Monday, April 14, 2014

සිංහල අලුත් අවුරුද්ද සැබැවින්ම සිංහල නොවන්නේ ඇයි?

අපේ මිත්‍ර කාවින්ද විමර්ශනගේ වැඩක්...
මුලින්ම හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අලුත් සිංහල​/දෙමළ අවුරුද්දේ මගේ පළමු සිංහල බ්ලොග් පෝස්ටුව ලියා තබන්නට අදහස් කළා.

මේ ලිපියට මූලික අඩිතාලම වැටුණේ මීට මාස තුනකට පෙර​, චීන ජාතිකයන්, චීන අලුත් අවුරුද්ද සමරන අවස්ථාවේ මගේ මිත්‍ර අරවින්ද කරුණාරත්න ඔහුගේ ෆේස්බුක් පිටුවේ ලියා තිබූ සටහනක්. ඔහු එයින් සඳහන් කළේ චීන ජාතිකයන්, ආගම් භේදයකින් තොරව අලුත් අවුරුද්ද සමරන බවත් ලාංකිකයනට එසේ කිරීමට අදටත් නොහැකිවී ඇති බවත්. අප පෞද්ගලිකව දන්නා කරුණක් නම්, බොහෝ සිංහල​, නමුත් බෞද්ධ නොවන අය​, අප්‍රේල් මාසයේ අවුරුද්ද සමරන්නේ නැති බවයි.

මා හට පෙනී ගිය මූලික කරුණුවලට අනුව​, මේ වෙනසට හේතු වී ඇත්තේ, චීන අලුත් අවුරුද්ද ශතවර්ශ ගණනක් නොව වසර දහස් ගණනක් පැරණි සම්ප්‍රදායක් වීම​. ඇත්තෙන්ම චීන ජාතිකයන් පවා හරියටම දන්නේ නැහැ කවදා මේ සම්ප්‍රදාය පටන් ගත්තාද කියන කාරණය​. නමුත් ලංකාවේ අපට සිංහල​/දමිළ අලුත් අවුරුද්ද ඊට වඩා බොහොම අලුත්.

පැරණි සිංහල සමාජය තුල මූලික ස්ථානයක් ගත්තේ වෙසක් උළෙල වැනි බෞද්ධ උත්සව විනා ජ්‍යෝතිශ්‍යය පදනම් වන උත්සව නොවේ. ඇත්තෙන්ම පුරාණ සිංහලේ යම් වර්ශ ක්‍රමයක් පැවතියේ නම් ඒ බුද්ධ වර්ශ ක්‍රමයයි.

හිරු දෙවියන් පිදීම වැනි පාරම්පරික උත්සව මෙරට තුළ නොපැවතියේ යයි මින් අදහස් වන්නේ නැහැ. කෘෂිකාර්මික සමාජයක අස්වනු නෙලීම හා ආශ්‍රිත උත්සව පවතින්නට ඇති. සිංහල​/දෙමළ අවුරුද්ද වුනත් ඇතැම්විට පැරණි ලංකාවේ සමරන්න ඇති. නමුත් පැරණි සිංහල සමාජය මූලිකම තැන දුන්නේ බෞද්ධ උත්සවවලට බව පැහැදිලියි.

සිංහල​/දෙමළ අවුරුද්ද සැමරීම නූතන ලාංකික සමාජයට එකතු වන්නේ මීට අවුරුදු 100 කට ටිකක් එපිට සිට​. ඒ ලංකාවේ ජාතික ව්‍යාපාරයේ පිබිදීමත් සමඟයි. සියලු ලාංකිකයනට එකාවන්ව සමරන්නට පිළිවන් ජාතික උත්සවයක් ලෙස තමයි මෙය යළි පුබුදුවාලන ලද්දේ. නමුත් මෙය ජ්‍යෝතිශ්‍යය පදනම් කරගත් උත්සවයක් නිසා වැඩි කලක් නොයාම එය බෞද්ධ සහ හින්දු උලෙළක් බවට පත් වුනා. මේ පිලිබඳව මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාසයන් පළකරන අදහස් මේ සාකච්ඡාවෙන් ඔබට කියවන්න පුලුවන්.

ඇතම්විට​, අතීතයේ ලංකාවේ යම් අවුරුදු උළෙලවල් තියෙන්න ඇති. බුදුදහම පැමිණීමත් සමඟ ඒවා යටපත් වන්නට ඇති. මොකද​, බුදුදහම සහ ජ්‍යෝතිශ්‍යය වෙනමම ධාරාවන් දෙකක් නිසා.

6 comments:

  1. මේ අවුරුදු උළෙල ට්ව රටවල් කීපයකට පොදුයි. කාම්බෝජියා ,ලාඕස්, තාය්ලන්ත්ය , මියන්මාරය සහ ඉන්දියාවේ ඇතැම් පළාත් , නේපාලය අප්‍රේල් මස අවුරුදු සමරනවා . අස්වනු නෙලීම පදනම් කරගෙන තම තමාගේ සංස්කෘතියට අනුව යම් යම් වෙනස්කම් ඇතුව මෙය සමරනවා මේ රටවල . නමුත් මුලික හරය එකමයි.

    ReplyDelete
    Replies
    1. ඔව්. මට මතකයි කාළෙකට පෙර මුතුහර සඟරාවක මම රට රටවල අවුරුදු ගැන කියෙව්වා.. ඉන්දියාවේ ඇසෑම්, පන්ජාබ්, ඔරියා, බෙංගාලය වගේ ප්‍රදේශවල අවුරුද්ද මේ කාළෙ සමරන බවක් මතකයි.

      Delete
  2. අපි කෘෂිකාර්මික රටවල්නේ,මට හිතෙන්නෙත් බින්දී කියලා තියෙනවා වගේ තමන්ගේ සංස්කෘතියට අවේනිකව එකම අරමුණක් ඇතුව සමරණ උත්සවයක් කියලායි මේක.

    ReplyDelete
    Replies
    1. ඔව්. අනිවාර් යයෙන්ම ඒකෙ විවාදයක් නෑ. ඔතන ප්‍රමුඛතාවය පිළිබඳ තමයි මම සඳහන් කළේ. මට මතක විදියට රොබර්ට් නොක්ස් පවා සිංහල අලුත් අවුරුද්ද ගැන සඳහනක් කරන්නේ නෑ. (මගේ මතකය හොඳ මදි. වැරදි නම් නිවැරදි කරන්න​) කොහොම වුනත් ලංකාවේ ඉස්සර තිබ්බ කෘෂිකාර්මික සමාජය 13 වන සියවසේදි වෙනස් වුනාට පස්සෙ මේ දේවල් වෙනස් වෙන්න ඇති.

      Delete
  3. සුබ අලුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete