Thursday, September 17, 2020

නේටෝ කඳවුරක් අසළ මියගිය රුසියානු නිරූපිකාව

ඉතාලි මුහුදේ පිහිනීමේදී අනතුරට ලක්ව මියගිය රුසියානු නිරූපිකාවකගේ මරණය නේටෝ සංවිධානයේ ආරක්ෂාව පිළිබඳ පරීක්ෂණයක් බවට පත් වූ පුවතක් මීට ස්වල්ප දිනකට පෙර ඉතාලියෙන් වාර්තා වුණා.

ගලීනා ෆෙදරෝවා නම් 35 හැවිරිදි නිරූපිකාවක වූ ඇය ප්‍රංශය කේන්ද්‍ර කරගෙන කටයුතු කළ අයෙක්.

ඉතාලියේ සාර්ඩිනියා දූපතේ දකුණු ඉවුරේ ටෙවුලාඩා ප්‍රදේශයෙන් මුහුදු ගිය ඇගේ මළ සිරුර සැප්තැම්බර් 5 වනදා ඉතාලි වෙරළාරක්ෂක භටයින් විසින් සොයාගෙන තිබුණා.

ඇය සමග පිහිනීමට ගිය බ්‍රිතාන්‍ය-රුසියන් ඡායාරූප ශිල්පියකු වන ජෙරනියස් තවරොෆ් ප්‍රකාශ කර තිබුණේ මුහුදු ප්‍රවාහයන්ට ඔවුන්ගේ සුළං පුරවන ඩිංගි බෝට්ටුව හසුවී ඔවුන් එයින් ඉවතට පාවී ගිය බවයි. ඔවුන් ආපසු ගොඩබිම දෙසට පිහිනීමට පටන්ගත් අතර, ගලීනා ආපසු බෝට්ටුව දෙසට පිහිනීමට උත්සාහ කළ බව ඔහු පවසනවා.


ඩිංගි බෝට්ටුව ද වෙරළාරක්ෂක භටයින් විසින් සොයාගෙන ඇති අතර එහි තිබී ඩ්‍රෝන කැමරා සහ අනෙකුත් ඡායාරූපකරණ උපාංග සොයාගනු ලැබුණා. ඊට අමතරව මත්පැන් බෝතල්ද එහි තිබී හමුවුණා.


මෙම අනතුර සිදුවූ ප්‍රදේශය අසළ ඉතාලියේ ප්‍රධානම සන්නද්ධ හමුදා කඳවුරක් පිහිටා තිබීම හේතුවෙන් මේ අනතුර පිළිබඳ සැක මතුව තිබුණා. මෙම කඳවුර නේටෝ සංවිධානයේ පෙරහුරු සඳහා ද නිතර භාවිතා වනවා. බෝට්ටුවෙන් හමුවූ කැමරා උපකරණ පරීක්ෂා කිරීමට වෙරළාරක්ෂක භාරයට ගෙන තිබුණා.

Monday, September 14, 2020

බෲනෝ ආපිට්ස්

බෲනෝ ආපිට්ස් (1900 අප්‍රේල් 28 – 1979 අප්‍රේල් 7) ජර්මන් ලේඛකයෙක් සහ කොමියුනිස්ට්වාදියෙක් වූයේය. ඔහු වඩාත්ම ප්‍රසිද්ධ වූයේ බුකන්වෙල්ඩ් සිර කඳවුර ආශ්‍රිතව ඔහු විසින් ලියන ලද “Nackt unter Wölfen” (වෘකයන් අතර නග්නව) නම් කෘතිය හේතුවෙනි.

කම්කරු පවුලක දොළොස්වැනි දරුවා ලෙස ආපිට්ස් උපන්නේ ලයිප්සිග් (Leipzig) නගරයේ ය. ඔහු 1914 සිට ජර්මන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී තරුණ කම්කරු සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයකු විය. පළමු ලෝක සංග්‍රාමය අතරතුර 1917 අගෝස්තුවේදී යුධ විරෝධී රැස්වීමක් අවස්ථාවේ අත් අඩංගුවට පත් වූ ඔහු මාස 19 කට සිරගත කරන ලදී. නමුත් 1918 දී ඔහු නිදහස ලැබූ අතර එම වසරේ නොවැම්බරයේ ජර්මන් ආණ්ඩු පෙරළියට ද දායක විය.

1927 තෙක් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජිකයකු වූ ආපිට්ස් එම වසරේදී කොමියුනිස්ට් පක්ෂයට බැඳී තරුණ කොමියුනිස්ට් ලීගයේ සාමාජිකයකු ද බවට පත් විය.
ආපිට්ස් කවි සහ නාට්‍ය ලිවීම ඇරඹුවේ වයස අවුරුදු 17 දී ය. 1927 දී කොමියුනිස්ට් පක්ෂයේ ලයිප්සිග් නගරයේ “ඇජිට්ප්‍රොප්” (උද්ඝෝෂණ සහ ප්‍රචාරණ) අංශය වෙනුවෙන් නාට්‍ය පිටපත් රචකයකු ලෙස ද ඔහු සිය සේවය සැලසීය.

1930 – 33 සමයේ ආපිට්ස් ලයිප්සිග් හි නිර්ධන පාන්තික විප්ලවකාරී ලේඛකයන්ගේ සංගමයේ සභාපති වූයේය.

