Tuesday, December 18, 2012

නාලක ගුණවර්ධනගේ "ආතර් සී. ක්ලාක් චින්තන චාරිකා" කෘතිය දොරට වැඩීම.


අද මට බොහොම සතුටුදායක දිනයක්. ඊට හේතුව අද මා බොහොම වැදගත් අවස්ථාවකට සම්බන්ධ වීමටත්, බොහොම සුන්දර වූ මිනිසුන් පිරිසක් හඳුනා ගැනීමත්. මේ ඒ පිලිබඳ ඉතාම කුඩා සටහනක්.

නාලක ගුණවර්ධනගේ "සිවුමංසල කොලුගැටයා" පොත ගැන මම ලියුවා ඔබට මතක ඇති. අද හවස 3 ට නාලක ගුණවර්ධනගේ අලුත්ම කෘතිය, "ආතර් සී. ක්ලාක් චින්තන චාරිකා" නමින් එලි දැක්වුනා. ඒ ජාතික පුස්තකාල ශ්‍රවනාගාරයේදී. ආතර් සී. ක්ලාක් මහතාගේ 95 වන උපන්දිනය මෙම 16 වනදාට යෙදී තිබුනා. මෙම කෘතිය එලි දැක්වුණේ ඒ වෙනුවෙන්. මෙහි ඇත්තේ අවුරුදු 25ක පමණ කාලයක් තුල ලියවුනු ලිපි එකතුවක්. මෙහි සමහර ලිපි මීට පෙර පල නොවූ ඒවා වුනත් අඩකට තරමක් වැඩි ප්‍රමාණයක් කලින් විවිධ තැන්වල පලවූ ඒවා.

ආතර් සී. ක්ලාක් මහතා ඔහුගේ කාර්යාලයේදී (කොළඹ) 2005 මාර්තු 28. Wikimedia Commons



මෙම උත්සවයට සැලකිය යුතු ජනතාවක් සහභාගී වී සිටියා. මෙහිදී විද්‍යා ලේඛක, විජය පරිඝනක සඟරාවේ ආරම්භක කර්තෘ චානුක වත්තේගම මහතා සහ ආචාර්ය රොහාන් සමරජීව මහතා සභාව අමතා කතා කළා. වත්තේගම මහතා ප්‍රකාශ කලේ වසර විස්සකට විසිපහකට පෙර රූපවාහිනිය සහ පුවත්පත් අදට වඩා බෙහෙවින් ගුණාත්මක වූ වැදගත් අන්තර්ගතයන්ගෙන් යුක්ත වූ බවයි. අද වනවිට පුවත්පත්වල වැඩි ඉඩක් වෙන්වන්නේ භූත විද්‍යාව වැනි විද්‍යාත්මක නොවූ දෑ වෙනුවෙන් බව ඔහු පෙන්වා දුන්නා. සමරජීව මහතා ප්‍රකාශ කලේ ආතර් සී. ක්ලාක් මහතා අනාවැකිකරුවකු නොවූ බවයි. අනාවැකිකරුවෙකු යනු පේන කියන්නකු මෙන් අයෙකු බව ඔහු කියා සිටියා. ඔහුගේ අදහස වූයේ, ආතර් ක්ලාක් මහතා සමාජීය බුද්ධිමතෙකු ලෙස සැලකිය යුතු බවයි. මේ දෙදෙනාගේමත් නාලකගේත් අදහස වන්නේ ආතර් සී. ක්ලාක් චරිතය තවමත් මෙරට ජනතාව හරි හැටි තේරුම්ගෙන නැති බවයි.

සමරජීව මහතාගේ කතාව අවසානයේ, ආතර් සී. ක්ලාක් මහතා පිළිබඳව ළඟදී රූපවාහිනී නාලිකාවකින් විකාශය වූ නාලක ගුණවර්ධන විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහනක් තිරගතකොට පෙන්වනු ලැබුනා. ඉන්පසු සභාව අමතමින් නාලක ගුණවර්ධන ප්‍රකාශ කලේ මෙම පොතෙන් ඔහු ආතර් සී. ක්ලාක් මහතා ලාංකිකයන්ට හඳුන්වා දීමට උත්සාහ කල බව. මෙම පොත කියවා එහි සඳහන් පණිවිඩය පතුරවා හරින මෙන් ඔහු ඉල්ලා සිටියා.

මා පොත කියවා අවසන් නැති නිසා (පොත අතට ලැබුනේ අද නේ) දැන්ම නම් එය කරන්නට බැහැ. පොත කියවූ පසු ඒ ගැන යමක් ලියන්නට බලාපොරොත්තු වෙනවා.

5 comments:

  1. කෙනෙක් උපරිම ගෞරව ලබන්න නම් මැරෙන්නම ඕන. හරිම දුකයි

    ReplyDelete
    Replies
    1. මැරුණත් ලැබෙන්නේ නැත්නම්???

      Delete
  2. ආතර් සී ක්ලාක් මහතා වගේ ප්‍රාඥයෙක් අපේ රටේ හිටියට ඒකෙන් නියම ප්‍රතිපලයක් අපිට ගන්න බැරි වුනදා කියලත් මට නම් හිතෙනවා.. පොත් කියවල ලියමුකො තව විස්තර..

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. හොඳයි... ඉස්සරහට තව ලියන්නම්කො!

      Delete
  3. ආතර් සී. ක්ලාක් සහ ශ‍්‍රී ලංකාව: නිවැරදි තොරතුරු මෙන්න!
    http://wp.me/p3zUD-2lA

    ReplyDelete