Tuesday, September 8, 2020

ලෙනින්ග්‍රාද් වටලෑම සහ සෝවියට් ජනයාගේ වීරෝධාර ප්‍රතිරෝධය

"පීටර්ස්බර්ග් නගරය මිහිමතින් මකා දැමීමට ෆ්‍යුරර් තීරණය කර තිබේ. සෝවියට් රුසියාව විනාශ කරන ලද පසු මෙහි පැවැත්ම පිළිබඳ මට කිසිදු අවශ්‍යතාවයක් නොමැත".

- ඇඩොල්ෆ් හිට්ලර් (1941 සැප්තැම්බර් 22)

බාබරෝසා මෙහෙයුම ආරම්භ කළ අවස්ථාවේදී ජර්මානුන්ගේ මූලික ඉලක්කය වූයේ ලෙනින්ග්‍රාද් නගරය ය. මෙහෙයුමෙහි මුල් දිනවලදී උතුරුදිග හමුදා කණ්ඩායම බෝල්ටික් ප්‍රදේශයන් ඔස්සේ වේගයෙන් ඉදිරියට ඇදුණි. මේ අතර ෆින්ලන්තය දෙසින් ද ජර්මන් - ෆින්ලන්ත හමුදා ලෙනින්ග්‍රාද් දෙසට ඇදුණ හ.

ලෙනින්ග්‍රාද් වෙත කෙමෙන් ආසන්න වෙද්දී ජර්මන් උතුරුදිග හමුදා කණ්ඩායමට එල්ල වන ප්‍රතිරෝධය කෙමෙන් වැඩි විය. නෝව්ගරද්වලදී එල්ල වූ ප්‍රතිප්‍රහාර ඊට එක් උදාහරණයකි. කෙසේ නමුත් දිගටම එල්ල වූ ජර්මන් ප්‍රහාර හමුවේ රතු හමුදාවන් පසුබස්වන ලදී. 1941 සැප්තැම්බර් 8 වනදා, ලාදගා විල්බඩ පිහිටි ෂ්ලිසෙල්බුර්ග් වෙත ජර්මානු සේනා ළඟා වූහ. ලෙනින්ග්‍රාදය සහ අනෙක් සෝවියට් පාලන ප්‍රදේශ අතර වූ අවසන් ගොඩබිම් මාර්ගය මෙසේ ජර්මානුන් අතට පත් වූයේ ය. දින 882 ක් පැවති ලෙනින්ග්‍රාද් වටලෑම ඇරඹුණි. මෙම අවස්ථාවේ නගරයෙහි ළමුන් 400,000 ක් ඇතුළුව මිලියන 2.5 ක ජනගහනයක් වූහ. එහි ආහාරපාන තිබුණේ මාසයක පමණ කාලයකට ය.


සෝවියට් යුධ හමුදා ප්‍රධාන පරිපාලක මණ්ඩලයේ ලෙනින්ග්‍රාද් හි නියෝජිතයා ලෙස ජෙනරාල් ෂූකොෆ්ව වහා යැවීමට ස්ටාලින් තීරණය කළේ ය. කල්ඛින්-ගොල් හිදී ජපනුන් අන්ත පරාජයකට පත් කිරීමෙන් පසු ඔහුගේ කීර්ති නාමය ඉහළ ගියේ ය. බාබරෝසා මෙහෙයුම ඇරඹෙන අවස්ථාවේදී ෂූකොෆ් රතු හමුදා මාණ්ඩලික ප්‍රධානියා වූයේ ය. ජූලි මාසයේදී ඔහුව එම ධුරයෙන් ඉවත් කර හමුදාවක ප්‍රධානියකු කරන ලදී. එය නිලයෙන් පහළ හෙලීමක් යයි බැලූ බැල්මට දිස් වුවද, ඔහුව යොමු කරන ලද්දේ මොස්කව් දෙසට එල්ල වූ ප්‍රහාරයට එරෙහිව ප්‍රතිප්‍රහාරක මෙහෙයුමකට නායකත්වය දීමට ය. එය ස්ටාලින් සහ ෂූකොෆ් අතර එකඟතාවක් සහිතව සිදු වූ ස්ථාන මාරුවක් බව පෙනී යයි.

මෙම මෙහෙයුම සාර්ථක වූ අතර ජර්මන් හමුදා බාබරෝසා මෙහෙයුම ආරම්භයේදී ලද විරල පසුබැසීමක් ලෙස එය ඉතිහාසයට එක් විය. එයින් අනතුරුව යුධ පෙරමුණේ අවදානම් ස්ථාන පිළිබඳ කටයුතු කිරීම සඳහා ෂූකොෆ් යැවීමට ස්ටාලින් ද යොමු වූ බව පෙනේ.


ලෙනින්ග්‍රාද් හි ප්‍රධාන පරිපාලක මාණ්ඩලික නියෝජිතයා වූයේ මාර්ෂල් වරශීලොෆ් ය. අතිශයින් ම නිර්භීත නිලධාරියකු වූ නමුත් යුධ උපක්‍රම පිළිබඳ ඔහු සතු වූයේ ශුන්‍යයට ආසන්න දැනුමකි. ඔහු මාර්ෂල්වරයකු ලෙස පත් වූයේ ස්ටාලින්ගේ පැරණි මිතුරකු වූ බැවිනි. එහෙත් ලෙනින්ග්‍රාද් හි මතුවූ තත්ත්වය හේතුවෙන් ස්ටාලින් සිය මිත්‍රයාගේ ක්‍රියාකලාපය කෙරෙහි නොසතුටු වූයේ ය.

ෂූකොෆ් සිය උපරිම උත්සාහය ලෙනින්ග්‍රාද් රැකගැනීම සහ එහි වටලෑම බිඳ දැමීම කෙරෙහි යෙදවීය. එහිදී ඔහු කාලතුවක්කු කෙරෙහි වැඩි අවධානය යොමු කළේ ය. මේ අතර කිරොෆ් කර්මාන්ශාලාවේ නවතම KV යුධ ටැංකි නිපදවෙමින් තිබුණි. මේවා කෙලින්ම යවන ලද්දේ යුධ පෙරමුණට ය. තවද, සෝවියට් බෝල්ටික් මුහුදු නාවික බලකායේ නැව්වල කාලතුවක්කු ද, නාවික බලකොටු ද, වෙරළබඩ ප්‍රදේශයේ සටන් සඳහා උපකාරී විය.

