Friday, December 21, 2012

ලෝක විනාශය ගැන කටකතා පැතිරවීමෙන් සිය නිදහස විනාශ කරගැනීම.



ලෝක විනාශය පිලිබඳ මේ දිනවල බොහෝ සේ කතා බහ කෙරෙන බව පෙනේ. මේ පදනමක් නැති කතා ජනමාධ්‍යවලටද ප්‍රවෘත්ති නිර්මාණය කිරීමට හොඳ ක්‍රමයක් වී ඇත. මෑත යුගයේ ශ්‍රී ලංකාවේ පුවත්පත්වලද භූත විද්‍යාව වැනි කරුණු පිලිබඳ වැඩි අවධානයක් යොමු වීමට හේතුව මෙසේ සඳහන් කරන "ලෝක විනාශය ආසන්න වීම" විය හැක.

ලංකාවේ නම් ලෝක විනාශය පිලිබඳ කටකතා පැතිරවීමට කිසිදු දඬුවමක් ලැබෙන්නේ නැත. එපමණක් නොව ඊට ඇතැම් විට අනුබල දීමද සිදු වේ. කෙලින්ම නොවුනත් වක්‍ර ආකාරයෙන් ලෝක විනාශයක් ගැන නන් දොඩන්නන් පවසන්නේ පෙරදාට වඩා ස්වාභාවික විපත් වැඩි වීම ලෝක විනාශය පිලිබඳ සාධකයක් බවයි. එහෙත් 2013 වසරේ හෝ වෙනත් වසරක හෝ මීට වඩා ස්වාභාවික විපත් සිදු විය නොහැක්කේද? මීට පෙර එසේ නොවුනිද?

2008 වසරේ ඇමරිකාවේ World Watch Institute වෙබ් අඩවිය ප්‍රකාශ කලේ එම වසරේ මුල් අර්ධය තුල ඇමරිකාවේ වාර්තා වූ ස්වාභාවික විපත් සංඛ්‍යාව වෙනත් කිසිදු වසරක මුල් මාස හයට වඩා වැඩි වූ බවයි. එහෙත්, කිසිවෙක් ඒ කාලයේ සිදු වන ලෝක විනාශයක් ගැන කතා නොකළහ.

අනෙක් වැදගත් කරුණ වන්නේ ස්වාභාවික විපත් සියල්ලක්ම ඇත්තෙන්ම ස්වාභාවිකද? යන්නයි. පරිසරයට මිනිසා විසින් කරනු ලබන විශාල බලපෑම ඇතැම් ස්වාභාවික විපත් වැඩි වීමට බලපා ඇති බව අමුතුවෙන් කිව යුතු නොවන්නේය. වන විනාශයෙන් පමණක් සිදුවන ඉමහත් විනාශය සලකා බලන්න. නියඟය, ගංවතුර, නාය යාම්, ජල දූෂණය යනාදී බොහෝ විපත් ඇති වීමට සහ එහි බලපෑම උග්‍ර වීමට මේ සිදුවීම් දායක නොවන්නේද?

ඇතැම් ස්වාභාවික විපත් නම් අපට පාලනය කල නොහැක. එහෙත් ඒවා නිසා සිදුවන හානිය පෙරදාට වඩා වැඩි බව පෙනී යයි. මීට හේතු වී ඇත්තේ එවැනි ව්‍යසනවල ප්‍රමාණය හෝ භයානකකම හෝ වැඩිවීමම නොවේ. මිනිස් ජනගහනය වර්ධනය වීම නිසා එවැනි විනාශයන්ට ඍජුවම හසුවන පිරිස ඉහල යයි. එමෙන්ම, ජනගහන වර්ධනයත් සමඟ, වාසස්ථාන ගොවිපලවල් යනාදියට ඇති ඉඩ කඩ සීමා වීමෙන් මිනිසුනට අවදානම් සහිත ප්‍රදේශවල වුවද ජීවත් වීමට සිදුවී ඇත්තේය. මේ අතරම මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්ද අවදානම් ප්‍රදේශ වැඩි වන බව අමතක නොකළ යුතුය මේ සියලු කරුණු හේතුවෙන් ස්වාභාවික විපත්වලට ලක් වන්නන් ඉහල යාම අනිවාර්යය.

