Saturday, December 1, 2012

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ නිරීක්ෂක රාජ්‍යය තත්ත්වය ලැබීම



එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 67 වන සැසිවාරයේදී, 2012 නොවැම්බර් 29 වනදා සම්මත වූ 67/19 දරන මහා මණ්ඩල යෝජනාවට අනුව පලස්තීනයට එක්සත් ජාතීන්ගේ පූර්ණ සාමාජික නොවන නිරීක්ෂක රාජ්‍යයක තත්ත්වය හිමිවිය. මෙහි වැදගත්කම වන්නේ නිරීක්ෂක "රාජ්‍යය" යන්නයි. මීට පෙර පලස්තීනය එ. ජා. සංවිධානයේ නිරීක්ෂක ආයතනයක් පමණක් විය. මෙය, නුදුරු අනාගතයේදී එ. ජා. සංවිධානයේ පූර්ණ සාමාජික තත්ත්වය ලැබීම සඳහා පලස්තීනය තැබූ ඉදිරි පියවරක් ලෙස සැලකිය නොහැකි වුවද, සංකේතාත්මකව ඔවුනට වැදගත්වන ජයග්‍රහණයකි.

පලස්තීන රාජ්‍ය ලාංඡනය



මෙම යෝජනාව එ. ජා. සංවිධානයේ මහා මණ්ඩලයට ඉදිරිපත් වීමට දෙසතියකට පෙර ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර දරුණු ගැටුම් ඇති විය. මෙම ගැටුම් අතරදී වුවද මහා මණ්ඩල යෝජනාව ඉදිරිපත් කිරීමේ තීරණය පලස්තීන පාලන අධිකාරිය විසින් වෙනස් නොකෙරිණ. දින කිහිපයකදී ඊජිප්තුවේ මැදිහත්වීමෙන් එම යුධ තත්ත්වය නැවතුන අතර ඉන්පසු පලස්තීනය පිලිබඳ ලෝක අවධානය යොමු වූයේ මහමුද් අබ්බාස් විසින් එ. ජා. මහා මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරුණ යෝජනාව හේතුවෙනි.

නිරීක්ෂක තත්ත්වය ලබා දීමෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් පිළිගෙන ඇති පලස්තීන රාජ්‍යය බටහිර ඉවුර (නැගෙනහිර යෙරුසලම ඇතුළු) සහ ගාසා තීරය යන ප්‍රදේශවලින් යුතුවේ. මෙම ප්‍රදේශ නිර්ණය කොට ඇත්තේ 1967 සයදින යුද්ධයට පෙර පැවති දේශසීමා සැලකීමෙනි. එම යුද්ධයට පෙර බටහිර ඉවුර ජෝර්දානය විසින්ද, ගාසා තීරය ඊජිප්තුව විසින්ද පාලනය කෙරිණ.

බටහිර ඉවුර, CIA World Factbook

ගාසා තීරය, CIA World Factbook

පලස්තීනය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි නිරීක්ෂක රාජ්‍යය තත්ත්වය කරා පැමිණියේ පියවර කිහිපයක ප්‍රතිඵලය ලෙසය. පලස්තීන විමුක්ති සංවිධානයට එ. ජා. සංවිධානයේ නිරීක්ෂක ආයතනයක තත්ත්වය ලැබුනේ 1974 වසරේදීය. 1988 නොවැම්බරයේදී පලස්තීනය ඒකපාර්ශවිකව ස්වාධීනත්වය ප්‍රකාශ කළේය. එයින් මාසයකින් පසු 1988 දෙසැම්බර් 15 වනදා එය නිරීක්ෂකයකු බවට යෝජනාවක් සම්මත කරගන්නා ලදී. එහෙත් ඒ පලස්තීන රාජ්‍යය වශයෙන් නොවේ. සිදු වූයේ එතෙක් පලස්තීනය් විමුක්ති සංවිධානය සතු වූ නිරීක්ෂක තත්ත්වය පලස්තීනයට ලබා දීමය. මෙම අංක 47/177 දරන එ. ජා. මහා මණ්ඩල යෝජනාවට පක්ෂව ඡන්ද 104ක් ලැබුන අතර විපක්ෂව ඡන්දය දුන්නේ ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය පමණි. බටහිර යුරෝපයේ බොහෝ රටවල් ඇතුලත්ව රටවල් 36ක් ඡන්දය දීමෙන් වැලකී සිටි අතර රටවල් 15ක් එම අවස්ථාවේ සභා ගැබෙහි නොසිටියහ.

