Wednesday, December 19, 2012

යලි ලියන්නට සිදුවූ කතාව: ජපන් දැනුම මිනුම තරඟයේ ජයග්‍රහණය සහ අපකීර්තිය.


මේ කතාව මම මීට දවස් කීපයකට කලින් ලියාපු එකක්. අවාසනාවකට වගේ ඒ කතාව මම පැය 18ක් ඇතුලත අයින් කරලා දැම්මා. ඊට හේතුව වුනේ එයින් හිත රිදිච්ච එක පුද්ගලයෙක් මට කතා කර දෝෂාරෝපණය කිරීම. එහෙත් ඉන්පසුව මට කීප දෙනෙක්ම දොස් කිව්වා කතාව අයින් කරපු එකට. ඒ නිසා මම මොකද කරන්නේ කියලා හිතලා බලලා තීරණය කළා ආපසු කතාව ලියන්න. දැන් මම මුල ඉඳලා ලියන නිසා යම් යම් වෙනස්වීම් වෙන්නත් පුළුවන්.

අපේ විදේශ ප්‍රතිපත්ති සම්බන්දයෙන් අපි නොහිතන විදියේ භූමිකාවක් රඟ දක්වන්න ඕනෑම කෙනෙකුට පුළුවනි. ඒ අපේ රට ගැන යහපත් චිත්‍රයක් පිටරැටියන් තුල ඇති කිරීමෙන්. විශේෂයෙන්ම පිටරටක අය මුණ ගැහුනහම අපිට එය කරන්න පහසු වෙනවා. රටක තානාපති කෙනෙක් වගේ වැදගත් කෙනෙක් ඉන්නා තැනක නම් අපි කරන සහ නොකරන දෙයින් අපේ රට ගැන පිට රටවලට යම් යම් දේ දැනගැනීමට ලැබෙන හැකියාව වැඩියි. ඒ නිසා අපේ රටට අපකීර්තියක් නොවෙන්න අපි ඒ වෙලාවට කටයුතු කරන්න ඕන.

ජපානය. උපුටා ගැනීම CIA World Factbook ජපානය පහුගිය දශක හය මුළුල්ලේම ලංකාවේ හොඳම මිතුරෙක්.



ජපානය සහ ශ්‍රී ලංකාව අතර තානාපති සම්බන්ධතාවලට වසර 60ක් පිරීම නිමිත්තෙන් ලංකා වාණිජ මණ්ඩලයත් (Ceylon Chamber of Commerce), ශ්‍රී ලංකා-ජපන් ව්‍යාපාරික සහයෝගිතා කමිටුවත් (Sri Lanka-Japan Business Co-operation Committee) එකතු වෙලා ජපානය සම්බන්ධව දැනුම මිනුම තරඟයක් සංවිධානය කරලා තිබුණා. මීට ජපන් තානාපති කාර්යාලයේ සහ අන්තර්ජාතික දැනුම මිනුම සංගමයේ ශ්‍රී ලංකා පර්ෂදයේ (International Quizzing Assocoation-Sri Lanka Chapter) සහයෝගය ලැබී තිබුනා. ප්‍රශ්න සැකසීම සහ ප්‍රශ්න විචාරය කෙරුනේ එම ආයතනයේ රුවන් සේනානායක මහතා අතින්. විනිශ්චය මණ්ඩලය විදියට ඔහුගේ සගයින් පිරිසක් ඇවිත් හිටියා.

2012 දෙසැම්බර් 15 වෙනිදා පවත්වපු මේ තරඟය ලංකාවේ "විශේෂිත" ඒ කියන්නේ යම් විෂයයකට පමණක් සීමා වූ දැනුම මිනුම තරඟවලින් ලොකුම එකක්. නමුත් ලොකුම තරඟය නම් මේක නෙවෙයි. මීට දින තුනකට කලින් තිබුන Global Commerce Quiz එකට කණ්ඩායම් 39ක් සහභාගී වුන බව දැන ගන්න ලැබුනා. මේකට හිටියේ 35යි.

