Tuesday, October 9, 2012

චේ ගුවේරාගේ අවසානයට ඔහුගේම වැරදි දායක වීද?


1967 ඔක්තෝම්බර් 8 වනදා බොලිවියානු හමුදා මගින් අල්ලා ගනු ලැබූ අර්නෙස්ටෝ 'චේ' ගුවේරා, ඊට පසු දින ලා හිගුවේරා නම් කුඩා ගම්මානයේ පාසල් ගොඩනැගිල්ල තුලදී වෙඩි තබා ඝාතනය කරන ලදී. මේ අනුව, ලෝකයේ සුප්‍රසිද්ධම මාර්ක්ස්වාදී විප්ලවවාදියාගේ කෙටි, එහෙත් වර්ණවත් ජීවිතය අවසන් විය. (ඔහුගේ අවසාන මොහොත පිලිබඳ කියවීමට ධම්මික සඳරුවන් සහෝදරයාගේ මෙම ලිපිය බලන්න). ඊට වසර 12 කට පෙර, මෙක්සිකෝවේදී ෆිදෙල් කැස්ත්‍රෝ මුණගැසීමෙන් පසු කියුබානු විප්ලවයට එකතු වූ චේ, එහිදී විශාල කාර්යභාරයක් ඉටු කළේය. විප්ලවයෙන් පසු කියුබානු රජය තුල වැදගත් තනතුරු කිහිපයක්ම දරූ හෙතෙම සිය අත් දැකීම් ඇසුරින් "ගරිල්ලා යුධ ක්‍රම" යන පොතද ලිවීය. නමුත් පසුව කියුබාවේ සුව පහසුකම් සියල්ල අතහැර චේ විප්ලවවාදී සටන් වෙත යළි නැඹුරු විය.

මෙසේ නැවත සටන් මගට බට චේ කොංගෝවේ සහ බොලිවියාවේ විප්ලවවාදී ව්‍යාපාර දෙකකට සම්බන්ධ විය. කොන්ගෝ ව්‍යාපාරය අවාසනාවන්ත ලෙස කෙළවර විය. බොලිවියාවේදී චේ ජීවිතයෙන් ද වන්දි ගෙව්වේය.

ඇල්බර්ටෝ කොර්ඩා විසින් 1960දී ගනු ලැබූ චේ ගුවේරා ගේ සුප්‍රසිද්ධ ඡායාරූපය, Wikimedia Commons.

මෙම සටන් ව්‍යාපාර දෙකම අසාර්ථක වීමට බලපෑ මූලික හේතුවක් වූයේ කියුබාවේ අත් දැකීම ඒ අයුරින්ම ඒ රටවලද උපයෝගී කරගැනීමට උත්සාහ කිරීමය. කියුබාවේදී ගරිල්ලන් භාවිතා කල සටන් උපාය වූයේ, රජයේ හමුදාවලට පහසුවෙන් ලඟා විය නොහැකි ප්‍රදේශයකට ඇතුළු වී කෙමෙන් කෙමෙන් ජනතා සහය ලබා ගනිමින් සටන ව්‍යාප්ත කිරීමය. කියුබාවේදී, සටන මුලදීම සිදුවූ ඇතැම් අබග්ගයන්ගෙන් පසු එම ක්‍රියාවලිය සාර්ථක කරගැනීමට ගරිල්ලන්ට හැකි විය. කෙමෙන් කෙමෙන් ජනතා සහය ඔවුනට ලැබුන අතර, හර්බර්ට් මැතිව්ස්ගේ නිව්යෝර්ක් ටයිම්ස් වාර්තා හේතුවෙන් ඇමරිකාවේද ෆිදෙල් කැස්ත්‍රෝගේ කැරලිකාර හමුදාව කෙරෙහි ඇතිව තිබුනේ ධනාත්මක ප්‍රතිරූපයකි. මෙසේ යම් යම් වාසනාවන්ත තත්ත්වයන්ගේද උපකාරයෙන් ගරිල්ලෝ හවානා වෙත ගමන් කළෝය.