මින් පසුව පලස්තීන රාජ්‍ය සංකල්පය එ. ජා. සංවිධානයෙහි කරලියට පැමිණියේ 2011 වසරේදී දියත් කෙරුණ "පලස්තීනය 194" ව්‍යාපාරය සමඟය. එහි අරමුණ වූයේ පලස්තීනය එ. ජා. සංවිධානයේ 194වන සාමාජිකයා බවට පත් කරගැනීමය. අරාබි ලීගය ඇතුලු අන්තර්ජාතික සංවිධාන සහ වෙසෙසින්ම "තුන්වන ලෝකයේ" රටවල් බොහොමයක සහයෝගය ලැබුන මෙම යෝජනාව 2011 සැප්තැම්බර් 23 වනදා පලස්තීන ජනපති මහමුද් අබ්බාස් විසින් ආරක්ෂක මණ්ඩලය හමුවේ තබන ලදී. ඒ. ජා. සංවිධානයට නවක පූර්ණ සාමාජිකයකු බඳවා ගැනීමට ආරක්ෂක මණ්ඩලයේ රටවල් 15න් 9ක වත් කැමැත්ත තිබිය යුතුය. එසේ කැමැත්ත ලැබුනද නිශේධ බලය සහිත එක රටක හෝ අකමැත්තෙන් එම උත්සාහය ව්‍යර්ථ කල හැකිය. 2011 දී ආරක්ෂක මණ්ඩල සාමාජිකයින් 9ක් පලස්තීන සාමාජිකත්වය අනුමත කලද, ඇමරිකා එක්සත් ජනපදය සිය නිශේධ බලය භාවිතා කරන බව ප්‍රකාශ කොට තිබිණ. එහෙත් පලස්තීන සාමාජිකත්වයට කැමැත්ත පල කලේ ආරක්ෂක මණ්ඩලයේ රටවල් 8ක් පමණි.

කෙසේ නමුත් එම වසරේම ඔක්තෝම්බරයේදී එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය හෙවත් යුනෙස්කෝව (UNESCO) සිය සාමාජික රාජ්‍යයක් ලෙස පලස්තීනය පිළිගත්තේය. මෙය එකල පලස්තීනය ලද ජයග්‍රහණයක් ලෙස සලකන ලදී. මෙහිදී පවතී ඡන්ද විමසීමෙන් පලස්තීනය සාමාජිකයකු ලෙස පිළිගැනීමට පක්ෂව ඡන්ද 107ක් ලැබුන අතර විපක්ෂව ලැබුනේ ඡන්ද 14ක් පමණි. සාමාජික රටවල් 52ක් ඡන්දය දීමෙන් වැලකී සිටි අතර රටවල් 12ක් සභාවේ නොසිටියහ.

