කෙසේ වුවද අද අපේ වෑයම ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර සටන පිලිබඳ සාකච්ඡා කිරීම නොවන්නේය. ඒ සඳහා අන් ලිපියකින් අවස්ථාව උදා කරගැනීමට බලාපොරොත්තු වෙන අතර අද අප අවධානය යොමු කරන්නේ ජනපති සටනට සම්බන්ධව සිටින අනෙකුත් අපේක්ෂකයන් කිහිප දෙනෙකු පිලිබඳය. (ඇමරිකාවේ ජනාධිපතිවරණ පිලිබඳ මීට පෙර ලියූ ලිපිය මෙතනින් බලන්න.) ඇමරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන තුන්වන අපේක්ෂකයන් මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් වන්නේ ඡන්දය ඉල්ලීමේ බලය (Ballot Access) ලබා ගැනීමයි. ඇමරිකානු ජනපතිවරණය එක් එක් ප්‍රාන්තවල පවත්වන්නේ ඒ ඒ ප්‍රාන්තවල නීති අනුව, ඒ ඒ ප්‍රාන්ත විසිනි. ප්‍රාන්තයක් තුල යම් අපේක්ෂකයෙකු ඡන්ද සටනට එන්නට නම් ඒ ප්‍රාන්තය තුල ඡන්දය ඉල්ලීමේ බලය ලබාගත යුතුය. ඒ ඒ ප්‍රාන්තවල මේ සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා වෙනස් වේ. මේ නිසා බොහෝ විට තෙවන පක්ෂවල අපේක්ෂකයනට සෑම ප්‍රාන්තයකින්ම ඡන්ද සටනට ඉදිරිපත් වීමේ අවස්ථාව නොලැබේ.
එක්සත් ජනපද ජනපතිවරණය ජය ගැනීමට නම් අපේක්ෂකයකු ඡන්ද විද්‍යාලයේ ඡන්ද 270 ක් ලබාගත යුතුවේ. ඒ අනුව තමා ඡන්දය ඉල්ලන ප්‍රාන්තවලින් ඡන්ද විද්‍යාලයට නියෝජිතයන් 270 ක් හෝ ඊට වැඩියෙන් හෝ යවන්නේ නම් එම අපේක්ෂකයාට ජනාධිපති තරඟය දිනීමේ සෛද්ධාන්තික ඉඩක් ඇත. (නමුත් ප්‍රායෝගිකව ජාතික මට්ටමේ ඡන්ද විමසීමකදී ප්‍රධාන පක්ෂ දෙක පරාජය කිරීමට හැකි පක්ෂයක් ඇමරිකාවේ නොපවතී). අප අද සලකා බලන අපේක්ෂකයන් සිව් දෙනා මෙවර ඡන්ද සටනේදී එලෙස ඡන්ද විද්‍යාලයට නියෝජිතයන් 270 ට වැඩියෙන් යැවීමට හැකි අයයි.
මේ අපේක්ෂකයන් සිව් දෙනාත්, ඔවුන් සමඟ තරඟ කරන උප ජනාධිපති අපේක්ෂකයන් සිව් දෙනාත් පහත පරිදි වෙති.
1. ගැරී ජොන්සන් (ලිබර්ටේරියන් පක්ෂය-Libertarian Party), උප ජනපති අපේක්ෂක: ජිම් ග්‍රේ
2. ජිල් ස්ටයින් (හරිත පක්ෂය-Green Party), උප ජනපති අපේක්ෂිකා: චෙරී හොන්කාලා
3. වර්ජිල් ගුඩ් (ව්‍යවස්තාවාදී පක්ෂය-Constitution Party), උප ජනපති අපේක්ෂක: ජිම් ක්ලයිමර්
4. රොකී ඇන්ඩර්සන් (සාධාරනත්ව පක්ෂය-Justice Party), උප ජනපති අපේක්ෂක: ලුවී ජේ. රොඩ්රිගුවේස්
Johnson Announcement, 12.28.11, Gary Johnson, flickr ජනපතිවරණයට තමා ඉදිරිපත් වන බව ගැරී ජොන්සන් ප්‍රකාශයට පත් කරයි, දෙසැම්බර් 28, 2011. ඡායාරූප අයිතිය ගැරී ජොන්සන්.
