Wednesday, December 12, 2012

අද 12. 12. 12. ඉතින් මොකෝ?


අද 12. 12. 12. ඒ කියන්නේ අපේ ජීවිත කාලේ අපි බොහෝ දෙනෙක් දකින දිනය, මාසය සහ අවුරුද්ද එකම ඉලක්කම්වලින් ලියන්න පුළුවන් අන්තිම වතාව. ආයේ මෙහෙම දවසක් එන්නේ (ලෝක විනාශය වුනේ නැත්නම්) 2101. 01. 01. වෙනිදා. ඒ වෙනකොට ලෝක විනාශය වුනත් නැතත්, අපි බොහෝ දෙනෙක් මේ ලෝකේ ජීවතුන් අතර ඉන්න එකක් නෑ.

අද ආපහු නො එන දවසක් නිසා විවිධ මිනිස්සු විවිධ දේවල් කරනවා. සමහරු බය වෙලා ඉන්නවා භයානක දෙයක් වෙයි කියලා. එහෙම භයානක දේවල් වෙන්නේ අද වගේ දවස්වලට විතරද කියලා තමයි මට අහන්න වෙන්නේ. අපේ ජීවිත කාලේ දැකපු ලොකුම ස්වභාවික විනාශය තමයි 2004 දෙසැම්බර් සුනාමිය. ඒක උනේ ඔහොම දවසක නෙවෙයි. 2011 ජපානයට සුනාමිය ආවේ ඔහොම දවසක නෙවෙයි. ඇත්තටම අපි දන්නා ඉතිහාසයේ කවදාවත් 12.12.12 වෙච්ච දවසක භයානක විනාශයක් වෙලා නැහැ. ඉතින් මොකටද ඒ ගැන වද වෙන්නේ?

අනික් කාරණය, ඇත්තටම 12. 12. 12 කියන්නේ කවදද? කවුද එහෙම දවසක් හදාගෙන තියෙන්නේ? අද 12. 12. 12 වෙන්නේ අපි පාවිච්චි කරන ග්‍රිගොරියානු දින දර්ශනයට අනුව. මේ දින දර්ශනය හඳුන්වා දුන්නේ 1582 අවුරුද්දේ XIII වන ග්‍රෙගරි පාප්තුමා විසින්. ඒ වෙනකොට යුරෝපයේ පාවිච්චි වුන ජුලියස් සීසර් විසින් හඳුන්වා දී තිබුන ජුලියානු දින දර්ශනයේ තිබුන අවුරුද්දකට තත්ත්පර 11ක දෝෂය නිවැරදි කරන්න තමයි මේ වෙනස හඳුන්වා දුන්නේ. මේ කාලේ වෙනකොට දවස් එකොළහක දෝෂයක් වෙලා තිබුනා. ඒ නිසා අලුත් දින දර්ශනය මුලින්ම පාවිච්චි කරන්න පටන් ගත්තු රටවල් (ස්පාඤ්ඤය, පෘතුගාලය, පෝලන්ත-ලිතුවේනියානු පොදු රාජ්‍ය මණ්ඩලය සහ ඉතාලියේ බොහෝ ප්‍රදේශ) 1582 ඔක්තෝම්බර් 4 වෙනිදාට පස්සේ කෙලින්ම ඔක්තෝම්බර් 15 වෙනිදාට පැන්නා.

Portrait of Pope Gregory XIII (Drawn by Lavinia Fontana), ලැවීනියා ෆොන්ටානා විසින් අඳින ලද XIII වන ග්‍රෙගරි පාප්වහන්සේගේ ආලේඛය, Wikimedia Commons.



නමුත් පාප් වහන්සේට ආගමික කටයුතු ගැන මිසක සිවිල් කටයුතු ගැන බලයක් තිබුනේ නැහැ. එහෙම තිබුනේ ඔහු යටතේ පාලනය වෙච්ච පාප්වහන්සේගේ රාජ්‍යයන්වල පමණයි. ඒ නිසා අනෙක් රටවල් මේ දින දර්ශනය භාවිතා කිරීමට තීරණය කිරීම එකවරම වුනේ නෑ. ප්‍රංශය දෙසැම්බරයේදී මේ දින දර්ශනය භාවිතා කරන්න ගත්තා. අනෙක් රටවල් මෙය භාවිතා කරන්න පටන් ගත්තේ ඊටත් පස්සේ.

