Tuesday, December 11, 2012

සැප්තැම්බර් 11 වනදා ජාතික දිනය වන්නේ මොන රටේද?



සැප්තැම්බර් 11 වනදා අප අතර වඩාත්ම ප්‍රසිද්ධ වී ඇත්තේ 2001 වසරේ ඇමරිකා එක්සත් ජනපදයට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙන්. නූතන ලෝක ඉතිහාසයේ තවත් වැදගත් සිදුවීම් කීපයක් සැප්තැම්බර් 11 වෙනිදා සිදු වී තියෙනවා. සැප්තැම්බර් 11 ජාතික දිනයක් වන රටක් තියෙනවාද කියන කරුණ හොයන්නට හිතුනේ මෑතකදී වූ සිද්ධීන් කීපයක් නිසා. නමුත් එහෙම රටක් නම් නැති බව දැනගන්නට ලැබුනා.

ජාතික දිනය සැප්තැම්බර් 11 සමරන රටවල් පිලිබඳ හොයන්නට හේතු වූයේ ස්පාඤ්ඤයේ කැටලෝනියා ප්‍රාන්තයේ පසුගිය මාස කිහිපය තුල සිදු වූ විපර්යාසයන් හේතුවෙන්. කැටලෝනියාව වෙනමම රාජ්‍යයක් බවට පත් වියයුතුය යන අදහස මේ වනවිට වෙනදාට වඩා ප්‍රබලව නැගෙමින් පවතිනවා. යම් විධියකින් හෝ කැටලෝනියා ප්‍රාන්තය එසේ ස්වෛරී රාජ්‍යයක් බවට පත්වුනොත් එරට ජාතික දිනය සැප්තැම්බර් 11 වනු ඇති.

The senyera, a flag of Catalonia, and also used by several lands and municipalities of the ancient Crown of Aragon, සෙන්යෙරා නමින් හඳුන්වන කැටලෝනියානු ධජය. පැරණි අරගොන් රාජධානියට අයත්ව තිබූ වෙනත් ප්‍රදේශ සමහරකද භාවිතා වේ. Martorell, Wikimedia Commons



ස්පාඤ්ඤයේ ස්වතන්ත්‍ර පාලන ප්‍රදේශයක් වන කැටලෝනියාවේ විශාලත්වය වර්ග කිලෝමීටර 32,114ක් වන අතර ජනගහනය මිලියන 7.5ක්. එය ස්පාඤ්ඤ ජනගහනයෙන් සියයට 16ක් වෙනවා. මෙයින් මිලියන 1.6ක් ජීවත් වන්නේ කැටලෝනියාවේ විශාලතම නගරය වන සුප්‍රසිද්ධ බාර්සිලෝනාවේ. මෙම ප්‍රාන්තයේ මිලියන 6ක පමණ ජනතාවක් කැටලෝනියානු භාෂාව කතා කරනවා. මීට අමතරව වැලෙන්සියාව, බැලියරික් දූපත් ආදී ස්පාඤ්ඤ ප්‍රදේශවලද, කැටලෝනියාවට යාබද ප්‍රංශ ප්‍රදේශවලද එම භාෂාව කතා කෙරෙන අතර කුඩා රාජ්‍යයක් වන ඇන්ඩෝරා රාජ්‍යයේ භාෂාව කැටලෝනියානු වනවා.

කැටලෝනියා ජාතික දිනය ලෙස සැප්තැම්බර් 11 සැලකීම ආරම්භ වුනේ 1980 දී. මීට ශතවර්ෂ තුනකට පෙර, 1714 සැප්තැම්බර් 11 වනදා, ස්පාඤ්ඤ සිහසුන පිලිබඳ යුද්ධයේදී, බුර්බන් හමුදා ප්‍රහාර හමුවේ බාර්සිලෝනා නගරය බිඳ වැටීම සිහි කිරීමට, එදින කැටලෝනියානු ජාතික දිනය ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුනා.

