Saturday, September 29, 2012

හෙන්රි ඩුනාන්ට්: සොල්ෆෙරිනෝහි මතකය


එය ගොම්මන් අඳුර වැටෙන වෙලාවයි. හිමිදිරි පාන්දර සිට පැය දහසයක් පුරා නැගුනු රණ හඬ වෙනුවට දැන් ඇසෙන්නේ තුවාලකරුවන්ගේ විලාපයයි. ඔවුහු, වේදනාවෙන්, උෂ්ණයෙන් සහ දුහුවිල්ලෙන් පීඩා විඳිමින් පෙනෙනතෙක් මානයේ හැම අතකම වැටී සිටිති. ඔවුනට බෙහෙත් හේත් තබා ආහාර සහ ජලය පවා නොලැබේ. ඇතැම් තුවාලකරුවන් අසල ඔවුනගේ මිතුරකු හිඳගෙන සිටිනු පෙනේ. ඔවුනටද කල හැක්කේ පන අදින හෝ තුවාල ලබා වේදනා විඳින හෝ සිය සගයා වචනයෙන් සැනසීම පමණි. ගිලන් රථයක් හෝ ගිලන් මැස්සක් හෝ රැගෙන කවරකු හෝ පැමිණේය යයි ඔවුනට ඇත්තේ සුළු බලාපොරොත්තුවක් පමණි. ගිලන් රථයක් පැමිණියද තුවාලකරුවනට සහනයක් ලැබීම සැක සහිතය. ගැස්සෙමින් පැද්දෙමින් ඒවායේ ගමන් කිරීම තුවාල ලබා, එළිමහනේ, හිසට වහලක් නොමැතිව වැටී සිටීමටද වඩා අපහසු කාරණයක් වීම ඊට හේතුවයි. තවද, රෝහලකට ගෙන ගියද අවශ්‍ය ප්‍රතිකර්ම ලැබීමද සැක සහිත විය.

එදින, 1859 ජූනි 24 වනදා, ඉතාලියේ, ලොම්බාර්ඩි ප්‍රදේශයේ, සොල්ෆෙරීනෝ ගම්මානය අසල සිදුවූ සටනින් මියගිය, තුවාල ලැබූ සහ අතුරුදහන් වූ සංඛ්‍යාව 40,000 පමණ විය. තුවාලකරුවන් රැක බලා ගැනීමට හරි හැටි ක්‍රමවේදයක් නොවූ එකල සටනකින් මියයාමට වඩා තුවාල ලැබීම භයංකර වී යයි කිවහොත් එය වැරදි නොවනු ඇත. මෙය සටන් වැදුණු ජයග්‍රාහී, පරාජිත සියලු ජාතීන්ට පොදු විය. සොල්ෆෙරීනෝ සටන ඉතිහාසයට එක වන්නේ ඉතාලිය එක්සත් කිරීමේ එක සන්ධිස්ථානයක් ලෙසය. මෙහිදී ප්‍රංශ සහ සාර්ඩිනියානු ඒකාබද්ධ හමුදාවක් විසින් ඔස්ට්‍රියානු හමුදාව පරාජය කරන ලදී. රටවල් තුනෙහිම හමුදාවලට අණ දුන්නේ ඒ ඒ රටවල රාජ්‍ය නායකයන්ය. ඔස්ට්‍රියානු හමුදාව සිය යුධ අත්දැකීම්වලින් ඌන, එකුන්තිස් වියැති ෆ්‍රැන්සිස් ජෝසෆ් අධිරාජයා විසින් මෙහෙයවනු ලැබීය. ප්‍රංශ හමුදාව III වන නැපෝලියන් අධිරාජයා විසින්ද, සාර්ඩිනියානු හමුදාව II වන වික්ටර් එමානුවෙල් රජු විසින්ද මෙහෙයවන ලදී.

Napoléon III à la bataille de Solférino, [Napoleon III at the Battle of Solferino by Jean-Louis-Ernest Meissonier (1863)], 1863 දී ශෝන්-ලුවී-අර්නස්ට් මෙයිසොනියර් විසින් අඳින ලද "III වන නැපෝලියන් සොල්ෆෙරීනෝ සටනේදී" නම් චිත්‍රය. Wikimedia Commons.