කෙසේ වෙතත් වටලෑම කඩා දැමීමේ උත්සාහය මූලිකව කේන්ද්‍ර කෙරුණේ ෂ්ලිසෙල්බුර්ග් ප්‍රදේශය අසළ ය. ලෙනින්ග්‍රාද් ප්‍රදේශය තුළ කොටු වූ රතු හමුදා ද, ඊට එපිටින් වූ හමුදා ද දෙපසින් එදෙසට පහර දුන් හ. කෙසේ වෙතත්, ජර්මන් සේනාංක එම ප්‍රදේශය ආරක්ෂා කරගැනීමට සමත් වූහ.

ලෙනින්ග්‍රාද් පෙරමුණේ දී ෂූකොෆ් කෙතරම් සාර්ථක වූයේ ද යන්න විවාදයට තුඩු දෙන කාරණයකි. එක් අතකින් ඔහු නගරය ජර්මානුන් අතට පත් වීමෙන් ගලවා ගත්තේ ය. එහෙත් ඔහු අති සාර්ථක වූයේය යන අදහස පිළිබඳ ඒකමතික මතයක් නොමැත.

සැප්තැම්බර් මාසයේ අවසන් සතිය කරා එළඹෙන විට කියෙව් සටන අවසන් වෙමින් පැවතුණි. නැවත මොස්කව් වෙත මූලික අවධානය යොමු කිරීමට මෙම අවස්ථාවේදී හිට්ලර් තීරණය කළේ ය. මේ අනුව ලෙනින්ග්‍රාද් දෙස අවධානය අඩු කෙරිණ. හිට්ලර් තීරණය කළේ නගරය වටලාගෙන, හාමත් කර යටත් වීමට සැලැස්වීම ය. යම් හෙයකින් ජර්මානුන් දිගටම සම්පූර්ණ ශක්තියෙන් පහර දුන්නේ නම්, ලෙනින්ග්‍රාද් සටන කොයි අතට යන්නට තිබුණිදැයි අනුමාන කිරීම අසීරු ය.

එමෙන්ම ෂූකොෆ්ට ලැබුණ මූලික නියෝගය වූයේ ලෙනින්ග්‍රාද් වටලෑම බිඳ හෙලීම ය. එහිදී ඔහු සාර්ථක නොවූයේ ය. මේ අනුව, ඔහුගේ මූලික අරමුණ සාක්ෂාත් කරගැනීමට ෂූකොෆ් අපොහොසත් වූයේ ය.

කරුණු එසේ වුවද, ලෙනින්ග්‍රාද් ගලවා ගන්නා ලද බව ද, ඒ සඳහා ෂූකොෆ් පැහැදිලි දායකත්වයක් දැක්වූ බව ද පිළිගත යුතු සත්‍යයකි. එමෙන්ම, පරාජය පිට පරාජය ලබන සෝවියට් රතු හමුදාවන්ට ලෙනින්ග්‍රාද් රැකගත හැකිවීම වැදගත් කරුණක් වූයේ ය.

මීළඟ මාස කිහිපයේදී තත්ත්වය තවත් අයහපත් අතට හැරුණි. සිසිර ඍතුව නගරය වෙළා ගනිද්දී ආහාර සැපයුම් අඩාල විය. පුද්ගලයකුට ලබාදෙන පාන් සලාකය දිනකට ග්‍රෑම් 125 දක්වා අඩු කෙරිණ. කම්කරුවන්ට එමෙන් දෙගුණයක් ලැබුණි. පාන්වල තත්ත්වය ද බාල විය. මේ අතර, ලාදගා විල මිදී තිබුණ ද ඒ මතින් සැපයුම් ගෙන ඒම අපහසු විය. විලෙහි ජලය එකාකාරව නොමිදීම ඊට එක් හේතුවක් විය. එමෙන්ම මිදුණ විල හරහා ගමන් කළ හැකි කෙටිම දුර, සතුරු කාලතුවක්කු පරාසයේ විය. එහෙයින් ඊට උතුරින්, විල මතින් සැපයුම් මාර්ගයක් නිර්මාණය විය. විටින් විට, හිම පතනයෙහි සහ අයිස් තට්ටුවේ ඝණකම අනුව, මෙම සැපයුම් මාර්ගය ස්වල්ප වශයෙන් වෙනස් කර ගන්නා ලද්දේ ය. මෙම මාර්ගය අදට ද "ජීවයේ මග" ලෙස හඳුන්වා දෙනු ලබයි.

(මෙසේ ඇරඹුණු ලෙනින් ග්‍රාද් වටලෑම අවසන් වූයේ 1944 ජනවාරි 27 වනදා ය)

Monday, September 7, 2020

මහාභාරතය ලියූ ව්‍යාස ඍෂිවරයාගේ සොහොන

ඉන්දියාවේ මහා වීර කාව්‍යය කුමක්දැයි අපෙන් ඇහුවොත් නිසැකවම ඊට පිළිතුර වන්නේ මහාභාරතය යන්නයි.

මහාභාරතය රචනා කළ බවට සැලකෙන ව්‍යාස ඍෂිවරයාගෙ බව කියවෙන සොහොන තියෙන්නෙ බටහිර රාජස්ථානයේ ජයිසල්මේර් නගරයේ යි.

ඇත්තෙන්ම, මහාභාරතය රචනා කිරීම පිළිබඳ විවිධ මත තියෙනවා. ඇතැම් මතයකින් කියවෙන්නේ එය අතීතයේ සිදුවූ යම් බල අරගලයක් මුල් කරගෙන රචනා කරනු ලැබ, පසුව ජනකතා සහ වෙනත් එකතු කිරීම් ද සමග විශාල කතා පුවතක් වූ බවයි.

ඒ කෙසේ වුණත් පුරාවෘත්තයන් කියන ආකාරයට ව්‍යාස නම් ඍෂිවරයා රචනා කළ කෘතියක් ලෙස මහාභාරතය සැලකෙනවා. ඇතැම්විට මහාභාරතය මුලින්ම රචනා කළේ ඔහු වන්නට ඇති.

එමෙන්ම ව්‍යාස ජීවත්වුණා යයි සැලකෙන්නෙ වර්තමාන ඉන්දියාවෙ උත්තරාඛන්ද් ආශ්‍රිතවයි. තවද ජයිසල්මේර්වල ඉතිහාසය වසර දහසක් තරම්වත් පැරණි නැහැ. ඒ අනුව ඇත්තෙන්ම ව්‍යාස් චත්‍රි යනු ව්‍යාසගේ සොහොන පිහිටි ස්මාරකයද යයි සැකයක් මතු වනවා.

මේ කාරණා පසෙකින් තබා, අපි පුරාවෘත්තවල කියවෙන දේ මඳකට විශ්වාස කරමින්, ව්‍යාස් චත්‍රි ගැන හඳුනාගමු.


