මම අහපු, දැකපු, කියවපු, රස විඳපු, විවේචනය කරපු දේවල්වලින් ලියන්න පුළුවන් සහ ලියන්න වෙලාව ලැබුණු දේවල්වල එකතුව.
Saturday, June 25, 2022
ඉන්දියානු ජනාධිපතිවරණය 2022 - බීජේපීයේ සීරියස් දේශපාලන පියවර
Thursday, June 23, 2022
චක්රව්යු (Chakravyuh)
චක්රව්යුහ යනුවෙන් සඳහන් වන්නේ ඉතා සංකීර්ණ හමුදා සැකැස්මක්. ප්රතිවාදියකු උපක්රමිකව වටලාගැනීම සඳහා මෙය භාවිතා කළ හැකියි. මහාභාරතයෙහි මෙම උපක්රමය පිළිබඳ සඳහන්ව තිබෙනවා.
චක්රව්යුහ සංග්රාමෝපක්රමය මතකයට නැංවූවද, "චක්රව්යු" චිත්රපටය පාදක වන්නේ නම් සම්ප්රදායික යුධ හමුදා දෙකක් අතර යුද්ධයක් මත නොවේ. එහි පසුබිම ඉන්දියාවේ මාඕවාදී හෙවත් නැක්සල්වාදී අරගලයයි.
මාඕවාදී අරගලය තුළ ක්රියාවට නංවන ලද සංග්රාමෝපක්රම අපහට චක්රව්යුහ මෙන්ම මාඕවාදී මහජන යුද්ධ සිද්ධාන්තය (People's War Theory) ද සිහිගන්වනවා. එහෙයින්, ඒ පිළිබඳ කෙටියෙන් විස්තර කිරීමට ඔබ අවසර දෙනු ඇතැයි මා විශ්වාස කරනවා.
මහජන යුද්ධ සිද්ධාන්තයෙහි මූලික අංගයක් වන්නේ රජයේ බලපෑම අවම, අරගලයට වාසිදායක වියහැකි ප්රදේශයක, ජනතාව අතර වැඩ කරමින් "මූල කඳවුරු" (base areas) ගොඩනැගීමයි. එම ප්රදේශවල සිට කෙමෙන් කෙමෙන් අනෙක් ප්රදේශ වෙත සිය බලය පැතිරවීම "මහජන හමුදාවේ" අරමුණයි. මුලදී අවට ප්රදේශවල මෙහෙයුම් සිදුකළ පසු ආරක්ෂිතව පසුබැසිය හැකි ප්රදේශයක් ලෙස මෙම මූල කඳවුරු ගොඩනගනු ලබයි. පසුව අවට ප්රදේශයන් හි සිය බලපෑම වර්ධනය කරමින් මූල කඳවුරෙහි වපසරිය වැඩි කිරීම අපේක්ෂාවයි.
ඉන්දියාවේ නැක්සල්වාදී අරගලය ඇරඹෙන්නේ 1967 නැක්සල්බාරි නම් බටහිර බෙංගාලීය ගම්මානයක සිදුවූ ගොවි කැරැල්ලකින්. නැක්සල්වාදී අරගලයේ මුල් අදියර තුළ ආන්ද්රාවේ ශ්රීකාකුලම් ප්රදේශය වැනි ග්රාමීය ප්රදේශ කිහිපයක සහ කල්කටාව වැනි නගරවල නැක්සල්වාදීන් අරගලයේ යෙදුණා. නමුත් එම සටන් ස්වල්ප කලකින්ම මර්ධනය කරනු ලැබුණා.
නැක්සල්වාදී අරගලයේ දෙවැනි අදියර ක්රියාවට නැගුණේ එම පරාජයෙන් වසර කිහිපයකට පසුයි. පරාජිත නැක්සල්වාදීන් අතුරින් ඉතිරි වූ ඇතැමෙක් වටහාගත්තේ තමන්ට පළමු අරගලයේදී උපක්රමිකව බරපතල වරදක් වූ බවයි. ඔවුන් එවක විශ්වාස කළේ ගොවි ජනතාව අරගලයට සූදානම් බවත් එක් තැනකින් අරගලය හටගත් විට ලැව් ගින්නක් මෙන් එය පැතිරෙනු ඇති බවත් වුවද එය එසේ සිදුවුණේ නැහැ. මේ අනුව අරගලය නව මුහුණුවරකින් කරළියට ගෙන ආ යුතු බව ඔවුන් වටහා ගත්තා.
මෙම යළි උපන් අරගලයේ එක් මුහුණුවරක් වූයේ ශිෂ්ය සංවිධාන, නාට්ය සහ කලා සංවිධාන වැනි විවිධ බහුජන සංවිධාන ඔස්සේ ජනතාව සංවිධානය සහ දැනුවත් කිරීමයි. මේ සඳහා මූලිකත්වය ගත්තේ "මහජන යුද්ධ කණ්ඩායම" ලෙස පොදු ව්යවහාරයේදී හඳුන්වා දෙනු ලබන කණ්ඩායමක්. 1980 වනවිට ඔවුන් දේශපාලන ව්යාපාරයක් ලෙස සංවිධානය වුණා.
