Sunday, March 10, 2013

හියුගෝ චාවේස් පළමුවරට ජාතිය ඇමතූ ඓතිහාසික අවස්ථාව (1992 පෙබරවාරි 4)


පසුගිය මාර්තු 5 වනදා අභාවප්‍රාප්ත වූ වෙනෙසුවෙලාවේ ජනාධිපති හියුගෝ චාවේස් පළමු වතාවට ජාතිය ඇමතුවේ ඉතා සුවිශේෂී අවස්ථාවකය. එහිදී ඔහු තමාටම නොදැනීම පරාජය, ජයග්‍රහණයකට පෙරලා ගත්තේය. විනාඩියකට මඳක් වැඩි ඒ කතාව ඔහු ජාතික වීරයකු බවට පත් කළේය.

1992 පෙබරවාරි 3 වනදා නින්දට ගිය වෙනෙසුවෙලා වැසියන් ඊළඟ දිනයේ පිබිදුණේ බලාපොරොත්තු නොවූ සිද්ධියක් දැකීමටය. 4 වනදාට එළිවන පාන්දර, තරුණ හමුදා නිලධාරියකු විසින් රජය පෙරලීමේ කුමන්ත්‍රණයක් දියත් කොට තිබුණි. ජනාධිපති කාලෝස් අන්ද්‍රේස් පෙරේස්ගේ ආණ්ඩුවට කුමන්ත්‍රණයක් පිළිබඳ යම් යම් තොරතුරු ලැබී තිබුණද, හරියටම විස්තරය කුමක්ද යයි කලින් අවබෝධ වී නොතිබිණ.

මෙම කුමන්ත්‍රණයේ නායකත්වය ගත්තේ එතෙක් කල් වෙනෙසුවෙලාවේ අප්‍රකට චරිතයක් වූ, පැරෂුට් බලකායේ නිලධාරියෙකි. ඔහු ලුතිනන් කර්නල් හියුගෝ චාවේස් නම් විය. ඔහුගේ වීරයා වූයේ දකුණු ඇමරිකාවේ "විමුක්තිදායකයා" හෙවත් සයිමන් බොලිවාර් ය. බොලිවාර් බලාපොරොත්තු වූ ආකාරයේ එක්සත් සමාජයක් ඇති කිරීම චාවේස්ගේ බලාපොරොත්තුව විය.

හමුදා කුමන්ත්‍රණයේ මූලික කරුණු 3 වනදා රාත්‍රිය වන විට සැකසී තිබුන අතර රාත්‍රී 12 ට මඳක් කලින් එම කටයුතු ක්‍රියාවට නැගිණ. ඇතැම් ප්‍රදේශ කුමන්ත්‍රණයට සම්බන්ධ හමුදා කණ්ඩායම් විසින් සිය පාලනයට ගත්තේ වී නමුදු, වඩා වැදගත් වූ කරාකස් අගනුවර කුමන්ත්‍රණය බලාපොරොත්තු වූ පරිදි සාර්ථක නොවිය. හිමිදිරියේ ජනපති කාලෝස් අන්ද්‍රේස් පෙරේස් ජාතිය අමතමින් කුමන්ත්‍රණයක් දියත් කර ඇති නමුත් තත්ත්වය පාලනය කර ඇති බව ප්‍රකාශ කළේය. මේ අතර චාවේස්ගේද මිතුරකු වූ රෆායල් සැන්ටෙලිස් මැදිහත්කරුවකු ලෙස යොදාගනිමින් චාවේස්ට යටත් වන ලෙස රජය දන්වා සිටියේය. සිය බලාපොරොත්තු සුන් වූ චාවේස් තමා රැඳී සිටින ස්ථානවලට ගුවන් ප්‍රහාර එල්ල කරන බවට කෙරුණ තර්ජනයද සලකා යටත් වීමට තීරණය කළේය. උදෑසන 7 කණිසම ළඟාවූ කළ චාවේස් යටත් විය.



චාවේස් බ්‍රසීලයේදී (2003). Victor Soares-ABr (Agencia Brazil). Wikimedia Commons.



උදෑසන 10 වනවිට චාවේස් ආරක්ෂක අමාත්‍යාංශය වෙත රැගෙන යන ලදී. ඔහු සමඟ ඔහුගේ මිත්‍රයා, සැන්ටෙලිස් ද විය. එහිදී ඔහු දැනගත්තේ පිට පලාත්වල තමන්ගේ බොහෝ සගයින් යටත් වූ නමුත් ඇතැමුන් තවමත් සටන් මෙහෙයවන බවයි. වෙසෙසින්ම අරගුවා ප්‍රාන්තයේ මැරකේ (Maracay) නගරයේ කැරලි නායකයා වූ ජීසස් හර්නැන්ඩෙස් උර්ඩනේටා දිගටම සටන් කරමින් සිටියේය. ආරක්ෂක අංශ සිටියේ මරකේ නගරයට ගුවන් ප්‍රහාර එල්ල කිරීම පිළිබඳ සිතමිනි.

තමා මැරකේ නගරයේ සිය අනුගාමිකයනට ඍජුවම අමතා යටත් වන ලෙස ඉල්ලා සිටීමේ යෝජනාව චාවේස් විසින් ඉදිරිපත් කෙරුනේ මේ අවස්ථාවේය. නමුත් මැරකේ නගරයට වූ දුරකථන මාර්ග විසන්ධි වී තිබිණ. එවිට චාවේස් ගුවන්විදුලිය ඔස්සේ ඔවුන් ඇමතීමට යෝජනා කළේය. ඔහුගේ පෙර පිනකට මෙන් රූපවාහිනිය වඩා සුදුසු බවට එහි හුන් හමුදා නිලධාරීන් අතුරින් අදහසක් යොමු විය. ආරක්ෂක ඇමතිවරයා වූ ඔචොආ ඇන්ටිච් (Ochoa Antich) ද එම අදහසෙහි වරදක් දුටුවේ නැත. ඔහු ජනපති පෙරේස් අමතා ඒ සඳහා අවසර පැතීය. පෙරේස් නියෝග කලේ චාවේස්ට මාංචු දමා සිරකරුවකු ලෙස ඉදිරිපත් කිරීමටත්, ඔහුගේ කතාව කලින් ලියාගනීමටත් ය. නමුත්, චාවේස් ඒ එකදු කොන්දේසියකට හෝ එකඟ වූයේ නොවේ. පරාජිත හැඟීමෙන් ඔහු දැඩි ලෙස පීඩා වින්ද නමුත් ඒ බව පෙන්වීමට ඔහුට අවශ්‍ය නොවීය. ජාතිය ඉදිරියේ පෙනී සිටීමට ලැබෙන මේ අවස්ථාවේ ඔහු හැකි තරම් ගාම්භීර ලෙස ජනතාව අබියස පෙනී සිටීමට අදිටන් කරගත්තේය.

මතුව තිබුන තත්ත්වයෙහි බැරෑරුම්කම සළකා ආරක්ෂක අංශ ඔහුගේ ඉල්ලීමට එකඟ වූහ.

මුහුණ කට සෝදාගත් චාවේස්, සිය නිල ඇඳුමද මනාව සකසාගෙන පැරෂුට් භටයන්ගේ රතු පැහැති බෙරේ තොප්පියක් ලා ගත්තේය. ඉන්පසු, නියම හමුදා නිලධාරියකු සේ ගාම්භීර ලීලාවෙන් රූපවාහිනී කැමරා ඉදිරියේ පෙනී සිටියේය. මීළඟ තත්පර 72 ක කාලය ඔහු වැය කලේ ජීවිතයේ ඔහු කල වැදගත්ම කතාවටය.

පළමුවෙන්ම සියලු වෙනෙසුවෙලා වැසියන්ට සුබ උදෑසනක් වේවා! කියා ප්‍රාර්ථනා කිරීමට මම කැමතියි. මේ බොලිවාරියානු පණිවිඩය අරගුවා හි සිටින සියලු පැරෂුට් භටයන් සහ වැලෙන්සියාවේ යුධ ටැංකි භටයන් වෙතයි. සහෝදරවරුනි, අවාසනාවන්ත ලෙස, අගනුවර රැඳී සිටි අපට මේ වතාවේ අපේ අරමුණු ඉටු කරගන්නට ලැබුනේ නැහැ. එනම්, අපට කරාකස් නගරයේදී බලය අල්ලාගන්නට ලැබුනේ නැහැ. ඔබ කොහි සිටියත්, ඉතාමත් හොඳින් ඔබේ කාර්යභාරය ඉටු කළා. දැන් ආපසු හැරී බලන්නට සුදුසු කාලය එළඹී තිබෙනවා. අපේ දේශය අනිවාර්යයෙන්ම මීට වඩා යහපත් තැනක් බවට පත්කළ යුතුයි. ඒ සඳහා අලුත් අවස්ථා එළඹෙනු ඇති.

ඒ නිසා, දැන් මා කියන දේ හොඳින් අසන්න. මේ පණිවිඩය ඔබට දෙන කමන්ඩන්ටේ චාවේස්ගේ හඬට ඇහුම්කන් දෙන්න. කරුණාකරලා, යලි සිතා බලා, අවි බිම තබන්න. මොකද, අගනුවරදී අපට රාජ්‍ය බලය අල්ලා ගැනීමට නොහැකි වූ නිසාත් ඊට අවස්ථාවක් නොමැති නිසාත්. සහෝදරවරුනි, ඔබ වෙත එන මේ සහයෝගීතාවයේ පණිවිඩය අසන්න. මා ඔබේ පක්ෂපාතීත්වයටත්, නිර්භීතභාවයටත්, නොමසුරු ආධාරයටත් සදා ණය ගැතියි. දේශය සහ ඔබ අබියස මා මේ බොලිවාරියානු ව්‍යාපාරය සඳහා පූර්ණ වගකීම භාර ගන්නවා. බොහොම ස්තූතියි!


