Friday, October 12, 2012

ඇමරිකාව සොයා ගත්තේ කවුද?


කොලොම්බස් ඇමරිකාවට පැමිණීම. සත්‍ය වශයෙන්ම ඔහු ආවේ ඇමරිකාවටද?Wikimedia Commons

ඇමරිකාව 'සොයාගත්තේ' ක්‍රිස්ටෝපර් කොලොම්බස් විසින් 1492 ඔක්තෝම්බර් 12 වනදා යයි පැවසුන නමුත් එය සහමුලින්ම වැරදි ප්‍රකාශයකි. කොලොම්බස් 1492 ඔක්තෝම්බර් 12 දින ගොඩබැස්සේ බහමාස් දූපත් සමූහයේ වන කුඩා දූපතකටය. සත්‍ය වශයෙන්ම, ඔහු කිසිදු දිනෙක වර්තමාන මහද්වීපික ඇමරිකා එක්සත් ජනපදයට (Continental United States) තබා උතුරු ඇමරිකාවටවත් පා තැබුවේ නැත. පුනරුද සමයෙහි ඇමරිකාවට පා තැබූ පළමු දේශ ගවේශකයා වූයේ පොන්ස් ඩි ලියොන් ය. ඔහු 1513 වසරේදී ෆ්ලොරීඩා ප්‍රදේශයට ගොඩ බැස්සේය. පුනරුද සමයෙහි උතුරු ඇමරිකාවට පැමිණි පළමු යුරෝපීයයා වූ ඉතාලි ජාතික ජුවාන් චබොටෝ හෙවත් ජෝන් කැබට් 1497 දී අද "අලුතින් සොයාගත් භූමිය" යන අරුතින් නිව් ෆවුන්ඩ්ලන්තය (New Foundland) නමින් හඳුන්වන ප්‍රදේශයට ගොඩ බැස්සේය. ඒ ඉංග්‍රීසි රජතුමා වෙනුවෙනි. එපමණක් නොව ඇමරිකා මහද්වීපයට ඒ නම දමන ලද්දේද තවත් දේශ ගවේෂකයකු වූ අමරිගෝ වෙස්පුචිගේ නම ඇසුරින් යයි කියවේ.

අමරිගෝ වෙස්පුචි (1454-1512), Wikimedia Commons

නමුත් උතුරු ඇමරිකාවට පළමුවෙන් ගොඩබට බටහිර යුරෝපීයයා ජෝන් කැබට් නොවීය. එරික් තෝර්වාල්ඩ්සන් හෙවත් රතු එරික්ගේ (Erik the Red) පුත්‍රයා වූ ලෙයිෆ් එරික්සන් ව්‍යවහාර වර්ෂ 1000 දී උතුරු ඇමරිකාවට පැමිණි බව සැලකේ. උතුරු ඇමරිකාවේ වයිකිංවරුන් ගොඩබට ප්‍රදේශ වින්ලන්තය නමින් හැඳින්වුනු අතර අද වනවිට උතුරු ඇමරිකාවේ (ග්‍රීන්ලන්තය හැරුණු විට) සොයාගෙන ඇති එකම වයිකිං ගම්මානය ඇත්තේ නිව් ෆවුන්ඩ්ලන්ත දූපතෙහිය.