1933 ජනවාරියේ ඇඩොල්ෆ් හිට්ලර් ජර්මනියේ බලයට පැමිණි අතර එම වසරේම මැයි – ජූලි සමයේ බෲනෝ ආපිට්ස් අත් අඩංගුවට ගනු ලැබ නට්සීන් විසින් පිහිටවූ මුල්ම දේශපාලන කඳවුරු දෙකක් වූ කොල්ඩිට්ස් සහ සක්සෙන්හවුසන් හි රඳවනු ලැබීය.
1934 ඔක්තෝබරයේදී ආපිට්ස් නැවතත් අත් අඩංගුවට ගන්නා ලද අතර මෙම අවස්ථාවේ ඔහුට නිදහස ලැබුණේ වසර 11 කට පසුව ය. 1935 මැයි මසදී ඔහු වොල්ඩ්හයිම් සිරගෙයි රඳවන ලද අතර 1937 දී දේශපාලන රැඳවියකු වශයෙන් බුකන්වෙල්ඩ් වෙත යවන ලදී. එහිදී ද සිරකරුවන් ගේ සංස්කෘතික සැඳෑවල් සඳහා ඔහු කවි ලිවීය. ආපිට්ස් ඉන් නිදහස් වූයේ 1945 අප්‍රේල් මසදී එම කඳවුර නට්සින් ගෙන් මිදුණ විටය.

1945 ගිම්හානයේදී පළ වූ Das war Buchenwald (එය බුකන්වෙල්ඩ් විය) නම් කෘතියට ඔහු ද දායක වූයේය. 1946 දී එවකට ජර්මනියේ සෝවියට් කලාපයෙහි පිහිටවන ලද සමාජවාදී ඒකාබද්ධතා පක්ෂයට ඔහු ආරම්භක සාමාජිකයකු ලෙස බැඳුණි. ඔහු සංස්කාරකයකු, නාට්‍ය සහ ගුවන් විදුලි පිටපත් රචකයකු ආදී වශයෙන් කළක් සිය වෘත්තීය ජීවිතයෙහි යෙදුණ අතර 1954 පටන් නිදහස් ලේඛකයකු බවට පත් විය.

ආපිට්ස් (දකුණු කෙළවරේ)


ආපිට්ස්ගේ ප්‍රකටම නවකතාව වන “Nackt unter Wölfen” (වෘකයන් අතර නග්නව) පළ කරන ලද්දේ 1958 දී ය. එහි ඉංග්‍රීසි පරිවර්තනය ඊඩිත් ඇන්ඩර්සන් විසින් කරනු ලදුව 1967 දී සෙවන් සීස් ප්‍රකාශකයන් (Seven Seas Publishers) විසින් පළ කරන ලදී. මෙම කෘතිය ගෙතෙන්නේ බුකන්වෙල්ඩ් වෙත ගෙනෙන ළමයකු බේරා ගැනීමට සිරකරුවන් දරන වෑයම වටා ය. එම ග්‍රන්ථය සිරිල් සී. පෙරේරා විසින් සිංහලයට ද පරිවර්තනය කෙරිණ.
1963 දී මෙම ග්‍රන්ථය ඇසුරින් චිත්‍රපටයක් එළි දැක්වුණි. එය අධ්‍යක්ෂණය කළේ ෆ්‍රෑන්ක් බේයර් ය. 2015 දී එහි නව නිමැවුමක් කරන ලදී.

කඳවුරේ සිටියදී ආපිට්ස් ලියූ නවකතාවක් වූ එස්තර් 1959 දී පළ විය. එමෙන්ම වයිමාර් ජනරජ සමයේ කම්කරු පවුලක් වටා ගෙතුණ Der Regenbogen (දේදුන්න) නම් නවකතාව 1976 දී එළි දැක්විණ.

1965 දී ආපිට්ස් මාර්ලිස් කික්හේෆර් සමඟ විවාහ වූ අතර ඔවුනට එම වසරේදී ම සැබීන් නම් දියණියක ලැබිණ.

ඔහු 1961 සිට නැගෙනහිර ජර්මන් කලා ඇකඩමියේ සාමාජිකයකු ලෙස ඔහු බඳවා ගන්නා ලදී. ආපිට්ස් 1979 අප්‍රේල් 7 වනදා බර්ලිනයේදී මිය ගියේය.

Friday, September 11, 2020

බල්ලන්ට කන්නට දී මරා දැමූ බව කියන​ මාමාගේ ඝාතනය ගැන කිම් ජොංග්-උන් ට්‍රම්ප් සමග කියයි

 මීට වසර කිහිපයකට පෙර උතුරු කොරියාවේ නායක කිම් ජොංග්-උන්ගේ මාමාකෙනෙකු බල්ලන්ට කන්නට දමා මරා දැමූ පුවතක් ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කළා ඔබට මතක ඇති.

තමන්ගේ මාමා මරණයට පත්කිරීම පිළිබඳ උතුරු කොරියානු නායක කිම් ජොංග්-උන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට විස්තර කර ඇතැයි එළඹෙන සතියෙහි නිකුත් වන කෘතියක් පවසනවා. බොබ් වුඩ්වර්ඩ්ගේ "Rage" කෘතිය මේ බැව් පවසන්නේ යයි ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය වාර්තා කළා.


මෙසේ විස්තර කරන්නට ඇත්තේ කිනම් මාමා ගැනදැයි අපහැදිලි නමුත් ඒ 2013 දී මරා දමන ලද යාන් සොංග්-තෙක් පිළිබඳ වියහැකි යයි අනුමාන කෙරෙනවා.

කිම් තමන් සමග සියළු දේ පවසන්නේය යයි ට්‍රම්ප් ප්‍රකාශ කළ බවක් ද මෙම කෘතියේ සඳහන් වන්නේ යයි වාර්තා වනවා.

