Wednesday, July 20, 2022

නැගෙනහිර යුරෝපෙ ෆුට්බෝල්වලට මොකද වුණේ?

පාපන්දු ඉතිහාසය ගැන මතක අයට 20 වන සියවසේ පෙරළිකාර නැගෙනහිර යුරෝපා පාපන්දු කණ්ඩායම් අමතක වෙන්න බැහැ. යුගෝස්ලාවියාව, රුමේනියාව වගේම ඒකාලෙ සෝවියට් දේශය නිතර දස්කම් අතර හිටපු කණ්ඩායම්. හන්ගේරියාවෙ 1950 ගණන්වල තිබුණු ස්වර්ණමය කණ්ඩායම වෙනමම ලෙජන්ඩ් එකක්. බල්ගේරියාව 1994 ලෝක කුසලානෙදි දක්වපු දස්කම් අමරණීයයි. ඒ වගේම 1998 දි ක්‍රොයේෂියාව දක්වපු දස්කම්.

එහෙත් 1994 න් පස්සෙ නැගෙනහිර යුරෝපා පාපන්දු කණ්ඩායම් ලෝක මට්ටමේදි ලොකු දස්කම් පෙන්නුවේ නැහැ. 1998 ක්‍රොයේෂියා ටීම් එකේ දස්කම් විශේෂ සිදුවීමක් බවට පත්වුණා. ඉන් අනතුරුව 2018 දි ක්‍රොයේෂියානු පිළම අනුශූරතාවය දිනාගන්නකල් ලෝක කුසලානෙදි නැගෙනහිර යුරෝපා රටවල් තිබුණෙ පසුබැස්ස තත්‍ත්වයකයි. ඇත්ත වශයෙන්ම කිව්වොත් මෑතක් වෙනකල් රුසියාවෙ හැරුණම ගොඩක් නැගෙනහිර යුරෝපා රටවල ලීග් වගෙම ජාතික කණ්ඩායම් තිබුණෙ පසුගාමී තත්‍ත්වයකයි. ඇත්තටම මොකද වුණේ?

මේ තත්ත්වය ගැන කතා කරද්දි අපිට රටින් රට වෙනමම කරුණු හොයන්න වෙනව. නමුත් පොදුවෙ එක්තරා රටාවක් ද මෙහි දකින්න පුළුවන්. අන්න ඒ රටාව ගැන තමයි අපි අද කතාබහ කරන්න හිතුවෙ.

 

කොමියුනිස්ට් පාලන සමයෙදි සෝවියට් දේශයේ සහ නැගෙනහිර යුරෝපයෙ පාපන්දු ක්‍රීඩාව හැඩගැහුණ ක්‍රමයක් තිබුණා. හැම රටකම රජයේ අනුග්‍රහය ලැබුණ කණ්ඩායම් එකක් හෝ දෙකක් තමයි දේශීය පළමු පෙළ ලීගය පාලනය කළේ. සෝවියට් දේශය ගත්තොත් මොස්කව්වල දිනාමෝ මොස්කව් සහ සීඑස්කා (CSKA මොස්කව්) ප්‍රධාන වුණා. ඊට අමතරව ඒකාලෙ ලෙනින්ග්‍රාද් වල සෙනිත් ක්ලබ් එක තිබ්බා. ඊට අමතරව හැම සෝවියට් සමූහාණ්ඩුවකම එක ක්ලබ් එකක් දියුණු කළා. එතකොට ඒවා ඒ ඒ සමූහාණ්ඩු නියෝජනය කරන ක්ලබ් වගේ. යුක්‍රේනයේ දිනාමෝ කීව්, බෙලරූස්වල දිනාමෝ මින්ස්ක් වගේ ක්‍රීඩා සමාජ. රටේ හිටපු හොඳම ක්‍රීඩකයො ගත්තෙ මේ සමාජ විසින්. යුගෝස්ලාවියාව තිබ්බෙත් එහෙම ක්‍රමයක්. සර්බියාවෙ රෙඩ් ස්ටාර් බෙල්ග්‍රේඩ් සහ පාර්ටිසාන් බෙල්ග්‍රේඩ්, ක්‍රොයේෂියාවේ දිනාමෝ සග්‍රෙබ් ඒවට උදාහරණ.

නැගෙනහිර යුරෝපෙ අනෙක් රටවලත් තිබ්බෙ මෙහෙම තමයි. රුමේනියාවෙ නම් ස්ටුවා බුකරෙස්ටි සහ දිනාමෝ බුකරෙස්ටි. බල්ගේරියාවෙ සීඑස්කා සොෆියා.

දැන් මේවයෙ අනුග්‍රාහකයා ගැනත් වචනයක් කියන්නම ඕන. දිනාමෝ කියන නම තිබ්බ ක්‍රීඩා සමාජවල අනුග්‍රාහකයො වුණේ ඒ රටවල රහස් පොලිසිය. සෝවියට් KGB එක, නැගෙනහිර ජර්මනියෙ ස්ටාසි එක, රුමේනියාවෙ සිකුරිටාට් එක එහෙම. සීඑස්කා ක්‍රීඩා සමාජවලට අනුග්‍රහය දැක්වූයේ යුධ හමුදාව. ස්ටුවා බුකරෙස්ටි එකටත් එහෙමයි. සමහර ක්‍රීඩා සමාජවලට සහය ලැබුණෙ වෘත්තීය සමිහිවලින්. උදාහරණයක් විදියට ලොකොමාතීව් කියන්නෙ දුම්රිය සේවකයන්ගෙ කණ්ඩායම්. (රෙඩ් ස්ටාර් බෙල්ග්‍රේඩ් සහ පාර්ටිසාන් බෙල්ග්‍රේඩ් ගැනයි සීඑස්කා සොෆියා සහ ලෙව්ස්කි සොෆියා ගැනයි වෙනම කතන්දරත් තියෙනව. ඒවා මෙතන කියලා මේ විස්තරේ සංකීර්ණ කරන්නේ නැහැ. ස්ටුවා බුකරෙස්ටි සහ දිනාමෝ බුකරෙස්ටි ගැනත් ඒ වගේම මරු කතා තියෙනව. ඒවා පසුවට).

මේ අතරෙම මේ රටවල ක්‍රීඩකයන්ට වයස අවුරුදු 28 වෙනකල් පිටරට ක්‍රීඩා සමාජවලට බැඳෙන එක තහනම් කරලයි තිබ්බෙ. එතකොට මේ අය ස්වදේශීයවම තමයි දියුණු වුණේ.

මේ තත්ත්වයන් යටතේ ඒ ඒ රටවල ස්වදේශීය ලීග්වල ලොකු තරගකාරීත්වයක් තිබ්බෙ නෑ. මොකද අර අනුග්‍රහය ලබන ක්‍රීඩා සමාජ ඒවා ලේසියෙන්ම පාලනය කළා. අනුග්‍රහය කිව්වම මුදල් වගේම තරගවල වාසිදායක තීරණ එහෙමත් අයිතියි. මොන රෙෆ්‍රි ද KGB එකට පිටින් යන්නෙ?

