහිර ලෝකයේ හමුදාවලට පවා අලුත් අත්දැකීමක් වුනා. ඒ නිසා එම අංශයේ යම් වැඩ කොටසක් ෆ්ලෙමිං අතින් ඉටු වුනා. ඒ වගේම නාසි පක්ෂයේ දෙවනියා වූ රුඩොල්ෆ් හෙස් එංගලන්තයට පැමිණීමට හේතු වූ රහස් මෙහෙයුමටත් ඔහුගේ දායකත්වයක් වූ බව කියවෙනවා.

ජේම්ස් බොන්ඩ් චරිතය නිර්මාණය වුනේ එක පුද්ගලයෙක් මත පදනම් වෙලා නෙවෙයි. නමුත් ඔහුට නම ලැබුනේ නම් එක පුද්ගලයෙක් නිසා. ඉයන් ෆ්ලෙමිං තමන්ගේ අලුත් චරිතයට නමක් හොයමින් ඉන්නා විට තමයි කැරිබියානු දූපත්වල ජීවත්වන කුරුල්ලන් ගැන පොතක් ඔහු නෙත ගැටුනේ. ඒ පොත ලියලා තිබුනේ පක්ෂි විද්‍යාඥයකු වූ ජේම්ස් බොන්ඩ්. ඒ ජේම්ස් බොන්ඩ් තමයි අද අපි සියලු දෙනා දන්නා ජේම්ස් බොන්ඩ්ට නම දමන්න හේතු වුනේ.

ඉයන් ෆ්ලෙමිං සියලුම ජේම්ස් බොන්ඩ් කතා ලියුවේ ජමේකාවේ ඔරකබෙසා ප්‍රදේශයේ ඔහුගේ ගෝල්ඩන් අයි (Goldeneye) වත්තේ නිවාඩු ගත කරන ගමන්. මේ වත්තට නම දමන්නට හේතු වන්නට ඇත්තේ 1941-42 කාලයේ ෆ්ලෙමිං යටතේ වූ රහස් මෙහෙයුමක් (Operation Golden Eye). ඔරකබෙසා කියන්නේ 4000කට ටිකක් වැඩි ජනකායක් ඉන්න පොඩි නගරයක්. නමුත් ජේම්ස් බොන්ඩ් නිසාම ඒ නගරය බොහොම ජනප්‍රියයි. ඔහුගේ නමින් වෙරළක් පවා එහි තියෙනවා. 2011 දී ඉයන් ෆ්ලෙමිං නමින් අන්තර්ජාතික ගුවන්තොටුපලකුත් එහි විවෘත කළා.
ඉයන් ෆ්ලෙමිං අතින් ජේම්ස් බොන්ඩ් කතා ලියවුනු ජමේකාවේ ගෝල්ඩන් අයි වත්ත. Wikimedia Commons



මට ජේම්ස් බොන්ඩ් පොතක් මුලින්ම ඇහැ ගැටුනේ අපේ ගෙදරදී. එතකොට මට වයස අවුරුදු එකොළහක්-දොළහක් වගේ ඇති. ඒත් ඒ කාලේ මට ඉංග්‍රීසි පොත් කියවන පුරුද්දක් තිබ්බේ නැහැ. කවරේ දිහා බලලා මම යන්තම් තේරුම් ගත්තා මේ තියෙන්නේ ජේම්ස් බොන්ඩ් පොතක් කියලා. ඒත් ජේම්ස් බොන්ඩ් මෙච්චර ජනප්‍රිය කෙනෙක් කියලා මට අදහසක් තිබුනෙත් නැහැ. ඒ නිසා මට ඒ පොත කියෙව්වත් එකයි, නැතත් එකයි. කොහොමහරි පොත පෙරලලා බලනකොට එක පින්තූරයක්වත් දකින්න නැහැ. ඒකෙන්ම ඒ පොත කියවීමේ අදහස අත් අරුනා.

පක්ෂි විද්‍යාඥ "ඔරිජිනල්" ජේම්ස් බොන්ඩ්. 1974 දී. Wikimedia Commons



ජේම්ස් බොන්ඩ් පොතක් මම මුලින්ම කියෙව්වේ ඊට අවුරුදු කීපයකට පස්සේ. දැන් නම් මගේ ලඟත් පොතක් නැත්නම් දෙකක් තියෙනවා. පොත් හතරක් විතර කියවලා තියෙනවා. නමුත් මට තවම මතක නැහැ අර මට මුලින්ම ලැබුන පොත මොකක්ද කියලා. ඒ පොත මම පස්සේ කාලෙක කියෙව්වා වෙන්නත් පුළුවන්. බැරි වෙන්නත් පුළුවන්.

ජේම්ස් බොන්ඩ් පොත්වලටත් වැඩිය ප්‍රසිද්ධ වුනේ චිත්‍රපට මාලාව නේ. පලවෙනි බොන්ඩ් ෆිල්ම් එක පිට වුනේ 1962 දී. ඒ ෆිල්ම් එක. ජේම්ස් බොන්ඩ් චිත්‍රපටවලට අවුරුදු පනහ පිරුන 2012 ඉවර වෙද්දී, එක බොන්ඩ් ෆිල්ම් එකක්වත් මම බලලා නැහැ. Casino Royale චිත්‍රපටය මාස ගණනක් තිස්සේ කම්පියුටර් එකේ තියෙනවා. තවම බැලුවේ නැහැ.

බොන්ඩ් ෆිල්ම්ස්වලට අවුරුදු 51 පිරෙන්න කලින්වත් Casino Royale බලන්න ලැබෙයි කියලා මම හිතනවා.

Friday, December 21, 2012

ලෝක විනාශය ගැන කටකතා පැතිරවීමෙන් සිය නිදහස විනාශ කරගැනීම.



ලෝක විනාශය පිලිබඳ මේ දිනවල බොහෝ සේ කතා බහ කෙරෙන බව පෙනේ. මේ පදනමක් නැති කතා ජනමාධ්‍යවලටද ප්‍රවෘත්ති නිර්මාණය කිරීමට හොඳ ක්‍රමයක් වී ඇත. මෑත යුගයේ ශ්‍රී ලංකාවේ පුවත්පත්වලද භූත විද්‍යාව වැනි කරුණු පිලිබඳ වැඩි අවධානයක් යොමු වීමට හේතුව මෙසේ සඳහන් කරන "ලෝක විනාශය ආසන්න වීම" විය හැක.

ලංකාවේ නම් ලෝක විනාශය පිලිබඳ කටකතා පැතිරවීමට කිසිදු දඬුවමක් ලැබෙන්නේ නැත. එපමණක් නොව ඊට ඇතැම් විට අනුබල දීමද සිදු වේ. කෙලින්ම නොවුනත් වක්‍ර ආකාරයෙන් ලෝක විනාශයක් ගැන නන් දොඩන්නන් පවසන්නේ පෙරදාට වඩා ස්වාභාවික විපත් වැඩි වීම ලෝක විනාශය පිලිබඳ සාධකයක් බවයි. එහෙත් 2013 වසරේ හෝ වෙනත් වසරක හෝ මීට වඩා ස්වාභාවික විපත් සිදු විය නොහැක්කේද? මීට පෙර එසේ නොවුනිද?

2008 වසරේ ඇමරිකාවේ World Watch Institute වෙබ් අඩවිය ප්‍රකාශ කලේ එම වසරේ මුල් අර්ධය තුල ඇමරිකාවේ වාර්තා වූ ස්වාභාවික විපත් සංඛ්‍යාව වෙනත් කිසිදු වසරක මුල් මාස හයට වඩා වැඩි වූ බවයි. එහෙත්, කිසිවෙක් ඒ කාලයේ සිදු වන ලෝක විනාශයක් ගැන කතා නොකළහ.

අනෙක් වැදගත් කරුණ වන්නේ ස්වාභාවික විපත් සියල්ලක්ම ඇත්තෙන්ම ස්වාභාවිකද? යන්නයි. පරිසරයට මිනිසා විසින් කරනු ලබන විශාල බලපෑම ඇතැම් ස්වාභාවික විපත් වැඩි වීමට බලපා ඇති බව අමුතුවෙන් කිව යුතු නොවන්නේය. වන විනාශයෙන් පමණක් සිදුවන ඉමහත් විනාශය සලකා බලන්න. නියඟය, ගංවතුර, නාය යාම්, ජල දූෂණය යනාදී බොහෝ විපත් ඇති වීමට සහ එහි බලපෑම උග්‍ර වීමට මේ සිදුවීම් දායක නොවන්නේද?

ඇතැම් ස්වාභාවික විපත් නම් අපට පාලනය කල නොහැක. එහෙත් ඒවා නිසා සිදුවන හානිය පෙරදාට වඩා වැඩි බව පෙනී යයි. මීට හේතු වී ඇත්තේ එවැනි ව්‍යසනවල ප්‍රමාණය හෝ භයානකකම හෝ වැඩිවීමම නොවේ. මිනිස් ජනගහනය වර්ධනය වීම නිසා එවැනි විනාශයන්ට ඍජුවම හසුවන පිරිස ඉහල යයි. එමෙන්ම, ජනගහන වර්ධනයත් සමඟ, වාසස්ථාන ගොවිපලවල් යනාදියට ඇති ඉඩ කඩ සීමා වීමෙන් මිනිසුනට අවදානම් සහිත ප්‍රදේශවල වුවද ජීවත් වීමට සිදුවී ඇත්තේය. මේ අතරම මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්ද අවදානම් ප්‍රදේශ වැඩි වන බව අමතක නොකළ යුතුය මේ සියලු කරුණු හේතුවෙන් ස්වාභාවික විපත්වලට ලක් වන්නන් ඉහල යාම අනිවාර්යය.

2012 දෙසැම්බර් 21 ලෝක විනාශය සිදුවන බව සඳහන් වීමට මූලික හේතුව වූයේ මායා ජාතිකයන්ගේ දින දර්ශනයෙහි 13 වන බක්තුන් යනුවෙන් හැඳින්වෙන යුගයෙහි නිමාව මෙදින යදී තිබීමයි. එහෙත්, මේ දිනයෙහි ලෝක විනාශය සිදු වන බවක් එහි සඳහන් නොවේ. එසේ පැවසීම පැරණි මායාවරුනටද කරන නිගරුවකි. එමෙන්ම, NASA ආයතනය ඇතුළුව ලෝකයේ ප්‍රමුඛ පෙලේ ආකාශ වස්තු නිරීක්ෂණ ආයතන මෙම අනාවැකි අසත්‍යයක් ලෙස බැහැර කොට ඇත.

ලෝක විනාශය සිදුවන ආකාරය පිලිබඳ එක අනාවැකියක්. දැවැන්ත උල්කාපාතයක් පෘථිවිය හා ගැටීම. NASA ආයතනයේ චිත්‍රයක්. Wikimedia Commons



ලෝක විනාශය පිලිබඳ අනාවැකි පල වීම අද ඊයේ පටන්ගත් දෙයක් නොවේ. මානව ඉතිහාසය පුරාවට විවිධ ජන කණ්ඩායම් හෝ පුද්ගලයන් හෝ ලෝක විනාශය පිලිබඳ අනාවැකි පල කළහ. නමුත් අද වනතෙක් ඒ එකක් හෝ සාර්ථක වී නැත. පසුගිය වසර සියයක් පමණ කාලය තුල මෙවැනි බොහෝ අනාවැකි පහල වූයේ විද්‍යාවෙන් අගතැන් පැමිණ ඇතැයි කියන ඇමරිකාවෙනි. මෙවැනි ලෝක විනාශයන් විශ්වාස කල වෙනමම ආගමික නිකායයන් පවා ඇති වූ අතර ඇතැම් ආගමික කල්ලි විශ්වාස කලේ දිවි නසාගැනීමෙන් පමණක් ලෝක විනාශයෙන් ගැලවිය හැකි බවයි. තවත් ඇතැමුන් බලාපොරොත්තු වූ විනාශය නොවූ තැන දිවි නසා ගැනීමට උත්සාහ කළහ.

මෙවරද, 2012 දෙසැම්බර් 21 වනදා ලෝක විනාශය වන බව ප්‍රකාශ කල ආගමික කල්ලි පිළිබඳව වාර්තා පලවිය. චීනයෙන් වාර්තා වූ එවැනි කණ්ඩායමක් තමන් හඳුන්වා ගන්නේ "සර්වබලධාරී දෙවියන්" (Almighty God) නිකාය ලෙසය. චීන රජය ප්‍රකාශ කරන්නේ මෙම ආගමික කල්ලිය 1990 ආරම්භ කල එකක් බවයි. 2012 දෙසැම්බර් 21 වනදා ලෝක විනාශය වන බවත් ඊට පෙර තමන් හා එක්වන්නන්ට විමුක්තිය උදා වන බවත් මෙම කල්ලිය ප්‍රකාශ කල බව කියවේ.

චීන බලධාරීන් විසින් මොවුන් හඳුන්වා දෙන ලද්දේ කටකතා පතුරවන්නන් පිරිසක් ලෙසය. මේ අනුව ඔවුන් සාමාන්‍යය ජන ජීවිතයට තර්ජනයක් ලෙස සලකා අත් අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට බලධාරීහු ක්‍රියා කළහ. දෙසැම්බර් 20 වනදා චීන මාධ්‍යයන් ප්‍රකාශ කලේ ඒ වනවිට 600කට වැඩි පිරිසක් මෙසේ රඳවනු ලබා ඇති බවය. දෙසැම්බර් 21 (අද) උදේ වනවිට එම සංඛ්‍යාව 1000ක් පමණ විය. මෙයින් 400ක් පමණ පිරිස රඳවා ගනු ලබා තිබුනේ චීනයේ වයඹදිග පලාතක් වන ක්වින්ග්හායි පලාතේදීය. මීට අමතරව නැගෙනහිර වෙරළබඩ සේජියාන්ග් ප්‍රාන්තයේ ලැන්ක්සි නගරයේද 58 දෙනෙක් රඳවා ගන්නා ලදහ.

චීනයේ චීනයේ ක්වින්ග්හායි (රතු පැහැ) සහ සේජියාංග් (කොළ පැහැ) පළාත්. මෙතනින් ලබාගත් පින්තූරය සංස්කරණය කොට සාදා ගන්නා ලදී.



මොවුන් සමඟ මෙම "ආගම" ප්‍රචාරය සඳහා යොදාගත් පත්‍රිකා, බැනර්, දැන්වීම් පුවරු, මුද්‍රණ යන්ත්‍ර, පත පොත මෙන්ම පරිඝනක තැටිද අත් අඩංගුවට ගෙන තිබුණි. එක් පත්‍රිකාවකින් කියවුනේ "ව්‍යසනයට පෙර පෙරට එන්න. සාතන්ගේ උන් වැනසෙනු ඇත. මිනිසා ගලවාගත හැක්කේ සර්ව බලධාරී දෙවියන්ට පමණි. දෙවියන්ට එරෙහි වන්නා අපාගත වනු ඇත" යනුවෙනි. මෙම කල්ලියට බැඳෙන්නන් සාර්ථක මොළ සේදීමකට ලක් වී ඇති බව පෙනී යයි. ඔවුනට මෙම දහම කෙරෙහි වන විශ්වාසය තහවුරු කිරීමට ලිපි ලිවීමට සිදුවූ බව කියවෙන අතර ආගම ප්‍රචාරයටද පොළඹවනු ලැබුණි. එක සාමාජිකයකු ලියූ ලිපියක වූයේ, "අද මා සිය දෙනෙකුටවත් මේ පණිවිඩය දිය යුතුයි නැත්නම් මා සාපලත්තෙකු වනු ඇත" යනුවෙනි.