මගේ යාලුවෙක් මුල් වෙලා හදාපු දැනුම මිනුම කණ්ඩායමක් අපිට තියෙනවා. දැන් එහි නායකයා විදියට කටයුතු කරන්නේ මම. ඒ වුනත් අනෙක් හතර දෙනාම මේ ක්ෂේත්‍රයේ මට වැඩි පළපුරුද්ද තියෙන අය. කොහොම වුනත්, අපි සැප්තැම්බර් මාසේ තිබුන විවෘත දැනුම මිනුම තරඟයකින් කණ්ඩායම් 40ක් විතර පරද්දලා ජයග්‍රහණය කළා.

ජපන් දැනුම මිනුම තරඟයට අපි ආවේ තරමක චකිතයක් නැතුව නෙවෙයි. මොකද මේක අපිට සාමාන්‍යයෙන් පුරුදු විදියේ එකක් නොවෙන නිසා. අනික, ජපන් භාෂාව ඉගෙන ගත්තු, ජපන් රටට ගියපු අයත් තරඟයට එන්න පුළුවන් නේ. එයාලාට මේක අපට තරම් අමාරු වෙන්නේ නැහැ නේ. ඔන්න ඔහොම තමයි අපිට හිතුනේ.

ලංකාවට අලුත් දෙයක් වුනාට ඉන්දියාවේ නම් ජපානය ගැන දැනුම මිනුම තරඟ කලක සිට පවත්වනවා. ළිඳේ ඉන්න මැඩියෝ වගේ ජීවත් වෙන අපි ඒ ගැන නොදන්නවා තමයි. මමත් ඒ ගැන දැනගත්තේ මේ තරඟය ගැන දැනගත්තාට පස්සේ ඉන්ටර්නෙට් එකේ හොයලා බලද්දී. ඉන්දියාවේ දැනුම මිනුම තරඟ ක්ෂේත්‍රය එක්ක අපිට ළඟින්වත් යන්න බැරි බව අපි දන්නවා. එත් අපි ඒ සඳහා හැකියාව නැති අය නෙවෙයි. ඒ සඳහා පෙළඹවීමක් ඇති කිරීමට ගුණාත්මක දැනුම මිනුම තරඟ වැඩි වැඩියෙන් පැවැත්වීම වැදගත් වෙනවා.

මේ දැනුම මිනුම තරඟය ලිඛිත තරඟයක්. ඒ කියන්නේ වට පහකට ප්‍රශ්න 50ක් අහනවා, වටයකට දහය ගන්නේ. අපි පස් දෙනා එකතු වෙලා උත්තර ලියනවා. එක එක වටයට වෙනමම උත්තර පත්‍ර තියෙනවා. එතකොට වටයෙන් වටය ලකුණු එකතු කරලා අන්තිමට වැඩිම ලකුණු ගත්තු කණ්ඩායමට ජයග්‍රහණය හිමි වෙනවා.

මේ තරඟයෙන් අපි ජයග්‍රහණය කළා. ඒ අපිත් නොහිතපු විදියට ලකුණු 41ක්ම අරගෙන. නමුත් මට මේ කතාවේදී කියන්න ඕන කරන්නේ ඒ ගැන නෙවෙයි. මේ කතාවට අපි දිනපු එකත් යම් වැදගත්කමකින් යුක්තයි තමයි. නමුත් ඒ අපි කීප දෙනෙක්ගේ ජයග්‍රහණයක් පමණයි. ඒ වුනත් මේ තරඟයට සහභාගී වෙච්ච සමහර කණ්ඩායම් නිසා අපි ඔක්කොටම සිද්ධ වුනේ ලොකු අපහසුතාවක්.