(කතාවේ වීඩියෝ දර්ශනය මෙතනින් බලන්න).

තමන් මවිතයට පත් කල කුමන්ත්‍රණයේ නායකයා, තමන් ඉදිරියේ බොහෝ ගාම්භීර ආකාරයෙන් පෙනී හිඳිමින්, කුමන්ත්‍රණයේ අසාර්ථකත්වය පිලිබඳ වගකීම භාර ගනු දුටු වෙනෙසුවෙලා වැසියෝ පුදුමයෙන් ගල් ගැසුනහ. රටේ බොහෝ දේ හරි ආකාරව සිදු නොවෙද්දී පවා, තමන් අතින් වූ වරදකට වගකීම භාරගත් දේශපාලකයකු ඔවුන් ඉන් පෙර දැක තිබුනේ නැත. නමුත් එම පෙබරවාරි මස 4 වනදා උදෑසන ඔවුන් ඉදිරියේ පෙනී සිටි තරුණ හමුදා නිලධාරියා සිය අසාර්ථකත්වයට වගකීම භාරගත්තේ, තමා අනෙක් දේශපාලකයන්ට වඩා වෙනස් බව පසක් කරමිනි.

සාර්ථක කතාවක් කලද, හියුගෝ චාවේස් සිටියේ දැඩි මානසික ආතතියකිනි. අසාර්ථක වූ කුමන්ත්‍රණයක් දියත් කොට, එහි අවසන රජයට යටත් වන ලෙස සිය සගයින්ගෙන් ඉලා සිටීමට සිදු වීම ඔහුගේ මනසට දැඩි පීඩනයක් විය. ඔහුගේ මිත්‍රයා සන්ටෙලිස් ඔහු සොයා ආවේ මෙවිටය.

"නියම කතාව මිත්‍රයා!" ඔහු කියා සිටියේය.

"මොන නියමක්ද? මම ඉල්ලා හිටියේ යටත් වෙන්න කියලා නේ."

"ඇයි එහෙම කියන්නේ. ඔබ කිව්වා, මේ වතාවේ (Por Ahora-ඉංග්‍රීසියෙන් "For now")කියලා"

තමා නොදැනීම චාවේස් විසින් එම වචන දෙක පිටව තිබිණ. "මේ වතාවේ" එනම්, තව වතාවක් එන බවට ඉඟියකි. ඒ වතාව උදා වූයේ 1998 ජනාධිපතිවරණයේ ය. එහිදී චාවේස්ගේ එක් සටන් පාඨයක් වූයේ මේ "Por Ahora" වචන දෙකයි. 1998 දෙසැම්බර් ජනාධිපතිවරණයෙන් 56.2% ඡන්ද ප්‍රතිශතයක් ලැබූ චාවේස් 1999 පෙබරවාරි 2 වනදා, එනම් සිය කුමන්ත්‍රණයේ සත්වන සංවත්සරයට දින දෙකකට පෙර, වෙනෙසුවෙලාවේ ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේය.

(The Nation පත්‍රයේ පලවූ ඉංග්‍රීසි ලිපිය... මගේ පරණ ඉංග්‍රීසි බ්ලොග් පෝස්ට් එකකිනි).

Saturday, March 9, 2013

ලෝකයේ විශාලතම පාර්ලිමේන්තු ගොඩනැගිල්ල



පවතින දේශපාලන ක්‍රමය කුමක් වුවද, ලෝකයේ සෑම රටකම ව්‍යවස්ථාදායකයක් ඇත. පාර්ලිමේන්තුව, ජාතික සභාව යනාදී විවිධ නම්වලින් එය හැඳින්වෙන අතර ඇතැම් රටවල ව්‍යවස්ථාදායකයට එම රටටම ආවේනික නම්ද පවතී. කෙසේ හෝ වේවා, මෙම ව්‍යවස්ථාදායකයන් රැස්වන විශේෂිත ගොඩනැගිල්ලක් ඒ ඒ රටවල වන අතර එය එම රටේ වැදගත් ස්ථානයක් ලෙස ගැනේ. මෙම ලිපියෙහි අපි ඒ සියල්ල "පාර්ලිමේන්තු ගොඩනැගිලි" ලෙස හඳුන්වමු.

ලෝකයේ තිබෙන මෙවන් පාර්ලිමේන්තු ගොඩනැගිලි අතරින් විශාලම ගොඩනැගිල්ල කුමක් විය හැකිද? එය ලෝකයේ ජනාධිකම රටවන චීනයේ ජාතික මහජන කොංග්‍රස් ගොඩනැගිල්ල හෝ ජනාධිකම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය වන ඉන්දියාවේ ලෝක් සභා ගොඩනැගිල්ල හෝ ලෝකෙට ලොක්කා ලෙස ගැනෙන ඇමරිකා එක්සත් ජනපදයේ කොංග්‍රස් සභා ගොඩනැගිල්ල හෝ විශාලත්වයෙන් ලෝකයේ විශාලතම රට වන රුසියාවේ ඩූමාව හෝ වන්නට ඇතැයි කෙනෙක් සිතයි නම් එය සාධාරණය. එහෙත් ලෝකයේ විශාලතම පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වන්නේ මෙයින් එකක්වත් නොවේ.

ඇත්තෙන්ම මේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙහි විශාලත්වය සමඟ සංසන්දනය කරන විට අනෙක් සියලු පාර්ලිමේන්තු ගොඩනැගිලි අඟුටුමිට්ටන් වැනිය. උදාහරණයක් ලෙස ගතහොත් ලෝකයේ වැඩිම සාමාජිකයන් සංඛ්‍යාවක් සිටින චීනයේ ජාතික මහජන කොංග්‍රසය (නියෝජිතයින් 2987) රැස්වන මහජනයාගේ උත්තරීතර ශාලාවේ (Great Hall of the People) භූමි ක්ෂෙත්‍රඵලය වර්ග මීටර 171,800 ක් වන අතර අපගේ අවධානයට ලක් වන පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ භූමි ක්ෂෙත්‍රඵලය එමෙන් දෙගුණයකි; එනම් වර්ග මීටර් 340,000 කි.

මේ ඔබ දකින්නේ එම ගොඩනැගිල්ලේ ඡායාරූපයක්.



People's Palace, Bucharest, Romania. Photo by Michael Day. Wikimedia Commons.



මේ නැගෙනහිර යුරෝපා රටක් වන රුමේනියාවේ බුකාරෙස්ට් අගනුවර පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල. මෙය 1965-1989 කාලයේ රුමේනියා කොමියුනිස්ට් පක්ෂ මහලේකම් සහ 1967-1989 සමයේ එරට ජනාධිපති වූ නිකොලයේ චෞසෙස්කු (Nicolae Ceausescu) නම් ඒකාධිපතියාගේ සංකල්පයකි. ස්පිරී කන්ද, අවි ගබඩා කන්ද සහ යුරේනස් කන්ද වැනි නම්වලින් හඳුන්වන ලද කන්ද කපා, ඒ අවට වූ ඓතිහාසික ස්ථාන ගණනාවක් විනාශ කොට ඔහු මෙම ගොඩනැගිල්ල ඉදි කිරීම ඇරඹීය. ඒ 1984 ජූනි මාසයේදීය. රුමේනියාවේ කඩා වැටුන ආර්ථිකයට මෙම ව්‍යාපෘතිය මහත් බරක් විය. 1989 දෙසැම්බර් 25 වනදා චෞසෙස්කු බලයෙන් පහ කොට මරා දමන විටත් එය නිමවා අවසන්ව නොතිබිණ.

චෞසෙස්කුගේ සමයෙහි ජනරජ මන්දිරය (Casa Republicii) ලෙස හඳුන්වනු ලැබූ මෙම ගොඩනැගිල්ල අද හඳුන්වනු ලබන්නේ ජනතාවගේ මන්දිරය (Casa Poporului) ලෙසය. මෙහි දිග සහ පළල මීටර 270 ක් සහ 240 ක් වන අතර උස මීටර 86 කි. මීට අමතරව මීටර 92 ක් ගැඹුරට බිම් මහල් තනා ඇත. ගොඩනැගිල්ලේ පොළවෙන් ඉහල ඇතැම් කොටස් සහ භූගත කොටස් රැසක් තවම නිමවා නැත. එමෙන්ම එහි කාමර 1100 න්, සැලකියයුතු ප්‍රමාණයක් හිස්ය. ගොඩනැගිල්ල මුළුමනින්ම පාහේ දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන සාදා ඇතැයි කියවේ. චෞසෙස්කු සිය පාලන සමයෙහි අවසන් වසර කිහිපයේ බොහෝ රටවල් සමඟ එතරම් යහපත් සබඳතාවක් නොපැවැත්වීමත්, ආර්ථිකය බොහෝ පහත අඩියක පැවතීමත් නිසා ඔහුට වෙනත් විකල්පයක්ද නොතිබෙන්නට ඇත.



පාර්ලිමේන්තු මන්දිරය ඇතුලත ශාලාවක්. Ferran Cornella, Wikimedia Commons.



චෞසෙස්කුට අවැසි වූයේ රුමේනියානු රාජ්‍යයේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ආයතන ත්‍රිත්වයම ඔහුගේ ජනරජ මන්දිරයට රැගෙන ඒමටය. ඔහුගෙන් පසුව රුමේනියාව පාලනය කල අය පාර්ලිමේන්තුව පමණක් මෙම ගොඩනැගිල්ලට ගෙන ඒමට ක්‍රියා කළහ.

රුමේනියානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඒකාධිපතියකුගේ මාන්නක්කාර අදහස් පිළිබඳ වැදගත් සංකේතයකි. සිය ජනතාව කුසගින්නේ සිටියදී, ඇතැම් කාලවල දිනකට පැය තුනක් පමණක් විදුලි බලය සැපයීමට හැකියාව තිබියදී මෙවන් විශාල ව්‍යාපෘතිවල නිරත වීම කෙතරම් අනුචිතදැයි චෞසෙස්කුට වැටහෙන්නට නැත. ඔහුව බලයෙන් නෙරපා හැර, අල්ලාගත් පසු ව්‍යාජ නඩු විභාගයක් කොට මරා දමන ලදී. මරණය අබියස පවා ඔහු පවසා සිටියේ තමා ජනතාවට සේවය කල බවත් ජනතාවගේ නායකයා බවත්ය.

සටහන: චෞසෙස්කු සිය 'නඩු විභාගයේදී' කියා සිටියේ තමාට එරෙහිව නැගී සිටියේ සාමාන්‍ය ජනතාව නොව කුමන්ත්‍රණකරුවන් පිරිසක් බවය. ඔහුගේ අනුගාමිකයින් කිහිප දෙනා අදටත් විශ්වාස කරන්නේ එසේය. ජනතාව ඔහුට විරුද්ධව නැගී නොසිටියේ යයි කිව නොහැකි නමුත් ඔවුන්ව උසි ගැන්වීමට යම් කිසි පිරිසක් කටයුතු කල බවට සාධාරණ සැකයක් පවතී.

Monday, February 25, 2013

කොමියුනිස්ට්වාදීන් චෙකොස්ලොවාකියාවේ බලය අල්ලා ගැනීම


1948 පෙබරවාරි 25 වනදා කොමියුනිස්ට්වාදීන් චෙකොස්ලෝවාකියාවේ බලය අල්ලා ගැනීම සහ ඊට පසළොස් වසකට පෙර හිට්ලර් බලයට පැමිණීම අතර සමානකම් කිහිපයක්ම පවතී. දෙවන ලෝක යුධ සමයෙහි හැරුණු විට, සිය කෙටි ඉතිහාසය පුරාවටම ප්‍රජාතාන්ත්‍රික පාලනයක් පැවති චෙකොස්ලෝවාකියාව මෙසේ 41 අවුරුද්දක කොමියුනිස්ට් පාලනය යුගයක් ආරම්භ කළේය.

යුරෝපා සිතියමේ චෙකොස්ලොවාකියාවේ පිහිටීම පවා එය නැගනහිර යුරෝපා රටකට වඩා බටහිර යුරෝපා රටකට සමානකම් පෙන්වන බවට සංකේතයක් මෙන් විය. මන්ද, එරට නැගෙනහිර යුරෝපයේ සිට බටහිර යුරෝපයට නැඹුරු වී මෙන් පිහිටි හෙයිනි. නමුත් 1945 වසරේ එරට ජර්මන් පාලනයෙන් ගලවා ගත්තේ සෝවියට් රතු හමුදාවයි. රතු හමුදා ප්‍රාග් අගනුවරට ඇතුළු වූයේ මැයි 9 වනදා, එනම් ජර්මනිය යටත් වී දින දෙකකිනි. ඊට පෙර ඇමරිකානු හමුදාවලට ප්‍රාග් වෙත පැමිණීමේ හැකියාව තිබුණද, සෝවියට් දේශය සමඟ ඇති කරගෙන තිබූ එකඟතාවය අනුව ඔව්හු එසේ නොකළහ. කෙසේ වුවද, මින් සිදු වූයේ, චෙකොස්ලොවාකියාව නිදහස් කරගැනීමේ ගෞරවය හිමි වියයුතු වන්නේ තමන්ට බව සෝවියට් දේශයට ප්‍රකාශ කළහැකි වීමයි.



දෙවන ලෝක යුද්ධයට පෙර සහ පසු චෙකොස්ලොවාකියාව, Wikimedia Commons.



ලෝක යුද්ධ අතරමැදි සමය (1918-1939) මුළුල්ලේම පාහේ (1939 මාර්තුවේ ජර්මනිය විසින් අල්ලා ගන්නා තුරු) ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ආරක්ෂා කරගත් එකම නැගෙනහිර හෝ මධ්‍යම හෝ යුරෝපා රාජ්‍යය වූයේ චෙකොස්ලොවාකියාව ය. 1921 බිහිවූ චෙකොස්ලොවාකියාවේ කොමියුනිස්ට් පක්ෂය (Komunistická strana Československa, KSČ) එරටෙහි වැදගත් දේශපාලන බලවේගයක් විය. 1925 මහ මැතිවරණයේදී සියයට 13.2 ක් ඡන්ද ලැබූ පක්ෂය 1929 සහ 1935 මැතිවරණවලදී සියයට 10 යාන්තමින් ඉක්මවා ගියේය. 1938 දී පක්ෂය තහනම් කරන ලදී.

දෙවන ලෝක යුද්ධය අවසන් වූ පසු කොමියුනිස්ට් පක්ෂය කෙදිනකටත් වඩා ජනප්‍රිය වූයේය. යුධ සමයෙහි දිගටම නාසි විරෝධී සටනට දායක වීම, චෙකොස්ලොවාකියාවේ විමුක්ති දායකයන් වූ සෝවියට් දේශය කෙරෙහි වූ ජනතා ප්‍රසාදය, අනෙක් පක්ෂ සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම වැනි කරුණු මීට හේතු විය. කොමියුනිස්ට් නායක ක්ලෙමන්ට් ගොට්වාල්ඩ් වරෙක ප්‍රකාශ කලේ "වාසිදායක තත්ත්වයක් පැවතුනද අපේ ඊළඟ අරමුණ සෝවියට් ක්‍රමය හෝ සමාජවාදය හෝ නොව පූර්ණ ජාතික විප්ලවයක් ක්‍රියාත්මක කිරීමයි" යනුවෙනි.

1946 මැයි 28 වනදා පවතී මහ මැතිවරණයෙන් කොමියුනිස්ට් පක්ෂය සියයට 30 ඉක්මවූ ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ආසන 300 න් 93 ක් දිනාගත්තේය. මෙය නැගෙනහිර යුරෝපයේ කොමියුනිස්ට් පක්ෂයක් නිදහස් මැතිවරණයකදී ලබාගත් වැඩිම ඡන්ද ප්‍රතිශතයය. එමෙන්ම, මෙම මැතිවරණයේදී දෙවන තැන ලබාගත් චෙකොස්ලෝවැක් ජාතික සමාජවාදී පක්ෂය ලැබුවේ ආසන 55 ක් පමණි. මේ අනුව කොමියුනිස්ට් පක්ෂය නැතිව ආණ්ඩුවක් පිහිටුවීම කල නොහැක්කක් බවට පත් වී තිබිණ. එහෙයින් මැතිවරණයෙන් පසු ජනාධිපති එඩ්වාර්ඩ් බෙනෙෂ් විසින් ක්ලෙමන්ට් ගොට්වාල්ඩ් අගමැති ධූරයට පත් කරන ලදී. කැබිනට් අමාත්‍යවරුන්ගෙන් බහුතරය, එනම් 26 දෙනෙකුගෙන් 17 දෙනකුම කොමියුනිස්ට්වාදීන් නොවීය. නමුත් 1933 දී හිට්ලර් කල පරිද්දෙන් අගමැති ධූරය සහ වැදගත් ඇමති ධූර කිහිපයක්ම කොමියුනිස්ට්වාදීන් විසින් තම පාක්ෂිකයන් වෙත ලබා ගන්නා ලදී. මේ අනුව යුධ හමුදාව සහ පොලිසියද, ජනමාධ්‍යද, අධ්‍යාපනය සහ සමාජ සේවා කටයුතුද, කෘෂිකර්මාන්තයද පැවතියේ කොමියුනිස්ට් ඇමතිවරුන් යටතේය. එහෙයින් රාජ්‍ය ආරක්ෂාව සහ සිවිල් සේවය සම්පූර්ණයෙන්ම පාහේ කොමියුනිස්ට්වාදීන්ගේ පාලනයට යටත් විය.



චෙකොස්ලොවාකියාවේ හිටපු ජනාධිපති එඩ්වාර්ඩ් බෙනෙෂ්, Wikimedia Commons.



කෙසේ නමුත් පොලිසිය යොදා ගනිමින් විරුද්ධවාදීන්ට පීඩා කිරීමත්, වැටුප් වැඩි නොකර වැඩිපුර වැඩ කිරීමට ජනතාවට බල කිරීමත්, සමූහ ගොවිපල ක්‍රමය හඳුන්වා දීමට අදහස් පල වීමත් යනාදී කරුණු හේතුවෙන් කෙටි කලක් තුලදී කොමියුනිස්ට් පක්ෂය ජනප්‍රියත්වයෙන් පහල ගියේය. 1948 මැයි මාසයේ පැවැත්වීමට නියමිත වූ මහ මැතිවරණය ඔවුනට අන්ත පරාජයක් අත්කර දෙනු ඇතැයි යන්න සාමාන්‍ය විශ්වාසය විය. නමුත් ඊට ප්‍රථම රාජ්‍ය බලය අල්ලා ගැනීම කොමියුනිස්ට්වාදීන්ගේ අපේක්ෂාව විය.