මෙවැනි කණ්ඩායම්වල සාමාජිකයන් රඳවා තබා ගැනීම ආගමික නිදහස පාගා දැමීමක් ලෙස එකවර සිතිය නොහැක. අහිංසක, නූගත් හෝ හරි වැටහීමක් නැති මිනිසුන් මේවාට හසු වීමේ අවස්ථා එමටය. බලධාරීන් සඳහන් කරන කරුණු සත්‍යය නම්, මෙම කල්ලිය සැබවින්ම භයානක එකකි. මෙහි ඇති බරපතලම අවදානම වන්නේ 2012 දෙසැම්බර් 21 ලෝක විනාශය නොවූ තැන මොවුන් කුමක් කරයිද? යන්නයි. ඔවුනට අනුව ඉන් පසු මෙලොව ඉතිරි වන්නේ "සාතන්ගේ උන්" නම්, මේ කල්ලියේ සාමාජිකයන් ඉතිරි විය නොහැක. එසේ ඉතිරි වූ ඔවුන් ඒ පිලිබඳ කුමන නිගමනයකට ඒ දැයි කිව නොහැක. ලෝක විනාශය නොවූයෙන් තමා විශ්වාස කල දේ වැරදි බව තේරුම් ගියහොත් යහපත් වේ. එසේ නැතිව එය තමන්ගේ ආගමික විශ්වාසයේ අඩුවක් හෝ වරදක් හෝ ලෙස සිතුවහොත් ඔවුන් දිවි නසා ගන්නා තත්ත්වයට වුවද පත්වීමට පිළිවන.

Wednesday, December 19, 2012

යලි ලියන්නට සිදුවූ කතාව: ජපන් දැනුම මිනුම තරඟයේ ජයග්‍රහණය සහ අපකීර්තිය.


මේ කතාව මම මීට දවස් කීපයකට කලින් ලියාපු එකක්. අවාසනාවකට වගේ ඒ කතාව මම පැය 18ක් ඇතුලත අයින් කරලා දැම්මා. ඊට හේතුව වුනේ එයින් හිත රිදිච්ච එක පුද්ගලයෙක් මට කතා කර දෝෂාරෝපණය කිරීම. එහෙත් ඉන්පසුව මට කීප දෙනෙක්ම දොස් කිව්වා කතාව අයින් කරපු එකට. ඒ නිසා මම මොකද කරන්නේ කියලා හිතලා බලලා තීරණය කළා ආපසු කතාව ලියන්න. දැන් මම මුල ඉඳලා ලියන නිසා යම් යම් වෙනස්වීම් වෙන්නත් පුළුවන්.

අපේ විදේශ ප්‍රතිපත්ති සම්බන්දයෙන් අපි නොහිතන විදියේ භූමිකාවක් රඟ දක්වන්න ඕනෑම කෙනෙකුට පුළුවනි. ඒ අපේ රට ගැන යහපත් චිත්‍රයක් පිටරැටියන් තුල ඇති කිරීමෙන්. විශේෂයෙන්ම පිටරටක අය මුණ ගැහුනහම අපිට එය කරන්න පහසු වෙනවා. රටක තානාපති කෙනෙක් වගේ වැදගත් කෙනෙක් ඉන්නා තැනක නම් අපි කරන සහ නොකරන දෙයින් අපේ රට ගැන පිට රටවලට යම් යම් දේ දැනගැනීමට ලැබෙන හැකියාව වැඩියි. ඒ නිසා අපේ රටට අපකීර්තියක් නොවෙන්න අපි ඒ වෙලාවට කටයුතු කරන්න ඕන.

ජපානය. උපුටා ගැනීම CIA World Factbook ජපානය පහුගිය දශක හය මුළුල්ලේම ලංකාවේ හොඳම මිතුරෙක්.



ජපානය සහ ශ්‍රී ලංකාව අතර තානාපති සම්බන්ධතාවලට වසර 60ක් පිරීම නිමිත්තෙන් ලංකා වාණිජ මණ්ඩලයත් (Ceylon Chamber of Commerce), ශ්‍රී ලංකා-ජපන් ව්‍යාපාරික සහයෝගිතා කමිටුවත් (Sri Lanka-Japan Business Co-operation Committee) එකතු වෙලා ජපානය සම්බන්ධව දැනුම මිනුම තරඟයක් සංවිධානය කරලා තිබුණා. මීට ජපන් තානාපති කාර්යාලයේ සහ අන්තර්ජාතික දැනුම මිනුම සංගමයේ ශ්‍රී ලංකා පර්ෂදයේ (International Quizzing Assocoation-Sri Lanka Chapter) සහයෝගය ලැබී තිබුනා. ප්‍රශ්න සැකසීම සහ ප්‍රශ්න විචාරය කෙරුනේ එම ආයතනයේ රුවන් සේනානායක මහතා අතින්. විනිශ්චය මණ්ඩලය විදියට ඔහුගේ සගයින් පිරිසක් ඇවිත් හිටියා.

2012 දෙසැම්බර් 15 වෙනිදා පවත්වපු මේ තරඟය ලංකාවේ "විශේෂිත" ඒ කියන්නේ යම් විෂයයකට පමණක් සීමා වූ දැනුම මිනුම තරඟවලින් ලොකුම එකක්. නමුත් ලොකුම තරඟය නම් මේක නෙවෙයි. මීට දින තුනකට කලින් තිබුන Global Commerce Quiz එකට කණ්ඩායම් 39ක් සහභාගී වුන බව දැන ගන්න ලැබුනා. මේකට හිටියේ 35යි.

මගේ යාලුවෙක් මුල් වෙලා හදාපු දැනුම මිනුම කණ්ඩායමක් අපිට තියෙනවා. දැන් එහි නායකයා විදියට කටයුතු කරන්නේ මම. ඒ වුනත් අනෙක් හතර දෙනාම මේ ක්ෂේත්‍රයේ මට වැඩි පළපුරුද්ද තියෙන අය. කොහොම වුනත්, අපි සැප්තැම්බර් මාසේ තිබුන විවෘත දැනුම මිනුම තරඟයකින් කණ්ඩායම් 40ක් විතර පරද්දලා ජයග්‍රහණය කළා.

ජපන් දැනුම මිනුම තරඟයට අපි ආවේ තරමක චකිතයක් නැතුව නෙවෙයි. මොකද මේක අපිට සාමාන්‍යයෙන් පුරුදු විදියේ එකක් නොවෙන නිසා. අනික, ජපන් භාෂාව ඉගෙන ගත්තු, ජපන් රටට ගියපු අයත් තරඟයට එන්න පුළුවන් නේ. එයාලාට මේක අපට තරම් අමාරු වෙන්නේ නැහැ නේ. ඔන්න ඔහොම තමයි අපිට හිතුනේ.

ලංකාවට අලුත් දෙයක් වුනාට ඉන්දියාවේ නම් ජපානය ගැන දැනුම මිනුම තරඟ කලක සිට පවත්වනවා. ළිඳේ ඉන්න මැඩියෝ වගේ ජීවත් වෙන අපි ඒ ගැන නොදන්නවා තමයි. මමත් ඒ ගැන දැනගත්තේ මේ තරඟය ගැන දැනගත්තාට පස්සේ ඉන්ටර්නෙට් එකේ හොයලා බලද්දී. ඉන්දියාවේ දැනුම මිනුම තරඟ ක්ෂේත්‍රය එක්ක අපිට ළඟින්වත් යන්න බැරි බව අපි දන්නවා. එත් අපි ඒ සඳහා හැකියාව නැති අය නෙවෙයි. ඒ සඳහා පෙළඹවීමක් ඇති කිරීමට ගුණාත්මක දැනුම මිනුම තරඟ වැඩි වැඩියෙන් පැවැත්වීම වැදගත් වෙනවා.

මේ දැනුම මිනුම තරඟය ලිඛිත තරඟයක්. ඒ කියන්නේ වට පහකට ප්‍රශ්න 50ක් අහනවා, වටයකට දහය ගන්නේ. අපි පස් දෙනා එකතු වෙලා උත්තර ලියනවා. එක එක වටයට වෙනමම උත්තර පත්‍ර තියෙනවා. එතකොට වටයෙන් වටය ලකුණු එකතු කරලා අන්තිමට වැඩිම ලකුණු ගත්තු කණ්ඩායමට ජයග්‍රහණය හිමි වෙනවා.

මේ තරඟයෙන් අපි ජයග්‍රහණය කළා. ඒ අපිත් නොහිතපු විදියට ලකුණු 41ක්ම අරගෙන. නමුත් මට මේ කතාවේදී කියන්න ඕන කරන්නේ ඒ ගැන නෙවෙයි. මේ කතාවට අපි දිනපු එකත් යම් වැදගත්කමකින් යුක්තයි තමයි. නමුත් ඒ අපි කීප දෙනෙක්ගේ ජයග්‍රහණයක් පමණයි. ඒ වුනත් මේ තරඟයට සහභාගී වෙච්ච සමහර කණ්ඩායම් නිසා අපි ඔක්කොටම සිද්ධ වුනේ ලොකු අපහසුතාවක්.

මේ තරඟයට එක්තරා සංගමයකින් කණ්ඩායම් දෙකක් ඇවිත් හිටියා. මම කවුද කියන්නේ නැහැ. එතන හිටපු අය ඒ කවුද කියලා දන්නවා. ඊට අමතරව විශ්ව විද්‍යාලයකින් කණ්ඩායම් තුනක් ඇවිත් හිටියා. (අපේ විශ්වවිද්‍යාලය, ඒ කියන්නේ කොළඹ නම් නෙවෙයි). නමුත් මේ කට්ටිය කවුරුවත් තමන්ගේ කණ්ඩායම් වෙන් කරලා දක්වලා තිබුනේ නැහැ. ඒ කියන්නේ අපි කියමු මොකක් හරි ආයතනයකින් කණ්ඩායම් දෙකක් හෝ වැඩි ගණනක් හෝ එනවා කියලා. එතකොට ඒ කණ්ඩායම් වෙන් කරගන්න විධියක් තියෙන්න එපැයි. නමුත් එහෙම එයාලා වෙන් කරගෙන තිබුනේ නැහැ.

පලවෙනි වටයේ උත්තර පත්‍ර එකතු කරගත්තාට පස්සේ, විනිශ්චයකාරයන්ට ලොකු අවුලක් වුනා. මොකද, එකම නම් තියෙන සංගමයක කණ්ඩායම් දෙකක් තිබුනා. එතකොට එයාලා නිවේදනයක් නිකුත් කළා කරුණාකරලා ඒ කණ්ඩායම් දෙක තම තමන්ව හඳුනාගන්න කියලා. එතකොට තමයි වැඩේ 'වර්චස්' වුනේ. එයින් එක කණ්ඩායමක නායකයා නැගිටලා අනික් ටීම් එකෙන් අහනවා "ඔයාල පලවෙනි ටීම් එකද? දෙවන ටීම් එකද?" කියලා. ඒ මදිවට ඒ සේරම අය බලාගෙන ඉන්දෙදි. අපිට නම් තරහයි. ඒ මදිවට හිනහයි. ටීම් දෙක වෙන් කරගන්න ඕන කියන සාමාන්‍ය බුද්ධිය පවා නැති අයද මේ ඉන්නේ? කියලා අපිට හිතුනා.

අර කැම්පස් සෙට් එකේ තත්ත්වයත් එච්චරයි. ඒ මදිවට එතන කණ්ඩායම් තුනක්. එතකොට ඒ ගැටලුව ලිහා ගන්න ඊටත් වැඩිය වෙලාව ගියා. කොහොමහරි සංවිධායකයෝ ඒ අවුල් ලිහාගෙන ඊළඟ වටයට ගියා.

ඊළඟ වටයේදී තවත් විකාරමය ජවනිකාවක්! දැන් අර සමහර කණ්ඩායම් පරණ නම් වෙනුවට වෙන නම් ලියලා. ඉතින් ඔන්න "සකුරා" වගේ නම් තියෙන කණ්ඩායම් ප්‍රාදුර්භූත වෙලා. ඒ තවත් කණ්ඩායම් සමහරක්, තමන් ලියාපදින්චි වුන නම් වෙනුවට වෙන නම් ලියලා. අලි මදිවට හරක් කියන්න වගේ ඒ අස්සේ තවත් කට්ටියක් ටේබල් නම්බර් එක වරද්දලා. දැන් උත්තර පත්‍ර බලන විනිශ්චය මණ්ඩලය අන්ද මන්ද වෙලා. එයාලට කර කියාගන්න දෙයක් නැහැ. ඒ ගොල්ලෝ අර කණ්ඩායම්වලට කතා කරලා ප්‍රශ්නය නිරාකරණය කරගන්න දැඟලුවා. ඒ උත්සාහය හරි නොගිය තැන, ඒ අය ප්‍රසිද්ධියේම කණ්ඩායම්වල නම් කියවලා, එයාලා ඉන්න තැන් සහ අදාළ ටේබල් නම්බර් ලකුණු කරගෙන, හරියට නම් දාපු නැති අයට නම් දීලා ආයේ වැඩේ පටන් ගත්තා. ඒ වෙනකොට, වට දෙකේම නාස්ති වුන මුලු වෙලාව පැයක් විතර වුනා.

කණ්ඩායම් කීපයක නොසැලකිලිමත්කම නිසා අනික් බොහෝ දෙනාට හරියට කරදර වුනා. අපි ගියේ දිනුවා හෝ පැරදුනා හෝ, හොඳ තරඟයක් දෙන්න. නමුත් මෙහෙම දෙයක් අපේ අවධානය බිඳුනා. දැනුම මිනුම තරඟ කියන්නේ මොලේ වෙහෙසලා කරන්න ඕන දෙයක් (Mind Game එකක්). ඒ සඳහා මනස නිරවුල්ව තිබීම අනිවාර්යයි. නමුත් මෙතෙන්දි ඒක සිද්ධ වුනේ නැහැ. ඒ විතරක් නෙවෙයි, අපට එදා එතනින් යන්නත් ප්‍රමාද වුනා. එදා කොළඹ නයිට් රේස් තිබුන නිසා බස් ටිකක් කරදරයි නේ. කලින් යන්න තිබුනා නම් හොඳයි. ඒ ගොල්ලෝ කරලා තිබුනේ 4ට පටන්ගෙන 8ට ඉවර කරන්න. ජපන් ජාතිකයෝ කොහොමත් පිළිවෙලට සහ වෙලාවට වැඩ කරන අය නිසා වැඩේ වෙලාවට වෙයි කියලා අපි බලාපොරොත්තු වුනා. ඒ වගේම වැඩේ 4ට පටන් ගත්තා. ඒත් ටික දෙනෙක් නිසා වැඩේ පරක්කු වුන හින්දා ඉක්මනට අන්තිම ටික ඉවර කරලා 8.30 පමණ වෙද්දී වැඩේ ඉවර කරගත්තා. ඒ වෙලත් අපිට ගෙදර යන්න බස් නැති නිසා ත්‍රී වීල් වලට වියදම් කරන්න සිද්ධ වුනා.

මේ සේරම කමක් නැහැ මේක අපි අපි අතරේ වෙච්ච දෙයක් විතරක් වුනා නම්. ඒ වුනත් මෙතන ජපන් තානාපති නොබුහිතෝ හෝබෝ මහතා ඇතුළු ජපන් ජාතිකයන් පිරිසක් ඇවිත් හිටියා. අපි දන්නවා ජපන් ජාතිකයෝ පිළිවෙලට ඒ වගේම වෙලාවට වැඩ කරන උදවිය බව. ඒ වගේම එයාලා තරහ ගියත් ඒ බව පෙන්නන්නේ නැති බව අපි අහලා තියෙනවා. ඒ කොහොම වුනත් එයාලා ලංකාවේ අයගේ පිළිවෙල ගැන මේකෙන් හොඳට ඉගෙන ගන්න ඇති. මේකේ බරපතලකම තියෙන්නේ කැම්පස් එකක කණ්ඩායම් වගයකුත් මෙහෙම කටයුතු කරපු එක. එයින් ඒ කැම්පස් එකට නම් හොඳ ප්‍රතිරූපයක් ලැබුනේ නැහැ. මේ මුළු ජවනිකාව අස්සේ එක වතාවක සංවිධායක මණ්ඩලයේ කෙනෙක් තානාපතිතුමාට සිද්ධිය පැහැදිලි කරාම එතුමා ඔලුවේ අත ගහ ගත්තාලු.