මේ අනුව, ඉතිහාසයේ සටන් බිමකදී සියලු හමුදාවලට ඒ ඒ රාජ්‍ය නායකයන් අණ දුන් අවසන් සටන සොල්ෆෙරීනෝ සටනය. හමුදාවල ප්‍රධාන අණදෙන්නන්ගේ අත්දැකීම් මඳ බව හේතුවෙන් මෙම සටන බොහෝකොටම භූමියේ සිටි සෙබළුන්ගේ සහ ඔවුනගේ අණ දෙන නිලධාරීන්ගේ සටනක් විය. එහි අවසන් ප්‍රතිපලය වූයේ සොල්ෆෙරීනෝ සටන, යුධෝපාය මත තීරණය වූවක් නොව හුදෙක් ගහ මරාගැනීමක් පමණක් බවට පත් වීමය. සොල්ෆෙරීනෝ සහ අවට ගම්මානවල සැතපුම් දොළහක යුධ පෙරමුණක සටන් ඇවිලී ගියේය. අසිපත්, තුවක්කු සහ බයිනෙත්තු අතැති සොල්දාදුවෝ ගෙයක් ගෙයක් පාසා, ගමක් ගමක් පාසා, එකිනෙකා මරාගන්නට වන්හ. ප්‍රංශ හමුදා ප්‍රහාර හමුවේ ඔස්ට්‍රියානුවන් සොල්ෆෙරීනෝ ගම්මානයෙන් පලවා හරින ලද පසු, ඔස්ට්‍රියානු සෙබළු හිස් ලූ ලූ අත පලා ගියහ.

ශෝන් ඔන්රි ඩුනාන්ට් (ජෝන් හෙන්රි ඩුනාන්ට්) නම් තිස් එක් හැවිරිදි ස්විස් ජාතික ව්‍යාපාරිකයාට ඇල්ජීරියාවේ වූ ඔහුගේ ව්‍යාපාරයක් පිලිබඳ ගැටලුවක් නිරාකරණය කරගැනීමට III වන නැපෝලියන් අධිරාජයා බැහැ දැකීමට අවශ්‍ය විය. නමුත් ඒ වනවිට අධිරාජයා සිටියේ ඉතාලි නිදහස් සටනට සහය දක්වමින් සිය හමුදා මෙහෙයවමිනි. මේ අනුව, අධිරාජයා සොයා ඩුනාන්ට් ඉතාලියට පැමිණියේය. ඔහු සොල්ෆෙරීනෝ වෙත ලඟා වූයේ එහි සිදුවූ ජන සංහාරය අවසන් වීමත් සමඟය.

තුවාල ලබා සිටි දහස් ගණන් සෙබළුන්ට ජූනි 24-25 රාත්‍රියේ සොල්ෆෙරීනෝ සටන් බිම අපායක් විය. අන් සැමට වඩා බරපතල සතුරා වූයේ පිපාසයි. ප්‍රදේශයේ වූ කිසිදු පොකුණක හෝ දිය පහරක ජලය බීමට ක්‍රමයක් නොවූයේ ඒ සියල්ල සටනින් ගලා ගිය ලෙයින් රත් පහ ගැන්වී තිබුණු හෙයිනි. ඊළඟ දිනට එලිය වැටෙන විට තුවාලවලින් සහ පිපාසයෙන් පීඩා විඳි තවත් බොහෝ දෙනා නිස්කාරනේ මරුමුවට පත්ව සිටියාහ. එමෙන්ම, රාත්‍රී අඳුරත් සමඟ පැමිණි සොරු, තුවාල ලබා වැටී සිටි අසරණයන් සතු වූ යම් පමණකට හෝ වටිනා කියන සියල්ල කොල්ල කෑහ. එමෙන්ම, ඔවුහු මළවුන්ගෙන්ද වටිනා දෑ කොල්ල කාගත්හ.