නමුත් ඇමරිකාව 'සොයා ගැනීම' පිලිබඳ ගෞරවය ලැබිය යුත්තේ එම මහාද්වීපයේ ආදී වාසීන් වෙතය. ඔවුන් මීට වසර දහස් ගණනකට පෙර සිට බීරින්ජියාව (බීරිං සමුද්‍ර සන්ධිය සහ අවට ප්‍රදේශය. එකල මෙය ගොඩබිමින් වැසී තිබිණ) ඔස්සේ ආසියාවේ සිට පැමිණියේ යයි සැලකේ. මෙසේ සිදුවූ අවසන් සංක්‍රමණය මීට වසර 12,000 කට පමණ පෙර සිදු වන්නට ඇතැයි සැලකේ. යුරෝපීයයන්ගේ ආගමනයෙන් පසු ඔවුනට සිය වාසස්ථාන බොහොමයක් අහිමි විය. ඔවුන්ගේ ඉතිහාසය අකා මකා දැමිණ. උදාහරණයක් ලෙස ගතහොත්, කොලොම්බස්ගේ තවත් වරදක් නිසා, එනම් තමා පැමිණියේ ඉන්දියාවට යයි සිතූ නිසා, අදත් බොහෝ විට ඇමරිකාවේ ස්වදේශිකයින් "රතු ඉන්දියානුවන්" ලෙස හැඳින්වේ. අදටද, ස්වදේශික "ඉන්දියානුවන්ගෙන්" පැවතෙන්නන් බොහෝ උතුරු සහ දකුණු ඇමරිකානු රටවල වෙසෙති. එහෙත් ඒ බොහෝ රටවල ඔවුනගේ තත්ත්වය අයහපත්ය. ඔවුන් සිටින්නේ සමාජයේ පහලතම ස්ථරවලය.

එක්සත් ජනපදය ආදී ඇතැම් රටවල ඔක්තෝම්බර් 12 කොලොම්බස් අනුස්මරණ දිනය ලෙස සමරනු ලබයි. ස්පාඤ්ඤය ඔක්තෝම්බර් 12 සිය ජාතික දිනය ලෙස සමරන අතර අනෙකුත් ඇතැම් ලතින් ඇමරිකානු රටවලද එදින නිවාඩු දිනයක් වෙයි. තවද, 'ඇමරිකාව සොයාගත්' කොලොම්බස්ගේ චිත්‍ර සහ ප්‍රතිමා රැසක් ඉදි වී ඇත. නගර, ප්‍රාන්ත පමණක් නොව අභ්‍යාවකාශ ෂටලයක් සහ ඇස්ටරොයිඩයක් ද කොලොම්බස් නමින් නම් වී ඇත. ඔහුගේ නමින් රටක්ද නම් කරනු ලබා ඇත. එනම් කොලොම්බියාවයි. කෙසේ වුවද, කොලොම්බස් කිසිදු දිනෙක වර්තමාන කොලොම්බියාවට අයත් භූමි ප්‍රදේශයට ද පැමිණ නැත.

21 comments:

  1. මට තිබුණු ගැටළුවක් තමයි රතු ඉන්දියන් කියන නම හැදුනේ කොහොමද කියන එක. ඔන්න ඒකත් දැන ගත්තා.

    ReplyDelete
    Replies
    1. නොදන්නා යමක් දැන ගන්න ලැබුනා නම් එකයි මගේ සතුට...

      Delete
  2. ඉස්තරම්. මේක මම දිගටම කියවනවා. දිගටම ලියන්න. ලැබෙන ප්‍රතිචාර ගණන ගැන සිතන්න එපා. මම මෙහෙම කියන්නේ ඔබ සයිබරයේ විශාල හිඩසක් පුරවමින් සිටින නිසයි. ජයවේවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි... ලියන එක මගේ විනෝදාංශය... ඒකෙන් කාට හෝ යහපතක් වෙනවා නම් ඒ විනෝදාංශය වටින එකක් නේ... සයිබරයේ විශාල හිඩැසක් මම කරන දෙයින් පිරවෙනවා කියලා ඔබ හිතනවා නම් මටත් ඒ ගැන සතුටුයි. ලැබෙන ප්‍රතිචාර ගණන ගැන මම වැඩිය හිතන්නේ නෑ. මොකද මම මේක කරන්නේ විනෝදාංශයක් විදියට නිසා.

      කොහොම වුනත් බොහොම ස්තූතියි. දිගටම ඉන්න. අපිට තව ගොඩක් දේ කරන්න පුළුවනි!