ව්‍යාස් චත්‍රි පිහිටා තියෙන්නෙ ජයිසල්මේර් බලකොටුවට ටිකක් එපිටින්. දුර සඳහන් කළොත් කිලෝමීටරයකට ටිකක් වැඩියි. කෙටි පවුරකින් වටකරපු විවෘත බිමක මැදට වන්නට වන උස් බිමක තමයි මෙහි සොහොන් නිර්මාණය කර තිබෙන්නේ. මෙය ජයිසල්මේර් හි බ්‍රාහ්මණයින් සඳහා වූ සොහොන් බිමක් ලෙස සැලකෙන අතර ව්‍යාස් ඍෂිවරයාගෙ ස්මාරකය එහි ඇති එක් ස්මාරකයක් වනවා.

මෙහි චත්‍රි යනුවෙන් හඳුන්වන්නෙ ඉන්දීය ගෘහනිර්මාණ ශිල්පයේ එක් අංගයක්. සාමාන්‍යයෙන් එයින් ඇඟවෙන්නේ සොහොනක් හෝ ස්මාරකයක් ආවරණය කෙරෙන, අලංකාර රටාවන් සහිතව තැනෙන ගොඩනැගිල්ලක්.

ජයිසල්මේර් බලකොටුව ගැන කියෙව්වේ නැතිනම් මේ ලිපිය කියවල බලන්න.

ජයිසල්මේර්වල අනෙකුත් ගොඩනැගිලි වගේම ව්‍යාස් චත්‍රි කියන්නෙත් කහපාට වැලිගලින් තැනූවක්. එය රාජස්ථානි ගෘහනිර්මාණ ශිල්පය පිළිබඳ කදිම නිදසුනක්. මෙවැනිම තවත් ස්ථානයක් වන බඩා බාග් නම් ස්ථානයක් ද ජයිසල්මේර් හි වනවා. ඊට ජයිසල්මේර් කොටුවෙන් තවත් ටිකක් ඈතට යන්න අවශ්‍යයි.


ඒ වගේම එය හිරු බැසීම දකින්නත් සුදුසුම ස්ථානයක් බවත් එහි සිට ජයිසල්මේර් නගරය මනාව දිස්වන බවත් පැවසෙනවා. අපට ඒ පිළිබඳ කිව නොහැක්කේ අප එහි ගියේ උදය වරුවක බැවින්.

අප නැවතී සිටි තැනට ව්‍යාස් චත්‍රි ඉතා ආසන්න වූ අතර ඒ නිසා ම අප එහි ගියේ පාගමනින්. ඒ වනවිට එම ස්ථානය විවෘත කර නොතිබූ හෙයින් අපට එය දකින්න ලැබුණේ දුර සිට පමණයි. අප යද්දී එහි යම් පිරිසක් අතුපතුගාමින් සිටි අතර, ඔවුන් අප ඊට ඇතුළු වන ප්‍රධාන දොරටුව අසළට පැමිණියද අප ළඟට ආවේ නැහැ. ඔවුන් ඈත සිට පැවසූ දෙයින් අපට හැඟී ගියේ උදෑසන දහයට එය විවෘත කරන බවක්. එහෙත් එය විවෘත කරන තෙක් සිටින්න නොහැකි වුණේ අපට එදින සවස ජෝද්පූර් බලා එන්නට දුම්රිය යෙදී තිබුණ නිසයි.

ඉර බහින වෙලාවක ව්‍යාස් චත්‍රි බලන්න යන්නට නොහැකි වූ හේතුව පසුව කියන්නම්. අප දවස් දෙකක් ජයිසල්මේර් හි ඉර බසින වෙලාවල සිටියත් ඒ අවස්ථා දෙකේම අප සිටියේ වෙනත් ස්ථානවලයි. එයින් එක් වතාවක අප සිටියේ කාන්තාරයේ යි.

පළමු ලෝක යුද්ධය​: ජර්මන් යටත්විජිතවල සටන් 1914 - 18

ජර්මනිය යටත් විජිත සටනට එක් වූයේ 1884 දී ය​. එරට බොහෝ යුරෝපා රටවලට වඩා ප්‍රමාද වී එම පොරයට එක් වූ බැවින් ජර්මනියට යටත් ප්‍රදේශ ලබාගැනීම උදෙසා බලාපොරොත්තු තැබිය හැකි වූයේ අප්‍රිකාවේ සහ පැසිෆික් සාගරයේ ඇතැම් පෙදෙස් කෙරෙහි පමණකි.

ආරම්භයේදීම ජර්මනිය වැඩි කරදරයකින් තොරවම විශාල ප්‍රදේශ කිහිපයක අයිතිය ලබාගත්තේය​. නිරිතදිග අප්‍රිකාව (වර්තමාන නැමීබියාව​), ටෝගෝලන්තය සහ කැමරූනය 1884 දී ලබාගත් ජර්මන්නු 1885 දී ටැංගනීකාව අල්ලා ගත් හ​. මේ අනුව වසරකට මදක් වැඩි කළක් තුළ එරටට වර්ග සැතැපුම් මිලියනයක පමණ ප්‍රදේශයක් අල්ලාගත හැකි විය​. ඒ වෙනත් බටහිර රටක් සමඟ යුධ වැදීමකින් තොරව ය​.

මීළඟ වසර කිහිපයේදී ජර්මනියේ අවධානය පැසිෆික් සාගර දූපත් සහ චීනය දෙස යොමු වූයේය​. 1914 වන විට නිව් ගිනියා දූපතෙන් කොටසක් සහ අසළ පිහිටි බිස්මාර්ක් දූපත් ද​, පැසිෆික් සාගරයේ සැමෝවා දූපත්වලින් කොටසක් (වර්තමාන සැමෝවා රාජ්‍යය​), මාර්ෂල් දූපත්, මරියානා දූපත්, පලාවු සහ කැරොලිනා දූපත් ද​, චීනයේ ෂැංටුං අර්ධද්වීපයේ ට්සිංටාඕ බලකොටුව ද ජර්මනිය අත පැවතිණ​.

පැසිෆික් සාගරයේ ජර්මන් විජිත - 1914

1914 අගෝස්තුවේදී ම, එනම් පළමු ලෝක යුද්ධය ඇරඹි වහාම​, ජර්මන් පැසිෆික් විජිතවලට තර්ජනය කරන ලදී. බොහෝකොටම කුඩා දූපත් වූ මේවායේ ආරක්ෂාව සැලසීමට ප්‍රබල නාවුක හමුදාවක් නොවීම ජර්මනියට වූ විශාලම පාඩුව විය​. මිත්‍ර පාක්ෂිකයෝ ඉන් උපරිම ප්‍රතිඵල නෙළා ගත් හ​.