2012 දෙසැම්බර් 21 ලෝක විනාශය සිදුවන බව සඳහන් වීමට මූලික හේතුව වූයේ මායා ජාතිකයන්ගේ දින දර්ශනයෙහි 13 වන බක්තුන් යනුවෙන් හැඳින්වෙන යුගයෙහි නිමාව මෙදින යදී තිබීමයි. එහෙත්, මේ දිනයෙහි ලෝක විනාශය සිදු වන බවක් එහි සඳහන් නොවේ. එසේ පැවසීම පැරණි මායාවරුනටද කරන නිගරුවකි. එමෙන්ම, NASA ආයතනය ඇතුළුව ලෝකයේ ප්‍රමුඛ පෙලේ ආකාශ වස්තු නිරීක්ෂණ ආයතන මෙම අනාවැකි අසත්‍යයක් ලෙස බැහැර කොට ඇත.

ලෝක විනාශය සිදුවන ආකාරය පිලිබඳ එක අනාවැකියක්. දැවැන්ත උල්කාපාතයක් පෘථිවිය හා ගැටීම. NASA ආයතනයේ චිත්‍රයක්. Wikimedia Commons



ලෝක විනාශය පිලිබඳ අනාවැකි පල වීම අද ඊයේ පටන්ගත් දෙයක් නොවේ. මානව ඉතිහාසය පුරාවට විවිධ ජන කණ්ඩායම් හෝ පුද්ගලයන් හෝ ලෝක විනාශය පිලිබඳ අනාවැකි පල කළහ. නමුත් අද වනතෙක් ඒ එකක් හෝ සාර්ථක වී නැත. පසුගිය වසර සියයක් පමණ කාලය තුල මෙවැනි බොහෝ අනාවැකි පහල වූයේ විද්‍යාවෙන් අගතැන් පැමිණ ඇතැයි කියන ඇමරිකාවෙනි. මෙවැනි ලෝක විනාශයන් විශ්වාස කල වෙනමම ආගමික නිකායයන් පවා ඇති වූ අතර ඇතැම් ආගමික කල්ලි විශ්වාස කලේ දිවි නසාගැනීමෙන් පමණක් ලෝක විනාශයෙන් ගැලවිය හැකි බවයි. තවත් ඇතැමුන් බලාපොරොත්තු වූ විනාශය නොවූ තැන දිවි නසා ගැනීමට උත්සාහ කළහ.

මෙවරද, 2012 දෙසැම්බර් 21 වනදා ලෝක විනාශය වන බව ප්‍රකාශ කල ආගමික කල්ලි පිළිබඳව වාර්තා පලවිය. චීනයෙන් වාර්තා වූ එවැනි කණ්ඩායමක් තමන් හඳුන්වා ගන්නේ "සර්වබලධාරී දෙවියන්" (Almighty God) නිකාය ලෙසය. චීන රජය ප්‍රකාශ කරන්නේ මෙම ආගමික කල්ලිය 1990 ආරම්භ කල එකක් බවයි. 2012 දෙසැම්බර් 21 වනදා ලෝක විනාශය වන බවත් ඊට පෙර තමන් හා එක්වන්නන්ට විමුක්තිය උදා වන බවත් මෙම කල්ලිය ප්‍රකාශ කල බව කියවේ.

