Monday, October 3, 2016

ජර්මනිය නැවත​ එක්සත් කිරීම 1990

දෙවන ලෝක යුද්ධය අවසානයේදී පරාජිත ජර්මනිය මිත්‍ර රටවල හමුදා පාලනයට යටත් විය​. 1939 දී පැවති ජර්මනියෙන් ඇතැම් කොටස් ඉවත් කර පෝලන්තයට සහ සෝවියට් දේශයට ලබාදෙන ලදී. මේ අනුව, අවශේෂ ජර්මනිය​ ඇමරිකා එක්සත් ජනපදය​, සෝවියට් දේශය​, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය යන රටවල් අතර බෙදී ගියේ ය​. මේ අතර ජර්මනියේ අගනුවර වූ බර්ලින් නගරය ද වෙනමම කොටස් හතරකට බෙදන ලදී. මේ අතර සාර්ලන්තය වෙනමම එක්සත් ජාතීන් විසින් පාලනය කෙරුණ කොටසක් බවට පත් විය​.

මෙසේ නැගෙනහිර ජර්මනිය සෝවියට් හමුදා පාලනය යටතේ වූ අතර එහි මධ්‍යයේ පිහිටි බර්ලින් නගරයේ බටහිර කොටස ඇමරිකානු, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ පාලනය යටතේ විය​.

යුරෝපයේ මධ්‍යගත පිහිටීම හේතුවෙන් ලෝක දේශපාලනයේ වැදගත් ස්ථානයක් ජර්මනියට හිමි වීම නොවැළැක්විය හැකිය​. මේ හේතුව නිසාම බටහිර රටවල් මෙන්ම සෝවියට් දේශය ද සමස්ථ ජර්මනිය සිය අණසක යටතට ගැනීම හෝ සිය මිතුරකු වීම හෝ බලාපොරොත්තු වූහ​. එහෙයින්, බටහිර රටවලට අවශ්‍ය වූයේ විවෘත ආර්ථිකයට අනුගත වූ ජර්මනියකි. සෝවියට් දේශයට අවශ්‍ය වූයේ සමාජවාදී ජර්මනියකි. මේ හේතුවෙන් දෙපාර්ශවයම ජර්මනිය තුළ වූ තමන් සතු අණසක අහිමි කරගැනීමට අකමැති විය​.

මේ අතරතුර​, මේ අතර, 1946 දී, සියලු ජර්මන් ප්‍රදේශ අතර ආර්ථික ඒකාබද්ධතාවයක් ඇති කිරීම සඳහා ඇමරිකානුවන් විසින් යෝජනාවක් ගෙනෙන ලදී. ප්‍රංශය ඊට තදින්ම විරුද්ධ වූයේය​. නැවත වරක් එක්සත් සහ ප්‍රබල ජර්මනියක් බිහිවීම කෙරෙහි ප්‍රංශය දැක්වූයේ ධනාත්මක අදහසක් නොවේ. දෙරට අතර වසර ගණනක් පුරා පැවති එදිරිවාදිකම එයට හේතු විය​. මේ අතර​, බලාපොරොත්තු වූ පරිදිම සෝවියට් දේශය ද ඊට එරෙහි විය​.

මෙහි ප්‍රතිඵලය ලෙස ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය කලාප පමණක් ඇතුලත් ආර්ථික ඒකකයක් බයිසෝනියා (කලාප දෙකේ එකතුව​) ලෙස පිහිටුවා ගනු ලැබුණි.

කෙසේ නමුත් 1948 පෙබරවාරියේදී චෙකොස්ලොවැකියාවේ බලය කොමියුනිස්ට්වාදීන් විසින් අල්ලා ගැනීමත් සමඟ, සෝවියට් කඳවුරෙන් එන තර්ජනය ජර්මන් එක්සත්කම හේතුවෙන් වන තර්ජනයට වඩා බරපතල වන බව නිගමනය කළ ප්‍රංශය ද බයිසෝනියාවට සිය කලාපය එක් කිරීමට කැමැත්ත පළ කළේය​. මේ අනුව ට්‍රයිසෝනියාව (Trizonia) බිහි විය​.