1947 අවසානය වනවිට ආණ්ඩුව තුල ගැටුම් මතු වෙමින් තිබුනද, එය උත්සන්න වූයේ 1948 පෙබරවාරි මුලය. කොමියුනිස්ට්වාදියකු වූ අභ්‍යන්තර කටයුතු ඇමති වක්ලාව් නෝසෙක් කොමියුනිස්ට්වාදීන් නොවූ ඉහල පෙලේ පොලිස් නිලධාරීන් පිරිසක් සේවයෙන් ඉවත් කළ අතර එමගින් ඔහු සිය බලය අතික්‍රමණය කල බවට කොමියුනිස්ට් නොවන කැබිනට් ඇමතිවරු චෝදනා එල්ල කළහ. මෙහිදී ඇතිවූ මත ගැටුම අතරවාරයේ කැබිනට් මණ්ඩලයේ බහුතරයක් විසින් එම නිලධාරීන් නැවත සේවයේ පිහිටුවිය යුතු බවට නිර්දේශ කල අතර නෝසෙක් එම නිර්දේශය ක්‍රියාත්මක කිරීම පැහැර හැරියේය. මේ අවස්ථාවේ කොමියුනිස්ට් නොවන ඇමතිවරුන් ජනාධිපති බෙනේෂ් වෙත ආයාචනය කලේ සිය නිර්දේශ ක්‍රියාත්මක නොකරන කොමියුනිස්ට් ඇමැතිවරුනට දඬුවම් කරන ලෙසය. පෙබරවාරි 21 වනදා කොමියුනිස්ට් නොවන ඇමතිවරු 12 දෙනෙක් සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයාට භාර දුන්හ.

ජනපති බෙනෙෂ් මෙම ඉල්ලා අස්වීම් භාර නොගෙන හදිසි මැතිවරණයකට ගියේ නම් කොමියුනිස්ට් පක්ෂය පරාජය වන්නට ඉඩ තිබුණි. නමුත් මේ වනවිට රට පුරා කොමියුනිස්ට්වාදී උද්ඝෝෂණ උත්සන්න වෙමින් පැවතුන අතර රටේ දේශසීමාවට එහා පැත්තේ රතු හමුදාව ඕනෑම තත්ත්වයක් සඳහා සැදී පැහැදී සිටියේය. ප්‍රාග් නගරය කොමියුනිස්ට් මිලීෂියා භටයන්ගේ සහ පොලිසියේ පාලනයට යටත් වූ අතර කොමියුනිස්ට් විරෝධී ඇමැතිවරුනට ඔවුනගේ අමාත්‍යාංශවලට යාමට පවා නොහැකි විය. කොමියුනිස්ට් විරෝධී පෙළපාලි මර්ධනය කරන ලදී. මේ අතර ලක්ෂයක පමණ ජනකායක් අමතමින් ක්ලෙමන්ට් ගොට්වාල්ඩ් කියා සිටියේ කොමියුනිස්ට්වාදීන්ගේ බහුතරයකින් යුතු කැබිනට් මණ්ඩලයක් ජනාධිපතිවරයා විසින් පත් නොකරන්නේ නම් මහා වැඩවර්ජනයක් අරඹන බවය. එම අවදානම භාර ගැනීමට අකමැති වූ බෙනෙෂ් පෙබරවාරි 25 වනදා කොමියුනිස්ට් විරෝධී ඇමතිවරුන්ගේ ඉල්ලා අස්වීම් භාරගෙන නව ආණ්ඩුවක් පිහිටුවීමට ගොට්වාල්ඩ්ට ඇරයුම් කළේය.



අන්තර්ජාතික ශිෂ්‍ය උළෙල (බුඩාපෙස්ට්, හංගේරියාව, 1949 අගෝස්තු) අවසන් ආචාර පෙළපාලියේදී චෙකොස්ලෝවැක් නියෝජිත පිරිස ස්ටාලින්ගේ (දකුණේ) සහ ගොට්වාල්ඩ්ගේ රුව සහිත පුවරු රැගෙන යති. (German Federal Archive) Bundesarchiv, Bild 183-R90009 / CC-BY-SA. Wikimedia Commons.



නව කැබිනට් මණ්ඩලයේ කොමියුනිස්ට් නොවන ඇමතිවරුන්ද කිහිප දෙනෙක් දක්නට ලැබුණහ. ඉන් ප්‍රධාන වූයේ විදෙස් ඇමතිවරයා සහ චෙකොස්ලොවාකියාවේ පළමු ජනාධිපතිවරයාගේ පුත්‍රයා වූ යාන් මසාරික් ය. නමුත් 1948 මාර්තු 10 වනදා ඔහු සැකසහිත මරණයකට ගොදුරු විය.

1948 පෙබරවාරි චෙකොස්ලෝවැක් කුමන්ත්‍රණය ලෙස කොමියුනිස්ට් විරෝධීන් විසින් හඳුන්වනු ලබව මෙම සිදුවීම් මාලාව කොමියුනිස්ට්වාදීන් විසින් හඳුන්වා දෙන ලද්දේ "විජයග්‍රාහී පෙබරවාරිය" ලෙසය. මෙම සිදුවීම් මාලාව විසින් යුරෝපා ඉතිහාසය උඩු යටිකුරු කරන ලදී. යුරෝපය තුල කොමියුනිස්ට්වාදීන්ට යම් ප්‍රසාදයක් වී නම් එය මේ සිද්ධිය මඟින් බොහෝ දුරට යටපත් විය. මෙතෙක් කලක් එක්සත් ජර්මනියක් කෙරේ බිය වූ ප්‍රංශය සිය භීතිය පසෙක ලා ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය සමඟ එකතු වී රටවල් තුන විසින් පාලනය කල ජර්මන් ප්‍රදේශ එකම කලාපයක් බවට පත් කළාය. 1949 මැයි මාසයේ බටහිර ජර්මනිය බිහි වූයේ එම එකමුතුව තුලිනි. මේ අතර බටහිර යුරෝපයේ කොමියුනිස්ට් පක්ෂවල ක්‍රියාකාරකම් පාලනය කිරීමට විවිධ පියවර ගන්නා ලදී. යුද්ධයෙන් බැට කෑ යුරෝපා රටවලට ආධාර කිරීමට ඇමරිකාවෙන් ක්‍රියාත්මක කළ 'මාර්ෂල් සැලැස්ම' ඉක්මන් කරන ලදී. මේ අතර 1949 දී උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝ සංවිධානය බිහි විය. නිරවි යුද්ධය වෙනමම මානයකට රැගෙන යාමට 1948 පෙබරවාරියේ චෙකොස්ලොවාකියාවේ සිදු වූ සිද්ධීන් හේතු විය.

මහත් සිත් තැවුලට සහ හුදෙකලාවට පත් එඩ්වාර්ඩ් බෙනෙෂ් 1948 ජුනි මාසයේ ජනාධිපති ධූරයෙන් ඉවත් වූ අතර සැප්තැම්බර් 3 වනදා මිය ගියේය. ඔහුගේ වයස ඒ වනවිට අවුරුදු 64 ක් පමණක් විය. ක්ලෙමන්ට් ගොට්වාල්ඩ් ජනාධිපති ධූරයට පත්ව 1953 මාර්තු 14 වනදා ඔහුගේ මරණය තෙක් එම ධූරය දැරීය. ස්ටාලින්ගේ අවමංගල්‍යය උත්සවයෙන් දින පහකට පසු ඔහු මියයන විට 57 වන විය සපුරා තිබුනේ නැත. කෙසේ වුවද 1968 දක්වාම චෙකොස්ලොවාකියාව පාලනය කලේ දැඩි කොමියුනිස්ට් නායකයන්ය. 1968 දී "ප්‍රාග් වසන්තය" නමින් හැඳින්වෙන ක්‍රියාවලිය මගින් එම පාලනයේ යම් ලිහිල් වීමක් සිදු වුවද එහි ප්‍රතිපලය වූයේ එම වසරේ අගෝස්තුවේදී සෝවියට් හමුදා එරට ආක්‍රමණය කිරීමයි. 1989 "වෙල්වට් විප්ලවය" වනතුරු යලිත් එරට දැඩි කොමියුනිස්ට් පාලනයකට යටත් විය.

Sunday, February 24, 2013

ඉක්වදෝරයේ රෆායල් කොරයා ලතින් ඇමරිකාවේ මීළඟ වාමාංශික නියමුවාද?


ඉක්වදෝරයේ ජනාධිපති රෆායල් කොරයා රාජ්‍ය නායකයින් අතර තරුණයෙකි. ඔහුගේ පනස්වන උපන්දිනය යෙදී ඇත්තේ මෙම වසරේ අප්‍රේල් 6 වනදාය. එමෙන්ම ඔහු උගතෙකි. ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ඔහු ලබාගෙන ඇත්තේ ඇමරිකාවේ ඉහලම සරසවියක් වන ඉලිනෝයි සරසවිය-අර්බානා ෂැම්පේන් සරසවියෙනි. 2007 සිට ඉක්වදෝරයේ ජනාධිපති ලෙස කටයුතු කරන ඔහු එරටට අවශ්‍ය වූ දේශපාලන ස්ථාවරත්වය අත් කරදී ඇත. 2012 සැප්තැම්බරයේදී ඔහුගේ ජනප්‍රියත්වය සියයට 80 ක් විය. ජනාධිපති පත් වී වසර පහක් ගතවූ පසු එතරම් ජනප්‍රියත්වයක් හිමිකරගත් නායකයකු ලතින් ඇමරිකාවේ තබා සමස්ථ ලෝකයේම වුවද සිටීදැයි සැක සහිතය.



ඔටවාලෝ ප්‍රදේශයේදී ජනතාව හමුවූ ජනපති රෆායල් කොරයා (2011) Wikimedia Commons.