එ. ජා. සංවිධානයේ පූර්ණ සාමාජික තත්ත්වය ලබා ගැනීම කල නොහැක්කක් බව වටහා ගත පලස්තීනය මෙවර ඉල්ලා සිටියේ නිරීක්ෂක රාජ්‍යයක තත්ත්වය ලබා දෙන ලෙසය. ඒ සඳහා මහා මණ්ඩලයේ අනුමැතිය පමණක් ප්‍රමාණවත් වන අතර ආරක්ෂක මණ්ඩලය ඊට සම්බන්ධ නොවේ. එමෙන්ම, ආරක්ෂක මණ්ඩලයේ මෙන් නොව මහා මණ්ඩලයේ කිසිදු සාමාජිකයෙකුට නිශේධ බලය නොමැති අතර ලොකු කුඩා ඕනෑම සාමාජික රාජ්‍යයකට එක ඡන්දය බැගින් හිමිවේ. මේ නිසා, බහුතර කැමැත්ත මත මහා මණ්ඩල යෝජනාවක් සම්මත කරගත හැක. 2012 නොවැම්බර් 29 වනදා පවත්වන ලද මහා මණ්ඩල යෝජනා අංක 67/19 පිලිබඳ ඡන්දයේදී පලස්තීනය නිරීක්ෂක රාජ්‍යයක් ලෙස පිළිගැනීමට පක්ෂව ඡන්ද 138ක් ලැබුන අතර විපක්ෂව ලැබුනේ ඡන්ද 9කි. රටවල් 41ක් ඡන්දය දීමෙන් වැලකුණ අතර රටවල් 5ක් සභාවේ නොසිටියහ. මෙහිදී ප්‍රංශය ඇතුලු ඇතැම් බටහිර යුරෝපා රටවල් යෝජනාවට පක්ෂ වනවිට එක්සත් රාජධානිය සහ ජර්මනිය වැනි තවත් බටහිර යුරෝපා රාජ්‍යයන් ඡන්දය නොදී සිටියහ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනා අංක 67/19 සඳහා ඡන්ද විමසීම. මහා මණ්ඩලයේ මුළු සාමාජික සංඛ්‍යාව 193ක් වේ.



මෙම ජයග්‍රහණයත් සමඟ පලස්තීනයට එක්සත් ජාතීන්ගේ පූර්ණ සාමාජිකත්වය නොලැබුනද එයට සම්බන්ධ ආයතනවලට බැඳීම සඳහා ඉල්ලීම් කල හැක. 2011 දී යුනෙස්කෝව මෙන් එම සංවිධානවලටද පලස්තීනය ඒවාට බඳවාගත හැක. එහෙත්, එසේ කිරීමට පෙර එම සංවිධානවලට දෙවරක් සිතීමට සිදුවනු ඇත. මන්ද යත් එසේ පලස්තීනයට සාමාජිකත්වය දෙනු ලබන ඕනෑම එ. ජා. සංවිධානයේ අනුබද්ධ ආයතනයකට ලබා දෙන ආධාර නැවැත්වීමට ඇමරිකා එක්සත් ජනපදය කටයුතු කල හැකි නිසාය. 2011 දී යුනෙස්කෝවට ලබාදෙන වාර්ෂික ආධාරය වන ඩොලර් මිලියන 80ක මුදල, එනම් ආයතනයේ වාර්ෂික ආදායමෙන් පහෙන් එකක්, ලබා නොදීමට ඇමරිකාව තීරණය කළේය.

මේ අතර ජාත්‍යන්තර අපරාධ අධිකරණයට බැඳීමට වුවද දැන් පලස්තීනයට හැකියාව ඇත. එසේ වුවහොත්, එයින් පසු ඊශ්‍රායල ජාතිකයන්ට එරෙහිව යුධ අපරාධ චෝදනා ගොනු කිරීමේ හැකියාව පලස්තීනයට ලැබේ. ජාත්‍යන්තර අපරාධ අධිකරණයට බැඳීමට පලස්තීනය කටයුතු කළහොත් තමන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව ඊශ්‍රායලය ප්‍රකාශ කළේය. මේ වනවිටත් පලස්තීන අධිකාරියට අයත් බදු මුදල් භාර නොදීමට ඊශ්‍රායලය තීරණය කර ඇති අතර නැගෙනහිර යෙරුසලමේ සහ බටහිර ඉවුරේ යුදෙව් නිවාස 3000ක් සෑදීමටද එරට රජය තීරණය කොට ඇත. මෙසේ ජනාවාස ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් නම් ඇමරිකාවේද විරෝධය ඊශ්‍රායලය වෙත පලවී ඇත.