සිය "ගරිල්ලා යුධ ක්‍රම" කෘතියෙහි චේ ගුවේරා පවසා සිටින්නේ, "විප්ලවය සඳහා අවැසි සියලු කරුණු සම්පූර්ණ වනතුරු බලා සිටීම අනවශ්‍යය. අරගලය විසින් අනෙක් කරුණු සම්පූර්ණ කරනු ඇත" යනුයි. මෙය බොහෝ විට සත්‍යයක් වීමට ඉඩ තිබුනද, ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වන ඕනෑම ව්‍යාපාරයකට ජනතා සහාය නිතැතින්ම ලැබෙනු ඇති සිතීම අපහසුය. ඇතැම් හේතූන් මත එසේ නොවීමට ඉඩ ඇත.

මෙය චේ ගුවේරා කොන්ගෝවෙදී සහ වෙසෙසින්ම බොලිවියාවේදී මුහුණ පෑ ගැටලුවකි. විශේෂයෙන්ම බොලිවියාවේ විප්ලවයක් සඳහා බොහෝ කරුණු සම්පූර්ණ වී තිබූ බව කිව හැක. නමුත් එම සටන් ව්‍යාපාරයට නායකත්වය දුන්නේ කියුබානුවකු වීම බොලිවියානුවනට ගැටලුවක් විය. ඔවුනට චේ ගුවේරාගේ ජාත්‍යන්තරවාදය අවබෝධ කරගැනීමට නොහැකි වූ සේය. කියුබානුවන් සහ බොලිවියානුවන් අතර ඇතිවූ මත ගැටුම් මුළු සටන් ව්‍යාපාරය පුරාවටම ප්‍රශ්න ඇති කළේය. කියුබාවේදී චේ ගුවේරා විශාල කාර්යභාරයක් කලද ඔහු සටන් කලේ කියුබානුවන්ගේ සටනක කියුබානුවෙකුගේ නායකත්වය යටතේය. නමුත් බොලිවියාවේදී ඔහු බොලිවියානුවනට පෙනෙන්නට ඇත්තේ ඔවුනගේ සටනකට නායකත්වය දෙන කියුබානුවෙකු ලෙසය. ඉතා සුළු පිරිසක් හැරුණු විට බෝලීවියානුවෝ ඔහුට සහය නොදුන්නාහ.

චේ ගුවේරාගේ "බොලිවියානු දිනපොත" සඳහන් කරන සටහන් ගණනාවකින්ම මෙම අසමගිය පැහැදිලි වේ. බොලිවියානු හමුදා සමග වූ සටනකින් පළමුවෙන් මිය ගියේ කියුබානුවෙකි. බොලිවියානු සටනේදී මුලින්ම හැලුනේ කියුබානුවෙකුගේ රුධිරය බව ප්‍රකාශ කරන්නට තරම් චේ කටයුතු කලේ දෙපක්ෂයේ අසමගිය සමහන් කිරීමටය. කොන්ගොවේදීද, කැරලිකාර හමුදා සෙබළු පිටස්තරයෙකු පැමිණ ඔවුනට කල යුතු දෑ සහ නොයුතු දේ කියා දීම නොරිස්සූහ. බොලිවියාවේ තත්ත්වයද ඊට වඩා වැඩියෙන් යහපත් නොවීය.

එපමණක් නොව බොලිවියානු කොමියුනිස්ට් පක්ෂයද චේ ගුවේරාගේ සටනට සහය නොදැක්වීය. චේ ගුවේරා ද පක්ෂය විවේචනය කරමින් සිය "බොලිවියානු දිනපොතේ" තැනක ලියා ඇත්තේ එය අවිශ්වාස සහගත, මෝඩ පක්ෂයක් ලෙසය. එසේම, සටනට සහාය ලබා ගැනීමට තිබූ අනෙක් දිශාව වූ හවානා නගරය සමග සන්නිවෙදනයද බිඳ වැටුනේ චේගේ කණ්ඩායම සතුවූ කෙටි තරංග ගුවන් විදුලි සම්ප්‍රේෂණ කට්ටල දෝෂ සහගත වීමෙනි. මේ අනුව, බොලිවියානු කොමියුනිස්ට් පක්ෂයෙන්, සාමාන්‍ය වැසියන්ගෙන් සහ හවානා නගරයෙන් වෙන් වූ හුදෙකලා සටනක චේ නිරත වූයේය. ඒ අතර ඔහුගේ ගරිල්ලන් අසමගිකමින් පෙළුන අතර බොලිවියානු හමුදාවට ඇමරිකානු යුධ ආධාර ලැබුණි.