මධ්‍ය දක්ෂිනාංශික ලිබරල්වාදී ලිබර්ටේරියන් පක්ෂය ඇමරිකාවේ තෙවන විශාලතම පක්ෂය වෙයි. එයින් ජනපති සටනට ඉදිරිපත්ව සිටින ගැරී ජොන්සන් 1994 නව මෙක්සිකෝ ප්‍රාන්තයේ ආණ්ඩුකාර තරඟයෙන් ජයගෙන 1995 ජනවාරි 1 වනදා එම ධූරයේ වැඩ භාර ගත්තේය. 1998 දී යලිත් ආණ්ඩුකාර තරඟයෙන් ජයගෙන 2003 ජනවාරි 1 වනදා තෙක් එහි කටයුතු කළේය. 59 වන වියෙහි පසුවන ජොන්සන් වෘත්තියෙන් ඉදිකිරීම් ව්‍යාපාරිකයෙකි. 2011 වනතෙක් ඔහු රිපබ්ලිකන් පාක්ෂිකයෙකු විය. මෙවර ජනපතිවරණයේදී ප්‍රාන්ත 48 ක ඡන්ද පත්‍රිකාවල ඔහුගේ නම ඇතුලත් වනු ඇත. ඊට අමතරව මිචිගන් ප්‍රාන්තයේද නම ලියා ඡන්දය දීමේ හැකියාව (එනම්, ඡන්ද පත්‍රිකාවේ නම නැති වුවද, ඡන්ද දායකයෙකුට අවශ්‍ය නම් අපේක්ෂකයාගේ නම ලියා ඡන්දය ලබා දීමේ හැකියාව) ඔහුට ඇත. මේ අනුව ජොන්සන්ට ඡන්දය ලැබීමට සුදුසුකම් නැති එකම ප්‍රාන්තය ඔක්ලහෝමා ප්‍රාන්තයයි.
හරිත පක්ෂ ජනාධිපති අපේක්ෂිකා ජිල් ස්ටයින්, ඡායාරූපය http://www.jillstein.org/downloads
මැසචුසෙට්ස් ප්‍රාන්තයේ වසන යුදෙව් ජාතික කාන්තාවක වන ජිල් ස්ටයින් වෘත්තියෙන් වෛද්‍යවරියකි. හරිත පක්ෂය නියෝජනය කරන ඇය 2002 සහ 2010 වසරවල මැසචුසෙට්ස් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය සඳහා තරඟ කළාය. හරිත පක්ෂය දැනට වඩා ජනප්‍රියව පැවති 2002 වසරේදී ඈ ඡන්ද 76,530 ක් (3.49%) ලබා ගත අතර 2010 දී ඈ ලද ඡන්ද සංඛ්‍යාව 32,895 ක් (1.43%) පමණි. 2002 එම මැතිවරණය ජයගත්තේ වත්මන් රිපබ්ලිකන් ජනපතිධූරාපේක්ෂක මිට් රොම්නිය.
