Monday, October 17, 2016

ISIS ත්‍රස්තයින්ගෙන් මෝසුල් නුවර ගලවා ගැනීමේ මෙහෙයුම ඇරඹේ

ඉරාක හමුදා සහ පැරාමිලිටරි කණ්ඩායම් ISIS ත්‍රස්තයින් සතුව පවතින මෝසුල් නගරය අල්ලාගැනීමේ මෙහෙයුම් ආරම්භ කළ හ​. අද දින උදෑසන ජාතිය අමතමින් එරට අගමැති හයිදර් අල්-අබාදි මේ බව නිල වශයෙන් ප්‍රකාශ කළේය​.

"පුරා වසර දෙකක් අපි ISIS සංවිධානය සමඟ සටන් කරන්නෙමු. අප පටන් ගත්තේ බැග්ඩෑඩය අසලිනි. දෙවියන්වහන්සේට ස්තූති වන්නට අප දැන් මෝසුල් අසළටම පැමිණ සිටින්නෙමු. දෙවියන්ගේ කැමැත්ත පරිදි මෙහි අවසන් සටන ළඟදීම වනු ඇත​" ඔහු සඳහන් කළේය​.

මෝසුල් නගරය ඉරාකයේ දෙවන විශාලම නගරය වන අතර 2014 ජූනි මාසයේදී ත්‍රස්තයින් විසින් එය අල්ලාගන්නා විට එහි ජනගහනය මිලියන දෙකක් පමණ විය​. වර්තමානයේ මෝසුල් නුවර ජනගහනය පිළිබඳ හෝ එහි සිටින ත්‍රස්තයින් ගණන පිළිබඳ හරි ඇස්තමේන්තුවක් නොමැත​. එහෙත් අවම වශයෙන් 600,000 ක සිට මිලියන 1.5 ක් දක්වා ජනකායක් නගරය තුළ වසන බව අනුමාන කර ඇති අතර ත්‍රස්තයින් 6,000 ක් පමණ එහි වෙතැයි කියැවේ.

නගරය වටලාගෙන සිටින හමුදා සහ වෙනත් සන්නද්ධ කණ්ඩායම්වල පිරිස් ශක්තිය පිළිබඳවද විවිධ ඇස්තමේන්තු ඇත​. කෙසේ නමුත්, මෙම කණ් ඩායම්වල පිරිස් ශක්තිය 60,000 ක් පමණා වෙතැයි ඇතැම් වාර්තා සඳහන් කරයි. ඉරාක හමුදාවේ 9, 15 සහ 16 වන ඩිවිෂන ද​, කුර්දි 'පැශ්මර්ගා' හමුදා ද​, හෂ්ඩ් අල්-ශාබි සහ නිනවේ තැනිතලාවේ ආරක්ෂක ඒකක (ඇසිරියානු සටන්කාමී සංවිධානයක්) ඇතුලු කණ්ඩායම් මෙම සටනට සම්බන්ධ වන අතර මිත්‍ර හමුදාවල ගුවන් සහයද ඔවුනට ලැබේ.

මේ අතර ඉරිදා දිනයේදී මෝසුල් නගරය වෙත දැනුවත් කිරීමේ පත්‍රිකා ගුවනින් හෙලන ලදී. නගරය ගලවා ගැනීමේ අවසන් මෙහෙයුම් ඇරඹීමට සියල්ල සූදානම් බව එමගින් දන්වන ලදී. ඇමරිකානු සහ අනෙක් මිත්‍ර රටවල ගුවන් හමුදා සිවිල් වැසියන් ඉලක්ක වන සේ ගුවන් ප්‍රහාර එල්ල නොකරන බවට ප්‍රතිඥාවක් දී තිබේ. එහෙයින් ඔවුනට නිවෙස්වලට වී සිටින ලෙස ඉරාක බලධාරීන් විසින් අවවාද කෙරිණ​. කෙසේ නමුත්, සිවිල් වැසියන් නගරයෙන් පළා යාමට ඉඩ ඇති බැවින් විශාල සරණාගත ප්‍රශ්නයක් මතුවිය හැකි බව එක්සත් ජාතීන් ගේ සරණාගතයින් පිළිබඳ මහලේකම් පවසයි.