කෙසේ වෙතත්, ලීග්වල තරගකාරීත්වය අඩු වුණාට ඒ ඒ රටවල හොඳ ක්‍රීඩා සමාජ එකක් දෙකක් හැදුණා. ජාතික කණ්ඩායම් හැදුණෙත් ඒවයෙන්. හන්ගේරියාවෙ ලෝක පූජිත "අරනික්සපාත්" ටීම් එකත් එහෙමයි හැදුණෙ.

කොමියුනිස්ට් පාලන තන්ත්‍රයන් බිඳවැටුණට පස්සෙ කාරණා කිහිපයක් වුණා. එක, අර ලොකු ක්‍රීඩා සමාජවලට තිබ්බ අනුග්‍රහය අඩු වුණා. මොකද ඒ ආණ්ඩුවලට සල්ලි තිබ්බෙ නැහැ. මේ නිසාම හොඳ දේකුත් වුණා. ස්වදේශීය ලීග් තරගකාරී වෙන්න පටන් ගත්තා. හැබැයි මේක වැඩිකල් දුවන්න බැරුව ගියා. ගොඩක් ක්‍රීඩා සමාජ පුද්ගලීකරණයට ලක්වුණා. නමුත් ඇති තරම් මුදල් යොදන්නත් ආයෝජකයින් හිටියෙ නෑ. ඒ ආපු සමහරුත් කළේ ගසාකන එක. ඒකෙන් යටිතල පහසුකම් ද බරපතල ලෙස කඩා වැටුණා. 20 වන සියවසේ ක්‍රීඩා සමාජ සහ ජාතික කණ්ඩායම් වාර්තා තියපු සමහර ක්‍රීඩාංගනත් ගරාවැටුණා. අනික් අතට අවුරුදු 28 නීතිය අහෝසි වුණ නිසා මේ රටවල තරුණ ක්‍රීඩකයො පිටරට ක්‍රීඩා සමාජ වෙත ගියා. ඒ සමහරු එහිදි එතරම් සාර්ථක වුණේ නැහැ. අලුත් පසුබිමට හැඩගැහෙන්න එයාලට අමාරු වුණා. මේ අතරෙ වෙච්ච තව එකක් තමයි කොමියුනිස්ට් කාලෙ යටගහලා තිබ්බ ප්‍රතිරෝධතා මතුවෙන්න ගත්තු එක. 2002 ලෝක කුසලානෙදි ස්ලොවීනියා කණ්ඩායමට වුණේ ඒ වගේ අර්බුදයක පොළාපැනීමක්. අන්තිමට මේ සේරගෙන්ම වුණේ මේ රටවල ස්වදේශීය ලීග් වගෙම ජාතික කණ්ඩායම් ද කඩා වැටීමයි. (1998 ක්‍රොයේෂියානු පිළ සාර්ථක වෙන්න වෙනත් කරුණු බලපෑවා. ඒකත් 1998 න් පසුව අසාර්ථක වුණා නෙ).

මේ තත්ත්වයන් වෙනස් වෙලා, ආයෝජකයො ආපහු ඇවිල්ලා, යටිතල පහසුකම් දියුණුවෙලා, නැගිටලා එන්න කල් ගතවුණා. ඒත් එක්කම කොමියුනිස්ට් සිස්ටම් එකේ අහු කොන් නැති තරුණ පරපුරක් ගොඩනැගෙන්න වුණා. ඒගොල්ලො අතරින් දක්ෂයො බටහිර යුරෝපෙ ක්‍රීඩා සමාජ වෙත ගිහින් ටිකෙන් ටික සාර්ථක වෙන්න පටන් ගත්තා. ඒ අතරෙම නැගෙනහිර යුරෝපෙ රටවල ලීගත් ටිකෙන් ටික ගොඩනැගෙන්න වුණා.

මේ ක්‍රියාවලිය තවම සිදුවෙනව. 2018 ක්‍රොයේෂියානු පිබිදීම ඒ අලුත් රැල්ලෙ එක අවස්ථාවක් ලෙස කෙනෙකුට හඳුන්වන්න පුළුවන්. නමුත් මේ ක්‍රියාවලිය තව කාලයක් තිස්සෙ සිදුවෙමින් පවතින්නක් වේවි.

Monday, July 4, 2022

පාපන්දු ක්‍රීඩකයාගේ පියා කළ ශාපය​

මේ ඡායාරූපයේ ඔබ දකින සොහොන රුමේනියාවේ හිටපු පාපන්දු ක්රීඩකයකු වූ ෆ්ලෝරින් පිතුර්කාගේ (Florin Piturca) යි​. ඔහු හිටපු රුමේනියා ජාතික ක්රීඩක සහ ජාතික පුහුණුකරු වික්තර් පිතුර්කාගේ ඥාති සහෝදරයකු වුණා. නිරිතදිග රුමේනියාවේ ක්රයෝවා නගරයේ මෙම සොහොන දකින්න ලැබෙනවා.
 
 
රුමේනියාවේ දෙවන පෙළ ලීගයේ ක්රීඩාකල ද්රොබේතා තුර්නූ සෙවෙරින් (Drobeta Turnu Severin) ක්රීඩා සමාජයේ ප්රහාරකයකු වූ 27 හැවිරිදි ෆ්ලෝරින් 1978 දෙසැම්බර් 10 වනදා මෙටාලුල් බුකරෙස්ට් ක්රීඩා සමාජයට එරෙහිව පැවති තරගයේ දී ද ගෝලයක් වාර්තා කළා. එම තරගය ඔවුන් ජයගත්තේ 2-1 ක් ලෙසයි. ආපසු නිවසට පැමිණි ඔහු තමන්ට අසනීප ගතියක් දැනෙන බව සිය බිරිඳට පවසා නානකාමරයට වැදුණා. විනාඩි දහයක් තුළ ඔහු මියගොස් සිටියා.
 
ඔහුගේ මරණය සම් භාණ්ඩ මසන්නකු වූ ඔහුගේ පියා මැක්සිමිලියන් වෙත තදින්ම දැනුණා. මැක්සිමිලියන් තමන් සතු ධනයෙන් ෆ්ලෝරින් වෙනුවෙන් සොහොනක් ඉදිකළා. එපමණක් නොව එම සොහොන ඉදිකළ පසු ඔහු එහි පදිංචි වුණා. දිවා කාලයේ සිය රාජකාරියේ නිරතවන ඔහු සවසට එම සොහොනට පැමිණියා.
 
ෆ්ලෝරින්ගේ මරණය පිළිබඳ සත්ය හේතුව හෙළිදරව් කෙරුණේ නැහැ. ඔහුගේ පවුලේ අය මරණ පරීක්ෂණ වාර්තාවක් ලබාගැනීමට රෝහල වෙත ගියවිට ඔවුන්ව ආපසු හරවා යවන ලද්දේ මාස හයකින් පැමිණෙන ලෙස පවසමින්. නමුත් මාස හයකින් පැමිණි විට ද ඔවුනට ලැබුණු පිළිතුරක් නැහැ. ෆ්ලෝරින්ගේ මව පවසන පරිදි ඔහුගේ අවසන් තරගයේ අර්ධ දෙක අතර විවේකයේ දී ක්රීඩකයන්ට තේ ලබා දී තිබෙනවා. ෆ්ලෝරින්ගේ මව විශ්වාස කරන්නේ ඔහුට තේ සමග යම් වසක් දෙන්නට ඇති බවයි.
 