මෙවන් තත්ත්වයක් යටතේ 2013 ඉක්වදෝර් මහා මැතිවරණය පිළිබඳ බොහෝ දෙනා තුල සැකයක් නොවීය. පෙබරවාරි 17 වනදා පැවති මැතිවරණයේදී එරට ව්‍යවස්ථාදායකය සඳහා ඡන්දය මෙන්ම ජනාධිපතිවරණයේ පළමු වටයද පවත්වන ලදී. ව්‍යවස්ථාදායකයේ ආසන 137 න් 92 ක්ම දිනා ගත්තේ කොරයාගේ PAIS සන්ධානයයි. (Alianza PAIS හෙවත් Alianza Patria Altiva I Soberana යනු ප්‍රෞඪ හා ස්වෛරී පීතෘභූමි සන්ධානය යන්නයි. ස්පාඤ්ඤ භාෂාවෙන් pais යන වදනේ තේරුම 'රට' යන්නයි). ජනාධිපතිවරණයේ දෙවන වටයක් පැවැත්වීමට අවශ්‍යතාවයක් නොවීය. කොරයා සියයට 56 ක් ඡන්ද ලබා ජයග්‍රහණය කල අතර ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියාට ලැබුනේ සියයට 23 ක ඡන්ද ප්‍රමාණයක් පමණි. ඔහු මැතිවරණය අවසාන වූ විගස සිය පරාජය භාර ගත්තේය.

රෆායල් කොරයාගේ ජයග්‍රහණය පිළිබඳව පුවත කෙරෙහි එතරම් අවධානයක් යොමු නොවූයේ ඒ සමඟම සිදුවූ තවත් වැදගත් සිදුවීමකිනි. එනම් මාස දෙකක් තිස්සේ කියුබාවේ ප්‍රතිකාර ලැබූ හියුගෝ චාවේස් පෙබරවාරි 18 වනදා යළි වෙනෙසුවේලාවට ළඟා වීමයි. පිළිකාවෙන් පීඩා විඳින චාවේස්ගේ සෞඛ්‍යය තත්ත්වය අයහපත් වීමත් සමඟ වෙනෙසුවේලාවේ පමණක් නොව චාවේස් විසින් ගොඩ නංවන ලද වාමාංශික එකමුතුවේ අනාගතයද අවිනිශ්චිත විය. ලතින් ඇමරිකාව තුල චාවේස්ගේ අඩුව පිරවීමට ඉදිරිපත් වූයේ ඉක්වදෝරයේ රෆායල් කොරයාය.

කාලයක් තිස්සේ ඉක්වදෝරයේ පැවති දක්ෂිනාංශික ආණ්ඩු පිළිබඳව කලකිරී සිටි ජනතාව 2006 ජනාධිපතිවරණයේදී වාමාංශික නායකයකු වූ රෆායල් කොරයාට ජයග්‍රහණය ලබා දුන්හ. 2007 ජනවාරියේ වැඩ භාරගත් හෙතෙම 2008 දී ඉක්වදෝරයේ විදේශ ණය ගෙවීම ප්‍රතික්ෂේප කළේය. 2009 ජනාධිපතිවරණයෙන් ද ඔහු පහසු ජයක් ලැබූ නමුත් මෙවර 2013 මැතිවරණයේදී ඔහු ලබාගත් ඡන්ද ප්‍රතිශතය පෙර දෙවතාවටම වඩා වැඩිය.

දුප්පත්කම අඩු කිරීම, ඉඩම් ප්‍රතිසංස්කරණ ආදිය ඔහුගේ දේශීය ප්‍රතිපත්තිවල ප්‍රධාන අංග වෙති. වගා නොකරන ඉඩම් අයිතිකරුවන්ගෙන් පවරාගෙන ඉඩම් නැති ගොවීන්ට ලබාදීම ඔහුගේ ඉඩම් ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණයි. මේ අතරම ඉක්වදෝරයේ ස්වාභාවික සම්පත්වලින් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීම ඔහුගේ බලාපොරොත්තුවකි. ඛනිජතෙල් සහ ආකාර කර්මාන්ත දියුණු කිරීම කෙරෙහි ඔහුගේ අවධානය යොමු වී ඇත. "අපට රත්‍රන් මල්ලක් මත සිටින හිඟන්නන් විය නොහැක" යනුවෙන් ඔහු වරක් සඳහන් කළේය. නමුත් කාර්මික සංවර්ධනයට අවශ්‍ය විදෙස් ආයෝජන එරටට ළඟා වීම පසුගිය වසරවලදී අඩු වී තිබීම ජනපති කොරයා මුහුණදෙන ප්‍රධානතම බාධකයකි. එම බාධකයෙන් එතෙර වීමට ඔහු අපේක්ෂා කරන්නේ චීනය වැනි රටවල් සමඟ මිත්‍රත්වය වර්ධනය කරගැනීමෙනි.

ජනමාධ්‍ය පාලනයේදී රෆායල් කොරයා ඔහුගේ මිතුරු හියුගෝ චාවේස්ට වඩා දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරයි. රජයට විරුද්ධ මාධ්‍ය වෙනෙසුවේලාවේ සාමාන්‍යයෙන් නිදහසේ ක්‍රියාත්මක වන නමුත් ඉක්වදෝරයේ නම් ඊට එතරම් ඉඩ හසර නොලැබේ. අවස්ථා කිහිපයකදීම විරුද්ධවාදී මාධ්‍යවේදීන්ට එරෙහිව නඩුහබවල පැටලුන රෆායල් කොරයා ඒවායින් ජයග්‍රහණද ලබා ඇත.



වමේ සිට පැරගුවේ, බොලිවියාව, බ්‍රසීලය, ඉක්වදෝරය සහ වෙනෙසුවේලා රටවල ජනාධිපතිවරු. (2009 ජනවාරි), Fabio Rodrigues Pozzebom/ABr (Agencia Brazil) Wikimedia Commons.



සිය විදෙස් ප්‍රතිපත්තියේදී රෆායල් කොරයා ඇමරිකන් විරෝධී වාමාංශික නායකයෙකි. 2012 දී විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ්ට දේශපාලන රැකවරණ ලබාදීමට එකඟ වීමත් 2009 දී එතෙක් ඇමරිකානුවන් භාවිතා කල ගුවන් හමුදා කඳවුරක් සඳහා වූ බද්ද දීර්ඝ නොකිරීමත් ඊට උදාහරණ දෙකකි. චාවේස් විසින් නිර්මාණය කල අපේ ඇමරිකානු ජනතාවන් සඳහා වන බොලිවාරියානු සන්ධානය (Alianza Bolivariana para los Pueblos de Nuestra América-ALBA) නම් ජාත්‍යන්තර සංවිධානයේ ක්‍රියාකාරී නායකයෙකි. 2009 ජුනි මාසයේ ඉක්වදෝරය මෙම සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට පෙර එහි වූයේ සාමාජික රටවල් 4 ක් පමණි. දැනට සමස්ථ සාමාජිකත්වය 8 කි. මේ අතර වෙනත් ප්‍රාදේශීය අන්තර්ජාතික සංවිධාන කිහිපයකම ඉක්වදෝරය ක්‍රියාකාරීව කටයුතු කරයි.

වෙනෙසුවේලාවේ ජනාධිපත් චාවේස් රෆායල් කොරයා වෙත සුබ පැතුම් පණිවිඩයක් එව්වේය. එමගින්, ALBA සංවිධානයටත් ඇමරිකානු රටවල බොලිවාරියානු සහ සමාජවාදී ව්‍යාපාරයනටත් රෆායල් කොරයාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයේ වැදගත්කම පිළිබඳව අදහස් දැක්වීය.

දෙවන ලෝක යුද්ධයේදී ජපනාට එරෙහිව කල පළමු ප්‍රහාරක මෙහෙයුම-ග්වාඩල්කනාල් යුධ ව්‍යාපාරය


1941 දෙසැම්බර් 7 වනදා පර්ල් හාබර් වෙත එල්ල කල ප්‍රහාරයත් සමඟ ජපන් අධිරාජ්‍යය දෙවන ලෝක යුද්ධයට සම්බන්ධ විය. (1937 සිට ජපානය චීනය සමඟ යුද්ධයක පැටලී සිටියාය). කෙටි කලකින් ජපන් හමුදා නැගෙනහිර සහ අග්නිදිග ආසියාවේත්, දකුණු පැසිෆික් කලාපයේත් විශාල පෙදෙසක අණසක පැතිරූහ. පිළිවෙලින් 1942 මැයි සහ ජූනි මාසවල සිදුවූ කොරල් මුහුදේ සටන සහ මිඩ්වේ සටන විසින් පැසිෆික් සාගරයේ ජපන් ආක්‍රමණ සීමා කරන ලදී. මෙයින් මිඩ්වේ සටන ජපානය දෙවන ලෝක යුද්ධයේදී ලැබූ පළමු දරුණු පරාජය විය. මේ අතර 1942 අප්‍රේල් මාසයේ ලංකාවට බෝම්බ හෙලීම අසාර්ථක වීමෙන් පසු ඉන්දියානු සාගරය කරා වූ ජපන් ආක්‍රමණයක අවදානම බොහෝ දුරට පහ විය.

1942 මැයි මාසයේ කොරල් මුහුදේ සටනේදී කිසිදු පාර්ශවයකට පැහැදිලි ජයග්‍රහණයක් නොලැබුනද, එයින් පසුව දකුණු ශාන්තිකර (පැසිෆික්) සාගර ප්‍රදේශවල ජපන් නාවික හමුදා ක්‍රියාකාරකම් පාලනය විය. කෙසේ වුවද සොලමන් දූපත් ප්‍රදේශවල ජපන් හමුදා රැඳී සිටීම ඇමරිකාව සහ ඔස්ට්‍රේලියාව අතර ගමනාගමනයට තර්ජනයක් විය. මේ හේතුව නිසා, දකුණු සොලමන් දූපත්වල පිහිටි ග්වාඩල්කනාල් සහ අවශේෂ දූපත් කිහිපයක් අල්ලා ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කිරීමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කළාය.

