Sunday, March 23, 2014

දැනුම මිනුම 04: ජනපති කෙනඩි

ඇමරිකානු ජනතාව පසුගිය නොවැම්බර් මාසයේ 22 වනදා, ජනපති ජෝන් එෆ්. කෙනඩි ඝාතනයේ 50 වන සංවත්සරය සිහිපත් කළහ​. ඇමරිකානු ජනාධිපතිවරණයක් දිනූ ලාබාලම පුද්ගලයා විය​. ඔහුගේ ඝාතනය බොහෝ දෙනා සසල කරවූ සිදුවීමක් විය​. අදටත් 20 වන සියවස දිවි ගෙවූ දේශපාලකයන් අතුරින් ජෝන් එෆ්. කෙනඩි නොහොත් JFK වඩාත්ම මතකයේ රැඳුන චරිතයකි.

කෙනඩි ඝාතනයට මොහොතකට පෙර​
01. ජෝන් ෆිට්ස්ජෙරල්ඩ් කෙනඩි උපන්නේ 1917 මැයි 29 වන දා ඇමරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ බෘක්ලින්හිදීය​. ඔහුගේ පියා ජෝසප් පැට්ට්‍රික් කෙනඩි (ජේෂ්ඨ​) වූ අතර මව රෝස් එලිසබෙත් ෆිට්ස්ජෙරල්ඩ් නම් වූවාය​. JFK නමින් පසුව ප්‍රසිද්ධ වූ නමුත් ජනපති කෙනඩි කුඩා කාළයේ සිට පවුලේ අය ඔහු ඇමතුවේ වෙනත් නමකිනි. මේ නම කුමක්ද​?

02. JFK තම ධූර කාළය තුලදී ඝාතනය වූ සිව්වන ඇමරිකානු ජනාධිපතිවරයා වූයේය​. පළමුවෙන්ම එසේ ඝාතනය කළ ඇමරිකානු ජනාධිපතිවරයා කවුද​?

03. දෙවන ලෝක යුධ සමයේ ඇමරිකානු නාවික හමුදාවේ සේවය කළේය​. එක් අවස්ථාවක ඔහු රාජකාරි කළ PT-109 නම් බෝට්ටුව නව ජෝර්ජියා නම් දූපතක් අසළ රාත්‍රී මුර සංචාරයක යෙදෙන විටෙක ජපන් ප්‍රහාරයකට ලක් විය​. සිය සගයින් සමඟ කෙනඩි අසළ වූ කුඩා දූපතකට සේන් දු විය​. මේ අවස්ථාවේ කෙනඩි විසින් පිළිස්සුම් තුවාල සහිත සගයකුගේ ජීවිතය බේරාගන්නා ලදී. මෙම සිදුවීම් මාලාව සිදුවූ නව ජෝර්ජියා දූපත ආසන්න ප්‍රදේශය අද අයත් වන්නේ කිනම් රටකටද​?

04. 1963 නොවැම්බර් 22 වනදා ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස් නගරයේදී කෙනඩි ඝාතනය වනවිට ඔහු ගමන් ගත් රථයේ කෙනඩිගේ බිරිඳ වූ ජකොලයින් මෙන්ම, ටෙක්සාස් ආණ්ඩුකාරවරයා සහ ඔහුගේ බිරිඳද වූහ​. එවක ටෙක්සාස් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා වූයේ කවරෙක්ද​?

05. කෙනඩි ඝාතනය පිළිබඳ අදටත් නොවිසඳුන අබිරහසක් ඇති බව බොහෝ දෙනා විශ්වාස කරති. මෙම සැක සංකා බිඳලීමට සමත්කමක් තිබිය හැකිවූ එක් පුද්ගලයකු වූයේ ලී හාර්වි ඔස්වල්ඩ්‍ ය​. කෙනඩි ඝාතනයට සැක පිට ඔහු අත් අඩංගුවට ගන්නා ලදී. නමුත් ඔහුට මෙම සිද්ධිය පිළිබඳ ඔහු දන්නා සියලු දේ එළි කිරීමට කල් නොලැබුණි. පොලිස් අත් අඩංගුවේ සිටියදීම රාත්‍රී සමාජශාලා හිමිකරුවකු විසින් ඔහු වෙඩිතබා ඝාතනය කරන ලදී. ලී හාර්වි ඔස්වල්ඩ්ගේ ඝාතකයා වූයේ කවුද​?