කැටලෝනියා ප්‍රාන්තයේ මේ වනවිට "කැටලෝනියා ජාතිකවාදය" වනදාටත් වඩා ඉස්මතු වෙමින් පවතිනවා. පසුගිය ශතවර්ෂය මුළුල්ලේ එම තත්ත්වය දක්නට ලැබුනා. 1930 දශකයේ එම ප්‍රදේශයට ස්වයං පාලන අයිතීන් ලැබුන නමුත් ස්පාඤ්ඤ සිවිල් යුද්ධය අවසන් වී ජෙනරාල් ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රැන්කෝ බලයට පැමිණීමත් සමඟ ඒ අයිතීන් අහෝසිකොට කැටලෝනියානු ජාතිකවාදීන් මර්ධනය කෙරුනා. නැවත කටලොනියාවට ස්වයං පාලන අයිතීන් ලැබුනේ 1978 වසරේදී ස්පාඤ්ඤයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වීම සමඟයි. කෙසේ වුනත් අදටත් කැටලෝනියානු ජාතිකවාදය ප්‍රබල සංකල්පයක්. විවිධ ජනමත විමසුම් විවිධ ප්‍රතිඵල පෙන්නුම් කලත්, ප්‍රාන්තයේ සමස්ත ජනගහනයෙන් අඩක් පමණ කැටලෝනියානු ජාතිකවාදයට සහය පල කරන බව පෙනෙන්න තියෙනවා. මෙයින් ඇතැමුන් වඩා වැඩි ස්වයං පාලනයක් ඉල්ලා සිටින අතර අනෙක් ජාතිකවාදීන් පූර්ණ නිදහස බලාපොරොත්තු වෙනවා.

Map of Spain with Catalonia highlighted. කැටලෝනියා ප්‍රාන්තයේ පිහිටීම දක්වන ස්පාඤ්ඤ සිතියම, Mutxamel, Wikimedia Commons



භාෂාවෙහි ඇති වෙනස්කම හේතුවෙන් ස්පාඤ්ඤයෙන් තම ප්‍රදේශය වෙනස් බව විශ්වාස කල කැටලෝනියානු ජාතිකවාදී මතය බොහෝ කලක් මුළුල්ලේ පැවතෙන්නක් වුනත් එයට මෑතකදී වැඩි ජනප්‍රියතාවක් ලැබී තිබෙනවා. මීට මූලික හේතුව වන්නේ ආර්ථික අවපාතයයි. යුරෝපයට බලපෑ ආර්ථික අවපාතයෙන් දරුණු ලෙස බැට කෑ රටවල් අතරට ස්පාඤ්ඤයත් ඇතුලත් වෙනවා. මෙය කටලොනියාවටත් බලපා තිබෙනවා. කැටලෝනියානු ජාතිකවාදීන් පවසන්නේ මීට වගකිව යුත්තේ ස්පාඤ්ඤ මධ්‍යම රජය බවයි. සමස්ථ ස්පාඤ්ඤය සමඟ සැසඳූ විට කැටලෝනියා ප්‍රාන්තය සාපේක්ෂව පොහොසත් ප්‍රදේශයක්. මධ්‍යම රජයට ලැබෙන බදු ආදායමෙන් සියයට 20ක් ලැබෙන්නේ මුළු ජනගහනයෙන් සියයට 16ක් වසන කැටලෝනියා ප්‍රදේශයෙන්. නමුත් මධ්‍යම රජය කැටලෝනියාව වෙනුවෙන් වියදම් කරන්නේ මුළු වියදමෙන් සියයට 14ක් පමණයි.