රුමේනියාවේ කොමියුනිස්ට් පාලන සමයේදී ප්රධාන පෙළේ ක්රීඩකයන්ට තහනම් උත්තේජක ලබාදීමට පෙර ඒවා පරික්ෂා කිරීම සඳහා දෙවන පෙළ ක්රීඩකයන් වෙත ලබාදුන් බවට සැකයක් තිබෙනවා. ෆ්ලෝරින් මියගියේ එවැනි පරීක් ෂණයක් නිසා ය​ යන්නත් එක්තරා ප්රබල සැකයක්. ෆ්ලෝරින්ගේ මරණය කෙරේ රජයේ වගකීම කෙසේ වුණත් 1989 මාර්තුවේදී ක්රයෝවා වෙත පැමිණි රුමේනියානු ඒකාධිපති නිකුලා චෞචෙස්කුගේ දියණිය සෝයා, එම සොහොන දැක කෝපයට පත්ව එය විනාශ කිරීමට බුල්ඩෝසර එවා තිබෙනවා. මේ පිළිබඳ මැක්සිමිලියන් දැඩි සේ කෝප වූ අතර සෝයා චෞචෙස්කුට ශාප කළේ යයි සඳහන්. "අවුරුද්දක් යන්න කලින් මම ආපහු මෙතනට එනවා. ඒ වෙද්දි උඹ මැරිලා ඉඳිවි."
 
මැක්සිමිලියන්ගේ කෑගැසීම උන්මත්තකයකුගේ ක්රියාවක් සේ සෝයා චෞචෙස්කුට දැනෙන්නට ඇති. කෙසේ වුණත් අවුරුද්දක් ගතවීමට මත්තෙන් ඔහුගේ අනාවැකිය සැලකියයුතු පමණකට සත්ය වුණා. 1989 දෙසැම්බරයේදී සිදුවූ විප්ලවයෙන් සෝයා චෞචෙස්කු දිවි ගලවාගත් නමුත් ඒකාධිපති නිකුලා චෞචෙස්කු සහ ඔහුගේ භාර්යාව එලේනා, මරාදමනු ලැබුණා. මැක්සිමිලියන් සෝයාට පැවසූ පරිදිම අවුරුද්දක් යාමට මත්තෙන් සොහොන යළි ඉදි කෙරුණා. 1994 දී මැක්සිමිලියන් හෘදයාබාදයකට ලක් වුවද ඔහු දිගටම සොහොනෙහිම පදිංචිව සිටියා. "මගේ පුතාව ළඟදිම දැකගන්න වෙන එක ගැන මට සතුටුයි" යයි සිය මරණය ආසන්න බව දැන සිටි ඔහු පවසා තිබෙනවා.
 
 
මෙම ස්මාරකයේ පාපන්දුව ද මුලින් ලෝකඩයෙන් තනා තිබුණ ද 2000 දී එය යම් අයකු විසින් ගලවාගෙන ගොස් තිබුණා. දරිද්රතාවයෙන් පෙළෙන යමෙක් එහි ලෝහ අලෙවි කරන්නට එය ගලවාගෙන යන්නට ඇති බවයි ෆ්ලෝරින් ගේ මව විශ්වාස කරන්නේ.

Saturday, June 25, 2022

ඉන්දියානු ජනාධිපතිවරණය 2022 - බීජේපීයේ සීරියස් දේශපාලන පියවර​

ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය ගැන සාකච්ඡා කරද්දි අමතක නොකළ යුතු කරුණක් තිබෙනව​. ඒ තමයි ඔවුන් දේශපාලනය ඉතාම බරපතල ලෙස ගන්නා බව​. ඔවුන්ට සෑම ඡන්දයක්ම සීරියස් වැඩක්. ඔවුන් ජයග්රහණ පිට ජයග්රහණ ලබාගන්නේ හින්දුත්වවාදය නිසා විතරක් යයි කවුරුන් හෝ හිතනවා නම් එය තමයි කෙනෙකුට බීජේපී එක ගැන එන්න හැකි නරකම තක්සේරුව​.
 
ඉන්දියාවේ ජනාධිපති යනු නාමමාත්ර ධුරයක්. දේශපාලන බලය අතින් සරලවම කිව්වොත් වැඩකට ඇති තනතුරක් නෙවෙයි. නමුත් ඉතා ගෞරවණීය තනතුරක්. ඒ වගේම සංකේතාත්මකව වැදගත් තනතුරක්. ජනාධිපති පත්වෙන්නෙ වක්ර ඡන්ද විමසීමකින්. ඡන්ද බලය තියෙන්නෙ පාර්ලිමේන්තුවෙ සහ ප්රාන්ත සභාවල මන්ත්රීන්ට​.
 
දේශපාලනිකව ගත්තම ඉන්දීය ජනාධිපතිවරණයක් රටේ අනාගත දේශපාලනයේ පෙනෙන බරපතල විපර්යාසයන්ට පාදක වෙන්නෙ නැහැ. ඒ කියන්නෙ ජනාධිපතිවරණයක ප්රතිඵලය නිසා රටේ දේශපාලනේ එක සැරේ උඩු යටිකුරු වෙන්නෙ නැහැ. (එක ජනාධිපතිවරණයක ප්රතිඵලය නම් රටේ දේශපාලන අනාගතය උඩු යටිකුරු කළා. ඒ ගැන වෙන වෙලාවක කතා කරමු).
 
හැබැයි ජනාධිපතිගෙ තියෙන සංකේතාත්මක වැදගත්කම නිසා දේශපාලන පක්ෂ විසින් එම තරගය සම්පූර්ණයෙන් අමතක කරන්නෙත් නැහැ. බීජේපී එක පහුගිය දශක දෙකේම ජනාධිපතිවරණය සීරියස් දේශපාලන පියවර සඳහා අවස්ථාවක් කරගත්තා. 2002 දී අබ්දුල් කලාම් ජනාධිපති කරන්න සහය දීම එක දක්ෂ, සටකපට දේශපාලන ගේම් එකක්. 2007 දී කේ. ආර්. නාරායන් ජනාධිපති කරන්න සහය දීමත් එහෙමයි. 2017 දි දලිත්වරයකු වන රාම්නාත් කෝවින්ද් ජනාධිපති තරගයට ඉදිරිපත් කිරීමත් ඒ වගේම එකක්. 2022 දිත් ඒ වගේම මූව් එකක් බීජේපී එකෙන් අරන් තියෙනව​. ආදිවාසී ගෝත්රයක දේශපාලනඥ ද්රෞපදී මුර්මු බීජේපී ජනාධිපති අපේක්ෂිකාව ලෙස නම් කර තිබෙනව​.
 
