Friday, December 28, 2012

අපට වෙච්ච දේ 007: 007



කලකට පස්සේ බ්ලොග් එක පැත්තේ ආපු නිසා ආපහු ලියන්න පුරුදු වෙන්න පොඩි පෝස්ට් එකක් එකතු කරන්න හිතුනා. පොඩි වුනත් මේක මම බොහොම කාලයක් තිස්සේ ලියන්න හිතාගෙන හිටියේ. අපේ මේ කතා මාලාවේ 6 වෙනි එක මම අයින් කලාට පස්සේ ඒක වෙනම ආපහු ලියුවානෙ. ඉතින් ආපහු 6 වෙනි කතාවක් ලියන්න ඕන නෑ කියලා මම තීරණය කළා. 7 වෙනි කතාව මම කලින්ම ඉඳන් වෙන් කරලා තිබුනේ Agent 007, එහෙමත් නැත්නම් ජේම්ස් බොන්ඩ් ගැන ලියන්න.

අපේ ගොඩක් දෙනා ජේම්ස් බොන්ඩ් ගැන යමක් දන්නවා. සමහර විට ජේම්ස් බොන්ඩ් පොත් කියවලත් ඇති. චිත්‍රපට බලලත් ඇති. සමහරවිට අපේ ජේමිස් බණ්ඩා පොත් පවා කියවලා ඇති. මම ජේමිස් බණ්ඩා පොත් ආසාවට හොයාගන්න උත්සාහ කළා. එත් තවම ලැබුනේ නැහැ. ඇත්තෙන්ම ඒ පොත් ඩීමන් ආනන්ද මහතා විසින් ලියන ලද බව විතරයි මම දන්නේ.

ජේම්ස් බොන්ඩ් චරිතය නිර්මාණය කලේ ඉංග්‍රීසි ජාතිකයෙකු වූ ඉයන් ෆ්ලෙමිං විසින්. ඔහු දෙවන ලෝක යුද්ධය කාලේ රාජකීය නාවික හමුදාවේ බුද්ධි අංශ අධ්‍යක්ෂකගේ පෞද්ගලික සහයකයා ලෙස කටයුතු කළා. මේ කාලයේ අත් දැකීම් ජේම්ස් බොන්ඩ් නිර්මාණය කරද්දී දායක වුනා. ඒ කාලයේ කමාන්ඩෝ ආදී විශේෂ බලකායන් බටහිර ලෝකයේ හමුදාවලට පවා අලුත් අත්දැකීමක් වුනා. ඒ නිසා එම අංශයේ යම් වැඩ කොටසක් ෆ්ලෙමිං අතින් ඉටු වුනා. ඒ වගේම නාසි පක්ෂයේ දෙවනියා වූ රුඩොල්ෆ් හෙස් එංගලන්තයට පැමිණීමට හේතු වූ රහස් මෙහෙයුමටත් ඔහුගේ දායකත්වයක් වූ බව කියවෙනවා.

ජේම්ස් බොන්ඩ් චරිතය නිර්මාණය වුනේ එක පුද්ගලයෙක් මත පදනම් වෙලා නෙවෙයි. නමුත් ඔහුට නම ලැබුනේ නම් එක පුද්ගලයෙක් නිසා. ඉයන් ෆ්ලෙමිං තමන්ගේ අලුත් චරිතයට නමක් හොයමින් ඉන්නා විට තමයි කැරිබියානු දූපත්වල ජීවත්වන කුරුල්ලන් ගැන පොතක් ඔහු නෙත ගැටුනේ. ඒ පොත ලියලා තිබුනේ පක්ෂි විද්‍යාඥයකු වූ ජේම්ස් බොන්ඩ්. ඒ ජේම්ස් බොන්ඩ් තමයි අද අපි සියලු දෙනා දන්නා ජේම්ස් බොන්ඩ්ට නම දමන්න හේතු වුනේ.

ඉයන් ෆ්ලෙමිං සියලුම ජේම්ස් බොන්ඩ් කතා ලියුවේ ජමේකාවේ ඔරකබෙසා ප්‍රදේශයේ ඔහුගේ ගෝල්ඩන් අයි (Goldeneye) වත්තේ නිවාඩු ගත කරන ගමන්. මේ වත්තට නම දමන්නට හේතු වන්නට ඇත්තේ 1941-42 කාලයේ ෆ්ලෙමිං යටතේ වූ රහස් මෙහෙයුමක් (Operation Golden Eye). ඔරකබෙසා කියන්නේ 4000කට ටිකක් වැඩි ජනකායක් ඉන්න පොඩි නගරයක්. නමුත් ජේම්ස් බොන්ඩ් නිසාම ඒ නගරය බොහොම ජනප්‍රියයි. ඔහුගේ නමින් වෙරළක් පවා එහි තියෙනවා. 2011 දී ඉයන් ෆ්ලෙමිං නමින් අන්තර්ජාතික ගුවන්තොටුපලකුත් එහි විවෘත කළා.
ඉයන් ෆ්ලෙමිං අතින් ජේම්ස් බොන්ඩ් කතා ලියවුනු ජමේකාවේ ගෝල්ඩන් අයි වත්ත. Wikimedia Commons



