Monday, September 10, 2012

බර්ලින් තාප්පය බිඳ වැටීම-1989 නොවැම්බර් 09


(මෙය මා විසින් කලකට පෙර ලියන ලද ඉංග්‍රීසි ලිපියක් ආශ්‍රයෙන් ලියන ලද්දකි. එම ලිපිය කියවීමට අවැසි නම් මෙතනින් යොමුවන්න).



මාස ගණනක් පුරා නැගෙනහිර යුරෝපා රටවල් සමහරක වූ ජනතා උද්ඝෝෂණ අතරතුර වුවද, බර්ලින් නගරය බෙදා වෙන්කළ තාප්පයේ බිඳ වැටීම ලෝකය මවිතයට පත් කල සිදු වීමක් විය. නැගෙනහිර සහ බටහිර ජර්මනි දෙකෙහිම ජනතාව බර්ලින් තාප්පය දේශපාලනික යථාර්තයක් ලෙස පිළිගෙන සිටියහ. 1987 වසරේ සැප්තැම්බරයේදී, නැගෙනහිර ජර්මන් නායක එරික් හොනෙකර් බටහිර ජර්මනියෙහි සංචාරය කල අවස්ථාවේ, බටහිර ජර්මන් චාන්සලර් හෙල්මුට් කෝල් ඔහුට සැලකූයේ තවත් බොහෝ කලක් ඔවුන් වෙනම රාජ්‍යයන් දෙකක නායකයින් ලෙස කටයුතු කරනු ඇති යන අදහසිනි. එමතුද නොව, තාප්පය තවත් වසර සියයක් පවතිනු ඇතැයි 1989 ජනවාරියේදී එරික් හොනෙකර් පැවසූ විට එය විශ්වාස නොකළෝ අතලොස්සකි. නමුත් තවත් මාස කිහිපයක් තුලදී, සියල්ල උඩු යටිකුරු වූයේ ආපසු නොහැරෙන ලෙසිනි. බර්ලින් තාප්පය බිඳ වැටීම නැගෙනහිර යුරෝපයේ කොමියුනිස්ට් රාජ්‍යයන්ගේ බිඳ වැටීමේ ආරම්භය හෝ අවසානය හෝ නොවීය. නමුත් එය අවසන් ප්‍රතිපලය පිලිබඳ පැහැදිලි අදහසක් ලබා දුන්නේය.

බර්ලින් තාප්පය සහ එහි වූ මුර කපොලු දැක්වෙන සිතියම. ChrisO, Wikimedia Commons.



නැගෙනහිර යුරෝපයේ කොමියුනිස්ට් බලකඳවුර බිඳ වැටීම 1989 දී සිදු වූයේ වී නමුදු, එහි අවසානයේ ආරම්භය, එහි ආරම්භයම වී යයි කිව හැක. ඊට හේතුව, නැගෙනහිර යුරෝපා කොමියුනිස්ට් පාලනයන් 1940 ගණන්වල අග භාගයේ ස්ටාලින් විසින් කරන ලද කෘත්‍රිම නිර්මාණයන් වීමයි. එම රටවල් හැම එකකම පාහේ වූ කොමියුනිස්ට් පක්ෂ ප්‍රජාතාන්ත්‍රික හෝ විප්ලවීය හෝ මාර්ගවලින් බලය ලබා ගැනීමට තරම් ශක්තිමත් නොවීය. එම කොමියුනිස්ට් පාලන තන්ත්‍රයන් පිහිටවුණේ සහ කල් පැවතුනේ සෝවියට් රතු හමුදාවේ බලපෑම මතය. සෝවියට් දේශය සහ බටහිර යුරෝපය අතර ආරක්‍ෂිත කලාපයක් මෙමගින් ලබාගැනීමට ස්ටාලින් සමත් වූ නමුත් එය සෝවියට් දේශයට අමතර බරක් බවටද පත් විය.