 
මෙහෙම කියද්දි එක දෙයක් පැහැදිලි වෙන්න ඕන​. 2002 දි මුස්ලිම් අයෙක්, 2007 දි දලිත්වරයෙක්, ආයෙ 2017 දි දලිත්වරයෙක් ජනාධිපති වුණාම කෙනෙකුට හිතන්නෙ පුළුවන් "අම්මටසිරි ඉන්දියාව මාරයි නෙ. රටේ ඉහළම තනතුර සුළු ජාතීන් වෙතයි අඩු කුලේ යයි සම්මත අය වෙතයි දෙනව නෙ" කියල. මුර්මු ඉදිරිපත් කළාමත් එහෙම හිතෙන්න පුළුවනි. නමුත් ඒ සේරම හොඳට කල්පනා කරලා ගත්තු දේශපාලනික පියවරයන් විනා අන් යමක් නෙවෙයි.
 
ඇයි මේ වෙලාවෙ ගෝත්රික ජනවර්ගයක අයෙකුට ජනාධිපති අපේක්ෂකත්වය දෙන්නෙ? කාරණා දෙකක් ප්රධාන වෙලා තියෙනව​. එකක් තමයි මේ දවස්වල ආදිවාසී ජනවර්ග අතරේ සිය අයිතීන් පිළිබඳ කතාබහක් ඇදෙනව​. මීට ජාර්ඛන්ඩ් ප්රාන්ත මහ ඇමතිත් සම්බන්ධ වෙලා තිබුණා. ආදිවාසීන් ව හින්දූන් ලෙස සැලකීම කෙරෙහි විරුද්ධත්වයක් නිර්මාණය වෙලා තියෙනව​. ඔවුන් වැඩි දෙනෙක් අදහන ආගම හින්දු සහ සම්ප්රදායික ආගම් අතර සංකලනයක් බවයි මේ විරෝධය දක්වන ආදිවාසීන් කියන්නෙ. මේක බීජේපී එකේ හින්දුත්ව සංකල්පයට පටහැණියි. එවිට අනාගතයේදි හින්දුත්ව මතවාදය යටතට ආදිවාසීන් ජීවත්වෙන ප්රදේශවල ජනයා ඒකරාශී කිරීම ප්රශ්නයක් වෙන්න පුළුවන්.
 
මේ එක්කම බීජේපී එකට ඊසානදිග ඉන්දියාව ආදී ඇතැම් ප්රදේශවල සිය හින්දුත්ව බලපෑම ප්රචාරය කිරීමට අවශ්යයි. ඒ බොහොමයක් ප්රාන්තවල ඉන්නෙත් විවිධ ගෝත්රවල අය​. ඔවුන් සැලකියයුතු පිරිසක් ක්රිස්තියානින්. මේ කරුණු නිසා ඒ ප්රදේශවල බීජේපී එකට පැතිරෙන්න පුළුවන් සීමාවක් තිබෙනව​. ආදිවාසී ගෝත්රයක කෙනෙක් ජනාධිපති කිරීමෙන් ඒ පැත්තටත් තව හොඳින් රිංගන්න බීජේපී ය බලාපොරොත්තු වෙනව කියල හිතන්න පුළුවනි.
 
බීජේපී එකට හැම ඡන්දයක්ම බොහොම සීරියස් වැඩක්. ඒ වගේම හැම දේශපාලන මූව් එකක්ම බොහොම සීරියස් වැඩක්. බීජේපී ආණ්ඩුවක් එක්ක ගනුදෙනු කරද්දි ඒක අමතක කරන්න නරකයි.

Thursday, June 23, 2022

චක්‍රව්‍යු (Chakravyuh)

චක්‍රව්‍යුහ යනුවෙන් සඳහන් වන්නේ ඉතා සංකීර්ණ හමුදා සැකැස්මක්. ප්‍රතිවාදියකු උපක්‍රමිකව වටලාගැනීම සඳහා මෙය භාවිතා කළ හැකියි. මහාභාරතයෙහි මෙම උපක්‍රමය පිළිබඳ සඳහන්ව තිබෙනවා.

චක්‍රව්‍යුහ සංග්‍රාමෝපක්‍රමය මතකයට නැංවූවද​, "චක්‍රව්‍යු" චිත්‍රපටය පාදක වන්නේ නම් සම්ප්‍රදායික යුධ හමුදා දෙකක් අතර යුද්ධයක් මත නොවේ. එහි පසුබිම ඉන්දියාවේ මාඕවාදී හෙවත් නැක්සල්වාදී අරගලයයි.


මාඕවාදී අරගලය තුළ ක්‍රියාවට නංවන ලද සංග්‍රාමෝපක්‍රම අපහට චක්‍රව්‍යුහ මෙන්ම මාඕවාදී මහජන යුද්ධ සිද්ධාන්තය (People's War Theory) ද සිහිගන්වනවා. එහෙයින්, ඒ පිළිබඳ කෙටියෙන් විස්තර කිරීමට ඔබ අවසර දෙනු ඇතැයි මා විශ්වාස කරනවා.

මහජන යුද්ධ සිද්ධාන්තයෙහි මූලික අංගයක් වන්නේ රජයේ බලපෑම අවම, අරගලයට වාසිදායක වියහැකි ප්‍රදේශයක, ජනතාව අතර වැඩ කරමින් "මූල කඳවුරු" (base areas) ගොඩනැගීමයි. එම ප්‍රදේශවල සිට කෙමෙන් කෙමෙන් අනෙක් ප්‍රදේශ වෙත සිය බලය පැතිරවීම "මහජන හමුදාවේ" අරමුණයි. මුලදී අවට ප්‍රදේශවල මෙහෙයුම් සිදුකළ පසු ආරක්ෂිතව පසුබැසිය හැකි ප්‍රදේශයක් ලෙස මෙම මූල කඳවුරු ගොඩනගනු ලබයි. පසුව අවට ප්‍රදේශයන් හි සිය බලපෑම වර්ධනය කරමින් මූල කඳවුරෙහි වපසරිය වැඩි කිරීම අපේක්ෂාවයි.

ඉන්දියාවේ නැක්සල්වාදී අරගලය ඇරඹෙන්නේ 1967 නැක්සල්බාරි නම් බටහිර බෙංගාලීය ගම්මානයක සිදුවූ ගොවි කැරැල්ලකින්. නැක්සල්වාදී අරගලයේ මුල් අදියර තුළ ආන්ද්‍රාවේ ශ්‍රීකාකුලම් ප්‍රදේශය වැනි ග්‍රාමීය ප්‍රදේශ කිහිපයක සහ කල්කටාව වැනි නගරවල නැක්සල්වාදීන් අරගලයේ යෙදුණා. නමුත් එම සටන් ස්වල්ප කලකින්ම මර්ධනය කරනු ලැබුණා.