කිම් ජොංග්-උන්ගේ නැන්දණිය වන කිම් ක්‍යොංග්-හුයිගේ ස්වාමි පුරුෂයා වූ ජාන් සොංග්-තෙක් ජාතික ආරක්ෂක කවුන්සිලයේ උප සභාපති ද වුණා. එමෙන්ම කිම් ජොංග්-උන්ගේ පියා අසනීප වූ අවස්ථාවේ ඔහුගේ අනුප්‍රාප්තිකයා ද වියහැකි බවට ඔහු පිළිබඳ අනුමානයන් කෙරුණා.

ඔහුගේ මරණයට හේතුව මෙන්ම එය සිදුකළ අයුරු ගැන ද එකළ විවිධ වාර්තා පළ වුණා. ජාන්ගේ මරණය බල අරගලයක ප්‍රතිඵලයක් බව විශ්වාස කෙරෙතත් එය ව්‍යාපාරික පළහිලව්වක් බවට ද දකුණු කොරියානු බුද්ධි සේවා විශ්වාස කළා.


බලු රැළකට කන්නට දී කිම්ගේ මාමාව මරා දැමූ බව මුලින්ම වාර්තා කළේ චීන පුවත්පතක් විසින්. ඊට පෙර විශ්වාස කෙරුණේ ඔහුව වෙඩිතබා මරා දමන ලද බවයි.

සුප්‍රකට මාධ්‍යවේදී බොබ් වුඩ්වර්ඩ් විසින් ලියන ලද "Rage" කෘතිය ට්‍රම්ප් පාලන සමය පිළිබඳ විස්තර කෙරෙන ඔහුගේ දෙවන කෘතියයි. මේ කෘතිය සඳහා ඔහු ට්‍රම්ප්ව ද සම්මුඛ සාකච්ඡාවට ලක්කළ බවයි වාර්තා වූයේ. බොබ් වුඩ්වර්ඩ් මුලින්ම ලෝක ප්‍රකට වූයේ 70 දශකයේ කාර්ල් බර්න්ස්ටයින් සමග එක්ව වෝටර්ගේට් පළහිලව්ව හෙළිදරව් කිරීමෙන්. එහි ප්‍රතිඵලයක් ලෙස ජනාධිපති නික්සන් සිය ධුරයෙන් ඉල්ලා අස්වුණා.

Thursday, September 10, 2020

සෝවියට් දේශය ආක්‍රමණය කළ ඔපරේෂන් බාබරෝසා සැලසුම

1940 වසරේ දෙවන භාගය ගෙවී යද්දී සෝවියට් දේශය හා ජර්මනිය අතර සැකය වර්ධනය වෙමින් තිබුණි. නෝර්වේ හි උතුරු දෙසට යන ජර්මන් සේනාංක ෆින්ලන්තය හරහා ගමන් කිරීම සෝවියට් දේශයේ සැකයට හේතු විය​. මේ අතර ජර්මනිය​, ඉතාලිය සහ ජපානය ඇතුලත් මිත්‍ර සන්ධානය නව ත්‍රි පාර්ශවික මිත්‍රත්වයක් මගින් ශක්තිමත් වීම කෙරෙහි ද සෝවියට් දේශය සැකයෙන් බලා සිටියේ ය​. පෙරමුණු දෙකක කරන යුද්ධයක් පිළිබඳ බිය සෝවියට් දේශයෙහි ජනිත විය.

දෙරට අතර මෙම ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීමට සෝවියට් විදේශ ඇමති ව්‍යචෙස්ලාව් මෝලතෆ් බර්ලින් වෙත පැමිණියේ ය​. 1940 නොවැම්බර් 12 බර්ලින් වෙත පැමිණි ඔහු රිබන්ත්‍රොප් මෙන්ම හිට්ලර් ද හමුවිය​.  එහෙත් නට්සින් විසින් ලබා දුන් ව්‍යාජ පොරොන්දුවලට ඔහු හසු නොවී ය​.

දෙපාර්ශවය අතර සාකච්ඡා වූයේ එකිනෙකාගේ බලපෑම් කලාපයන් පිළිබඳව ය​. මෙහිදී ජර්මනිය උත්සාහ කළේ සෝවියට් අවධානය ඉන්දියන් සාගරය වෙත යොමු කිරීම ය​. සෝවියට් දේශය අවධානය යොමු කළේ කළු මුහුද දෙසට ය​. එහෙත් එම ප්‍රදේශය ජර්මනියට ද අවශ්‍ය විය​.

මෝල්තෆ් නැවත මොස්කව් ගොස් ස්වල්ප දිනෙකින් සෝවියට් රජයේ ඉල්ලීම් ජර්මන් රජය වෙත ලැබුණි. ෆින්ලන්තයෙන් ජර්මන් හමුදා ඉවත් කරගැනීම මෙන්ම බොස්පරස් සහ ඩාර්ඩනැලිස් සමුද්‍ර සන්ධි ආසන්න ප්‍රදේශයක යුධ හා නාවික හමුදා කඳවුරක් ලබා ගැනීම ද සෝවියට් ඉල්ලීම් අතර විය.

"ස්ටාලින් දක්ෂයෙක් වගේම කට්ටයෙක්. ඔහු හිතක් පපුවක් නැති කප්පම්කාරයෙක්. ජර්මන් ජයග්‍රහණය රුසියාවට දරාගන්න බැහැ. එහෙයින් ඉක්මණින්ම රුසියාව දණගැස්විය යුතුයි" මෙම ඉල්ලීම් පිළිබඳ අදහස් දැක්වූ හිට්ලර් කියා සිටියේ ය.