මේ තරඟයට එක්තරා සංගමයකින් කණ්ඩායම් දෙකක් ඇවිත් හිටියා. මම කවුද කියන්නේ නැහැ. එතන හිටපු අය ඒ කවුද කියලා දන්නවා. ඊට අමතරව විශ්ව විද්‍යාලයකින් කණ්ඩායම් තුනක් ඇවිත් හිටියා. (අපේ විශ්වවිද්‍යාලය, ඒ කියන්නේ කොළඹ නම් නෙවෙයි). නමුත් මේ කට්ටිය කවුරුවත් තමන්ගේ කණ්ඩායම් වෙන් කරලා දක්වලා තිබුනේ නැහැ. ඒ කියන්නේ අපි කියමු මොකක් හරි ආයතනයකින් කණ්ඩායම් දෙකක් හෝ වැඩි ගණනක් හෝ එනවා කියලා. එතකොට ඒ කණ්ඩායම් වෙන් කරගන්න විධියක් තියෙන්න එපැයි. නමුත් එහෙම එයාලා වෙන් කරගෙන තිබුනේ නැහැ.

පලවෙනි වටයේ උත්තර පත්‍ර එකතු කරගත්තාට පස්සේ, විනිශ්චයකාරයන්ට ලොකු අවුලක් වුනා. මොකද, එකම නම් තියෙන සංගමයක කණ්ඩායම් දෙකක් තිබුනා. එතකොට එයාලා නිවේදනයක් නිකුත් කළා කරුණාකරලා ඒ කණ්ඩායම් දෙක තම තමන්ව හඳුනාගන්න කියලා. එතකොට තමයි වැඩේ 'වර්චස්' වුනේ. එයින් එක කණ්ඩායමක නායකයා නැගිටලා අනික් ටීම් එකෙන් අහනවා "ඔයාල පලවෙනි ටීම් එකද? දෙවන ටීම් එකද?" කියලා. ඒ මදිවට ඒ සේරම අය බලාගෙන ඉන්දෙදි. අපිට නම් තරහයි. ඒ මදිවට හිනහයි. ටීම් දෙක වෙන් කරගන්න ඕන කියන සාමාන්‍ය බුද්ධිය පවා නැති අයද මේ ඉන්නේ? කියලා අපිට හිතුනා.

අර කැම්පස් සෙට් එකේ තත්ත්වයත් එච්චරයි. ඒ මදිවට එතන කණ්ඩායම් තුනක්. එතකොට ඒ ගැටලුව ලිහා ගන්න ඊටත් වැඩිය වෙලාව ගියා. කොහොමහරි සංවිධායකයෝ ඒ අවුල් ලිහාගෙන ඊළඟ වටයට ගියා.

ඊළඟ වටයේදී තවත් විකාරමය ජවනිකාවක්! දැන් අර සමහර කණ්ඩායම් පරණ නම් වෙනුවට වෙන නම් ලියලා. ඉතින් ඔන්න "සකුරා" වගේ නම් තියෙන කණ්ඩායම් ප්‍රාදුර්භූත වෙලා. ඒ තවත් කණ්ඩායම් සමහරක්, තමන් ලියාපදින්චි වුන නම් වෙනුවට වෙන නම් ලියලා. අලි මදිවට හරක් කියන්න වගේ ඒ අස්සේ තවත් කට්ටියක් ටේබල් නම්බර් එක වරද්දලා. දැන් උත්තර පත්‍ර බලන විනිශ්චය මණ්ඩලය අන්ද මන්ද වෙලා. එයාලට කර කියාගන්න දෙයක් නැහැ. ඒ ගොල්ලෝ අර කණ්ඩායම්වලට කතා කරලා ප්‍රශ්නය නිරාකරණය කරගන්න දැඟලුවා. ඒ උත්සාහය හරි නොගිය තැන, ඒ අය ප්‍රසිද්ධියේම කණ්ඩායම්වල නම් කියවලා, එයාලා ඉන්න තැන් සහ අදාළ ටේබල් නම්බර් ලකුණු කරගෙන, හරියට නම් දාපු නැති අයට නම් දීලා ආයේ වැඩේ පටන් ගත්තා. ඒ වෙනකොට, වට දෙකේම නාස්ති වුන මුලු වෙලාව පැයක් විතර වුනා.