නැක්සල්වාදී අරගලයේ දෙවැනි අදියර ක්‍රියාවට නැගුණේ එම පරාජයෙන් වසර කිහිපයකට පසුයි. පරාජිත නැක්සල්වාදීන් අතුරින් ඉතිරි වූ ඇතැමෙක් වටහාගත්තේ තමන්ට පළමු අරගලයේදී උපක්‍රමිකව බරපතල වරදක් වූ බවයි. ඔවුන් එවක විශ්වාස කළේ ගොවි ජනතාව අරගලයට සූදානම් බවත් එක් තැනකින් අරගලය හටගත් විට ලැව් ගින්නක් මෙන් එය පැතිරෙනු ඇති බවත් වුවද එය එසේ සිදුවුණේ නැහැ. මේ අනුව අරගලය නව මුහුණුවරකින් කරළියට ගෙන ආ යුතු බව ඔවුන් වටහා ගත්තා.

මෙම යළි උපන් අරගලයේ එක් මුහුණුවරක් වූයේ ශිෂ්‍ය සංවිධාන​, නාට්‍ය සහ කලා සංවිධාන වැනි විවිධ බහුජන සංවිධාන ඔස්සේ ජනතාව සංවිධානය සහ දැනුවත් කිරීමයි. මේ සඳහා මූලිකත්වය ගත්තේ "මහජන යුද්ධ කණ්ඩායම​" ලෙස පොදු ව්‍යවහාරයේදී හඳුන්වා දෙනු ලබන කණ්ඩායමක්. 1980 වනවිට ඔවුන් දේශපාලන ව්‍යාපාරයක් ලෙස සංවිධානය වුණා.

ඔවුන් සිය මූල කඳවුරු පිහිටුවීම සඳහා තෝරාගත්තේ ආන්ද්‍රා ප්‍රදේශ් සහ එවකට මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත අතර පිහිටි, ආදිවාසී ජනයා වැඩියෙන් දිවි ගෙවන වනගත ප්‍රදේශයක්. (මධ්‍ය ප්‍රදේශයෙන් චත්තිස්ඝර් ප්‍රාන්තය නිර්මාණය කරද්දී මෙම ප්‍රදේශ එම ප්‍රාන්තය වෙත මාරු වුණා). මෙම ප්‍රදේශවල ආදිවාසීන් ගැන ආණ්ඩු සොයා බැලුවේ නැහැ. එහි වූ රික්තකයට නැක්සල්වාදීන් ඇතුල් වුණා. ආණ්ඩු මෙම ප්‍රදේශ ගැන අවධානය යොමු කළේ ඒවායේ ස්වභාවික සම්පත් නිස්සාරණය කිරීමට අවශ්‍ය වූ විටයි. එවිට ආදිවාසීන් සමග ආණ්ඩු ගැටුණා. එහිදී නැක්සල්වාදීන් ආදිවාසීන් ගේ ගැලවුම්කරුවන් බවට පත්වුණා.

මේ ක්‍රියාවලියම මේ ආකාරයෙන් බිහාරයේ දකුණුදිග වනගත ප්‍රදේශවල ද සිදුවුණා. එම ප්‍රදේශ දැන් අයත් වන්නේ බිහාරයෙන් වෙන්කර ස්ථාපිත කළ ජාර්ඛන්ඩ් ප්‍රාන්තයටයි. චත්තිස්ඝර් සහ ජාර්ඛන්ඩ් ප්‍රාන්ත කේන්ද්‍ර කරගත් මාවෝවාදී කණ්ඩායම් දෙක 2006 දී ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂය (මාවෝවාදී) ලෙස ඒකාබද්ධ වුණා.

2009 දී දකුණුදිග දිල්ලියේදී කොබාඩ් ගාන්ධි නම් සමාජ ක්‍රියාකාරිකයා අත් අඩංගුවට ගැනුණා. ඔහු මාවෝවාදී කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජිකයකු බව කියැවුණා. ඔහුව 2019 දී නිදහස් කෙරුණා.

2010 දී චත්තිස්ඝර් ප්‍රාන්තයේදී ඉන්දීය මධ්‍යම සංචිත පොලිසියේ සෙබළුන් 76 දෙනකු මාවෝවාදී ප්‍රහාරයකින් ඝාතනය වුණා. එය මාඕවාදීන් එතෙක් මෙතෙක් සිදුකළ දරුණුම ප්‍රහාරයයි.

චක්‍රව්‍යු චිත්‍රපටය 2012 දී නිකුත් වන්නේ මෙම පසුබිමේ යි. ඔබට මා සඳහන් කළ සිදුවීම් සමහරකට සමාන අවස්ථා මෙම චිත්‍රපටයේදී හමුවනු ඇති. ඒ අතර අත්අඩංගුවට ගැනීම්,  මාඕවාදී ප්‍රහාර මෙන්ම ජනනාට්‍ය කණ්ඩායම් වැනි අංග ද වනවා.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ අර්ජුන් රාම්පාල් විසින්. මාඕවාදී බලපෑම දරුණු වන ප්‍රදේශයකදී එල්ල වන දැවැන්ත මාඕවාදී ප්‍රහාරයකින් අනතුරුව ඔහු එම ප්‍රදේශය භාරගන්නවා. එයින් අනතුරුව සිදුවන සිදුවීම් සමුදායක් ඔස්සේ චිත්‍රපටය දිවෙනවා.

මාඕවාදීන් සිය මූල කඳවුරු ප්‍රදේශවල ක්‍රියාවට නඟන ආරක්ෂක උපක්‍රමයත් චක්‍රව්‍යුහයක් වගෙයි. එහි පිටත වළල්ලේ සිටින්නේ ග්‍රාමීය ආදිවාසී කණ්ඩායම්. ඔවුන් "මහජන මිලීෂියා" ලෙස සංවිධානය වී තිබුණා. ඇත්තෙන්ම ඔවුන් සන්නද්ධ වූයේ දුනු හී ආදියෙන්. එයින් අභ්‍යන්තරයට එනවිට ආරක්ෂක වළලු ශක්තිමත් වනවා. අභ්‍යන්තරයේම සිටින්නේ මනාව පුහුණුව ලද "මහජන විමුක්ති ගරිල්ලා හමුදා" සාමාජිකයන්. මාඕවාදී නායකයන් රැඳෙන ප්‍රදේශ මෙලෙස ආරක්ෂා කෙරෙනවා. එමෙන්ම ඔවුන් නිරන්තරයෙන් තමන් සිටින ස්ථාන වෙනස් කරන අතර ඒ සමගම ආරක්ෂක වළලු ද වෙනස් කෙරෙනවා. පොලිස් ප්‍රහාරයක් එල්ල වනවිට කලින්ම දැනගන්නට මෙන්ම ඇතැම්විට පොලිසිය ඇතුලටම ගෙන්වා වටකර පහරදීමට ද මෙම ආරක්ෂක වළලු උපකාරී වනවා. (චිත්‍රපටයේදී ඔබට මෙම අංගය ද දකින්න ලැබෙනවා. අර්ජුන් රාම්පාල්ගේ මිත්‍රයා වනාන්තරයේදී සොයාගනු ලබන්නේ මෙම මිලීෂියා කණ්ඩායමක් විසින්. ඔවුන් මහජන විප්ලවවාදී ගරිල්ලා හමුදාවේ සාමාජිකයන්ව එතැනට කැඳවනවා).

