Monday, August 17, 2020

ලිබරල් රටවල ඉඳන් ඒකාධිපති ක්‍රම ප්‍රවර්ධනය කිරීම ගැන

පිටරට ඉන්න අය ඒ රටවල ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් භුක්ති විඳිමින් ලංකාවේ එම අයිතීන් කප්පාදු කරන අදහස් උදහස්වලට උපකාර කරනවය කියන කාරණාව අලුත් දෙයක් නෙවේ. ඒ වගේම ඒක ලංකාවට සීමා වෙච්ච දෙයකුත් නෙවෙයි. ඒක ලංකාවට විතරක් ලඝු කරන්න උත්සාහ කරනව නම් ඒක එක්කො නොදන්නකම, එක්කො කුපාඩිකම.

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයන් පුළුල් වෙද්දි වැඩියෙන්ම සංවිධානය වෙන්නෙ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී කණ්ඩායම් කියන කාරණේ මෑතකදි මම දේශනයක් අතරතුර අහපු දෙයක්. හොඳට හිතල බැලුවොත් ඒක සම්පූර්ණ ඇත්ත. ඉතිහාසයේ ඒ වගේ අවස්ථා ඕන තරම් තියෙනව.

බටහිර රටවල පහුගිය අවුරුදු පනහක වගේ කාලෙ තුළ ආගමික අන්තවාදී සංවිධාන, වාමාංශික අන්තවාදී සංවිධාන සහ මෑත කාලෙදි ජාතිකවාදී සංවිධාන සිය කටයුතු කරගත්තෙ ඔය අවකාශය තුළ තමයි. මෑත කාලෙ ගැන හිතුවොත්, සමාජ මාධ්‍ය ආවට පස්සෙ ඒ ඔස්සේ වැඩියෙන්ම සංවිධානය වුණේ අන්තවාදී කණ්ඩායම්. ඒවට උදාහරණ කිහිපයක්ම තියෙනව. එතනදි හේතුව, ප්‍රධාන ධාරාවේ නැති අවකාශයක් වෙනත් මාධ්‍ය ඔස්සේ ඒ අයට ලැබීම. ප්‍රධාන ධාරාවෙ අයට ඒ වගේ අලුත් අවකාශයන් සාපේක්ෂව වැදගත් වුණේ අඩුවෙන්.


ලංකාව වගේ රටවල බොහෝ දෙනා පිටරට යන්නෙ ඒ රටවල සමාජ ක්‍රමයට හැඩගැහෙන්න අවශ්‍ය exposure එක අරගෙන නෙවේ. ඉතින් එහෙ ගියාම ඒ අයට insecure ගතියක් දැනෙනව. එහෙ ගිහිනුත් ඒ අය හොයන්නෙ මෙහෙ ජීවන ක්‍රමය. අර ජීවිතේට අනුගත වෙන්න බැරුව ගියාම, එහෙ සමාජය තුළ පිළිගැනීමක් නැති වුණාම, මේ අයට අනන්‍යතා අර්බුදයක් එනව. ඉතින් එයාලා ආයෙ එයාලගෙ මූලයන් හොයන්න ගන්නව. මේක පොදුවෙ හැමෝටම ඇත්ත නෙවේ. ඒත් බහුතරයකට ඇත්ත. ඒ වගේම ලංකාවට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවේ. බටහිර රටවලට යන තුන්වෙනි ලෝක රටවල් හැම එකකම පාහේ අයට ඔය ප්‍රශ්නෙ තියෙනව. ඔය වගේම හේතුවක් නිසා තමා යටත් විජිත යුගයෙ බටහිර රටවල අධ්‍යාපනය ලබන්න ගිය ස්වදේශීය ධනපති පවුල්වල අය වමේ ව්‍යාපාරවල හෝ ජාතිකවාදී ව්‍යාපාරවල නතර වුණේ. ඒකත් ලෝකෙ ගොඩක් යටත් විජිතවල වෙච්ච දෙයක්. එක උදාහරණයක් කීවොත් කාම්බෝජෙ වනසපු කෙමර් රූජ් එකේ ප්‍රධානීන් කීප දෙනෙක්ම ඉගෙනගත්තෙ ප්‍රංශෙ.