කණ්ඩායම් කීපයක නොසැලකිලිමත්කම නිසා අනික් බොහෝ දෙනාට හරියට කරදර වුනා. අපි ගියේ දිනුවා හෝ පැරදුනා හෝ, හොඳ තරඟයක් දෙන්න. නමුත් මෙහෙම දෙයක් අපේ අවධානය බිඳුනා. දැනුම මිනුම තරඟ කියන්නේ මොලේ වෙහෙසලා කරන්න ඕන දෙයක් (Mind Game එකක්). ඒ සඳහා මනස නිරවුල්ව තිබීම අනිවාර්යයි. නමුත් මෙතෙන්දි ඒක සිද්ධ වුනේ නැහැ. ඒ විතරක් නෙවෙයි, අපට එදා එතනින් යන්නත් ප්‍රමාද වුනා. එදා කොළඹ නයිට් රේස් තිබුන නිසා බස් ටිකක් කරදරයි නේ. කලින් යන්න තිබුනා නම් හොඳයි. ඒ ගොල්ලෝ කරලා තිබුනේ 4ට පටන්ගෙන 8ට ඉවර කරන්න. ජපන් ජාතිකයෝ කොහොමත් පිළිවෙලට සහ වෙලාවට වැඩ කරන අය නිසා වැඩේ වෙලාවට වෙයි කියලා අපි බලාපොරොත්තු වුනා. ඒ වගේම වැඩේ 4ට පටන් ගත්තා. ඒත් ටික දෙනෙක් නිසා වැඩේ පරක්කු වුන හින්දා ඉක්මනට අන්තිම ටික ඉවර කරලා 8.30 පමණ වෙද්දී වැඩේ ඉවර කරගත්තා. ඒ වෙලත් අපිට ගෙදර යන්න බස් නැති නිසා ත්‍රී වීල් වලට වියදම් කරන්න සිද්ධ වුනා.

මේ සේරම කමක් නැහැ මේක අපි අපි අතරේ වෙච්ච දෙයක් විතරක් වුනා නම්. ඒ වුනත් මෙතන ජපන් තානාපති නොබුහිතෝ හෝබෝ මහතා ඇතුළු ජපන් ජාතිකයන් පිරිසක් ඇවිත් හිටියා. අපි දන්නවා ජපන් ජාතිකයෝ පිළිවෙලට ඒ වගේම වෙලාවට වැඩ කරන උදවිය බව. ඒ වගේම එයාලා තරහ ගියත් ඒ බව පෙන්නන්නේ නැති බව අපි අහලා තියෙනවා. ඒ කොහොම වුනත් එයාලා ලංකාවේ අයගේ පිළිවෙල ගැන මේකෙන් හොඳට ඉගෙන ගන්න ඇති. මේකේ බරපතලකම තියෙන්නේ කැම්පස් එකක කණ්ඩායම් වගයකුත් මෙහෙම කටයුතු කරපු එක. එයින් ඒ කැම්පස් එකට නම් හොඳ ප්‍රතිරූපයක් ලැබුනේ නැහැ. මේ මුළු ජවනිකාව අස්සේ එක වතාවක සංවිධායක මණ්ඩලයේ කෙනෙක් තානාපතිතුමාට සිද්ධිය පැහැදිලි කරාම එතුමා ඔලුවේ අත ගහ ගත්තාලු.

මම හිතන්නේ, තමන් රටෙන් තමන්ට වෙන්න ඕන දේ නොව තමන්ගෙන් රටට වෙන්න ඕන දේ ගැන මීට වඩා හිතන්න ඕන. මේක මේ මම මේ තරඟයක් දිනපු උද්දාමයට කියන දෙයක් නෙවෙයි. සමහරු හිතන්න පුළුවන් තරඟයක් දිනලා අපි උඩ ගිහින් කියලා. නමුත් මේ දේවල් බොහොම තාවකාලික බව අපි දන්නවා. මේ තරඟය බොහොම හොඳ මට්ටමක තිබුනා. සාමාන්‍යයෙන්, ප්‍රශ්නවල මට්ටම හොඳ තරඟයක දිනන කණ්ඩායම ලකුණු 50 කින් 35-40 පමණ ගන්නවා. එහෙම බලනකොට මෙහි ප්‍රශ්නවල තත්ත්වය ගැන සෑහීමකට පත් වෙන්න පුළුවනි. දැනුම මිනුම ක්ෂේත්‍රය ගැන නොදන්නා කෙනෙක් කොහොම හිතුවත් ප්‍රශ්නවල සංයුතිය ගැන මට කියන්න තියෙන්නේ ඔන්න ඕකයි. එහෙම තරඟයක් දිනපු එක ගැන අපි සතුටු වෙනවා.