එතකොට අද අපි පාවිච්චි කරන දින දර්ශනය කතෝලික පල්ලියෙන් නිර්මාණය වෙච්ච එකක්. ඒ කාලේ ප්‍රොතෙස්තන්ත්‍ර රටවල් පවා මේ දින දර්ශනය එකවර පිළිගත්තේ නැහැ. නමුත් ඒ කාලේ ලෝකේ ප්‍රබලම රටවල් කිහිපය කතෝලික රටවල් වෙච්ච නිසා මේ දින දර්ශනය ලෝකේ බොහෝ රටවලට පැතිරුනා. ඒ නිසා අනික් රටවල්වලටත් මේ දින දර්ශනය පාවිච්චි කරන්න සිදු වුනා. එනමුත් අදටත් බොහෝ රටවල් වෙනත් දින දර්ශන පාවිච්චි කරනවා.

ජුලියානු කැලැන්ඩරය අදටත් ඔර්තඩොක්ස් ක්‍රිස්තියානි රටවල (ග්‍රීසිය, රුසියාව වගේ) භාවිතා වෙනවා. ඒ අනුව ඔවුන් සාමන්‍ය කටයුතුවලට ග්‍රිගොරියානු දින දර්ශනය පාවිච්චි කලාට ආගමික දින සමරන්නේ ජුලියානු දින දර්ශනය හැටියට. සවුදි අරාබියාව, ඉතියෝපියාව, ඉරානය, ඇෆ්ඝනිස්තානය වගේ ඇතැම් රටවල් තමන්ටම ආවේනික දින දර්ශන භාවිතා කරනවා. ඒ වගේම, තවත් බොහෝ රටවල දින දර්ශන දෙකක් හෝ ඊට වැඩි ගණනක් පාවිච්චි වෙනවා. ථේරවාදී බෞද්ධ ජනතාව බෞද්ධ දින දර්ශනය (බුද්ධ වර්ෂ ක්‍රමය) පාවිච්චි කරනවා. හින්දූන්ට වෙනම දින දර්ශන තියෙනවා. ජපානයේ ග්‍රිගොරියානු දින දර්ශනය එක්ක සාම්ප්‍රදායික දින දර්ශන දෙකක් පාවිච්චි වෙනවා. චීන ජාතිකයන්ටත් වෙනමම දින දර්ශනයක් තියෙනවා.

ග්‍රිගොරියානු කැලැන්ඩර් භාවිතා කරන රටවල පවා ඇතැම් විට වෙනස්කම් ඇති වෙනවා. 2011 දෙසැම්බර් 30 කියලා දවසක් සැමෝවා රාජ්‍යයටත් ටොකෙලාවු කියන කුඩා දූපත් සමූහයටත් තිබුනේ නෑ. ඔවුන් අන්තර්ජාතික දින රේඛාවෙන් හිටපු පැත්තෙන් අනිත් පැත්තට පැන්නා. ඒ තනිකරම ආර්ථික හේතු මත.

අද අපි පාවිච්චි කරන දින දර්ශනය යේසුස් වහන්සේගේ උපත අනුව නේ හදාගෙන තියෙන්නේ. නමුත් උන් වහන්සේ උපන්නේ ක්‍රිස්තු වර්ෂ 1 ජනවාරි 1 නෙවෙයි නේ. එතනත් නොගැලපීමක් තියෙනවා. යේසුස් වහන්සේ ඉපදිලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1 ට වසර කීපයකට පෙර බව පිළිගැනෙනවා. උන්වහන්සේ ඉපදුනේ දෙසැම්බර් 25 කියලා පවා පිළිගන්න සාධක නැහැ. ක්‍රිස්තු වර්ෂ ක්‍රමයත්, දෙසැම්බර් 25 නත්තලත් කියන දෙකම පසු කාලීනව හදා ගත්තු දේවල්. (මෙතනින් කියවන්න සමහර ක්‍රිස්තියානුවන් නත්තල සමරන්නේ නැත්තේ ඇයි? බ්ලොග් පෝස්ට් එක).