මට ජේම්ස් බොන්ඩ් පොතක් මුලින්ම ඇහැ ගැටුනේ අපේ ගෙදරදී. එතකොට මට වයස අවුරුදු එකොළහක්-දොළහක් වගේ ඇති. ඒත් ඒ කාලේ මට ඉංග්‍රීසි පොත් කියවන පුරුද්දක් තිබ්බේ නැහැ. කවරේ දිහා බලලා මම යන්තම් තේරුම් ගත්තා මේ තියෙන්නේ ජේම්ස් බොන්ඩ් පොතක් කියලා. ඒත් ජේම්ස් බොන්ඩ් මෙච්චර ජනප්‍රිය කෙනෙක් කියලා මට අදහසක් තිබුනෙත් නැහැ. ඒ නිසා මට ඒ පොත කියෙව්වත් එකයි, නැතත් එකයි. කොහොමහරි පොත පෙරලලා බලනකොට එක පින්තූරයක්වත් දකින්න නැහැ. ඒකෙන්ම ඒ පොත කියවීමේ අදහස අත් අරුනා.

පක්ෂි විද්‍යාඥ "ඔරිජිනල්" ජේම්ස් බොන්ඩ්. 1974 දී. Wikimedia Commons



ජේම්ස් බොන්ඩ් පොතක් මම මුලින්ම කියෙව්වේ ඊට අවුරුදු කීපයකට පස්සේ. දැන් නම් මගේ ලඟත් පොතක් නැත්නම් දෙකක් තියෙනවා. පොත් හතරක් විතර කියවලා තියෙනවා. නමුත් මට තවම මතක නැහැ අර මට මුලින්ම ලැබුන පොත මොකක්ද කියලා. ඒ පොත මම පස්සේ කාලෙක කියෙව්වා වෙන්නත් පුළුවන්. බැරි වෙන්නත් පුළුවන්.

ජේම්ස් බොන්ඩ් පොත්වලටත් වැඩිය ප්‍රසිද්ධ වුනේ චිත්‍රපට මාලාව නේ. පලවෙනි බොන්ඩ් ෆිල්ම් එක පිට වුනේ 1962 දී. ඒ ෆිල්ම් එක. ජේම්ස් බොන්ඩ් චිත්‍රපටවලට අවුරුදු පනහ පිරුන 2012 ඉවර වෙද්දී, එක බොන්ඩ් ෆිල්ම් එකක්වත් මම බලලා නැහැ. Casino Royale චිත්‍රපටය මාස ගණනක් තිස්සේ කම්පියුටර් එකේ තියෙනවා. තවම බැලුවේ නැහැ.

බොන්ඩ් ෆිල්ම්ස්වලට අවුරුදු 51 පිරෙන්න කලින්වත් Casino Royale බලන්න ලැබෙයි කියලා මම හිතනවා.

10 comments:

  1. පට්ට ආර්ටිකල් එක....

    ජේමිස් බන්ඩා එක පොතක් මම පුංචි කාලෙ කියෙව්ව වගේ මතකයි... ඒකෙ ඉන්නවා බ්‍රිගේඩියර් එම්. කියලා චරිතයක්... මට මතක විදියට ඔහු තමා ජේමිස් බණ්ඩා අයත්වන බුද්ධි අංශයෙ ලොක්කා...

    මම කියවපු කතාවේ ජේමිස් බන්ඩ ව කිඩ්නැප් කරලා මොළයේ ඩිරේන්ජ්මන්ට් එකක් කරලා ආපසු බ්‍රිගේඩියර් ලඟට එවනවා... ජේමිස් බණ්ඩ ව සනීප කරන්නෙ දොස්තර ලූෂන් කියලා කෙනෙක්... කතාවේ හඳුන්වා දෙන්නෙ ඔහු දකුණු ආසියවේම සිටින මොළය සම්බන්ධ විශේෂඥයා විදියට... මම ඒ පොත ගත්තේ කොළඹ මහජන පුස්තකාලයෙන්... මම කියවල තියෙන ඩීමන් ආනන්ද මහතාගෙ ජේමිස් බණ්ඩා එකම පොත ඒක... ඒකෙ තව එවා තියෙනවද කියල නම් දන්නේ නෑ (Series eke)..