මේ තත්ත්වය යටතේ තමයි 2012 සැප්තැම්බර් 11 වනදා කැටලෝනියා වැසියන් මිලියන 1.5ක් සිය ජාතික දිනය සැමරීමට බාර්සිලෝනාවට එකතු වුනේ. ඒ වඩා වැඩි ස්වයං පාලන අයිතිය හෝ පූර්ණ නිදහස හෝ ඉල්ලා සිටීමටයි. කැටලෝනියානු ජනගහනයෙන් පහෙන් එකක් එසේත් නැත්නම් බාර්සිලෝනා නගරයේ ජනගහනයට ආසන්න ජනකායක් මෙසේ ජාතිකවාදී රැලියකට එක් වීම තුලින් කැටලෝනියාව යන්නේ කොයිබටද කියන කරුණ පැහැදිලියි.

කැටලෝනියා ප්‍රාන්තයේ ජනාධිපති ආතර් මාස්, මූල්‍ය කටයුතුවලදී හෝ කැටලෝනියා ප්‍රදේශයට වැඩි නිදහසක් දෙන ලෙස මධ්‍යම රජයෙන් ඉල්ලා සිටියා. නමුත් එය අසාර්ථක වූ තැන ඔහු සැප්තැම්බර් 25 වනදා කැටලෝනියා ව්‍යවස්ථාදායකය විසිරුවා හැර නව ඡන්ද විමසීමක් කැඳෙව්වා. මෙයින් ඔහු බලාපොරොත්තු වුනේ ජාතිකවාදී රැල්ල මත නැග, තම පක්ෂයට ජයග්‍රහණය අත් කරදීම. නමුත් සිදු වූයේ අනෙකක්. ආතර් මාස් බලාපොරොත්තු වූ පරිදිම වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබුනේ ජාතිකවාදීන්ට. ඒත් ඔහුගේ Convergence and Unity (CiU) පක්ෂයට බහුතර ආසන සංඛ්‍යාවක් හිමි වුනේ නැහැ. ඊට වඩා දැඩි ජාතිකවාදී කණ්ඩායම්වලට සැලකියයුතු ආසන ප්‍රමාණයක් ලැබුනා. ආතර් මාස්ගේ පක්ෂය ආසන 50ක් දිනාගනිද්දී, කැටලෝනියා සමූහාන්ඩුවාදී වාමාංශික පක්ෂය (ERC) ආසන 21ක් දිනා ගත්තා. මීට පෙර මාස්ගේ පක්ෂය ආසන 62ක් හිමි කරගෙන සිටියදී ERC පක්ෂය සතුව පැවතියේ ආසන 10ක් පමණයි. මේ අතර මුළු ආසන 135න් 87ක්, එනම් ආසන්න වශයෙන් 2/3ක් දිනා ගත්තේ (මාස්ගේ පක්ෂය සහ ERC පක්ෂයද ඇතුලත්ව) කැටලෝනියා ස්වාධීනත්වය පිලිබඳ ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව සඳහන් කරන පක්ෂ හතරක් අතරෙයි.

කෙසේ වුනත් කැටලෝනියාව ස්වාධීන රාජ්‍යයක් බවට පත් වීම ස්පාඤ්ඤ මධ්‍යම රජයේ අනුමැතියකින් තොරව සිදු විය නොහැකියි. ඒ වගේම දැන් පවතින ආර්ථික අවපාතය පහව ගියාට පස්සේ කැටලෝනියානු ස්වාධීනතාවයට දැන් තරම් සහයක් ලැබෙයිද කියන එකත් සැක සහිතයි. බොහෝ විට මේ ජාතිකවාදී රැල්ල, දේශපාලන ලෝකයේ තවත් එක රැල්ලක් පමණක් වීමට ඉඩ තියෙනවා.

6 comments:

  1. අන්න මට අලුත් තොරතුරක්... එහෙ ඔහොම එකක් තියනවා කියලා මම දැනගෙන හිටියෙ නෑ...

    උන් අපේ රටවල වගේ තුවක්කු අතට නොගන්නෙ ඇයි ?

