Wednesday, July 20, 2022

නැගෙනහිර යුරෝපෙ ෆුට්බෝල්වලට මොකද වුණේ?

පාපන්දු ඉතිහාසය ගැන මතක අයට 20 වන සියවසේ පෙරළිකාර නැගෙනහිර යුරෝපා පාපන්දු කණ්ඩායම් අමතක වෙන්න බැහැ. යුගෝස්ලාවියාව, රුමේනියාව වගේම ඒකාලෙ සෝවියට් දේශය නිතර දස්කම් අතර හිටපු කණ්ඩායම්. හන්ගේරියාවෙ 1950 ගණන්වල තිබුණු ස්වර්ණමය කණ්ඩායම වෙනමම ලෙජන්ඩ් එකක්. බල්ගේරියාව 1994 ලෝක කුසලානෙදි දක්වපු දස්කම් අමරණීයයි. ඒ වගේම 1998 දි ක්‍රොයේෂියාව දක්වපු දස්කම්.

එහෙත් 1994 න් පස්සෙ නැගෙනහිර යුරෝපා පාපන්දු කණ්ඩායම් ලෝක මට්ටමේදි ලොකු දස්කම් පෙන්නුවේ නැහැ. 1998 ක්‍රොයේෂියා ටීම් එකේ දස්කම් විශේෂ සිදුවීමක් බවට පත්වුණා. ඉන් අනතුරුව 2018 දි ක්‍රොයේෂියානු පිළම අනුශූරතාවය දිනාගන්නකල් ලෝක කුසලානෙදි නැගෙනහිර යුරෝපා රටවල් තිබුණෙ පසුබැස්ස තත්‍ත්වයකයි. ඇත්ත වශයෙන්ම කිව්වොත් මෑතක් වෙනකල් රුසියාවෙ හැරුණම ගොඩක් නැගෙනහිර යුරෝපා රටවල ලීග් වගෙම ජාතික කණ්ඩායම් තිබුණෙ පසුගාමී තත්‍ත්වයකයි. ඇත්තටම මොකද වුණේ?

මේ තත්ත්වය ගැන කතා කරද්දි අපිට රටින් රට වෙනමම කරුණු හොයන්න වෙනව. නමුත් පොදුවෙ එක්තරා රටාවක් ද මෙහි දකින්න පුළුවන්. අන්න ඒ රටාව ගැන තමයි අපි අද කතාබහ කරන්න හිතුවෙ.

 

කොමියුනිස්ට් පාලන සමයෙදි සෝවියට් දේශයේ සහ නැගෙනහිර යුරෝපයෙ පාපන්දු ක්‍රීඩාව හැඩගැහුණ ක්‍රමයක් තිබුණා. හැම රටකම රජයේ අනුග්‍රහය ලැබුණ කණ්ඩායම් එකක් හෝ දෙකක් තමයි දේශීය පළමු පෙළ ලීගය පාලනය කළේ. සෝවියට් දේශය ගත්තොත් මොස්කව්වල දිනාමෝ මොස්කව් සහ සීඑස්කා (CSKA මොස්කව්) ප්‍රධාන වුණා. ඊට අමතරව ඒකාලෙ ලෙනින්ග්‍රාද් වල සෙනිත් ක්ලබ් එක තිබ්බා. ඊට අමතරව හැම සෝවියට් සමූහාණ්ඩුවකම එක ක්ලබ් එකක් දියුණු කළා. එතකොට ඒවා ඒ ඒ සමූහාණ්ඩු නියෝජනය කරන ක්ලබ් වගේ. යුක්‍රේනයේ දිනාමෝ කීව්, බෙලරූස්වල දිනාමෝ මින්ස්ක් වගේ ක්‍රීඩා සමාජ. රටේ හිටපු හොඳම ක්‍රීඩකයො ගත්තෙ මේ සමාජ විසින්. යුගෝස්ලාවියාව තිබ්බෙත් එහෙම ක්‍රමයක්. සර්බියාවෙ රෙඩ් ස්ටාර් බෙල්ග්‍රේඩ් සහ පාර්ටිසාන් බෙල්ග්‍රේඩ්, ක්‍රොයේෂියාවේ දිනාමෝ සග්‍රෙබ් ඒවට උදාහරණ.

නැගෙනහිර යුරෝපෙ අනෙක් රටවලත් තිබ්බෙ මෙහෙම තමයි. රුමේනියාවෙ නම් ස්ටුවා බුකරෙස්ටි සහ දිනාමෝ බුකරෙස්ටි. බල්ගේරියාවෙ සීඑස්කා සොෆියා.

දැන් මේවයෙ අනුග්‍රාහකයා ගැනත් වචනයක් කියන්නම ඕන. දිනාමෝ කියන නම තිබ්බ ක්‍රීඩා සමාජවල අනුග්‍රාහකයො වුණේ ඒ රටවල රහස් පොලිසිය. සෝවියට් KGB එක, නැගෙනහිර ජර්මනියෙ ස්ටාසි එක, රුමේනියාවෙ සිකුරිටාට් එක එහෙම. සීඑස්කා ක්‍රීඩා සමාජවලට අනුග්‍රහය දැක්වූයේ යුධ හමුදාව. ස්ටුවා බුකරෙස්ටි එකටත් එහෙමයි. සමහර ක්‍රීඩා සමාජවලට සහය ලැබුණෙ වෘත්තීය සමිහිවලින්. උදාහරණයක් විදියට ලොකොමාතීව් කියන්නෙ දුම්රිය සේවකයන්ගෙ කණ්ඩායම්. (රෙඩ් ස්ටාර් බෙල්ග්‍රේඩ් සහ පාර්ටිසාන් බෙල්ග්‍රේඩ් ගැනයි සීඑස්කා සොෆියා සහ ලෙව්ස්කි සොෆියා ගැනයි වෙනම කතන්දරත් තියෙනව. ඒවා මෙතන කියලා මේ විස්තරේ සංකීර්ණ කරන්නේ නැහැ. ස්ටුවා බුකරෙස්ටි සහ දිනාමෝ බුකරෙස්ටි ගැනත් ඒ වගේම මරු කතා තියෙනව. ඒවා පසුවට).