මම හිතන්නේ, තමන් රටෙන් තමන්ට වෙන්න ඕන දේ නොව තමන්ගෙන් රටට වෙන්න ඕන දේ ගැන මීට වඩා හිතන්න ඕන. මේක මේ මම මේ තරඟයක් දිනපු උද්දාමයට කියන දෙයක් නෙවෙයි. සමහරු හිතන්න පුළුවන් තරඟයක් දිනලා අපි උඩ ගිහින් කියලා. නමුත් මේ දේවල් බොහොම තාවකාලික බව අපි දන්නවා. මේ තරඟය බොහොම හොඳ මට්ටමක තිබුනා. සාමාන්‍යයෙන්, ප්‍රශ්නවල මට්ටම හොඳ තරඟයක දිනන කණ්ඩායම ලකුණු 50 කින් 35-40 පමණ ගන්නවා. එහෙම බලනකොට මෙහි ප්‍රශ්නවල තත්ත්වය ගැන සෑහීමකට පත් වෙන්න පුළුවනි. දැනුම මිනුම ක්ෂේත්‍රය ගැන නොදන්නා කෙනෙක් කොහොම හිතුවත් ප්‍රශ්නවල සංයුතිය ගැන මට කියන්න තියෙන්නේ ඔන්න ඕකයි. එහෙම තරඟයක් දිනපු එක ගැන අපි සතුටු වෙනවා.

ඒ වුනත් ඊළඟ තරඟය අපි අන්ත පරාජයකින් කෙළවර කරන්න පුළුවන්. ජීවිතේ හැටි එහෙමයි. නමුත් මම හැම දාම කියන දෙයක් තමයි අනුන්ට වදයක් නොවී ඉන්න උත්සාහ කරන්න ඕන බව. අනික් මිනිස්සු ඕන තරම් වැරදි කරයි. එහෙම කියලා අපිත් වැරදි කරන්න ඕන නැහැ නේ. ජීවිතයක සාර්ථකත්වය මනින එක මිම්මක් විදියට මම ඒක දකිනවා.

මේ තරඟය ගැන සෑහීමකට පත් වෙන්න බැරි එකම හේතුව වුනේ සමහර අයගේ නොසැලකිල්ල නිසා අපට වෙච්ච කරදරය තමයි. තමන්ගේ නොසැලකිල්ලෙන් අනික් අයට ප්‍රශ්නයක් වෙනවාද කියන එක ඔවුන් කල්පනා කල යුතුව තිබුනා. ඒ වගේම ඔවුන් පැමිණෙන ආයතනය ගැන අනෙක් අය තුල ඇති වන ප්‍රතිරූපය ගැනත් ඔවුන් කල්පනා කල යුතුව තිබුනා. විශේෂයෙන්ම විදේශිකයන් ඉන්නා තැනක. ජපන් භාෂාව හෝ සංස්කෘතිය හෝ ඉගෙන ගැනීමෙන් පමණක් පලක් නැහැ. ඔවුන්ගෙන් ගත හැකි යහපත් පුරුදු ඉගෙන ගෙන ඒවා ජීවිතයට අදාළ කරගැනීමයි වැදගත්. එහෙම නැත්නම් ජපන් රට ගැන කප්පරක් දැන ගත්තත්, ජපන් ඉගෙන ගෙන උපාධි ගැහුවත්, ඒකෙන් ජපනට වැඩකුත් නැහැ; අපිට වැඩකුත් නැහැ.

(හිතෙන දේ ලියලා යන්න. ඒක මට උදව්වක් වගේම හයියක්.)

Tuesday, December 18, 2012

නාලක ගුණවර්ධනගේ "ආතර් සී. ක්ලාක් චින්තන චාරිකා" කෘතිය දොරට වැඩීම.


අද මට බොහොම සතුටුදායක දිනයක්. ඊට හේතුව අද මා බොහොම වැදගත් අවස්ථාවකට සම්බන්ධ වීමටත්, බොහොම සුන්දර වූ මිනිසුන් පිරිසක් හඳුනා ගැනීමත්. මේ ඒ පිලිබඳ ඉතාම කුඩා සටහනක්.

නාලක ගුණවර්ධනගේ "සිවුමංසල කොලුගැටයා" පොත ගැන මම ලියුවා ඔබට මතක ඇති. අද හවස 3 ට නාලක ගුණවර්ධනගේ අලුත්ම කෘතිය, "ආතර් සී. ක්ලාක් චින්තන චාරිකා" නමින් එලි දැක්වුනා. ඒ ජාතික පුස්තකාල ශ්‍රවනාගාරයේදී. ආතර් සී. ක්ලාක් මහතාගේ 95 වන උපන්දිනය මෙම 16 වනදාට යෙදී තිබුනා. මෙම කෘතිය එලි දැක්වුණේ ඒ වෙනුවෙන්. මෙහි ඇත්තේ අවුරුදු 25ක පමණ කාලයක් තුල ලියවුනු ලිපි එකතුවක්. මෙහි සමහර ලිපි මීට පෙර පල නොවූ ඒවා වුනත් අඩකට තරමක් වැඩි ප්‍රමාණයක් කලින් විවිධ තැන්වල පලවූ ඒවා.

ආතර් සී. ක්ලාක් මහතා ඔහුගේ කාර්යාලයේදී (කොළඹ) 2005 මාර්තු 28. Wikimedia Commons



මෙම උත්සවයට සැලකිය යුතු ජනතාවක් සහභාගී වී සිටියා. මෙහිදී විද්‍යා ලේඛක, විජය පරිඝනක සඟරාවේ ආරම්භක කර්තෘ චානුක වත්තේගම මහතා සහ ආචාර්ය රොහාන් සමරජීව මහතා සභාව අමතා කතා කළා. වත්තේගම මහතා ප්‍රකාශ කලේ වසර විස්සකට විසිපහකට පෙර රූපවාහිනිය සහ පුවත්පත් අදට වඩා බෙහෙවින් ගුණාත්මක වූ වැදගත් අන්තර්ගතයන්ගෙන් යුක්ත වූ බවයි. අද වනවිට පුවත්පත්වල වැඩි ඉඩක් වෙන්වන්නේ භූත විද්‍යාව වැනි විද්‍යාත්මක නොවූ දෑ වෙනුවෙන් බව ඔහු පෙන්වා දුන්නා. සමරජීව මහතා ප්‍රකාශ කලේ ආතර් සී. ක්ලාක් මහතා අනාවැකිකරුවකු නොවූ බවයි. අනාවැකිකරුවෙකු යනු පේන කියන්නකු මෙන් අයෙකු බව ඔහු කියා සිටියා. ඔහුගේ අදහස වූයේ, ආතර් ක්ලාක් මහතා සමාජීය බුද්ධිමතෙකු ලෙස සැලකිය යුතු බවයි. මේ දෙදෙනාගේමත් නාලකගේත් අදහස වන්නේ ආතර් සී. ක්ලාක් චරිතය තවමත් මෙරට ජනතාව හරි හැටි තේරුම්ගෙන නැති බවයි.

සමරජීව මහතාගේ කතාව අවසානයේ, ආතර් සී. ක්ලාක් මහතා පිළිබඳව ළඟදී රූපවාහිනී නාලිකාවකින් විකාශය වූ නාලක ගුණවර්ධන විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහනක් තිරගතකොට පෙන්වනු ලැබුනා. ඉන්පසු සභාව අමතමින් නාලක ගුණවර්ධන ප්‍රකාශ කලේ මෙම පොතෙන් ඔහු ආතර් සී. ක්ලාක් මහතා ලාංකිකයන්ට හඳුන්වා දීමට උත්සාහ කල බව. මෙම පොත කියවා එහි සඳහන් පණිවිඩය පතුරවා හරින මෙන් ඔහු ඉල්ලා සිටියා.

මා පොත කියවා අවසන් නැති නිසා (පොත අතට ලැබුනේ අද නේ) දැන්ම නම් එය කරන්නට බැහැ. පොත කියවූ පසු ඒ ගැන යමක් ලියන්නට බලාපොරොත්තු වෙනවා.

Monday, December 17, 2012

දේශපාලනයට පැමිණි අවුරුදු 94ක නවකයා


ජපන් මහ මැතිවරණය ඊයේ දිනයේ පැවැත්වුනා. මෙහිදී ලිබරල් ප්‍රජාතාන්ත්‍රික පක්ෂය (Liberal Democratic Party-LDP) විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවා. 2009 වසරේ සිට ජපානය පාලනය කල ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මෙහිදී පරාජයට පත් වූ අතර ඔවුනට ලැබුනේ ආසන 57ක් පමණයි. නමුත් මම අද කියන්නට බලාපොරොත්තු වන්නේ මෙම මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයෙකු පිළිබඳවයි.

රියුකිචි කවෂිමා ජීවත් වන්නේ ජපානයේ ටෝකියෝ නගරයට උතුරින් පිහිටි සයිටමා ප්‍රාන්තයේ, හන්යු කියන නගරයේ. ඔහු 1930-40 දශකවල ජපන් හමුදාවේ සේවය කල පැරණි සෙබලෙක්. මෙවර මැතිවරණයට ඔහු සයිටමා ප්‍රාන්තයේ (Saitama Prefecture) 12 වන මැතිවරණ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වුනා. මීට පෙර දේශපාලනයට සම්බන්ධව නැති ඔහු මෙම මැතිවරණයට ඉදිරිපත් වන විට වයස අවුරුදු 94ක් වනවා. මැතිවරණය සඳහා ඔහු වියදම් කලේ තමන් මියගිය පසු මළගම සඳහා යොදාගැනීමට ඉතිරි කල මුදලයි. (පින්තූරය සහ විස්තර මෙතනින් බලන්න).

ජපානයේ සයිටාමා ප්‍රාන්තය. Saitama Prefecture, Wikimedia Commons



කවෂිමා ප්‍රකාශ කලේ තම රටේ අනාගතය පිලිබඳ ඇති වූ භය ඔහු මෙම පියවර ගැනීමට පෙළඹවූ බවයි. දෙවන ලෝක යුධ සමයෙහි සිය සගයින් සටන් බිමෙහි මැරී වැටෙනු සියසින් දැක ඇති හෙතෙම පවසා සිටියේ ජපානය එම යුද්ධයෙන් පරාජය වූ බවත් යලිත් යුද්ධයක් තම රටට අවශ්‍ය නැති බවත්. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී නායක ෂින්සෝ ආබේ සහ ජාතිකවාදී නායක ෂින්තාරෝ ඉෂිහාරා වැන්නවුන් හමුදා පිලිබඳ බොහෝ පහසුවෙන් කතා කල බවයි කවෂිමා ප්‍රකාශ කලේ.

1918 වසරේ උපත ලැබූ කවෂිමා 1945 දෙවන ලෝක යුද්ධය අවසන් වූ පසු විවිධ රැකියාවල නිරත වී තිබෙනවා. වයස 94ක් වුනද තමන්ගේ ඇස් පෙනීම මෙන්ම මානසික ක්‍රියාකාරීත්වයද ඉතා යහපත් තත්ත්වයක පවතින බව ඔහු ප්‍රකාශ කරනවා. මැතිවරණය පිළිබඳව ඔහු ප්‍රකාශ කලේ තමන්ට ජයග්‍රහණය කිරීමට හැකියාවක් ඇතැයි නොසිතන නමුත් තමන්ගේ මතවාදය ඉදිරිපත් කිරීමට අවශ්‍ය වූ බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය ප්‍රකාරව කටයුතු කිරීම (යුධමය කටයුතුවලට සම්බන්ධ නොවීම පිලිබඳ වගන්තිය), න්‍යෂ්ටික බලශක්තිය භාවිතා කිරීම නැවැත්වීම සහ අධිරාජයාට දැනට වඩා දේශපාලනික වගකීමක් ලබා දීම වැනි කරුණු පිලිබඳ ඔහු මැතිවරණය සමයේදී ප්‍රකාශ කර සිටියා. නමුත් මැතිවරණ ප්‍රතිපලවලින් පෙනෙන්නේ ජපන් ජාතිකයින් වැඩි දෙනෙක් ඔහු වැන්නවුන්ගේ මතවාදයන් පිලි නොගත් බවයි.

යුද්ධයේදී මිය ගිය තම සගයින් වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටු කල බව විශ්වාස කරන කවෂිමා, ඒ පිලිබඳ බෙහෙවින් සතුටට පත් වෙනවා.



(එකතු කිරීම 2012 දෙසැම්බර් 21: කවෂිමා ඡන්ද 2,169ක් පමණක් ලැබූ අතර සිය මැතිවරණ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් 6 දෙනාගෙන අන්තිමයා බවට පත් විය. (The Asahi Shimbun) ජපානයේ දක්ෂිනාංශික ආණ්ඩුවක් බලයට පත් වූ අතර එරට ව්‍යවස්ථාව වෙනස් කිරීම බලයට පත් වූ ලිබරල් ප්‍රජාතාන්ත්‍රික පක්ෂයේ මූලික පොරොන්දුවක් විය. එම පක්ෂයට සිය සගයින්ද සමඟ පහල මන්ත්‍රී මණ්ඩලයේ ආසන 2/3ක් ඉක්මවූ බලයක් ලැබී තිබේ. එහෙත් කවෂිමා ප්‍රකාශ කරන්නේ ජපානයේ මෙම දක්ෂිනාංශික නැඹුරුව බොහෝ කල් නොපවතිනු ඇති බවය.)

Wednesday, December 12, 2012

ගාෆීල්ඩ්ට තරම්වත් මොලේ නැති ගාෆීල්ඩ් පෙන්නන ඈයෝ!


එක දවසකට පෝස්ට් දෙකක් ලියන එක මම සාමාන්‍යයෙන් කරන්නෙම නැති දෙයක්. ඒත් අද මට එහෙම කරන්න හිතුනා. ඇත්තටම මම මේ පෝස්ට් එක ලියන්න ගොඩ දවසක ඉඳන් බලාගෙන හිටියේ. නමුත් වෙලාවක් ලැබුනේ නැහැ. අද නම් මගේ ඉවසීමේ සීමාව පැන්නා. ඒ නිසා මේක ලියලා දාන්න හිතුනා.

ගාෆීල්ඩ් කියන්නේ කම්මැලි, කෑදර පූසෙක් වටා ගෙතුන විකට කතාවක්. මේක මුලින් චිත්‍ර කතාවක් විදියට තමයි බිහි වුනේ. ඒ 1978 දී, ජිම් ඩේවිස් කියන ඇමරිකානු කාටූන් ශිල්පියා අතින්. පස්සේ මේ කතා ටෙලිවිෂන් එකටත් චිත්‍රපට ශාලාවටත් ගියා. 2008 දී, චිත්‍ර කතාවට වයස අවුරුදු 30ක් පිරෙද්දී, පරිගණකයෙන් නිර්මාණය කල රූප (Computer Generated Imagery ඒ කියන්නේ CGI) සහිත කතා මාලාවක් විදියට "The Garfield Show" කරලියට ආවා. ඒ ප්‍රංශයේ France3 ටෙලිවිෂන් චැනලය හරහා. දැන් එය රටවල් ගණනාවක ප්‍රංශ සහ ඉංග්‍රීසි බසින් ප්‍රචාරය වෙලා තියෙනවා.

මෙන්න ඉන්නවා ගාෆීල්ඩ්... තමන්ගේ අයිතිකාරයා ජෝන් ආර්බකල් සහ ස්ක්වීක් කියන මීයා සමඟ. පින්තූරය ගත්තේ මෙතනින්.



අපේ රටෙත් එක්තරා මාධ්‍ය ආයතනයක් ගාර්ෆීල්ඩ් පෙන්නන එක සතුටට කාරණයක්. හවසට ගෙදර හිටියොත් ටිකක් හිනා වෙන්න බලන්න හොඳ ෂෝ එකක් තමයි ඒක. මේ ආයතනයේ සිංහල ටෙලිවිෂන් චැනල් එකේ හවස 4.30ට සිංහල හඬ කවාපු කතාව යන අතර හවස 5 ට ඉංග්‍රීසි චැනල් එකේ ඉංග්‍රීසි කතාව යනවා. සිංහල හඬ කැවීම හොඳට කරලා තියෙන බව කියන්න ඕන.