ව්‍යවස්ථාවාදී පක්ෂයේ වර්ජිල් ගුඩ් ප්‍රධාන අපේක්ෂකයින් සය දෙනා අතුරින් වැඩිපුරම කොන්සර්වේටිව් හෙවත් පැරණි දේ අගයන පුද්ගලයාය. එහෙයින් දේශපාලනයේදී අනෙක් පස් දෙනාටම වඩා දක්ෂිනාංශික මතවාදයක් ඔහු දරන්නේ යයි කිව හැක. එමෙන්ම ඔහු කිහිප විටෙකදීම පක්ෂ මාරු කල අයෙකි. ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකු ලෙස 1996 දී කොන්ග්‍රස් මණ්ඩලයේ නියෝජිත මන්ත්‍රණ සභාව සඳහා වර්ජිනියාවේ 5 වන දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ ඔහු එම මැතිවරණය ජය ගෙන 1997 ජනවාරියේ සිට 2009 ජනවාරිය තෙක් එම මන්ත්‍රණ සභාව නියෝජනය කළේය. මේ අතර 2000 වසරේ ඩිමොක්‍රටික් පක්ෂයට ආයුබෝවන් කී හෙතෙම දෙවසරක් ස්වාධීන මන්ත්‍රීවරයෙකුව කටයුතු කොට 2002 දී රිපබ්ලිකන් පක්ෂයට එකතු විය. 2008 මැතිවරණයේදී ඔහු ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයාට පරාජය වූයේ ඡන්ද 727කිනි. 2010 දී ඔහු රිපබ්ලිකන් පක්ෂයද අතැර ව්‍යවස්ථාවාදී පක්ෂයට එකතු වූයේය.
යුටා ප්‍රාන්තයේ සෝල්ට් ලේක් සිටි හි නගරාධිපති වශයෙන් 2000-2008 සමයේ කටයුතු කල රොකී ඇන්ඩර්සන් 2011 දී එතෙක් තමන් නියෝජනය කල ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉවත්ව සාධාරනත්ව පක්ෂය බිහි කිරීමට මූලික විය. මෙම පක්ෂයේ මූලික අරමුණ ආර්ථික ප්‍රතිසංස්කරණ තුලින් සමාජ සාධාරණත්වය වෙනුවෙන් කටයුතු කිරීමයි. තවද මෙම පක්ෂය පරිසර හිතකාමී පක්ෂයක් ලෙස ද ප්‍රචලිතය. රොකී ඇන්ඩර්සන් සෝල්ට් ලේක් සිටි පුරපති ලෙස කටයුතු කරන සමයෙහි ඔහු සැලකුනේ ඇමරිකාවේ පරිසර හිතකාමීම පුරපතිවරයා ලෙසය. ඉතා කෙටි කලක් තුල ප්‍රාන්ත 16 ක ඡන්ද ලැයිස්තුවට ඇන්ඩර්සන්ගේ නම ඇතුලත් කරගත හැකිවීමත්, තවත් ප්‍රාන්ත 14 ක ලියා ඡන්දය පල කිරීමේ හැකියාව ලබා ගැනීමත් නව පක්ෂයක් ලෙස සාධාරනත්ව පක්ෂය ලද වැදගත් ජයග්‍රහණයකි.
මෙම අපේක්ෂකයින්ට අමතරව තවත් කුඩා පක්ෂවලින් සහ ස්වාධීනව අපේක්ෂකයන් ගණනාවක් ඡන්ද සටනට ඉදිරිපත් වී සිටිති. නමුත් මේ කිසිදු අපේක්ෂකයෙකුට මැතිවරණය ජයග්‍රහණය කිරීමේ හැකියාවක් නැත. කෙසේ වුවද, වර්ජිනියා ප්‍රාන්තයේ ඡන්ද සටන ඉතාමත් තියුණු වීම හේතුවෙන් වර්ජිල් ගුඩ්ගේ ඉදිරිපත් වීම මිට් රොම්නිට අවාසිදායක වනු ඇති බවට මතයක් පලවී ඇත. ඊට හේතුව වර්ජිල් ගුඩ් විසින් රොම්නිගේ ඡන්දවලින් සුළු හෝ කොටසක් කැඩීමට ඉඩ ඇති බැවිනි. මෙය තියුණු තරඟයක් නැති ප්‍රාන්තයකදී ප්‍රශ්නයක් නොවුවද, කරට කර සටනක් පවතින අවස්ථාවක, කරට කර සටනක් පවතින ප්‍රාන්තයක ඡන්ද සටන කෙරෙහි බලපෑ හැකි සාධකයකි.
