Sunday, July 27, 2014

ලෝක බැංකුවට අභියෝගයක් විය හැකි BRICS බැංකුව

ලෝක මූල්‍ය ක්ෂේත්‍රයේ බල තුලනයක් ඇති කිරීමේ අදහස පෙරදැරි කරගෙන BRICS රටවල්, එනම් බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව එකතුවෙන් නව සංවර්ධන බැංකුව නමින් බැංකුවක් පිහිටුවීමට තීරණය කෙරුණා. මෙම බැංකුව පිළිබඳ කලක් තිස්සේ සාකච්ඡා වුනත් අවසන් එකඟතාවයට පැමිණියේ පසුගියදා බ්‍රසීලයේදී පවත්වන ලද වාර්ෂික BRICS රාජ්‍ය නායක හමුවේදී. සාමාන්‍ය ව්‍යවහාරයේදී BRICS බැංකුව ලෙස හඳුන්වන මෙම නව සංවර්ධන බැංකුවේ (New Development Bank) ආරම්භක ප්‍රාග්ධනය ඇමරිකානු ඩොලර් බිලියන 100 ක් වනවා. ඒ වගේම මේ සමඟම BRICS රටවල් තවත් ඇමරිකානු ඩොලර් බිලියන 100 ක සංචිතයක්ද පිහිටුවා ගන්නට කටයුතු කළා.

මේ බැංකුව සහ සංචිතය මගින් මෙතෙක් ලෝක මුල්‍ය ක්ෂේත්‍රයේ බලය පතුරවා සිටි ලෝක බැංකුව සහ අන්තර්ජාතික මුල්‍ය අරමුදල යන ආයතන දෙකට තරඟයක් දෙනු ඇති බව සාමාන්‍ය විශ්වාසයයි.
(වමේ සිට: රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි, බ්‍රසීල ජනාධිපතිණි ඩිල්මා රූසෙෆ්, චීන ජනාධිපති සී ජින්පින්ග් සහ දකුණු අප්‍රිකා ජනාධිපති ජේකබ් සූමා - Pic. kremlin.ru)

නමුත් ආර්ථික විද්‍යාඥයකු සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ සම්බන්ධව දරන්නේ වෙනස් මතයක්. ඔහු පවසන්නේ ලෝක බැංකුව මූලිකවම සෞඛ්‍යය, අධ්‍යාපනය වැනි "මෘදු" යටිතල පහසුකම් (Soft Infrastructure) කෙරෙහි වැඩි අවධානයක් යොමුකරන අතර දැනට පෙනෙන්නට ඇති ආකාරයෙන් BRICS බැංකුව මහාමාර්ග යනාදී "දෘඩ" යටිතල පහසුකම් (Hard Infrastructure) කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නට ඉඩ ඇති බවයි. මේ දෙඅංශයම සංවර්ධනයට වැදගත් බව පෙන්වා දෙන ඔහු කියා සිටින්නේ එම හේතුව නිසා මෙම බැංකු දෙක අතර තරඟයකට වඩා එකමුතුවක් ඇති වීම පලදායක වනු ඇති බවයි.

මේ අතර ආර්ථික විශේෂඥයකු සහ දේශකයකු වන අනුෂ්ක විජේසිංහ මහතාගේ අදහස වන්නේ මෙම නව බැංකුව ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින එමෙන්ම යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා මුල්‍යමය අවශ්‍යතාවන්ගෙන් යුතු මැදි ආදායම් රටවලට වැදගත් ප්‍රතිපල ගෙනදෙනු ඇති බවයි.

කෙසේ නමුත් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරන්නට යෙදුණේ ලෝක බැංකුවෙන් සහ වෙනත් අද පවතින මුල්‍ය ආයතනවලින් ණය ගැනීම මැදි ආදායම් රටකට වුවද ශ්‍රී ලංකා රජය පවසන තරම් අපහසු නොවන බවයි. ශ්‍රී ලංකා රජය එවන් අපහසුතාවලට පත්වන්නේ අදාළ ව්‍යාපෘතිවල විනිවිදභාවය සහ යහපාලනය පිළිබඳ වන කොන්දේසිවලට එකඟ වීමේ අපහසුව නිසා බව ඔහුගේ අදහසයි.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මේ නව බැංකුව යහපත් ප්‍රවනතාවයක් බව පෙන්වා දුන්නා. ඔහු සඳහන් කලේ මෙවන් ක්‍රියාවලියක් ඇතිවන්නේ ලෝක ආර්ථික බල කඳවුරු අතර තරඟය නිසා බවයි. එමෙන්ම එය "අන්තර් අධිරාජ්‍ය තරඟයේ" කොටසක් ලෙස ඔහු හඳුන්වා දුන්නා. එනම් මෙම ක්‍රියාවලිය ලෝක ධනේශ්වරය තුලම පවතින තවත් එක සිද්ධියක් බව ඔහුගේ අදහසයි. තවද, ශ්‍රී ලංකාව වැනි රටවලට මෙහි බලපෑම පිළිබඳ අනාවැකි පළ කිරීමට තවම කල් වැඩි බවත් ඒ සඳහා මෙම බැංකුව ක්‍රියාත්මක වනතුරු මඳක් බලා සිටින්නට වන බවත් ඔහු කියා සිටියා. නමුත් කවර තත්ත්වයක් යටතේ වුවත්, ලෝක බැංකුවේ සහ අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ ඒකාධිකාරය කෙරෙහි මෙයින් තර්ජනයක් එල්ලවීම යහපත් ප්‍රවණතාවයක් බව ඔහුගේ අදහසයි. කෙසේ වුවත් මෙයින් ලෝක දේශපාලනය "නිරවි යුද්ධය" වැනි අර්බුධකාරී තත්ත්වයකට ගෙන යාමක් නොවන බව ඔහු තවදුරටත් කියා සිටියා.