මෙය නැගෙනහිර ජර්මනිය සම්බන්ධයෙන් සම්පූර්ණ සත්‍යයක් විය. එහි 1949 ඔක්තෝම්බර් 7 වනදා ජර්මන් ප්‍රජාතාන්ත්‍රික ජනරජය (ජ. ප්‍ර. ජ.) පිහිටුවන ලදී. එහි පාලක පක්ෂය වූයේ ජර්මන් සමාජවාදී එක්සත් පක්ෂය (Socialist Einheitspartei Deutschland-SED) ය. මෙය පැරණි කොමියුනිස්ට් හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ දෙකෙහි එකතුවක් වූ අතර නැගෙනහිර ජර්මනියේදී එම එකතුව බලහත්කාරයෙන් සිදු කරන ලදී. බටහිර ජර්මනියේ එම පක්ෂ දෙක වෙනමම පැවතිණ. නිදහස් මැතිවරණයක් නැගෙනහිර ජර්මනියේ පැවතියේ නම් කුමන පක්ෂය ජය ගත්තද, SED පක්ෂය පරාජය වන බවට සැකක් නොවීය.

දෙවන ලෝක යුද්ධය අවසානයේදී ජර්මනිය, ප්‍රධාන මිත්‍ර රටවල් හතර වූ බ්‍රිතාන්‍යය, ප්‍රංශය, එක්සත් ජනපදය සහ සෝවියට් දේශය අතර බෙදී ගියේය. බටහිර රටවලට අවශ්‍ය වූයේ තමන්ට හිතැති එක්සත් ජර්මනියක් බිහිවනු දැකීමය. සෝවියට් දේශයටද අවශ්‍ය වූයේ තමන්ට හිතැති එක්සත් ජර්මනියක් දැකීමටයි. එහෙයින් එක්සත් ජර්මනියක් පිලිබඳ එකඟතාවක් ඇති නොවීම අරුමයක් නොවීය. 1949 මැයි මාසයේදී බටහිර රටවල් තුනට අයත් ප්‍රදේශ එකතු වී ජර්මන් ෆෙඩරල් සමූහාණ්ඩුව පිහිටුවන ලදී. ඔක්තෝම්බරයේදී ජ. ප්‍ර. ජනරජය පිහිටවුණේ ඉන් පසුවය.

මේ අනුව මහා බලවතුන්ගේ ගැටුමට මැදිව ජර්මනිය දෙකඩ විය. තවද, ජර්මානුන්ට බටහිර ප්‍රජාතන්ත්‍රවාදය සහ විවෘත ආර්ථිකයත්, සෝවියට් පාලන ක්‍රමය සහ සමාජවාදී ආර්ථිකයත් සංසන්දනය කිරීමේ අවස්තාව ලැබිණ.

බටහිර ජර්මනියට බටහිර රටවල ආධාර උපකාර සහ පිළිගැනීම ලැබිණ. මාර්ෂල් සැලසුමෙන් බටහිර ජර්මනියට ආධාර ලැබීම නැගෙනහිර ජර්මානුන්ගේ සන්තාපයට හේතු විය. නැගෙනහිර යුරෝපයේ කොමියුනිස්ට් රටවලට බටහිර ආධාර ලබාගැනීමට ස්ටාලින්ගේ අවසර ලැබුනේ නැත. ජ. ප්‍ර. ජනරජයේ ප්‍රතිපත්ති බර්ලින් නගරයේදී නොව මොස්කව් නගරයේදී සකස් වූ බවට මෙය කදිම උදාහරණයකි.