ටිකක් හිනා වෙන්න කියලා මේ ෂෝ ඒක බලන්න ඉඳ ගත්තට පලක් නෑ. මොකද සිංහල චැනල් එකට හරියට පැය භාගෙන් ඒක ඉවර කරගන්න බෑ. මේක ඇත්තටම හරි විහිළුවක්. එයාලා හැම පැයකම අන්තිම විනාඩි 5 නිව්ස් කියන්න ගන්නවා. ගාෆීල්ඩ් ෂෝ එකේ ඒක කතාවක් විනාඩි 10ක්-11ක් වගේ වෙන්නේ. එතකොට විනාඩි 22ක්-23ක් යනවා කතා දෙකකට. නිව්ස් කියන්න විනාඩි 5ක් ගත්තම ඉතුරු වෙලාවේ වෙළෙඳ දැන්වීම් එහෙම දාලා කතාව පෙන්නන්න බැහැ. එතකොට එයාලා කරන්නේ එක්කෝ ඊළඟ පැයේ ටිකක් වෙලාව ඒකට අරගන්න එක. එතකොට ඊළඟ වැඩසටහන පරක්කු වෙනවා. ඊට පස්සේ ඊළඟ එකත් පරක්කු වෙනවා. ඒගොල්ලෝ කරන අනික් වැඩේ තමයි ෂෝ එකේ කතාව අඩුවෙන් පෙන්නන එක. මේක ඇත්තටම අදාළ චැනල් එකේ හවස වැඩසටහන් බැලීම එපා කරවන දෙයක්. අදත් මේ කට්ටිය එහෙම කලාම මම ටෙලිවිෂන් එක වහලා දැම්මා.

මෙතෙන්දි මට නම් මෙහෙම පොඩි ප්‍රශ්නයකුත් ඇති වෙනවා. මේ කතාවල අයිතිය තියෙන්නේ මේ ටෙලිවිෂන් චැනල් එකට නෙවෙයි නේ. එයාලා සිංහලෙන් හඬකවන්න අවසර ගන්න ඇති. ඒ වුනාට එයාලට කොටස් අඩුවෙන් පෙන්නන්න අවසර තියෙනවාද කියන එක නම් මම දන්නේ නෑ.

පැයකට වරක් නිව්ස් කියන එකම ටෙලිවිෂන් චැනල් එක මේ චැනල් එක නෙවෙයි නේ. අර හැමෝම බනින රාජ්‍ය මාධ්‍යවලත් ඒක කරනවා. නමුත් එයාලා ඔච්චර වෙලාවක් ඒ වෙනුවෙන් කන්නේ නෑ. අනික මේ උදවිය වැදගත් නිව්ස් එකක් කියනවා නම් කමක් නෑ. ගොඩාක් වෙලාවට නිව්ස් කියලා කියවන්නේ වැඩක් නැති එව්වා. සමහර වෙලාවට Breaking News කියලා පෙන්නන නිව්ස් දැක්කාම ටෙලිවිෂන් එක Break කරන්න නම් හිතෙනවා.

මට සැටලයිට් නැති නිසා BBC බලන්න බෑ. නමුත් මට මතකයි මීට අවුරුදු දහයකට විතර කලින්, අදාළ මාධ්‍යය ආයතනයටම අයිති ඉංග්‍රීසි චැනල් එකේ BBC පෙන්නුවා. එයාලා හැම පැයකම පළමු පැය භාගේ නිව්ස් කියනවා. නමුත් වෙනස් වැඩසටහනක් තියෙනවා නම් විනාඩි දෙකෙන් හෙඩ්ලයින් ටික කියලා වැඩසටහනට බහිනවා. වල් පල් කියවලා, නැත්නම් නිව්ස් එකට වඩා දිග තේමා වාදන දාලා වෙලාව කන්නේ නෑ.

කොහොම නමුත්, එයාලගේ වරද නිවැරදි කරගන්නකල් මම නම් ආයේ හවසට ගාෆීල්ඩ් ෂෝ එක බලන්නේ නෑ.

අද 12. 12. 12. ඉතින් මොකෝ?


අද 12. 12. 12. ඒ කියන්නේ අපේ ජීවිත කාලේ අපි බොහෝ දෙනෙක් දකින දිනය, මාසය සහ අවුරුද්ද එකම ඉලක්කම්වලින් ලියන්න පුළුවන් අන්තිම වතාව. ආයේ මෙහෙම දවසක් එන්නේ (ලෝක විනාශය වුනේ නැත්නම්) 2101. 01. 01. වෙනිදා. ඒ වෙනකොට ලෝක විනාශය වුනත් නැතත්, අපි බොහෝ දෙනෙක් මේ ලෝකේ ජීවතුන් අතර ඉන්න එකක් නෑ.

අද ආපහු නො එන දවසක් නිසා විවිධ මිනිස්සු විවිධ දේවල් කරනවා. සමහරු බය වෙලා ඉන්නවා භයානක දෙයක් වෙයි කියලා. එහෙම භයානක දේවල් වෙන්නේ අද වගේ දවස්වලට විතරද කියලා තමයි මට අහන්න වෙන්නේ. අපේ ජීවිත කාලේ දැකපු ලොකුම ස්වභාවික විනාශය තමයි 2004 දෙසැම්බර් සුනාමිය. ඒක උනේ ඔහොම දවසක නෙවෙයි. 2011 ජපානයට සුනාමිය ආවේ ඔහොම දවසක නෙවෙයි. ඇත්තටම අපි දන්නා ඉතිහාසයේ කවදාවත් 12.12.12 වෙච්ච දවසක භයානක විනාශයක් වෙලා නැහැ. ඉතින් මොකටද ඒ ගැන වද වෙන්නේ?

අනික් කාරණය, ඇත්තටම 12. 12. 12 කියන්නේ කවදද? කවුද එහෙම දවසක් හදාගෙන තියෙන්නේ? අද 12. 12. 12 වෙන්නේ අපි පාවිච්චි කරන ග්‍රිගොරියානු දින දර්ශනයට අනුව. මේ දින දර්ශනය හඳුන්වා දුන්නේ 1582 අවුරුද්දේ XIII වන ග්‍රෙගරි පාප්තුමා විසින්. ඒ වෙනකොට යුරෝපයේ පාවිච්චි වුන ජුලියස් සීසර් විසින් හඳුන්වා දී තිබුන ජුලියානු දින දර්ශනයේ තිබුන අවුරුද්දකට තත්ත්පර 11ක දෝෂය නිවැරදි කරන්න තමයි මේ වෙනස හඳුන්වා දුන්නේ. මේ කාලේ වෙනකොට දවස් එකොළහක දෝෂයක් වෙලා තිබුනා. ඒ නිසා අලුත් දින දර්ශනය මුලින්ම පාවිච්චි කරන්න පටන් ගත්තු රටවල් (ස්පාඤ්ඤය, පෘතුගාලය, පෝලන්ත-ලිතුවේනියානු පොදු රාජ්‍ය මණ්ඩලය සහ ඉතාලියේ බොහෝ ප්‍රදේශ) 1582 ඔක්තෝම්බර් 4 වෙනිදාට පස්සේ කෙලින්ම ඔක්තෝම්බර් 15 වෙනිදාට පැන්නා.

Portrait of Pope Gregory XIII (Drawn by Lavinia Fontana), ලැවීනියා ෆොන්ටානා විසින් අඳින ලද XIII වන ග්‍රෙගරි පාප්වහන්සේගේ ආලේඛය, Wikimedia Commons.



නමුත් පාප් වහන්සේට ආගමික කටයුතු ගැන මිසක සිවිල් කටයුතු ගැන බලයක් තිබුනේ නැහැ. එහෙම තිබුනේ ඔහු යටතේ පාලනය වෙච්ච පාප්වහන්සේගේ රාජ්‍යයන්වල පමණයි. ඒ නිසා අනෙක් රටවල් මේ දින දර්ශනය භාවිතා කිරීමට තීරණය කිරීම එකවරම වුනේ නෑ. ප්‍රංශය දෙසැම්බරයේදී මේ දින දර්ශනය භාවිතා කරන්න ගත්තා. අනෙක් රටවල් මෙය භාවිතා කරන්න පටන් ගත්තේ ඊටත් පස්සේ.

එතකොට අද අපි පාවිච්චි කරන දින දර්ශනය කතෝලික පල්ලියෙන් නිර්මාණය වෙච්ච එකක්. ඒ කාලේ ප්‍රොතෙස්තන්ත්‍ර රටවල් පවා මේ දින දර්ශනය එකවර පිළිගත්තේ නැහැ. නමුත් ඒ කාලේ ලෝකේ ප්‍රබලම රටවල් කිහිපය කතෝලික රටවල් වෙච්ච නිසා මේ දින දර්ශනය ලෝකේ බොහෝ රටවලට පැතිරුනා. ඒ නිසා අනික් රටවල්වලටත් මේ දින දර්ශනය පාවිච්චි කරන්න සිදු වුනා. එනමුත් අදටත් බොහෝ රටවල් වෙනත් දින දර්ශන පාවිච්චි කරනවා.

ජුලියානු කැලැන්ඩරය අදටත් ඔර්තඩොක්ස් ක්‍රිස්තියානි රටවල (ග්‍රීසිය, රුසියාව වගේ) භාවිතා වෙනවා. ඒ අනුව ඔවුන් සාමන්‍ය කටයුතුවලට ග්‍රිගොරියානු දින දර්ශනය පාවිච්චි කලාට ආගමික දින සමරන්නේ ජුලියානු දින දර්ශනය හැටියට. සවුදි අරාබියාව, ඉතියෝපියාව, ඉරානය, ඇෆ්ඝනිස්තානය වගේ ඇතැම් රටවල් තමන්ටම ආවේනික දින දර්ශන භාවිතා කරනවා. ඒ වගේම, තවත් බොහෝ රටවල දින දර්ශන දෙකක් හෝ ඊට වැඩි ගණනක් පාවිච්චි වෙනවා. ථේරවාදී බෞද්ධ ජනතාව බෞද්ධ දින දර්ශනය (බුද්ධ වර්ෂ ක්‍රමය) පාවිච්චි කරනවා. හින්දූන්ට වෙනම දින දර්ශන තියෙනවා. ජපානයේ ග්‍රිගොරියානු දින දර්ශනය එක්ක සාම්ප්‍රදායික දින දර්ශන දෙකක් පාවිච්චි වෙනවා. චීන ජාතිකයන්ටත් වෙනමම දින දර්ශනයක් තියෙනවා.

ග්‍රිගොරියානු කැලැන්ඩර් භාවිතා කරන රටවල පවා ඇතැම් විට වෙනස්කම් ඇති වෙනවා. 2011 දෙසැම්බර් 30 කියලා දවසක් සැමෝවා රාජ්‍යයටත් ටොකෙලාවු කියන කුඩා දූපත් සමූහයටත් තිබුනේ නෑ. ඔවුන් අන්තර්ජාතික දින රේඛාවෙන් හිටපු පැත්තෙන් අනිත් පැත්තට පැන්නා. ඒ තනිකරම ආර්ථික හේතු මත.

අද අපි පාවිච්චි කරන දින දර්ශනය යේසුස් වහන්සේගේ උපත අනුව නේ හදාගෙන තියෙන්නේ. නමුත් උන් වහන්සේ උපන්නේ ක්‍රිස්තු වර්ෂ 1 ජනවාරි 1 නෙවෙයි නේ. එතනත් නොගැලපීමක් තියෙනවා. යේසුස් වහන්සේ ඉපදිලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1 ට වසර කීපයකට පෙර බව පිළිගැනෙනවා. උන්වහන්සේ ඉපදුනේ දෙසැම්බර් 25 කියලා පවා පිළිගන්න සාධක නැහැ. ක්‍රිස්තු වර්ෂ ක්‍රමයත්, දෙසැම්බර් 25 නත්තලත් කියන දෙකම පසු කාලීනව හදා ගත්තු දේවල්. (මෙතනින් කියවන්න සමහර ක්‍රිස්තියානුවන් නත්තල සමරන්නේ නැත්තේ ඇයි? බ්ලොග් පෝස්ට් එක).

අන්තිමට කියන්න තියෙන්නේ, 12.12.12 කියන්නේ අපිම හදා ගත්තු දෙයක්. නැතුව බය වෙන්න දෙයක් නෙවෙයි. අපිම දිනයක් හදාගෙන අපිම එකට භය වෙනවා. එහෙම නැත්නම් ආයේ එහෙම එකක් එන්නේ නෑ කියලා සංගීත සංදර්ශන, සාද පවත්වනවා. FB status දානවා. අය්යෝ, අපි වගේ මැටි මෝල්ලු සෙට් එකක්!

Tuesday, December 11, 2012

සැප්තැම්බර් 11 වනදා ජාතික දිනය වන්නේ මොන රටේද?



සැප්තැම්බර් 11 වනදා අප අතර වඩාත්ම ප්‍රසිද්ධ වී ඇත්තේ 2001 වසරේ ඇමරිකා එක්සත් ජනපදයට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙන්. නූතන ලෝක ඉතිහාසයේ තවත් වැදගත් සිදුවීම් කීපයක් සැප්තැම්බර් 11 වෙනිදා සිදු වී තියෙනවා. සැප්තැම්බර් 11 ජාතික දිනයක් වන රටක් තියෙනවාද කියන කරුණ හොයන්නට හිතුනේ මෑතකදී වූ සිද්ධීන් කීපයක් නිසා. නමුත් එහෙම රටක් නම් නැති බව දැනගන්නට ලැබුනා.

ජාතික දිනය සැප්තැම්බර් 11 සමරන රටවල් පිලිබඳ හොයන්නට හේතු වූයේ ස්පාඤ්ඤයේ කැටලෝනියා ප්‍රාන්තයේ පසුගිය මාස කිහිපය තුල සිදු වූ විපර්යාසයන් හේතුවෙන්. කැටලෝනියාව වෙනමම රාජ්‍යයක් බවට පත් වියයුතුය යන අදහස මේ වනවිට වෙනදාට වඩා ප්‍රබලව නැගෙමින් පවතිනවා. යම් විධියකින් හෝ කැටලෝනියා ප්‍රාන්තය එසේ ස්වෛරී රාජ්‍යයක් බවට පත්වුනොත් එරට ජාතික දිනය සැප්තැම්බර් 11 වනු ඇති.

The senyera, a flag of Catalonia, and also used by several lands and municipalities of the ancient Crown of Aragon, සෙන්යෙරා නමින් හඳුන්වන කැටලෝනියානු ධජය. පැරණි අරගොන් රාජධානියට අයත්ව තිබූ වෙනත් ප්‍රදේශ සමහරකද භාවිතා වේ. Martorell, Wikimedia Commons



ස්පාඤ්ඤයේ ස්වතන්ත්‍ර පාලන ප්‍රදේශයක් වන කැටලෝනියාවේ විශාලත්වය වර්ග කිලෝමීටර 32,114ක් වන අතර ජනගහනය මිලියන 7.5ක්. එය ස්පාඤ්ඤ ජනගහනයෙන් සියයට 16ක් වෙනවා. මෙයින් මිලියන 1.6ක් ජීවත් වන්නේ කැටලෝනියාවේ විශාලතම නගරය වන සුප්‍රසිද්ධ බාර්සිලෝනාවේ. මෙම ප්‍රාන්තයේ මිලියන 6ක පමණ ජනතාවක් කැටලෝනියානු භාෂාව කතා කරනවා. මීට අමතරව වැලෙන්සියාව, බැලියරික් දූපත් ආදී ස්පාඤ්ඤ ප්‍රදේශවලද, කැටලෝනියාවට යාබද ප්‍රංශ ප්‍රදේශවලද එම භාෂාව කතා කෙරෙන අතර කුඩා රාජ්‍යයක් වන ඇන්ඩෝරා රාජ්‍යයේ භාෂාව කැටලෝනියානු වනවා.