මේ අතරෙම මේ රටවල ක්‍රීඩකයන්ට වයස අවුරුදු 28 වෙනකල් පිටරට ක්‍රීඩා සමාජවලට බැඳෙන එක තහනම් කරලයි තිබ්බෙ. එතකොට මේ අය ස්වදේශීයවම තමයි දියුණු වුණේ.

මේ තත්ත්වයන් යටතේ ඒ ඒ රටවල ස්වදේශීය ලීග්වල ලොකු තරගකාරීත්වයක් තිබ්බෙ නෑ. මොකද අර අනුග්‍රහය ලබන ක්‍රීඩා සමාජ ඒවා ලේසියෙන්ම පාලනය කළා. අනුග්‍රහය කිව්වම මුදල් වගේම තරගවල වාසිදායක තීරණ එහෙමත් අයිතියි. මොන රෙෆ්‍රි ද KGB එකට පිටින් යන්නෙ?

කෙසේ වෙතත්, ලීග්වල තරගකාරීත්වය අඩු වුණාට ඒ ඒ රටවල හොඳ ක්‍රීඩා සමාජ එකක් දෙකක් හැදුණා. ජාතික කණ්ඩායම් හැදුණෙත් ඒවයෙන්. හන්ගේරියාවෙ ලෝක පූජිත "අරනික්සපාත්" ටීම් එකත් එහෙමයි හැදුණෙ.

කොමියුනිස්ට් පාලන තන්ත්‍රයන් බිඳවැටුණට පස්සෙ කාරණා කිහිපයක් වුණා. එක, අර ලොකු ක්‍රීඩා සමාජවලට තිබ්බ අනුග්‍රහය අඩු වුණා. මොකද ඒ ආණ්ඩුවලට සල්ලි තිබ්බෙ නැහැ. මේ නිසාම හොඳ දේකුත් වුණා. ස්වදේශීය ලීග් තරගකාරී වෙන්න පටන් ගත්තා. හැබැයි මේක වැඩිකල් දුවන්න බැරුව ගියා. ගොඩක් ක්‍රීඩා සමාජ පුද්ගලීකරණයට ලක්වුණා. නමුත් ඇති තරම් මුදල් යොදන්නත් ආයෝජකයින් හිටියෙ නෑ. ඒ ආපු සමහරුත් කළේ ගසාකන එක. ඒකෙන් යටිතල පහසුකම් ද බරපතල ලෙස කඩා වැටුණා. 20 වන සියවසේ ක්‍රීඩා සමාජ සහ ජාතික කණ්ඩායම් වාර්තා තියපු සමහර ක්‍රීඩාංගනත් ගරාවැටුණා. අනික් අතට අවුරුදු 28 නීතිය අහෝසි වුණ නිසා මේ රටවල තරුණ ක්‍රීඩකයො පිටරට ක්‍රීඩා සමාජ වෙත ගියා. ඒ සමහරු එහිදි එතරම් සාර්ථක වුණේ නැහැ. අලුත් පසුබිමට හැඩගැහෙන්න එයාලට අමාරු වුණා. මේ අතරෙ වෙච්ච තව එකක් තමයි කොමියුනිස්ට් කාලෙ යටගහලා තිබ්බ ප්‍රතිරෝධතා මතුවෙන්න ගත්තු එක. 2002 ලෝක කුසලානෙදි ස්ලොවීනියා කණ්ඩායමට වුණේ ඒ වගේ අර්බුදයක පොළාපැනීමක්. අන්තිමට මේ සේරගෙන්ම වුණේ මේ රටවල ස්වදේශීය ලීග් වගෙම ජාතික කණ්ඩායම් ද කඩා වැටීමයි. (1998 ක්‍රොයේෂියානු පිළ සාර්ථක වෙන්න වෙනත් කරුණු බලපෑවා. ඒකත් 1998 න් පසුව අසාර්ථක වුණා නෙ).

මේ තත්ත්වයන් වෙනස් වෙලා, ආයෝජකයො ආපහු ඇවිල්ලා, යටිතල පහසුකම් දියුණුවෙලා, නැගිටලා එන්න කල් ගතවුණා. ඒත් එක්කම කොමියුනිස්ට් සිස්ටම් එකේ අහු කොන් නැති තරුණ පරපුරක් ගොඩනැගෙන්න වුණා. ඒගොල්ලො අතරින් දක්ෂයො බටහිර යුරෝපෙ ක්‍රීඩා සමාජ වෙත ගිහින් ටිකෙන් ටික සාර්ථක වෙන්න පටන් ගත්තා. ඒ අතරෙම නැගෙනහිර යුරෝපෙ රටවල ලීගත් ටිකෙන් ටික ගොඩනැගෙන්න වුණා.

මේ ක්‍රියාවලිය තවම සිදුවෙනව. 2018 ක්‍රොයේෂියානු පිබිදීම ඒ අලුත් රැල්ලෙ එක අවස්ථාවක් ලෙස කෙනෙකුට හඳුන්වන්න පුළුවන්. නමුත් මේ ක්‍රියාවලිය තව කාලයක් තිස්සෙ සිදුවෙමින් පවතින්නක් වේවි.

No comments:

Post a Comment