ස්ටාලින්ගේ තීරණ සෝවියට් දේශයේ වාසිය පිණිසම වූයේය... යුද්ධයෙන් පසුව, නැගෙනහිර ජර්මනියේ ඔවුනගේ පාලනයට නතු වූ ප්‍රදේශවල බොහෝ කර්මාන්තශාලාද, පශු සම්පතද, සෝවියට් පාලකයින් විසින් සිය රට ගෙන යන ලදී. ජ. ප්‍ර. ජනරජය බිහිවූ පසුද ඔවුනට සිදු වූයේ සෝවියට් ආර්ථික ක්‍රමය පිළිපැදීමටය.. නැගෙනහිර ජර්මනියේ බොහෝ බැර කර්මාන්ත ආරම්භ කරන ලද්දේ ඒවායේ අදාලත්වය හෝ ප්‍රතිලාභය හෝ පිලිබඳ එතරම් තැකීමකින් තොරවය. කුඩා ප්‍රමාණයේ කර්මාන්ත හෝ පාරිභෝගික භාණ්ඩ නිපදවීම හෝ කෙරෙහි අඩු සැලකිල්ලක් දක්වන ලදී. බර්ලින් නගරය ආශ්‍රිත ප්‍රදේශය හැරුණු විට, නැගෙනහිර ජර්මනිය, බටහිර ජර්මනියට වඩා කෘෂිකාර්මික රටක් වූයෙන් මෙම වෙනස්කම් එරටට නුසුදුසු විය. බටහිර ජර්මනියෙහි එදිනෙදා පාරිභෝගික භාණ්ඩ ඇති පමණ තිබුන නමුත් නැගෙනහිර ජර්මනියේ ඒවා හිඟ විය. කල් යත්ම, නැගෙනහිර ජර්මානුවනටද බටහිර ජර්මනිය වඩා ආකර්ශනීය වන්නට විය.

එහි ප්‍රතිපලය වූයේ, නිදහස් මැතිවරණ අහිමි නැගෙනහිර ජර්මානුන්, "දෙපයින් ඡන්දය දීමට" පටන් ගැනීමයි. ඔවුහූ බුරුතු පිටින් බටහිර ජර්මනියට පැමිණීමට පටන් ගත්හ. බර්ලින් නගරය පිහිටා තිබුනේ නැගෙනහිර ජර්මනියේ වුවද, එහි බටහිර කොටස පාලනය වූයේ බටහිර ජර්මනියේ කොටසක් ලෙසය. නැගෙනහිර සහ බටහිර ජර්මනිය අතර දේශ සීමාව 1952 දී කටු කම්බි වැටකින් වෙන් කරන ලදී.නමුත් බර්ලින් නගරය එසේ වෙන් නොකෙරිණ. තවත් විධියකින් කිවහොත් දේශපාලනික වශයෙන් බෙදුනද, බර්ලින් නගරය භෞතික වශයෙන් බෙදී නොතිබිණ. වීථි සහ ජල මාර්ග ගණනාවකින් නගරයේ කොටස් දෙක සම්බන්ධව තිබූ අතර පොදු ප්‍රවාහන සේවා පවා නගරයේ කොටස් දෙක අතර ක්‍රියාත්මක විය. යමෙකුට එක කොටසකින් තවත් කොටසකට යාමට අවශ්‍ය වී නම් බසයකින්, දුම්රියකින්, බෝට්ටුවකින් නැතහොත් දෙපයින් වුවද ගමන් කල හැකි විය. එහෙයින් බටහිර බර්ලිනය කොමියුනිස්ට් "යකඩ තිරය" තුල පිහිටි විශාල සිදුරක් විය. 1949 සිට 1961 දක්වා ගතවූ දොළොස් වසරක කාලය තුල මිලියන 3.5 ක ජනකායක්, එනම් නැගෙනහිර ජර්මනියේ ජනගහනයෙන් 20% ක පමණ ප්‍රමාණයක්, මෙම සිදුරෙන් රිංගා ගියහ. මේ අතර විශාල වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, තාක්ෂණ ශිල්පීහු සහ ගුරුවරු පිරිසක් වූහ. මෙම බුද්ධි ගලනය සහ මානව සම්පත් සෝදා පාළුව ගොඩ නැගෙමින් පැවති රාජ්‍යයක් වූ නැගෙනහිර ජර්මනියට කිසිසේත්ම සුභදායක නොවීය. මෙම ගැටලුවට පිළිතුරක් කොමියුනිස්ට් පාලකයනට නොමැති සෙයක් දිස් විය. නමුත් එසේ පෙනුණේ, 1961 අගෝස්තුවේ ඒ තීරණාත්මක රාත්‍රිය තෙක් පමණි.