සටන් බිමෙහි වූ ආරෝග්‍යශාලාවලට ගෙන ආ තුවාලකරුවන්ගේ තත්ත්වයද ඊට වැඩියෙන් යහපත් නොවීය. ඒවායේ වූ වෛද්‍යවරුනට, තුවාලකරුවනට ප්‍රතිකාර කිරීමට තරම් ආම්පන්න, දැනුම මෙන්ම පිරිස් බලයද නොවීය. ප්‍රදේශයේ වූ පල්ලි, කන්යාරාම මෙන්ම පෞද්ගලික නිවාසද ආරෝග්‍යශාලා බවට පත් කරන ලදී. එතරම් තුවාලකරුවෝ සටන් බිමෙහි වූහ. හෙන්රි ඩුනාන්ට් පැමිණියේ මෙවැනි පසුබිමකටය. ඔහු තමා දුටු දර්ශනයන්ගෙන් දැඩි ලෙස කම්පනයට පත් විය. තරුණ වියේ සිටම සමාජ සේවා කටයුතුවල යෙදී තිබුනද, මෙවන් ඛේදවාචකයක් ඔහු මින් පෙර දැක නොතිබුණි. කෙසේ නමුත් වහ වහා ක්‍රියාත්මක වූ හෙතෙම, තුවාලකරුවනට හැකි අයුරින් ප්‍රතිකාර කිරීමට ක්‍රියා කළේය. ඔහු සිය කර්තව්‍යය ඇරඹුවේ කැස්ටිග්ලියෝනේ ගම්මානයේදී ය. මෙම ගම්මානයට පමණක් රැගෙන ආ තුවාලකරුවන් සංඛ්‍යාව නව දහස ඉක්මවීය. ඩුනාන්ට් සිය මූලස්ථානය කරගත් චියෙසා මගිඔරේ පල්ලියේ ඇතුලත තුවාලකරුවෝ පන්සියයක් වූ අතර එයින් පිටත වීදියෙහි තවත් සියයක් වැතිර උන්හ. ඩුනාන්ට් තුවාලකරුවන් අතර රැඳෙමින්, ඔවුනගේ තුවාල සුද්ධ කිරීමට සහ ඔවුනගේ පිපාසය නිවා දැමීමට හැකි සියල්ල කළේය. නමුත් කෙතරම් උත්සාහ කලද, දුනාන්ට බොහෝවිට සිදු වූයේ පන අදින මිනිසුන්ගේ අවසන් මොහොතේ ඔහු හා සිටිමින් ඔහු සනසාලීමෙන් සෑහීමට පත් වීමටය.

තරුණ හෙන්රි ඩුනාන්ට්,Wikimedia Commons

ඩුනාන්ට් තුවාලකරුවන්ට උපකාර කිරීම සඳහා ගම්වැසි කාන්තාවන්ගේ උපකාර ලබා ගත්තේය. ඔවුහු, කිසිදු පෙර පුහුණුවකින් තොරව වුවද සිය කර්තව්‍යය නොපිරිහෙලා ඉටු කළහ. ඩුනාන්ට් ඇතුළු පිරිසගේ උත්සාහය, කරුණාව සහ දයාව නොවන්නට තත්ත්වය තවත් භයානක වීමට ඉඩ තිබිණ. නමුත්, බොහෝ තුවාලකරුවන්ට ප්‍රථමාධාර ලැබීමට ප්‍රමාද වූවා වැඩිය. සිය ජීවිත කාලය තුල නොයෙක් යුද්ධවලදී සටන් වැදී තිබූ වයසින් මුහුකුරා ගිය එක්තරා සාර්ජන්ට්වරයෙක් දැඩි විස්සෝපයෙන් දුනාන්තට පවසා සිටියේ, "කලින් මට ප්‍රතිකාර ලැබුනා නම් මම ජීවත් වෙන්නටත් ඉඩ තිබුණා. නමුත්, අද හවස් වෙද්දී මා මිය යනු ඇති" කියාය. සවස් වෙද්දී, ඒ අනාවැකිය ලෙසම ඔහු මියගොස් සිටියේය.

ඩුනාන්ට්හට සිය අත් දැකීම් අමතක කල නොහැකි විය. ඔහු දැඩි මානසික අවපාතයකට පත් වූ අතර, ඔහු විසින් කල සේවයට ලැබුණු ගරු සම්මානවලින් පවා එයට සහනයක් නොලැබිණ. සොල්ෆෙරීනෝ සටන් බිම මතකයට නැගෙනවිට තමා දිවිගෙවන ජිනීවා නුවර සුන්දරත්වය ඔහුට දිස්වූයේ මායාවක් ලෙසිනි. සිය මානසික අවපාතයෙන් ගැලවීමට ක්‍රමයක් සෙවූ ඔහු තම අත්දැකීම් සියල්ල ලියා තැබීමට තීරණය කළේය. 1862 නොවැම්බරයේදී පලවූ "A Memory of Solferino"(සොල්ෆෙරීනෝහි මතකය) එහි ප්‍රතිපලය විය. යුද්ධයකදී තුවාලවන්නන්න්ට සහන සලසනුවස් ඇපකැප වී ක්‍රියා කරන, පුහුණු ස්වේච්ඡා සේවකයන්ගෙන් යුතු සංගමයක් බිහි කිරීමට හැකියාවක් නැතිද? යන පැනය එම පොතෙන් ඔහු මතු කර සිටියේය.