අගෝස්තුවේ දී නවසීලන්ත භටයින් විසින් ජර්මානු සැමෝවාව අල්ලා ගනු ලැබුණි. සැප්තැම්බරයේදී නිව් ගිනියා දූපත්වල සහ බිස්මාර්ක් දූපත්වල ජර්මානු ප්‍රදේශ ඔස්ට්‍රේලියානුවන්ට යටත් විය​.

ජපානය පළමු ලෝක යුද්ධයේදී චීනයේ සහ පැසිෆික් සාගර ප්‍රදේශවල ජර්මානු යටත් ප්‍රදේශවලට පහර දීමේ විශාල වැඩ ප්‍රමාණයක් කළේය​. 1914 අගෝස්තු - නොවැම්බර් සමයේදී මාර්ෂල් දූපත්, මරියානා දූපත්, පලාවු දූපත් සහ කැරොලිනා දූපත් යන දූපත් කාණ්ඩ සියල්ල ජපන් හමුදා යටතට ගනු ලැබීය​.

මේ අතර අගෝස්තු මාසයේ සිට ජපන් නාවික හමුදාව විසින් ට්සිංටාඕ බලකොටුව නාවුක වටලෑමකට යටත් කළ අතර ඔක්තෝබර 31 වනදා සිට එය අල්ලාගැනීමේ මෙහෙයුම් අරඹන ලද අතර නොවැම්බර් 7 වනදා බලකොටුව යටත් විය​.

අප්‍රිකාවේ ජර්මන් යටත් විජිත 1914 - 18

ඉංග්‍රීසි - ප්‍රංශ සේනාංකයක් විසින් 1914 අගෝස්තුවේදීම ටෝගෝලන්තය යටත් කරගන්නා ලදී. සැප්තැම්බරයේදී නයිජීරියාවේ සිට බ්‍රිතාන්‍යයෝ කැමරූනයේ බටහිර ප්‍රදේශය ආක්‍රමණය කළ හ​. මේ අතර ප්‍රංශ සමකාසන්න අප්‍රිකාවේ සිට ප්‍රංශ සේනාංක දකුණු සහ නැගැනහිර කැමරූනයට කඩා වැදුණෝය​.

කැමරූනයට කඩා වැදුණ බ්‍රිතාන්‍යය හමුදා සේනාංක තුනක් විය​. ඉන් උතුරුදිගින් ම වූ සේනාංකය මොරා බලකොටුව අල්ලා ගැනීමට කළ උත්සාහය අසාර්ථක වූ මුත් ජර්මානු සෙබලු එම කොටුව අතැර අසළ වූ කන්ද වෙත පසු බැස්සෝය​. එහි සිට ඔවුහු බ්‍රිතාන්‍ය ප්‍රහාරවලට මුහුණ දුන්නෝය​. කැමරූනය සම්පූර්ණයෙන්ම යටත් කරගන්නා තුරුම මෙහි සටන් පැවතුණි.




මේ අතර, දෙවැනියෙන් වූ සේනාංකය ද සාර්ථකව ඉදිරියට පැමිණි නමුත් ගරුවා බලකොටුව අල්ලාගැනීමට කළ උත්සාහය අසාර්ථක වීමෙන් එම ඉදිරි ගමන නැවතුණි. දකුණින්ම වූ සේනාංකය අන්ත පරාජයට පත් විය​.

1915 ජූනි මාසයේදී ගරුවා කොටුව බ්‍රිතාන්‍යයන් අතට පත් විය​. මීළඟ මාස කිහිපය තුළදී බ්‍රිතාන්‍යය සහ ප්‍රංශ හමුදා කැමරූනය කෙමෙන් යටත් කරගත් හ​. ජර්මානුන් යවුන්ඩේ අගනුවර අවට රට මැද කඳුකරයේ ආරක්ෂාව පතා පසු බැස්සෝය​.

කෙසේ නමුත් 1916 පෙබරවාරි වනවිට කැමරූනය මුලුමනින් මිත්‍ර පාක්ෂිකයන් අත විය​.




මේ අතර 1914 සැප්තැම්බරයේදී ජර්මන් නිරිතදිග අප්‍රිකාව, දකුණු අප්‍රිකානු හමුදා විසින් ආක්‍රමණය කරන ලදී. බ්‍රිතාන්‍යය පාර්ශවය ගෙන දකුණු අප්‍රිකාව යුද්ධයට අවතීර්ණ වීමට ගත් තීරණය එරට තුළ සැළකිය යුතු බෙදීමක් ඇති කළ අතර එරට බෝයර්වරුන් සුලු පිරිසක් රජයට එරෙහිව කැරලි ගැසීය​. එම කැරැල්ල වැඩි කලක් නොගොස් මර්ධනය කරන ලදී. මේ අතර ජර්මන් නිරිතදිග අප්‍රිකාව ද 1915 ජූලි මාසය වනවිට මුලුමනින් ම අල්ලාගන්නා ලදී.

මිත්‍ර රටවලට විශාලම ප්‍රතිරෝධයක් පෑ ජර්මන් යටත් විජිතය වූයේ නැගෙනහිර අප්‍රිකාවේ පිහිටි ටැන්ගනීකාව ය​. මෙම ප්‍රතිරෝධයට නායකත්වය දුන්නේ ජෙනරල් පෝල් ෆොන් ලෙට්ටොව්-වෝර්බෙක් ය​. ඔහුගේ ජර්මන් සෙබලු 1914 නොවැම්බරයේදී එල්ල වූ ප්‍රබල ඉංග්‍රීසි - ඉන්දියානු හමුදා ප්‍රහාරයක් මැඩ පැවැත්වූහ​. මින් පසු කළක් මුලුල්ලේ දෙපිරිස අතර සුලු සටන් සිදු විය​. ටැංගනීකා විලේ පාලනය පිළිබඳව ද නාවික සටන් ඇතිවූ අතර 1915 නොවැම්බර් වනවිට මිත්‍ර පාක්ෂිකයෝ එහි බලය පැතිරවූහ​.

1916 දී දකුණු අප්‍රිකානු ජෙනරල් ජෑන් ක්‍රිස්ටියන් ස්මට්ස් යටතේ වූ දකුණු අප්‍රිකානු, බ්‍රිතාන්‍ය සහ පෘතුගීසි හමුදා සේනාංක ටැංගනීකාවට කඩා වැදුණහ​. මෙම විශාල හමුදා ශක්‍තිය හමුවේ ලෙට්ටොව්-වෝර්බෙක් ටැංගනීකාවේ ගිණිකොණ දිග ප්‍රදේශයට පසු බැස්සේය​. ඉන් පසු ඔහු දිගටම මිත්‍ර හමුදාවලට හසු නොවෙමින් සටන ගෙන ගියේය​.