නැගෙනහිර ජර්මන් ආණ්ඩුවේ අනෙකුත් බොහෝ තීරණ මෙන්ම බර්ලින් තාප්පය ඉදි කිරීමේ තීරණයද මොස්කව්වලදී ගත්තක් වීමට බොහෝ ඉඩ ඇත. එසේ වූවත් නොවූවත්, ක්‍රෙම්ලීනයේ අනුදැනුමක් නොමැතිව එම පියවර ගැනීමට නැගෙනහිර ජර්මන් පාලකයනට හයියක් නොවීය. 1961 අගෝස්තු 12 දා රාත්‍රියේ, නැගෙනහිර ජර්මන් නායක වෝල්ටර් උල්බ්‍රිෂ්ට් බර්ලින් තාප්පය සෑදීමට අවසර දෙන නියෝගය අත්සන් කළේය. මධ්‍යම රාත්‍රිය ඉක්ම ගිය පසු නැගෙනහිර ජර්මන් හමුදා සහ පොලිස් සෙබළු නගර දෙක වෙන් කරන බාධකය ඉදි කිරීම ආරම්භ කළහ. මුලින්ම බටහිර බර්ලිනය වට කොට කටුකම්බි වැටක් ඉදි කරන ලදී. මෙහි කිලෝ මීටර 43 ක් වූයේ නගරය තුලිනි. පෙරදා රාත්‍රියේ නින්දට ගිය මිලියන ගණනක් නැගෙනහිර ජර්මානුවන් ඊළඟ උදෑසන අවදි වූයේ තමන්ගේ අන්තිම ගැලවුම් මාර්ගයත් වසා දමන ලද සිර කඳවුරකය.

මෙම පවුර "ෆැසිස්ට් විරෝධී ආරක්ෂක පවුරක්" සහ බටහිර රහස් ඔත්තුකාරයින්ට වට බැඳීමක් ලෙස අර්ථකථනය කරමින් එය ඉදි කිරීම සාධාරණීයකරණය කිරීමට නැගෙනහිර ජර්මානු පාලකයෝ උත්සාහ කළහ. නමුත්, බටහිර ජර්මන් සහ වෙනත් බටහිර රටවල පුරවැසියනට නැගෙනහිර බර්ලිනය විවෘත වීමත් නැගෙනහිර ජර්මානුවනට බටහිර බර්ලිනය තහනම් කලාපයක් වීමත් මම සාධාරනීකරණයන් විකාරයක් බවට පත් කළේය. බටහිර බර්ලින්වාසීනට නැගෙනහිර බර්ලිනය තහනම් ප්‍රදේශයක් වූ බව සැබැවි. එහෙත් ඊට හේතු වූයේ, සෝවියට් බල කඳවුර විසින්, බටහිර බර්ලිනය බටහිර ජර්මනියේ කොටසක් ලෙස නොපිළිගැනීමය.

බර්ලින් තාප්පය නැගෙනහිර ජර්මානුවන් සංක්‍රමණය වීමට එරෙහි දැවැන්ත බාධකයක් වුවද, එය ඔවුනගේ සියලු උත්සාහයන් ව්‍යර්ථ කිරීමට අපොහොසත් විය. තාප්පය පැන හෝ තාප්පය යටින් හෝ අන් ක්‍රමයකින් හෝ බටහිරට යාමට බොහෝ නිර්භීත පිරිස් උත්සාහ කළහ. වෙසෙසින්ම පළමු අවුරුදු කිහිපයේදී සමහරු ඒ උත්සාහයන් සාර්ථක කරගත්හ. තවත් සමහරු අසාර්ථක වූහ. එවැනි එක ඛේදජනක අවස්තාවක් වූයේ තාප්පයෙන් පැනීමට ගිය 18 හැවිරිදි පීටර් ෆෙට්චර් මුහුණ දුන් ඉරණමයි. මුරභටයන්ගේ වෙඩි පහරින් ඔහු ඇද වැටුනේ බටහිරට ලඟා වීමට පෙරය. එම තරුණයා ලේ සලමින් මරණයට පත් වනතුරු මුරභටයෝ කිසිත් නොකළහ.