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ කතා!

      ඉයන් ෆ්ලෙමිං ලියපු කතාවලත් කියලා කෙනෙක් ඉන්නවානේ. එයා තමයි බොන්ඩ්ව එක එක මිෂන්වලට යවන ලොක්කා.

      ජේම්ස් බොන්ඩ් කතාවක නම් ඔහොම සිද්ධියක් තිබුනාද මන්දා? Robert Ludlumගේ පොතක නම් ඔය වගේ කතාවක් තිබුනා මතකයි.

      Delete
  2. මාත් කියවලා තියෙනවා ජේමිස් බණ්ඩා පොතක්.. හැබැයි දැං කතාව මතක නෑ... හි හි..

    මං නං ෆිල්ම්ස් ටික බැලුවා.. හි හි.. ගෙදරදි නම් ඒවා බලන්න හම්බුවෙන්‌ෙන් නෑ... ඒකට හැම එකකම කෙල්ලෙක් සෙට් වෙනවනේ... හි හි....

    මට හිතෙනවා ෆිල්ම්ස් වලට වඩා පොත හොඳ ඇති කියලා... හිතේ මවාගෙන කියවන්න පුලුවන්නේ.. ඒත් දැං නං පරක්කු වැඩියි..... ෆිල්ම්ස් බැලුවට පස්සේ පොත කියවලා වැඩක් නෑ.... අලුත් ෆිල්ම් එක තමයි බලන්න තියෙන ලිස්ට් එකේ තියෙන්නේ.. හි හි...

    ReplyDelete
    Replies
    1. ඇත්ත රහස් ඔත්තුකාරයෝ ජේම්ස් බොන්ඩ් විදියට වැඩ කළා නම් ඔත්තු සේවාවල් විනාශ වෙලා බොහොම කල්. කෙල්ලෝ ගැන විතරක්ම නෙවෙයි. දැන් හිතන්න බොන්ඩ් කාරයා කොහෙට හරි ආවොත් පලාතම දන්නවා මිනිහා ආවා කියලා. අලුත් කාර්, වියදම් කරන්න සල්ලි.... අයියෝ සල්ලි! :-)

      ඇත්තටම රහස් ඔත්තුකාරයෝ ගැන කතා කියවනවා නම් ඊට වැඩිය හොඳ පොත් තියෙනවා.

      ෆ්ලෙමිං නම් ලියුවේ ජේම්ස් බොන්ඩ් පොත් 14 යි. ඊට පස්සේ වෙන අයත් කතා ලියලා තියෙනවා. චිත්‍රපටි නම් විසි ගානක් හදලා තියෙනවා.

      Delete
  3. පොත නම් කියවලා නෑ. ෆිල්ම් එක නම් බැළුවා..
    ලියන්න පුරුදු වෙන්න දාපු පෝස්ට් එකත් වැදගත් එහෙනම් :D

    ReplyDelete
    Replies
    1. වැඩිය මහන්සි වෙලා ලියපු එකක් නෙවෙයි. :-) ආපහු ට්‍රැක් එකට වැටෙන්න තමයි ලියුවේ.

      Delete
  4. මං බැලුවේ පහුගිය ටිකේ පේන්න හිටියේ නැත්තේ මොකෝ කියල. ජේමිස් බණ්ඩා හොයන්න ගිහින් නේ. :)

    ReplyDelete
    Replies
    1. ඒකනේ... ඒත් මිනිහා හම්බ උනේ නෑ. කොහේ හැංගුනාද මන්දා?

      Delete
  5. ඩීමන් ආනන්දගේ ජේමිස් බණ්ඩා පොත්වලින් එකම එක පොතයි කියවලා තියෙන්නේ. ඩීමන් ආනන්ද නැතිවුණත් හරි එයාගේ පොතුත් නැතිවුණාද මන්දා. නව මුද්‍රණයන් වෙන්නේ නැති පාටයි

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා හසිත. කතාව නම් ඇත්ත. ඉතිහාසය ඉගෙන ගන්න සහ උගන්වන ඔයා දන්නවා ඇති ඉතිහාසය පුරාවට තව ඒ වගේ කොච්චර දේවල් නැති වෙලා හෝ නැති කරලා හෝ තියෙනවාද කියලා. නේද?

      Delete