ඉතින් මේක අද ඊයෙ වෙච්ච දෙයක් නෙවේ. ලංකාවට සීමා වෙච්ච දේකුත් නෙවේ. ඔය කියන දේ, ඒ කියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයන් ඒකට එරෙහිවම යොදවන එක, බටහිර රටවල මිනිස්සුත්, ඒ රටවල ජීවත් වෙමින් ම කරනවා. අතීතයේදිත් කළා. හිට්ලර්ලා මුසෝලිනීලා කළෙත් ඒකමයි.

ඒ නිසා, එහෙ ගිහින් අපේ අය කියන කරන දේ ගැන බනින අය ඒක කරන්නෙ එක්කො නොදන්නකමට. එක්කො කුපාඩිකමට. අහන අය අහන්නෙ ඇයි කියලා නම් මම දන්නෙ නෑ. කොහොම වෙතත් මට නම් ඕක මැජික් එකක් නෙවේ. ෆේස්බුක් එකේ කෑගහල නවත්වන්න පුළුවන් දේකුත් නෙවේ. මේකත් ලීවෙ කැමති කෙනෙකුට මෙහෙම දේකුත් තියෙනව කියල මතක් කරල දෙන්න විතරයි.

Saturday, August 15, 2020

පරණ KGB මූලස්ථානයේ ඇති හිට්ලර්ගේ දත් ඉන්ස්ටග්‍රෑමයේ පළ කරයි

රුසියාවේ FSB ය සතුව ඇති ඇඩොල්ෆ් හිට්ලර්ගේ හා ඔහුගේ බිරිඳ ඊවා බ්‍රෝන්ගේ බව පැවසෙන දත් කොටස්වල ඡායාරූප කිහිපයක් රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින්ගේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝෆ්ගේ දියණිය විසින් සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ පළකර තිබෙනවා.

ඉතිහාසය පිළිබඳ උද්‍යෝගයක් දක්වන්නෙකු වන පියේර් මැලිනොව්ස්කි නම් ඇගේ මිත්‍රයකු මෙම කොටස් නැරඹීමට අවසර ඉල්ලා ඇති අතර FSB ය එම අවසරය දී තිබෙනවා. ඒ අනුවයි ඔවුන් මෙම දන්ත කොටස් දැකබලාගෙන ඇත්තේ.


ලීසා පෙස්කෝවා පවසන්නේ හිට්ලර් 1945 දී මිය නොගිය බව විශ්වාස කරන්නන්ට වරදක් සිදුව ඇති බවයි.

1945 අප්‍රේල් 30 වනදා හිට්ලර් සහ ඊවා බ්‍රෝන් දිවි නසාගත් බව පැවසෙන අතර ඔවුන්ගේ සිරුරු ඔවුන් ජීවත්ව සිටි බංකරයෙන් පිටතට ගෙන ගිනි තබා තිබුණා. සෝවියට් හමුදා විසින් එම සිරුරු කොටස් සොයාගෙන ඔවුන්ගේ දන්ත කොටස් සිය භාරයට ගත්තා.

2018 දී ප්‍රංශ මානව විද්‍යාඥයකු විසින් කළ පරීක්ෂණවලින් මේ හිට්ලර්ගේ හා බ්‍රෝන්ගේ දත් කොටස් බව සනාථ වී තිබුණා.

FSBය පිහිටා ඇත්තේ සෝවියට් සමයේ KGB මූලස්ථානයේයි.

ලින්ක් එක:

https://www.instagram.com/p/CD4E82fiU4y/?igshid=102aa51gfw5s2

කමලා හැරිස්ගේ ශ්‍රී ලාංකික - ඇමරිකන් මාණ්ඩලික ප්‍රධානියා

ඇමරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂයේ උප ජනාධිපති අපේක්ෂිකා කමලා හැරිස්ගේ කාර්යය මණ්ඩල ප්‍රධානියා වන්නේ ශ්‍රී ලාංකීය දමිළ යුවළකගේ දියණියක වන රෝහිනී කොසොග්ලු යි.