සෝවියට් හාම්පුතුන්ගේ බලපෑමද ඇතිව, ඉතිහාසයේ ගත් බරපතලම තීරණයෙන් බර්ලිනය බෙදා වෙන් කල නැගෙනහිර ජර්මානු පාලකයෝ ඉනික්බිති සිය රටේ සංවර්ධනය පිලිබඳ අවධානය යොමු කළහ. සත්‍ය වශයෙන්ම අන් බොහෝ නැගෙනහිර යුරෝපා කොමියුනිස්ට් රටවලට වඩා ඔවුහු මෙහිදී සාර්ථක වූහ. 1989 මුල වන විට පවා, අනෙක් බොහෝ නැගෙනහිර යුරෝපා රටවල් ආර්ථික අපහසුතාවලට පත්ව තිබියදී, නැගෙනහිර ජර්මනියේ තත්ත්වය සාමාන්‍ය විය. සැපයුමට වඩා ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහල යමින් පැවතුනද, කඩ සාප්පුවල ආහාර සහ අනෙක් පාරිභෝගික ද්‍රව්‍ය ඇති පමණ තිබුණි. එවන් තත්ත්වයක් යටතේ බර්ලින් තාප්පය අවශ්‍ය නම් තවත් අවරුදු සියයක් වුවද පවතිනු ඇති අනාවැකි කීමට තරම් හය්යක් එරික් හොනේකර්ට තිබීම අරුමයක් නොවේ.

එහෙත්, අව්රුද්දක් ඉකුත්වීමටද මත්තෙන් සියල්ල කණපිට හැරුණි.

ලොව සෙලවූ සිදුවීම් දාමය ආරම්භ වූයේ, නැගෙනහිර ජර්මනියෙන් පිටතදී ගන්නා ලද තීරණ කිහිපයක් හේතුවෙනි. පුදුමයකට මෙන්, ඒවා සෝවියට් දේශයේදී ගන්නා ලද තීරණ නොවීය. නමුත් ක්‍රෙම්ලීනයේ ගොර්බචොව් පාලනය එය අනුමත කල බව නිසැකය. 1989 මුලදී හංගේරියානු රජය, පාලක පක්ෂය හැරුණු විට වෙනත් දේශපාලන පක්ෂවලට දේශපාලනයෙහි නිරත වීමට දමා තිබූ තහනම ඉවත් කළහ. මීළඟට, 1989 අගෝස්තු 23 වනදා ඔවුහු ඔස්ට්‍රියාව සමඟ දේශසීමාව ඔස්සේ දමා තිබූ කම්බි වැට ඉවත් කළහ. මේ අනුව හංගේරියාවේ සිට ඕස්ට්‍රියාවට ගමන් කිරීමට නැගෙනහිර යුරෝපා ජනතාවට හැකියාව ලැබිණ. මෙසේ යකඩ තිරයෙහි ඇති වූ සිදුර හරහා නැගෙනහිර ජර්මානුවන්ද රිංගා යාමට වූහ.

මුලින්ම මේ අවසරයෙන් ප්‍රයෝජනය ගත්තේ නිවාඩු ගත කිරීමට හන්ගෙරියාවට ගොස් සිටි පිරිසක් ඇතුළු සුළු ප්‍රමාණයක් පමණි. නමුත් ටික දිනක් තුල නැගෙනහිර ජර්මානුවන් වැල නොකැඩී ඕස්ට්‍රියාවට ගමන් කරන්නට වන්හ. මෙහිදී, නැගෙනහිර ජර්මානු ආණ්ඩුවේ විරෝධතාව හමුවේ, එරට වැසියනට ඕස්ට්‍රියාවට යාමට වූ අවස්තාව හංගේරියානු ආණ්ඩුව විසින් නැති කරන ලදී. මෙහිදී, බුඩාපෙස්ට්හි බටහිර ජර්මානු තානාපති කාර්යාලය අසලට රොක් වූ නැගෙනහිර ජර්මානුවෝ සියරට බලා යාම ප්‍රතික්ෂේප කළහ. නමුත් ඔවුනට බටහිරට යාමට ක්‍රමයක් නොවීය. නැගෙනහිර ජර්මානු ආණ්ඩුව ඔවුනට යලි සියරට පැමිණීමට අවස්ථාව දුන්නේය.