මේ අතර වසර පහකට පසු මහමුද් අබ්බාස් නායකත්වය දරන ෆටා සංවිධානය සහ හමාස් සංවිධානය අතර එකඟතාවයක් ඇති වීමේ හොඳම ඉඩකඩ මේ වනවිට දැකිය හැක. මෑතදී නිමා වූ අවි ගැටුම හමාස් සංවිධානයට එහි හමුදා නායකයන් කිහිප දෙනෙකුම අහිමි කළේය. එහෙත් ඊශ්‍රායලය සමඟ සටන් විරාමයක් ප්‍රකාශ කිරීමෙන් එම අවි ගැටුම නිම වීම හමාස් සංවිධානය දකින්නේ ජයග්‍රහණයක් ලෙසය. හමාස් සංවිධානයේ යුධමය ක්‍රියාකලාපය හමුවේ ෆටා සංවිධානයේ ජනප්‍රියත්වය පහල වැටීමට ඉඩ තිබුණි. එහෙත් දැන් ඔවුනටද උදම් ඇනීමට දෙයක් ලැබී ඇත. එමෙන්ම පසුගිය වසරේදී එක්සත් ජාතීන්ගේ පූර්ණ සාමාජිකත්වය වෙනුවෙන් සටන් කල අවස්ථාවේ ෆටා සංවිධානයට සහය පල නොකළ හමාස් සංවිධානය මෙවර සිය ප්‍රතිපත්තිය වෙනස් කළේය. මේ අනුව, කලකට පෙර එකිනෙකා මරා ගත් පලස්තීන සංවිධාන දෙක අතර වූ විරසකය සමහන් වීමට එක්සත් ජාතීන් වෙත ඉදිරිපත් කල යෝජනාව හේතු වී ඇති බවක් පෙනේ. මේ ලද අවස්ථාවෙන් පල නෙලා ගැනීම පලස්තීන දේශපාලකයින්ගේ යුතුකමක් මෙන්ම වගකීමක්ද වන්නේය.

24 comments:

  1. නියමයි! මම මෙලෝ දෙයක් නොදන්න ඒත් දැනගන්න ගොඩක් ආස ලිපි ටිකක හම්බුණෝ, කියෝමි!

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් ඊට වඩා සතුටක් මට නැතෝ! කියවා වෙලාව තිබ්බොත් කමෙන්ට් එකක් එහෙම දාන්ඩෝ! :-D

      Delete
  2. නියමයි මෙන්න පෝස්ට්... දිගටම යනවා නේ ??මට එන්න බැරි වුණා ටික දවසකින් මේ පැත්තේ ..ලිපි ගොඩක් තියෙනවා කියවන්න.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි.. මමත් බැලුවේ රජරට පැත්තේ මොකක් වෙලාද කියලා...

      Delete
  3. කවදාවත් ඉවර වෙන්නේ නැති ගැටුමක් . මට සැහෙන ප්‍රශ්නයක් තියෙනවා . දැන් ඔය බටහිර ඉවුර තියෙන්නේ නැගෙන හිරින් . ගාසා තිරය තියෙන්නේ ඉස්රායලයේ නැගෙන හිරින් මධ්‍යධරණී මුහුද අයිනෙන් . ඔය දෙක එක්කහු වෙලා පලස්තීනය හැදෙන්නේ කොහොමද . දෙක යාකෙරෙන පටු තිරයක් වත් තියේද .

    මගේ ඊශ්‍රායල් මිතුරිය එතරම් අන්ත වාදී නොවෙන කෙනෙක් . එයා කිවේ දෙපැත්තේම මධ්‍යස්ත පිරිස් යම් යම් කැපකිරීම් කරලා සාමය දිනා ගන්න හදපු හැමවිටකම අන්තවාදීන් ඒවා කඩා කප්පල් කල බවයි .

