Wednesday, December 5, 2012

පණ්ඩිත් අමරදේවයනි, ඔබට සුබ උපන්දිනයක්!


හෙළයේ මහා ගාන්ධර්වයා ලෙස විරුදාවලිය ලැබූ පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේවයන්ගේ 85 වන උපන්දිනය අදට, එනම් 2012 දෙසැම්බර් 05 වැනි දිනට යෙදී තියෙනවා. 1927 දෙසැම්බර් 05 වනදා, මොරටුව කොරළවැල්ලේ ඉපදුන වන්නකුවත්තවඩුගේ දොන් ඇල්බට් පෙරේරා, දරුවන් හය දෙනෙකුගේ පවුලක බාලයා වුනා. ඔහුගේ දෙමව්පියන් නිසා කුඩා ඇල්බට් පෙරේරාට යම් සංගීත ආභාෂයක් ලැබුනා. කතෝලික කාන්තාවක වූ ඔහුගේ මව, මැගී වෙස්ලිනා මෙන්ඩිස්, පල්ලියේ ගීතිකා කණ්ඩායමේ සාමාජිකාවක ලෙස කලක් කටයුතු කොට තිබෙනවා. බෞද්ධයකු වූ ඇල්බට් පෙරේරාගේ පියා, දොන් ගිනෝරිස් පෙරේරා, මොරටුවේ ප්‍රසිද්ධම රැකියාවේ, එනම් වඩු කර්මාන්තයේ, නියැළුන කෙනෙක්. ඔහුගේ වඩු මඩුවේ හැදෙන විවිධ භාණ්ඩ අතර වයලීනත් තිබුනා. පුංචි ඇල්බට් පෙරේරා වයලීනය ඉගෙන ගන්නට අත් පොත් තැබුවේ පියාගේ වඩු මඩුවෙන්. එසේම සංගීත ගුරුවරයෙකු වූ ඔහුගේ වැඩිමහල් සොහොයුරෙක් ඇල්බට් පෙරේරාට කුඩා කාලයේදීම ඉන්දියානු සංගීතය ඉගැන්වූවා. 1980 ගණන්වල 'කල්පනා' සඟරාව වෙනුවෙන් අමරදේවයන් ගැන දීර්ඝ විශේෂාංග ලිපියක් ලියූ ප්‍රවීන මාධ්‍යවේදී පාලිත සිල්වා මහතා ඔහුව "වඩු මඩුවෙන් බිහිවූ සංගීතඥයා" ලෙස හඳුන්වා දීම ඉතා යෝග්‍ය වන්නේ මේ කරුණු නිසයි.

Photograph (Cropped) of acclaimed Sri Lankan Vocalist and Musical Composer,Pandith W. D. Amaradeva (පණ්ඩිත් ඩබ්ලිව්.ඩි.අමරදේව), Mr Anuradha Ratnaweera (අනුරාධ රත්නවීර මහතා), Wikimedia Commons

මේ ලිපියේ අරමුණ අමරදේවයන්ගේ ජීවිත කතාව ලිවීම නොව ඔහු පිලිබඳ කුඩා සටහනක් තැබීමයි. මේ සඳහා ඉහත කී 'කල්පනා' සඟරාවේ පලවූ ඇතැම් කරුනුත්, වෙනත් මා අසා ඇති හා දැක ඇති කරුනුත් දායක කරගන්නවා. අවාසනාවකට වගේ පාලිත සිල්වා මහතාගේ ලිපිය පලවූ 'කල්පනා' සඟරාව දැන් මගේ ළඟ නැහැ.

අමරදේවයන් ලංකාවේ දෙවැනි කතා නාද චිත්‍රපටය වූ අසෝකමාලා චිත්‍රපටයේ ගවුස් මාස්ටර්ගේ සහය සංගීත අධ්‍යක්ෂක වුනා. ඒ වගේම එහි ඔහු තවුසේක්ගේ චරිතයක් රඟපෑවා නේ. ඒ අනුව දැනට අපේ චිත්‍රපට වංශකතාවේ ජීවතුන් අතර ඉන්න පරණම නළුවා අමරදේවයි. එහිදී ඔහු තවුසා ලෙස රංග පාමින් කියූ "ඇයි කලේ යමෙක් ආලේ" ගීතය මෙතනින් අහන්න පුළුවන්.