      Delete
  3. එල එල.ආ.. මේ ගැන පොතක් තිබ්බා.මං ගන්න කියලා හිතාගෙන ඊයේ ගියා.ඒක ඉවර වෙලා මං යද්දි.ෂික්.. ඔයාට පුළුවන් නම් තව විස්තර ටිකක් දාන්න ඇමෙරිකාව මෙතනට ආපු හැටි ගැන.ජය වේවා!

    ReplyDelete
    Replies
    1. තැනක් යූ! :-)
      මටත් ඔහොම වැඩ වෙලා තියෙනවා. ගණන් ගන්න එපා. ඇමරිකාව ගැන ලියන්නත් ඕන. ඒ වගේම තව කොච්චර දේ තියේද ලියන්න... කෙළවරක් නෑ.හෙමින් හෙමින් ලියමු. ඔයා චාවේස් ගැන ලියනවා නේ? මම මේ දවස්වල හිතන් ඉන්නේ සහමුලින්ම වෙනස් දෙයක් ගැන ලියන්න. ඒ අතරේ තමයි මේක ලිව්වේ, අද ඔක්තෝම්බර් 12 නිසා...

      Delete
    2. ආ.. හොදයි මං එයා ගැන ලියන්නම්.හැබැයි මගේ බලාපොරොත්තුවත් ඉෂ්ට වෙන්න ඕනා..(පුළුවන් නම් මගේ fb එකට frnd rqust එකක් එවන්නකෝ.මාව බ්ලොග් කරලා.)

      Delete
    3. මොකක්ද බොලේ ඒ බලාපොරොත්තුව? :-D

      Delete
  4. ඔය තියෙන්නෙ නියමෙට,, උපරිමයි ලිපිය. තව කස්ටිය ගැන ලියන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි... තව ටික දොහකින් එනවා....

      Delete
  5. උපරිමයි ලිපිය. තව කස්ටිය ගැන ලියන්න.

    ReplyDelete
  6. නියමයි. කොළම්බස් ඇමරිකාව හොයාගත්තා කියලා යන කතාව හින්දා ඇමරිගෝ වෙස්පුෂිට ලැබෙන්න ඕනෙ ගෞරවය නැතිවෙලා තිබුණෙ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. ඔයාගේ කතාව ඇත්ත. ඒ වුනත් එයාගේ නමින් මහාද්වීප දෙකක්ම නම් කරලා තියෙනවා නේ. ගොඩක් අය ඒක නොදැනීමයි වරද.

      Delete
  7. කොළඹ හොයාගෙන තියෙන්නෙත් කොළම්බස් ද?
    :)

    ReplyDelete
    Replies
    1. කොළඹට නම දැම්මේ කොලොම්බස්ට ගෞරවයක් විදියට කියලා මතයකුත් තියෙනවා. නමුත් ඒක එච්චර පිලි ගැනෙන මතයක් නෙවෙයි. මොකද මෙහෙට ආවේ පෘතුගීසි නේ. එයාලා ස්පාඤ්ඤයවෙනුවෙන් දේශ ගවේෂණය කල කෙනෙක්ගේ නමින් නගරයක් නම් කරා කියලා හිතන්න අමාරුයි.

      Delete
  8. මීට අමතරව චීනුන් ඇමරිකාවේ බටහිර වෙරළට ආ බවට විශ්වාසයක් පවතියි. එමෙන්ම බොහෝ වාර ගණනකදී පොලිනීසියානුවන් අමරිකානුන් සමග ගනුදෙනු කල බවට සාධක තිබේ. පහුරු වලින් පැමිණෙන වෙළෙන්දන් ගැන ඉන්දියානු කතන්දර තිබේ

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම​... මටත් ඕන කළේ අපි මෙච්චර බටහිර රටවල් ගැනම කියවන අතරේ, ඉතිහාසය ලියවෙන්න ඕන ඔවුන් අතින් පමණක් නෙවෙයි කියන එක පෙන්වා දෙන්න​. බොහොම ස්තූතියි.

      Delete
  9. හොදයි වැඩේ වටිනව ගොඩක්

    ReplyDelete