1948 මැද දී ජර්මනියේ බටහිර රටවල පාලනය යටතේ වූ ප්‍රදේශවල ඩොයිෂ් මාක් මුදල හඳුන්වා දෙන ලදී. මෙය බර්ලිනයට හඳුන්වා දීම කෙරෙහි සෝවියට් දේශය විරුද්ධ විය​. එහෙත් බටහිර රටවල් එහි ද ඩොයිෂ් මාක් භාවිතය ඇරඹූ අතර කෙටි කළකින්ම සෝවියට් පාලනය යටතේ වූ බර්ලින් නගර ප්‍රදේශවල ද එය ව්‍යාප්ත විය​. මේ අවස්ථාවේදී සෝවියට් නායක ජෝශප් ස්ටාලින් බටහිර බර්ලිනය තනි කිරීමට තීරණය කළේය​. එමගින් බටහිර රටවල් විසින් බර්ලිනය අතැර දමනු ඇතැයි ස්ටාලින් බලාපොරොත්තු විය​. මේ අනුව බටහිර බර්ලිනයට වන සියලු මාර්ග වසා දමන ලදී.
බර්ලිනයේ ටෙම්ප්ල්හොෆ් ගුවන් තොටුපළට ඇමරිකානු ඩග්ලස් C-54 ස්කයිමාස්ටර් ගුවන් යානයක් ගොඩ බස්වන අවස්ථාවක්. 1948

බටහිර රටවල් ඊට ප්‍රතිචාර දැක්වූයේ ආහාර​, ඉන්ධන ආදී සියලු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ගුවනින් බර්ලිනයට ගොඩ බස්සවමිනි. මෙය ඉතා දැවැන්ත ගුවන් මෙහෙයුමක් වූ අතර එය අති සාර්ථක වූයේය​. 1949 මැයි මාසයේදී සෝවියට් දේශය විසින් බර්ලින් අවහිරතාව ඉවත් කරන ලදී.

එම මාසයේදීම ආර්ථික ඒකාබද්ධතාව දේශපාලන ඒකාබද්ධතාවක් බවට පෙරලමින් බටහිර රටවල පාලනය යටතේ වූ ජර්මානු කලාප තුන එක්ව ජර්මන් ෆෙඩරල් සමූහාණ් ඩුව නම් ස්වාධීන රාජ්‍යය පිහිටවන ලදී. මෙය වඩා ප්‍රකට වූයේ බටහිර ජර්මනිය නමිනි.

එම වසරේම ඔක්තෝබර 7 වනදා සෝවියට් කලාපය ජර්මන් ප්‍රජාතාන්ත්‍රික ජනරජය නම් ස්වාධීන රාජ්‍යය පිහිටුවාගනු ලැබුණි. මෙය නැගෙනහිර ජර්මනිය ලෙස වඩා ප්‍රකට වූ අතර නාමමාත්‍රව ස්වාධීන වුවද එය සෝවියට් බලපෑමට යටත් වූයේය​.

බටහිර ජර්මනිය ධනවාදී ආර්ථික ක්‍රමයක් යටතේ දියුණු වූ අතර නැගෙනහිර ජර්මනිය සමාජවාදී මධ්‍යගත ආර්ථික ක්‍රමයක් ඔස්සේ ඉදිරියට ගියේය​. නැගෙනහිර ජර්මනියේ දේශපාලන නිදහසක් ද නොවීය​. නරක ජීවන තත්ත්වයට එරෙහිව 1953 ජූනි මාසයේදී ජනතාව පෙළපාලි ගිය නමුත් එම විරෝධතාව ද මඩින​ ලදී. ඇතැම් සෝවියට් ක්‍රමවේදයන් ජර්මනියට අදාළ ද නැද්ද යන වග නොසලකා නැගෙනහිර ජර්මනියේදී ක්‍රියාවට නගනු ලැබුණි. මින් පසු ගතවූ වසර කිහිපයේදී නැගෙනහිර ජර්මන් ජනගහනයෙන් පහෙන් එකක් පමණ බටහිරට සංක්‍රමණය වූහ​. මේ සඳහා ඔවුන් යොදා ගත්තේ බර්ලින් හි වූ විවෘත දේශසීමාව ය​.

බර්ලින් තාප්පය

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා නැගෙනහිර ජර්මනිය විසින් බර්ලින් තාප්පය ගොඩ නගන ලදී. ඒ 1961 අගෝස්තු 13 දා ය​. මේ සමඟම නැගෙනහිර ජර්මනි වැසියෝ එහි රජයේ සහ සෝවියට් පාලනාධිකාරියේ සිරකරුවන් බවට පත් වූහ​. කෙසේ නමුත් ඔවුනට බටහිර ජර්මනියේ පුවත් ගලා ඒම නැවතුනේ නැත​. බොහෝ නැගෙනහිර ජර්මානුන්ට බටහිර ජර්මනියේ නෑ හිත මිතුරන් වූ අතර එයින් එන රූපවාහිනී සහ ගුවන් විදුලි ප්‍රචාරයන් ද නැගෙනහිර ජර්මනියේදී හසු කරගැනීම අපහසු නොවීය​. එහෙයින් බටහිර ලෝකයේ පුවත් නැගෙනහිර ජර්මානුන් ගෙන සැඟවීම අපහසු නොවී ය​.