ඒ වුනත් ඊළඟ තරඟය අපි අන්ත පරාජයකින් කෙළවර කරන්න පුළුවන්. ජීවිතේ හැටි එහෙමයි. නමුත් මම හැම දාම කියන දෙයක් තමයි අනුන්ට වදයක් නොවී ඉන්න උත්සාහ කරන්න ඕන බව. අනික් මිනිස්සු ඕන තරම් වැරදි කරයි. එහෙම කියලා අපිත් වැරදි කරන්න ඕන නැහැ නේ. ජීවිතයක සාර්ථකත්වය මනින එක මිම්මක් විදියට මම ඒක දකිනවා.

මේ තරඟය ගැන සෑහීමකට පත් වෙන්න බැරි එකම හේතුව වුනේ සමහර අයගේ නොසැලකිල්ල නිසා අපට වෙච්ච කරදරය තමයි. තමන්ගේ නොසැලකිල්ලෙන් අනික් අයට ප්‍රශ්නයක් වෙනවාද කියන එක ඔවුන් කල්පනා කල යුතුව තිබුනා. ඒ වගේම ඔවුන් පැමිණෙන ආයතනය ගැන අනෙක් අය තුල ඇති වන ප්‍රතිරූපය ගැනත් ඔවුන් කල්පනා කල යුතුව තිබුනා. විශේෂයෙන්ම විදේශිකයන් ඉන්නා තැනක. ජපන් භාෂාව හෝ සංස්කෘතිය හෝ ඉගෙන ගැනීමෙන් පමණක් පලක් නැහැ. ඔවුන්ගෙන් ගත හැකි යහපත් පුරුදු ඉගෙන ගෙන ඒවා ජීවිතයට අදාළ කරගැනීමයි වැදගත්. එහෙම නැත්නම් ජපන් රට ගැන කප්පරක් දැන ගත්තත්, ජපන් ඉගෙන ගෙන උපාධි ගැහුවත්, ඒකෙන් ජපනට වැඩකුත් නැහැ; අපිට වැඩකුත් නැහැ.

(හිතෙන දේ ලියලා යන්න. ඒක මට උදව්වක් වගේම හයියක්.)

15 comments:

  1. පළවෙනියටම දාන කමෙන්ට් එක වෙනනෝනේ..

    මට මතක් උනේ අපේ 11 වසරේ සමාජ අධ්‍යනය ටීචර්.. ජපානේ මතක් කළොත් ෂේප් එකේ පීරියඩ් දෙකක් ඇඳගත්තෑකි.... හි හි

    අපේ අයගේ ඔය නොසැලකිල්ල කියන එක ගැන නම් කොච්චර කතා කරත් මදි කියලා මට හිතෙන්නේ.. ඒත් වැඩේ කියන්‌ෙන් මේ නොසැලකිලිමත් කම අපි වැඩිපුර දකින්නේ නූගතුන්ගේ නෙවෙයි..උගතුන්ගේ... එහෙම නම් අපි කතා කරලා වැඩක් තියෙනවද කියන එක මට තියෙන ප්‍රශ්නයක්....

    සංවිධානයේ දුර්වලතා, කලට වෙලාවට වැඩ නොකිරීම, තමන් කරන දෙයින් අනිත් අයට අපහසුතාවයක් ඇති වෙනවා කියලා හිතන්නේ නැති එක, ආත්මාර්ථයම විතරක් හිතීම.... අපේ මිනිස්සුන්ගේ තියෙන මොන ජාතියේ ජානයක් හින්දද මන්දා....

    වැඩි දෙයක් ඕනේ නෑ... පාරක යන්න ගියාම පේනවනේ....