1940 දෙසැම්බර් මුලදී ජර්මන් හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් වෝල්තර් ෆොන් බ්‍රවුහිච් සහ යුධ හමුදා උත්තරීතර අණදෙන මණ්ඩලයේ මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ෆ්‍රාන්ස් හැල්ඩර් විසින් සෝවියට් දේශයට පහර දීමේ සැලසුම හිට්ලර්ට ඉදිරිපත් කරන ලදී. දෙසැම්බර් 18 වනදා ෆ්‍යුරර්ගේ (නායකතුමාගේ) කාර්යාලය විසින් මේ පිළිබඳ උපදෙස් මාලාවක් ඉදිරිපත් කෙරිණ. "බාබරෝසා මෙහෙයුම" යන සංකේත නාමය මුලින්ම හඳුන්වා දෙනු ලැබුණේ ද එය මගිනි.

"එංගලන්තය සමග යුද්ධය නිමා වීමට පෙර, වේගවත් කෙටි කාලීන යුධ ව්‍යාපාරයක් මගින් සෝවියට් රුසියාව විනාශ කිරීම සඳහා ජර්මන් සන්නද්ධ හමුදා සූදානම් විය යුතු ය" හිට්ලර් එහි සඳහන් කළේ ය. 1941 මැයි 15 වනවිට සෝවියට් දේශය ආක්‍රමණය සඳහා සූදානම් වන ලෙස හිට්ලර් දන්වා සිටියේ ය.

ජර්මන් සැලසුම ඉතා පුළුල් ලෙස සකසන ලද්දක් විය. ජර්මන් හමුදා කණ්ඩායම් තුනක් සෝවියට් දේශයට කඩාවැදිය යුතු වූ අතර ප්‍රිපෙත් වගුරු බිම් ඔවුන්ගේ මෙහෙයුම් ප්‍රදේශ වෙන් කෙරෙන ප්‍රධාන භූමි කලාපයක් විය. මෙම වගුරු ප්‍රදේශයෙන් උතුරට වන්නට හමුදා කණ්ඩායම් දෙකක් ලෙනින්ග්‍රාදය හා මොස්කව් ඉලක්ක කරගෙන ගමන් කළයුතු විය. ලෙනින්ග්‍රාද් කරා යන සේනාංකය "උතුරුදිග හමුදා කණ්ඩායම" ද මොස්කව් කරා යන සේනාංකය "මධ්‍යමදිග හමුදා කණ්ඩායම" ද විය. මේ අතර ප්‍රිපෙත් වගුරුබිම් ප්‍රදේශයෙන් දකුණුදිගින් තවත් හමුදා කණ්ඩායමක් යුක්‍රේනය වෙත පහර දියයුතු වූයේ ය. එය "දකුණුදිග හමුදා කණ්ඩායම" ය. සෝවියට් දේශයේ විවෘත භූමිය හරහා වේගයෙන් කඩාවැදී, රතු හමුදා සේනාංක වට කිරීමටත්, ඔවුන් ක්‍රමානුකූලව පසුබැසීමේ ඉඩ ඇහිරීමටත් නියමිත විය.


උතුරුදිග හමුදා කණ්ඩායමට අණ දුන්නේ ෆීල්ඩ් මාර්ෂල් විල්හෙල්ම් රිටර් ෆොන් ලීබ් ය. දකුණුදිග හමුදා කණ්ඩායමට ෆීල්ඩ් මාර්ෂල් ගර්ඩ් ෆොන් රුන්ස්ටෙඩ් විසින් අණදෙන ලදී. මධ්‍යමදිග හමුදා කණ්ඩායමට අණ දෙන ලද්දේ ෆීල්ඩ් මාර්ෂල් ෆෙඩෝර් ෆොන් බොක් ය.

මෙහිදී ද ප්‍රංශයේදී මෙන් පැන්සර් කණ්ඩායම් විශේෂ කාර්යයභාරයක් කළ යුතු වූයේ ය. සෝවියට් දේශයේ විවෘත භූමිය ඔස්සේ පැන්සර් සේනාංකයන්ට පහසුවෙන් ගමන් කළ හැකි වේ යයි අනුමාන කරන ලදී. එම අදහසින් යුක්තව යුධ ටැංකි සේනාංක හතරක් බාබරෝසා මෙහෙයුමට දායක වූහ. උතුරුදිග හමුදා කණ්ඩායමට සහ දකුණුදිග හමුදා කණ්ඩායමට මෙයින් පැන්සර් සේනාංක එක බැගින් ලබාදුන් අතර මධ්‍යමදිග හමුදා කණ්ඩායමට පැන්සර් සේනාංක දෙකක් විය.

උතුරුදිග හමුදා කණ්ඩායමට අනුයුක්ත වූ 4 වන පැන්සර් හමුදාවේ අණදෙන නිලධාරියා වූයේ ජෙනරාල් එරික් හ්‍යොප්නර් ය. දකුණුදිග හමුදා කණ්ඩායමේ වූ 1 වන පැන්සර් හමුදාවේ අණදෙන නිලධාරියා වූයේ කර්නල් ජෙනරල් එවාල්ඩ් ෆොන් ක්ලයිස්ට් ය. මධ්‍යමදිග හමුදා කණ්ඩායමේ වූ 2 වන පැන්සර් කණ්ඩායම ජෙනරල් හයින්ස් ගුඩේරියන් විසින් ද 3 වන පැන්සර් කණ්ඩායම ලුතිනන් ජෙනරල් හර්මන් ගොත් විසින් ද මෙහෙයවන ලදී.