අනෙක් නැගෙනහිර ජර්මන් කොමියුනිස්ට් රාජ්‍යයන්ට සාපේක්ෂව නැගෙනහිර ජර්මානුන් වඩා සැපවත් දිවි පෙවෙතක් ගත කළ නමුත් බටහිර ජර්මනියේ ජීවන තත්ත්වය සමඟ එය සැසඳීම කළ නොහැකි විය​. එමෙන්ම පුද්ගල නිදහස සීමා කිරීම හේතුවෙන් ද නැගෙනහිර ජර්මානු වැසියන් සිය රජය කෙරේ අසතුටින් පසු විය​.

1988 පමණ සිට නැගෙනහිර යුරෝපයේ සිදුවූ විපර්යාසයන් නැගෙනහිර ජර්මනියට ද දැනෙන්නට විය​. හන්ගේරියාව සිය දේශසීමා විවෘත කිරීමෙන් පසුව නැගෙනහිර ජර්මානුන් ද ඒ හරහා බටහිරට ඇදෙන්නට විය​. මේ අතර 1989 ඔක්තෝබරය වනවිට නැගෙනහිර ජර්මනිය පුරා විරෝධතා පෙළපාලි උත්සන්න වූයේය​. 1989 ඔක්තෝබර් 7 වනදා එරට 40 වන ජාතික දිනය සමරන ලද්දේ මෙවන් අස්ථාවර පසුබිමක ය​.
1989 ඔක්තෝබර් 7 වනදා ජර්මන් ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ 40 වන ජාතික දින ආචාර පෙළපාලිය අවස්ථාව​. එරික් හොනෙකර් (දකුණේ) සහ ගොර්බචොව් (මැද​)

මෙම ජාතික දින උළෙලට සහභාගී වීමට පැමිණි සෝවියට් දේශයේ නායක මිහායිල් ගොර්බචොව් පැහැදිලිව කියා සිටියේ කඩා වැටෙන නැගෙනහිර ජර්මන් කොමියුනිස්ට් රජය ආරක්ෂා කිරීම සඳහා සෝවියට් හමුදා මැදිහත් නොවන බවය​. ඉන් දින කිහිපයකට පසු ඔක්තෝබර් 18 වනදා, දැඩි මතධාරී එරික් හොනෙකර් බලයෙන් පහ කළ නැගෙනහිර ජර්මන් කොමියුනිස්ට්වරු ඊගොන් ක්‍රෙන්ස් බලයට පත් කළෝය​. එහෙත් ජනතා උද්ඝෝෂණ අඩුවීමක් නොවීය​.

මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ නොවැම්බර් 9 වනදා බර්ලින් තාප්පය බිඳ වැටීමය​.

නැගෙනහිර ජර්මනියේ අවසානය​

බර්ලින් තාප්පය බිඳ වැටීම නැගෙනහිර ජර්මනියේ අවසානය එක රැයින් ගෙන ආවේ නැත​. එරට නව ප්‍රතිසංස්කරණ මාලාවක් හඳුන්වා දුන් අතර 1990 මාර්තු 18 වනදා එරට පවත්වන ලද පළමු සහ එකම නිදහස් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන ලදී. මෙහිදී බටහිර ජර්මනිය එවකට පාලනය කළ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුවේ නැගෙනහිර ජර්මන් ශාඛාව විසින් නායකත්වය දුන් ජර්මනිය සඳහා වන සන් ධානය ආසන 400 න් 192 ක්ම දිනා මැතිවරණය ජය ගත්තේය​. සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් ආසන 88 ක් දිනාගත් අතර පැරණි කොමියුනිස්ට්වාදීන් නව පක්ෂයක් ලෙස ප්‍රතිසංවිධානය වී ආසන 66 ක් දිනා ගත්තේය​. ඔවුන් ලද ඡන් ද ප්‍රතිශතය සියයට 16.4 ක් විය​. ලෝතාර් ඩි මයිසියර් (Lothar de Maizier) නැගෙනහිර ජර්මනියේ පළමු කොමියුනිස්ට්වාදියකු නොවන අගමැති බවට පත් වූයේය​.