ඉන්දියාවේ මනිපාල් සරසවියේ භූ දේශපාලන සහ ජාත්‍යන්තර සම්බන්ධතා අංශයේ (Centre for Geopolitics and International Relations) මහාචාර්ය මාධව් දාස් නලපත් මහතාද මෙම නව බැංකුවේ බිහිවීම බොහෝ ධනාත්මක ලෙස දකිනවා. ඔහු සඳහන් කරන්නේ ලෝක බැංකුව සහ අන්තර්ජාතික මුල්‍ය අරමුදල ලෝක මුල්‍ය ක්ෂේත්‍රයේ අවශ්‍යතා දෙස අවධානය යොමු කිරීම පසෙකලා, බටහිර රටවල් කිහිපයක මුල්‍ය ප්‍රතිපත්ති උදෙසා ක්‍රියාත්මක වන ආයතන දෙකක් බවයි. BRICS බැංකුවේ බිහිවීම නිසා 'තුන්වන ලෝකයේ' රටවලට, බටහිර රටවල් විසින් ඔවුනට අවශ්‍ය ලෙස විකෘති කරන ලද සංවර්ධන සැලසුම්වලට වඩා වෙනස් සහ උචිත සැලසුම් ක්‍රියාවට නැගීමේ අවස්ථාව සැලසෙන බව ඔහු කියා සිටිනවා.

ශ්‍රී ලංකාව කෙරෙහි මෙම බැංකුවේ බලපෑම ගැන ඔහු දකින්නේ ඉතා යහපත් ආකාරයකින්. BRICS බැංකුවේ මූලස්ථානය චීනයේ ෂැන්හයි නුවර පිහිටුවන බවත් එහි ආරම්භක සභාපතිවරයා ඉන්දියානුවකු වන බවත් මහාචාර්ය නලපත් මතක් කර දෙනවා. වත්මන් ශ්‍රී ලංකා රජය මෙම රටවල් දෙකේම පවතින රජයන් සමඟ බොහෝ සමීප සබඳතාවක් ගොඩ නගාගෙන තිබෙන බව පෙන්වාදෙන ඔහු කියා සිටින්නේ මේ හේතුව නිසා ශ්‍රී ලංකාවේ අවශ්‍යතා කෙරෙහි BRICS බැංකුව විශේෂ අවධානයක් යොමු කරනු ඇතැයි යන්න තමාගේ අදහස වන බවයි.

(මෙහි මුල් ලිපිය 2014 ජූලි 20 ඉරිදා The Nation පුවත්පතේ පළවිය).

Tuesday, July 8, 2014

නොදැනීම ශතකයත් වාර්තා වෙලා...

සමහර වෙලාවට විනෝදයට පටන් ගන්නා දේවල් පස්සෙ දිගටම කරගෙන යන තත්ත්වයකට එනවා. බ්ලොග් ලිවිල්ලත් එහෙමයි. සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තෙ අපි බොහොම වෙලාවට ඉංග්‍රීසි මාධ්‍යවල දකින දේවල් සිංහලෙන් ලියන්නත්, මගේ සිංහල භාෂා භාවිත හැකියාව දියුණු කරගන්නත් කියන අරමුණු දෙකම හිතේ තියාගෙන​. දන්නෙම නැතුව බ්ලොග් පෝස්ට් සීයකටත් ඇවිත්.

මම හිතන්නෙ මගෙ පළවෙනි බ්ලොග් පෝස්ට් පනහට වඩා ඊළඟ 50 ලියන්න වැඩි කාලයක් ගතවුනා. ඒකට මූලිකම හේතුව වුනේ පරණ රස්සාවෙන් අලුත් රස්සාවකට ගියපු එක​. පරණ කාලෙ ඉතින් අවුරුද්දෙ මාස තුනක් නිවාඩු තියෙනවනෙ. ඒ නිසා නිවාඩු කාලෙ ලියන්න පුලුවන්කම තිබුනා. නමුත් දැන් ඉතින් ඒවගේ අවස්ථා අඩුයි. ලියන්න වෙන්නෙ වෙලාවක් ලැබුණම තමයි.

ඒ නිසා පහුගිය මාස කීපයෙම මගේ සිංහල බ්ලොග් පෝස්ට් දිගින් අඩුයි... ඒ වගේම නිතර ලියවුනෙත් නැහැ.

පහුගිය කාලෙ ලියාපු බ්ලොග් පෝස්ට් සීයෙන්, බොහොම අමාරුවෙන් ලියාපු එක තමයි 99 වෙනි එක​. කියවල බලන්නකො, එතකොට තේරේවි ඒ ඇයි කියලා.

හැමදාමත් මට කියන්න තියෙන දේම තමයි අදත් කියන්න වෙන්නෙ. ලියන්න නම් ගොඩක් දේවල් තියෙනවා. ඕනම දවසක​, අලුත් මාතෘකා දෙක තුනක්වත් හම්බවෙනවා ලියන්න​. ඒවයෙ නම් සීමාවක් නැහැ. වෙලාව තමයි නැත්තෙ.

ඒ නිසා මගේ ප්‍රමාදය ගැන සමාවෙන්න​. පුලුවන් හැම වෙලාවකම මොකක් හෝ දෙයක් ගැන ලියන්න උත්සාහ කරනවා.

මෙචර කාළයක් මට විවිධාකාරයෙන් උදව් කරපු හැමෝටම බොහොම ස්තූතියි. එක සැරයක් හරි මගේ බ්ලොග් එක බලන්න ආපු අයගෙ ඉඳල හැමදාම එන අය දක්වා හැමෝටම ස්තූතියි. ඒ වගේම මේකෙ තිබුණ අඩුපාඩු පෙන්නල දීපු අයත්, මාර්කටිං සඳහා උදව් දීපු අයත් මතක් කරනවා... නම් වශයෙන් නැතත් ඒ අයව මතක් කරන්නෙ ලොකු කෘතවේදීභාවයකින්. අපි තවමත් මේ බ්ලොග් ලිවිල්ල ඉගෙන ගන්නවා. දිගටම ඉගෙනගනීවි.