    එයා වගේ උදවිය කියන්නේ මෙච්චර සටන් කරලා පාදිසයක් අයිති වුනත් වැඩක් නැහැ . සාමයෙන් ඉන්න ලෝකේ කොහේ හරි තැනක් තියෙනව නම් කියල .

    ඉස්සර ඊශ්‍රායලයටම පලු යන්න බැනපු මට වෙනස් ලෙස සිතන්න සිද්ධ වුනා මේගොල්ල හමු වුනාට පසු

    ReplyDelete
    Replies
    1. ඒක ටිකක් දිග කතාවක්. පළමු ලෝක යුද්දෙට පස්සේ "පලස්තීනය" බ්‍රිතාන්‍යය භාරකාරත්වය යටතේ තමයි තිබුනේ. එකෙන් කොටසක් තමයි යුදෙව් ජාතිකයන්ගේ රාජ්‍යය විදියට 1948 මැයි 14 වෙනිදා පිහිටවන්නේ. නමුත් අරාබි රටවල් ඊට විරුද්ධව ඊශ්‍රායලය එක්ක යුද්ධ කරනවා. යුද්දේ ඉවර වුනාම පරණ පලස්තීනය කොටස් තුනක් වෙනවා. ඊශ්‍රායලය, ගාසා තීරය සහ බටහිර ඉවුර. ගාසා තීරය ඊජිප්තුව විසිනුත් බටහිර ඉවුර ජෝර්දානය විසිනුත් තමයි ඊට පස්සේ පාලනය කෙරෙන්නේ. යෙරුසලම දෙකට බෙදනවා. බටහිර යෙරුසලම ඊශ්‍රායලයට, නැගෙනහිර යෙරුසලම ජෝර්දානයට.

      1967 අවුරුද්දේ සය දින යුද්දෙන් පස්සේ ඒ ප්‍රදේශ ඔක්කොම සමඟ සිනායි අර්ධද්වීපයත්, ගෝලාන් කඳුකරයත් ඊශ්‍රායලය විසින් අල්ලා ගන්නවා. සිනායි අර්ධද්වීපය පස්සේ ඊජිප්තුවටම ආපහු භාර දෙනවා. නමුත් අනිත් ප්‍රදේශ ආපහු භාර දෙන්නේ නෑ. එතකොට පරණ පලස්තීනය දැන් මුළුමනින්ම ඊශ්‍රායලයට අයිති.

      පලස්තීන විමුක්ති සංවිධානය (PLO)බිහිවෙන්නේ ඊශ්‍රායලය පොළවෙන් අතුගා දමන්න. සමහර පලස්තීනුවන් කියන්නේ ඊශ්‍රායලය කියලා රටක් තිබිය යුතු නැති බව. ඔවුනට ඕන පරණ පලස්තීනයම අරාබි පාලනයට එනවා දකින්න. නමුත් පස්සේ කාලෙක PLO එක රාජ්‍ය දෙකේ සංකල්පයට එකඟ වෙනවා. ඒ අනුව බටහිර ඉවුර සහ ගාසා තීරය පලස්තීන රාජ්‍යය ලෙස පිළිගන්නටත් පරණ පලස්තීනයේ අනෙක් ප්‍රදේශ ඊශ්‍රායලය ලෙස පිළිගන්නටත්. ඊශ්රායලයේත් පලස්තීනයේත් මධ්‍යස්ත අය මේ විසඳුමට එකඟයි.

      (බටහිර ඉවුර කියන්නේ ජෝර්දාන් ගඟේ බටහිර ඉවුර කියන එක. ජෝර්දාන් ගඟ කිලෝමීටර් 251ක් දිගයිලු. එක වැටෙන්නේ මළ මුහුදට).

      Delete
    2. තේරුනා . ස්තුතියි ..නමුත් රටක් කොටස් දෙකකට තියාගන්නේ කොහොමද මන්දා .

      Delete
    3. ඇත්ත.. නමුත් මේ ලෝක ඉතිහාසයේ එහෙම වෙනත් ප්‍රදේශවලින් වෙන් වෙලා, මුහුදෙන්වත් සම්බන්ධයක් නැතුව එක රටක කොටස් දෙකක් හෝ වැඩි ගණනක් හෝ තියෙන පළමු අවස්ථාව නෙවෙයි. අදටත් එහෙම තවත් අවස්ථා දකින්න පුළුවන්. උදාහරණයක් විදියට කොකේසියානු කඳුකරය ආශ්‍රිත රටවල්වල. ඒ වගේම මම කලින් බර්ලින් තාප්පය ගැන ලියද්දි කතා කරපු බටහිර ජර්මනිය. 1948 දී සෝවියට් දේශය බටහිර බර්ලින්වලට තිබුන ඔක්කොම ගොඩබිම් මාර්ග වහලා ඒ ප්‍රදේශය තනි කරන්න ලොකු උත්සාහයක් කළා. එතකොට ඒ ප්‍රදේශයට ඕන හැම දෙයක්ම ගුවනින් තමයි ගෙනාවේ. බටහිර බර්ලින්වල ගුවන්තොටුපල තුනක් තිබුනා. එව්වාට විනාඩි කීපයකට එකක් ගානේ ගුවන් යාන ගොඩ බස්සාලු ඒ කාලේ. Berlin Blockade කියන්නේ ඒ සිද්ධිය.

      Delete
    4. 1967 සය දින යුද්ධය කිව්වේ ඊජිප්තුවයි ඊශ්‍රයලයයි අතර ඇති උනු යුද්ධයද? ඊට පස්සෙත් මට මතක විදිහට 1973 ද කොහෙදෝ සිරියාවයි ඊජිප්තුවයි එකතු වෙලා ඊශ්‍රයාලයට ප්‍රහාර දියත් කරා නේද? ඒ කාලයේ ඊිජිප්තු නායනයා උනේ අන්වර් සදාත්.

      Delete
    5. සයදින යුද්ධයේදී ඊශ්‍රායලය එක්ක ඊජිප්තුව, සිරියාව සහ ජෝර්දානය කියන තුනම හැප්පුනා. හැබැයි ඉතින් හැප්පිලා කුඩුපට්ටම් වුනා.. 1973 යුද්දේ නිසා තමයි තෙල් අර්බුදයකුත් ඇති වුනේ. මම දන්නා විදියට අර අපේ රටෙත් විපක්ෂය ඒ වෙලාවේ තමයි ගොන් කරත්තවල නැගලා පාර්ලිමේන්තුවට ගියේ තෙල් මිල නැග්ගා කියලා විරුද්ධත්වය ප්‍රකාශ කරන්න.

      Delete
  4. ඔබගේ මේ ලිපි වලින් නොදන්නා දේවල් ගොඩක් දැන ගන්නවා මම නම්. ස්තුතියි ඒකට. පොඩි අදහසක් දෙන්නද. මේ කළු පසුබිමේ සුදු අකුරු නැතුව සුදු පසුබිමේ කළු හෝ තද පාටකින් අකුරු තියන ටෙම්ප්ලේට් එකකට මාරු උනා නම් කියවන්න පහසුයි වගේ දැනුන මට.

    ReplyDelete
    Replies
    1. හොඳ අදහසක්. කරලා බලමු...