"සොල්ෆෙරීනෝහි මතකය" ඩුනාන්ට් බලාපොරොත්තු වූවාට වඩා බෙහෙවින් වැඩි ප්‍රතික්‍රියාවක් ඇති කළේය. පොතේ පිටපත් සියල්ල උණු කැවුම් මෙන් අලෙවි වූයේය. පොතෙහි පිටපත් අතින් අත යන්නට විය. දහස් ගණන් පාඨකයෝ පොත කියවූහ; එහි වූ පණිවිඩයෙන් ඔද වැඩී ගියහ. දෙසැම්බරය වනවිට පොතෙහි දෙවන මුද්‍රණයක් නිකුත් කිරීමට සිදු විය. එයින් ඇති කල උනන්දුව අති මහත් විය. ඊළඟ අවුරුද්දේ, එනම් 1863 පෙබරවාරිය වනවිට අන්තර්ජාතික රතු කුරුස සංවිධානය ජිනීවා නුවරදී ආරම්භ කරන ලදී. 1864 අගෝස්තුවේදී පළමු ජිනීවා සම්මුතියට රටවල් 12 ක් විසින් අත්සන් තබන ලදී.

කෙසේ නමුත් සමාජ සේවය හේතුවෙන් සිය ව්‍යාපාරික කටයුතුවලට අවධානය යොමු නොකිරීමේ ප්‍රතිපලයක් ලෙස 1867 දී හෙන්රි ඩුනාන්ට් බංකොලොත් විය. ඔහු සතු සියලු දේපල අහිමිව, ජිනීවා නුවර හැර ගියේ නැවත නොඑන්නටමය. පැරිසියේ කලක් විසූ ඔහු ඉනික්බිති යුරෝපයේ විවිධ ප්‍රදේශවල බොහෝ දුක සේ ජීවත් වූයේය. 1887 දී ස්විට්සර්ලන්තයේ හෙයිඩන් ගම්මානයට පැමිණි ඔහු ජීවිතයේ ඉතිරි කාලය ගෙවුයේ එහිය.

හෙයිඩන් ගම්මානය, 1900, Wikimedia Commons

1895 දී හෙයිඩන් ගම්මානය අසල කඳු නැගීමට පැමිණි බවුම්බර්ගර් නම් පුවත්පත් කලාවේදියෙක් ප්‍රදේශවාසීන් සමඟ කතා බහ කරනවිට ඩුනාන්ට් පිළිබඳව දැන ගත්තේය. ඔහු හමුවීමට පැමිණි බවුම්බර්ගර්, ඩුනාන්ට් පිලිබඳ පුවත්පත් ලිපියක් පල කළේය. ඔහුගේ සහචරයින් විසින් අමතක කලද, මහජනතාවට "සොල්ෆෙරීනෝහි මතකය" අමතකව නොතිබිණ. එතෙක් අමතක කරනු ලැබ සිටි හෙන්රි ඩුනාන්ට් යළි ජනතාව අතර වීරයකු බවට පත් වූයේය. 1901 දී පළමු නොබෙල් සාම ත්‍යාගයේ සම හිමිකරුවෙකු ලෙස හෙන්රි ඩුනාන්ට් පිදුම් ලැබීය.



මූලාශ්‍ර

1. Pam Brown, Henry Dunant: The Founder of Red Cross-His Compassion has Saved Millions, Orient Longman edition (1995)

2. Battlefield Anomalies, Battle of Solferino, June 24, 1859. (Accessed Sep. 28, 2012)

6 comments:

  1. ඩුනාන්ට්ට නොබෙල් තෑග්ගක් හම්බ උනා කියලා මං දැනන් උන්නේ නෑනේ...

    මට මතකයි මං මේ ගැන ලිපයක් කියෙනව්වා.මීට මාස ගාණකට ඉස්සර.සමහර කරුණු අමතක වෙලයි තිබ්බේ.ඔහු වීරයෙක් විදිහට සලක්න්න ඕනි තමා.හොද ලිපියක් !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි! මමත් බොහොම ආසාවෙන් ලියපු ලිපියක් මේක...

      Delete
  2. හොඳ විස්තරයක්...

    ReplyDelete
  3. ඩූනාන්ට්ගේ අවසන් ඉල්ලීම වුනා කියන්නේ ලොව ප්‍රසිද්ධ නගරයක අප්‍රසිද්ධ ස්ථානයක එයාගේ දේහය මිහිදන් කරන්න කියලා. ඒ ඉල්ලීම ඉටු කරමින් ජීනිවා නුවර අප්‍රසිද්ධ තැනක ඔහුගේ දේහය මිහිදන් කළාලු

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔයාගේ එකතු කිරීමට හසිත මලයෝ.

      Delete