Sunday, June 1, 2014

ලෝක දුම්කොළ විරෝධී දිනය: වයස චෙක් කළාට තරහ වෙන්න එපා

මැයි 31 වනදා ලෝක දුම්කොළ විරෝධී දිනයයි. ශ්‍රී ලංකාවේ අපිට මෙවර ලෝක දුම්කොළ විරෝධී දිනය​, එහෙමත් නැත්නම් දුම්වැටි විරෝධී දිනය වැදගත් වුනේ පසුගිය දිනයක අධිකරණය හමුවේ විභාග වුන සිගරට් පැකට්ටුවල රූපමය අවවාද ප්‍රදර්ශනය කිරීම සම්බන්ධ නඩු විභාගය හේතුවෙන්.

නමුත් අද මම කතා කරන්නට බලාපොරොත්තු වන්නේ ඒ සම්බන්ධව නෙවෙයි.

මේ සිගරට් වෙළෙඳාම සම්බන්ධ දැන්වීමක් ගැනයි.

මේ පින්තූරයේ දකින්න තිබෙන දැන්වීම දෙස හොඳින් බලන්න​. එහි මෙන්න මේ ආකාරයෙන් ඉංග්‍රීසියෙන් ලියා තියෙනවා.

"Dear customer, If you are lucky enough to look under 18, please do not be offended if we ask for proof of age when you buy tobacco"

මෙය සරලව සිංහලට පරිවර්තනය කලොත් ඉන් කියවෙන්නේ මෙන්න මේ අදහස​. "ඔබේ වයස අවුරුදු 18ට අඩුවෙන් පෙනෙන්නට තරම් ඔබ වාසනාවන්ත නම්, දුම්කොළ නිශ්පාදන මිලට ගනිද්දී ඔබේ වයස පරීක්ෂා කිරීම ගැන අමනාප නොවන්න."

මේ දැන්වීම දකින්න ලැබුණේ ලංකාවෙදි නම් නෙවෙයි. මේ සිංගප්පූරුවේ අංග් මෝ කියෝ (Ang Mo Kio) MRT නැවතුමේ සිට බස් නැවතුමට යන උමං මාර්ගයේ තිබුණ වෙළෙඳසලක තිබිච්ච දැන්වීමක්.

මේ දැන්වීමෙ පින්තූරය ගන්න ගියාම එතන හිටපු වෙළෙඳ සේවිකාව පින්තූර ගන්න එපා කියලා අවවාදයක් කළා. මම එතකොට එයාට කිව්වා මට ඕන මේ දැන්වීමෙ පින්තූරයක් ගන්න විතරයි කියලා. එතකොට ඒ සේවිකාව හිනහවෙලා, "කමක් නැහැ" කිව්වා. එහෙම තමයි මම මේ පින්තූරය අරගත්තේ.

සිංගප්පූරුවේ දුම්වැටි භාවිතය පිළිබඳ විවිධ නීති තියෙනවා. ඒ අතර අලෙවි කිරීම වගේම දුම් පානය කරන්න පුලුවන් ස්ථාන ගැනත් නීති තියෙනවා. සෑම තැනකම දුම් පානය කරන්න බැහැ. ඒ සඳහා නියමිත ස්ථාන තියෙනවා.

මේ අතර, 2017 වනවිට සියලුම ප්‍රධාන පාසැල්වල දුම්පානය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාවට නැංවීමේ සැලසුමක් පිළිබඳ මැයි 31 වනදා උදෑසන සිංගප්පූරු මාධ්‍ය වාර්තා කර තිබුණා. මේ වනවිට සිංගප්පූරුවේ වැඩිහිටි ජනගහනය දුම් පානයට යොමු වීමේ ප්‍රවණතාව උච්ඡාවචනයක් (ලොකු ඉහළ පහළ යාමක්) නැතිව එක් ස්ථානයක රැඳී තිබෙනවා. 2007 වසරේ දුම්පානය කරන්නන් සියයට 13.6 ක් වූ අතර 2013 දී එය සියයට 13.3 ක් වුනා. ඒ වගේම වයස අවුරුදු 18-29 අතර පුද්ගලයින් අතර දුම්පානය කිරීමේ ප්‍රවණතාව මේ කාළය තුල සියයට 17.2 සිට 12.7 දක්වා සීඝ්‍ර අඩු වීමක් පෙන්වා තිබුණා. සිංගප්පූරු බලධාරීන් බලාපොරොත්තු වන්නේ 2020 වනවිට වැඩිහිටියන් අතර දුම්පානය කරන ප්‍රතිශතය සියයට 12 දක්වා අඩු කරගැනීමටයි.

ලංකාවේ දුම්පානය පිරිමින් අතර සියයට 39 ක් සහ කාන්තාවන් අතර සියයට 2.6 ක් වුනා. ඒ 2009 දි. සමස්ථ ප්‍රතිශතය සියයට 21.6 ක් වුනා. ඒ වසරේ වයස අවුරුදු 18-29 කාණ් ඩයේ පිරිමින් සියයට 19.3 ක් සහ කාන්තාවන් සියයට 0.9 ක් දුම් පානය කළා. ඒ අනුව සමස්ථ ප්‍රතිශතය වුනේ සියයට 10.4 ක්. මේ අනුව ලංකාවේ මුලු ජනගහනය සැළකූ විට දුම්පානය කරන ප්‍රතිශතය සිංගප්පූරුවට වඩා වැඩි වුනත්, තරුණ පරපුර අතරේ තත්ත්වය ඒ රටට වඩා යහපත් බව කියන්න පුලුවන්.

දුම්වැටි විරෝධී දිනය ගැන ප්‍රවීණ ලේඛක නාලක ගුණවර්ධන මෑතකදී ලියූ ලිපිය (ඉංග්‍රීසි) කියවන්න​.