චීන බලධාරීන් විසින් මොවුන් හඳුන්වා දෙන ලද්දේ කටකතා පතුරවන්නන් පිරිසක් ලෙසය. මේ අනුව ඔවුන් සාමාන්‍යය ජන ජීවිතයට තර්ජනයක් ලෙස සලකා අත් අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට බලධාරීහු ක්‍රියා කළහ. දෙසැම්බර් 20 වනදා චීන මාධ්‍යයන් ප්‍රකාශ කලේ ඒ වනවිට 600කට වැඩි පිරිසක් මෙසේ රඳවනු ලබා ඇති බවය. දෙසැම්බර් 21 (අද) උදේ වනවිට එම සංඛ්‍යාව 1000ක් පමණ විය. මෙයින් 400ක් පමණ පිරිස රඳවා ගනු ලබා තිබුනේ චීනයේ වයඹදිග පලාතක් වන ක්වින්ග්හායි පලාතේදීය. මීට අමතරව නැගෙනහිර වෙරළබඩ සේජියාන්ග් ප්‍රාන්තයේ ලැන්ක්සි නගරයේද 58 දෙනෙක් රඳවා ගන්නා ලදහ.

චීනයේ චීනයේ ක්වින්ග්හායි (රතු පැහැ) සහ සේජියාංග් (කොළ පැහැ) පළාත්. මෙතනින් ලබාගත් පින්තූරය සංස්කරණය කොට සාදා ගන්නා ලදී.



මොවුන් සමඟ මෙම "ආගම" ප්‍රචාරය සඳහා යොදාගත් පත්‍රිකා, බැනර්, දැන්වීම් පුවරු, මුද්‍රණ යන්ත්‍ර, පත පොත මෙන්ම පරිඝනක තැටිද අත් අඩංගුවට ගෙන තිබුණි. එක් පත්‍රිකාවකින් කියවුනේ "ව්‍යසනයට පෙර පෙරට එන්න. සාතන්ගේ උන් වැනසෙනු ඇත. මිනිසා ගලවාගත හැක්කේ සර්ව බලධාරී දෙවියන්ට පමණි. දෙවියන්ට එරෙහි වන්නා අපාගත වනු ඇත" යනුවෙනි. මෙම කල්ලියට බැඳෙන්නන් සාර්ථක මොළ සේදීමකට ලක් වී ඇති බව පෙනී යයි. ඔවුනට මෙම දහම කෙරෙහි වන විශ්වාසය තහවුරු කිරීමට ලිපි ලිවීමට සිදුවූ බව කියවෙන අතර ආගම ප්‍රචාරයටද පොළඹවනු ලැබුණි. එක සාමාජිකයකු ලියූ ලිපියක වූයේ, "අද මා සිය දෙනෙකුටවත් මේ පණිවිඩය දිය යුතුයි නැත්නම් මා සාපලත්තෙකු වනු ඇත" යනුවෙනි.

මෙවැනි කණ්ඩායම්වල සාමාජිකයන් රඳවා තබා ගැනීම ආගමික නිදහස පාගා දැමීමක් ලෙස එකවර සිතිය නොහැක. අහිංසක, නූගත් හෝ හරි වැටහීමක් නැති මිනිසුන් මේවාට හසු වීමේ අවස්ථා එමටය. බලධාරීන් සඳහන් කරන කරුණු සත්‍යය නම්, මෙම කල්ලිය සැබවින්ම භයානක එකකි. මෙහි ඇති බරපතලම අවදානම වන්නේ 2012 දෙසැම්බර් 21 ලෝක විනාශය නොවූ තැන මොවුන් කුමක් කරයිද? යන්නයි. ඔවුනට අනුව ඉන් පසු මෙලොව ඉතිරි වන්නේ "සාතන්ගේ උන්" නම්, මේ කල්ලියේ සාමාජිකයන් ඉතිරි විය නොහැක. එසේ ඉතිරි වූ ඔවුන් ඒ පිලිබඳ කුමන නිගමනයකට ඒ දැයි කිව නොහැක. ලෝක විනාශය නොවූයෙන් තමා විශ්වාස කල දේ වැරදි බව තේරුම් ගියහොත් යහපත් වේ. එසේ නැතිව එය තමන්ගේ ආගමික විශ්වාසයේ අඩුවක් හෝ වරදක් හෝ ලෙස සිතුවහොත් ඔවුන් දිවි නසා ගන්නා තත්ත්වයට වුවද පත්වීමට පිළිවන.

