Tuesday, September 4, 2012

ලිබරෙක් සත්වෝද්‍යානයේ අලුත්ම 'සුරතලුන්': සුදු ව්‍යාඝ්‍ර පැටව් තිදෙනාගෙන් එකෙකු නම් කිරීමට මහජනතාවට අවස්ථාව


ලිබරෙක් නගරය චෙක් ජනරජයේ උතුරුදිග පිහිටි, ජනගහනය 100,000 ක් පමණ වන නගරයකි. එරට පැරණිතම සත්වෝද්‍යානය පිහිටියේ එම නගරයේය. එම සත්වෝද්‍යානයේ, ක්ෂීරපායී සතුන් වර්ග 52 ක් සිටින බව එහි වෙබ් පිටුව සඳහන් කරයි. එයින් වඩාත්ම ආකර්ශනීය සතුන් වර්ගයක් වන්නේ බෙංගාලි සුදු ව්‍යාඝ්‍රයන්ය.

මීට මාස දෙකකට පෙර, සත්වෝද්‍යානයේ වසන සූර්යා බාරා නම් සුදු ව්‍යාඝ්‍ර ධේනුවක පැටවුන් තිදෙනෙකු බිහි කළාය. මින් එකෙක් ගැහැණු සතෙකු වන අතර අනෙක් දෙදෙනා පිරිමි සතුන්ය. මින් දෙදෙනෙකුට නම් තැබීම සත්වෝද්‍යානයේ සේවකයන් විසින් සිදු කරන ලද අතර එක පිරිමි පැටවෙකුට අන්තර්ජාලය ඔස්සේ නම් තැබීමේ අවස්ථාව මහජනතාවට ලැබී තිබේ. මේ සඳහා නම් 2,200 ක් පමණ යෝජනා වූ අතර ඉන් පහක් අවසන් වටය සඳහා තෝරාගෙන ඇත. 2012 සැප්තැම්බර් 5 වන බදාදා චෙක් ජනරජයේ වේලාවෙන් දහවල් 12 ට පෙර ඡන්දය ප්‍රකාශ කල යුතු වූ අතර ඉන් පසුව එම පැටවා වැඩි කැමැත්ත අනුව නම් කරනු ඇත. යෝජනා වී ඇති එම නම් පහ වූයේ ලියම්, සම්බුරු, සිග්මාර්, ටයිටන් සහ වුඩී ය. මෙයින් ලියම් යන නමට වැඩිම ඡන්ද ප්‍රමාණයක් (1041) ලැබුන අතර, සම්බූර්, වුඩී, ටයිටන්, සිග්මාර් යන නම්වලට පිළිවෙලින් ඡන්ද 825, 610, 332 සහ 229 ලැබී තිබිණ.

වීඩියෝ සහ පින්තූර මෙතනින්සහ මෙතනින්බලන්න.

බෙංගාලි සුදු ව්‍යාඝ්‍රයින් යනු වෙනමම සත්ව විශේෂයක් නොවේ. ඔවුන් බිහිව ඇත්තේ බෙංගාලි ව්‍යාඝ්‍රයන්ගේ නිලීන ජානයක් හේතුවෙනි. වනය තුලදී ඔවුනට ඔවුනගේ වර්ණය බාධාවකි. වනයේදී සුදු පැහැය කැපී පෙනෙන හෙයින්, ඔවුනට දඩයමක් සොයා ගැනීම ඉතා අපහසුය. එහෙයින් බොහොමයක් සුදු ව්‍යාඝ්‍රයන් බිහි වන්නේ සිරගතව බව සඳහන්ය. මධ්‍යම යුරෝපයේ බෙංගාලි සුදු ව්‍යාඝ්‍රයින් සිටින එකම සත්වෝද්‍යානය ලිබරෙක් සත්වෝද්‍යානය බව කියවේ.

අගෝස්තු මාසයේදී කල පරීක්ෂණයක් අවස්ථාවේ, පිරිමි සතුන් රාත්තල් පහළවක් ද, ගැහැණු පැටවා රාත්තල් දහහතරක් ද බරින් යුතු වූහ. සාමාන්‍යයෙන් අවුරුදු දෙකක් තුනක් තුලදී මෙම සතුන් පූර්ණ වර්ධනයට පත්වේ. එවිට පිරිමි සතෙක් අඩි 9 ක් දක්වා දිගින්ද රාත්තල් 440-550 ක් පමණ බරින්ද යුතු වන අතර, ගැහැණු සතෙක් දිගින් අඩි 8 ක් දක්වා විය හැකි අතර බරින් රාත්තල් 285-375 ක් පමණ වේ.

2 comments:

  1. මට ගොඩක් සතුටුයි ඔබව මුණ ගැසීම ගැන.ඒත් මගේ බ්ලොග් එක delete උන නිසා දුකයි.මං අළුත් එකක් හදනවා.ඒකට දාන්න ඇතැම් කරුණු මට ඔයාගෙන් අහලා දැනගන්න පුළුවන් වේවි.

    ReplyDelete
    Replies
    1. බලමු... එකතු වෙලා වැඩක් දෙමු! ඔයා අලුතෙන් ලියන්න පටන් ගනිද්දී, ඔයාට වෙච්ච දේයි, කාර්ලයිල්ට වෙච්ච දේයි (මම වෙන කමෙන්ට් එකක දාපු විස්තරේ) ගැන ලියන්න. :-)

      Delete