අසෝකමාලා චිත්‍රපටය තිරගතවන සමයේ අමරදේව කියන නම භාවිතයට ඇවිත් තිබුනේ නෑ. එතකොට මේ සංගීතකාරයා සහ නළුවා රසිකයින් හඳුනා ගත්තේ W . D. ඇල්බට් පෙරේරා යන නමින්. ඔහුට අමරදේව කියන නම දැම්මේ 1950 ගණන්වලදී මහාචාර්ය සරච්චන්ද්‍රයන් විසින්. මේ ගැනත් එක්තරා කතාවක් තියෙනවා. අමරදේව මහතා කාර්යබහුල වෙනකොට ඔහුව කිසි වැඩකට අල්ලා ගන්නට ලෙහෙසි වෙලා නැහැ. ඒ නිසා සරච්චන්ද්‍රයන් පස්සේ කාලෙක ඔහුට අල්ලා ගැනීමට අමාරු කියන අදහසින් "අමාරුදේව" කියලත් නමක් පට බැන්දාලු.

කොහොම වුනත් පසු කාලයක සරච්චන්ද්‍රයන් විසින් අමරදේවයන් තදින්ම විවේචනය කරන්නට යෙදුනා. ඒ 1977 මැතිවරණය සමයේ එක්සත් ජාතික පක්ෂ වේදිකාවල ගීත ගායනය සම්බන්ධයෙන්.

මේ කියන සිදුවීම සිදු වෙලා තියෙන්නේ මම හිතන්නේ 1960 දශකයේ අග භාගයේ. කොළඹ ප්‍රධාන පාසලක (නාලන්දය වගෙයි මතක) ප්‍රසංගයක් සඳහා අමරදේව ආවලු. එතකොට එතන හිටපු ඇතැම් කොල්ලන් ඔහුට හූ කියන්නට පටන් ගත්තාලු. අමරදේව සංගීතය නැතිව එක ස්වරයක් වාදනය වෙද්දී ගීතයක් ගායනය කලාලු. හූ කියපු අය මීයට පිම්බා වගේ අහගෙන උන්නාලු. ඒ වගේ තනි ස්වරයක් වාදනය වෙද්දී ගයන, එච්චර ඇහෙන්නේ නැති සින්දුවක් තියෙනවා. 1967 "රන් සළු" චිත්‍රපටයට ගායනා කල, මහගම සේකර ලියූ "සිරිපා පියුමේ-රොන් සුනු තැවරී" ගීතය. (මෙතනින් අහමු)

මහගම සේකර-අමරදේව සුසංයෝගය එක්තරා කාලයක් රටම අමන්දානන්දයට පත් කරපු ඇති සාර්ථක එකමුතුවක්. අදටත් අපි රස විඳින බොහෝ ගීත ඒ තුලින් බිහි වුනා. ඒ නිසා තමයි සමහරුන් කිව්වේ, මහගම සේකරයන්ගේ අකල් මරණයත් සමඟ අමරදේව නම් සංගීතකාරයාත් මිය ගියා කියලා. නමුත් මම නම් එහෙම කියනවාට අකමැතියි. එය අමරදෙවටත් ලංකාවේ අනෙක් ගීත රචකයන්ටත් කරන නිගරුවක්. අමරදේවයන් විසින් ගායන කල අනෙකුත් ගීත රචකයන්ගේ ගීතත් අපි අතර රැඳී තියෙනවා. කේ. ඩී. කේ. ධර්මවර්ධන (කුමරියක පා සළඹ), ඩෝල්ටන් අල්විස් (සසර වසන තුරු), මඩවල එස්. රත්නායක (මින්දද හී සර), චන්ද්‍රරත්න මානවසිංහ (මහ බෝ වන්නම) එවැනි ගීත රචකයන් සඳහා උදාහරණ වෙනවා. නමුත් සේකරගේ මරණයෙන් අමරදේවගේ සංගීත ජීවිතයට ලොකු අඩුවක් වුන බව අවිවාදයෙන් පිළිගත යුතුයි.

සසර වසන තුරු ගීතය රූපවාහිනියේ යනකොට අමරදේවගේ දෑත් චලනය වෙන හැටි ගැන අපේ යාලුවෙක් දවසක් විහිළු කළා. ඒ ගීතයේ "තිසා වැවයි-සීගිරියයි" කියන පද පෙලේ, තිසා වැවයි කියනකොට අමරදේවගේ අත් උඩට යනවාලු. සීගිරියයි කියද්දී පහලට එනවාලු. එතකොට වැව තියෙන්නේ අහසේ. කන්ද තියෙන්නේ බිම. ඉතින් දවසක් මම වැඩේ ඇත්තද කියලා ටෙලිවිෂන් එකේ සින්දුව යනකොට බලන් හිටියා. මාර වැඩේ! කතන්දරේ ඇත්ත!