දැනුම මිනුම 03 සඳහා පිළිතුරු

1. ගැව්‍ රිලෝ ප්‍රින්සිප්

2. දෙවන යිප්‍රී සටන (යිප්‍රී හි දෙවන සටන​)

3. සෝම් සංග්‍රාමය​

4. ජෙනරාල් පෝල් එමිල් ෆොන් ලෙට්ටොව්-ෆෝර්බෙක් (Lettow-Vorbek)

5. කොම්පේඤ්ඤ වනාන්තරය​ (Forest of Compeigne)

Monday, February 10, 2014

දැනුම මිනුම 03: පළමු ලෝක යුද්ධය​

2013 නොවැම්බර් 11 වනදාට පළමු ලෝක යුද්ධය අවසාන වී වසර 95ක් සම්පූර්ණ විය​. මෙම වසරේ ජූලි මාසයේ 28 වනදා එම යුද්ධය ආරම්භ වී වසර සියයක් සම්පූර්ණ වනු ඇත​. මේ යුද්ධය එතෙක් මිනිසා දැක තිබූ සියලුම ජීවිත විනාශයනට වඩා විශාල ජීවිත ප්‍රමාණයක් බිලිගත් යුද්ධයක් විය​. මෙය අවසන් වූයේ 1918 නොවැම් බර් 11 වනදා උදෑසන 11ට ය​. මෙය "සියලු යුද්ධ අවන් කිරීම සඳහා" කලා වූ යුද්ධයක් වූ නමුත්, එයින් ඇතිවූ භූ දේශපාලනික ක්‍රියාවලිය වඩා ව්‍යසනකාරී යුද්ධයකට මඟ පෑදීය​.

01. 1918 ජූනි 28 වනදා එවකට ඔස්ට්‍රා-හංගේරියාවේ ඔටුන්න හිමි කුමාරයා වූ ආච්ඩියුක් (මහාදිපාද​) ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ්, බොස්නියාවේ සරයේවෝ නගරයේදී වෙඩි තබා ඝාතනය කෙරිණ​. මෙම අපරාධය සිදුකළ බවට චෝදනා එල්ල වූයේ "සර්බ් කලු හස්තය​" නම් රහස් සංවිධානය වෙතයි. එමෙන්ම සර්බියාව මෙම සංවිධානයට උපකාර කළ බව ඔස්ට්‍රා-හංගේරියාව චෝදනා කළේය. මෙයින් ඇරඹි ආරවුල කෙළවර වූයේ 1918 ජූලි 28 වනදා ඔස්ට්‍රා-හංගේරියාව විසින් සර්බියාවට එරෙහිව යුධ ප්‍රකාශ කිරීමෙනි.

ආච්ඩියුක් ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් ඝාතනය කල 19 හැවිරිදි තරුණයාගේ නම කුමක්ද​?

02. පළමු ලෝක යුද්ධයේදී මීට පෙර භාවිතා නොවූ ඇතැම් දේ යුධ පිටියට හඳුන්වා දෙන ලදී. එයින් එකක් වූයේ විෂ වායු ප්‍රහාරය​. මුලින්ම මේ සඳහා භාවිතා කලේ ක්ලෝරීන් ය​. මෙම වායුව ශ්වසන පද්ධතියේ රෝගවලට හේතු විය​. පළමුවරට මහා පරිමාණ විෂ වායු ප්‍රහාරයක් එල්ල කෙරුණේ 1915 අප්‍රේල් මාසයේ ජර්මානුන් විසිනි. ඒ බෙල්ජියමේ සිදුවූ එක්තරා සටනකදීය​. එම සටන කුමක්ද​?

03. 1916 ජූලි 1 වනදා බ්‍රිතාන්‍ය යුධ ඉතිහාසයේ අඳුරු යුගයක් විය​. එදින එක්තරා ප්‍රසිද්ධ සටනක් ආරම් භ වූ අතර එහි පළමු වෙඩිමුරය බ්‍රිතාන්‍යයන් වෙතින් එල්ල විය​. ඔවුන් ජර්මානු පෙරමුණ වෙත දරුණු කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල කළහ​. මෙයින් ඔවුන් බලාපොරොත්තු වූයේ ජර්මන් හමුදාවලට බරපතල හානි සිදු කර ඔවුන් අල්ලාගෙන සිති ප්‍රදේශ අල්ලා ගැනීමය​. නමුත් ජර්මන් සෙබලුන් ආරක්‍ ෂිත ස්ථාන පිළියෙල කරගෙන තිබූ හෙයින් සිදුවූ හානිය සිතූ තරම් බරපතල නොවීය​. මේ බව නොදත් බ්‍රිතාන්‍ය හමුදා කාලතුවක්කු ප්‍රහාරය අවසන් වූ පසු ජර්මන් පෙරමුණ දෙස දිව ආහ​. ජර්මන් සෙබලුන් ඔවුනට දරුණු ප්‍රහාරයක් එල්ල කළහ​. එදින තුල මියගිය සහ තුවාල ලැබූ බ්‍රිතාන්‍ය සෙබලුන් සංඛ්‍යාව 55,000 ක් පමණ විය​. මෙය බ්‍රිතාන්‍ය හමුදා ඉතිහාසයේ වැඩිම ජීවිත හානියක් වූ දිනය විය​.

