Monday, October 8, 2012

චාවේස් නැවතත්!


වෙනිසියුලාවේ ඊයේ පැවති ජනාධිපතිවරණයෙන් එරට ජනාධිපති හියුගෝ චාවේස් ජයග්‍රහණය කළේය. මේ අනුව ඔහු තවත් වසර හයක කාලයක් සඳහා ජනාධිපති ලෙස පත් වනු ඇත.

වික්ටර් සොආරෙස්, "හියුගෝ චාවේස් (2003 බ්‍රසීලයේ පෝර්ටෝ අලග්‍රේ හිදී)", Hugo Chávez in Porto Alegre, Brazil. Jan/26/2003, Victor Soares, AgenciaBrasil. Wikimedia Commons



හියුගෝ චාවේස් වෙනිසියුලාවේ දේශපාලන කරලියට කඩා වැදුනේ 1992 පෙබරවාරි 4 වනදා දියත් කල අසාර්ථක හමුදා කුමන්ත්‍රණයකිනි. ඉන් වසර 6 කට පසු 1998 දී පැවති ජනාධිපතිවරණයෙන් ඔහු විශිෂ්ට ජයක් ලැබූ අතර පසුව 2000 සහ 2006 වසරවලදී ද පැවති ජනාධිපතිවරණ ජය ගත්තේය. චාවේස් තමාගේ වීරයා ලෙස සලකන්නේ ලතින් ඇමරිකානු නිදහස් සටනේ ප්‍රධාන නියමුවෙකු වූ සයිමන් බොලිවාර්ය. මෙවර ජනාධිපතිවරණය ජයගත් පසුද ඔහු ප්‍රකාශ කලේ "21 වන සියවසෙහි ප්‍රජාතාන්ත්‍රික සහ බොලිවාරියානු සමාජවාදී මාවත ඔස්සේ වෙනිසියුලාව දිගටම ගමන් කරනු ඇත" කියාය.

මෙවර ජනාධිපතිවරණය චාවේස් මුහුණ දුන් අසීරුම ජනාධිපතිවරණයය. වයස අවුරුදු පනස් අටක් වන ජනාධිපතිවරයාගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූයේ තවමත් හතලිස්වන වියෙහි පසු වන සාපේක්ෂව තරුණ පුද්ගලයෙකි. චාවේස් ජනාධිපතිවරණයෙදී 54.66% චන්ද ප්‍රතිශතයක් ලැබූ අතර ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ හෙන්රිකේ කප්‍රිලෙස් ලැබූ ඡන්ද ප්‍රමාණය 44.73% විය. මැතිවරණය කෙරෙහි විශාල උද්‍යෝගයක් පැවති බව මුළු ඡන්දදායකයන්ගෙන් 81% ක් ඡන්දය භාවිතා කිරීමෙන් පැහැදිලි වේ. 2006 ජනාධිපතිවරනයේදී 63% කට ආසන්න ප්‍රතිශතයක් ඡන්ද ලැබූ චාවේස් ජනප්‍රියත්වයෙන් මදක් පසු බා ඇති බවක් පෙනේ. වඩා යහපත් ජනපතිවරයෙකු වීමට තමා උත්සාහ කරන බවට ඔහු ජනතාවට පොරොන්දු වූයේ එබැවින් විය හැක. නමුත් මීට මාස කිහිපයකට පෙර පිළිකා රෝගය හේතුවෙන් ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වූ චාවේස් මේ ලැබූ ජයග්‍රහණය අගය කල යුතුය.

හියුගෝ චාවේස්ගේ ප්‍රධානතම ආධාරකරුවන් වන්නේ වෙනිසියුලාවේ දුප්පත් ජනතාවය. චාවේස් බලයට පැමිණීමෙන් පසු ඔවුනගේ ජීවන තත්ත්වයෙහි වෙනස්කම් රැසක් සිදු විය. නමුත් තවත් කල යුතු දේ බොහොමයක් ඇති බව පැහැදිලිය. ජනතාවගේ අවශ්‍යතාවලට වඩාත් ඵලදායී සහ කාර්යක්ෂමව ප්‍රතිචාර දැක්වීමට චාවේස් පොරොන්දු වූයේය. තමාට විරුද්ධව වෙනදාට වඩා විශාල ඡන්ද ප්‍රමාණයක් ලැබුන බව පිළිගනිමින් හෙතෙම තමාට විරුද්ධව ඡන්දය භාවිතා කල ඡන්දදායකයින්ටද ස්තූති කළේය.

චාවේස් මෙවර මුහුණ දුන්නේ සුළුපටු අභියෝගයකට නොවේ. ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ හෙන්රිකේ කප්‍රිලෙස් සමඟ පක්ෂ තිහක් පමණ එකතු වී සිටියේය. මැතිවරණයෙන් පසු සිය ආධාරකරුවන් ඇමතූ කප්‍රිලෙස් කියා සිටියේ, රටෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් තමාගේ ප්‍රතිපත්තිවලට එරෙහි බව ජනාධිපති චාවේස් අවබෝධ කරගනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවය. එසේ බෙදුණු රට එකතු කිරීමට නම් ජනාධිපතිවරයා සියලු වෙනිසියුලා වැසියන් වෙනුවෙන් කටයුතු කල යුතු බවද ඔහු කියා සිටියේය.

හියුගෝ චාවේස්ගේ මීළඟ ධූර කාලය 2013 ජනවාරි 10 වනදා ඇරඹීමට නියමිතය.

3 comments:

  1. කට්ටියම කිව්වේ චාවේස් පරදියි කියලා.ඒත් මං හිතුවා අනිවාර්යයෙන් දිනනවා කියලා.මං චාවේස් ගැන ලිපියක් ලිවවා අනිත් බ්ලොග් එකේ.චාවේස් වාමාංශික පාලනයක් ගෙන ගියත් ඔහුගේ රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය ටිකක් දුර්වලයි නේද?

    කොහොම උනත් චාවේස් බලයට පත්වීම වොෂින්ටනයට නම් මහා කරුමයක්.ඔහු මූලිකත්වයක් ගත්තා ලතින් ඇමෙරිකාව තුල ඇමෙරිකන් විරෝධයක් ගොඩනගන්න කස්ත්‍රොත් එක්ක එකතුවෙලා.

    ReplyDelete
    Replies
    1. චන්දෙ පරදිනකල් චාවේස් ගැන මුකුත් ලිව්වේ නැත්තේ මටත් බය තිබුනා එයා පරදියි කියලා. දැන් ඉතින් ඒ බයත් නෑ :-)

      මූල්‍ය ප්‍රතිපත්ති නම් දුර්වලයි තමයි. එක තමයි චාවේස්ට නරකට හිටින්නේ. එයා කරපු සමහර දේවල් බොහොම අලුත්. ඒ වගේම ලතින් ඇමරිකාවේ දැන් තියෙන ඇමරිකානු විරෝධී රැල්ලටත් කෙලින්ම වග කිව යුත්තෙක් තමයි ඔහු. එත් චාවේස් පරාද වුනා නම් ඔහු ගොඩ නගපු ඇතැම් දේ නැති වෙන්න තිබුනා. ඒ ගැනත් මම වෙලාවක ලියන්න ඉන්නේ... පස්සේ.

      Delete