මේ අවස්ථාවේ චෙකොස්ලෝවැකියාවේ සිටි නැගෙනහිර ජර්මානුවන්ද බටහිරට යාමට ඉල්ලා සිටියෝය. ඔවුනට ඒ සඳහා අවසර දීමට නැ. ජර්මානු පාලකයෝ තීරණය කළහ. කෙසේ වුවද, ඔවුන් ගමන් කල දුම්රිය යායුතු වූයේ නැ. ජර්මනිය මැදිනි. ඒවා නැගෙනහිර ජර්මනිය හරහා ගමන් කරද්දී ඊට ගොඩවීමට තැත් කල නැ. ජර්මානුන් සහ ජනතා පොලිසිය (Volkspolizei) අතර ගැටුම් ඇති විය. මෙම සිද්ධිය හේතුවෙන් මුලින් ඩ්‍රෙස්ඩෙන් සහ ලීප්සිග් නගරවලත් පසුව අනෙක් ප්‍රදේශවලත් උද්ඝෝෂණ හට ගැනිණ. මුලින් ඇතිවූ උද්ඝෝෂණ මර්ධනය කිරීමට ගිය රජය එයින් සිදු කලේ ඒවා තවත් ව්‍යාප්ත වීමට පාර කැපීම පමණි.

1989 ඔක්තෝම්බර් 7 වනදා, නැ. ජර්මානු පාලකයින් සිය 40 වන ජාතික දිනය සැමරුවේ ඉතිහාසයේ දරුණුතම අර්බුදයට මුහුණ දෙමිනි. එම ජාතික දින සමරුමද ඔවුනට ගෙනාවේ අස්වැසිල්ලක් නොවේ. සැමරුමට පැමිණි ගොර්බචොව් නැගෙනහිර ජර්මානු නායකයනට ප්‍රකාශ කලේ අතීතයේදී මෙන් නැගෙනහිර යුරෝපයේ ප්‍රශ්න විසඳීමට රතු හමුදාව මැදිහත් නොවනු ඇති බවයි. නැගෙනහිර ජර්මනිය සිය අභ්‍යන්තර කටයුතු පිලිබඳ වග බලාගතයුතු විය.

වහා ක්‍රියාත්මක වූ නැ. ජර්මානු පාලකයෝ යම් යම් ප්‍රතිසංස්කරණ ඇති කිරීමට කටයුතු කළහ. එරික් හොනෙකර් බලයෙන් ඉවත් කල ඔවුහු ඊගොන් ක්‍රෙන්ස් නායකත්වයට පත් කළහ. නමුත් ඒ වනවිට ක්‍රියාත්මක වෙමින් පැවති සිද්ධි දාමය සමඟ සන්සන්සනය කල විට පාලකයින්ගේ ප්‍රතික්‍රියා මන්දගාමී වූවා සේම ප්‍රමාණවත්ද නොවීය. උද්ඝෝෂකයන්ගෙන් රට පුරා නගරවල වීථි උතුරා ගියේය. SED පක්ෂය අතින් වේගයෙන් රටේ පාලනය ගිලිහෙමින් පැවතිණ. අවසානයේදී ඔවුහු නැවත වෙනස් නොකළ හැකි තීරණයක් ගත්හ. 1989 නොවැම්බර් 9 වනදා ඔවුහු බර්ලින් තාප්පය විවෘත කිරීමට තීරණය කලෝය.