Saturday, May 24, 2014

මාලින්ද සෙනවිරත්න 2013 ග්‍රේෂන් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලබයි

මාලින්ද සෙනවිරත්න
අද අපට බොහොම සතුටුදායක දවසක්. අද සවස පවත්වන ලද ග්‍රේෂන් සාහිත්‍ය සම්මාන උළෙලේදී, 2013 වසර සඳහා වන ග්‍රේෂන් සම්මානය අපේ පුවත්පතේ කර්තෘ මාලින්ද සෙනවිරත්න මහතාට ප්‍රදානය කරනු ලැබීම එයට හේතුවයි. ඒ ඔහුගේ "Edges" කියන කවි එකතුව සඳහා.

මාලින්ද සිංහල සහ ඉංග්‍රීසි කියන භාෂා දෙකීම හසළ දැනුමක් ඇති කෙනෙක්. නමුත් ඔහු පුවත්පත් කලාවේ නිරත වෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඒ වගේම මාලින්දගේ පොතුත් ලියවෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඔහු නිරන්තරයෙන් කවි ලියන කෙනෙක්. ඒ නිසාම පහුගිය වසර කිහිපයේම හැම අවුරුද්දක් පාසාම මාලින්ද අලුත් කවි පොතක් පළ කරන්න සමත් වුනා. මෑතකදී ඒ පොත් 5 ක් ආපහු මුද්‍රණය කෙරුනා. පහල එයිනුත් 4  ක්ම කලින් අවුරුදු 4 දී ග්‍රේෂන් සම්මානය සඳහා නිර්දේශ වුනා. මගේ දැනුමේ හැටියට මම හිතන්නේ වැඩිම වාර ගණනක් ග්‍රේෂන් සම්මානය සඳහා යෝජනා වුන නම මාලින්ද සෙනවිරත්න බවයි. නමුත් සම්මානය දිනුවේ මේ වතාවේ තමයි.

මීට පෙර ග්‍රේෂන් පදනමෙන්ම ප්‍රදානය කෙරුණ හොඳම පරිවර්තනය (සිංහලෙන් ඉංග්‍රීසියට) සඳහා වන H.A.I. ගුණතිලක සම්මානය මාලින්දට ලැබුණා. ඒ සයිමන් නවගත්තේගම මහතාගේ සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා පොතේ පරිවර්තනයට.

කවි පිළිබඳ මගේ දැනුම එච්චරම හොඳ නැති නිසා මට ලොකු ලොකු විචාරකයන් වගේ කවි ගැන මුකුත් කියන්න බැහැ. නමුත් මට දැනෙන දේ තමයි මාලින්ද බොහොම දක්ෂ විදියට වචන හසුරවමින් සංවේදී හැඟීමක් කියවන්නා තුල ඉතුරු කරන්න සමත් වන බව. ඒ වගේම මම කියවන්න බොහොම කැමති අංගයක් තමයි අපේ පුවත්පතේ විශේෂාංග ලිපි පළවන "FINE" කියන කොටසේ අන්තිම පිටුවේ මාලින්ද ලියන කවිය. එහි මාලින්ද ලියන්නේ කුමක් හෝ මාතෘකාවක් සම්බන්ධ පින්තූර එකතුවක් ගැන. අපි පින්තූර ගැන ගද්‍යයෙන් ලියනවාට වඩා අපූරුවට මාලින්ද ඒ ගැන පද්‍යයෙන් ලියනවා.

මෑතකදී නිකුත් කළ කවි පොත්
නිතර නිතර ලිව්වා කියලා මාලින්දගේ ලිවීමේ තත්ත්වය බාල වෙන්නේ නැහැ. මාලින්දට වඩා හොඳට ලියන්න පුලුවන් අය ඉන්නවා ඇති. ඊට වඩා වේගයෙන් ලියන්න පුලුවන් අයත් ඇති. නමුත්, එතරම් වේගයකින් එච්චර හොඳ තත්ත්වයේ නිර්මාණ කරන්න හැකි ය නම් හොයාගන්න හරිම අමාරුයි. භාෂා දෙකකින්ම ඒ දස්කම පෙන්නන්න හැකියාව තියෙන කෙනෙක් නම් හොයාගැනීම කළුනික හොයනවා වගේ දෙයක්.

නමුත් ඒ වගේ කෙනෙක් එක්ක වැඩ කරන්න වාසනාව අපට ලැබිලා තියෙනවා. මාලින්ද කියන්නේ හරිම සරල ගති පැවතුම් තියෙන කෙනෙක්. වෙලාවකට හිනහත් යනවා මාලින්දගේ වැඩවලට. මාලින්ද හොඳ ලේඛකයෙක් වගේම දක්ෂ චෙස් ක්‍රීඩකයෙක්. චෙස් ක්‍රීඩාවෙන් ඉගෙනගත්තු බොහෝ දේ ඔහු නිතර ප්‍රායෝගික ජීවිතයේදි භාවිතා කරනවා. ඒ වගේම මාලින් ද හොඳ බෞද්ධයෙක්. බෞද්ධ ඉගැන්වීම්වල කියවෙන දේවල් ඔහු බොහොම වෙලාවට ජීවිතයේදි උපයෝගී කරගන්නා බව අපි දැක තියෙනවා.

මම ඔහුගේ දකින වැදගත්ම දේ තමයි, ඔහු කියන දේ කරන, කරන දේ කියන කෙනෙක් වීම​. මාලින් ද කියන කරන දේ ගැන අපි කැමති වෙන්න පුලුවන්, අකමැති වෙන්න පුලුවන්. නමුත් ඒ ඕනම දෙයක් ගැන කතා බහ කරන්න ඔහු සූදානම්. ඒ අතින් මාලින්ද බොහොම නිහතමානී, විවෘත කෙනෙක්.

වරක් මාලින්ද මට කියාපු දෙයක් මට මතක් වෙනවා. බොහෝ මිනිසුන් මුණ ගැහෙන්න ඔහු කැමතියි. ඒ හැම කෙනෙක්ටම කියන්න දෙයක් තියෙන්න පුලුවන්. ඒ දේවල්වලින් අපි යමක් ඉගෙන ගන්නවා. ඒ වගේම වඩාත් සංවේදී වෙන්න ඉගෙනගන්නවා.