එමෙන්ම බාබරෝසා මෙහෙයුම් සැලසුමෙහි ෆින්ලන්ත සහ රුමේනියා හමුදාවල දායකත්වය පිළිබඳ ද කරුණු සඳහන් විය. ෆින්ලන්ත හා ජර්මන් හමුදා එක්ව ලෙනින්ග්‍රාද් දෙසට සහ මුර්මන්ස්ක් දුම්රිය මාර්ගය දෙසට ගමන් කළ යුතු වූ අතර, උතුරුදිග වරායවල් අල්ලාගත යුතු වූයේ ය. සමස්ථයක් ලෙස ගත්විට බාබරෝසා මෙහෙයුම මගින් උතුරේ ආහන්ගෙල්ස්ක් සිට දකුණේ අස්ත්‍රහාන් දක්වා ප්‍රදේශයක් අල්ලා ගැනීමට අපේක්ෂා කෙරිණ.

මෙම ප්‍රදේශයේ ඉඩම් අල්ලාගැනීම සඳහා ජර්මානුන් සැලසුම් සකස් කළෝ ය. ජර්මන් ජාතිය උත්තරීතරය යන නට්සි දර්ශනය අනුව රුසියාවේ ස්ලාව් ජාතිකයන් සුදුසු වූයේ වහලුන් ලෙස යොදාගැනීමට ය. රුසියාවේ නගරවාසීන් හාමත් කර ඒවා ජනශුන්‍ය කිරීමට නට්සීහු අදහස් කළ හ. එමෙන්ම ලෙනින්ග්‍රාදය පොළවට සමතලා කිරීමට සැලසුම් කරන ලද්දේ ය. ජර්මන් සෙබළුන් සෝවියට් දේශයේදී සිදු කෙරෙන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අපරාධමය චෝදනා ගොනු නොකෙරෙන ලෙස නීති පනවන ලදී. කොමියුනිස්ට් පාක්ෂිකයන් අල්ලාගත් වහා ඝාතනය කළ යුතු වූයේ ය.

1940 දෙසැම්බර් මුලදී හමුදා නායකයින් සමග වූ සාකච්ඡාවක් අතරතුර හිට්ලර් දන්වා සිටියේ මොස්කව් නගරය අල්ලාගැනීමට වඩා ප්‍රමුඛ ස්ථානයක් රතු හමුදාවට හැකි උපරිම හානි සිදුකිරීම කෙරෙහි යොමු වියයුතු බව ය. එහෙත් ඔහු ඉදිරිපත් කළ සැලසුමෙහි මොස්කව් පිළිබඳ වූයේ වෙනස් කරුණකි. මොස්කව් නගරය සෝවියට් දේශපාලනික කේන්ද්‍රස්ථානය වන හෙයින්ද, එරට වැදගත්ම දුම්රිය මාර්ග මධ්‍යස්ථානය හෙයින් ද, එම නගරය අල්ලාගැනීම ඉතා වැදගත් බව බාබරෝසා සැලසුම කියා සිටියේ ය.

කෙසේ නමුත් මොස්කව් අල්ලාගැනීම සහ රතු හමුදාවට හැකි උපරිම හානිය සිදු කිරීම යන අරමුණු දෙක අතර හිට්ලර් දෝලනය වෙමින් සිටියේ ය. මෙය ඔහු හා හමුදා නායකත්වය අතර මතගැටුම් සඳහා මග විවර කළ අතර බාබරෝසා මෙහෙයුමේ අවසන් අසාර්ථකත්වයට ද හේතු විය.

Wednesday, September 9, 2020

ඉපැරණි ඊජිප්තුවේ රහස් කියන අලුතින් සොයාගත් පුරාවස්තු

ඊජිප්තුවේ පුරාවිද්‍යා කැණීම් අතරතුර වසර 2500ක් පැරණි මිනී පෙට්ටි 13 ක් හමුවූ බවත් තවත් බොහෝ දෑ හමුවිය හැකි බවත් එරට සංචාරක හා පුරාවස්තු පිළිබඳ අමාත්‍යංශය පවසනවා.

සකාරා සොහොන් සංකීර්ණයේ (Saqqara Necropolis) මීටර් 11 ක් පොළව මට්ටමෙන් පහළ වූ ස්‍ථානයක මෙම මිනී පෙට්ටි හමුවී තිබෙනවා. මේ ඇතැම් ඒවායේ මුල් තීන්ත ආලේපනය ඒ ආකාරයෙන්ම වන බව ද පෙනීගොස් තිබෙනවා.


මීට අමතරව මුද්‍රා තබන ලද කුටීර තුනක් ද හමුවී තිබෙන අතර එහි තවත් වස්තූන් තිබිය හැකි බව විශ්වාස කෙරෙනවා.


සකාරා සොහොන් භූමිය ඉපැරණි ඊජිප්තු අගනුවරක් වූ මෙම්ෆීස් හි සුසාන භූමිය වන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා. මෙහි ඉහළ පැළැන්තිවල අය මෙන්ම සාමාන්‍ය මධ්‍යම පාන්තික හෝ ඇතැම්විට කම්කරු පන්තියේ හෝ පුද්ගලයන්ගේ මෘතදේහ ද ඇතැයි සැලකෙනවා.


සාමාන්‍යයෙන් ඊජිප්තුවේ බොහෝ සුසානයන් නිදන් හොරුන් විසින් කොල්ල කා තිබෙනවා. එහෙත් සකාරාවලදී මෙසේ වැඩි හානි සිදු නොවූ පුරාවස්තු හමුවීමත් සමග පුරාවිද්‍යාඥයින් පවසන්නේ මේවා හමුවූ ප්‍රදේශයේ වෙනත් වැදගත් පුරාවස්තූන් රැසක් ඉදිරියේදී සොයාගන්නට හැකිවනු ඇති බවයි.