ඔවුන් සිය මූල කඳවුරු පිහිටුවීම සඳහා තෝරාගත්තේ ආන්ද්රා ප්රදේශ් සහ එවකට මධ්ය ප්රදේශ් ප්රාන්ත අතර පිහිටි, ආදිවාසී ජනයා වැඩියෙන් දිවි ගෙවන වනගත ප්රදේශයක්. (මධ්ය ප්රදේශයෙන් චත්තිස්ඝර් ප්රාන්තය නිර්මාණය කරද්දී මෙම ප්රදේශ එම ප්රාන්තය වෙත මාරු වුණා). මෙම ප්රදේශවල ආදිවාසීන් ගැන ආණ්ඩු සොයා බැලුවේ නැහැ. එහි වූ රික්තකයට නැක්සල්වාදීන් ඇතුල් වුණා. ආණ්ඩු මෙම ප්රදේශ ගැන අවධානය යොමු කළේ ඒවායේ ස්වභාවික සම්පත් නිස්සාරණය කිරීමට අවශ්ය වූ විටයි. එවිට ආදිවාසීන් සමග ආණ්ඩු ගැටුණා. එහිදී නැක්සල්වාදීන් ආදිවාසීන් ගේ ගැලවුම්කරුවන් බවට පත්වුණා.
මේ ක්රියාවලියම මේ ආකාරයෙන් බිහාරයේ දකුණුදිග වනගත ප්රදේශවල ද සිදුවුණා. එම ප්රදේශ දැන් අයත් වන්නේ බිහාරයෙන් වෙන්කර ස්ථාපිත කළ ජාර්ඛන්ඩ් ප්රාන්තයටයි. චත්තිස්ඝර් සහ ජාර්ඛන්ඩ් ප්රාන්ත කේන්ද්ර කරගත් මාවෝවාදී කණ්ඩායම් දෙක 2006 දී ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂය (මාවෝවාදී) ලෙස ඒකාබද්ධ වුණා.
2009 දී දකුණුදිග දිල්ලියේදී කොබාඩ් ගාන්ධි නම් සමාජ ක්රියාකාරිකයා අත් අඩංගුවට ගැනුණා. ඔහු මාවෝවාදී කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජිකයකු බව කියැවුණා. ඔහුව 2019 දී නිදහස් කෙරුණා.
2010 දී චත්තිස්ඝර් ප්රාන්තයේදී ඉන්දීය මධ්යම සංචිත පොලිසියේ සෙබළුන් 76 දෙනකු මාවෝවාදී ප්රහාරයකින් ඝාතනය වුණා. එය මාඕවාදීන් එතෙක් මෙතෙක් සිදුකළ දරුණුම ප්රහාරයයි.
චක්රව්යු චිත්රපටය 2012 දී නිකුත් වන්නේ මෙම පසුබිමේ යි. ඔබට මා සඳහන් කළ සිදුවීම් සමහරකට සමාන අවස්ථා මෙම චිත්රපටයේදී හමුවනු ඇති. ඒ අතර අත්අඩංගුවට ගැනීම්, මාඕවාදී ප්රහාර මෙන්ම ජනනාට්ය කණ්ඩායම් වැනි අංග ද වනවා.
චිත්රපටයේ ප්රධාන චරිතය රඟපාන්නේ අර්ජුන් රාම්පාල් විසින්. මාඕවාදී බලපෑම දරුණු වන ප්රදේශයකදී එල්ල වන දැවැන්ත මාඕවාදී ප්රහාරයකින් අනතුරුව ඔහු එම ප්රදේශය භාරගන්නවා. එයින් අනතුරුව සිදුවන සිදුවීම් සමුදායක් ඔස්සේ චිත්රපටය දිවෙනවා.
මාඕවාදීන් සිය මූල කඳවුරු ප්රදේශවල ක්රියාවට නඟන ආරක්ෂක උපක්රමයත් චක්රව්යුහයක් වගෙයි. එහි පිටත වළල්ලේ සිටින්නේ ග්රාමීය ආදිවාසී කණ්ඩායම්. ඔවුන් "මහජන මිලීෂියා" ලෙස සංවිධානය වී තිබුණා. ඇත්තෙන්ම ඔවුන් සන්නද්ධ වූයේ දුනු හී ආදියෙන්. එයින් අභ්යන්තරයට එනවිට ආරක්ෂක වළලු ශක්තිමත් වනවා. අභ්යන්තරයේම සිටින්නේ මනාව පුහුණුව ලද "මහජන විමුක්ති ගරිල්ලා හමුදා" සාමාජිකයන්. මාඕවාදී නායකයන් රැඳෙන ප්රදේශ මෙලෙස ආරක්ෂා කෙරෙනවා. එමෙන්ම ඔවුන් නිරන්තරයෙන් තමන් සිටින ස්ථාන වෙනස් කරන අතර ඒ සමගම ආරක්ෂක වළලු ද වෙනස් කෙරෙනවා. පොලිස් ප්රහාරයක් එල්ල වනවිට කලින්ම දැනගන්නට මෙන්ම ඇතැම්විට පොලිසිය ඇතුලටම ගෙන්වා වටකර පහරදීමට ද මෙම ආරක්ෂක වළලු උපකාරී වනවා. (චිත්රපටයේදී ඔබට මෙම අංගය ද දකින්න ලැබෙනවා. අර්ජුන් රාම්පාල්ගේ මිත්රයා වනාන්තරයේදී සොයාගනු ලබන්නේ මෙම මිලීෂියා කණ්ඩායමක් විසින්. ඔවුන් මහජන විප්ලවවාදී ගරිල්ලා හමුදාවේ සාමාජිකයන්ව එතැනට කැඳවනවා).