මාලින්දගේ සාහිත්‍ය නිර්මාණවල යම් සාර්ථකත්වයක් තියෙනවා නම් එහි රහස ඒකයි කියලා මම හිතනවා.

Saturday, May 17, 2014

නරේන්ද්‍ර මෝඩි සවිමත් ඉන්දු-ලංකා සබඳතාවයක් පිළිබඳ බලාපොරොත්තු පළකරයි

ඉන්දියාවේ අභිනවයෙන් අගමැති ධූරයට පත්වන නරේන්ද්‍ර මෝඩි සවිමත් ඉන්දු-ලංකා සබඳතාවයක් පිළිබඳ බලාපොරොත්තු පළකොට තිබේ.

ඊයේ දිනයේ ඉන්දියානු මහා මැතිවරණ ප්‍රතිපල නිකුත් වීමත් සමඟ දුරකථනයෙන් නරේන්ද්‍ර මෝඩි ඇමතූ ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ, මැතිවරණ ජයග්‍රහණය පිළිබඳ නරේන්ද්‍ර මෝඩි වෙත සිය සුබ පැතුම් එක්කොට තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාවට නිල සංචාරයක් සඳහා පැමිණෙන ලෙසද ජනාධිපතිතුමා විසින් නරේන්ද්‍ර මෝඩි වෙත ආරාධනා කරනු ලැබුණි. මේ බව ජනාධිපතිතුමාගේ නිල ට්විටර් පිටුව හරහා නිවේදනය කෙරිණ.
නරේන්ද්‍ර මෝඩි (Mayur Bhatt, Wikimedia Commons)

මෙම නිවේදනයට තමන්ගේ ට්විටර් අඩවිය හරහා පිළිතුරු දුන් නරේන්ද්‍ර මෝඩි ජනාධිපති රාජපක්ෂ සමඟ කතා කිරීමට ලැබීම සතුටක් බවත්, ශක්තිමත් ඉන්දු-ලංකා සබඳතාවක් කෙරෙහි තමන් බලාපොරොත්තුවෙන් සිටින බවත් කියා සිටියේය.

පසුගිය වසර කිහිපය ඉන්දු ශ්‍රී ලංකා සබඳතාවලට එතරම් යහපත් නොවීය. එයට මූලික හේතුව වූයේ කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ පාලක එක්සත් ප්‍රගතිශීලි සන්ධානය දිගින් දිගටම තමිල්නාඩු දේශපාලකයන්ගේ කෙනිත්තිලිවලට ලක් වීමය. ලෝක් සභාවේ ආසන 545 න් 39 ක් තමිල්නාඩුවේ තිබීම මෙයට බලපෑ ප්‍රධානම කරුණයි.

නමුත් පසුගිය මහා මැතිවරණයේදී මෙම තත්ත්වය උඩු යටිකුරු විය. ජයලලිතාගේ සමස්ථ ඉන්දියානු අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂය තමිල්නාඩුවේ ආසන 39 න 37 ක්ම දිනාගත්තේය. නරේන්ද්‍ර මෝඩි සහ භාරතීය ජනතා පක්ෂය තමිල්නාඩුවේ විශාල වශයෙන් ප්‍රචාරක කටයුතු කලද ඔවුනට එහි ලබාගත හැකිවූයේ එක අසුනක් පමණි. තමිල්නාඩුවේ බීජේපී පක්ෂය මින් පෙර කිසිදිනෙක වැදගත් දේශපාලන පක්ෂයක් නොවූ හෙයින් මේ එක ඇසුනද සැලකිය යුතු ජයකි. නමුත් මෙය එම පක්ෂය බලාපොරොත්තු වුවාට වඩා අඩු ජයකි.

කෙසේ වුවද, සමස්ත ඉන්දියාව සැලකීමේදී බීජේපී පක්ෂය ආසන 283 ක් දිනා ලෝක් සභාවේ බහුතරයක් දිනා ඇත. බීජේපී පක්ෂය සමඟ සන්ධානගත අනෙක් පක්ෂද තවත් ආසන 53 ක් දිනූහ. එහෙයින් මීළඟ අවුරුදු 5 තුල තමිල්නාඩුවේ පදයට නවදිල්ලිය නටනු ඇතැයි සිතීම අපහසුය. නරේන්ද්‍ර මෝඩි කුමන තත්ත්වයක් යටතේ වුවද කාගේවත් පදයට නටන තැනැත්තෙකු නොවේ. මේ ඡන්ද ප්‍රතිපලයත් සමඟ ඔහුට එසේ කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නැත.

ශ්‍රී ලංකාවට මෝඩි යහතින් තබාගැනීම වැදගත් වනු නොඅනුමානය. ඔහු ආචාර්ය මන්මෝහන් සිං මෙන් ඇමරිකානු හිතවාදියකු නොවේ. එමෙන්ම ඔහුගේ මූලික අරමුණු වන්නේ ආර්ථිකය දියුණු කිරීම සහ ත්‍රස්තවාදය පරාජය කිරීමයි. මෙම කරුණුවලදී ලංකාවට සහ ඉන්දියාවට එක්ව කටයුතු කල හැකිවිය යුතුය. ඇමරිකාව තරමක් පහත වැටී සහ චීනය නැගිටිමින් සිටින මෙම සමයේ චීනය සමඟද යහපත් සබඳතාවක් වර්ධනය කරගැනීම මෝඩිගේ බලාපොරොත්තුවක් වනු ඇත. එයද ලංකාවට වාසිදායකය. ශ්‍රී ලංකා රජයට මෝඩි සමඟ සහයෝගයෙන් කටයුතු කල හැකි නම් එය ශ්‍රී ලංකාවේ අයහපතට හේතු නොවනු ඇත.