1917 වසර අවසාන සමයේ ඔහු පෘතුගීසි නැගෙනහිර අප්‍රිකාව (වර්තමාන මොසැම්බික්) ආක්‍රමණය කළ අතර ඉන් පසු තව දුරටත් මිත්‍ර හමුදා මගහරිමින් සිටියේය​. ඔහු සටන ගෙනගියේ දැඩි අපහසුතා සහ හීනවන පිරිස් බලය ද මධ්‍යයේය​. 1918 නොවැම්බරයේදී ලෙට්ටොව්-වෝර්බෙක් සිය හමුදා නැවතත් ආක්‍රමණයක යෙදවූයේ රොඩේෂියාව වෙත කඩා පනිමිනි.

1918 නොවැම්බර් 11 වනදා ජර්මන් සේනාංක යුරෝපයේදී අවි බිම තබද්දී ලෙට්ටොව්-වෝර්බෙක් සිටියේ රොඩේෂියාවේ ය​. ඉන් දින තුනකට පසු ඔහු මිත්‍ර පාක්ෂිකයන්ට යටත් වූයේය​.

Saturday, September 5, 2020

උතුරු කොරියාවේ කිම් ජොංග්-උන්ගේ සහෝදරිය කිම් යෝ-ජොංග්

උතුරු කොරියානු නායක කිම් ජොංග්-උන්ගේ අනුප්‍රාප්තිකයා වියහැකි යයි විශේෂයෙන්ම බටහිර ඇතැම් මාධ්‍ය විසින් මතු කර පෙන්වන කිම් යෝ-ජොංග් තවමත් 32 වන හෝ 33 වන වියෙහි පසුවන කාන්‍තාවක්. කිම් ජොංග්-උන්ගේ සෞඛ්‍යය තත්ත්වය පිළිබඳ විවිධ සැක සංකා මතුවන හෙයින් කිම් යෝ-ජොංග් ඊළඟ උතුරු කොරියානු නායකයා වනු ඇතැයි ඇතැමුන් අනුමාන කරනවා.

1987 හෝ 1988 දී උපන් බව විශ්වාස කෙරෙන කිම් යෝ-ජොංග් උතුරු කොරියාවේ දෙවැනි නායකයා වූ කිම් ජොංග්-ඉල්ගේ බාලම දරුවා යි. ඇය සහ ඇගේ සහෝදර කිම් ජොංග්-උන් යන දෙදෙනාම ස්විට්සර්ලන්තයේ අධ්‍යාපනය ලද බවයි කියවෙන්නේ.

Pic: AP

කිම් යෝ-ජොංග් බාහිර ලෝකයේ බොහෝ දෙනා අතර කතාබහට ලක්වන අයකු වුණේ 2018 පෙබරවාරි මාසයේදී දකුණු කොරියාවේ පැවති සිසිර ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයට සහභාගී වීම සඳහා පැමිණීමත් සමගයි. එහිදී ඇය දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන් හමුවී අතට අත දෙන අවස්ථාවෙහි ඡායාරූප ජාත්‍යන්තර මාධ්‍යවල පළවුණා.

එයින් පසුව ගතවූ මාස කිහිපය උතුරු කොරියානු රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල අලුත් නැඹුරුවක් පෙන්නුම් කළා. 2018 අප්‍රේල් 27 වනදා උතුරු කොරියාවේ සහ දකුණු කොරියාවේ නායකයින් හමුවීම, කිම් ජොංග්-උන් හා චීන ජනාධිපති ෂී ජින්පිං හමුවීම මෙන්ම කිම් ජොංග්-උන් හා ඩොනල්ඩ් ට්‍රම්ප් අතර 2018 ජූනි 12 සිදුවූ ඓතිහාසික හමුව මේ මාස කිහිපය තුළ සිදුවුණා. මේ සියල්ලේදී ම කිම් යෝ-ජොංග් සිය සහෝදරයා සමග ඊට සහභාගී වුණා. එමෙන්ම ඊටත් වඩා වැදගත් වැඩකොටසක් ඇය සිදුකළ බවයි වාර්තා වුණේ. විශේෂයෙන්ම දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන් සමග සම්බන්ධය පවත්වාගෙන ගියේ ඇය බව විශ්වාස කෙරෙනවා. එය කිම්-මූන් හමුවට මෙන්ම කිම්-ට්‍රම්ප් හමුවට ද වැදගත් වුණා.

නමුත් කිම් යෝ-ජොංග් මේ ආකාරයෙන් බාහිර ලෝකය හමුවේ පෙනී සිටීම හේතුවෙන් බාහිර ලෝකයේ බොහෝ දෙනෙක් ඇයට සත්‍ය වශයෙන්ම නැති වැදගත්කමක් ආරෝපණය කර තිබෙන බවක් පෙනී යනවා. ඇය සිය සහෝදරයාගේ අනුප්‍රාප්තිකයා යයි සඳහන් කළත් ඇයට නිල වශයෙන් විශාල බලයක් හිමිව නැහැ. ඇය 2014 සිට උතුරු කොරියානු ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධානියා වූ අතර 2017 දී කොරියානු කම්කරු පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ අර්ධකාලීන සාමාජිකාවක ලෙස පත් කෙරුණා. මෙය එහි පූර්ණ සාමාජිකත්වය ලබාදීමට පෙර ලැබෙන පරිවාස කාලයක් වැන්නක්. කෙසේ වෙතත් 2019 දී හැනෝයි නගරයේ සිදුවූ කිම්-ට්‍රම්ප් හමුව අසාර්ථක වීමෙන් පසු ඇයව එයින් ඉවත් කෙරුණා. නායකයාගේ අනුප්‍රාප්තිකයාට එසේ කරනු ඇතැයි සිතිය නොහැකියි. ඇයව ආපසු දේශපාලන මණ්ඩලයේ අර්ධකාලීන සාමාජිකයකු ලෙස පත් කළේ 2020 අප්‍රේල් මාසයේ යි.

කිම් යෝ-ජොංග් විවාහ වී සිටින්නේ කොරියානු කම්කරු පක්ෂ ලේකම් චෝයි රියොංග්-හේ ගේ පුත්‍රයකු සමග බව කියවෙනවා. එය මගින් ඇයට අමතර බලයක් ලැබෙනු නොඅනුමානයි. කෙසේ වෙතත් තමුන්ගේ තනි හැකියාව මත හෝ කිම් පවුලේ සාමාජිකාවක වීම මත උතුරු කොරියාවේ බලය ඇයට ලැබේද යන්න සැක සහිතයි. උතුරු කොරියාවේ රජය මෙහෙයවන ජුචේ දර්ශනය වඩාත් ආසන්න වන්නේ මාක්ස්වාදයට වඩා සම්ප්‍රදායික කොරියානු හර පද්ධතීන්ට යි. එහෙයින් කාන්තාවක රාජ්‍ය නායකත්වයට පත්වීම සිදුවීමේ ඉඩකඩ ඉතා අඩුයි.

මේ තත්ත්වය වෙනස් කරන්නට හැකියාව ඇති ප්‍රධානම තැනැත්තා ඇගේ සහෝදරයායි. මෑත කාලයේදී කිම් යෝ-ජොංග් වෙත අමතර රාජ්‍ය වගකීම් පැවරුණ බව වාර්තා වුණත් එය තහවුරු වූයේ නැහැ. තවමත් කිම් ජොංග්-උන් සිය සහෝදරිය තම අනුප්‍රාප්තිකයා ලෙස පත් කිරීමට අවශ්‍ය පසුබිම ප්‍රමාණවත් ලෙස සකසා නැති බවයි පෙනී යන්නේ. එය දිගු කාලීන සැලසුමක් සහිතව සෙමින් සිදුවන්නක් වීමට ඉඩ තිබෙනවා. එහෙත් කිසියම් අයුරකින් කිම් ජොංග්-උන්ගේ සෞඛ්‍ය තත්ත්වය හදිසියේ අයහපත් වුවහොත් කිම් යෝ-ජොංග් බලයට පැමිණේ යයි හෝ එසේ බලයට ආවත් එය දිගු කාලීනව රැකගනී යයි හෝ ස්ථිරව කිව නොහැකියි.

Friday, September 4, 2020

සිසිලියානු මාෆියාවේ උපත

මාරියෝ පූට්සෝ විසින් ලියන ලද සුප්‍රකට නවකතාව, "ද ගෝඩ්ෆාදර්" ඔබ කියවා ඇති. එහෙමත් නැත්නම් එය පාදක කරගත් ලෝක ප්‍රසිද්ධ වූ චිත්‍රපට මාලාව නරඹලා ඇති.

ඉංග්‍රීසි භාෂාව කතා කරන ලෝකය, එනම් ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ පරණ බ්‍රිතාන්‍ය යටත් විජිත ප්‍රදේශවල ජනතාවගෙන් වැඩි දෙනා සිසිලියානු මාෆියාව පිළිබඳ දැනගත්තේ ගෝඩ්ෆාදර් පොතෙන් හෝ ගෝඩ්ෆාදර් චිත්‍රපටිවලින් හෝ යයි කිවහොත් වරදක් නැහැ.

The Godfather චිත්‍රපටයෙන්

නමුත් සිසිලියානු මාෆියා සංවිධානවල උපත සිද්ධ වෙන්නෙ ගෝඩ්ෆාදර් පොත ලියවෙන්නට සියවසකට පමණ පෙරයි. එහි ආරම්භය 1860 ගණන්වල සිදුවූ දේශපාලන, ආර්ථික හා සාමාජීය විපර්යාස සමග බැඳී තිබෙනවා.

මෙහි පසුබිම තමයි ඉතාලිය එක්සත් කිරීම. ඉතාලිය එක්සත් කිරීමේ සම්පූර්ණ කතාව මේ අවස්ථාවේ විස්තර කිරීමට අපහසුයි. නමුත් කෙටියෙන් හෝ ඒ පිළිබඳ සලකා බැලීම වැදගත් වනු ඇති.

19 වෙනි සියවස මැද භාගය වෙද්දිත් ඉතාලිය අද වගේ එක රටක් ලෙස පැවතියේ නැහැ. එකල එහි විවිධ රාජ්‍යයන් තිබුණා. එයින් විශාලම රාජ්‍යය වුණේ සිසිලි ද්වයයේ රාජ්‍යය යි. බුර්බන් රාජවංශික පවුලක් විසින් පාලනය කළ එයට සිසිලිය සහ නේප්ල්ස් ප්‍රදේශය අයත් වුණා.

1843 දී ඉතාලිය​


ඉතාලිය එක්සත් කිරීමේ පෙරමුණ ගත්තේ සාර්ඩිනියා රාජධානිය යි.

1860 දි ගුසෙප් ගැරිබාල්ඩි යටතේ ගරිල්ලා හමුදාවක් සිසිලියට ගොඩබැස එය අල්ලාගත්තා. එයින් පසු එය සාර්ඩිනියා රාජධානියේ කොටසක් බවට පත් වුණා.

1861 දි, එතෙක් සාර්ඩිනියා පාලනයට නතු වූ ප්‍රදේශ ඉතාලි රාජධානිය ලෙස ප්‍රකාශ කෙරුණා. ඉතාලිය එක්සත් කිරීම සම්පූර්ණ වුණේ 1870 දි රෝමයට මේ ඉතාලි හමුදා ඇතුල් වීමෙන් පසුයි. කෙටියෙන් කිවහොත් ඉතාලිය එක්සත් කිරීම ඒ අයුරින් සිද්ධ වුණා.

අපේ අවධානය යොමු වන්නේ මේ පසුබිමෙහි සිසිලිය මුහුණදුන් විපර්යාසයන් වෙතයි. 1860 දි සිසිලියෙ බලය සාර්ඩිනියාවට ලැබුණා. කෙටි කලකින් ම සිසිලිය එක්සත් ඉතාලියෙ කොටසක් බවට පත් වුණා.

සිසිලියෙ ඊට කලින් ඉඩම් කඩම් අයිති කරගෙන හිටියෙ රදළ පවුල්. එහෙත් අලුත් වෙනසත් සමග රදළයින්ගේ බලය අඩු වෙන්නට වුණා.

එක අතකින් අලුත් පාලකයින්ට පැරණි රදළ බලය කප්පාදු කිරීමට අවශ්‍ය වුණා. එහෙයින් ඉඩම් ප්‍රතිසංස්කරණ ස්වල්පයක් සිද්ධ වුණා.

එමෙන්ම වෙළෙඳ ආර්ථිකය නිසා අලුත් මධ්‍යම පන්තියක් බිහි වෙන්න ගත්තා. ඇතැම් රදළ පවුල් විවිධ හේතූන් මත බංකොලොත් වුණා.

මේ වගේ සිදුවීම් සමග අලුත් ඉඩම් හිමියන් කොටසකුත් මතු වන්නට වුණා.

කෙසේ වෙතත් මීට සමගාමීව නව රජයට සිසිලිය පුරා සිවිල් බලය පිහිටුවන්න අපහසු වුණා. එයට ප්‍රධාන හේතුවක් වුණේ සිසිලි ජනතාවගෙ නිදහස්ව සිටීමේ කැමැත්ත යි. බාහිර බලයන් තම කටයුතුවලට අනවශ්‍ය ලෙස බලපෑම් කරනවට ඔවුන් අකමැති වුණා.