රෝහිනීගේ පියා වෛද්‍ය විජයවේන්ද්‍රන් රවීන්ද්‍රන් නම් වන අතර මව ශෝබනා රවීන්ද්‍රන් නම් වනවා. ඔවුන් යාපනයේ වැසියන් වූ අතර 1980 දශකයේදී ඇමරිකාවට සංක්‍රමණය වී තිබෙනවා.

හාර්වර්ඩ් විශ්ව විද්‍යාලයට සම්බන්ධ කෙනඩි පාසැලේ දේශපාලන විද්‍යා විද්‍යාර්ථියකු වන රෝහිනී කොසොග්ලු මිචිගන් සරසවියෙන් සහ ජෝර්ජ් වොෂිංටන් සරසවියෙන් අධ්‍යාපනය ලැබූවෙක්. ඇය මුලින් මිචිගන් සෙනට් සභික ඩෙබී ස්ටැබ්නෝ යටතේ සේවය කර ඇති අතර පසුව කොලරාඩෝ සෙනට් සභික මයිකල් බෙනට්ගේ සෞඛ්‍ය සේවා උපදේශක ලෙස කටයුතු කළා. කමලා හැරිස් සෙනට් සභාවට තේරීපත් වූ පසු ඇගේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා ලෙසයි රෝහිනී කොසොග්ලු සේවයට එක් වී තිබෙන්නේ.


ඩිමොක්‍රටික් උප ජනාධිපති අපේක්ෂිකාව ලෙස කමලා හැරිස් පත්වීම ඓතිහාසික අවස්ථාවක් බවයි කොසොග්ලු සිය ට්විටර් ගිණුම ඔස්සේ සඳහන් කර තිබුණේ.

කමලා හැරිස් ද එක් අතකින් ඉන්දීය සම්භවයක් ඇති කාන්තාවක වන අතර අනෙක් අතින් කළු ජාතික සම්භවයක් ඇති කාන්තාවක්. එහෙයින් ඇමරිකාවේ ප්‍රධාන පක්ෂයක උප ජනාධිපති අපේක්ෂිකාව ලෙස ඇය පත්වීම ඓතිහාසිකයි.

ඇගේ පත්වීම තුළින් ජෝ බයිඩන්ට කළු ජාතික හා ඇමරිකන් ඉන්දියානු ඡන්ද ලැබීනේ වැඩි ඉඩක් ඇතැයි ඇතැම් විට අසන්නට ලැබෙන මතයක්. එහෙත් ඔවුන්ගේ ඡන්ද කොහොමටත් වැඩිපුර ලැබෙන්නේ ඩිමොක්‍රටික් පක්ෂයට බව 2016 දී ද පෙනීගිය කරුණක්. කමලා හැරිස්ව සිය උප ජනාධිපති අපේක්ෂක ලෙස බයිඩන් විසින් ආත් කරගත්තේ ඇය ඍජුබව හා දැඩි බව පිළිබඳ ප්‍රකට අයකු වීම හේතුවෙන් වීමට වැඩි ඉඩක් තිබෙනවා.

Friday, August 14, 2020

ඊශ්‍රායලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තානාපති සබඳතා ස්ථාපිත කරයි

 ඊශ්‍රායලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ එකඟතාවක් ඇතිවූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අගෝස්තු 13 වනදා නිවේදනය කළා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙම එකඟතාවට එළඹුණේ බටහිර ඉවුරේ ජෝර්දාන් නිම්නය සහ යුදෙව් ජනාවාස ප්‍රදේශ ඈඳා ගැනීමට වන සැලසුම් අත් හිටුවීම සඳහා ඊශ්‍රායලය කැමැත්ත පළ කිරීම සමග බව ට්‍රම්ප් කියා සිටිනවා.


රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ මේ එකඟතාව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි කිරුළ හිමි ශෙයික් මොහොමඩ් බින් සයෙද් අල් නහ්යාන් කුමරු හා තමා අතර ඇති කරගනු ලැබුණ බවයි ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ.

මේ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඊශ්‍රායලය සමග තානාපති සබඳතා ස්ථාපිත කරන තුන්වන අරාබි රාජ්‍යය වනු ඇති. මීට පෙර 1979 දී ඊජිප්තුව ද 1994 දී ජෝර්දානය ද එම පියවර ගත්තා.