Tuesday, September 8, 2020

ලෙනින්ග්‍රාද් වටලෑම සහ සෝවියට් ජනයාගේ වීරෝධාර ප්‍රතිරෝධය

"පීටර්ස්බර්ග් නගරය මිහිමතින් මකා දැමීමට ෆ්‍යුරර් තීරණය කර තිබේ. සෝවියට් රුසියාව විනාශ කරන ලද පසු මෙහි පැවැත්ම පිළිබඳ මට කිසිදු අවශ්‍යතාවයක් නොමැත".

- ඇඩොල්ෆ් හිට්ලර් (1941 සැප්තැම්බර් 22)

බාබරෝසා මෙහෙයුම ආරම්භ කළ අවස්ථාවේදී ජර්මානුන්ගේ මූලික ඉලක්කය වූයේ ලෙනින්ග්‍රාද් නගරය ය. මෙහෙයුමෙහි මුල් දිනවලදී උතුරුදිග හමුදා කණ්ඩායම බෝල්ටික් ප්‍රදේශයන් ඔස්සේ වේගයෙන් ඉදිරියට ඇදුණි. මේ අතර ෆින්ලන්තය දෙසින් ද ජර්මන් - ෆින්ලන්ත හමුදා ලෙනින්ග්‍රාද් දෙසට ඇදුණ හ.

ලෙනින්ග්‍රාද් වෙත කෙමෙන් ආසන්න වෙද්දී ජර්මන් උතුරුදිග හමුදා කණ්ඩායමට එල්ල වන ප්‍රතිරෝධය කෙමෙන් වැඩි විය. නෝව්ගරද්වලදී එල්ල වූ ප්‍රතිප්‍රහාර ඊට එක් උදාහරණයකි. කෙසේ නමුත් දිගටම එල්ල වූ ජර්මන් ප්‍රහාර හමුවේ රතු හමුදාවන් පසුබස්වන ලදී. 1941 සැප්තැම්බර් 8 වනදා, ලාදගා විල්බඩ පිහිටි ෂ්ලිසෙල්බුර්ග් වෙත ජර්මානු සේනා ළඟා වූහ. ලෙනින්ග්‍රාදය සහ අනෙක් සෝවියට් පාලන ප්‍රදේශ අතර වූ අවසන් ගොඩබිම් මාර්ගය මෙසේ ජර්මානුන් අතට පත් වූයේ ය. දින 882 ක් පැවති ලෙනින්ග්‍රාද් වටලෑම ඇරඹුණි. මෙම අවස්ථාවේ නගරයෙහි ළමුන් 400,000 ක් ඇතුළුව මිලියන 2.5 ක ජනගහනයක් වූහ. එහි ආහාරපාන තිබුණේ මාසයක පමණ කාලයකට ය.


සෝවියට් යුධ හමුදා ප්‍රධාන පරිපාලක මණ්ඩලයේ ලෙනින්ග්‍රාද් හි නියෝජිතයා ලෙස ජෙනරාල් ෂූකොෆ්ව වහා යැවීමට ස්ටාලින් තීරණය කළේ ය. කල්ඛින්-ගොල් හිදී ජපනුන් අන්ත පරාජයකට පත් කිරීමෙන් පසු ඔහුගේ කීර්ති නාමය ඉහළ ගියේ ය. බාබරෝසා මෙහෙයුම ඇරඹෙන අවස්ථාවේදී ෂූකොෆ් රතු හමුදා මාණ්ඩලික ප්‍රධානියා වූයේ ය. ජූලි මාසයේදී ඔහුව එම ධුරයෙන් ඉවත් කර හමුදාවක ප්‍රධානියකු කරන ලදී. එය නිලයෙන් පහළ හෙලීමක් යයි බැලූ බැල්මට දිස් වුවද, ඔහුව යොමු කරන ලද්දේ මොස්කව් දෙසට එල්ල වූ ප්‍රහාරයට එරෙහිව ප්‍රතිප්‍රහාරක මෙහෙයුමකට නායකත්වය දීමට ය. එය ස්ටාලින් සහ ෂූකොෆ් අතර එකඟතාවක් සහිතව සිදු වූ ස්ථාන මාරුවක් බව පෙනී යයි.

මෙම මෙහෙයුම සාර්ථක වූ අතර ජර්මන් හමුදා බාබරෝසා මෙහෙයුම ආරම්භයේදී ලද විරල පසුබැසීමක් ලෙස එය ඉතිහාසයට එක් විය. එයින් අනතුරුව යුධ පෙරමුණේ අවදානම් ස්ථාන පිළිබඳ කටයුතු කිරීම සඳහා ෂූකොෆ් යැවීමට ස්ටාලින් ද යොමු වූ බව පෙනේ.


ලෙනින්ග්‍රාද් හි ප්‍රධාන පරිපාලක මාණ්ඩලික නියෝජිතයා වූයේ මාර්ෂල් වරශීලොෆ් ය. අතිශයින් ම නිර්භීත නිලධාරියකු වූ නමුත් යුධ උපක්‍රම පිළිබඳ ඔහු සතු වූයේ ශුන්‍යයට ආසන්න දැනුමකි. ඔහු මාර්ෂල්වරයකු ලෙස පත් වූයේ ස්ටාලින්ගේ පැරණි මිතුරකු වූ බැවිනි. එහෙත් ලෙනින්ග්‍රාද් හි මතුවූ තත්ත්වය හේතුවෙන් ස්ටාලින් සිය මිත්‍රයාගේ ක්‍රියාකලාපය කෙරෙහි නොසතුටු වූයේ ය.