කෙසේ වෙතත් රටේ සිවිල් පාලනය බිඳ වැටෙද්දී සිදුවුණේ ජනතාවට සිය දේපළ ආරක්ෂා කරගැනීම ප්‍රශ්නයක් බවට පත් වීමයි. එවිට ඔවුන් ඒ සඳහා විවිධ පුද්ගලයින් බඳවා ගැනීමට පටන් ගත්තා.

එයින් සමහරුන් ඊට පසුව තමුන්ව බඳවා ගත්තු අයටම බලපෑම් කරන්න ගත්තා.

මේ ආකාරයෙන් මෙම කණ්ඩායම් ඉතා ලෙහෙසියෙන්ම සිසිලියේ ඉඩකඩම් තමුන්ගෙ ග්‍රහණයට ගත්තා.

එකල සිසිලියේ වැදගත්ම භෝගය වුණේ ලෙමන්. ඉතින් ලෙමන් වතු මේ පිරිස්වල ප්‍රකට ඉලක්කයක් බවට පත් වුණා.

මෙම පිරිස් තමයි සංවිධානය වෙලා මාෆියා කල්ලි බවට වර්ධනය වුණේ.

එමෙන්ම​, අප​ මේ කල්ලිවලට මාෆියා යයි නම් කළ ද​ සිසිලියානු මාෆියා සංවිධාන තමුන්ව හඳුන්වා ගන්නෙ ලා කෝසා නොස්ත්‍රා කියලයි. එහි අර්ථය "අපේ දේ" යන්නයි.

සිසිලියේ වූ ආර්ථික තත්ත්වය නිසා සැලකිය යුතු පිරිසක් වාසනාව හොයාගෙන ඇමරිකාවට සංක්‍රමණය වුණා. මේ අතරෙ කෝසා නොස්ත්‍රා සාමාජිකයින් ද සිටියා. ඔවුන් තමයි ඇමරිකාවේ සිසිලියානු මාෆියාව හදන්න මුල් වුණේ.

ඔබ ගෝඩ්ෆාදර් පොත කියෙව්වොත්, එහෙම නැත්නම් ඒ චිත්‍රපටි නැරඹුවොත්, විශේෂයෙන්ම දෙවනි චිත්‍රපටියෙදි ඔබට ඇමරිකාවෙ කෝසා නොස්ත්‍රා පැළපදියම් වූ ආකාරය පිළිබඳ අදහසක් ගැනීමට හැකිවනු ඇති.

Wednesday, September 2, 2020

වියට්නාමය ස්වාධීනත්වය ප්‍රකාශ කිරීම​

දෙවන ලෝක යුද්ධය අවසන් කරමින් ජපානය යටත් වීමේ ලේඛනයට නිල වශයෙන් අත්සන් කළ 1945 සැප්තැම්බර් 2 වනදා සිදුවූ තවත් සිද්ධියක් වූයේ වියට්නාමය සිය නිදහස ප්‍රකාශ කිරීමයි.

වියට්නාමය නිල වශයෙන් ප්‍රංශ පාලනයට සම්පූර්ණයෙන් නතු වූයේ 1883 අගෝස්තු 25 වනදායි. එදින, වියට්නාම් රජය විසින් ටොන්කිං හා අන්නාම් ප්‍රංශ ආරක්ෂාව යටතේ වන ප්‍රදේශ ලෙස පිළිගත්තා. දකුණුදිග වියට්නාමයේ කොචින් චීනය ඒ වනවිට ද ප්‍රංශ ආරක්ෂාව යටතට පත්ව තිබුණා.

ප්‍රංශ පාලනය විසින් වියට්නාමයට සැලකිය යුතු විපර්යාසයන් ගෙන ආවා. පොදු ගොඩනැගිලි සහ මංමාවත් ඉදි කෙරුණා. කෙසේ වෙතත් සාමාන්‍ය ජනයාගෙන් අති බහුතරයකට මෙහි වාසිය ළඟාවූයේ නැහැ. ඉහළ බදු සහ පොළී අනුපාත විසින් ඔවුන්ව දිගටම ණයකරුවන් ලෙස පවත්වා ගැනුණා. 1940 වනවිට ද රටේ ජනගහනයෙන් සියයට 85 ක් ගොවීන් වුණා.

සම්ප්‍රදායික ගම් නායකයින් වෙනුවට ප්‍රංශ පුහුණුව ලද වියට්නාම් නිලධාරීන් පත් කෙරුණා. සාමූහික ජීවන රටාව වෙනුවට පුද්ගලවාදය ඉස්මතු වුණා. ප්‍රංශ නෛතික ක්‍රමය හඳුන්වා දුන් අතර යුක්තිය පසිඳලන ලද්දේ ප්‍රංශ විනිසුරුවන් විසින්. ඔවුන්ට දේශීය සිරිත් විරිත් පිළිබඳ දැනුමක් හෝ ඒ ගැන දැනගැනීමේ අවශ්‍යතාවක් තිබුණු බවක් පෙනුණේ නැහැ. සාමාන්‍ය ජනජීවිතය අවුල් වීමට මෙය ද බලපෑමක් වුණා.

ජාතික සටන්

වියට්නාම් ජනතාව 1883 න් පසු එකාවන්ව ප්‍රංශයට යටත් වීමට සූදානම් වූයේ නැහැ. විසිවන සියවස මුල් කාලය වනතුරු ද විටින් විට ප්‍රංශ විරෝධී ජනතා නැගිටීම් සිදුවුණා. මේ අතර ජාතිකවාදී ව්‍යාපාර බිහිවනු දක්නට ලැබුණා. මේ අතර ඇතැම් සංවිධානවලට මාක්ස්වාදයේ බලපෑම තිබුණා. කෙසේ වෙතත් මෙම සංවිධාන අතරින් විශාලම සංවිධානය වූ වියට්නාම් ජාතිකවාදී පක්ෂය (Viet Nam Quoc Dan Dang - VNQDD) මාක්ස්වාදී සංවිධානයක් වූයේ නැහැ. 1930 දී ඔවුන් විසින් දියත් කළ නිදහස් අරගලයක් මර්ධනය කෙරුණා. ඒ සමගම ජාතිකවාදී කඳවුර දුර්වල වූයෙන් මාක්ස්වාදී නැඹුරුවක් සහිත ජාතික ව්‍යාපාර කරලියට පැමිණියා.