ස්ථිර තානාපති කාර්යාල විවෘත කිරීම පිළිබඳ මෙන්ම ආයෝජන, සංචාරක කර්මාන්තය, ගුවන් ගමන්, ආරක්ෂාව යනාදී ක්ෂේත්‍රවල එකඟතා ගිවිසුම් පිළිබඳ ද සාකච්ඡා කිරීමට මෙම රටවල් දෙකේ නියෝජිතයින් නුදුරේදීම හමුවනු ඇතැයි ට්‍රම්ප් කියා සිටියා.

එමෙන්ම තවත් මුස්ලිම් රාජ්‍යයන් ද ඊශ්‍රායලය සමග තානාපති සබඳතා ස්ථාපිත කරගැනීමේ ඉඩක් ඇති බවට ද ට්‍රම්ප් ඉඟි පළකළා. මුස්ලිම් රාජ්‍යයන් සමග සබඳතා වර්ධනය කරගැනීම කෙරෙහි තමන්ද වැඩි අවධානයක් යොමු කරන්නේ යයි ඊශ්‍රායලය ද ප්‍රකාශ කර තිබෙනවා.

සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ද මීට පෙර ඊශ්‍රායලය සමග සාකච්ඡා කිරීමට තමන්ගේ ඇති උනන්දුව අඟවා තිබෙනවා.

කෙසේ වෙතත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ගත් මෙම පියවර පලස්තීනුවන්ගේ දැඩි දෝෂදර්ශනයට හේතු වී තිබෙනවා.

ඊශ්‍රායලය සමග අරාබි රටවල් ඇතිකරගනු ලබන මෙම එකඟතාවන් පලස්තීනයට මෙන්ම කලාපීය වශයෙන් ඉරානයට ද හානිකර වනවා.

Thursday, August 13, 2020

කමලා හැරිස් උප ජනාධිපති අපේක්ෂිකාව ලෙස තෝරාගැනීම​ අනුවණකමකි

ජෝ බයිඩන්ගේ උප ජනාධිපති තරග සගයා ලෙස කමලා හැරිස් පත් කිරීමත් සමග ඇය ගැන විවිධ දේවල් කියවෙනවා දුටුවා. නමුත් සරලව කියන්න තියෙන්නෙ බයිඩන් ඓතිහාසික අනුවණකමක් කර ඇති බවයි.

කමලා කැලිෆෝර්නියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ හි දිස්ත්‍රික් නීතිවේදී ලෙස ද, කැලිෆෝර්නියා ප්‍රාන්ත නීතිපති ලෙස ද කටයුතු කරන සමයන් හි ඇතැම් චුදිතයින් පිළිබඳ සාක්ෂි සඟවා ඔවුන් සිරගත කිරීමෙන් තම රැකියාවේ කාර්යය සාධනය ඉහළ බව පෙන්වන්න යත්න දැරූවෙක්. පොලිස් ප්‍රචණ්ඩ ක්‍රියා ගැන සාකච්ඡා වන මෙවන් සමයක එවන් අපේක්ෂිකාවක තෝරාගැනීම අමුතු වාසියක් ගෙනෙන්නේ නැහැ.


එමෙන්ම මෙවර ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති නාම යෝජනා සටනේදී ඇයගේ හැසිරීම අන්තිම නරක බව එහි විවාද නැරඹූ අය දන්නවා. සංස්කරණය කරන ලදුව පළ කරන ලද ඡායාරූපවල දිස්වන සුන්දරත්වය නම් එහිදී පෙනුණේ නැහැ. ඇය බොහෝවිට ඉතා පුද්ගලික මට්ටමෙන් තමාගේ පක්ෂයේම අනෙක් තරගකරුවන් පහත් කර කතා කළා.

බයිඩන් පිළිබඳ පවා ඇය බොහොම දරුණු ප්‍රකාශ සිදුකර තිබෙනවා. බයිඩන් විසින් තමන්ට අයුතු ලිංගික බලපෑම් කළේ යයි ඇතැම් කාන්තාවන් චෝදනා කරන විට හැරිස් ඔවුන් විශ්වාස කරන බව පවසා තිබුණා. සුදු සහ කළු ජාතිකයන් වෙන්කර තැබීම පිළිබඳ ඔහුගේ යම් අතීත ස්ථාවරයන් මෙන්ම ඒ වෙනුවෙන් පෙනී සිටි ඇතැමුන් සමග ඔහුගේ වූ සබඳතාවන් ඇගේ දැඩි ප්‍රහාරයට ලක් වුණා. එවන් අයෙක් සිය සටන් සගයා ලෙස තෝරාගැනීම ම ගැටළුවක් වනවා.