ඒ කොහොම වුනත් අමරදේවයන් දෙස් විදෙස් සම්මානයන්ගෙන් පිදුම් ලැබුවා. ඒ අතර 2001 දී මැග්සේසේ සම්මානය ලැබීම විශේෂයි. මේ සම්මානය ඔහු පිලිපීනයේ එවකට ජනාධිපතිවරිය වූ ග්ලෝරියා අරෝයෝ මැතිනිය අතින් ලබා ගන්නා විට කෙතරම් සතුටට පත් වූවාදැයි අපි ටෙලිවිෂන් තිරයෙන් දුටුවා. අමරදේවයන්ගේ රසිකයන් විදියට අපිත් බොහොම සතුටු වුනා. එත් එතුමා ලංකාවට ආවට පස්සේ වුනේ මහ විහිළුවක්. ඔහු වෙනුවෙන් ජාතික රූපවාහිනිය පැයක හරි පැය එකහමාරක හරි වැඩසටහනක් විකාශය කළා. මමත් ඒක බලන්න ඉඳ ගත්තා. මෙන්න බොලේ ඒකට තව කෙනෙක් ඇවිත්. ඒ ප්‍රවීන කලාකාරයෙකු වුන තිස්ස අබේසේකරයන්. එතනින් පස්සේ වැඩසටහන මෙහෙයෙව්වේ තිස්ස අබේසේකර. ඔහු ඒක තනිකර ශාස්ත්‍රීය පැත්තට ගෙනිච්චා. මට නම් මෙලෝ භූතයක් තේරුනේ නෑ. ප්‍රශ්න අහන්නෙත් ඔහු, වෙලාවකට උත්තර දෙන්නෙත් ඔහු. ඇත්තටම ඔහුට සින්දු කියන්න පුළුවන්කම තිබුනා නම් කෙනෙක්ට හිතෙන්නත් පුළුවන් ඔහුටයි මැග්සේසේ සම්මානය ලැබුනේ කියලා. එදා මට තිස්ස අබේසේකර කියන ප්‍රවීන කලාකාරයාව හොඳටම එපා වුනා.

ඒ වුනත් පණ්ඩිත් අමරදේවයන් නම් අපට එපා වෙන්නේ නෑ. ඔහුගේ ගීත අපි එදත් ඇහුවා, අදත් අහනවා, හෙටත් අහවි. හෙළයේ මහා ගාන්ධර්වයානෙනි, ඔබට සුබ උපන්දිනයක් වේවා!

6 comments:

  1. අමරදේව මාස්ටර් ගේ ගීත මමත් නිස්කලංකව රස විඳින්න කැමතියි. හිතට දැනෙන ගීත..
    එතුමාට සුබ උපන් දිනයක් වේවා!!

    ReplyDelete
  2. ඔබට සුබ උපන්දිනයක් පණ්ඩිත් අමරදේවයනි

    ReplyDelete
  3. ඇත්ත.හිත නිවන ගීත.මගේ ප්‍රියතම ගායකයින් අතලොස්ස අතරේ මෙතුමා ඉන්නේ ඉහලින්මයි.අද සින්දු ගායනා කරන අය බිහිවීම ඉතාම අඩුයි.ඔක්කොම ඉන්නේ සින්දු කියන අයනේ.ඔබට සුබ උපන් දිනයක් අමරදේව සූරිනි ! චිරාත් කාලයක් වැජඹේවා !

    ReplyDelete
    Replies
    1. එකනේ කොච්චර පරණ උනත් අපි අමරදේව මාස්ටර්ගේ සින්දු අදත් අහන්නේ..

      Delete
  4. ඉස්සරනම් මම පොඩ්ඩක්වත් ආසා කලේ නැහැ නිදිමත් සින්දු කියල නමුත් වයසට යනකොට ඔලුවේ බර වැඩිවෙනකොට හිත සැහැල්ලු කරගන්න හොඳම ගීත තිබෙන්නේ අමරදේව මහත්තයාගේ මමත් ඔහුට සුභ උපන්දිනයක් පතන අතර. චිරාත්කාලයක් තවත් හොඳ දේ අපා ලබාදෙන්නට හැකිවෙන්න කියල පතනවා.
    http://chithula.blogspot.com/

    ReplyDelete
    Replies
    1. අමරදේව මාස්ටර් සංගීතය නිර්මාණය කරපු සින්දු ඔක්කොම "නිදිමත සින්දු" නෙවෙයි... "ගයන ගැයුම්, නටන නැටුම්" වගේ කණ්ඩායම් ගීත, "පිපී පිපී රේණු නටන" වගේ ගීත... ඒවායේ සංගීතය එතුමාගේ. නිදිමත නැති වේගෙන් යන සින්දුත් එතුමා කියලා තියෙනවා.

      Delete