මෙම සටන කුමක්ද​?

04. 1914 පළමු ලෝක යුද්ධය ආරම් භ වනවිට ජර්මනියට අප්‍රිකාවේ යටත් ප්‍රදේශ හතරක් විය​. එයින් කැමරූන්, ටෝගෝලන්තය සහ ජර්මන් නිරිතදිග අප්‍රිකාව මිත්‍ර රටවල් විසින් වැඩි කරදරයකින් තොරව අල්ලා ගන්නා ලදී. නමුත්, එක්තරා ජර්මන් ජෙනරාල්වරයකු අනෙත් යටත් විජිතය වූ ටැංගනීකාවේ සිට මිත්‍ර හමුදා සමඟ සටන් වැදුනේය​. යුරෝපයේ යුද්ධය නිමා වනවිටත් ඔහු පරාජය කිරීමට මිත්‍ර හමුදාවලට හැකිව තිබුණේ නැත​. යුද්ධය අවසන් වූ පසු ඔහු යටත් වූයේය​. මේ ජෙනරාල්වරයා කවුද​?
සටන් විරාමය අත්සන් තැබීම​. 1918 නොවැ. 11

05. 1918 යුද්ධය අවසන් කළ සටන් විරාම ගිවිසුම අත්සන් කලේ ප්‍රංශයේ එක්තරා වනගත පෙදෙසක දුම්රිය මැදිරියක් තුළය​. මෙම යටත් වීම ජර්මන් ජාතිකවාදීන් දුටුවේ විශාල ලජ්ජාවක් සහ මහා පාවාදීමක් ලෙසය​. දෙවන ලෝක යුද්ධය අතරතුර 1940 දී ප්‍රංශය ජර්මනියට යටත් වූ පසු ජර්මන් ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර්ට ප්‍රංශය යටත් වීමේ ලියවිල්ලට එම ස්ථානයේම අත්සන් කිරීමට අවශ්‍ය විය​. පරණ දුම්රිය මැදිරිය එතැනට ගෙන්වාගත් ඔහු එහිම යටත්වීමේ ලේඛනය අත්සන් කරවීමට ක්‍රියාකළේය​. මෙම සිද්ධිය සිදු වූ වනගත පෙදෙස කුමක්ද​?


පිළිතුරු දැනුම මිනුම 04 සමඟ බලාපොරොත්තු වන්න​.

දැනුම මිනුම 02 සඳහා පිළිතුරු

1. කේරළය​

2. පළමුවන මැනුවෙල්

3. අෆොන්සෝ ඩි අල්බුකර්ක්

4. 1961

5. මකාවු

Thursday, February 6, 2014

සිංගප්පූරු කතා 01: අචාරශීලී සිංගප්පූරු වැසියෝ

මෑතකදී මට සිංගප්පූරුවේ දින කිහිපයක සංචාරයක යෙදීමට අවස්ථාව ලැබුණා. මේ ගමන ඇත්තෙන්ම බොහෝ දේ ඉගෙන ගැනීමට අගනා අවස්ථාවක් වුනා. සිංගප්පූරුව ගැන බොහෝ දේ කියවා තිබූ නමුත් මේ ගමනේ අත්දැකීමන් ඉගෙනගත් දේ ඊට වඩා බොහෝ වැඩි බව කිව යුතුයි. ඒ වගේම ඒ ගමනෙන් පසුව ඒ රට ගැන කියවනවිට වඩා හොඳින් ඒ කරුණු මතක තියෙනවා. විශේෂයෙන්ම ඒ රටේ විවිධ ස්ථානවල නම් කියවෙද්දි බොහොම හොඳින් මතක තියෙනවා.

සිංගප්පූරුව යන නම මැලේ භාශාවෙන් සිංහපුරය යන තේරුම ඇති සිංගපූරා (Singapura) යන වචනයෙන් සැදුණ නමක්. මේ රට වර්ග කිලෝ මීටර 716 ක් පමණ විශාල රටක්. ප්‍රධාන දූපතක් සහ තවත් කුඩා දූපත් 60 ගණනක් මේ රටට අයිති වනවා. විවිධ අවස්ථාවල කුඩා ජනාවාස පැවතියත් සිංගප්පූරුව වැදගත් ස්ථානයක් බවට පත් වූයේ 1819 දී ස්ටැම්ෆර්ඩ් රැෆ්ල්ස් එහි ඉංග්‍රීසි පෙරදිග වෙළෙඳ සමාගමේ වෙළෙඳ මධ්‍යස්ථානයක් පිහිටුවීම සමඟයි. එම නිසා නූතන සිංගප්පූරුවේ නිර්මාතෘ ලෙස ගැණෙන්නේ සර් ස්ටැම්ෆර්ඩ් රැෆ්ල්ස්.