1990 මැයි 18 වනදා අත්සන් කෙරුණ ගිවිසුමකට අනුව දෙරට අතර මූල්‍ය​, ආර්ථික සහ සාමාජීය එකමුතුවක් ඇති කරගන්නා ලදී. මේ අනුව ජූලි 1 වනදා ඩොයිෂ් මාක් මුදල් ඒකකය නැගෙනහිර ජර්මනිය තුළ ද හඳුන්වා දෙනු ලැබීය​. මින් පසු දෙරට අතර දේශපාලන ඒකාබද්ධතාව බිහිවීම පිළිබඳ කිසිදු සැකයක් නොවීය​. 1990 අගෝස්තු 31 වනදා දෙරට එක්සත් වීම පිළිබඳ ගිවිසුම අත්සන් කෙරුණ අතර දෙරටේම පාර්ලිමේන්තු විසින් එය අනුමත කිරීමෙන් පසු ඔක්තෝබර් 3 වනදා දෙරට ඒකාබද්ධ වූ බව ප්‍රකාශ කෙරුණි.

9 comments:

  1. මට ටැග් නොකිරීම සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කරමි.. හා හා .. සිංහලෙන් කියවන්නන් සඳහා ජාත්‍යන්තර පුවත් ගෙන හැර දක්වමින් ඔබ කරන සේවයට මගේ උපහාරය


    ReplyDelete
    Replies
    1. අප්පා... අමතක වුනා නේන්නම්. හිටුකො ඊළඟ වතාවෙ කරන්නම්

      Delete
  2. සෝවියට් රුසියාවට වයිර කරත්.මන්ද යටත් වු රටක වැසියනට සෝවියට් හමුදා විසින් කර ඇති අමානුශික කෘරකම් නිසාය.(කොල්ල කැම් ඉන් අමතරය )මේවාට සාපේක්ශව, මිත්‍ර හමුදාවන් සිදුකර ඇති අපරාද ඉතාමත් සුලුය.සෝවියට් වරුන්ට යටත්වූ නගෙනහිර ජර්මනිය ලොවපුරා ප්‍රචාරාත්මක සන්වර්දනයක් (70 දශකයේ මුල් භාගයේ ලන්කා ගුවන් විදුලියේ ප්‍රචාරය වූ ජර්මන් ජනහ්ඬ උදා හරනයකි )පමනක් ලබන විට,මිත්‍ර ජාතින් හට යටත්වූ බටහිර ජර්මනිය නැවත වේගවත් සන්වර්දනයක් මිත්‍ර ජාතීන්ගේ සහයෙන් ලබා ගත්තෝය. (ranjan)

    ReplyDelete
    Replies
    1. ඔය ගොඩක් දේවල් දේශපාලනේ තමා ඉතින්

      Delete

    2. නමුත් දැන් නැගෙනහිර ජර්මන් වැසියන් කියන්නේ කුමක්ද?

      ඔවුන් දැන් කියන්නේ පැවති ක්‍රමය වඩාත් හොද බවයි..............

      http://www.spiegel.de/international/germany/homesick-for-a-dictatorship-majority-of-eastern-germans-feel-life-better-under-communism-a-634122.html

      Delete
  3. මේ විදියට කොරියාවත් කවදාහරි එකතු වේවිද ?

    ReplyDelete
  4. මට මේක මාර විදිහට මතකයි - එතකොට 4 වසරේ - හැබැයි අයි ටී එන් ෆෑන් ක්ලබ් එකේ නිතරම මේ කාලේ ස්කෝපියන්ස්ලගේ ඒ සුප්‍රකට ගීතය මතකයි මේ සිදුවීම් එක්ක බැදුනු.
    බයිද වේ ජර්මනිය කියන රට 19 වන සියවසේ හැදීමේදී ජර්මන් කතා කරන ඕස්ත්‍රියාව නොව ප්‍රසියාව කියන ස්ලාව් රට මුල් වීම ගැනත් වෙනම ලිපියක් ලියන්න - කතාව අසා තිබුනත් වැඩි විස්තර දැනගන්න ආසයි

    ReplyDelete
    Replies
    1. ඔව්. 1800 ගණන්වල ජර්මනිය එක්සත් කිරීම කියන්නෙ ලිපි සෙට් එකක්ම ලියන්න පුලුවන් මාතෘකාවක්. :)

      Delete