මෙවන් තත්ත්වයක් යටතේ, සටන දිගටම කරගෙන යාම විකාරයක් වී යයි කිව හැක. නමුත් චේ මේ කිසිවකින් අධෛර්යය නොවීය. එයම ඔහුගේ අවසානය ඉක්මන් කළේය. ඇතැම්විට, හවානා නගරය සමග සම්බන්ධය තිබුණි නම් ඔහුට සටන නවතා ආපසු එන ලෙස කැස්ත්‍රෝගෙන් උපදෙස් ලැබීමට ඉඩ තිබිණ. කොන්ගෝවෙදී වරක් එය සිදු වූ නමුත් බොලිවියාවේදී චේ ගලවා ගැනීමට කෙනෙක් නොවීය.

බොලිවියානු හමුදා සමග, වෙසෙසින්ම සටනෙහි මුල් කාලයේදී, පැවති සටන් සැම එකකදීම ඔවුනට වැඩි හානි කිරීමට ගරිල්ලන්ට හැකි විය. මෙය චේගේ ධෛර්යය වර්ධනය කිරීමට හේතු වන්නට ඇත. නමුත්, වැඩි කල් නොගොස් විශාල හමුදා සේනාංක ප්‍රදේශය පුරා සරි සරන්නට වූහ. ජනතා සහය නොමැති වීමෙන්, අනතුරකින් තොරව ගම්මානයකට පැමිණීමද ගරිල්ලන්ට පහසු වූයේ නැත. එක අවස්තාවක ගරිල්ලා කණ්ඩායම දෙකොටසකට කැඩී වෙන්ව ගියේ නැවත එක් වන බලාපොරොත්තුවෙන් වුවද ඔවුන් කිසිදා එක් වූයේ නැත. ඒ අනෙක් කණ්ඩායමද බොලිවියානු හමුදා විසින් වටලන ලදුව සමූලඝාතනය විය. 1967 ඔක්තෝම්බර් 8 වනදා සිදු වූයේ ගරිල්ලන්ගේ අවසන් සටනය. චේ ගුවේරා ඝාතනය එම අවාසනාවන්ත සටනේ අවසන් ජවනිකාවලින් එකක් විය. ඔහුගේ ගරිල්ලා කණ්ඩායමෙන් දිවි ගලවා ගත්තේ අතලොස්සකි.

වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ජාත්‍යන්තරවාදියෙකු වූ අර්නෙස්ටෝ චේ ගුවේරා, බොලිවියානුවන්ද එසේ තමාව පිළිගනු ඇතැයි ද එහෙයින්ම ඔහුගේ සටන ජයගනු ඇතැයි ද සිතන්නට ඇත. ඔහුගේ එම තීරණාත්මක වරද ඔහුට සිය ජීවිතයද අහිමි කළේය.

මූලාශ්‍ර

1. Rooney, D. Guerrilla: Insurgents, Patriots and Terrorists from Sun Tzu to Bin Laden, Brassey's, London (2004)

2. Guevara, Ernesto (Che), Guerrilla Warfare (1961)

3. Guevara, Ernesto (Che), Bolivian Diary (1966-67) මාලිනි ගෝවින්නගේ පරිවර්තනය, 2004

11 comments:

  1. ඉස්තරම්... චේ ගැන ගොඩක් කියවා තිබෙනවා. ඔබේ ලිපිය ඉතා හොද කුඩා විස්තරයක්. මම ඔබේ බ්ලොග් අඩවිය මගේ සින්ඩියට ඇතුළ් කරගත්තා අද්‍යාපනික ප්‍රවර්ගය යටතේ. දිගටම ලියන්න ජයවේවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දක්වපු සහයෝගයට...