Saturday, April 26, 2014

ලන්දේසින්ට අහිමි වූ කටුවන බලකොටුව

කටුවන බලකොටුවේ දොරටුව සහ කොටු පවුරේ කොටසක්
මාතර සිට හක්මණ හරහා වලස්මුල්ලට පැමිණ එහි සිට මිද්දෙනිය නගරය කරා ගමන් කරන්නෙකුට වලස්මුල්ලේ සිට කිලෝ මීටර පහලවක් පමණ දුරින් පිහිටි කටුවන නගරයට පැමිණිය හැක. වලස්මුල්ල දෙසින් නගරයට ඇතුලු වී තරමක් දුර ගිය තැන, වම් පැත්තෙන් වන කුඩා මාර්ගයකට හැරී මඳ දුරක් ගමන් කිරීමෙන් ඓතිහාසික කටුවන ලන්දේසි බලකොටුවවේ ප්‍රවේශ දොරටුව අසළට පැමිණිය හැක.

කටුවන ප්‍රදේශයේ ඉතිහාසය අනාදිමත් කාළයකට දිව යන බැව් අනුමාන කළ හැක. මහාවංශයේ සඳහන් වන අන්දමට 12 වන සියවසෙහි පරාක්‍රමබාහු රජු හා සටන් වැදුණ සුගලා දේවියගේ සෙබලු රැඳී සිටි ස්ථානයක් ලෙස කටුවන ප්‍රදේශය ගත හැක. වර්තමානයේ වුවද, කටුවන බලකොටුවේ පිහිටීම අනුව මෙම ස්ථානය මූලෝපායික වශයෙන් වැදගත් ස්ථානයක් වන්නට ඇති බැව් පැහැදිලි වේ.

කටුවන ලන්දේසි බලකොටුවේ ඓතිහාසික වැදගත්කම ඉහළ නංවන මූලික සාධකය වන්නේ එය රට අභ්‍යන්තරයෙන් පිහිටි වඩාත්ම හොඳින් ආරක්ෂා වී ඇති ලන්දේසි බලකොටුව වීමය. තවද, පුරාවෘත්ත සහ ඓතිහාසික මූලාශ්‍ර එකට ගැලපීමෙන් කටුවන බලකොටුවේ ඉතිහාසය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් මවාගත හැක්කේය.

ලංකාවට 1505 සිට පැමිණි බටහිර ජාතීන් විසින් කෙමෙන් කෙමෙන් රටේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලාගන්නා ලද බැව් අපි දනිමු. සිය පාලන ප්‍රදේශයන් දේශීය මෙන්ම විදේශීය ප්ර්තිවාදීන් ගෙන් ආරක්ෂා කරගැනීම පිණිස ඔව්හු රටේ මූලෝපායිකව වැදගත්වන ස්ථානයන්හි බලකොටු ඉදි කළහ. පළමුවෙන් මෙසේ බලකොටුවක් ඉදි කරන ලද්දේ පෘතුගීසීන් විසින් කොළඹදීය. බොහෝ බලකොටු ඉදිකරවන ලද්දේ වෙරළබඩ ප්‍රදේශවලය. එහෙත් පසු කාලීනව, උඩරට රාජ්‍යයෙන් එල්ලවිය හැකි ප්‍රහාරවලින් මුහුදුබඩ ප්‍රදේශ ආරක්ෂා කිරීම මෙන්ම උඩරට ආක්‍රමණයකදී මූලස්ථාන ලෙස යොදා ගැනීම යන මූලික අරමුණු දෙකම පෙරදැරි කරගෙන උඩරට දේශසීමාව ආසන්නයේද බලකොටු ඉදිකරන ලදී. පෘතුගීසීන් විසින් මෙසේ ඉදිකළ බොහෝ බලකොටු අද වනවිට දක්නට නොලැබේ. මේ ඇතැම් බලකොටු ලන්දේසීන් විසින් වැඩිදියුණු කර ඇති අතර තවත් සමහර බලකොටු ඔවුන් විසින් අලුතෙන්ම ඉදි කරන ලදී. කටුවන, එසේ අලුතෙන්ම සෑදූ ලන්දේසි බලකොටුවකි.

1697 දී ඉදිකළ කටුවන බලකොටුව, ලන්දේසි පෙරදිග ඉන්දීය වෙලෙඳ සමාගමට අයත් වූ උතුරු දිග සීමාවේ, එනම් උඩරට රාජ්‍යයේ දකුණු දිග සීමාව ආසන්නයේ පිහිටවන ලද විශාලතම බලකොටුව වන්නේය. මෙම ස්ථානයේ මූලෝපායික වැදගත්කමට මූලික හේතුව වන්නේ බලකොටුව උඩරට කඳුකරයේ දකුණු සීමාවට මුහුණලා සිටීමයි. අද වනවිට රූස්ස ගස් වැවී තිබීම හේතුවෙන් බලකොටුවේ සිටින අයකුට බොහෝ දුර නොපෙනුනද, අතීතයේදී මෙම ස්ථානයට ඉතා ඈත ප්‍රදේශ මනාව දිස් වූ බව පුරාවෘත්තවල සඳහන් වේ.

1734 දී බලකොටුවට පැමිණි ලන්දේසි ඉතිහාසඥ යොහාන් වුල්ෆ්ගෑන්ග් හෙයිත් (Heydt), බලකොටුවේ එවක පැවති තත්ත්වය පිළිබඳ සඳහන් කරයි. ඔහු සඳහන් කරන අන්දමට බලකොටුව සමචතුරශ්‍රාකාර, කපරාරු කළ බිත්ති සහිත ගොඩනැඟිල්ලකි. එහි සමචතුරශ්‍රාකාර හැඩය මඳක් විකෘති වන්නේ ප්‍රතිමුඛ කොන් දෙකක වන මුරපලවල් (බැස්ටියන්) දෙකක් හේතුවෙනි. මේ එක් මුරපලක කාලතුවක්කු හය බැගින් වූ බැව් හෙයිත් සඳහන් කරයි.