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට.

      මට ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් ඉතුරු කරලා නෑ නේ. :-)
      11 වසරේ සමාජ අධ්‍යයනය මිස් කෙනෙක් අපිටත් උන්නා නෙව :-) එයා ගැන නම් මම වැඩිය කතා කරන්න කැමති නැහැ. මොකද එයා අකමැතිම ළමයින්ගෙන් කෙනෙක් වෙලා සිටීමේ ගෞරවය මට ලැබුනා නේ...

      මෙතෙන්දි නම් විනිශ්චය මණ්ඩලය හා සංවිධායකයෝ අසරණ වුනා. නැත්නම් වෙලාවට වැඩේ ඉවර වෙනවා.

      Delete
  2. මං මුල් කතාවට කොමෙන්ට් කරා..
    තරඟය දිනුවට සුභ පැතුම්.. අපේ මිනිස්සු ගැන මොනව කියන්නද මංදා :(

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. මට මතකයි. ඔයා තමයි පළවෙනියටම කමෙන්ට් කලේ ඒ කතාවට.
      බොහොම ස්තූතියි!

      මම ඒ සිද්ධිය ගැන මීට වැඩිය මුකුත් කියන්න ඕන නැහැ. ඔය ටිකම ඇති.

      Delete
  3. මම කලින් පෝස්ට් එකටත් කොමෙන්ටුවක් දැම්මා...
    මට නම් මේකෙන් සිද්ද වුනේ පරංගියා කෝට්ටේ ගියා වගේ පාරකින් ගෙදර යන්න

    අර පිස්සු කෙලපු ටීම් දෙකේ කට්ටියට හොඳටම කිවිසුම් යන්න ඇති තරඟය ඉවර උනාට පස්සේ...හි හි

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ එහෙනම් තවම සනීප නැතුව ඇති. :-)

      Delete
  4. අද තමයි මේ පැත්තට ආවෙ.තරඟය දිනුවට සුභ පැතුම් මල්ලි...
    මොනාකරන්නද නොසැලකිල්ල නිසා සිදුවෙන්නෙ කවදාවත් හදාගන්න බැරි වැරදි වැටහීම්...ඒත් කවදාවත් ඒක හදාගන්න කවුරුත් උත්සහ කරන්නෙත් නෑ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි...
      ලෝක විනාසෙට පස්සෙවත් කට්ටිය හැදෙයිද බලමුකෝ.... :-)

      Delete
  5. ජයග්‍රහණයට සුබ පැතුම්..!! ජාත්‍යන්තර වශයෙන් කෙරෙන දෙයකදී වත් විශේෂයෙන් පිළිවෙලකට වැඩක් කරන්න එපැයි. නැත්තන් ඒ අප්‍රසාදය එන්නේ මුළු රටට ම නේ.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි!
      ඒ නිසා තමයි මම මේක ලියුවෙත්. අපිට රටක් විදියට තව කොච්චර දුර යන්න තියෙනවාද කියන එක මේ වගේ දෙයින් පෙනෙනවා, නේද?.

      Delete
  6. කලින් එකට කමෙන්ටුවක් දැමුවෙමි .. :)

    ReplyDelete
  7. පෝස්ට් එක සම්පූර්නෙන් කියවන්න පස්සේ එන්නම්
    දැන් වෙලා නැහැ.සිතියම් පොත් ගැන කියද්දී හරිම දුක්
    බර අතීතයක් මතක් උනා.

    ReplyDelete
  8. jayagranayata suba pathum...

    approval iwath karanne nam loku udawwak...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. Approval දාලා තියෙන්නේ හේතුවක් ඇතුව. මොකද අපි නොදැන කවුරුහරි අනවශ්‍ය දෙයක් දාන එක වලක්වන්න. තවම එහෙම දෙයක් වුනේ නැහැ. නමුත් වෙන්න කලින් පරිස්සම් වෙන්න එපැයි.
      විවේචන නම් දානවා. ඒවා ගැන නෙවෙයි මම කියන්නේ. වෙන වෙන මනස්ගාත ගැන.

      Delete