මේ අතර කුර්දි සේනාංක මෙම සටනට සහභාගී වීම පිළිබඳ තුර්කිය අවදානයෙන් සිටින බව ප්‍රකාශ කර ඇත​. එරට ප්‍රකාශ කරන්නේ උතුරු ඉරාකයේ තුර්කොමන් ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ ඔවුන් අවධානයෙන් සිටින බව ය​. සුන්නි මුස්ලිම් ත්‍රස්තවාදීන් ගෙන් පහර කනු වෙනුවට ශියා මුස්ලිම් මිලීෂියා කණ්ඩායම්වලින් පහර කෑමට ප්‍රදේශයේ ජනතාවට සිදු වේ නම් ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු බව තුර්කිය පවසයි.

සඳුදා හිරු එළිය වැටෙන විට මෝසුල් නගරයට ඊසානදිගින් කුර්දි 'පැශ්මර්ගා' සේනාංක රැස්ව​ සිටිනු දක්නට ලැබුණි. එමෙන්ම අනෙක් ප්‍රදේශවල ද ඉරාක හමුදා සහ අනෙකුත් සේනාංක නගරය වටලා සිටියි. ඉරිදා රාත්‍රියේ පටන් නගර ප්‍රත්‍යන්ත ප්‍රදේශවලින් සටන් වාර්තා විය​.

කෙසේ නමුත් මෝසුල් සඳහා වන සටන සති ගණනක් නොව මාස ගණනක් ඇදෙන සටනක් බව සැකයක් නොමැත​. නගරයක සටන් කිරීමේදී කොටසින් කොටස​, වීථියෙන් වීථිය​, පමණක් නොව ඇතැම්විට ගෙන් ගෙට පවා සටන් කිරීමට සිදු වේ. එහෙයින් මෙම සටන මෙම වසර නිමා වෙද්දීවත් අවසන් නොවන බව සැකයක් නොමැත​. කෙටි කළකින් සටන නිම විය හැකි එකම ක්‍රමය නම් ISIS ත්‍රස්තයින් ඊට පෙර සටන අත හැරීම ය​.

2 comments:

  1. 1. අර අපූරු පින්තූරෙ කවුරු ගත්ත එකක්ද?
    2. ඉන්ෂා අල්ලාහ්ඃ යනු දෙවියන්ගේ කැමැත්ත පරිදි යන්නයි.
    3. මම හිතන්නේ මේ සටන අති බිහිසුනු එකක් වේවි. විශේෂයෙන් සිවිල් වැසියන්ට. ඒ ඔවුන් ප්‍රාණ ඇපයට ගැනීමට බොහෝවිට ඉඩ ඇති නිසාත් නගරයට ඇති සැපයුම් මාර්ග අඩාල වීම මත කුඩා දරුවන් සහ කාන්තාවන් ප්‍රමුඛ ප්‍රජාව අසරණවීමේ හැකියාව මත ත්‍රස්තයින්ට වාසිසහගත තත්වයක් නිර්මාණයවීමේ හැකියාව නිසාත්.

    ReplyDelete
    Replies
    1. පින්තූරය ගත්තු කෙනාගෙ නම දකුණු පැත්තෙ පහළින් තියෙනවා :)

      සටන නම් බිහිසුණු එකක් වේවි. පෙනෙන විදියට ත්‍රස්තවාදීන් ඉරාක හමුදාවලට ඉස්සරහට එන්න දෙනවා. නගරයේ දි වට කරල නෙලන්න වගේ ලෑස්ති වෙන්නෙ.

      කුර්දි සහ ශියා මිලීෂියා සෙබලු නගරය ඇතුලට යන එකක් නෑ. ඉරාක හමුදාවලට තමයි සටන් කරන්න වෙන්නෙ නගරයෙදි

      Delete