ෂූකොෆ් සිය උපරිම උත්සාහය ලෙනින්ග්‍රාද් රැකගැනීම සහ එහි වටලෑම බිඳ දැමීම කෙරෙහි යෙදවීය. එහිදී ඔහු කාලතුවක්කු කෙරෙහි වැඩි අවධානය යොමු කළේ ය. මේ අතර කිරොෆ් කර්මාන්ශාලාවේ නවතම KV යුධ ටැංකි නිපදවෙමින් තිබුණි. මේවා කෙලින්ම යවන ලද්දේ යුධ පෙරමුණට ය. තවද, සෝවියට් බෝල්ටික් මුහුදු නාවික බලකායේ නැව්වල කාලතුවක්කු ද, නාවික බලකොටු ද, වෙරළබඩ ප්‍රදේශයේ සටන් සඳහා උපකාරී විය.

කෙසේ වෙතත් වටලෑම කඩා දැමීමේ උත්සාහය මූලිකව කේන්ද්‍ර කෙරුණේ ෂ්ලිසෙල්බුර්ග් ප්‍රදේශය අසළ ය. ලෙනින්ග්‍රාද් ප්‍රදේශය තුළ කොටු වූ රතු හමුදා ද, ඊට එපිටින් වූ හමුදා ද දෙපසින් එදෙසට පහර දුන් හ. කෙසේ වෙතත්, ජර්මන් සේනාංක එම ප්‍රදේශය ආරක්ෂා කරගැනීමට සමත් වූහ.

ලෙනින්ග්‍රාද් පෙරමුණේ දී ෂූකොෆ් කෙතරම් සාර්ථක වූයේ ද යන්න විවාදයට තුඩු දෙන කාරණයකි. එක් අතකින් ඔහු නගරය ජර්මානුන් අතට පත් වීමෙන් ගලවා ගත්තේ ය. එහෙත් ඔහු අති සාර්ථක වූයේය යන අදහස පිළිබඳ ඒකමතික මතයක් නොමැත.

සැප්තැම්බර් මාසයේ අවසන් සතිය කරා එළඹෙන විට කියෙව් සටන අවසන් වෙමින් පැවතුණි. නැවත මොස්කව් වෙත මූලික අවධානය යොමු කිරීමට මෙම අවස්ථාවේදී හිට්ලර් තීරණය කළේ ය. මේ අනුව ලෙනින්ග්‍රාද් දෙස අවධානය අඩු කෙරිණ. හිට්ලර් තීරණය කළේ නගරය වටලාගෙන, හාමත් කර යටත් වීමට සැලැස්වීම ය. යම් හෙයකින් ජර්මානුන් දිගටම සම්පූර්ණ ශක්තියෙන් පහර දුන්නේ නම්, ලෙනින්ග්‍රාද් සටන කොයි අතට යන්නට තිබුණිදැයි අනුමාන කිරීම අසීරු ය.

එමෙන්ම ෂූකොෆ්ට ලැබුණ මූලික නියෝගය වූයේ ලෙනින්ග්‍රාද් වටලෑම බිඳ හෙලීම ය. එහිදී ඔහු සාර්ථක නොවූයේ ය. මේ අනුව, ඔහුගේ මූලික අරමුණ සාක්ෂාත් කරගැනීමට ෂූකොෆ් අපොහොසත් වූයේ ය.

කරුණු එසේ වුවද, ලෙනින්ග්‍රාද් ගලවා ගන්නා ලද බව ද, ඒ සඳහා ෂූකොෆ් පැහැදිලි දායකත්වයක් දැක්වූ බව ද පිළිගත යුතු සත්‍යයකි. එමෙන්ම, පරාජය පිට පරාජය ලබන සෝවියට් රතු හමුදාවන්ට ලෙනින්ග්‍රාද් රැකගත හැකිවීම වැදගත් කරුණක් වූයේ ය.

මීළඟ මාස කිහිපයේදී තත්ත්වය තවත් අයහපත් අතට හැරුණි. සිසිර ඍතුව නගරය වෙළා ගනිද්දී ආහාර සැපයුම් අඩාල විය. පුද්ගලයකුට ලබාදෙන පාන් සලාකය දිනකට ග්‍රෑම් 125 දක්වා අඩු කෙරිණ. කම්කරුවන්ට එමෙන් දෙගුණයක් ලැබුණි. පාන්වල තත්ත්වය ද බාල විය. මේ අතර, ලාදගා විල මිදී තිබුණ ද ඒ මතින් සැපයුම් ගෙන ඒම අපහසු විය. විලෙහි ජලය එකාකාරව නොමිදීම ඊට එක් හේතුවක් විය. එමෙන්ම මිදුණ විල හරහා ගමන් කළ හැකි කෙටිම දුර, සතුරු කාලතුවක්කු පරාසයේ විය. එහෙයින් ඊට උතුරින්, විල මතින් සැපයුම් මාර්ගයක් නිර්මාණය විය. විටින් විට, හිම පතනයෙහි සහ අයිස් තට්ටුවේ ඝණකම අනුව, මෙම සැපයුම් මාර්ගය ස්වල්ප වශයෙන් වෙනස් කර ගන්නා ලද්දේ ය. මෙම මාර්ගය අදට ද "ජීවයේ මග" ලෙස හඳුන්වා දෙනු ලබයි.

(මෙසේ ඇරඹුණු ලෙනින් ග්‍රාද් වටලෑම අවසන් වූයේ 1944 ජනවාරි 27 වනදා ය)

Monday, September 7, 2020

මහාභාරතය ලියූ ව්‍යාස ඍෂිවරයාගේ සොහොන

ඉන්දියාවේ මහා වීර කාව්‍යය කුමක්දැයි අපෙන් ඇහුවොත් නිසැකවම ඊට පිළිතුර වන්නේ මහාභාරතය යන්නයි.

