Wednesday, September 26, 2012

අපට වෙච්ච දේ 003: පොත් කඩේ ලිඳ ළඟ සංගමය


මේ අවරුදු කීපයකට කලින්, ඒ කියන්නේ 2009 අන්තිම කාලේ හරි 2010 මුල් කාලේ හරි වෙච්ච දෙයක්. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මේ දවස්වල තියෙන නිසා තමයි මේ කතාව මට මතක් වුනේ.

නුගේගොඩ සරසවි පොත් වෙළෙඳසල මම නිතරම යන තැනක්. මේ කියන දවස්වල මම කසාද බඳින්න කලින්, කැම්පස් එකේ වැඩ කර කර හිටපු කාලය. අතට ගානක් ලැබුන නිසාත්, තනිකඩ නිසාත් අතේ සල්ලි තිබුනා. ඒකෙන් මම කලේ පොත් ගන්න එක. හවස හතරට වැඩ ඉවර වුනාම මම ගොඩක් දවසට කොළඹ කැම්පස් එකේ ඉඳන් නුගේගොඩ එනවා. අපේ යාළුවෙක් හිටිය මිනිහගේ වෑන් එකක තමයි කැම්පස් ආවේ. ඉතින් මෑන් අපිව දාගෙන එක්කන් එනවා නුගේගොඩට. අපේ රථාචාර්යය නිසා අපි එයාට නමකුත් දාල තිබුනා 'මාතලී' කියලා. කොහොම හරි, මාතලීගේ වෑන් එකේ ආවම අනිවාර්යයෙන්ම 4.30 වෙන්න කලින් මම සරසවි එකේ. එතන ඉඳන්, මගේ වෙන්න නෝනා වැඩ ඇරිලා ඒ පැත්තට එනකල් මම පොත් කියව කියව ඉන්නවා. එහෙම හිටිය කියලා සරසවි එකට වෙච්ච පාඩුවකුත් නෑ. මම ඒ දවස්වල මාසෙකට පොතක් දෙකක් අනිවාර්යයෙන්ම ගත්තා.

මම බොහොම කැමැත්තෙන් එතනට ගියේ එතන අලුතෙන් හදපු ගොඩනැගිල්ලේ පොත් කියවන්න පුළුවන් විදියේ හොඳ වටා පිටාවක් හදල තිබිච්ච නිසා. හැම තට්ටුවකම වගේ හොඳ ආසන පනවලා, වායු සමනය කරලා, එතනට යන්න හිතෙන විදියට හදලා තියෙනවා. මම ගිහින් නිදහසේ පොත් බලලා, හොඳ පොතක් දෙකක් තෝරාගන්නවා මාසෙකට. ඒ කාලේ ගත්තු පොත් අතරින් මට මතකම පොත බාර්ට් ජෝන්ස් කියලා ලේඛකයෙක්ගේ හියුගෝ චාවේස් ගැන චරිතාපදානයක්.

අපේ නෝනා නම් හරි බයයි එතනට ඇවිත් මම පොත් බලනකල් නිකන් වාඩි වෙලා ඉන්න. එයා හිතන්නේ එයා පොත් බලන්නේ නැති නිසා ආයතනයේ සේවකයෝ එයාට යන්න කියයි කියලා. ඒක විනාඩි පහක් එතන ඉන්න කැමති නෑ. සමහර වෙලාවට දැහැනකට සම වැදිලා වගේ පොත් බල බල ඉන්න මට එතන දාල යන්න වෙනවා ඒ කාරණේ නිසා. නමුත් මම දැකල තියෙනවා ඇත්තටම එතන දීලා තියෙන අවස්ථාවෙන් යුතු ප්‍රයෝජන ගන්න අය. මේකත් එහෙම සිද්ධියක්.

එදා මම පොතක් කියවන්න අර පුටුවකින් ඉඳ ගත්තා. මට එහා පැත්තේ ගෑනු දෙන්නෙක් ඉඳගෙන. ඒ එක්කෙනෙක්ගේ දුවෙක් වෙන්න පුළුවන් පොඩි ළමයෙක් පොත් තෝරනවා. එතකල් අර දෙන්නගේ කච පචේ. එතන ලිඳ ළඟ සංගමයක් දාගෙන. මට පොත කියවන්නත් නෑ. මට ටිකක් තරහා ගියා වුනත් සද්ද නැතුව හිටියේ මොකද කරන්නේ කියලා කල්පනා කර කර. එතන වැඩ කරන කෙනාත් නොදැක්ක ගානට ඉන්නවා. මමත් නොදන්නා ගානට ඉන්නවා.

එහෙම ඉන්නකොට මට කල්පනා වුනා එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් වට්ටගන්න ක්‍රමයක්. මම මගේ වෙන්න නෝනට දුරකථන ඇමතුමක් දීලා කිව්වා, "පොඩි වැඩක් පෙන්නන්න තියෙනවා. සරසවි එකට එන්න," කියලා. එහෙම කියලා මම ඉන්නේ කීවෙනි තට්ටුවේද කියලත් විස්තර කළා. ඊට පස්සේ එයා එනකල් ඇඟිලි ගැන ගැන හිටියා. අර දෙන්නා යන්න කලින් එයා එයිද නොඑයිද? ඊට කලින් වැඩ කරන එක්කෙනා අර දෙන්නව එලව ගනීද? ප්‍රශ්න පත්තරයක්.....