එකවර බර්ලින් තාප්පය විවෘත කිරීමට SED පාලනයට අවශ්‍ය නොවීය. එහෙත්, එම නිවේදනය නිකුත් කිරීමට ගිය ගුන්තර් ශබෝව්ස්කිව හරි හැටි දැනුවත් කිරීමට ඔවුහූ අසමත් වූහ. කිනම් වෙලාවක සිට එම නියෝගය බලපවත්වේදැයි මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කලවිට ඊට පිළිතුර ඔහු නොදත්තේය. එවිට ඔහු සඳහන් කලේ නියෝගය එවක පටන් වලංගු බවයි. මෙම පුවත කණ වැකුණු ජනතාව සිය දහස් ගණනින් බර්ලින් තාප්පය හරහා වූ මුර කපොලු අසලට රොක් වූහ. ඒවායේ සේවය කල මුර භටයෝ සම්පූර්ණයෙන් වික්ෂිප්තභාවයට පත්වූහ. ඔවුනට තාප්පය විවෘත කිරීමක් පිලිබඳ දැනුවත් කිරීමක් කර නොතිබිණ. මහා ජන ගඟ නැවැත්වීමේ හැකියාවක් හෝ ඇතැම්විට කැමැත්තක් හෝ ඔවුනට නොවීය. අවසානයේදී මුර කපොලු විවෘත විය. ජනතාව ප්‍රීතියෙන් කුල්මත්ව ඒ හරහා බටහිරට ගියහ. සමහරු තාප්පය මත නැග ප්‍රීතිය පල කළහ. තවත් සමහරෙක් තාප්පයේ කැබලි කඩාගෙන සිහිවටන ලෙස රැගෙන ගියහ.
බර්ලින් තාප්පය බිඳ වැටුණු පසු බ්‍රන්ඩේන්බර්ග් දොරටුව අසල. (1990 නොවැම්බර් 10) Sue Ream, Wikimedia Commons.

නැගෙනහිර ජර්මානු පාලකයන්ගේ අරමුණ වූයේ ආගමන විගමන තහංචි ඉවත් කොට ජනතාවගේ විශ්වාසය දිනාගෙන යලි තම රට ගොඩ නැගීමය. නමුත්, කඩා වැටුණු ආර්ථිකයක් ගොඩ නැගීම සඳහා තමන් දශක හතරක් පුරා සිදු කලාවූ කැප කිරීම් තව දුරටත් සිදු කිරීමේ අදහසක් බොහෝ දෙනාට නොවීය. එමෙන්ම, බටහිර ජර්මනියේ ජීවිතය බොහෝ සුවපහසු බව පෙනිණ. එසේම රටේ දේශපාලන විපර්යාසය 1990 මාර්තුවේ පැවති පළමු නිදහස් මැතිවරණයෙන් දිස් විය. එහිදී නැ. ජර්මන් ක්‍රිස්තියානි ප්‍රජාතාන්ත්‍රික පක්ෂය විශිෂ්ට ජයක් ලදහ. ජූලි මාසයේදී, කඩා වැටුණු නැ. ජර්මන් මාර්ක් මුදල් ඒකකය ඉවත ලා ඩොයිෂ් මාර්ක් භාවිතයට නැ. ජර්මනිය පියවර ගත්තේය. මෙසේ එකම මුදල් ඒකකය භාවිතා කිරීමට පටන් ගැනීම ජර්මනිය යලි එක්සත් වීමේ වැදගත්ම පියවරක් විය. 1990 ඔක්තෝම්බර් 3 වනදා, ජර්මනිය යලි එක්සත් වූවිට ජර්මන් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය අවසන් හුස්ම හෙලීය.

බර්ලින් තාප්පය (1961-1989) තිබූ තැනෙක එය වෙනුවෙන් වන සිහිවටනය. Wikimedia Commons.