මීට දශකයකට පමණ පෙර මාවෝවාදීන් ඉතා ශක්තිමත්ව සිටි සමයේ මේ ආකාරයේ ආරක්ෂක වළලු ඔවුන්ගේ මූල කඳවුරු ප්‍රදේශයන් හි ක්‍රියාත්මක වුණා. වර්තමානය වනවිට ඒවා එතරම්ම ශක්තිමත් නැතත්, තවමත් ඔවුන් ඇතැම් ප්‍රදේශවල මෙලෙස රැඳී සිටිනවා.


Wednesday, January 19, 2022

ඉන්දිරා නේරු ඉංග්‍රීසියට නැගූ Ekla Chalo Re​

ජවහර්ලාල් නේරුගේ සහ කමලා නේරුගේ එකම දියණිය වූ ඉන්දිරා ප්‍රියදර්ශනීගේ අධ්‍යාපනය කිසිවිටෙක එකකාර වූයේ නැහැ. ඇගේ පියා, මව ඇතුළු පවුලම නිදහස් සටනේ ප්‍රබලයින් වූ අතර ඇය උපන් ඇගේ සීයා මොතිලාල් නේරුගේ ආනන්ද භවන් නිවස අලහබාද් හි නිදහස් සටනේ කේන්ද්‍රස්ථානය වුණා. ඇයට සමවයස් මිතුරන් ද වුණේ නැහැ. විවිධ පාසැල්වල අධ්‍යාපනය ලැබුවත් ඇයට ඒ එකක්වත් ගැලපුණේ ද නැහැ. ඇය සතුටින් පාසැල් ගියේ නම් ඒ මවගේ වෛද්‍ය ප්‍රතිකාර උදෙසා දෙමාපියන් සමග ස්විට්සර්ලන්තයේ ගතකළ අවුරුද්දක පමණ කාලය පමණයි.

ඇය 1930 ගණන්වල මැදදී (1934/35) ශාන්ති නිකේතනයට පැමිණි පසු මේ තත්ත්වය වෙනස් වුණා. රබීන්ද්‍රනාත් ඨාකූර්ගේ සෙවණ යටතේ ඈ ඉතා සතුටින් කල් ගතකළා. ඨාකූරයන් ඇගේ පියාගේ ද වීරයෙක් වුණා. එමෙන්ම ආනන්ද භවන් හි කලබලකාරී ජීවිතයෙන් මිදී ශාන්ති නිකේතනයේ නිහඬ ජීවිතය ඈ ප්‍රිය කළා.

එකළ ඉන්දිරා නිතර ඨාකූරයන් සමග සාහිත්‍යය, කාව්‍ය නිර්මාණ ආදිය පිළිබඳ සංවාද කළා. ඔහුගේ එක්තරා ප්‍රකට කවියක බෙංගාලි බසින් ඉංග්‍රීසි බසට කරන ලද පරිවර්තනය (මෙය ඨාකූර් විසින්ම කරන ලද පරිවර්තනය විය යුතුයි) දුටු ඉන්දිරා එය එතරම් හොඳ පරිවර්තනයක් නොවන්නේ යයි තීරණය කළා. ඉනික්බිතිව ඈ එය තමන්ම නැවත සංස්කරණය කළා.

If no one listens to your call,
Walk alone.

If in fear they cower, mutely facing the wall,
O hapless one
Open your mind and speak out alone.

If, as you cross the wilderness, they turn away and desert you,
O hapless one,
Tread firmly on the thorns along the blood-lined track and travel alone.

If, in the storm-troubled night, they dare not hold aloft the light,
O hapless one,
Ignite your own heart with the lightning and pain, and yourself become the guiding light.


මේ, ඉන්දීය නිදහස් සටනේදී මහත්මා ගාන්ධි නිතර භාවිතා කළ, ඔහුගේ ප්‍රියතම ගීතවලින් එකක් වූ "ekla chalo re" යි. මෙය විසිවන සියවස මුලදී ඨාකූරයන් විසින්ම ගායනා කර තිබෙනවා. පසුව විවිධ ගායක ගායිකාවන් එය ගායනා කළා.

මූලාශ්‍රය - Mother India: A Political Biography of Indira Gandhi by Pranay Gupte.

ඡායාරූපය - ඨාකූරයන් සහ ඉන්දිරා ඇතුළු ශාන්ති නිකේතනයේ සිසුවියන් පිරිසක්.


Sunday, January 16, 2022

සෝවියට් නායකයා "ගෙදර යැවූ" ජනප්‍රිය ගීතය

1964 දි සෝවියට් අසර්බයිජානයෙන් පැමිණි මුස්ලිම් මගමයේෆ් (Muslim Magomayev) නම් තරුණ ගායකයෙක් ජනප්‍රිය තාලයේ ගීයක් ගායනා කළා. ලෝකයේ හොඳම නගරය (Лучший город Земли) නම් වූ මේ ගීතයෙන් මොස්කව් නගරය ගැනයි කියවෙන්නේ. මේ ගීතය බෙහෙවින් ජනප්‍රිය වූ අතර සෝවියට් දේශයේ ගුවන්විදුලියෙන් නිරන්තරයෙන් එය ඇසෙන්නට වුණා.


Песня плывёт, сердце поёт,
Эти слова о тебе, Москва

"ගීතය පාවී යයි, හදවත ගී ගයයි
මේ වදන් ඔබ ගැනයි, මොස්කව්"

නමුත් සෝවියට් නායක නිකීතා කෘෂ්ශොෆ් මේ ගීතයට එතරම් ප්‍රියතාවයක් දැක්වූයේ නැහැ. මෙවන් දේශානුරාගී ආකාරයේ ගීතයකට ජනප්‍රිය (පොප්) ආරක සංගීතය එතරම් ගැලපෙන්නේ නැතැයි පැවසූ ඔහු එම ගීය වාදනය නොකරන ලෙස ගුවන්විදුලියට දැනුම් දුන්නා. මෙය රජය විසින් කළ වාරණයක් නොව කෘෂ්ශොෆ් විසින් කළ ඉල්ලීමක්.

මේ සිද්ධියෙන් පසු ගතවුණේ මාස කිහිපයක් පමණයි. කෘෂ්ශොෆ් බලයෙන් පහ කෙරුණා. ඉන් පස්සෙ මේ ගීතය ලියූ දිමිත්‍රි දර්බෙන්යොෆ් ගුවන්විදුලියට ගිහින් මේ වගේ දෙයක් පැවසුවාලු. "ඔන්න මගමයේෆ් ඔහුට හැකි දේ කළා. කෘෂ්ශොෆ් ගෙදර ගියා. දැන් අපේ සින්දුව ආපහු වාදනය කරමු නේද?"