මහාභාරතය රචනා කළ බවට සැලකෙන ව්‍යාස ඍෂිවරයාගෙ බව කියවෙන සොහොන තියෙන්නෙ බටහිර රාජස්ථානයේ ජයිසල්මේර් නගරයේ යි.

ඇත්තෙන්ම, මහාභාරතය රචනා කිරීම පිළිබඳ විවිධ මත තියෙනවා. ඇතැම් මතයකින් කියවෙන්නේ එය අතීතයේ සිදුවූ යම් බල අරගලයක් මුල් කරගෙන රචනා කරනු ලැබ, පසුව ජනකතා සහ වෙනත් එකතු කිරීම් ද සමග විශාල කතා පුවතක් වූ බවයි.

ඒ කෙසේ වුණත් පුරාවෘත්තයන් කියන ආකාරයට ව්‍යාස නම් ඍෂිවරයා රචනා කළ කෘතියක් ලෙස මහාභාරතය සැලකෙනවා. ඇතැම්විට මහාභාරතය මුලින්ම රචනා කළේ ඔහු වන්නට ඇති.

එමෙන්ම ව්‍යාස ජීවත්වුණා යයි සැලකෙන්නෙ වර්තමාන ඉන්දියාවෙ උත්තරාඛන්ද් ආශ්‍රිතවයි. තවද ජයිසල්මේර්වල ඉතිහාසය වසර දහසක් තරම්වත් පැරණි නැහැ. ඒ අනුව ඇත්තෙන්ම ව්‍යාස් චත්‍රි යනු ව්‍යාසගේ සොහොන පිහිටි ස්මාරකයද යයි සැකයක් මතු වනවා.

මේ කාරණා පසෙකින් තබා, අපි පුරාවෘත්තවල කියවෙන දේ මඳකට විශ්වාස කරමින්, ව්‍යාස් චත්‍රි ගැන හඳුනාගමු.


ව්‍යාස් චත්‍රි පිහිටා තියෙන්නෙ ජයිසල්මේර් බලකොටුවට ටිකක් එපිටින්. දුර සඳහන් කළොත් කිලෝමීටරයකට ටිකක් වැඩියි. කෙටි පවුරකින් වටකරපු විවෘත බිමක මැදට වන්නට වන උස් බිමක තමයි මෙහි සොහොන් නිර්මාණය කර තිබෙන්නේ. මෙය ජයිසල්මේර් හි බ්‍රාහ්මණයින් සඳහා වූ සොහොන් බිමක් ලෙස සැලකෙන අතර ව්‍යාස් ඍෂිවරයාගෙ ස්මාරකය එහි ඇති එක් ස්මාරකයක් වනවා.

මෙහි චත්‍රි යනුවෙන් හඳුන්වන්නෙ ඉන්දීය ගෘහනිර්මාණ ශිල්පයේ එක් අංගයක්. සාමාන්‍යයෙන් එයින් ඇඟවෙන්නේ සොහොනක් හෝ ස්මාරකයක් ආවරණය කෙරෙන, අලංකාර රටාවන් සහිතව තැනෙන ගොඩනැගිල්ලක්.

ජයිසල්මේර් බලකොටුව ගැන කියෙව්වේ නැතිනම් මේ ලිපිය කියවල බලන්න.

ජයිසල්මේර්වල අනෙකුත් ගොඩනැගිලි වගේම ව්‍යාස් චත්‍රි කියන්නෙත් කහපාට වැලිගලින් තැනූවක්. එය රාජස්ථානි ගෘහනිර්මාණ ශිල්පය පිළිබඳ කදිම නිදසුනක්. මෙවැනිම තවත් ස්ථානයක් වන බඩා බාග් නම් ස්ථානයක් ද ජයිසල්මේර් හි වනවා. ඊට ජයිසල්මේර් කොටුවෙන් තවත් ටිකක් ඈතට යන්න අවශ්‍යයි.


ඒ වගේම එය හිරු බැසීම දකින්නත් සුදුසුම ස්ථානයක් බවත් එහි සිට ජයිසල්මේර් නගරය මනාව දිස්වන බවත් පැවසෙනවා. අපට ඒ පිළිබඳ කිව නොහැක්කේ අප එහි ගියේ උදය වරුවක බැවින්.

අප නැවතී සිටි තැනට ව්‍යාස් චත්‍රි ඉතා ආසන්න වූ අතර ඒ නිසා ම අප එහි ගියේ පාගමනින්. ඒ වනවිට එම ස්ථානය විවෘත කර නොතිබූ හෙයින් අපට එය දකින්න ලැබුණේ දුර සිට පමණයි. අප යද්දී එහි යම් පිරිසක් අතුපතුගාමින් සිටි අතර, ඔවුන් අප ඊට ඇතුළු වන ප්‍රධාන දොරටුව අසළට පැමිණියද අප ළඟට ආවේ නැහැ. ඔවුන් ඈත සිට පැවසූ දෙයින් අපට හැඟී ගියේ උදෑසන දහයට එය විවෘත කරන බවක්. එහෙත් එය විවෘත කරන තෙක් සිටින්න නොහැකි වුණේ අපට එදින සවස ජෝද්පූර් බලා එන්නට දුම්රිය යෙදී තිබුණ නිසයි.

ඉර බහින වෙලාවක ව්‍යාස් චත්‍රි බලන්න යන්නට නොහැකි වූ හේතුව පසුව කියන්නම්. අප දවස් දෙකක් ජයිසල්මේර් හි ඉර බසින වෙලාවල සිටියත් ඒ අවස්ථා දෙකේම අප සිටියේ වෙනත් ස්ථානවලයි. එයින් එක් වතාවක අප සිටියේ කාන්තාරයේ යි.