      අය්යෝ... මට මූලාශ්‍ර දාන්න අමතක වෙලා නේ.. ඉන්න මම දාන්නම්.
      ඇත්තෙන්ම මේක මම බොලිවියානු දිනපොත මුලින්ම කියවනකොට ඇති වුනු අදහසක්. ඒත් මේ මූලාශ්‍රවල තියෙන පලවෙනි පොතේ ඒ ගැන මට හිතුනාටත් වැඩි හොඳ විස්තරයක් තිබුනා. එකට යම් යම් කරුණු එකතු කරලා තමයි මම මේක ලිව්වේ. මේක අපි චේගේ නොදකින පැත්තක්. මට මතක් වෙන්නේ "ගුරුන්ටත් අකුරු වරදී" කියන කියමන.

      ආයෙත් සැරයක්.. බොහොම ස්තූතියි!

      Delete
    2. මේ බ්ලොග් එක එකතු කරගත්තාට බොහොම ස්තූතියි. නමුත් බ්ලොග් එක අධ්‍යාපනික එකක් පමණක්ම නෙවෙයි. මම එක එක කතන්දරත් ලියනවා නේ. :-D

      Delete
  2. චේ වීරයාට අපගේ උපහාරය!.

    ReplyDelete
  3. කොන්ගෝවට අඩිය තිබ්බ දවසේ එය සාර්ථක විප්ලවයක් නොවන බව චේ දැනන් හිටියලු.ඒකට හේතුව නම් තාම හොයාගන්න බැරි උනා.හැමදේකටම එකම ක්‍රමවේදයක් භාවිත කිරීම නුසුදුසුයි කියලා හොදට පේනවා.චේ අනවශ්‍ය විදිහට විස්වාසය බොලෙවියාව ගැන විශ්වාස කරලා.

    ReplyDelete
    Replies
    1. මම දන්නේ නෑ එක එහෙමමද කියලා. චේගේ කොන්ගෝ සටන ගැන එයාම ලියපු "The African Dream" පොත කාලයක් සරසවි එකේ තිබ්බා. මම එහෙන් මෙහෙන් කියවලා තියෙනවා. නමුත් ඒක ගන්න සල්ලි තිබුනේ නෑ.

      නමුත් මේ විචාරය කියෙව්වාම පෙනෙන්නේ එහෙම කාරණයක් නෙවෙයි. හරියට සූදානම් නොවී වැඩේ කරපු නැති එකේ වරද..

      http://www.nytimes.com/2001/11/11/books/che-in-africa.html

      Delete
  4. Godak honda lipiyak api chege nodakka paththa mage thiyenne loku gawrawayak che gana ohu asahaya minihek lokema awasanawata miya giya. miya giya Che hitya Cheta wada minisun atharata giya kiyamata hithenawa ow guruntath akuru waradunu awasthawak mathkayata enne 71 karalla Rohana vijeweerath gamanak yanna puluwan minihek wa hitiya,

    ReplyDelete
    Replies
    1. විජේවීර ගැන නම් වෙනමම හදාරන්න ඕන. ඔහුගේත් හොඳ නරක දෙකම තිබුන බවයි මගේ අදහස. නමුත් මට ඒ ගැන කියන්න දැනුම මදි කියලා හිතනවා.

      හරියටම හරි. චේ ජීවත් වෙන කාලෙටත් වඩා, මැරුණ පසු වීරයෙක් වුනා තමයි. ඒ ගැන කිසි වාදයක් නෑ. ඒ වීරත්වය හමුවේ තමයි අපිට අමතක වෙන්නේ, ඔහුට වුනත් වැරදුනා කියන එක. ඔහු හරි විදියට සටනට අවතීර්ණ වුනා නම් ඇතැම් විට තවත් රටක සාර්ථක විප්ලවයකට දායක වෙන්න ඉඩ තිබුනා.

      මමත් චේට ගරු කරනවා. අනේ ඔහුට වැරදුනේ නැත්නම් කියලා හිතෙනවා..

      Delete
    2. මමත් චේට ගරු කරනවා..........ජයවේවා.

      Delete
  5. විජේවීර ගැන කියල දෙන්න කෙනෙක්, ඔහු ගැන දන්නා කෙනෙක් ඉන්නවද? ඇත්තටම ආසයි ඒ චරිතය ගැනත් හොයල බලන්න.. ඉතින්... චේ ගැන දාපු ලිපියට ගොඩක් ස්තුතියි

    ReplyDelete