මීට දශකයකට පමණ පෙර මාවෝවාදීන් ඉතා ශක්තිමත්ව සිටි සමයේ මේ ආකාරයේ ආරක්ෂක වළලු ඔවුන්ගේ මූල කඳවුරු ප්රදේශයන් හි ක්රියාත්මක වුණා. වර්තමානය වනවිට ඒවා එතරම්ම ශක්තිමත් නැතත්, තවමත් ඔවුන් ඇතැම් ප්රදේශවල මෙලෙස රැඳී සිටිනවා.
Wednesday, January 19, 2022
ඉන්දිරා නේරු ඉංග්රීසියට නැගූ Ekla Chalo Re
ජවහර්ලාල් නේරුගේ සහ කමලා නේරුගේ එකම දියණිය වූ ඉන්දිරා ප්රියදර්ශනීගේ අධ්යාපනය කිසිවිටෙක එකකාර වූයේ නැහැ. ඇගේ පියා, මව ඇතුළු පවුලම නිදහස් සටනේ ප්රබලයින් වූ අතර ඇය උපන් ඇගේ සීයා මොතිලාල් නේරුගේ ආනන්ද භවන් නිවස අලහබාද් හි නිදහස් සටනේ කේන්ද්රස්ථානය වුණා. ඇයට සමවයස් මිතුරන් ද වුණේ නැහැ. විවිධ පාසැල්වල අධ්යාපනය ලැබුවත් ඇයට ඒ එකක්වත් ගැලපුණේ ද නැහැ. ඇය සතුටින් පාසැල් ගියේ නම් ඒ මවගේ වෛද්ය ප්රතිකාර උදෙසා දෙමාපියන් සමග ස්විට්සර්ලන්තයේ ගතකළ අවුරුද්දක පමණ කාලය පමණයි.
ඇය 1930 ගණන්වල මැදදී (1934/35) ශාන්ති නිකේතනයට පැමිණි පසු මේ තත්ත්වය වෙනස් වුණා. රබීන්ද්රනාත් ඨාකූර්ගේ සෙවණ යටතේ ඈ ඉතා සතුටින් කල් ගතකළා. ඨාකූරයන් ඇගේ පියාගේ ද වීරයෙක් වුණා. එමෙන්ම ආනන්ද භවන් හි කලබලකාරී ජීවිතයෙන් මිදී ශාන්ති නිකේතනයේ නිහඬ ජීවිතය ඈ ප්රිය කළා.
එකළ ඉන්දිරා නිතර ඨාකූරයන් සමග සාහිත්යය, කාව්ය නිර්මාණ ආදිය පිළිබඳ සංවාද කළා. ඔහුගේ එක්තරා ප්රකට කවියක බෙංගාලි බසින් ඉංග්රීසි බසට කරන ලද පරිවර්තනය (මෙය ඨාකූර් විසින්ම කරන ලද පරිවර්තනය විය යුතුයි) දුටු ඉන්දිරා එය එතරම් හොඳ පරිවර්තනයක් නොවන්නේ යයි තීරණය කළා. ඉනික්බිතිව ඈ එය තමන්ම නැවත සංස්කරණය කළා.
If no one listens to your call,
Walk alone.
If in fear they cower, mutely facing the wall,
O hapless one
Open your mind and speak out alone.
If, as you cross the wilderness, they turn away and desert you,
O hapless one,
Tread firmly on the thorns along the blood-lined track and travel alone.
If, in the storm-troubled night, they dare not hold aloft the light,
O hapless one,
Ignite your own heart with the lightning and pain, and yourself become the guiding light.
මේ, ඉන්දීය නිදහස් සටනේදී මහත්මා ගාන්ධි නිතර භාවිතා කළ, ඔහුගේ ප්රියතම ගීතවලින් එකක් වූ "ekla chalo re" යි. මෙය විසිවන සියවස මුලදී ඨාකූරයන් විසින්ම ගායනා කර තිබෙනවා. පසුව විවිධ ගායක ගායිකාවන් එය ගායනා කළා.
මූලාශ්රය - Mother India: A Political Biography of Indira Gandhi by Pranay Gupte.
ඡායාරූපය - ඨාකූරයන් සහ ඉන්දිරා ඇතුළු ශාන්ති නිකේතනයේ සිසුවියන් පිරිසක්.