    ReplyDelete
    Replies
    1. හොඳ ප්‍රශ්නයක්. යුරෝපයේ බෙදුම්වාදය පවතින ප්‍රදේශ ගණනාවක් තියෙනවා. නමුත් එයින් කීපයක විතරයි ආයුධ සන්නද්ධ කණ්ඩායම් ඒ වෙනුවෙන් සටන් කරන්නේ. ඒවගේ කණ්ඩායම්වලත් බලපෑම ගොඩක් අඩුයි. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන් පැවතීම, සන්නද්ධ අරගලයකට සුදුසු පසුබිමක් නැති වීම, සන්නද්ධ අරගලයකට ජනතා සහය නොලැබීම වගේ දේවල් මීට හේතු වෙන්න පුලුවනි.
      ඇත්තෙන්ම බටහිර යුරෝපය ගත්තොත් කැටලෝනියා ප්‍රාන්තය සහ බාස්ක් ජාතීන් ජීවත් වෙන ප්‍රදේශ ඇරුනම අනෙක් ප්‍රදේශවල බෙදුම්වාදී ව්‍යාපාර එච්චර ලොකු ජනප්‍රියත්වයක් පෙන්නුම් කරන්නේ නෑ.

      Delete
  2. "කැටලෝනියා" ඇහුවෙත් අද. ප්‍රමාණයෙන් අපේ රටෙන් භාගයක් වගේ ප්‍රදේශයක් නේද..

    ReplyDelete
    Replies
    1. ඔවු. ජනගහනය නම් භාගයක් නැහැ. රටෙන්ම පොහොසත් ප්‍රදේශවලින් එකක්. බාර්සිලෝනාව වැදගත් ආර්ථික මධ්‍යස්ථානයක් වගේම කාර්මික ප්‍රදේශයක්. 1992 ඔලිම්පික් උළෙල තිබුනෙත් එහෙනේ.

      Delete
  3. මේකත් වර්ධනය වෙලා යයිද දන්නේ නෑ අරාබි වසන්තය වගේ කැටලොනියා වසන්තය කියලවත්.බ්‍රිතාන්‍යයට අයිති ස්කොට්ලන්තයත් මං හිතන්නේ බ්‍රිතාන්‍යයෙන් වෙන්වෙන්න තීරණය කලා.වෙන් උනාද දන්නේ නෑ නේද? මට ඒ ගැන වැඩිය හොයන්න බැරි උනා.

    ReplyDelete
    Replies
    1. කැටලෝනියාව නම් පූර්ණ නිදහස ඉල්ලන එකක් නැති වෙයි. මේක ගොඩක් බරපතල වුනේ ආර්ථික අමාරුකම් තියෙන කාලවල. 1930 දශකය සහ වර්තමාන කාලය. ඒ නිසා ආර්ථිකය හොඳ අතට හැරෙද්දී තත්ත්වය ටිකක් සමහන් වෙයි.

      ස්කොට්ලන්තය නම් තවම නිදහස් වුනේ නැහැ. ඇත්තෙන්ම මට පොස්ට් එකේ ඒ රට සඳහන් කරන්න බැරි වුනා. එහෙ ස්කොටිෂ් ජාතික පක්ෂය (Scottish National Party-SNP) සහ තවත් කුඩා පක්ෂ කිහිපයක් නිදහස ඉල්ලා සිටිනවා. එයාලා 2014 ජනමත විචාරණයක් පවත්වන්න අදහසක් තියෙනවා. ඒ අවුරුද්දේ ස්කොට්ලන්තය විසින් එංගලන්තය පරාද කරපු සුප්‍රසිද්ධ බැනොක්බර්න් සටනේ (Battle of Bannockburn) 700 වෙනි සංවත්සරය. SNP එක බලාපොරොත්තු වෙනවා ඒ කාලේ සංවත්සරයත් එක්ක ජාතික හැඟීම් වර්ධනය වෙලා ජනමත විචාරණය එයාලට දිනන්න පුළුවන් වෙයි කියලා.

      Delete