මූලාශ්‍ර



Cyril E. Black, Jonathan E. Helmreich, Paul C. Helmreich, Charles P. Issawi, A. James McAdams. Rebirth: A History of Europe Since World War Two, Westview Press (1992)

Mills, Clifford W., Angela Merkel, Chelsea House, NY (2008)

Taylor, Frederick. The Berlin Wall: A World Divided. Harper Collins (2007)

9 comments:

  1. මේක කියවලන එද්දි මට දැනුන දෙයක් තමයි තද බල කොමියුනිස්ට් පාලනය අසාර්ථක වනවා කියලා.ඒ වගේම අන්ත ධනවාදි ආර්ථිකයේත් ඒ කඩා වැටීම වෙනවා කියලා. අනික මට අහන්න ඕනි චූටි ප්‍රශ්නයක් තියෙනවා.ජර්මනිය බටහිර ජර්මනියයි නැ.ජර්මනියයි අතර පසු කාලීනව යුද්ධයක් ඇති උනාද?

    ReplyDelete
    Replies
    1. කොමියුනිස්ට් ක්‍රමයේ අසාර්ථකත්වයට මූලික හේතුවක් තමයි මිනිස්සුන්ගේ තන්හාව නැති කරන්නට ඒ ධර්මයට හැකි නොවීම. ධනපති පන්තිය එලෙව්වාම වෙන කව්රු හරි එතන ගනීවි කියන දේ මාක්ස් දැක්කේ නැතුව ඇති. අනික සෝවියට් දේශයේ ක්‍රියාත්මක උනේ නියම සමාජවාදයක් කියන්නත් බෑ. ඇත්තටම මේ මුළු කාරණය ගැන පොත් ගණනක් ලියන්න පුළුවන් කියල මට හිතෙනවා.
      අන්ත ධනවාදය දුප්පත්කම වැඩි කිරීමෙන් ඇති කරන ප්‍රශ්න ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ නේ...

      අනිත් ප්‍රශ්නය.. ජර්මනි දෙක අතරේ කවදාවත් අවි ගැටුමක් නම් උනේ නෑ. නමුත් මතවාදී යුද්ධයක් සහ එකිනෙකා අතරේ තරඟය තිබුනා. නැගෙනහිර ජර්මන් රහස් ඔත්තු සේවය සමහර අංශ වලින් K.G.B. එකටත් වඩා දරුණු එකක්.. ඒ ගැනත් වෙනමම පොත් ලියවිලා තියෙනවා.. නමුත් ඉංග්‍රීසියෙන්, ජර්මන් භාසාවෙන් සහ වෙනත් ඇතැම් භාසාවලින්...

      Delete
  2. ඔය බර්ලින් තාප්පේ කෑලි දැන් සිහිවටන විදිහට විකුණන්න තියෙනවාලු නේද ?

    ReplyDelete
    Replies
    1. මම මේකේ ඉංග්‍රීසි ලිපිය ලියපු කාලේ, ඒ කියන්නේ 2009 නම් තිබුනා. දැන් තත්ත්වය නම් මම දන්නේ නා මල්ලි... එකක් ගන්න ආස නම් මට අහල කියන්න පුළුවනි. :-)

      Delete
    2. එපා එපා අයියණ්ඩි. ඒකට යන සල්ලිවලින් ඊට වඩා වටින දෙයක් කරන්න පුලුවන් වේවි :D

      Delete
  3. http://nelumwila.blogspot.com/2011/09/blog-post_15.html

    මාත් ඔයින් කෑල්ලක් දැක්ක මැලේසියාවේදී . දැකල දවසක ඔය ගැන ලිව්වා . මන් නම් ලියන්නේ බොහොම සරලව . ඔබේ ලිපිය එයිට වඩා හරබර බව පෙනුනා

    ReplyDelete
    Replies
    1. මම ඒ ලිපිය කියෙව්වා. ලස්සනට ලියලා තියෙනවා. එක එක අය ලියන විදිය වෙනස් නේ. හැමෝම එක වගේ නෑ. මම එක එක ලිපි ලියන විදියත් එකිනෙකට ටිකක් වෙනස් වෙන්න පුළුවනි.

      මේ පැත්තට ඇවිත් කමෙන්ට් එකක් දාලා ලිපිය කියවන්න ලින්ක් එකකුත් දැම්මට බොහොම ස්තූතියි!

      Delete
  4. ස්තූතියි අයියා...

    ReplyDelete