කැටලෝනියා ජාතික දිනය ලෙස සැප්තැම්බර් 11 සැලකීම ආරම්භ වුනේ 1980 දී. මීට ශතවර්ෂ තුනකට පෙර, 1714 සැප්තැම්බර් 11 වනදා, ස්පාඤ්ඤ සිහසුන පිලිබඳ යුද්ධයේදී, බුර්බන් හමුදා ප්‍රහාර හමුවේ බාර්සිලෝනා නගරය බිඳ වැටීම සිහි කිරීමට, එදින කැටලෝනියානු ජාතික දිනය ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුනා.

කැටලෝනියා ප්‍රාන්තයේ මේ වනවිට "කැටලෝනියා ජාතිකවාදය" වනදාටත් වඩා ඉස්මතු වෙමින් පවතිනවා. පසුගිය ශතවර්ෂය මුළුල්ලේ එම තත්ත්වය දක්නට ලැබුනා. 1930 දශකයේ එම ප්‍රදේශයට ස්වයං පාලන අයිතීන් ලැබුන නමුත් ස්පාඤ්ඤ සිවිල් යුද්ධය අවසන් වී ජෙනරාල් ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රැන්කෝ බලයට පැමිණීමත් සමඟ ඒ අයිතීන් අහෝසිකොට කැටලෝනියානු ජාතිකවාදීන් මර්ධනය කෙරුනා. නැවත කටලොනියාවට ස්වයං පාලන අයිතීන් ලැබුනේ 1978 වසරේදී ස්පාඤ්ඤයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වීම සමඟයි. කෙසේ වුනත් අදටත් කැටලෝනියානු ජාතිකවාදය ප්‍රබල සංකල්පයක්. විවිධ ජනමත විමසුම් විවිධ ප්‍රතිඵල පෙන්නුම් කලත්, ප්‍රාන්තයේ සමස්ත ජනගහනයෙන් අඩක් පමණ කැටලෝනියානු ජාතිකවාදයට සහය පල කරන බව පෙනෙන්න තියෙනවා. මෙයින් ඇතැමුන් වඩා වැඩි ස්වයං පාලනයක් ඉල්ලා සිටින අතර අනෙක් ජාතිකවාදීන් පූර්ණ නිදහස බලාපොරොත්තු වෙනවා.

Map of Spain with Catalonia highlighted. කැටලෝනියා ප්‍රාන්තයේ පිහිටීම දක්වන ස්පාඤ්ඤ සිතියම, Mutxamel, Wikimedia Commons



භාෂාවෙහි ඇති වෙනස්කම හේතුවෙන් ස්පාඤ්ඤයෙන් තම ප්‍රදේශය වෙනස් බව විශ්වාස කල කැටලෝනියානු ජාතිකවාදී මතය බොහෝ කලක් මුළුල්ලේ පැවතෙන්නක් වුනත් එයට මෑතකදී වැඩි ජනප්‍රියතාවක් ලැබී තිබෙනවා. මීට මූලික හේතුව වන්නේ ආර්ථික අවපාතයයි. යුරෝපයට බලපෑ ආර්ථික අවපාතයෙන් දරුණු ලෙස බැට කෑ රටවල් අතරට ස්පාඤ්ඤයත් ඇතුලත් වෙනවා. මෙය කටලොනියාවටත් බලපා තිබෙනවා. කැටලෝනියානු ජාතිකවාදීන් පවසන්නේ මීට වගකිව යුත්තේ ස්පාඤ්ඤ මධ්‍යම රජය බවයි. සමස්ථ ස්පාඤ්ඤය සමඟ සැසඳූ විට කැටලෝනියා ප්‍රාන්තය සාපේක්ෂව පොහොසත් ප්‍රදේශයක්. මධ්‍යම රජයට ලැබෙන බදු ආදායමෙන් සියයට 20ක් ලැබෙන්නේ මුළු ජනගහනයෙන් සියයට 16ක් වසන කැටලෝනියා ප්‍රදේශයෙන්. නමුත් මධ්‍යම රජය කැටලෝනියාව වෙනුවෙන් වියදම් කරන්නේ මුළු වියදමෙන් සියයට 14ක් පමණයි.

මේ තත්ත්වය යටතේ තමයි 2012 සැප්තැම්බර් 11 වනදා කැටලෝනියා වැසියන් මිලියන 1.5ක් සිය ජාතික දිනය සැමරීමට බාර්සිලෝනාවට එකතු වුනේ. ඒ වඩා වැඩි ස්වයං පාලන අයිතිය හෝ පූර්ණ නිදහස හෝ ඉල්ලා සිටීමටයි. කැටලෝනියානු ජනගහනයෙන් පහෙන් එකක් එසේත් නැත්නම් බාර්සිලෝනා නගරයේ ජනගහනයට ආසන්න ජනකායක් මෙසේ ජාතිකවාදී රැලියකට එක් වීම තුලින් කැටලෝනියාව යන්නේ කොයිබටද කියන කරුණ පැහැදිලියි.

කැටලෝනියා ප්‍රාන්තයේ ජනාධිපති ආතර් මාස්, මූල්‍ය කටයුතුවලදී හෝ කැටලෝනියා ප්‍රදේශයට වැඩි නිදහසක් දෙන ලෙස මධ්‍යම රජයෙන් ඉල්ලා සිටියා. නමුත් එය අසාර්ථක වූ තැන ඔහු සැප්තැම්බර් 25 වනදා කැටලෝනියා ව්‍යවස්ථාදායකය විසිරුවා හැර නව ඡන්ද විමසීමක් කැඳෙව්වා. මෙයින් ඔහු බලාපොරොත්තු වුනේ ජාතිකවාදී රැල්ල මත නැග, තම පක්ෂයට ජයග්‍රහණය අත් කරදීම. නමුත් සිදු වූයේ අනෙකක්. ආතර් මාස් බලාපොරොත්තු වූ පරිදිම වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබුනේ ජාතිකවාදීන්ට. ඒත් ඔහුගේ Convergence and Unity (CiU) පක්ෂයට බහුතර ආසන සංඛ්‍යාවක් හිමි වුනේ නැහැ. ඊට වඩා දැඩි ජාතිකවාදී කණ්ඩායම්වලට සැලකියයුතු ආසන ප්‍රමාණයක් ලැබුනා. ආතර් මාස්ගේ පක්ෂය ආසන 50ක් දිනාගනිද්දී, කැටලෝනියා සමූහාන්ඩුවාදී වාමාංශික පක්ෂය (ERC) ආසන 21ක් දිනා ගත්තා. මීට පෙර මාස්ගේ පක්ෂය ආසන 62ක් හිමි කරගෙන සිටියදී ERC පක්ෂය සතුව පැවතියේ ආසන 10ක් පමණයි. මේ අතර මුළු ආසන 135න් 87ක්, එනම් ආසන්න වශයෙන් 2/3ක් දිනා ගත්තේ (මාස්ගේ පක්ෂය සහ ERC පක්ෂයද ඇතුලත්ව) කැටලෝනියා ස්වාධීනත්වය පිලිබඳ ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව සඳහන් කරන පක්ෂ හතරක් අතරෙයි.

කෙසේ වුනත් කැටලෝනියාව ස්වාධීන රාජ්‍යයක් බවට පත් වීම ස්පාඤ්ඤ මධ්‍යම රජයේ අනුමැතියකින් තොරව සිදු විය නොහැකියි. ඒ වගේම දැන් පවතින ආර්ථික අවපාතය පහව ගියාට පස්සේ කැටලෝනියානු ස්වාධීනතාවයට දැන් තරම් සහයක් ලැබෙයිද කියන එකත් සැක සහිතයි. බොහෝ විට මේ ජාතිකවාදී රැල්ල, දේශපාලන ලෝකයේ තවත් එක රැල්ලක් පමණක් වීමට ඉඩ තියෙනවා.

Monday, December 10, 2012

හමාස් නායකයාගේ ගාසා ගමන


හමාස් සංවිධානයේ දේශපාලන අංශයේ නායක කාලෙඩ් මෙෂාල් පසුගියදා පලස්තීනයේ ගාසා තීරයට පැමිණියේය. වයස අවුරුදු එකොළහේදී පලස්තීනයෙන් පිටව ගිය පසු මෙෂාල් මෙසේ යලි පැමිණියේ වසර 45ක දීර්ඝ කාලයකට පසුවය. මෙම ගමනේ මූලික අරමුණ වූයේ, හමාස් සංවිධානයේ 25 වන සංවත්සරය උළෙලට සහභාගී වීමය.

Khaled Meshaal in a meeting with Spanish journalists. (January 20, 2009) Photo by: Trango, Wikimedia Commons

බටහිර ඉවුරේ රමල්ලා නගරයට උතුරින් පිහිටි සිල්වාඩ් නම් නගරය 6,000ක පමණ ජනගහනයෙන් යුතු කුඩා නගරයකි. මෙම නගරයේදී 1956 මැයි 28 වනදා කාලෙඩ් මෙෂාඩ් උපත ලැබීය. 1967 වසරේ සය දින යුද්ධයෙන් පසු ඔහුගේ පියා සිය පවුල සමඟ කුවේටයට සංක්‍රමණය විය. මෙසේ කුඩා අවධියේම උපන් බිම හැරගිය මෙෂාල් කුවේටයේදී ද්වීතීයික අධ්‍යාපනය හදාරා කුවේට් සරසවියට ඇතුළුව, විද්‍යාවේදී උපාධියක් ලැබීය. තරුණ කාලයේම දේශපාලනය සම්බන්ධ වූ මෙෂාල් 1987 දී හමාස් සංවිධානය පිහිටවනු ලැබූ දින සිට එහි සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි. 1991 ගල්ෆ් යුද්ධය වෙනතුරු කුවේටයේ රැඳී සිටි මෙෂාල්, ඉනික්බිති ජෝර්දානයට ගියේය. 1997 වසරේදී ඔහු ඝාතනය කිරීමට ඊශ්‍රායලයේ මොසාඩ් රහස් ඔත්තු සේවය විසින් කරන ලද උත්සාහයකින් ඔහු ගැලවුනේ ජෝර්දානයේ හුසේන් රජුගේ මැදිහත් වීමෙනි. 1999 වසරේදී, හුසේන් රජුගේ අභාවයෙන් පසු සිහසුනට පත් දෙවන අබ්දුල්ලා රජු හමාස් සංවිධානය තහනම් කල අතර, මෙෂාල් එරටින් පිටව කටාරයට පැමිණියේය. 2001 සිට දශකයක කාලයක් මෙෂාල් ජීවත් වූයේ සිරියාවේය. මේ අතර 2004 වසරේදී අබ්දුල් අසීස් අල්-රන්තිසි ඝාතනය වූ පසු හමාස් සංවිධානයේ ප්‍රධානතම නායකයා බවට මෙෂාල් පත් විය. 2011 වසරේදී සිරියානු රජය විවේචනය කරමින් ඔහු එරටින් පිටව ආවේය. දැනට ඔහු කටාර් සහ ඊජිප්තුව යන රටවල දිවි ගෙවයි.
Silwad from Ofra, ඔෆ්‍රා (බටහිර ඉවුරේ යුදෙව් ජනාවාසයකි) සිට සිල්වාඩ් පෙනෙන අයුරු, March 4, 2011, Jacob, Wikimedia Commons

හමාස් සංවිධානයේ 25 වන සංවත්සරය යෙදී තිබුනේ දෙසැම්බර් 14 වනදාට වුවද, පලස්තීන පළමු ඉන්ටිෆාඩාව සිහි කිරීමක් ලෙස සංවත්සර ජන රැලිය ඊට දින හයකට පෙර 2012 දෙසැම්බර් 8 වනදා පවත්වන ලදී. පලස්තීන පළමු ඉන්ටිෆාඩාව (ජනතා නැගිටීම) ආරම්භ වූයේ හමාස් සංවිධානය බිහිවීමට දින කිහිපයකට පෙරය.

හමාස් නායකයා දැක ගැනීමේ අටියෙන් එක්රැස්වුණු, හරිත වර්ණ හමාස් ධජ රැගත් ආධාරකරුවන්ගෙන් ගාසා නගරයේ කටිබා චතුරශ්‍රය අතුරු සිදුරු නැතිව පිරී ගියේ රැලිය පටන් ගැනීමටත් පෙරය. ජන රැලිය සඳහා වේදිකාවේ යෙරුසලමේ ඉපැරණි පවුරෙහි ආකෘතියක්ද, M-75 රොකටයක ආකෘතියක්ද විය. පලස්තීන අගමැති සහ හමාස් සාමාජික ඉස්මයිල් හනියේ සමඟ හමාස් නායක කාලෙඩ් මෙෂාල් වේදිකාවට ආයේ එම රොකටය තුල සිටය. රොකටයෙහි ඉංග්‍රීසියෙන් "Made in Gaza" යනුවෙන් ලියා තිබෙනු දැකිය හැකි විය.

මෙෂාල් සිය ආධාරකරුවන් අමතමින් ඉතාමත් ආවේගශීලී කතාවක් පැවැත්වීය. මෙහිදී හමාස් සංවිධානය වසර 25ක ඉතිහාසය මුළුල්ලේ දැරූ මතවාදයෙහි වෙනසක් පල නොවීය. හමාස් සංවිධානය ඊශ්‍රායලය විනාශ කිරීම සඳහා සන්නද්ධ අරගලයට දිගටම කැප වී සිටින බව ඔහු මෙහිදී ප්‍රකාශ කළේය. වේදිකාව මත වූ රොකටයෙන්ද සංකේතවත් කරන්නට ඇත්තේ එම සන්නද්ධ අරගලයය. "ගංගාවේ සිට සයුරටද, උතුරේ සිට දකුණටද, සමස්ථ පලස්තීනයම අපගේ භූමියය. ඉන් එකදු බිම් අඟලක්වත් අහිමි වනු දැකීමට අප සූදානම් නැත," යනුවෙන් මෙෂාල් ගාසා වැසියන් හමුවේ ප්‍රකාශ කළේය. (මෙහිදී ඔහු ගංගාව ලෙස හඳුන්වන ලද්දේ ජෝර්දාන් ගඟයි).

"ඊශ්‍රායලය විසින් පලස්තීනය අල්ලාගෙන සිටීම අපට පිළිගැනීමට නොහැක. ඊශ්‍රායලයේ එම ක්‍රියාව නීති විරෝධීය. එහෙයින් ඊශ්‍රායලයද, කොපමණ කලක් පැවතුනද, නීති විරෝධී ලෙස පවතින රටකි," යනුවෙන් මෙෂාල් වැඩිදුරටත් අදහස් දැක්වීය. (ඊශ්‍රායලය පිහිටුවා තිබෙන්නේ මෙෂාල් විසින් හඳුන්වා දෙන පලස්තීන භූමිය තුලය). "පලස්තීනයට, එනම් සම්පූර්ණ පලස්තීනයට, විමුක්තිය දිනා ගැනීම අපේ වගකීමකි, අයිතියකි, බලාපොරොත්තුවකි" යයි ඔහු පැවසීය.

වේදිකාව මත යෙරුසලමේ ඉපැරණි පවුරෙහි ආකෘතියක් ගොඩ නගා තිබුනේ පලස්තීනුවන් යෙරුසලම පූජනීයත්වයෙන් සලකන බැවිනි. මෙෂාල් යෙරුසලම නිදහස් කරගැනීම පිළිබඳව වෙනමම අදහස් දැක්වීය. "අපි අඟලෙන් අඟල, ගලෙන් ගල බැගින් ඉස්ලාමීය සහ ක්‍රිස්තියානි පූජනීය ස්ථාන නිදහස් කර ගන්නවා" යන්න ඔහුගේ අදහස විය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පලස්තීනයට නිරීක්ෂක රාජ්‍යය තත්ත්වය ලබා දීම පිලිබඳ සිය අදහස් දක්වමින් මෙෂාල් ප්‍රකාශ කලේ එය ඉතා කුඩා නමුත් වැදගත් පියවරක් බවය. නමුත් නියම පලස්තීන රාජ්‍යයක් බිහිවනු ඇත්තේ විමුක්තිය දිනාගැනීම තුලින් මිස සාකච්ඡා මාර්ගයෙන් නොවන බව ඔහුගේ අදහස විය. රාජ්‍ය තාන්ත්‍රික උපක්‍රමයන්ගෙන් විමුක්ති අරගලයට උපකාරයක් ලැබුනද, එයට නියම වටිනාකමක් ලැබෙන්නේ සන්නද්ධ අරගලය තුලින් බව හමාස් නායකයාගේ මතය විය.