ඇමරිකානු ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් ඩී. රූසවෙල්ට් තීරණය කොට තිබුනේ මුලින්ම ජර්මනිය පරාජය කොට ඉනික්බිති ජපානය පරාජය කල යුතු බවයි. එහෙයින්, ඇමරිකාවේ සියලු හමුදා අංශවල සහය මෙම ප්‍රහාරයට ලැබුනේ නැත. නාවික හමුදාව සහ මැරීන් භටයෝ මෙම ප්‍රහාරයට සම්බන්ධ වූහ. ඔවුනට ඕස්ට්‍රේලියානු, නවසීලන්ත සහ බ්‍රිතාන්‍ය සහය ලැබිණ.

ප්‍රහාරය ආරම්භ වූයේ 1942 අගෝස්තු 7 වනදා හිමිදිරි පාන්දරය. ප්‍රහාරක බලකාය කොටස් දෙකකට බෙදී, එක් කණ්ඩායමක් ග්වාඩල්කනාල් දූපතටද, අනෙක් කණ්ඩායම ටුලාගි ඇතුළු කුඩා දූපත් කිහිපයකටද ගොඩබස්වන ලදී. ටුලාගි දූපතේ සිටි කුඩා ජපන් සේනාංකය ප්‍රබල සටනකට පසු අගෝස්තු 8 වනවිට යටත් විය. ග්වාඩල්කනාල් දූපතේදී මුලින්ම එතරම් දැඩි ප්‍රතිරෝධයක් එල්ල නොවූ අතර, ඇමරිකානු මැරීන් භටයන් විසින් පසුව හෙන්ඩර්සන් ගුවන් තොටුපල ලෙස හඳුන්වන ලද ස්ථානය ඇතුළු ප්‍රදේශ කිහිපයක් අල්ලා ගන්නා ලදී.



ග්වාඩල්කනාල් වෙත ගොඩබැසීම, 1942 අගෝස්තු 7. Guadalcanal Landings, Aug. 7, 1942. Wikimedia Commons.



ප්‍රහාරය ආරම්භයේදී දූපතෙහි විශාල ජපන් හමුදා සේනාංකයක් නොවූ නමුත් ජපානය ග්වාඩල්කනාල් අතහැර දැමීමට සූදානම් නොවීය. මේ හේතුවෙන් වහ වහා සෙබළුන් ප්‍රවාහනය කිරීමට සිදු විය. සපයාගත හැකි වූ සියලු යාත්‍රා අවශ්‍ය පරිදි මේ සඳහා යොදා ගැනිණ. කෙසේ වුවද, හැකි පමණ සෙබළුන් ප්‍රවාහනය කිරීමට උත්සාහ කිරීමේදී, ඔවුනට ඇති තරම් බර ආයුධ සපයා දිය හැකි වූයේ නැත.

ඇමරිකානු හමුදාවලටද ග්වාඩල්කනාල් සටන් බිම කටුක අත්දැකීමක් විය. ඔවුනට සතුරු ප්‍රහාරවලට අමතරව අතීසාර වසංගතයකින්ද පීඩා විඳීමට සිදු විය. සෙබළුන්ට සටන් කිරීමට වූයේ, ජල දුර්ග, වන දුර්ග, ගිරි දුර්ග සහිත දිවයිනකය. කෙසේ වුවද, භූමියේ වූ මෙම තත්ත්වය ජපන් හමුදාවලටද එලෙසම බාධක රැසක් එල්ල කළේය. ඇමරිකන් හමුදා අල්ලාගත් ප්‍රදේශවලින් ඔවුන් පලවා හරිනු පිණිස එම ප්‍රදේශවලට හමුදා ප්‍රහාර එල්ල කල යුතු වූයේ ගොඩබිමිනි. ඒ සඳහා, ජපනුන්ට ගමන් කරන්නට සිදු වූයේ කටුක භූමියක් හරහාය. ඇමරිකන් භටයන්ටද ඉදිරියට යාමට එක් බාධකයක් වූයේ මේ භූමියේ ස්වභාවයයි. තවත් ගැටලුවක් වූයේ ජපන් ස්නයිපර්කරුවන්ගේ ප්‍රහාරයන්ය.

ග්වාඩල්කනාල් අවට මුහුදේ සහ ඊට ඉහල අහසේ නාවික සහ ගුවන් සටන් නිරන්තරයෙන්ම සිදු විය. නොවැම්බරයේදී සිදුවූ නාවික ගැටුම මින් ප්‍රධාන වේ. මෙහිදී, ජපන් හමුදා සහ සැපයුම් රැගත් නෞකා කණ්ඩායමකට ඇමරිකානු ප්‍රහාරයක් එල්ල වූ අතර සෙබළුන් සහ සැපයුම් විශාල ප්‍රමාණයකට ග්වාඩල්කනාල් දූපතට ළඟා විය හැකි නොවීය. මෙය ග්වාඩල්කනාල් සටනෙහි වැදගත් සන්ධිස්ථානයක් විය. මේ අතර නොවැම්බර් අවසන් භාගයේ සහ දෙසැම්බර් මුල් භාගයේ තවත් අවස්ථා කිහිපයකදී ජපන් හමුදාවලට අවශ්‍ය සැපයුම් ග්වාඩල්කනාල් වෙත නැව් මඟින් යැවීමට ගත් උත්සාහයන් කිහිපයක්ම ව්‍යර්ථ විය. මේ අනුව සටන දිගටම ගෙනයාම අසීරු බව දුටු ජපන් නාවික හමුදාව දූපත අතහැරීමට යෝජනා කළේය. 1942 අවසානයේ මෙම යෝජනාවට අනුමැතිය ලැබිණ. 1943 ජනවාරියේ හමුදා ඉවත් කරගැනීම ඇරඹුන අතර, පෙබරවාරි 9 වනවිට අවසන් ජපන් සේනාංක ග්වාඩල්කනාල් හැර ගියහ.

ග්වාඩල්කනාල් සටන් ව්‍යාපාරය දෙපක්ෂයටම ඉතා වැදගත් විය. මෙහිදී ජපන් හමුදාවලට මුහුණ දීමට සිදු වූයේ සංඛ්‍යාවෙන් විශාල ඇමරිකානු හමුදාවකටය. නමුත් ජපන් සෙබළුන් සංඛ්‍යාත්මකව අඩු වීමට තවත් හේතුවක් වූයේ, ජපන් හමුදාවලට අවශ්‍ය තරම් අතිරේක භටයන් ලබා ගැනීමට නොහැකි වීමයි. ඊට මූලික හේතුව වූයේ ඇමරිකානු ප්‍රහාරයන්ය.

ග්වාඩල්කනාල් සටන අවසන් වන විට ස්ටාලින්ග්‍රාඩ් සටන අවසාන වී ගතව තිබුනේ සතියකි. ජර්මන් යුධ ව්‍යාපාරය පිළිබඳ ස්ටාලින්ග්‍රාඩ් අනාවැකියක් වූවා සේම, ජපන් යුද්ධ ව්‍යාපාරය පිළිබඳ ග්වාඩල්කනාල් පැහැදිලි අනාවැකියක් ගෙනහැර දැක්වීය. තමන්ට වඩා බෙහෙවින් වැඩි කාර්මික ශක්තියක් තිබුණු ඇමරිකාව සමග දීර්ඝ කාලීන යුද්ධයක අවසානය තමාගේ පරාජයෙන් කෙළවර වන බව ඇතැම් ජපනුන් ග්වාඩල්කනාල්වලදී තේරුම් ගන්නට ඇත.

Friday, February 15, 2013

රුසියාවට ප්‍රහාරයක්! හැබැයි මේක උල්කාවක්.


යූරල් කඳු පාමුල පිහිටි, මිලියන 1.1ක් හෙවත් ලක්ෂ 11ක් ජනයා දිවි ගෙවන චෙල්යබින්ස්ක් නගරයේ ඉතිහාසය වසර 277ක් ඈතට දිවෙයි. මේ කාලය තුල එම නගර වැසියෝ ඒකාධිපති පාලනයන්, මහා සයිබීරියානු දුම්රිය මාර්ගය ඉදිකිරීම, රුසියානු සිවිල් යුද්ධය, ස්ටාලින්ගේ ඝාතන, සෝවියට් දේශය බිඳ වැටීම යනාදී විපර්යාසයන් දැක ඇත. නමුත් අද, එනම් 2013 පෙබරවාරි 15 වනදා උදෑසන සිදුවූ වැන්නක් මෑත ඉතිහාසයේ එම නගර වැසියෝ අත්විඳ නැත්තාහ.

"මම මුලින්ම දැක්කේ අහසේ වූ දීප්තිමත් ගින්නක්. ඉන්පසු දැවැන්ත පිපිරුමක් සිදුවුණා. ඉන් ජනෙල් බිඳී ගියා විතරක් නොවෙයි ජනෙල් රාමු පවා ගැලවී ආවා" රුසියානු ටෙලිවිෂන් (Russian TV-RT) සේවයට අදහස් දක්වමින් ටයිසියා අලබුසීනා නම් කාන්තාව ප්‍රකාශ කොට තිබුණි.

උල්කාවෙන් ඇති වූ දුමාරය, චෙල්යබින්ස්ක්. ඡායාරූපය නිකිතා ප්ලේහනොව්. (Chelyabinsk Meteor Trace 15-02-2013, Photo by Nikita Plekhanov), Wikimedia Commons.



චෙල්යබින්ස්ක් වේලාවෙන් උදෑසන 9.15 ට පමණ සිදු වූ මෙම සිද්ධියෙන් බොහෝ නගර වැසියෝ දැඩි ලෙස භීතියට පත්ව සිටියහ. ඇතැමුන් සිතුවේ පිටසක්වල ප්‍රහාරයක් එල්ලවන බවය. තවකෙක්ගේ මුල් සිතුවිල්ල වූයේ යුද්ධයක් ආරම්භ වී ඇති බවයි. කෙසේ නමුත් පසුව සත්‍ය සිද්ධිය, එනම් උල්කාපාත වැස්සක් වැටී උල්කා කිහිපයක් පොළවට වැටුන බව අනාවරණය වූ විට සමහර දෙනා සිතුවේ තවත් උල්කාපාත වැටෙනු ඇති බවයි. මේ අතර "උල්කා වැටෙනවා නම් චෙල්යබින්ස්ක් ඇරෙන්න වෙන තැනක් තිබුනෙම නැද්ද?" යයි මැසිවිලි නගන්නට ඇතැම්හු පෙළඹුනහ.