බලකොටුවේ පැත්තක දිග අඩි 150 ක් වන අතර කොටු පවුර පිටතින් අඩි 20 ක් උසය. කොටු පවුර මත මංපෙත අඩි 10 ක් පළලින් යුතු බැව් හෙයිත් සඳහන් කරයි. බලකොටුවේ ඇතුලත චතුරශ්‍රාකාර මැද මිදුලක් වෙයි. කොටු පවුරට යාබදව පිහිටුවා ඇති ගොඩනැගිලි කිහිපයක පාදම් ද එහි දිස් වේ.
කටුවන බලකොටුවේ බිම් සැලැස්ම
හෙයිත්ගේ වාර්තාව අනුව බලකොටුවේ පිරිස් බලය 40 දෙනෙකුගෙන් පමණ සමන්විත වී ඇත. එහි අණදෙන නිලධාරියා ලෙස කටයුතු කර ඇත්තේ සාර්ජන්ට්වරයෙකි. බලකොටුවේ දොරටුවෙන් ඇතුලු වන්නෙකුට ඔහුගේ දකුණු අත පැත්තෙන් කෙළවරේම දිස්වන ගොඩනැගිල්ල අණදෙන නිලධාරියාගේ නිල නිවසය. ඊට යාබදව ගබඩාවක් වන අතර එයින් වම් පසින් වෙඩි උණ්ඩ ගබඩාව සහ ඊටත් වම් පසින් වෙඩි බෙහෙත් ගබඩාව වේ. වෙඩි බෙහෙත් ගබඩාව පිහිටියේ දොරටුවට මුහුණලා ය. තවද එය තට්ටු දෙකකින් යුතු විය. ඊට වම් පැත්තෙන් හමුදා බැරැක්ක විය. දොරටුවෙන් වම් පැත්තේ ළිඳක් ද ඊට යාබදව වෛද්‍ය නිලධාරියාගේ කාර්යාලයද විය. බලකොටුවේ වැසි වතුර බැසයාමට ක්‍රමවේදයක් වූ බව සඳහන් ය.

කටුවන බලකොටුව ලන්දේසි හමුදා විසින් භාවිතා කළේ 1761 වනතුරු පමණි. එම වසරේදී සිදු වූ උඩරට ආක්‍රමණය අවස්ථාවේ බලකොටුව අත හැර දමන ලදී. පුරාවෘත්තවල සඳහන් අන්දමට මෙම ප්‍රහාරයේ පෙරමුණ ගත්තේ මඩුවන්වෙල දිසාවේගේ පරම්පරාවේ කෙනෙකි. ඔහු ජය සංකේතයක් ලෙස බලකොටුවේ ගේට්ටුව ගලවාගෙන ගියේය. එය මඩුවන්වල වලව්වේ ගේට්ටුවක් ලෙස සවිකොට ඇත.
ඇතුලත මැද මිදුල

බලකොටුව අත හැර දමන ලද පසු එය වනාන්තරයෙන් වැසී ගත්තේය. නමුත් පසු කාලීනව කටුවන නගරය කෙමෙන් කෙමෙන් ජනාකීර්ණ විය. 20 වන සියවසේ මුල් කාළයේ කටුවන රෝහල ඉදි කරන ලද්දේ කොටු පවුරට යාබදවය. පසු කාලීනව එය වෙනත් තැනකට ගෙනයන ලදී.

මේ අතර 2007 වසරේදී නෙදර්ලන්ත ආධාර ඇතිව කොටුවේ පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු සිදුකරන ලදී. මේ අනුව ගරාවැටී තිබූ ප්‍රධාන ආරුක්කුව යථා තත්ත්වයට පත් කරන ලදී. තවද, කොටුපවුරේ ඉදිරි දොරටුව දෙසට වැටී ඇති මාර්ගය සකස් කොට එහි තොරතුරු මධ්‍යස්ථානයක් පිහිටුවන ලදී. ලංකාවේ ලන්දේසි බලකොටු සහ දකුණු පළාතේ ඉතිහාසය පිළිබඳ තොරතුරු සොයන්නකුට කටුවන බලකොටුව දැක බලාගැනීම වටිනා අත් දැකීමක් වනු ඇත.

Thursday, April 24, 2014

නැපෝලියන් අධිරාජයා යළි බලයට පැමිණීම​

ප්‍රංශයේ නැපෝලියන් අධිරාජයා 1814 අප්‍රේල් 11 වනදා ෆොන්ටෙන්බ්ලූ ගිවිසුම් ප්‍රකාරව සිහසුන අත හැරියේය​. (ඒ කොටස කියවන්න මෙතැනින්) එම මාසයේම 28 වනදා ෆ්‍රේයුස්වලින් නැව් නැංග හෙතෙම එල්බා දිවයින කරා ළඟා වූයේය​. මේ අතර XVIII වන ලුවී ප්‍රංශයේ අභිනව රජු ලෙස පත් වූයේය​.

1814 මැයි මස 30 වනදා ප්‍රථම පැරිස් ගිවිසුම ලෙස නම් කෙරුණ ගිවිසුම් කිහිපයක් මඟින් තාවකාලික සාම කොන් දේසි සඳහා එකඟතාවයක් ඇතිකරගන්නා ලදී. ඒ අනුව ප්‍රංශයට 1792 නොවැම් බර් 1 වනදා විප්ලවවාදී යුද්ධවලට පෙර තිබූ දේශසීමා නැවත ලැබිණ​. මේ අතර අවසාන කොන්දේසි පිළිබඳ එකඟතාවක් ඇතිකරගැනීම සඳහා වියානා නගරයේදී සම්මේලනයක් පැවැත්වීමට තීරණය කෙරිණ​.