ReplyDeleteවෙනදා නම් ලංකාවෙ ඉන්නකොට පත්තර සාගරේ කිමිදිලා මම තනියම මේ දේවල් හොයගන්නවා. ඒත් දන් වැඩත් එක්ක ළිං මැඬියෙක් වෙන්න ගියපු වකාට ඒකෙන් ගැලවෙන්න මේ ලිපි උදව් වුණා.
පොඩි වුණාට වකාත් දේශපාලන විද්‍යාවට පණ ඇරලා නේ ඉන්නේ..;)
ජයවේවා සහෝ...මම ගොඩාක් දේවල් ඉගෙනගත්තා
බොහොම ස්තූතියි වකා... මොන වැඩේ තිබුනත් ළිං මැඩියෝ වෙන්න නම් හොඳ නෑ. මොකෝ ළිං මැඩියන්ට පුළුවන් බක බක ගගා ඉන්න විතරයි නේ.
Deleteයමක් ඉගෙන ගත්තා නම් මටත් සතුටුයි. දේශපාලන විද්‍යාවට අපිත් කැමතියි. එත් දේශපාලනයට නම් නෙවෙයි... :-)
ඔව් අනිවාර්යයෙන්ම...දේශපාලනයට නම් නෙවෙයි, දේශපාලන විද්‍යාවට :)
Deleteමම නමි ඇමරිකාවෙ ඔහොම දෙයක් තියෙන්නෙ කියලා දැනගත්තෙ අදමයි...
ReplyDeleteනමුත් ඒ රටවල් වල ජන්දය තියෙන අයුරු අපුරුයි ...එහෙම වාද විවාද අපේ රටෙත් තිබිබ නමි ජන්දෙට කලින් අනිවාර්යෙන්ම 3 වෙනි අපේක්ෂකයෙක් තමයි දිනන්නේ....
හැබැයි ඇමරිකාවෙ නරක පැත්තක් තියෙනවා..
ඔය විධායක බලේට ඇමරිකාවෙ අධිකරණ පවා බයයි මම අහල තියෙන විදියට...
ඇමරිකාවේ ජනාධිපතිගේ විධායක බලය ගැන නම් මෙහෙම දෙයකුත් තියෙනවා. ඇත්තෙන්ම ගත්තොත් විධායක බලය ප්‍රබලයි තමයි. ඒ වුනාට ප්‍රායෝගිකව, රට ඇතුලේ යමක් කරන්න විධායක බලය තිබුන පලියට ජනාධිපතිට බෑ. කොන්ග්‍රස් මණ්ඩලයේ ඉහල සහ පහල මණ්ඩල දෙකේ කැමැත්ත නැතුව ගොඩක් දේ කරන්න බෑ. විශේෂයෙන් අභ්‍යන්තර කටයුතු... ඒ වගේම රටේ අභ්‍යන්තර කටයුතු ගොඩක් ඒ ඒ ප්‍රාන්තවල වගකීම් විදියට නේ තියෙන්නේ. එතකොට ප්‍රායෝගිකව ගත්තම ජනාධිපතිට තමන් කැමති දෙයක් වුනත් ක්‍රියාත්මක කරගන්න ප්‍රාන්තවල කැමැත්ත ඕන වෙනවා.
Deleteසමාවෙන්න එන්න පරක්කු උනාට.මම බ්ලොග් එක තාවකාලිකව නවත්වනවා.
ReplyDeleteලිපිය එල.මං වැඩිය දන්නේම නෑ අමෙරිකන් ඉතිහාසය.මරු.