අන්තිමට කියන්න තියෙන්නේ, 12.12.12 කියන්නේ අපිම හදා ගත්තු දෙයක්. නැතුව බය වෙන්න දෙයක් නෙවෙයි. අපිම දිනයක් හදාගෙන අපිම එකට භය වෙනවා. එහෙම නැත්නම් ආයේ එහෙම එකක් එන්නේ නෑ කියලා සංගීත සංදර්ශන, සාද පවත්වනවා. FB status දානවා. අය්යෝ, අපි වගේ මැටි මෝල්ලු සෙට් එකක්!

14 comments:

  1. මරු පෝස්ට් එක...

    මම අද උදේ වැඩට එද්දි ගුවන් විදුලියෙන් අහන්න ලැබුනා අද දවල් 12.12 ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් මුද්දර 16ක් නිකුත් කරනවා කියලා..

    ReplyDelete
    Replies
    1. එයාලගේ රස්සාව ඒකනේ... හරියටම දවල් 12.12.12 ට කරන්න කියන්න ඕන.... තත්පරයක් හරි පරක්කු වුනොත් ඒකත් අවුල් නේ. කාගේ ඔරලෝසුවෙන්ද දන්නේ නෑ වෙලාව බලන්නේ. අපේ සමහරුන්ගේ නම් ඔරලෝසුවල හැටියට 12 කියන්නේ හවස 1 නැත්නම් 2...

      Delete
  2. 12-12-12 තමයි මේ පැත්තේ ආවේ මරු පොස්ට් එක
    ……මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලොක්කා.
      මම ඔයාගේ මල්ලී (ලිට්ල් ජෝන්) නම් අද TV එකේ දැක්කා... :-)
      මේ පැත්තේ එන්න 12.12.12 වෙන්නම ඕන නෑ. කවදත් හොඳයි... :-)
      ආයෙත් වෙලාවක ඇවිත් බලන්න..

      Delete
  3. ඇත්තටම දින දර්ශනය වගේම ඔරලෝසුව කියන්නේත් මිනිසාගේ පහසුව වෙනුවෙන් තනාගත්තු නිර්නායක මනින්න යොදාගන්නා උපකරණ දෙකක් විතරයිනේ. කාලය මනින්න පටන් ගත්තා නම් ඒක කරන්න තිබුණේ ලෝකය පටන් ගන්න කොටමයි. අන්න එතකොට ඔය සංඛ්‍යාමය පිහිටීම් ටක්කෙටම හරි කියලා කියන්න පුළුවන්...
    කොහොම වුණත් දන්නා දේවල් වල මතකය අළුත් කරගන්නත් --නොදන්න දෙවල් දැනගන්නත් ඔබේ පෝස්ටුව නියමයි. ජයවේවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි! ඔයාගේ කතාව 100%ක් හරි. ලෝකේ පටන් ගත්තු තැනට යන්න ඕන හරියටම මේ ලෝකේ වෙලාව දැන ගන්න. එතනින් ඉවර වෙනවා නම් බැරිය? විශ්වයේ ආරම්භයට යන්න ඕන. එතනින් ඉවර වෙන්නෙත් නැහැ. ඊට කලින් මොකක්ද තිබුනේ?? විශ්වයේ ආරම්භය ගැන අපි හරියට දන්නෙත් නෑ නේ. කියන්නේ මහා පිපිරුමකින් පටන් ගත්තා කියලා..... අනේ මන්ද..

