Sunday, October 30, 2016

බර්නි සැන්ඩර්ස් කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ජනාධිපතිවරණ සටනට​

ඩිමොක්‍රටික් පක්ෂ සෙනට් සභික බර්නි සැන්ඩර්ස් ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණය සඳහා කැලිෆෝර්නියා ප්‍රාන්තයෙන් නම ලියා ඡන්දය පළ කිරීමේ සුදුසුකම ලබාගෙන තිබේ.

නමුත් ඔහුට මෙම සුදුසුකම ලැබී ඇත්තේ ඔහු ඒ සඳහා ඉල්ලුම් කිරීමකින් ද තොරව ය​.

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණය එක් එක් ප්‍රාන්තවලදී පැවැත්වෙන්නේ ඒ ඒ ප්‍රාන්තවල නීති ප්‍රකාරව ය​. ප්‍රාන්ත 50 න් 43 ක ඡන්ද දායකයන්ට අපේක්ෂකයකුගේ නමක් ලියා ඡන්දය ප්‍රකාශ කිරීමේ වරප්‍රසාදය හිමි ය​. ඒ අනුව ඡන්ද පත්‍රිකාවේ නම් සඳහන් අපේක්ෂකයන්ට පමණක් නොව, වෙනත් අයකුට වුවද ඡන් දය පළ කල හැක​.

මෙම ප්‍රාන්ත 43 න් ප්‍රාන්ත 7 කදී මේ සඳහා කිසිදු නීතියක් බල නොපාන අතර තමන් කැමති ඕනෑම අයකුගේ නමක් ලියා ඡන්දය පළ කිරීමේ අයිතිය ඡන්ද දායකයන් සතු වේ. අනෙක් ප්‍රාන්තවලදී මේ සඳහා යම් යම් නීති පවතී.

කැලිෆෝර්නියාවේදී පවතින විශේෂත්වය නම් අදාළ අපේක්ෂකයාගේ කැමැත්ත නොමැතිව වුවද එම සුදුසුකම ලබාගැනීමට ඔහුගේ ආධාරකරුවන්ට හැකි වීමය​. කැලිෆෝර්නියා ප්‍රාන්තයෙන් ජනාධිපතිවරණ ඡන් ද විද්‍යාලයට සාමාජිකයන් 55 දෙනෙකු පත් කරනු ලබයි. ඒ සඳහා යම් අපේක්ෂකයකු වෙනුවෙන් ඉදිරිපත් විය හැකි 55 දෙනකු ඒ බව සහතික කිරීමෙන් එම අපේක්ෂකයා වෙනුවෙන් නම ලියා ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය දිනාගත හැක​.

බර්නි සැන්ඩර්ස් ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපතිවරණ නාම යෝජනා දිනා ගැනීමට කළ උත්සාහයේදී සෙනට් සභික හිලරි ක්ලින්ටන් හමුවේ පරාජය විය​. කෙසේ නමුත් සැන්ඩර්ස්ට සහය දක්වන විශාල පිරිසක් තවමත් වෙති.

2008 සහ 2012 වසරවලදී මේ ආකාරයෙන්ම කැලිෆෝර්නියා ප්‍රාන්තය සඳහා නම් ලියා ඡන්දය පළ කළ හැකි අපේක්ෂකයකු ලෙස රොන් පෝල්ගේ නම ඇතුලත් වූයේ ඔහු ජනාධිපති සටනට සම්බන්ධ නොවී සිටියදී ය​. 2008 දී කැලිෆෝර්නියාවෙන් ඡන්ද 17,006 ක් ලැබූ ඔහු 2012 දී ඡන්ද 21,461 ක් ලැබීය​.

2 comments:

  1. මේ වගේ ජන්ද ප්‍රකාශ කිරීම අවසාන ප්‍රතිපලයට කොයි වගේ බලපෑමක් කරාවිද ?

    ReplyDelete
    Replies
    1. ගොඩක් ප්‍රබල ඩිමොක්‍රටික් හෝ රිපබ්ලිකන් හෝ ප්‍රාන්තවල ලොකු බලපෑමක් වෙන්නෙ නෑ. කරට කර ප්‍රාන්තයක තමා වෙනසක් වුනොත්. කැලිෆෝර්නියාව නම් ගොඩක්ම ඩිමොක්‍රටික් නිසා ලොකු බලපෑමක් වෙන එකක් නෑ

      Delete