      Delete
    2. දැන් මරු. ඔය තියන්නේ කිරි කෑල්ල වගේ. :)

      Delete
  5. පලස්තීනේ කොටසක් අරගෙන හදපු ඊශ්‍රායලය දැන් ටික ටික මුළු පලස්තීනයම අල්ලා ගන්නද යන්නේ ?? ඊශ්‍රායල් පලස්තීන ගැටුම මට නම් තේරුමක් ඇත්තේම නැහැ

    ReplyDelete
    Replies
    1. හරියට තේරුම් ගන්න නම් පලස්තීනයට යන්නම වෙයි. ඊශ්‍රායලය මුළු පලස්තීනයම අල්ලාගත්තා 1967 දී. මුළු පලස්තීනයමයි, ගෝලාන් කඳුකරයයි, සිනායි අර්ධද්වීපයයි. නමුත් එහෙම එයාලට ඕන විදියට තියාගන්න බැරි වුනා.

      Delete
  6. නියම ලිපිය.මං කතාවක් අහලා තියෙනවා ඔය ඊශ්‍රායලය කියලා පලස්තීනයේ හිටියලු ගෝත්‍ර පිරිසක්.ඒ ගැන දන්නවනම් කියනවද?

    එරියන් ෂැරොල් විසින් 2005දි සියළුම නිවාස හා ඉදිකරීම් ගාසා තීරයෙන් ඉවත් කිරීමට නියෝග කලා.

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ බයිබලයේ තියෙන කතාව වෙන්න ඕන. එක නම් පට්ට දිග කතාවක් නේ...

      ඒරියල් ෂැරෝන් ගැන ලිපියක් ලියන්න අද මම ගෙදර එන ගමන් හිත හිත ආවේ.. බලමු...

      Delete
  7. තව දෙයක් කියන්න බැරි උනානේ.පලස්තීනයට ස්වාධීන රාජ්‍යයක් ලෙස පිලිගැනීමේ පදනම වැටුනායින් පසුත් ඊශ්‍රායලය ගාසා තීරයේ නිවාස 3000ක් ඉදි කිරීමට තීරණය කරලා තිබෙනවා.නමුත් ඒකට ඇ.එ.ජ හා බ්‍රිතාන්‍ය අකමැතියිලු.සමහර විට ඇමෙරිකාව පලස්තීනයව බිලි බාගැනීමට උත්සහා කරනවද කියලා දන්නේ නෑ නේද? ඊශ්‍රායලයයි ඇමෙරකාවයි අතර මොකක් හෝ අවුලක් තියෙනවා වගෙයි මට පේන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන මමත් බ්ලොග් පොස්ට් එකේ අන්තිම හරියේ යන්තම් ලිව්වා... එතන ඇමරිකාව ඊශ්‍රායලය එක්ක තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. ඇමරිකාව හිතනවා යුදෙව් ජනාවාස පිහිටුවීමෙන් ප්‍රශ්නය වැඩි වෙනවා කියලා. ඇමරිකාවේ ඉන්න යුදෙව්වොත් වැඩි දෙනෙක් මම දන්නා විදියට එච්චර දරුණු පියවරකට යනවට අකමැතියි. ඒකෙන් වෙන්නේ ඊශ්‍රායලයට තවත් තරහකාරයෝ වැඩිවෙන එක. මුස්ලිම් රටවල් එක්කත් ඇමරිකාවට හොඳින් ඉන්න ඕන නේ.

      Delete
    2. ඔය ප්‍රශ්නෙ ගැනම හිතලා නෙමෙයි මං කිව්වේ ඇමෙරිකාවයි ඊශ්‍රායලයයි අතර ප්‍රශ්නයක් තියෙනවා කියලා.මං මේ ලගදි ප්‍රවෘතියක දැක්කා ඊශ්‍රායලය ගිය ජනාධිපතිවරණයේදි රොම්නිට උදව් කරාලු.ඔබාමත් එක්ක පොඩි විරසකයි තියෙනවලු නෙතන්යාහු.

      Delete
    3. ඒක නම් ඇත්ත.. පුද්ගලයන් අතර ගැටුම් කොහොම වුනත් ඊශ්‍රායලය ඇමරිකාවේ සහය දිගටම ලබනවා. මෑතකදී ඒක වෙනසක් වෙන එකක් නෑ.

      Delete