තෝරාගන්න තිබුණ අය ගැන මෙතනින් කියවන්න: ඩිමොක්‍රටික් 2020 උප ජනාධිපති අපේක්ෂිකාව කවුරුන් වේද?

තවමත් ජාතික මට්ටමේ මත විමසුම්වලදී මෙන්ම තියුණු සටනක් ඇති ප්‍රාන්ත වැඩි ප්‍රමාණයක ද ඉදිරියෙන් සිටින්නේ බයිඩන් බව සත්‍යයක්. එහෙත් ජනාධිපතිවරණයට තව මාස දෙකහමාරක් තිබෙනවා. මෙහිදී ඕනෑම දෙයක් විය හැකියි.

කමලා හැරිස්ගේ තෝරාගැනීම බයිඩන්ට වාසිදායක වන ක්‍රම කිහිපයක් තිබෙනවා. එකක් නම් කළු ජාතික ඡන්ද ඔහු වෙත ලැබීමට ඇති ඉඩයි. එහෙත් කොහොමත් කළු ජාතික ඡන්ද වැඩිපුර මෙවර ලැබෙන්නේ ඩිමොක්‍රටික් කඳවුරට බව අනුමාන කළ හැකියි. එම නිසා එහි විශාල වෙනසක් වේ යයි සිතීමට අපහසුයි.

ඊට වඩා වැදගත් කරුණක් නම් තමන් ඩිමොක්‍රටික් පක්ෂයේ වාමවාදී කඳවුරට යටත් නොවන්නකු බව බයිඩන් විසින් පෙන්වා දීමයි.

බයිඩන්ගේ වයස සහ ඔහු ඩිමෙන්‍ෂියාවෙන් පෙළෙන්නේ යයි වන සැකය හේතුවෙන් ඔහු සිය ධුර කාලය නිම නොකරනු ඇතැයි වන සැකය බොහෝ දෙනාට තිබෙනවා. මෑතකදී Rasmussen Reports විසින් කළ සමීක්ෂණයක දී සියයට 59 දෙනෙකු එම අදහස දක්වා තිබුණා. එවන් අවස්ථාවක කමලා හැරිස් වැනි කළු ජාතික කාන්තාවක ජනාධිපති වනු දැකීමට ඇමරිකානුවන් සූදානම් වෙයිද යන්න ද මෙම ජනාධිපතිවරණයේදී යම් වැදගත්කමක් ගන්නා ප්‍රශ්නයක් වනු ඇති.

Tuesday, August 11, 2020

රුසියාව අනුමත කළ කෝවිඩ්-19 එන්නත පුටින්ගේ දියණියක් ද ලබාගෙන​

රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කෝවිඩ්-19 වයිරසයට එරෙහි එන්නතක් අනුමත කළ බව ජනාධිපති ව්ලදිමීර් පුටින් පවසනවා.

ඔහු කියා සිටියේ තමාගේම දියණියක් ද එම එන්නත ලබාගත් බවයි. ඇයට එන්නත ලබාගත් පසු ශරීරයේ සුළු උෂ්ණත්ව ඉහළ යාමේ තත්ත්වයක් දැනුණ ද ඉන්පසු එය යථා තත්ත්වයට පත්වූ බවත් පුටින් කියා සිටියා.


රුසියාවේ ගමලෙයා වසංගත රෝග හා ක්ෂුද්‍ර ජීව විද්‍යා ආයතනය විසින් නිපදවන ලද මෙම එන්නත බුර්දෙන්කෝ හමුදා ශික්ෂණ රෝහලේදී හා සෙචෙනෝෆ් පළමු මොස්කව් වෛද්‍ය විශ්ව විද්‍යාලයේදී මානව පරීක්ෂණයන්ට භාජනය කෙරුණා. ජූනි 18 වනදා 38 දෙනකුගෙන් පරීක්ෂණ ඇරඹි අතර එම සියල්ලන්ටම කෝවිඩ්-19 සඳහා ප්‍රතිශක්තිය ගොඩනැගුණ බවයි රියානු රජය පැවසුවේ.