කාලෙඩ් මෙෂාල් මෙම ප්‍රකාශයෙන් විවේචනය කලේ පලස්තීන පාලන අධිකාරියේ ජනපති මහමුද් අබ්බාස්ය. අබ්බාස් රාජ්‍යතාන්ත්‍රික ක්‍රම තුලින් පලස්තීනයට නිදහස ලබා ගැනීමට වෙහෙසෙන්නෙකි. හමාස් සංවිධානය මෙන් නොව අබ්බාස්ගේ ෆටා සංවිධානය "රාජ්‍ය දෙකේ විසඳුමට" සහය පල කරයි. එනම්, බටහිර ඉවුර (නැගෙනහිර යෙරුසලම ඇතුළුව) සහ ගාසා තීරය ඇතුලත් පලස්තීනය සහ ඊශ්‍රායලය යනුවෙන් රාජ්‍ය දෙකක් පැවතීමයි. හමාස් සංවිධානය ඊශ්‍රායලය නීති විරෝධී රාජ්‍යයක් ලෙස සලකයි.

කෙසේ වුවද, විමුක්ති අරගලයේ අතරමැදි සන්ධිස්ථානයක් වශයෙන් එම ප්‍රදේශ දෙක ඇතුලත් පලස්තීනයට අන්තර්ජාතික පිළිගැනීම ලබා ගැනීම පිළිබඳව හමාස් සංවිධානය විරුද්ධත්වයක් පල කරන බවක් නොපෙනේ. පසුගිය වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල පලස්තීන රාජ්‍යය පිලි ගැනීම සඳහා මහමුද් අබ්බාස් කල රාජ්‍යතාන්ත්‍රික අරගලය හමාස් සංවිධානයේ විවේචනයට බඳුන් වුවද, මෙවර එම සංවිධානය අබ්බාස්ගේ වැඩ පිළිවෙල විවේචනය කලේ නැත. හමාස් සංවත්සර රැලියේදී මෙෂාල් විසින් පලස්තීන රාජ්‍යය නිරීක්ෂක රාජ්‍යයක් ලෙස පිලි ගැනීම "කුඩා වුවත් වැදගත් පියවරක්" ලෙස හැඳින්වීමෙන්ද එය පැහැදිලි වේ.



මූලාශ්‍ර

1. Joel Greenberg, Hamas leader Khaled Meshal says group will never recognize Israel, Washington Post, Dec. 09, 2012.

2. Steven Erlanger, Leader Celebrates Founding of Hamas with Defiant Speech, New York Times, Dec. 08, 2012.

3. Al Jazeera English, Meshaal Speech Marks 25 Years of Hamas, Dec 08, 2012.

Thursday, December 6, 2012

සසර ගමෙනේ ඉපිද මැරෙන අපි


මේ පුංචි ජීවිත කාලෙට

කොච්චර නම්

මළගෙවල්වල ගිහින් තියෙනවාද?

අපිත් එක්ක හිටපු මිනිසුන්

සුසාන භූමිවල

අවසන් ගමන් යනවා දැකලා තියෙනවාද?

මේ මුළු සසරේ

කොතෙක් අපි එහෙම දැකලා තියෙනවාද?



මා මැරුණම

මගේ මළගමට එන කෙනෙකුටත්

මේ ටිකම හිතෙන්නට බැරි නෑ.

ඒත් ඔහුට මතක් වෙයිද

මේ සසර ගමනේ

කොතෙක් වරක්

තමන් මියගොස් ඇතිද කියලා..

Wednesday, December 5, 2012

පණ්ඩිත් අමරදේවයනි, ඔබට සුබ උපන්දිනයක්!


හෙළයේ මහා ගාන්ධර්වයා ලෙස විරුදාවලිය ලැබූ පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේවයන්ගේ 85 වන උපන්දිනය අදට, එනම් 2012 දෙසැම්බර් 05 වැනි දිනට යෙදී තියෙනවා. 1927 දෙසැම්බර් 05 වනදා, මොරටුව කොරළවැල්ලේ ඉපදුන වන්නකුවත්තවඩුගේ දොන් ඇල්බට් පෙරේරා, දරුවන් හය දෙනෙකුගේ පවුලක බාලයා වුනා. ඔහුගේ දෙමව්පියන් නිසා කුඩා ඇල්බට් පෙරේරාට යම් සංගීත ආභාෂයක් ලැබුනා. කතෝලික කාන්තාවක වූ ඔහුගේ මව, මැගී වෙස්ලිනා මෙන්ඩිස්, පල්ලියේ ගීතිකා කණ්ඩායමේ සාමාජිකාවක ලෙස කලක් කටයුතු කොට තිබෙනවා. බෞද්ධයකු වූ ඇල්බට් පෙරේරාගේ පියා, දොන් ගිනෝරිස් පෙරේරා, මොරටුවේ ප්‍රසිද්ධම රැකියාවේ, එනම් වඩු කර්මාන්තයේ, නියැළුන කෙනෙක්. ඔහුගේ වඩු මඩුවේ හැදෙන විවිධ භාණ්ඩ අතර වයලීනත් තිබුනා. පුංචි ඇල්බට් පෙරේරා වයලීනය ඉගෙන ගන්නට අත් පොත් තැබුවේ පියාගේ වඩු මඩුවෙන්. එසේම සංගීත ගුරුවරයෙකු වූ ඔහුගේ වැඩිමහල් සොහොයුරෙක් ඇල්බට් පෙරේරාට කුඩා කාලයේදීම ඉන්දියානු සංගීතය ඉගැන්වූවා. 1980 ගණන්වල 'කල්පනා' සඟරාව වෙනුවෙන් අමරදේවයන් ගැන දීර්ඝ විශේෂාංග ලිපියක් ලියූ ප්‍රවීන මාධ්‍යවේදී පාලිත සිල්වා මහතා ඔහුව "වඩු මඩුවෙන් බිහිවූ සංගීතඥයා" ලෙස හඳුන්වා දීම ඉතා යෝග්‍ය වන්නේ මේ කරුණු නිසයි.

Photograph (Cropped) of acclaimed Sri Lankan Vocalist and Musical Composer,Pandith W. D. Amaradeva (පණ්ඩිත් ඩබ්ලිව්.ඩි.අමරදේව), Mr Anuradha Ratnaweera (අනුරාධ රත්නවීර මහතා), Wikimedia Commons

මේ ලිපියේ අරමුණ අමරදේවයන්ගේ ජීවිත කතාව ලිවීම නොව ඔහු පිලිබඳ කුඩා සටහනක් තැබීමයි. මේ සඳහා ඉහත කී 'කල්පනා' සඟරාවේ පලවූ ඇතැම් කරුනුත්, වෙනත් මා අසා ඇති හා දැක ඇති කරුනුත් දායක කරගන්නවා. අවාසනාවකට වගේ පාලිත සිල්වා මහතාගේ ලිපිය පලවූ 'කල්පනා' සඟරාව දැන් මගේ ළඟ නැහැ.

අමරදේවයන් ලංකාවේ දෙවැනි කතා නාද චිත්‍රපටය වූ අසෝකමාලා චිත්‍රපටයේ ගවුස් මාස්ටර්ගේ සහය සංගීත අධ්‍යක්ෂක වුනා. ඒ වගේම එහි ඔහු තවුසේක්ගේ චරිතයක් රඟපෑවා නේ. ඒ අනුව දැනට අපේ චිත්‍රපට වංශකතාවේ ජීවතුන් අතර ඉන්න පරණම නළුවා අමරදේවයි. එහිදී ඔහු තවුසා ලෙස රංග පාමින් කියූ "ඇයි කලේ යමෙක් ආලේ" ගීතය මෙතනින් අහන්න පුළුවන්.

අසෝකමාලා චිත්‍රපටය තිරගතවන සමයේ අමරදේව කියන නම භාවිතයට ඇවිත් තිබුනේ නෑ. එතකොට මේ සංගීතකාරයා සහ නළුවා රසිකයින් හඳුනා ගත්තේ W . D. ඇල්බට් පෙරේරා යන නමින්. ඔහුට අමරදේව කියන නම දැම්මේ 1950 ගණන්වලදී මහාචාර්ය සරච්චන්ද්‍රයන් විසින්. මේ ගැනත් එක්තරා කතාවක් තියෙනවා. අමරදේව මහතා කාර්යබහුල වෙනකොට ඔහුව කිසි වැඩකට අල්ලා ගන්නට ලෙහෙසි වෙලා නැහැ. ඒ නිසා සරච්චන්ද්‍රයන් පස්සේ කාලෙක ඔහුට අල්ලා ගැනීමට අමාරු කියන අදහසින් "අමාරුදේව" කියලත් නමක් පට බැන්දාලු.

කොහොම වුනත් පසු කාලයක සරච්චන්ද්‍රයන් විසින් අමරදේවයන් තදින්ම විවේචනය කරන්නට යෙදුනා. ඒ 1977 මැතිවරණය සමයේ එක්සත් ජාතික පක්ෂ වේදිකාවල ගීත ගායනය සම්බන්ධයෙන්.

මේ කියන සිදුවීම සිදු වෙලා තියෙන්නේ මම හිතන්නේ 1960 දශකයේ අග භාගයේ. කොළඹ ප්‍රධාන පාසලක (නාලන්දය වගෙයි මතක) ප්‍රසංගයක් සඳහා අමරදේව ආවලු. එතකොට එතන හිටපු ඇතැම් කොල්ලන් ඔහුට හූ කියන්නට පටන් ගත්තාලු. අමරදේව සංගීතය නැතිව එක ස්වරයක් වාදනය වෙද්දී ගීතයක් ගායනය කලාලු. හූ කියපු අය මීයට පිම්බා වගේ අහගෙන උන්නාලු. ඒ වගේ තනි ස්වරයක් වාදනය වෙද්දී ගයන, එච්චර ඇහෙන්නේ නැති සින්දුවක් තියෙනවා. 1967 "රන් සළු" චිත්‍රපටයට ගායනා කල, මහගම සේකර ලියූ "සිරිපා පියුමේ-රොන් සුනු තැවරී" ගීතය. (මෙතනින් අහමු)

මහගම සේකර-අමරදේව සුසංයෝගය එක්තරා කාලයක් රටම අමන්දානන්දයට පත් කරපු ඇති සාර්ථක එකමුතුවක්. අදටත් අපි රස විඳින බොහෝ ගීත ඒ තුලින් බිහි වුනා. ඒ නිසා තමයි සමහරුන් කිව්වේ, මහගම සේකරයන්ගේ අකල් මරණයත් සමඟ අමරදේව නම් සංගීතකාරයාත් මිය ගියා කියලා. නමුත් මම නම් එහෙම කියනවාට අකමැතියි. එය අමරදෙවටත් ලංකාවේ අනෙක් ගීත රචකයන්ටත් කරන නිගරුවක්. අමරදේවයන් විසින් ගායන කල අනෙකුත් ගීත රචකයන්ගේ ගීතත් අපි අතර රැඳී තියෙනවා. කේ. ඩී. කේ. ධර්මවර්ධන (කුමරියක පා සළඹ), ඩෝල්ටන් අල්විස් (සසර වසන තුරු), මඩවල එස්. රත්නායක (මින්දද හී සර), චන්ද්‍රරත්න මානවසිංහ (මහ බෝ වන්නම) එවැනි ගීත රචකයන් සඳහා උදාහරණ වෙනවා. නමුත් සේකරගේ මරණයෙන් අමරදේවගේ සංගීත ජීවිතයට ලොකු අඩුවක් වුන බව අවිවාදයෙන් පිළිගත යුතුයි.

සසර වසන තුරු ගීතය රූපවාහිනියේ යනකොට අමරදේවගේ දෑත් චලනය වෙන හැටි ගැන අපේ යාලුවෙක් දවසක් විහිළු කළා. ඒ ගීතයේ "තිසා වැවයි-සීගිරියයි" කියන පද පෙලේ, තිසා වැවයි කියනකොට අමරදේවගේ අත් උඩට යනවාලු. සීගිරියයි කියද්දී පහලට එනවාලු. එතකොට වැව තියෙන්නේ අහසේ. කන්ද තියෙන්නේ බිම. ඉතින් දවසක් මම වැඩේ ඇත්තද කියලා ටෙලිවිෂන් එකේ සින්දුව යනකොට බලන් හිටියා. මාර වැඩේ! කතන්දරේ ඇත්ත!

ඒ කොහොම වුනත් අමරදේවයන් දෙස් විදෙස් සම්මානයන්ගෙන් පිදුම් ලැබුවා. ඒ අතර 2001 දී මැග්සේසේ සම්මානය ලැබීම විශේෂයි. මේ සම්මානය ඔහු පිලිපීනයේ එවකට ජනාධිපතිවරිය වූ ග්ලෝරියා අරෝයෝ මැතිනිය අතින් ලබා ගන්නා විට කෙතරම් සතුටට පත් වූවාදැයි අපි ටෙලිවිෂන් තිරයෙන් දුටුවා. අමරදේවයන්ගේ රසිකයන් විදියට අපිත් බොහොම සතුටු වුනා. එත් එතුමා ලංකාවට ආවට පස්සේ වුනේ මහ විහිළුවක්. ඔහු වෙනුවෙන් ජාතික රූපවාහිනිය පැයක හරි පැය එකහමාරක හරි වැඩසටහනක් විකාශය කළා. මමත් ඒක බලන්න ඉඳ ගත්තා. මෙන්න බොලේ ඒකට තව කෙනෙක් ඇවිත්. ඒ ප්‍රවීන කලාකාරයෙකු වුන තිස්ස අබේසේකරයන්. එතනින් පස්සේ වැඩසටහන මෙහෙයෙව්වේ තිස්ස අබේසේකර. ඔහු ඒක තනිකර ශාස්ත්‍රීය පැත්තට ගෙනිච්චා. මට නම් මෙලෝ භූතයක් තේරුනේ නෑ. ප්‍රශ්න අහන්නෙත් ඔහු, වෙලාවකට උත්තර දෙන්නෙත් ඔහු. ඇත්තටම ඔහුට සින්දු කියන්න පුළුවන්කම තිබුනා නම් කෙනෙක්ට හිතෙන්නත් පුළුවන් ඔහුටයි මැග්සේසේ සම්මානය ලැබුනේ කියලා. එදා මට තිස්ස අබේසේකර කියන ප්‍රවීන කලාකාරයාව හොඳටම එපා වුනා.

ඒ වුනත් පණ්ඩිත් අමරදේවයන් නම් අපට එපා වෙන්නේ නෑ. ඔහුගේ ගීත අපි එදත් ඇහුවා, අදත් අහනවා, හෙටත් අහවි. හෙළයේ මහා ගාන්ධර්වයානෙනි, ඔබට සුබ උපන්දිනයක් වේවා!

Tuesday, December 4, 2012

නාලක ගුණවර්ධනගේ "සිවුමංසල කොලුගැටයා"



නාලක ගුණවර්ධන විසින් රචිත "සිවුමංසල කොලුගැටයා" පොත මට ලඟදි කියවන්නට ලැබුන වැදගත්ම සිංහල පොතක් කියල කියන්න පුළුවනි. නාලක 2011 පෙබරවාරියෙ ඉඳන් 2012 පෙබරවාරිය වෙනකල් "රාවය" පුවත්පතට ලියපු තීරු ලිපි 52කින් 44ක් මේ පොතේ අඩංගු වෙනවා. රාවය ප්‍රකාශනයක් විදියට එළිදක්වපු මේ පොත කියවපු මම නොදැන සිටි, ඒත් අනිවාර්යයෙන්ම දැනගත යුතු බොහෝ දේ දැනගත් බව කියන්න ඕන. මේ පොත කියවද්දී මට හිතුන දෙයක් තමයි "සිවුමංසල කොලුගැටයා" ලිපි පෙළ මීට වඩා සමාජය තුලට යා යුතුයි කියන එක.