උල්කාපාත ප්‍රහාරයක් රුසියාවට එල්ල වූ පළමු අවස්ථාව මෙය නොවේ. 1908 දී සිදුවූ ටන්ගුස්කා සිද්ධිය මින් ඉතාම ප්‍රකට සිද්ධියයි. මෙහිදී උල්කාවක් පොලව හා ගැටුන බවක් විශ්වාස නොකෙරේ. විශාල උල්කාවක් නිසා ඇතිවූ වායු ධාරා හේතුවෙන් මෙය සිදුවූ බව කියවේ. නමුත් මෙම සිද්ධිය සිදුවූයේ පොඩ්කමනායා ටන්ගුස්කා නම් ගංගාව අසල වනාන්තරයේ බැවින් මිනිසුන්ට මින් හානියක් නොවීය. එසේම මේ පිලිබඳ අධ්‍යයනයක් කිරීමට වසර ගණනක් ගත විය. කෙසේ නමුත් මෙම සිද්ධියෙන් මිලියන ගණනක් ගස් කඩා වැටුන බව සඳහන්ය.

ජනාකීර්ණ ප්‍රදේශවලට නොවැටුන හෙයින් චෙල්යබින්ස්ක් උල්කා 'ප්‍රහාරයෙන්' සිදුවූ තුවාල බොහෝ විට සිදුවූයේ කැඩී බිඳී ගිය වීදුරු කැබලි හේතුවෙනි. රුසියානු ටෙලිවිෂනය සඳහන් කල පරිදි 725 දෙනෙක් විවිධ වෛද්‍යමය ප්‍රතිකාර සඳහා යොමු වූ අතර 112 දෙනෙක් රෝහල්ගත වූහ. එයින් දෙදෙනෙකුගේ තත්ත්වය අසාධ්‍ය බව සඳහන් විය. නගරයේ විශාලතම දේපල හානිය සිදුව ඇත්තේ එහි වන සින්ක් ලෝහ කර්මාන්තශාලාවටය. එහි වහලයේ කොටසක් කඩා වැටුන බව වාර්තා වේ.

මේ අතර උල්කා කැබලි හේතුවෙන් සෑරුණ ආවාට තුනක් ඒ ආසන්න ප්‍රදේශවලින් සොයාගෙන ඇතැයි වාර්තා විය. මින් දෙකක් නගරය ආසන්නයේම ඊට බටහිරින් වන චර්බාකුල් විල අසලින් සොයාගෙන ඇති අතර ඉන් එකක් මීටර හයක විශ්කම්භයෙන් යුතුයැයි වාර්තා වේ. අනෙක් ආවාටය නගරයට වයඹ දෙසින් කිලෝමීටර 80 ක් පමණ ඈතින් සොයාගෙන ඇත. කෙසේ වුවද මේ ප්‍රදේශවලින් අසාමාන්‍ය විකිරණශීලීතා වාර්තා වී නැත.

චෙල්යබින්ස්ක් උල්කා වැටීම රුසියාවේ සහ කසාක්ස්ථානයේ යාබද ප්‍රදේශවලට දිස් වී ඇත. කසාක්ස්ථානයේ බලධාරීන් කියා සිටියේ එම රටට වැටුනේ යයි සිතන කැබලි දෙකක් සොයා පරීක්ෂණ පැවැත්වෙන බවය.

නුහුරු නුපුරුදු උපද්‍රවයකින් මිනිසුන් කෙතරම් බිය වන්නේද යන්න මෙම සිද්ධිය මගින් යලිත් පැහැදිලි විය. 2012 ලෝක විනාශය පිළිබඳ මතුවූ අනාවැකි පවා ඇතැමුන්ට මතකයට නැගුන බව නිසැකය. අද දින බරපතල ජීවිත හානි නොවූවද, විශාල උල්කාවක් ජනාකීර්ණ ප්‍රදේශයකට වැටීමේ අවධානමත්, ඒ පිළිබඳ මිනිසාට කළහැකි දේ අවම වීමත් ගැන මෙම සිද්ධිය හේතුවෙන් අවධානය යොමු වනු නිසැකය. චෙල්යබින්ස්ක් නගරය වාසනාවන්ත වූ පරිදි වෙනත් නගරයක් වාසනාවන්ත වේද යන්න අප තුල පැන නගින ගැටලුවයි.

Tuesday, February 12, 2013

ස්ටාලින්ග්‍රාඩ් සංග්‍රාමයේ 70 වන සංවත්සරය (දෙවන කොටස)


පලවෙනි කොටස කියවලාම එන්න.

ජර්මන් හමුදාවෝ දිගින් දිගටම ස්ටාලින්ග්‍රාඩ් නගරයට පහර දෙනවිට ඊට මුහුණ දීම සඳහා සෝවියට් භටයන්ද විවිධ ක්‍රම සොයා ගත්හ. ඉන් එකක් වූයේ "වැළඳ ගැනීම" නම් උපක්‍රමයයි. සතුරාගේ වෙඩි බලයට එරෙහි උපායක් ලෙස ඔවුහු මේ ක්‍රමය භාවිතා කළහ. මෙයින් බලාපොරොත්තු වූයේ හැකි තරම් ප්‍රතිවාදියාට ළං වී සටන් කිරීමයි. එවිට ප්‍රතිවාදී කාලතුවක්කු සහ ගුවන් සේනාංකවල ප්‍රහාරවලින් බේරීමට සෝවියට් භටයන්ට හැකිවිය. මන්ද යත්, තමන්ගේ සෙබළුන්ට හානි වේ යන බියෙන් ජර්මන් සේනාංක එම ප්‍රදේශවලට බෝම්බ නොදැමූ බැවිනි.

ස්ටාලින්ග්‍රාඩ් සටනේ තවත් එක පැතිකඩක් වූයේ ස්නයිපර්කරුවන්ගේ ක්‍රියාකාරීත්වයයි. ගොඩනැගිලිවල සුන් බුන් අතර සැඟවුණු සෝවියට් සහ ජර්මන් ස්නයිපර්කරුවන්ගේ ගොදුරු බවට දෙපක්ෂයේම සිය ගණනක් සෙබළු පත් වූහ. ඇතැම් අවස්ථාවල, ස්නයිපර්කරුවන් දෙදෙනෙකු අතර ද්වන්දව සටන් පවා ඇති විය. සෝවියට් දේශයේ සුප්‍රසිද්ධම ස්නයිපර්කරුවා වූ වසීලී සයිට්සෙව් අතින් පමණක් මිය ගිය සතුරු සෙබළුන් ගණන 225 කට වැඩි මිසක් අඩු නොවේ. (විලියම් ක්‍රේග් විසින් ලියූ Enemy at the Gates: The Battle for Stalingrad නම් පොත සහ ඒ ඇසුරින් 2001 දී නිර්මාණය වූ Enemy at the Gates චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සයිට්සෙව් වෙයි).

ලිපියේ පළමු කොටසේ දැක්වූ පරිදි ජර්මන් හමුදා (6 වන ජර්මන් හමුදාව සහ 4 වන පැන්සර් හමුදාව) සිය සම්පූර්ණ අවධානය යොමු කලේ ස්ටාලින්ග්‍රාඩ් නගරයටය. එහෙයින් නගරයේ සිටි සෝවියට් භටයෝ දැඩි පීඩනයකට ලක් වූහ. නොවැම්බර් මැද වනවිට ඔවුන් අත වූයේ වොල්ගා නදී බඩ කුඩා බිම් ප්‍රදේශ දෙකක් පමණි. කෙසේ වුවත්, නගරයට පිටින් හමුදා පෙරමුණු දුර්වල තත්ත්වයක පැවති අතර ගඟෙන් එහා ඉවුරෙහි සෝවියට් හමුදා එක් රැස් වෙමින් පැවතිණ.

මෙම සෝවියට් හමුදා 1942 නොවැම්බර් 19 වනදා දියත් කළ "යුරේනස් මෙහෙයුමේ" ඉලක්කය වූයේ ස්ටාලින්ග්‍රාඩ් නගරයට පිටතින් ප්‍රදේශවල සිටි හමුදාය. නොවැම්බර් 19 වනදා, නගරයට උතුරින් සිටි 3 වන රුමේනියානු හමුදාව වෙත ජෙනරාල් නිකොලායි වටුටින් විසින් මෙහෙයවන ලද සෝවියට් හමුදා තුනක් (1 වන මුරභට හමුදාව, 5 වන යුධ ටැංකි හමුදාව සහ 21 වන හමුදාව) කඩා වැදුනහ. ඊළඟ දිනයේ ස්ටාලින්ග්‍රාඩ් නගරයට දකුණින් යුධ පෙරමුණ ආරක්ෂා කළ 4 වන රුමේනියානු හමුදාව වෙත 57 වන සහ 64 වන සෝවියට් හමුදා විසින් ප්‍රහාරයක් එල්ල කෙරිණ. මෙම රුමේනියානු හමුදා දෙකත්, අනෙක් අවශේෂ හමුදා කණ්ඩායමුත් ඔවුන් සිටි ප්‍රදේශවලින් වේගයෙන් පළවා හරින ලදී. නොවැම්බර් 23 වනදා වනවිට ස්ටාලින්ග්‍රාඩ් නගරයට නිරිතදිගින් පිහිටි කලාච් නම් නගරයේදී සෝවියට් හමුදා කණ්ඩායම් දෙක හමු වූහ. ස්ටාලින්ග්‍රාඩ් නගරයේ සිටි 6 වන ජර්මානු හමුදාව දින 4 ක් වැනි සුළු කාලයකදී වටලනු ලැබීය.