ඇත්තෙන්ම කෘෂ්ශොෆ් බලයෙන් ඉවත් කෙරුණේ මේ ගීතය නිසා නෙවෙයි. දර්බන්යොෆ් මෙය විහිළුවක් ලෙස පැවසූ බවයි සඳහන් වෙන්නෙ. කොහොමහරි මේ ගීතය ඉන් පසුව ආපහු වාදනය වෙන්න පටන්ගත්තා.

මුස්ලිම් මගමයේෆ් පොප් සංගීතවේදියෙක් ලෙස කෙතරම් ජනප්‍රිය වුණාදැයි කිවහොත් ඇතැමුන් ඔහුව හඳුන්වන්නේ සෝවියට් එල්විස් ප්‍රෙස්ලි කියලයි. ඔහු 2008 දි මියගිය අතර ඔහුගේ සිරුර අසර්බයිජානයේ බාකු නගරයේ "ගෞරවාන්විතයන්ගේ මංපෙතේ" තැන්පත් කෙරුණා.

එසේ නම්, "ලූත්ෂි ගෝරද් සිම්ලී" ගීතය මේ ලින්ක් එකෙන් අහන්න.


 

Tuesday, May 18, 2021

2021 රුසියාවේ විජයග්‍රහණයේ දින සැමරුම් ප්‍රශ්නෝත්තර තරගය

ශ්‍රේෂ්ඨ දේශප්‍රේමී යුද්ධයේ විජයග්‍රහණය රුසියානුවන් විසින් සමරනු ලබන්නේ මැයි 9 වෙනිදායි. මෙවරත් දෙවන වතාවට කොළඹ රුසියානු මන්දිරය (කලින් රුසියානු මධ්‍යස්ථානය​) විසින් ඒ වෙනුවෙන් ඔන්ලයින් ප්‍රශ්නෝත්තර තරගයක් පැවැත්වූවා.


එහි ප්‍රශ්න සහ පිළිතුරු මෙහි දැක්වෙනවා.

Q 1

1. නට්සි ජර්මනිය විසින් සෝවියට් දේශය ආක්‍රමණය කිරීම​, එනම් බාබරෝසා මෙහෙයුම, ආරම්භයේදී, පළමුවෙන්ම සෝවියට් දේශසීමාව තරණය කළ ජර්මන් පාබල ඒකකය ලෙස සැලකෙන්නෙ එක්තරා විශේෂ බලකායක්. මෙම ඒකකය විශේෂ මෙහෙයුම් සඳහාම අරඹන ලද එකක්. ජර්මන් නගරයක් සහ පළාතක නමින් මෙය සාමාන්‍ය ව්‍යවහාරයෙදී හඳුන්වනවා. මෙම ඩිවිෂනයේ නම කුමක්ද​?

Q 2

2. දෙවන ලෝක යුද්ධයේ සෝවියට් පෙරමුණ ගැන තියෙන එක් දුර්මතයක් තමයි සෝවියට් හමුදා ජර්මානුන්ට උපක්‍රමිකව රට ඇතුලට එන්න දුන්නා කියන එක. ඇත්ත කාරණේ ඊට හාත්පසින්ම වෙනස්. සෝවියට් හමුදාවන්ට පසුබසින්න අණ ලැබුණෙ ඉතා කලාතුරකින්. එමෙන්ම බොහෝවිට ඔවුන්ට ජර්මානුන් වෙත ප්‍රතිප්‍රහාර එල්ල කරන්න අණ ලැබුණා. මුල් කාලෙ එවන් ප්‍රහාර බොහොමයක් අසාර්ථක වුණා.

සෝවියට් හමුදා තමුන්ට අහිමි වූ ප්‍රදේශයක් ආපහු අල්ලගත්තු පළමු අවස්ථාව ලෙස සැලකෙන්නෙ 1941 අගෝස්තු - සැප්තැම්බර් කාලෙ සිදුවූ යෙල්නයා මෙහෙයුමයි. එහිදී එම නගරය අල්ලාගෙන ජර්මානුන් කිලෝමීටර් 25 ක් පමණ පසුප්සට තල්ලු කරන්න සෝවිය්ට් සේනා සමත් වුණා.

ජර්මානුන් අතට පත්වූ විශාල ප්‍රමාණයේ නගරයක් මුදවාගත් පළමු අවස්ථාව සිදුවුණේ 1941 සුප්‍රකට මොස්කව් සටනට සතියකට පමණ කලින්. ඒ දකුණුදිග රුසියාවේ පිහිටි ප්‍රකට නගරයක්. එසේ මුදාගත් නගරය කුමක්ද?

Q 3

3. 1941 දී මොස්කව් නගරය ආසන්නයට ජර්මන් හමුදා පැමිණෙද්දී නගරයේ මෙත්‍රො නැවතුම්පළවල් ආරක්ෂිත ස්ථාන බවට පත්වුණා. වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන මෙන්ම කඩ සාප්පු ආදිය ද මේවායේ ක්‍රියාත්මක වූ බව සඳහන්. වෙනකක් තබා ප්‍රසූතිකාගාර පවා මේවායේ ක්‍රියාත්මක වී තිබෙනවා.

1941 නොවැම්බර් 6 වනදා, බල්ෂවික් විප්ලවයේ 24 වන සංවත්සරයට දිනකට පෙර, සෝවියට් නායක ජෝසෆ් ස්ටාලින් මෙත්‍රො නැවතුමකට පැමිණියේ මොස්කව් නාගරික සභාවේ සාමාජිකයන් ඇමතීමටයි. ඒ සඳහා වේදිකාවක් වෙනමම ඉදි කරනු ලැබුණා. මෙසේ ඔහු මොස්කව් නගර සභිකයන් අමතා කතාව පැවැත්වූ ප්‍රකට මෙත්‍රො නැවතුම කුමක්ද?

Q 4

4. ජර්මන් හමුදා මොස්කව් දෙසට පැමිණෙද්දී, නගරය අහිමි වුවහොත් යන අවදානමට සෝවියට් රජය සූදානම් වුණා. ඒ අනුව එකල කුයිබිශෙෆ් යන නමින් හඳුන්වන ලද නගරයට අගනුවර ගෙන යාමේ සැලසුම් සකස් කෙරුණා. එය එකල වොල්ගා මිලිටරි දිස්ත්‍රික්කයේ මූලස්ථානය ද වුණා.

කුයිබිශෙෆ් නගරය වර්තමානයේ හඳුන්වන්නේ කවර නමින් ද?

Q 5

5. ශ්‍රේෂ්ඨ දේශප්‍රේමී යුද්ධය අළලා නිර්මාණය වූ චිත්‍රපට අතුරින් ජනප්‍රිය සෝවියට් චිත්‍රපටයක් වන්නේ А зори здесь тихие (අ සෝරි ස්දේස් තීහියෙ - The Dawns Here are Quiet) ය. 1942 වසරේ කරේලියාවේ ස්ථානගතව සිටින කාන්තා ගුවන් යානා නාශක කණ්ඩායමක් සහ එහි ප්‍රධානියා වන හමුදා නිලධාරියකු අනපේක්ෂිත ජර්මන් කණ්ඩායමකට මුහුණදෙන ආකාරය පිළිබඳ මෙම චිත්‍රපටයෙන් කියැවේ.