මෙම අරගලයෙන් දශකයකට පසු, කොමියුනිස්ට්වාදීන් මූලිකත්වය ගෙන වියට්නාමයේ ස්වාධීනත්වය සඳහා වන ලීගය (Viet Nam Doc Lap Dong Minh) පිහිටුවා ගත්තා. වියෙට් මින් ලෙස කෙටියෙන් හැඳින්වූ මෙයට කොමියුනිස්ට්වාදීන් මෙන්ම සමාජවාදීන් සහ වෙනත් පිරිස් ද එක් වුණා.

මේ අතර දෙවන ලෝක යුද්ධය ඇරඹී තිබුණා. 1940 දී ජර්මනිය විසින් ප්‍රංශය පරාජය කළ පසු අභිනවයෙන් පිහිටවූ ප්‍රංශ රජය යටතට වියට්නාමය ඇතුළු ඉන්දු චීනය පත් වුණා. එයින් ස්වල්ප කලකට පසු ජපානය උතුරු වියට්නාමයේ හමුදා කඳවුරු ස්ථාපිත කළා. 1944 දී ප්‍රංශය මිත්‍ර හමුදා විසින් මුදවාගත්තා. 1945 මාර්තු 9 වනදා ජපානය විසින් ඉන්දු චීනය තම පාලනයට ගත්තා. වියට් මින් සංවිධානය විසින් ජපනුන්ව ද සැලකූයේ තවත් ආක්‍රමණිකයකු ලෙසයි.

ස්වාධීනත්වය ප්‍රකාශ කිරීම

1945 අගෝස්තු මස 15 වනදා ජපානය යටත් වන බවට නිවේදනය කෙරුණා. ඒ සමගම වියට්නාමයේ නොසන්සුන්තා ඇතිවුණා. ජපන් පාලනය බිඳ වැටෙද්දී වියට් මින් සංවිධානය යටතට රටේ බොහෝ ප්‍රදේශ පත් වුණා. බාඕ දායි රූකඩ අධිරාජයා ඉල්ලා අස්වීමට තීරණය කළා.

1945 සැප්තැම්බර් 2 වනදා වියට්නාම් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ස්ථාපිත කෙරුණා. එහි ප්‍රධානියා වූයේ හෝ චි මින්. ස්වාධීනතා ප්‍රකාශනය මගින් වියට්නාම් ජනතාවගේ නිදහස අහිමිකරමින්, අමානුෂික නීති ඔවුන් මත පැනවීම පිළිබඳ ප්‍රංශයට චෝදනා කරුණා. වියට්නාමයට නිදහස් සහ ස්වාධීන රාජ්‍යයක් ලෙස පැවතීමේ අයිතිය එමගින් පෙන්වා දුන්නා.



කෙසේ වෙතත් ජයග්‍රාහී මිත්‍ර පාක්ෂික රටවල් තමන්ට අහිමි වූ යටත් විජිත යළි ලබාගන්නා සටනට එළඹ සිටියා. මේ වෙද්දී ආසියාවේ ප්‍රංශයින්ට විශාල සේනාංක වූයේ නැහැ. එහෙයින් ඔවුන් වෙනුවෙන් බ්‍රිතාන්‍ය හමුදා කොචින් චීනයට ගොඩබැස්සා. වියට්නාමය සිය අණසකට යට කරගැනීම සඳහා එරටෙහි ඒ වනවිට රැඳී සිටි ජපන් හමුදාවල සහය ද බ්‍රිතාන්‍යයන් ලබාගත්තා. වියට් මින් සේනාංක නගර අතැර පසුබැස්සා. 1945 වසර නිම වෙද්දී ප්‍රංශ හමුදා පැමිණ ඉන්දු චීනය තම අණසකට ගත්තා. ඔවුන් බාඕ දායි අධිරාජයා ද ආපසු කැඳවා වියට්නාම් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයට එරෙහි රජයක් පිහිටුවීමට ඔහුව යොදාගත්තා. මේ සමග ප්‍රංශයට එරෙහි වියට්නාම් ජාතික සටන යළි ඇරඹුණා. එය නිම වූයේ 1954 දී ඩියෙන් බියෙන් පූ සංග්‍රාමයෙන් ප්‍රංශය අන්ත පරාජයක් ලබාගැනීමත් සමගයි.

"හොටෙල් රුවන්ඩා" චිත්‍රපටයේ වීරයා ත්‍රස්ත චෝදනා මත අත් අඩංගුවට

1994 රුවන්ඩා ජන සංහාරය අවස්ථාවේ ජීවිත දහසක් පමණ බේරාගත් පෝල් රුසෙසබගීනා ත්‍රස්ත චෝදනා මත අත් අඩංගුවට ගෙන තිබෙනවා. රුවන්ඩාව විසින් මේ බව නිවේදනය කළේ අගෝස්තු 31 වනදා යි.

රුවන්ඩා රහස් පරීක්ෂක කාර්යංශය පවසන්නේ ජාත්‍යන්තර සහයෝගීතාවයකින් ඔහුව අත් අඩංගුවට ගත් බවයි. රුසෙසබගීනා කාලයක් තිස්සේ බෙල්ජියමේ සහ ඇමරිකාවේ ජීවත් වුණා. ඔහු අත් අඩංගුවට ගත් ආකාරය පැහැදිලි වූයේ නැහැ. ඔහුගේ පවුලේ අය පවසන්නේ අත් අඩංගුවට ගැනීමට පෙර ඔහු ඩුබායි වෙත සංචාරය කළ බවයි. ඔහුව පැහැරගෙන ඇති බවයි පවුලේ අය චෝදනා කරන්නේ.



රුසෙසබගීනා කලක පටන්ම පෝල් කගාමේ ජනාධිපතිවරයාගේ රජයෙහි ප්‍රබල විවේචකයකු වුණා. ඔහු පවසන්නේ කගාමේ ඒකාධිපති පාලනයක් ගෙනයන බවයි. එමෙන්ම කගාමේ රුවන්ඩාවේ ටුට්සි සුළුතරයට හිතවත් පාලනයක් ගෙනයන බවට රුසෙසබගීනා චෝදනා කරනවා.

රුවන්ඩා රජය පවසන්නේ රුසෙසබගීනා රජයට එරෙහි ත්‍රස්ත කණ්ඩායම්වලට ආධාර ලබාදෙන බවයි. 2018 දී එල්ල වූ ප්‍රහාරයන් දෙකක් සම්බන්ධව ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

රුසෙසබගීනා 1994 රුවන්ඩා ජන සංහාරය අවස්ථාවේ හෝටල් කළමණාකරුවකු ව සිටියා. ඔහු විසින් ජීවිත දහසක් පමණ බේරාගත් කතා පුවත 2004 දී නිකුත් වූ "හොටෙල් රුවන්ඩා" චිත්‍රපටයෙන් පෙන්නුම් කෙරෙනවා.