Thursday, March 4, 2021

සාන්ත පීතර්බුර්ග් නගරයේ පාට පාට පල්ලිය

මොස්කව් නගරයේ සාන්ත බැසිල් ආසන දෙව් මැදුර ගැන ගොඩක් දෙනා අහලා ඇති. පෙනුමට ඒ වගේම පල්ලියක් සාන්ත පීතර්බුර්ග් නගරයේත් තියෙනව. සමහරු එය සාන්ත බැසිල් ආසන දෙව් මැදුරත් එක්ක පටලගන්නවා.


ත්සාර් දෙවන අලෙක්සන්දර් රුසියාවෙ හිටපු ප්‍රතිසංස්කරණවාදී පාලකයෙක්. ඔහු තමයි ප්‍රවේණිදාස ක්‍රමය අහෝසි කළෙත්. නමුත් ඔහුව තරම් කිසිම රුසියානු පාලකයෙක්ව ඝාතනය කරන්න උත්සාහ කරලා නැතුව ඇති.

මේ පිළිබඳ එක්තරා පුරාවෘත්තයක් තිබෙනවා. ඒ අනුව, වරක් සාස්තරකරුවෙක් දෙවන අලෙක්සන්දර් වෙත පවසා තිබෙනවා ඔහුව හත් වරක් ඝාතනය කරන්න තැත් කරන බවත්, හත්වෙනි උත්සාහය සාර්ථක වන බවත්. මේ කතාවෙ ඇත්ත නැත්ත කොහොම වුණත් ඔහු හය වරක් ඝාතන තැත්වලින් බේරෙනව.


1881 මාර්තු 13 වනදා (පැරණි ක්‍රමයට මාර්තු 1 වනදා) ත්සාර් අලෙක්සන්දර් කැතරින් ඇළ අසළින් වින්ටර් මාලිගය වෙත පැමිණෙමින් සිටියා. ඔහුව ඝාතනය කරන්නට රැකගෙන සිටි තැනැත්තා අශ්ව කරත්තය යටට බෝම්බයක් එල්ල කළා. එය පුපුරා ගියද ඔහුට හානියක් සිදුවුණේ නැහැ. මුර භටයන් විසින් බෝම්බකරු අල්ලාගත්තා.

අලෙක්සන්දර්ට ඔහුව ඝාතනය කරන්න උත්සාහ කළ තැනැත්තා බලන්න ඕන වුණා. ඔහු කරත්තයෙන් බැස බෝම්බකරු ඉදිරියට ආවා. ඇතැම්විට සාස්තරයේ කතාව ඇත්ත නම් තමා හත්වැනි ඝාතන තැතෙන් ද ගැලවුණේ යයි අලෙක්සන්දර් හිතන්න ඇති. කෙසේ වෙතත් නැවත ඔහුට ප්‍රහාරයක් එල්ල වේ යයි ඔහු හිතුවේ නැහැ.



නමුත් ඝාතකයන් දෙවැන්නෙක් සූදානම් කර තිබුණා. සිද්ධිය බලන්නට පැමිණි දෙවැන්නා, වෙන්නේ මොකක්දැයි වටහාගත්තා. ඊළඟ මොහොතේ අලෙක්සන්දර්ගේ දෙපා මුලට තවත් බෝම්බයක් වැටුණා. ත්සාර්ගේ දෙපා බරපතල ලෙස තුවාල වී ලේ ගලා යන්නට වුණා. වින්ටර් මාලිගයට ගෙන යනු ලැබූ ඔහු එහිදී මියගියා.

ඔහුගෙන් පසුව බලයට පැමිණියේ ත්සාර් තුන්වන අලෙක්සන්දර්. ඔහු යටතේ රොමානොෆ්වරුන් මෙම ස්ථානයේ ඉඩම මිලට ගෙන දෙව් මැදුරක් ඉදිකළා. එහි වැඩ පටන් ගත්තේ 1883 දි. දෙවන අලෙක්සන්දර් තුවාල ලද ස්ථානය නිසා එයට "විසිරුණු රුධිරයේ ගැලවුම්කරුවාණන්ගේ දේවස්ථානය" (Church of the Savior on Spilled Blood) යන නාමය දෙනු ලැබුණා.

තුන්වන අලෙක්සන්දර් පරණ තාලයේ, ගතානුගතික අදහස් තිබූ අයෙක්. ඉතින් ඔහුට අවශ්‍ය වුණේ පැරණි "රුසියානු ශෛලියේ" දේවස්ථානයක් ඉදි කිරීමටයි. නූතන නගරයක් වූ සාන්ත පීතර්බුර්ග් නගරයේ අනෙක් ගොඩනැගිලිවලට වඩා මෙය වෙනස්. මෙය වඩා ළං වන්නේ මොස්කව්වල ගොඩනැගිලිවලට.


සෝවියට් පාලකයන් බලයට පත් වූ පසු මෙය විනාශ කිරීමට සැලසුම් කෙරුණා. නමුත් එය ක්‍රියාවට නැගීමට පෙර දෙවන ලෝක යුද්ධය පැමිණියා. යුද්ධයේදී එවකට ලෙනින්ග්‍රාද් නමින් හැඳින්වූ සාන්ත පීතර්බුර්ග් නගරය වටලන ලද බව අපි දන්නවා. එසමයෙහි මෙය භාවිතා කෙරුණේ මෘත ශරීරාගාරයක් ලෙසයි.

යුද්ධයෙන් පසුවත් මෙය විනාශ කරන අදහසක් මතුවුණා. නමුත් ඊට මතුවූ ජනතා විරෝධය සමග එම අදහස අත් හරින ලද බවයි සඳහන් වන්නේ.

වර්තමානය වනවිට මෙය කෞතුකාගාරයක් වන අතර මෙය පාලනය කෙරෙන්නේ සාන්ත අයිසැක් ආසන දෙව් මැදුර පාලනය කරන පාලනාධිකාරිය විසින්.


ඡායාරූපවලින් පළමුවැන්නේ අයිතිය Legion Media. අනෙක් ඡායාරූප Museum St. Isaac's Cathedral වෙතින්.

No comments:

Post a Comment