ලගදී තියෙන ජනාධිපතිවරණයෙන් මම හිතන්නේ ඔබාමා දිනයි කියලා.ඒත් හරියටම කියන්න බෑ ඔබ කිව්වා වගේ.රොමේනි සහා ඔබාමා එකම වල්ලේ පොල්.කිසිලෙසකිනවත් වෙනස් නොවන දේශපාලිනික මතවාද ඔවුන් දරමින් ඉන්නේ.අමෙරිකානු ජනතාව අසරණ වෙලා.මේ දෙන්නාගෙන් මොකා තේරුවත් වෙන්නේ ඇමෙරිකන් ආදිපත්‍යය තවරදුරටත් ව්‍යාප්ත වීමට අවශ්‍ය ගැටුම් නිර්මාණය වීම හා නැගී එන කම්කරු පංති විනාශ කිරීමට සැලැස්වීම.අවසාන විවාදයෙන් ඒ බව හොදට පේනවා.හරියට නිකම් දෙන්නා කලින් එකතු වෙලා සැලසුම් කරගත් විවාදයක් වගේ.
කතාව නම් ඇත්ත. කොහොම වුනත් ඇමරිකන් සිස්ටම් එක ලොකු වෙනසක් වෙන්නේ නෑ. එක අතකට ඇමරිකාව අදහන්න වටින රටක්. එකම අවුල ටිකක් ඕනාවට වැඩි එක තමයි.
Deleteමොකෝ ලියන එක නවත්තන්නේ???
ඔව් උන්ගේ ප්‍රතිපත්ති උන් රකිනවා.රට වෙනුවෙන් එකට ඉන්නවා.අපේ එහෙම යැ.
ReplyDeleteමේ දවස් වල වැඩ වැඩියි.පොඩි ව්‍යාපාරයක් පටන්ගත්තා,පාඩම් කරන්නත් ඕනි.
හොඳයි හොඳයි..
Deleteහැබැයි මම මේ විස්තර දැනගත්තේ දැන්. පොඩි අපේක්ෂකයෝ ගැන. කවුරු දිනුවත් ලෝක සාමය වෙනුවෙන් වැඩ කරන හොඳම කෙනා වෙන්න ඕනේ..
ReplyDeleteඑහෙම නම් ඉතින් බරක් ඔබාමට නොබෙල් සාම ත්‍යාගය ලැබුනේ... එයා තමයි මිනිහා එහෙමනම් :-)
Deleteඡන්ද විද්‍යාලය කියන එක හොඳ යෙදුමක් නෙවෙඉ කියල මං හිතන්නේ චාමර. Electoral College කියන එක කොට්ටාශය වගේ එකක් නේද? ඉතා හොද ලිපියක්. ජිල් ස්ට්යින් දැක්කම මට එක පාරටම මතක් උනේ 24 TV Series එකේ ඇලිසන් ටේලර් ජනාධිපති තුමිය.
ReplyDeleteහ්ම්ම්. ඒක කොට්ටාශය කියන එක නම් නෙවෙයි. මොකද ප්‍රාන්තයක් නැත්නම් ජනපදයක් දින්නහම ඒ අපේක්ෂකයාට ඔක්කොම නියෝජිතයෝ ලැබෙන ක්‍රමයක් නේ ඒක. ඇමරිකාවේ ඡන්ද කොට්ටාශ ක්‍රමයකුත් තියෙනවා. නියෝජිත මන්ත්‍රී මණ්ඩලය, ප්‍රාන්ත සෙනට් සභා සහ ප්‍රාන්ත නියෝජිත මන්ත්‍රී මණ්ඩල එහෙම තෝරා ගනිද්දී කොට්ටාශ ක්‍රමයට ඡන්ද පවත්වනවා.
Deleteහැබැයි ඡන්ද විද්‍යාලය කියනවාට වැඩිය හොඳ වචනයක් තියෙන්න පුළුවන්.
ජිල් ස්ටයින් නෝනා ඔව්වා දන්නවා නම්. :-)