සැප්තැම්බරයේදී වියානා සංගමය රැස්වූ කල්හි මිත්‍ර රටවල් තමන් දිනූ සාමය නැතිකරගැනීමේ කඩ ඉමට ළඟා වූහ​. රුසියාවේ පළමු ඇලෙක්සැන්ඩර් සාර් තෙමේ සමස්ථ පෝලන්තය ඉල්ලා සිටියේය​. ඔස්ට්‍රියාවේ විදෙස් ඇමති මැටර්නික්, ප්‍රංශ විදෙස් ඇමති ටැලිරන්ඩ් යන දෙදෙනාගේ සහය ඇතිව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් කාසල්රි මෙම ඉල්ලීමට තරයේ විරුද්ධ වූයේය​. මෙම රටවල් ත්‍රිත්වයම රුසියාවේ බලය යුරෝපයේ පැතිරීම කෙරෙහි බිය වූහ​. යම් ලෙසකින් රුසියාවට පෝලන්තයම ලැබුණි නම් රුසියානු දේශසීමාව ජර්මනිය අසළට පැමිණීම මඟින් මධ්‍යම යුරෝපයේම බල තුලනය අවුල් වීමට ඉඩ තිබිණ​.

මෙම මතගැටුම කෙතරම් දරුණු වීද යත්, 1815 ජනවාරි වනවිට උක්ත රටවල් තුන විසින්, රුසියාවට එරෙහිව යුධ වැදීම සඳහා 450,000 ක හමුදාවක් සූදානම් කිරීමට පවා එකඟ වූහ​. මේ අතර වියානා සාකච්ඡාද දිගටම සිදුවෙමින් පැවතින​.

නැපෝලියන් එල්බාවෙන් පිටවීම​ (Joseph Beaume)
මේ අතර 1815 මාර්තු 4 වනදා, වියානා නගරය බියෙන් ඇලලූ පුවතක් වාර්තා විය​. එනම් නැපෝලියන් එල්බාවෙන් පළාගිය පුවතය​.

වියානාවට මෙම පුවත ලැබෙද්දී නැපෝලියන් සිටියේ ප්‍රංශයේය​. එල්බාවට පිටුවහල් කළ දින පටන් හෙතෙම ඇඟිලි ගැන ගැන සිටියේ නැවත ප්‍රංශයේ බලය ලබාගන්නා දිනයක් එනතුරුය​. පිටුවහල් වී සිටියද වියානාවේ මිතුරු රටවල් අතර වූ මතභේද සහ ප්‍රංශ වැසියන් තුල මතුවෙමින් පැවති ඉච්ඡා භංගත්වය පිළිබඳ ඔහුට තොරතුරු ළඟා වෙමින් පැවැතියේය​. මේ හේතුවෙන් 1815 පෙබරවාරිය වනවිට යළි ප්‍රංශයට යෑමට ප්‍රශස්ථ කාළය එලඹ ඇති බැව් නැපෝලියන් තීරණය කළේය​.

මේ අනුව පෙබරවාරි 26 වනදා l'Inconstance නැව සහ තවත් යාත්‍රා හයකින් නැපෝලියන් සහ 600 ක් වූ ඔහුගේ පිරිස පෝර්ටෝ ෆෙරාජෝ වරායෙන් ප්‍රංශය බලා නැව් නැංගහ​. ප්‍රංශ මුර සංචාරක නෞකාවලින් ගැලවී මෙම කණ්ඩායම මාර්තු 1 වනදා ජුවාන් බොක්කට (Golfe-Juan) ගොඩ බැස්සෝය​.

නැපෝලියන් ප්‍රංශයට නැවත පැමිණීමේ තීරණාත්මක සිදුවීමක් 1815 මාර්තු 7 වනදා සිදු විය​. නැපෝලියන් සහ ඔහුගේ සෙනඟ ග්‍රෙනෝබල් නගරය අසබඩ වූ ලෆ්‍රෙ දුර්ගය වෙත ළඟාවූහ​. මෙම ස්ථානයේ රැඳී සිටියේ ප්‍රංශ හමුදාවේ 5 වන රෙජිමේන්තුවයි.

නැපෝලියන් ඉදිරියට එනු දුටු එම රෙජිමේන්තුවේ රාජාණ්ඩුවාදී නිලදරුවෙක්, "අන්න ඌ එනවා! වෙඩි තියාපල්ලා!" යයි අණ කළේය​.
නැපෝලියන් සිය අංගාරක්ෂක හමුදාවේ කර්නල් මැලේ (Mallet) දෙස හැරුණි.
"සෙබලුන්ට තුවක්කු කටවල් පහතට තියෙන ලෙස ඒවා වමත පිටිපස සඟවා ගන්නට කියන්න​" ඔහු අණ දුන්නේය​.
ඉක්බිතිව සිය පිරිසෙන් ඉදිරියට පැමිණි නැපෝලියන් ප්‍රතිවාදී හමුදා රෙජිමේන්තුව ඇමතීය​.
"5 වන රෙජිමේන්තුවේ සෙබලුනි. තොප මා දන්නෙහුද​? මම තොපේ අධිරාජයා වන්නෙමි. කැමැති අයෙක් වෙඩි තබව!"
එහෙත් සිදු වූයේ අනෙකකි. රෙජිමේන්තු සෙබලුන් අතරින් "අධිරාජයා දිනේවා!" යයි කාහල නාදයක් මතු වූයේය​. නැපෝලියන් එකදු වෙඩිල්ලකුදු නොතබා එම සටන දිනුවේය​.

අධිරාජයාගේ පුනරාගමනය පිළිබඳ ආරංචිය බුර්බන් රාජාණ්ඩුව කෙරේ කලකිරී සිටි ජනතාවගේ සිත් සතන් පිනා ගිය සුභාරංචියක් වූයේය​. නගරයක් නගරයක් පාසා ඔහුට ඉහළ ජනතා ප්‍රතිචාර ලැබිණ​. නැපෝලියන් පැරිස් නුවරට ළඟා වනවිට වන ලුවී රජතෙමේ සිය මහලු වයසට ද නුරුස්සන වේගයෙන් නගරයෙන් මෙන්ම ප්‍රංශයෙන් ද පළා ගියේය​. 1815 මාර්තු 20 වනදා, එනම් සිය පුත්‍රයාගේ සිව්වන ජන්ම දිනයදා, නැපෝලියන් අධිරාජයා යළි පැරිසියට ළඟා වූයේය​.