මෙම චිත්‍රපටයට පාදක වූයේ А зори здесь тихие නමින් ම පළ වූ කෘතියකි. එය "නිහඬ හිමිදිරි" නමින් සිංහලයට ද පරිවර්තනය වී තිබේ. මෙම කෘතිය රචනා කළ සෝවියට් ලේඛකයා කවරෙක්ද?

Q 6

6. ජර්මන් ආක්‍රමණයේ මුල් අවස්ථාවලදී ජර්මන් ගුවන් ප්‍රහාරයන් හේතුවෙන් සෝවියට් ගුවන් හමුදාවලට විශාල හානි සිදුවුණා. මෙම අවදානම් සහගත අවස්ථාවේ සෝවියට් නායකත්වය තීරණය කළේ කාන්තා නියමුවරියන්ගෙන් යුතු විශේෂ ඒකක කිහිපයක් ද පිහිටුවීමට යි. මේවායේ ඇතැම් කාන්තා නියමුවරියන් සෝවියට් ජයග්‍රහණය වෙනුවෙන් විශාල දායකත්වයක් ලබාදුන්නා.

මේ කාන්තාවන් අතර විශිෂ්ටතම ප්‍රහාරක නියමුවරිය ලෙස සැලකෙන්නේ 1943 අගෝස්තු 1 වනදා මියගිය තරුණියක්. ඇය මියයනවිට වයස අවුරුදු 22 සම්පූර්ණ වී තිබුණේ ද නැහැ. ප්‍රහාරක මෙහෙයුම් 168 කදී තනිව සතුරු යානා 12 ක් බිමදැමූ ඇය තවත් යානා හතරක් බිම දැමීමට දායක වී තිබෙනවා. ඒ අනුව ඉතිහාසයේ සාර්ථකම ප්‍රහාරක නියමුවරිය ලෙස සැලකෙන්නේ ඇයයි. ඇය හඳුනාගන්න.

Q 7

7. රුසියාවේ කළු මුහුදු බලකායේ ඉතිහාසය 1783 දක්වා දිවෙන්නේ යයි සැලකෙනවා. දෙවන ලෝක යුද්ධයේදී කළු මුහුදු ප්‍රදේශයේ ජර්මන් ආක්‍රමණයන්ට එරෙහි මෙහෙයුම්වලදී මෙන්ම සෝවියට් ප්‍රතිප්‍රහාරයන්වලදී විශාල කාර්යයභාරයක් කළු මුහුදු නාවික බල ඇණිය අතින් සිදුවුණා. මේ අතරින් 1941 ඔඩෙස්සා වටලෑමේදී සහ 1941-42 සෙවස්තෝපල් වටලෑමේදී එය අතින් ඉටුවූ කාර්යයභාරය සුවිශේෂී වුණා. එම සටන්වලදී කළු මුහුදු බලකායට නායකත්වය දුන් සෝවියට් අද්මිරාල්වරයා කවරෙක්ද?

Q 8

8. 1943 වසරේ සිදුවූ කුර්ස්ක් සටනේ අවසන් සතිවලදී කුර්ස්ක් අඩකවයෙන් දකුණු කොටසේ සිට සෝවියට් ප්‍රතිප්‍රහාරයක් දියත් කරන ලදී. අගෝස්තු 3 වනදා අරඹන ලද එහි අවසන් අරමුණ වූයේ යුක්‍රේනයේ දෙවන විශාලම නගරය වන ක්‍රාකෆ් මුදා ගැනීමයි. අගෝස්තු 23 වනදා එම නගරය මුදාගත් අතර එදින සමස්ථ කුර්ස්ක් සටන නිල වශයෙන් අවසන් වූ දිනය ලෙස සැලකෙයි.

මෙම සෝවියට් මෙහෙයුම හඳුන්වන ලද්දේ 18 වන සියවස ජීවත් වූ ප්‍රකට ෆීල්ඩ් මාර්ෂල්වරයකුගේ නමිනි. ඔහු කවරෙක්ද?

Q 9

9. මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ 1965 වසරේ විජයග්‍රහණයේ දින සැමරුමට එවකට සෝවියට් ආරක්ෂක ඇමතිවරයා සහභාගී වූ අයුරුයි. ඔහු දෙවන ලෝක යුධ සමයෙහි දෙවන යුක්‍රේනියානු පෙරමුණේ අණදෙන නිලධාරියා ලෙස රුමේනියාව​, හන්ගේරියාව​, ස්ලොවැකියාව සහ ඔස්ට්‍රියාව ආදී රටවල් ෆැසිස්ට්වාදීන්ගෙන් මුදාගැනීමේදී විශාල කාර්යයභාරයක් කළා. ඔහු හඳුනාගන්න​.

Q 10

10. 1945 අප්‍රේල් 25 වනදා ජර්මනියේ එල්බ් නදීබඩ ටෝර්ගවු නගරය අසළදී සෝවියට් සහ ඇමරිකන් හමුදා අතර හමුව දෙවන ලෝක යුද්ධයේ වැදගත් සන්ධිස්ථානයක්. එහිදී ජර්මනියේ ඉතිරිව තිබුණු කොටස් දෙකඩ වුණා. මෙහි දැක්වෙන ඡායාරූපය එම අවස්ථාව සනිටුහන් කිරීමට ගත් නිල ඡායාරූපයයි.

මෙම හමුව සිදුවූ ප්‍රදේශයේ බ්‍රිතාන්‍ය සෙබළුන්ද වූ බව සඳහන්. නමුත් නිල වශයෙන් සෝවියට් සහ බ්‍රිතාන්‍ය සෙබළුන් අතර හමුවීම සිදුවූයේ මීට දින කිහිපයකට පසු උතුරු ජර්මන් නගරයක් වූ විස්මාර්හි දී.

1945 මැයි 7 වනදා බ්‍රිතාන්‍ය ෆීල්ඩ් මාර්ෂල් මොන්ට්ගොමරි සහ සෝවියට් මාර්ෂල්වරයකු විස්මාර් නගරයේදී හමුවුණා. එම සෝවියට් මාර්ෂල්වරයා කවුද?

පිළිතුරු

1. බ්‍රැන්ඩන්බර්ග් ඩිවිෂනය​

2. රස්තෝෆ් නා දොන්

3. මයකෝව්ස්කයා

4. සමාරා

5. බරිස් වසිල්යේෆ්

6. ලිඩියා ලිත්ව්‍යාක් 

7. ෆිලිප් ඔක්ත්‍යාබර්ස්කි

8. ෆීල්ඩ් මාර්ෂල් පියෝතර් රුම්යාන්ත්සෆ් (එසේත් නැත්නම් රුම්යාන්ත්සෆ්-සදුනයිස්කි)

9. රදියෝන් මලිනෝව්ස්කි

10. කොන්ස්තන්තීන් රකසෝව්ස්කි