නාලක ගුණවර්ධන, Nalaka Gunawardene, photo by Sasha Kralje-Dec. 2007.



නමුත් සිංහල පුවත්පත් බොහොමයක, විශේෂයෙන්ම ටිකක් පරණ, ප්‍රසිද්ධ පුවත්පත්වල, තියෙන්නේ දැඩි අධිපතිවාදයක්. එව්වට අරක් ගෙන ඉන්න ටික දෙනෙක් විසින් එම පුවත්පත් පාලනය කරනවා. අද එව්වයේ ලියන 'ලේඛකයෝ' ලියන ලිපි දිහා බැලුවම ඇති වෙන්නේ දුකක්. අද ඒ සමහර පත්තරවල වෙළෙඳ දැන්වීම් ඇරුනම ගත යුත්තක් නෑ. මීට අවුරුදු කීපයකට කලින් තිබුන 'කොලිටියවත්' දැන් ඒ පුවත්පත්වල නෑ. නිකන් කඩදාසි ගොන්නක් විතරයි. පහුගිය අවුරුදු පහ හය තුල පටන් ගත්තු ඇතැම් පුවත්පත් මීට වැඩිය ටිකක් හොඳ බවත් ඒ එක්කම මතක් කරන්න ඕන.

ඒ වගේ තත්ත්වයක් යටතේ මේ වගේ ලිපි පෙළක් සිංහල පාඨකයාට ලබා දෙන්නට "රාවය" ඔස්සේ නාලකට අවස්ථාව ලැබීම ලොකු භාග්‍යයක්. එසේම නාලක අදටත් ඒ ලිපි පෙළ ලියනවා. ඉන්ටර්නෙට් පාවිච්චි කරන අයට ඔහුගේ වෙබ් අඩවියෙන් එය කියවන්නත් පුළුවනි. නාලක එක මාධ්‍යයකට පමණක් සීමා නොවීම වාසනාවක් කියන්න පුළුවනි.

තීරු ලිපි එකතුව "සිවුමංසල කොලුගැටයා" යයි නම් කිරීම ගැන නාලක කියන්නේ මෙහෙම දෙයක්. "මට හිතෙන්නේ සංකල්පමය වශයෙන් මා ප්‍රවාහයන් හෝ මහාමාර්ග හතරක් එකිනෙක ගැටෙන මංසලක අබියස සිට ඒ දෙස බලා සිටින්නෙකු බවයි. මේ ප්‍රවාහයන් හතර නම්, විද්‍යාව, තිරසාර සංවර්ධනය, තොරතුරු තාක්ෂනය හා මාධ්‍ය සන්නිවේදනයයි." මේ ප්‍රවාහ හතරම ගැන ලොකු උනන්දුවක් ඇති, එහෙත් ඒ එකක්වත් ඔස්සේ ඕනාවට වැඩිය ගමන් කරන්න අකමැති කෙනෙක් විදියට ඔහු තමන්ව හඳුන්වා දෙනවා. ඒ වගේම, හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ "අධිරාජයාගේ ඇඳුම" කතාව සිහි ගන්වන ඔහු කියන්නේ තමා ඒ කතාවේ තමන්ට පෙනුන ඇත්ත හඬගා කියූ කටහැකර කොලුගැටයා මෙන් තමා විශ්වාස කරන දේ නොපැකිලව ප්‍රකාශ කරන බවයි. එහිදී කෙනෙකුගේ සිත රිදවීම ඔහුගේ අපේක්ෂාව නොවුනත් "තොප්පිය හරි නම් දාගත්තාට" ඔහු අමනාප වන බවක් පෙනෙන්නේ නෑ.

අවුරුද්දක් තිස්සේ ලියාපු තීරු ලිපි පෙලම එකට කියවනවිට පෙනෙන දේ තමයි නාලක බොහෝ වෙලාවට ලියලා තියෙන්නේ අර කලින් කියාපු ප්‍රවාහයන් හතර ගැන බවයි. අපේ රට පිළිබඳව ලියන අතරේම පිටරටවල ඔහු දැකපු දේවල්වලින් අපිට වැඩක් ගන්න පුළුවන් කියලා ඔහු හිතන දේ ගැන ඔහු ලියා තියෙනවා. ඒ වගේම අපි කතා නොකරන නමුත් කතා කලයුතු පුද්ගලයින් ගැනත්, මාතෘකා ගැනත් නාලක කතා කරනවා.

ආතර් සී. ක්ලාක්, රේ විජේවර්ධන වැනි විද්‍යාඥයන් පිලිබඳ නාලක බොහොම ගෞරවයෙන් කතා කරනවා. ආතර් සී. ක්ලාක් මහතා නම් අපේ බොහෝ දෙනාට අමුත්තෙක් නොවෙයි. නමුත් නාලක අපි එතරම් කතා නොකරන අංශයක් ගැනත් මතක් කරනවා. එනම් ක්ලාක් මහතාගේ ලේඛන කලාවයි. විද්‍යා ලේඛකයකු ලෙස ආතර් සී. ක්ලාක් ප්‍රසිද්ධ වී ඇතත් ඔහුගේ කෘතීන්ගෙන් සිංහලට හෝ දෙමළට හෝ පරිවර්තනය වී ඇත්තේ අඩක් පමණ බව නාලක මතක් කර දෙනවා. නාලක මෙහිදී මතු කරන කරුණ සත්‍යයක් වුවද මා පෞද්ගලිකව සිතන්නේ එවැනි පොත් නිවැරදිව පරිවර්තනය කරන්නට පුළුවන් පුද්ගලයන් අඩු වීම ඊට හේතුවක් විය හැකි බවයි. කාට හෝ දී, කෙසේ හෝ පරිවර්තනය කරනවාට වඩා ඒ පොත් හරියට පරිවර්තනය කරන්නට සුදුස්සෙකුට දෙනවා නම් වටිනවා කියා මා හිතනවා.

රේ විජේවර්ධන මහතා පිළිබඳව නම් ලංකාවේ සාමාන්‍ය ජනයා අතර එතරම් කතාබහට ලක් වන බවක් පෙනෙන්නට නෑ. පොතේ පතේ දැනුමට සීමා නොවී, නිලධාරීවාදයට යට නොවී කටයුතු කරපු කෘෂි විද්‍යාඥයෙක් ලෙස ඔහු සලකන්න පුළුවනි. ඔහුගේ ජීවිත කතාව පිලිබඳ විස්තර කියවන මට නැගුන ප්‍රශ්නය තමයි අපේ විද්‍යාඥයන් කී දෙනෙක් එවැනි විශිෂ්ටයින් ආදර්ශයට ගන්නේද? කියන එක. (ආචාර්ය රේ විජේවර්ධන පිලිබඳ කියවන්න මේ වෙබ් අඩවියෙන්)

නව නිපැයුම්කරුවන් පිළිබඳව නාලක බොහොම උනන්දුවෙන් කතා කරනවා. අලුත් දෙයක් කරපු අය සම්ප්‍රදායට පිටින් ගියපු අය බව ඔහු මතක් කර දෙනවා. වැදගත් කාරණය නම් මෙය අපේ රටට පමණක් පොදු සංසිද්ධියක් නොවීමයි. මුනිදාස කුමාරතුංගයන් "අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී" යයි ප්‍රකාශ කල දේ කොතරම් සත්‍යයක්ද කියලා නාලකගේ ඇතැම් ලිපි කියවන විට මට සිතුනා. අපේ රටේ කිසිදු දෙයක් නිපදවන්න බැරි බවත් අල්පෙනෙත්ත පවා පිටින් ගෙනෙන බවත් අපේම අය බොහොම "උජාරුවෙන්" කියනවා ඔබත් අහලා ඇති. නමුත් නාලක අපට මතක් කර දෙනවා අලුත් විදියට හිතන අය අපි අතරත් ඉන්නා බව. වැදගත් වෙන්නේ ඔවුන් හඳුනාගෙන ඔවුනගේ දක්ෂතාවයට අත දෙන එකයි. මේ ඇතැම් අයගේ නිර්මාණයන් මහා සංකීර්ණ දේවල් නොවෙයි. ඇතැම් නිර්මාණ සාමාන්‍ය ජනයා එදිනෙදා අත්දකින ගැටලුවලට ඉදිරිපත් කරපු බොහොම සරල විසඳුම්. මේ පිළිබඳව සඳහන් කරන්නට නාලක පාදක කරගන්නේ ඉන්දියානු විද්වතෙකු වන ආචාර්ය අනිල් කුමාර් ගුප්ත විසින් කරන ලද දේශනයක්. ඔහු ඉන්දියාවෙන් මෙන්ම ලංකාවෙන්ද මේ සඳහා උදාහරණ ගෙනහැර දක්වනවා. ලංකාවෙන් ඔහු දක්වන ප්‍රසිද්ධම උදාහරණය තමයි විජය ගොඩකුඹුර මහතාගේ ආරක්‍ෂිත කුප්පි ලාම්පුව.

අපි ස්ටීව් ජොබ්ස් වගේ ලොව හොල්ලපු නිමවුම්කරුවන් ගැන කතා කරනවා. 3 Idiots වගේ චිත්‍රපට බලලා විනෝද වෙනවා. එත් අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ අපි අතර ඉන්න ජොබ්ස් කෙනෙක් හරි රංචෝ කෙනෙක් හරි නැති කරන්නත් අපි දායක වෙන්න ඉඩ තියෙනවා. ඒ ගැන අවධානයෙන් ඉඳීම වැදගත් බව නාලකගේ නව නිපැයුම්කරුවන් ගැන විස්තරය කියවපු මට හිතුනා.

පරිසරය ගැන කතා කරන නාලක පවසන්නේ අපි හැමෝම මගමරුවන් බවයි. මක් නිසාද යත්, අපි බොහෝ දෙනා වාහනවලින් ගමන් කිරීමත් ඒවායේ දුම යම් පමණකට හෝ පරිසර දූෂණයට දායක වීමත්. අනෙකුත් කාරනා සමඟ සංසන්දනය කරනවිට එක වාහනයක බලපෑම සුළු යයි හිතන්න පුළුවනි. ඒ වුනත් හැම පුංචි දෙයක්ම පරිසර දූෂණයට බලපාන බවත්, අපෙන් වෙන බලපෑම පුළුවන් තරම් අඩු කරගන්නේ නම් බොහොම වටිනා බවත් මා පෞද්ගලිකව විශ්වාස කරනවා. එයින් අදහස් වෙන්නේ නෑ වාහන පාවිච්චි නොකළ යුතුයි කියලා. නමුත් පරිසරය රැක ගැනීමට අපට කරන්නට පුළුවන් පුංචි පුංචි දේ බොහොමයි. ඒ වගේ තමන්ට පුළුවන් පුංචි පුංචි දේ කරපු තැනැත්තෙක් තමයි මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා. නාලක ඔහු ගැන ලිපියකින් විස්තර බොහොමයක් ලියා තිබෙනවා.

පරිසරය ආරක්ෂා කිරීම වැනි හොඳ පුරුදු නිවසෙන්ම පටන් ගන්නට අවශ්‍ය බව මගේ විශ්වාසයයි. දෙමව්පියන් විසින් ළමයින්ට ඒ සඳහා ආදර්ශය ලබා දිය යුතුයි. නමුත් අද ඇතැම් දෙමව්පියන් අතින් වෙන්නේ ඒකෙ අනිත් පැත්ත. ළමයින් ඉදිරිපිටම මහ පාරට ටොපි කොළ, කිරි පැකට් වගේ කැලි කසල විසි කරන දෙමව්පියන් මා ඕනා තරම් දැක තිබෙනවා. තමන්ගේ ළමයින් එහෙම කරනකොට මුකුත් නොකියන අයත් ඕනා තරම්. ඒ වගේ පුංචි වැරදිවත් හදා නොගෙන කොහොමද අපේ අය ලොකු වැරදි හදා ගන්නේ කියන එක නම් ප්‍රශ්නයක්.

නාලක ඔහුගේ ලිපි පෙලට අවුරුද්දක් පිරීම නිමිත්තෙන් ලියූ ලිපියෙන් කියන්නේ අද පරම්පරාව 'ඩිජිටල් ස්වදේශිකයින්' (digital natives) බවයි. එනම් ඔවුන් ඩිජිටල් යුගයේ උපන්නවුන් බවයි. නමුත් මෙහි ගැටළු කීපයක් තියෙනවා. එකක් තමයි ඩිජිටල් යුගය හැම දරුවෙකුටම උදා වී නැති වීම. නිදහසින් අවුරුදු 65 කට ආසන්න කාලයක් ගෙවී තිබියදීත් අපේ බොහෝ දරුවන් අදටත් ඉංග්‍රීසි දැනුම්වත් හරියට නැති අය බව කියන්න ඕන. ඉතින් ඒ අයට ඩිජිටල් යුගයක් ගැන කවර කතාද? අනෙක් අතට, හරියට දැනුමක් හෝ සාරධර්ම හෝ නැතිව ළමුන් අතරට ජංගම දුරකථන සහ කම්පියුටර් පත්වීම ඉතා භයානකයි. මේ ගැන නම් නාලක කතා කරලා තියෙනවා මම දැක්කේ නෑ.

නමුත් මෙහි අනික් පැත්ත ගැන නම් ඔහු කතා කරලා තියෙනවා. එනම්, හරියට දැනුම නැති වැඩිහිටියන් විසින් ඉන්ටර්නෙට් වැනි වටිනා දේ සඳහා සීමා පැනවීම. ඇත්තෙන්ම එවැනි සම්පත්වලින් උපරිම පල නෙලා ගන්නට සාමාන්‍ය ජනයාටත්, ළමයින්ටත් අවස්ථාව තිබිය යුතුයි. නමුත් ළමයින්ට නම් ඒ සඳහා වැඩිහිටියන්ගේ මග පෙන්වීම අවශ්‍යයි. ඒ මග පෙන්වීම දෙන්නට සමත් වැඩිහිටියන් ප්‍රමාණවත් තරම් ඉන්නවාද කියන එක වෙනම ගැටලුවක්. නාලක කියන පරිද්දෙන්ම "දැන ගියොත් ඉන්ටර්නෙට්, නොදැන ගියොත් අතරමග."

නාලකගේ භාෂා ශෛලිය පිළිබඳවත් යමක් කියන්නට අවශ්‍යයි. ඔහු ලියා තිබෙන්නේ සරල කථන බසින්. කියන දේ තේරෙන්නේ නැත්නම්, පණ්ඩිතයින් සතු වදන් කොස්සෙන් සාමාන්‍ය ජනයාට පලක් නෑ. ඔවුනට තේරෙන්න යමක් කිව යුතුයි. මෙහිදී නාලක ඇතැම් වචනවලට ඉංග්‍රීසි වචනම භාවිතා කරනවා. ටෙලිවිෂන්, රේඩියෝ වැනි වචන භාවිතා කිරීම සම්බන්ධයෙන් ඔහුට වෙනමම හේතුවක් තිබෙනවා. "ඉන්ටර්නෙට්" යන වචනය ඔහු භාවිතා කරන්නේ, එයට සිංහලෙන් කියන "අන්තර්ජාලය" යන වචනය වැරදි නිසයි. ඉන්ටර්නෙට් යනු ජාල රැසක සුපිරි ජාලයක් විනා ජාල අතර (අන්තර්) අවකාශයක් නොවන බව ඔහු මතක් කර දෙනවා. මෙවැනි වැරදි වචන භාවිතයට පැමිණීමට වග කිව යුත්තේ ඒවා නිර්මාණය කල අයයි. යම් විෂයයක් සම්බන්ධ කරුණක් ඉංග්‍රීසියෙන් සිංහලට පරිවර්තනය කරන්නෙකුට සිංහල, ඉංග්‍රීසි භාෂා පිලිබඳ හසල දැනුමක්ද, අදාළ විෂයය පිලිබඳ තරමක හෝ දැනුමක්ද තිබීම අනිවාර්යයි.