රුසියාවේ නියෝජ්‍ය අගමැතිණී තත්යානා ගලිකෝවා පවසන්නේ මෙම එන්නත සැප්තැම්බර් මාසයේ සිට සෞඛ්‍ය සේවකයන්ට ලබාදෙන බවයි. මහජනයා සඳහා එළඹෙන ජනවාරියේ සිට ලබාදිය හැකි බවත්, කැමති අයට එය ස්වේච්ඡා පදනමින් ලබාගත හැකි බවත් ඇය කියා සිටියා.

Friday, August 7, 2020

තමන් ඝාතනය කිරීමට කළ උත්සාහයන් පිළිබඳ පුටින් කතා කරයි

ව්ලදිමීර් පුටින් සමග ඔලිවර් ස්ටෝන් කළ සාකච්ඡා මාලාවක් "Putin Interviews" නමින් මීට කලකට පෙර එළි දැක්වුණා. මෙහි එක් අවස්ථවක පුටින් තමන්ව ඝාතනය කිරීම සඳහා ගන්නා ලද උත්සාහයන් පිළිබඳව සඳහන් කරනවා.


ඔලිවර්: 2012 දී ඔබ ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සියය්ට 63 ක් ඡන්ද ලබාගත්තා.

පුටින්: ඔබ හරි

ඔලිවර්: තුන් වරක් ජනාධිපති ධුරයට පත් වනවා. මට දැනගන්න ලැබෙන විදියට ඝාතන උත්සාහයන් පහක්. කැස්ත්‍රෝට එරෙහිව තරම් ම නම් නැහැ. මම ඔහු සමග සාකච්ඡා කර තිබෙනවා. මම හිතන්නෙ ඔහුව ඝාතනය කරන්න අවස්ථාවල් පනහක්වත් උත්සාහ කළා. ඔබට එරෙහිව පහක් කියලයි මම දන්නෙ.

පුටින්: මම ඒ ගැන කැස්ත්‍රෝ සමගත් කතාබහ කර තිබෙනවා. ඔහු මගෙන් ඇහුවා "ඔබ දන්නවාද කොහොමද මම තවමත් ජීවතුන් අතර ඉන්නේ?" කියලා. මම ඇහුවා "කොහොමද​?" කියලා. "මගේ ආරක්ෂාව පිළිබඳ කටයුතු සොය බැළුවේ මම මයි" ඔහු කිව්වා. ඒත් මම මගේ රාජකාරිය කරනවා. ආරක්ෂක නිලධාරීන් ඔවුන්ගේ රාජකාරිය කරනවා. ඔවුන් තවමත් හොඳින් කටයුතු කරගෙන යනවා.

ඔලිවර්: ඔබ ඔවුන් විශ්වස කරනාවාද​?

පුටින්: ඔව්. මම විශ්වාස කරනවා.

ඔලිවර්: ඝාතකයකු මුලින්ම කරන්න උත්සාහ කරන්නේ ජනාධිපතිවරයාගේ ආරක්ෂක​ අංශය තුළට රිංගා ගැනීමයි.

පුටින්: මම එය දන්නවා. ඔබ දන්නවාද රුසියානුවන් අතර තියෙන කියමනක්? ඔවුන් කියනවා, "එල්ලී මැරෙන්න නියමිත තැනැත්තා දියේ ගිලී මැරෙන්නේ නැහැ" කියලා.

ඔලිවර්: ඔබට උරුම කුමක් ද​? ඔබ දන්නවාද​?

පුටින්: ඔබේත් මගේත් ඉරණම දන්නේ දෙවියන් පමණයි.

ඔලිවර්: සමහර විට නිදි ඇඳේම මිය යන්න වෙන්න පුළුවන්.

පුටින්: අපි කවුරුත් කවදා හෝ මැරෙනවා. වඩා වැදගත් වෙන්නේ අප සපුරා ඇති දේ මොනවාද යන්නයි. මේ නවාතැනේ අපි ජීවිතේ විඳ ඇති ද යන්නයි.