මේ වනවිට ජර්මන් ගුවන් බලය අභිබවමින් සෝවියට් ගුවන් බලය නැගී සිටීම ජර්මානුන්ගේ තත්ත්වය තවත් අපහසු කළේය. මුල් කාලයේ ස්ටාලින්ග්‍රාඩ් සටන් බිමට ඉහල අහස පාලනය කළෝ ජර්මන් ගුවන් යානා වූහ. එහෙත්, සෝවියට් ගුවන් යානා වැඩි වැඩියෙන් සටනට එක්වීමත් සමඟ ජර්මානුන්ට ඔවුන් හා තරඟ කිරීම අපහසු වන්නට විය.

මෙය කෙලින්ම බලපෑවේ වටලනු ලැබූ 6 වන හමුදාවටය. ජර්මන් ගුවන් හමුදා ප්‍රධානියා වූ හර්මන් ගෝරිං කියා සිටියේ ගුවන් මගින් එම හමුදාවට අවශ්‍ය ද්‍රව්‍ය සැපයීම කල හැකි බවය. නමුත් සතුරු ප්‍රහාර කිසිවක් නොවූවද අවශ්‍ය තරම් ආහාර පාන, අවි ආයුධ ආදිය ගුවනින් සැපයීම ප්‍රායෝගිකව කළහැක්කක් නොවීය. සෝවියට් ප්‍රහාර නිසා තත්ත්වය තවත් බැරෑරුම් වූයේය.

මේ අවස්ථාවේ හිට්ලර් නැවතත් යුධ ව්‍යාපාරය සමඟ 'පිස්සු නටන්නට' පටන් ගත්තේය. ඔහුගේ අදහස වූයේ 6 වන හමුදාව එක බිම් අඟලක්වත් පසුපසට පැමිණිය යුතු නොවන බවයි. ස්ටාලින්ග්‍රාඩ් අත හැරීමේ අදහසක් හිට්ලර්ට නොවීය. මේ අනුව ඔහුගේ අදහස වූයේ වෙනත් ජර්මන් හමුදාවක් ස්ටාලින්ග්‍රාඩ් දෙසට යවා 6 වන හමුදාව වටලෑමෙන් ගලවා ගැනීමයි. මේ අවස්ථාවේ ස්ටාලින්ග්‍රාඩ් ගලවා ගැනීමට එන හමුදාව නගරය කිට්ටුවටම පැමිණි අතර ඒ සමඟම නගරයේ සිටි හමුදාවද පහර දෙමින් පිටතට එන්නට උත්සාහ කලේ නම් එය සාර්ථක වන්නටද ඉඩ තිබිණ. නමුත් 6 වන හමුදාවට පසු බැසීමට අවසරයක් නොවූ බැවින් ඔවුනට සිදු වූයේ සහයක ජර්මානු හමුදා පැමිණෙන තෙක් බලා සිටීමටය. ජනරාල් එරික් ෆොන් මැන්ස්ටයින් විසින් නායකත්වය දුන් 'සිසිර කුණාටුව' නම් වූ මෙම ගලවාගැනීමේ මෙහෙයුමට සහභාගී වූ ඇතැම් ජර්මන් හමුදා කණ්ඩායම් නගරයට කිලෝ මීටර 50 කටත් වඩා ආසන්නයට පැමිණියහ. කෙසේ හෝ වේවා, සෝවියට් හමුදා විසින් එම උත්සාහයද වලකන ලදී.

1943 ජනවාරිය වනවිට ස්ටාලින්ග්‍රාඩ් නගරයේ ජර්මානුන්ගේ තත්ත්වය බරපතල විය. දැඩි ශීතල නිසා වූ අපහසුව ආහාර හිඟය විසින් දෙගුණ තෙගුණ කරන ලදී. ගුවනින් සැපයුම් කටයුතු කිරීම නරක කාලගුණය සහ සෝවියට් ගුවන් ප්‍රහාර හේතුවෙන් අතිශය අපහසු ව්‍යායාමයක් බවට පත්ව තිබිණ. දිනෙන් දින සෝවියට් හමුදාවෝ නගරයේ ප්‍රදේශ එකිනෙක නැවත අල්ලා ගත්හ.

සෝවියට් සොල්දාදුවෙක් ස්ටාලින්ග්‍රාඩ් නගර මධ්‍යයේ රතු ධජය ලෙළවයි, (1943 ජනවාරි) ජෝර්ජි සෙල්මාගේ ඡායාරූපයක් (ජර්මන් ෆෙඩරල් ලේඛනාගාරය), Bundesarchiv, Bild 183-W0506-316 / Georgii Zelma / CC-BY-SA. Wikimedia Commons



හිට්ලර් මේ අවස්ථාවේ කළේ තවත් එක්තරා 'නාඩගමකි'. එනම් 6 වන හමුදාවේ අණදෙන නිලධාරී ජනරාල් ෆොන් පවුලුස් ෆීල්ඩ්මාර්ෂල් තනතුරට උසස් කිරීමයි. ජර්මන් සහ ප්‍රෂියානු ඉතිහාසයේ කිසිදු ෆීල්ඩ්මාර්ෂල්වරයකු ප්‍රතිවාදී හමුදාවකට යටත් වී තිබුනේ නැත. එහෙයින් හිට්ලර් බලාපොරොත්තු වූයේ ෆොන් පවුලුස් යටත් නොවී සියදිවි නසාගනු ඇතැයි යන්නය. කෙසේ වුවද, පසු බැසීම සඳහා තමාගේ ඉල්ලීම් සියල්ල ප්‍රතික්ෂේප වීම නිසා තම හමුදා සෙබළුන් පත්ව ඇති තත්ත්වය දුටු පවුලුස් සිටියේ දැඩි අප්‍රසාදයෙනි. එහෙයින්, තමා ෆීල්ඩ්මාර්ෂල් තනතුරට උසස් කල දිනට පසුදා, එනම් 1943 පෙබරවාරි 1 වනදා, සෝවියට් හමුදා තමාගේ මූලස්ථානය ආසන්නයටම පැමිණෙන තෙක් සිටි ඔහු ඔවුනට යටත් විය. ඊළඟ දිනයේ ස්ටාලින්ග්‍රාඩ් නගරයේ වූ අවශේෂ ජර්මන් හමුදා සේනාංකද යටත් වූහ. දෙවන ලෝක යුද්ධයේ පළමු වතාවට සමස්ථ ජර්මන් හමුදාවක් සතුරාට යටත් වී තිබිණ. ස්ටාලින්ග්‍රාඩ් නගරය සඳහා වූ මරාගැනීම මෙසේ නිමා විය.

නාසි ආණ්ඩුවට මෙම පරාජය දිරවාගැනීම ඉතා අපහසු විය. කෙසේ නමුත් මේ සා දැවැන්ත පරාජයක් ජනතාවගෙන් වසන් කිරීමේ හැකියාවක් නොවීය. මෙය නාසි ආණ්ඩුව යුධ පරාජයක් ප්‍රසිද්ධියේ පිළිගත් පළමු වතාව වූයේය. මෙම පරාජයෙන් දින කිහිපයකට පසු 1943 පෙබරවාරි 18 වනදා බර්ලින් නගරයේදී කළ සුප්‍රසිද්ධ කතාවකින් ප්‍රචාරක ඇමති ජෝසෆ් ගොබෙල්ස් "සීමාරහිත යුද්ධයක්" (Total War) දියත් කිරීම පිළිබඳ ජනතාවට කියා සිටියේය.

ෆීල්ඩ්මාර්ෂල් ෆොන් පවුලුස් (වමේ) , මේජර් ජනරාල් ආතර් ෂ්මිට් (මැද) සහ සහායක නිලධාරී විල්හෙම් ඇඩම් සෝවියට් හමුදාවනට යටත් වූ පසු. (German Federal Archive) Bundesarchiv, Bild 183-F0316-0204-005 / CC-BY-SA, Wikimedia Commons



ස්ටාලින්ග්‍රාඩ් සටනින් වැඩිම ජීවිත හානි සිදු වූයේ සෝවියට් දේශයටයි. සටනේදී මියගිය සහ තුවාල ලද සියලු සෝවියට් වැසියන් ගණන මිලියන 1.15 ක් හෙවත් ලක්ෂ එකොළහමාරක් පමණ විය. ජර්මන් හමුදාවල මියගිය, අතුරුදන් වූ, තුවාල ලද සහ අල්ලා ගන්නා ලද පිරිස ලක්ෂ අටහමාරක් පමණ විය. මේ අතර යටත් වූ ලක්ෂයකට අධික නිලධාරීන් සහ සෙබළුන්ගෙන් යළි සියරට බලා යාමට වරම් ලද්දේ 6000 ක් පමණි. මේ අතර ෆෙඩ්රිෂ් ෆොන් පවුලුස් ද විය. සෝවියට් හමුදාවලට යටත් වූ පසු හිට්ලර්ව තවත් කෝපයට පත් කරමින් සෝවියට් ගුවන්විදුලිය ඔස්සේ ප්‍රබල නාසි විරෝධී ප්‍රකාශයන් පවා ඔහු විසින් නිකුත් කෙරිණ. 1946 නියුරම්බර්ග් නඩු විභාගයේදී සාක්කි දුන් ඔහුට 1953 දී නැගෙනහිර ජර්මනියේ පදිංචි වීමට අවසර ලැබිණ. සෝවියට් හමුදාවලට යටත් වීමෙන් හරියටම වසර දාහතරකට පසු ඔහු මියගියේය.