14 comments:

  1. ඉතා වටිනා විවරණයක්...

    මට නම් කියන්න තියෙන්නෙ තවත් එක් නාඩගමක් මෙසේ නිමා විය කියල තමයි.. හික්ස්

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද? අන්තර්ජාතික දින රේඛාවෙන් අනිත් පැත්තට පනිනකල්ම ෂුවර් නෑ. :-P

      අනික ඊට පස්සෙත්, ඕක උනේ නැති වුනාම ඒ ගැන විග්‍රහ කරන්නත් තියෙනවා නේ.

      Delete
  2. ඔය කියන කතාව හරිම වැදගත්... වෙනකක් නෙවෙයි මේ වැඩේ මීට කලින් කාලවලත් සිද්ධ වෙලා තියෙනවලුනේ.. ඔය දෙවියෝ කෝප වෙලා කියලා බිලි පූජා කරපු කතා එහෙම තියෙන්නේ... ඇත්තටම මේවා කරන්නේ නොවුනොත් කරන්නත් දෙයක් හදාගෙන තමා.... ඒ කියන්නේ එක්කෝ කවුරුහරි වැරැද්දක් කරලා කියලා හරි නැත්තම් අපි මෙහෙම කරපු නිසා බේරුනා කියලා බලවත් වෙන්න හරි බලාගෙන... ඒකයි මේවයේ තියෙන භයානකම දේ.. මොකද මෙයාලා කිව්වොත් අපි හොදට හිටපු නිසා තමයි ලෝකේ බේරුනේ කියලා ඒක විශ්වාස කරන්නත් මිනිස්සු ඉඳියි‌ෙන්....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම අක්කේ එක එකා, එක එක කතා හදාගෙන ඇති.

      මේ ගොඩක් මාධ්‍ය සංදර්ශන තමයි. අද "ප්‍රවෘත්ති" ඇහුවොත්, මේ සති අන්තේ "පත්තර" බැලුවොත් තියේවි ඒ ගැන පොතක් ලියන්න තියරි. අහවලා ලෝකේ ගලවා ගත්තාය, මෙයා ගලවා ගත්තාය, හෙනහුරා නීච වුනාය, උච්ච වුනාය, අරක වුනාය, මේක වුනාය කියලා ලකුණු දාගන්න නම් බුරුතු පිටින් ඉන්නවා නේ. දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපනික තත්ත්වය තියෙන අපේ රටේ තත්ත්වයත් මෙහෙම නම් ඉතින්...... ලෝක විනාසේ වුනානම් එකයි..

      Delete
  3. බොහොම ස්තූතියි.

    මම ටික කලකට කලින් සිංහ පීඩියා එක බලන්න ආවා. දැන් නම් ඉස්සරට වැඩිය වෙනස් වගේ.

    ReplyDelete
  4. එකවර විනාශයක් වීම කෙසේ වෙතත් විනාශය කරා අප ගමන් කරමින් ඉන්න බව තමයි පේන්නේ. පරිසරයේ සමතුලිත බව නැති වුනාම ස්වභාවික විපත් උනත් වැඩි වෙනවා නේ.
    අනාවැකි කතන්දර නම් කාලෙන් කාලෙට එන නිවැරදි පදනමක් නැති කතා විතරයි කියල තමා මට නම් හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම මම එකඟයි මිනිසාගේ නිසා සිදු වන විනාශය පිලිබඳ අදහසට. එතන කිසි වාදයක් නැහැ. ලෝකේ මිනිස්සු තමන් කරන විනාශය තේරුම් නොගත්තොත් ඇති වෙන බලපෑම බොහොම විශාලයි. නමුත් ඒකයි මේ කියාපු ලෝක විනාශයයි කිසි සම්බන්ධයක් නැති දේවල්.