      Delete
  4. ඕවා අපේ අයගේ විකාර වැඩ. ඔය වගේ බලනවා නම් තව ඔය විදිහට ඉලක්කම් හරඹ කරන්න පුළුවන් දින කීයක් තියෙයිද. කාලයක් තිබුනේ සහශ්‍රය උදා වෙනවා කියල එකකුත්.. :)

    කැලැන්ඩරයේ අතීත විස්තරයට ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. එල... තැනක් යූ වේවා!!! :-)
      සහශ්‍රය කියන එකට නියම වචනේ සහශ්‍රකය නේද? 2000 අවුරුද්ද උදා වෙද්දී සහශ්‍රකය සැමරීම තියෙන දින දර්ශනයත් තේරුම් නොගනීමක්. අලුත් සහශ්‍රකය පටන් ගත්තේ 2001. 01. 01....
      ඒ කාලේ නම් වෙනෙසුවෙලාවේ විශාල විනාශයක් වුනා. අධික වර්ෂාව නිසා ගංවතුර සහ නාය යාම් ති වුනා. ඒ දෙසැම්බර් මාසේ. දහස් ගණනක් මැරුණා. ඒ වුනත් ලෝකේ අනිත් රටවල මිනිස්සු පාටි දැම්මා.. වෙනේසුවෙලාවෙත් පොහොසත් මිනිස්සු සමහරෙක් පාටි දාන්න ඇති. ඒ විනාශයෙන් වැඩිපුර බැට කෑවේ දුප්පත් මිනිස්සු මිසක පොහොසත් අය නෙවෙයි.

      Delete
    2. ඔව් "සහශ්‍රකය" තමයි. ඒක හරි. 2000 ගෙවුනාට පස්සේ නේ අලුත් සහශ්‍රකය ආරම්භ වෙන්නේ.
      හුඟක් වෙලාවට ව්‍යසන වලින් බැට කන්නේ සාමාන්‍ය ජනතාව. අපේ රටේ උනත් ගංවතුර වගේ ආපදා වලදී ඒකත් පොහොසත් අයගෙන් ඇතැමෙකුට විනෝදයක් නෙව.

      Delete
    3. අරුමෙකි සෝබා සංසාරේ!!!

      Delete
  5. වටිනා ලිපියක් ,
    12.12.12 ඉලක්කම් ටිකනම් ලස්සනයි ..ආයේ ඉතින් කාලාන්තරයකට ඔහොම නම්බරයක් එන්නේ නැහැනේ ..ලෝක විනාසේ වෙනවා කියන්නේ 21 නේද ?
    ස්තුති මගේ බ්ලොග් පොස්ට් එකක ලින්ක් එකක් දැම්මට චාමර ..

    ReplyDelete
    Replies
    1. ඔව්. 21 කියලා තමයි කියන්නේ. නමුත් සමහරු 12.12.12 ගැනත් එහෙම කියව කියව හිටියා. මිනිස්සුන්ගේ හිතේ පොඩි චකිතයක් තිබ්බා. බලන්නකෝ මේ කතාව.. :-)
      http://www.yasith.net/2012/12/addin-story-and-my-one-year-blog-life.html

      12.12.12. ටත් වැඩිය ලස්සනයි 11.11.11.11.11.11. (අවුරුදු, මාස, දින, පැය, විනාඩි, තත්පර) මගේ යාලුවෙක් තමයි එක මට පෙන්නුවේ. ඔය ඉලක්කමෙන් විතරයි එහෙම එකක් බලා ගන්න පුළුවන්. එත් ඔය ඔක්කොම අපිම හදාගත්තු පොඩි පොඩි සිඟිති ආතල් නේ... අනික තප්පරෙන් 0.11, ඒකෙනුත් 0.11, ඒකෙනුත් 0.11.... හිතුවොත් ඉවරයක් නෑ :-)

      මේ පැත්තේ ආවට තෑන්ක් යූ වේවා!!!

      Delete
    2. හි හී.. මේ ඇඩ්ඩිංගෙ කතාව නේ :P

      Delete
  6. ඉතිං 12.12.12 විතරක් නෙවෙයි අනිත් කිසිම දවසකුත් ආපහු එන්නෙ නෑනේ.. අනික වර්තමාන කැලැන්ඩරේ 12.12 වෙන කැලැන්ඩර වලට අනුව වෙනස්නේ (බුද්ධ වර්ෂ) ඉතිං කොහොමද හරියටම කියන්නෙ අද දිනේ මේකමයි කියල.. හිහී..

    ReplyDelete