ඉන්ටර්නෙට් වැනි ඉංග්‍රීසි වචන ඒ විදියටම යොදා ගැනීමට මා එතරම් කැමති නෑ. මොකද, අපට ඊට හරියන සිංහල වචනයක් සොයා ගැනීමට බැරි කමක් නැති නිසා. සිංහල කියන්නේ බොහොම නම්‍යශීලී භාෂාවක්. උදාහරණයක් විදියට, අපිට කාලයක් "එෆ්" ශබ්දය ප්‍රශ්නයක් වෙලා තිබුනා. මොකද එහෙම අකුරක් අපට තිබුනේ නෑ. අපි මොකද කලේ? 'ෆ' අකුරක් හෝඩියට එකතු කරගත්තා. නාලක වුනත් සමහර ඉංග්‍රීසි වචනවලට ඉතාම ගැලපෙන, ලස්සන සිංහල වචන පාවිච්චි කරනවා. ඔහු සොයා බැලුවොත් ඉන්ටර්නෙට් වෙනුවට භාවිතා කල හැකි ලස්සන සිංහල වචනයක් හම්බ වෙයි.

නමුත් මේවා පුංචි පුංචි දේවල් පමණයි. වඩා වැදගත් වෙන්නේ නාලක ඉදිරිපත් කරන කරුණුයි. ඒ යම් යම් දේ පිලිබඳ මීට වැඩිය කරුණු දක්වන්නට තිබුනාදෝ කියලා මට හිතෙනවා. නමුත් ඔහු ලියා ඇති බොහෝ දේ ගැන මම ඉගෙන ගත්තේ ඔහුගේ "සිවුමංසල කොලුගැටයා" පොතෙන්. අදටත් ඔහු ඒ තීරු ලිපි ලියන අතර ඒවා ඉන්ටර්නෙට් එකෙත් තියෙනවා. 2011 අගෝස්තු අන්තිම ඉඳන් ඔහු ලියාපු ලිපි මෙතනින් බලන්න පුළුවනි. මේ අතර ඔහු Ceylon Today පුවත්පතට ලියන ඉංග්‍රීසි ලිපි මෙතනින් බලන්න පුළුවනි. කියවා බලන්න. බලලා හොඳ නරක තීරණය කරන්න.

Saturday, December 1, 2012

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ නිරීක්ෂක රාජ්‍යය තත්ත්වය ලැබීම



එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 67 වන සැසිවාරයේදී, 2012 නොවැම්බර් 29 වනදා සම්මත වූ 67/19 දරන මහා මණ්ඩල යෝජනාවට අනුව පලස්තීනයට එක්සත් ජාතීන්ගේ පූර්ණ සාමාජික නොවන නිරීක්ෂක රාජ්‍යයක තත්ත්වය හිමිවිය. මෙහි වැදගත්කම වන්නේ නිරීක්ෂක "රාජ්‍යය" යන්නයි. මීට පෙර පලස්තීනය එ. ජා. සංවිධානයේ නිරීක්ෂක ආයතනයක් පමණක් විය. මෙය, නුදුරු අනාගතයේදී එ. ජා. සංවිධානයේ පූර්ණ සාමාජික තත්ත්වය ලැබීම සඳහා පලස්තීනය තැබූ ඉදිරි පියවරක් ලෙස සැලකිය නොහැකි වුවද, සංකේතාත්මකව ඔවුනට වැදගත්වන ජයග්‍රහණයකි.

පලස්තීන රාජ්‍ය ලාංඡනය



මෙම යෝජනාව එ. ජා. සංවිධානයේ මහා මණ්ඩලයට ඉදිරිපත් වීමට දෙසතියකට පෙර ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර දරුණු ගැටුම් ඇති විය. මෙම ගැටුම් අතරදී වුවද මහා මණ්ඩල යෝජනාව ඉදිරිපත් කිරීමේ තීරණය පලස්තීන පාලන අධිකාරිය විසින් වෙනස් නොකෙරිණ. දින කිහිපයකදී ඊජිප්තුවේ මැදිහත්වීමෙන් එම යුධ තත්ත්වය නැවතුන අතර ඉන්පසු පලස්තීනය පිලිබඳ ලෝක අවධානය යොමු වූයේ මහමුද් අබ්බාස් විසින් එ. ජා. මහා මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරුණ යෝජනාව හේතුවෙනි.

නිරීක්ෂක තත්ත්වය ලබා දීමෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් පිළිගෙන ඇති පලස්තීන රාජ්‍යය බටහිර ඉවුර (නැගෙනහිර යෙරුසලම ඇතුළු) සහ ගාසා තීරය යන ප්‍රදේශවලින් යුතුවේ. මෙම ප්‍රදේශ නිර්ණය කොට ඇත්තේ 1967 සයදින යුද්ධයට පෙර පැවති දේශසීමා සැලකීමෙනි. එම යුද්ධයට පෙර බටහිර ඉවුර ජෝර්දානය විසින්ද, ගාසා තීරය ඊජිප්තුව විසින්ද පාලනය කෙරිණ.

බටහිර ඉවුර, CIA World Factbook

ගාසා තීරය, CIA World Factbook

පලස්තීනය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි නිරීක්ෂක රාජ්‍යය තත්ත්වය කරා පැමිණියේ පියවර කිහිපයක ප්‍රතිඵලය ලෙසය. පලස්තීන විමුක්ති සංවිධානයට එ. ජා. සංවිධානයේ නිරීක්ෂක ආයතනයක තත්ත්වය ලැබුනේ 1974 වසරේදීය. 1988 නොවැම්බරයේදී පලස්තීනය ඒකපාර්ශවිකව ස්වාධීනත්වය ප්‍රකාශ කළේය. එයින් මාසයකින් පසු 1988 දෙසැම්බර් 15 වනදා එය නිරීක්ෂකයකු බවට යෝජනාවක් සම්මත කරගන්නා ලදී. එහෙත් ඒ පලස්තීන රාජ්‍යය වශයෙන් නොවේ. සිදු වූයේ එතෙක් පලස්තීනය් විමුක්ති සංවිධානය සතු වූ නිරීක්ෂක තත්ත්වය පලස්තීනයට ලබා දීමය. මෙම අංක 47/177 දරන එ. ජා. මහා මණ්ඩල යෝජනාවට පක්ෂව ඡන්ද 104ක් ලැබුන අතර විපක්ෂව ඡන්දය දුන්නේ ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය පමණි. බටහිර යුරෝපයේ බොහෝ රටවල් ඇතුලත්ව රටවල් 36ක් ඡන්දය දීමෙන් වැලකී සිටි අතර රටවල් 15ක් එම අවස්ථාවේ සභා ගැබෙහි නොසිටියහ.

මින් පසුව පලස්තීන රාජ්‍ය සංකල්පය එ. ජා. සංවිධානයෙහි කරලියට පැමිණියේ 2011 වසරේදී දියත් කෙරුණ "පලස්තීනය 194" ව්‍යාපාරය සමඟය. එහි අරමුණ වූයේ පලස්තීනය එ. ජා. සංවිධානයේ 194වන සාමාජිකයා බවට පත් කරගැනීමය. අරාබි ලීගය ඇතුලු අන්තර්ජාතික සංවිධාන සහ වෙසෙසින්ම "තුන්වන ලෝකයේ" රටවල් බොහොමයක සහයෝගය ලැබුන මෙම යෝජනාව 2011 සැප්තැම්බර් 23 වනදා පලස්තීන ජනපති මහමුද් අබ්බාස් විසින් ආරක්ෂක මණ්ඩලය හමුවේ තබන ලදී. ඒ. ජා. සංවිධානයට නවක පූර්ණ සාමාජිකයකු බඳවා ගැනීමට ආරක්ෂක මණ්ඩලයේ රටවල් 15න් 9ක වත් කැමැත්ත තිබිය යුතුය. එසේ කැමැත්ත ලැබුනද නිශේධ බලය සහිත එක රටක හෝ අකමැත්තෙන් එම උත්සාහය ව්‍යර්ථ කල හැකිය. 2011 දී ආරක්ෂක මණ්ඩල සාමාජිකයින් 9ක් පලස්තීන සාමාජිකත්වය අනුමත කලද, ඇමරිකා එක්සත් ජනපදය සිය නිශේධ බලය භාවිතා කරන බව ප්‍රකාශ කොට තිබිණ. එහෙත් පලස්තීන සාමාජිකත්වයට කැමැත්ත පල කලේ ආරක්ෂක මණ්ඩලයේ රටවල් 8ක් පමණි.

කෙසේ නමුත් එම වසරේම ඔක්තෝම්බරයේදී එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය හෙවත් යුනෙස්කෝව (UNESCO) සිය සාමාජික රාජ්‍යයක් ලෙස පලස්තීනය පිළිගත්තේය. මෙය එකල පලස්තීනය ලද ජයග්‍රහණයක් ලෙස සලකන ලදී. මෙහිදී පවතී ඡන්ද විමසීමෙන් පලස්තීනය සාමාජිකයකු ලෙස පිළිගැනීමට පක්ෂව ඡන්ද 107ක් ලැබුන අතර විපක්ෂව ලැබුනේ ඡන්ද 14ක් පමණි. සාමාජික රටවල් 52ක් ඡන්දය දීමෙන් වැලකී සිටි අතර රටවල් 12ක් සභාවේ නොසිටියහ.

එ. ජා. සංවිධානයේ පූර්ණ සාමාජික තත්ත්වය ලබා ගැනීම කල නොහැක්කක් බව වටහා ගත පලස්තීනය මෙවර ඉල්ලා සිටියේ නිරීක්ෂක රාජ්‍යයක තත්ත්වය ලබා දෙන ලෙසය. ඒ සඳහා මහා මණ්ඩලයේ අනුමැතිය පමණක් ප්‍රමාණවත් වන අතර ආරක්ෂක මණ්ඩලය ඊට සම්බන්ධ නොවේ. එමෙන්ම, ආරක්ෂක මණ්ඩලයේ මෙන් නොව මහා මණ්ඩලයේ කිසිදු සාමාජිකයෙකුට නිශේධ බලය නොමැති අතර ලොකු කුඩා ඕනෑම සාමාජික රාජ්‍යයකට එක ඡන්දය බැගින් හිමිවේ. මේ නිසා, බහුතර කැමැත්ත මත මහා මණ්ඩල යෝජනාවක් සම්මත කරගත හැක. 2012 නොවැම්බර් 29 වනදා පවත්වන ලද මහා මණ්ඩල යෝජනා අංක 67/19 පිලිබඳ ඡන්දයේදී පලස්තීනය නිරීක්ෂක රාජ්‍යයක් ලෙස පිළිගැනීමට පක්ෂව ඡන්ද 138ක් ලැබුන අතර විපක්ෂව ලැබුනේ ඡන්ද 9කි. රටවල් 41ක් ඡන්දය දීමෙන් වැලකුණ අතර රටවල් 5ක් සභාවේ නොසිටියහ. මෙහිදී ප්‍රංශය ඇතුලු ඇතැම් බටහිර යුරෝපා රටවල් යෝජනාවට පක්ෂ වනවිට එක්සත් රාජධානිය සහ ජර්මනිය වැනි තවත් බටහිර යුරෝපා රාජ්‍යයන් ඡන්දය නොදී සිටියහ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනා අංක 67/19 සඳහා ඡන්ද විමසීම. මහා මණ්ඩලයේ මුළු සාමාජික සංඛ්‍යාව 193ක් වේ.



මෙම ජයග්‍රහණයත් සමඟ පලස්තීනයට එක්සත් ජාතීන්ගේ පූර්ණ සාමාජිකත්වය නොලැබුනද එයට සම්බන්ධ ආයතනවලට බැඳීම සඳහා ඉල්ලීම් කල හැක. 2011 දී යුනෙස්කෝව මෙන් එම සංවිධානවලටද පලස්තීනය ඒවාට බඳවාගත හැක. එහෙත්, එසේ කිරීමට පෙර එම සංවිධානවලට දෙවරක් සිතීමට සිදුවනු ඇත. මන්ද යත් එසේ පලස්තීනයට සාමාජිකත්වය දෙනු ලබන ඕනෑම එ. ජා. සංවිධානයේ අනුබද්ධ ආයතනයකට ලබා දෙන ආධාර නැවැත්වීමට ඇමරිකා එක්සත් ජනපදය කටයුතු කල හැකි නිසාය. 2011 දී යුනෙස්කෝවට ලබාදෙන වාර්ෂික ආධාරය වන ඩොලර් මිලියන 80ක මුදල, එනම් ආයතනයේ වාර්ෂික ආදායමෙන් පහෙන් එකක්, ලබා නොදීමට ඇමරිකාව තීරණය කළේය.

මේ අතර ජාත්‍යන්තර අපරාධ අධිකරණයට බැඳීමට වුවද දැන් පලස්තීනයට හැකියාව ඇත. එසේ වුවහොත්, එයින් පසු ඊශ්‍රායල ජාතිකයන්ට එරෙහිව යුධ අපරාධ චෝදනා ගොනු කිරීමේ හැකියාව පලස්තීනයට ලැබේ. ජාත්‍යන්තර අපරාධ අධිකරණයට බැඳීමට පලස්තීනය කටයුතු කළහොත් තමන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව ඊශ්‍රායලය ප්‍රකාශ කළේය. මේ වනවිටත් පලස්තීන අධිකාරියට අයත් බදු මුදල් භාර නොදීමට ඊශ්‍රායලය තීරණය කර ඇති අතර නැගෙනහිර යෙරුසලමේ සහ බටහිර ඉවුරේ යුදෙව් නිවාස 3000ක් සෑදීමටද එරට රජය තීරණය කොට ඇත. මෙසේ ජනාවාස ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් නම් ඇමරිකාවේද විරෝධය ඊශ්‍රායලය වෙත පලවී ඇත.

මේ අතර වසර පහකට පසු මහමුද් අබ්බාස් නායකත්වය දරන ෆටා සංවිධානය සහ හමාස් සංවිධානය අතර එකඟතාවයක් ඇති වීමේ හොඳම ඉඩකඩ මේ වනවිට දැකිය හැක. මෑතදී නිමා වූ අවි ගැටුම හමාස් සංවිධානයට එහි හමුදා නායකයන් කිහිප දෙනෙකුම අහිමි කළේය. එහෙත් ඊශ්‍රායලය සමඟ සටන් විරාමයක් ප්‍රකාශ කිරීමෙන් එම අවි ගැටුම නිම වීම හමාස් සංවිධානය දකින්නේ ජයග්‍රහණයක් ලෙසය. හමාස් සංවිධානයේ යුධමය ක්‍රියාකලාපය හමුවේ ෆටා සංවිධානයේ ජනප්‍රියත්වය පහල වැටීමට ඉඩ තිබුණි. එහෙත් දැන් ඔවුනටද උදම් ඇනීමට දෙයක් ලැබී ඇත. එමෙන්ම පසුගිය වසරේදී එක්සත් ජාතීන්ගේ පූර්ණ සාමාජිකත්වය වෙනුවෙන් සටන් කල අවස්ථාවේ ෆටා සංවිධානයට සහය පල නොකළ හමාස් සංවිධානය මෙවර සිය ප්‍රතිපත්තිය වෙනස් කළේය. මේ අනුව, කලකට පෙර එකිනෙකා මරා ගත් පලස්තීන සංවිධාන දෙක අතර වූ විරසකය සමහන් වීමට එක්සත් ජාතීන් වෙත ඉදිරිපත් කල යෝජනාව හේතු වී ඇති බවක් පෙනේ. මේ ලද අවස්ථාවෙන් පල නෙලා ගැනීම පලස්තීන දේශපාලකයින්ගේ යුතුකමක් මෙන්ම වගකීමක්ද වන්නේය.