ඔහොම ඉන්නකොට ඔන්න මට පේනවා පල්ලෙහා තට්ටුවේ අපේ එක්කෙනා එනවා. දැන් මට ඉවසන් ඉන්නම බෑ. අරුන් දෙන්නගේ කච පචෙත් ඉවර නෑ. මගේ අතේ තිබුණු පොත සල්ලි දීලා ගන්න මම එතකොට තීරණය කරලා ඉවරයි. මම ඉතින් එකත් අතේ තියාගෙන බලන් ඉන්නවා.

ඔන්න දැන් අපේ වෙන්න නෝනා ළඟටම ආවා. මමත් ප්‍රතිචාරයක් නොදක්වා ළඟටම එනකල් හිටියා. ඊට පස්සේ එයා අහනවා "දැන් මොකද මට එන්න කිව්වේ?" කියලා.

"ඔයා මෙතන විනාඩි පහක් ඉන්න බයයි නේ. දැන් මේ දෙන්නා මම ආපු වෙලාවේ ඉඳන් මෙතන කච පචේ. ලිඳ ළඟ සංගමයක් දාලා. ලිඳක් විතරයි අඩු. මට මේ පොත බලන්නත් නෑ සද්දේ. ඒ වුනාට මෙතන කව්රුවත් මෙයාලව එලව ගත්තෙත් නෑ. ඔයා තමයි බොරුවට බය වෙන්නේ" කියලා ටිකක් හයියෙන් කිව්වා. අර ගෑනු දෙන්නා මගේ දිහා බලලා, මූණෙන් මූණ බලාගත්තා.

මොහොතයි ගත වුනේ, උන් කොහේ ගියාද නෑ. වාෂ්ප වෙලා!

මම පහලට බැහැලා පොත අරන්, මගේ බෑග් එක ගන්න ගියාම ඒ එක්කෙනෙක් මට කලින් එයාගේ බෑග් එක ඉල්ලාගෙන යනවා මම දැක්කා. එතන ආරක්ෂක නිලධාරියෝ දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් අනිකාට කියනවා, "හැමදාම එනවා. මොකට එනවාද මන් දන්නේ නෑ. ගන්න මගුලකුත් නෑ" කියලා. මටත් ඉතින් කට තියාගෙන ඉන්න බැරිකමට උඩ තට්ටුවේදී වෙච්ච දේ කිව්වා.

මම අපේ නෝනාගෙන් නම් බැනුමක් අහගත්තා මිනිස්සුන්ව ලැජ්ජාවට පත් කරනවා කියලා. නමුත් ඒ කරපු දේ ගැන මම නම් අදටත් පසුතැවෙන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි, සතුටුත් වෙනවා. මිනිස්සු වුනාම දැනගන්න ඕන, අනිත් මිනිස්සුන්ට වදයක් නොවී ජීවත් වෙන්න උත්සාහ කරන්න. පොත් කඩයක් කියන්නේ ලිඳ ළඟ සංගමයක් දාගන්න තැනක් නෙවෙයි නේ. එහෙම වුනා නම් එතන ලිඳකුත් හදලා තියෙන්න එපැයි, නේද?

9 comments:

  1. අනිවා.සම්පූර්ණ ඇත්ත.මටත් ඔය ලගින් යන සීන් එකක් වෙලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඉතින් ඒ ගැනත් කියන්නකෝ. මම වගේ කට හැකර කතාවක් කියන්න නැතුව ඇති නේ? :-P

      Delete
  2. ඔව් එච්චරම නෑ.පස්සේ දවසක කියන්නම්කෝ ඈ.පෝස්ට් එකක් දාන්නම්කෝ

    ReplyDelete
  3. මේක සිංහල බ්ලොග් කියවනයටයි, සින්ඩිය සහ ලාංකීය සිතුවිලි කියන සින්ඩිකේටර වලට දැම්මොත් නරකද.
    http://syndi.lankeeya.lk/
    http://blogs.sinhalabloggers.com/
    http://sindiya.com/

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි! මම දාන්නම්.

      Delete
  4. තැනකට ගියාම ඒ තැන අනුව හැසිරෙන්න නොදන්නා අය අනෙක් අයට ලොකු කරදරයක්. ඔබ දක්වපු ප්‍රතිචාරය නම් නියමයි. නැත්නම් ඉතින් ඕක නවතින්නේ නෑනේ. වෙන්ඩ නෝනා ඊට පස්සේ එතන ඉන්න බය උනේ නැද්ද...:)

    ReplyDelete
    Replies
    1. ඊට පස්සේ එයා ආයේ ආවේ නෑ. මිනිස්සුන්ට විහිළු කරන එව්වට එයාට සම්බන්ධ වෙන්න බෑ කිව්වා. :-D

      Delete
  5. අනික් අයට කරදරයක් නැතුව ඉන්න පුරුදු වෙන එක තමා වටිනාම දේ...

    ReplyDelete