      ඇත්තෙන්ම "ලෝක විනාශයක් එනවා, ඒකයි ස්වාභාවික විපත් වැඩි" කියලා කිව්වාම, මිනිස්සු හිතන්න පුළුවන්, "හරි, අපි මොනවා කලත් ලෝකය අද හෙට විනාශ වෙනාවානේ.. ඉතින් අපි මොනවා කලාම මොකද?" කියලා. බලාගෙන ගියාම ඒකත් ලෝකේ තියෙන පාරිසරික සමතුලිතය විනාශ කරන කට්ටියට නිදහසට කරුණක්.

      Delete
  5. පොස්ට් එක පට්ට...ඒත් මමනම් කියන්නේ තව අවුරුදු මිලියන ගානකට ලෝක විනාශයක් වෙන්නේ නෑ නෑ නෑ නෑමයි

    ReplyDelete
    Replies
    1. තැනක් යූ වේවා!
      අපේ ජීවිත කාලේදී නොවුනොත් ඒ ඇති :-) ඊට එහා ගැන නම් මම දන්නේ නැහැ.

      Delete
  6. මමත් බලං හිටියෙ මොකක් වෙයිද කියල.. සමහරු නම් ඊළඟ ලෝක විනාසෙ වෙනකම් ඇති වෙන්නම හම්බ කර ගත්තා..හික්ස්

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම! ලෝකේ විනාශ කරලා හරි ගානක් කඩා ගන්න තියෙනවා නම්, තව වෙන මොනවද?

      Delete
  7. මේක කොහෙද ඉවර. අන්න අර ප්‍රවීණ ජ්යෝතිශාචාර්ය වරයෙක් ලෝක විනාසෙ කල් දාලනේ 2013ට.. :P

    මිට්යාව කියන දේට මිනිස්සු හරි කැමතියි චාමර මහත්තයෝ.. ඒකම තමයි ඔය තරං ඔය දේවල් ව්යාප්ත වෙන්නත් හේතුව

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ලංකාවේ සියයට 70ක් බෞද්ධයෝ ඉන්නවාලු. ඒ වුනාට ඉන්දියාවෙන් ආපු, බොහෝ දුරට පදනමක් නැති කලාවක් වන ජ්‍යොතිෂ්‍යය පස්සෙන් යන උන් වැඩි දෙනෙක් ඉන්නේ ඔය කියන සියයට 70 ඇතුලේ නේ. ඉතින්, ලංකාව බෞද්ධ රටක් වෙන්නේ කොහොමද? අපේ ඈයෝ දන්නේ නැහැ එයාලා යන්නේ මිත්‍යාවල් පස්සෙන් කියලා. එහෙම අයව අමුතුවෙන් රවට්ටන්න දෙයක් නැහැ. කොහොමත් රැවටිලා ඉන්නේ.

      Delete
    2. ඇත්තටම ඇත්ත.අපි නිකම් නමට බෞද්ධ.ඉන්නේ ඉන්දි‍යාවේ මිත්‍යාව පස්සේ.ඒ වගේ අන්‍යාගමිකයන් අපේ රට අල්ලගන්නවාලු.සංහල ජාතිය අඩු වෙනවලු.මේවා ඇත්ත තමා.ඒත් ඒකට සම්පූර්ණ වැරදිකාරයෝ සිංහල බෞද්ධ අපිමයි.මොකද අපි කිසිවිටෙකත් නිවැරදි බෞද්ධ දර්ශනය අනුගමනය කරන්නේ නැති නිසා හා එය ආරක්ෂා කරගන්නේ නැති නිසා.

      මේ ලෝක විනාශ සිදු වීමේදි ‍ෙජා්තිෂ්‍යකාරයන් කෙරහි මගේ තිබ්බ විශ්වාසය නැත්තටම නැති උනා.හැබැයි නියම ජෝතිෂ්‍ය කෙරෙහි මගේ 75%ක විශ්වාසය තියෙනවා.

      Delete