1963 දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලද සිංගප්පූරුව 1965 වනතුරු මැලේසියාවේ කොටසක් ලෙස පැවතුණා. නමුත් 1965 දී එරට ස්වාධීන ජනරජයක් බවට පත් වූ අතර එරට ප්‍රථම අගමැති ලී ක්වාන් යූ යටතේ සීග්‍ර ආර්ථික දියුණුවක් ලබා ගත්තා. මේ නිසා ලී ක්වාන් යූ "සිංගප්පූරුවේ පියා" ලෙස සැලකෙනවා.

මේ සීග්‍ර ආර්ථික දියුණුවත් සුඛෝපභෝගී ජීවන තත්ත්වයත් හේතුවෙන් බොහෝදෙනා සිංගප්පූරුව දකින්නේ පාරාදීසයක් ලෙසයි. මා සිංගප්පූරුව පාරාදීසයක් ලෙස දකින්නට මූලිකම හේතුව ඊට මඳක් වෙනස්. මගේ ප්‍රධානම හේතුව ඒ රටේ ජනතාව සහ ඔවුනගේ ආචාරශීලීත්වයයි.

අප සිංගප්පූරුවට ගොඩ බැස්සේ ජනවාරි මාසයේ එක්තරා දිනක එරට වේලාවෙන් රාත්‍රී 9.30 ත් පහුවෙලා. අමුතු රටකට ගොඩබහින්න අමාරුම වෙලාවක් තමයි ඒ. ගුවන්‍ යානයෙන් අපි ආවේ සිංගප්පූරුවේ චැංගි ගුවන්තොටුපලේ පළමු පර්යන්තයට​. මම හිතන්නේ මේ පර්යන්තය විතරක් ලංකාවේ කටුනායක පර්යන්තයට වැඩිය විශාලයි. ඔක්කොම පර්යන්ත තුනක් චැංගිවල තියෙනවා වගේම තව එකක් 2017 වෙද්දි ඉදිකරලා අවසාන වන්නට නියමිත බව මට අසන්නට ලැබුණා. ඒ වුනත් චැංගි ගුවන්තොටුපලේ කෙනෙක්ට අපේ ගුවන්තොටුපලේදීට වැඩිය පහසුවෙන් තමන්ට අවශ්‍ය දේ කරගන්නට පුලුවන් බව කියන්න ඕන​. ඒ විතරක් නෙවෙයි කාර්ය මණ්ඩලයත් බොහොම සුහදශීලීයි. සිංගප්පූරු වැසියන් ගේ සුහදශීලීත්වය අප මුලින්ම අත්වින්ඳේ චැංගිවලදී.

කොහොම වුනත් ගුවන්තොටුපලේ විශාලත්වයයි, අපේ ගමන් මහන්සියයි, කරගන්න තිබුණ වැඩයි නිසා අපි නගරය දිහාවට යන අන්තිම දුම්රිය යාන්තමින් තමයි අල්ලා ගත්තේ. සිංගප්පූරුවේ දුම්රිය සේවය වෙනමම අගය කළයුතු එකක්. ඒවාට ඉංග්‍රීසියෙන් කියන්නේ Mass Rapid Transit (MRT) කියලා. අපට එදා ප්‍රමාද වෙලා තිබුණ නිසා මගී සේවාවේ නිලධාරීන් අපට කිව්වා අපි බහින දුම්රියපොලෙන් ටිකට්වලට සල්ලි ගෙවන්න කියලා.

අපි දුම්රියෙන් එද්දි අපිත් එක්ක කතාවට වැටුන කෙනෙක් අපට එකේ යන විදිය කියා දුන්නා. එහි හැම ස්ටේෂමකටම කලින් නිවේදනය කරනවා දැන් එන්නේ මොන ස්ටේෂමටද කියන එක​. අතරමං වෙන්නේ නැහැ ලේසියකට​.අපි දුම්රියෙන් ඇවිත් බැස්සේ අල්ජුනයිඩ් දුම්රියපොලෙන්.

අංග් මෝ කියෝ (Ang Mo Kio) ස්ටේෂන් එකේ MRT දුම්රියක් නවතා තියෙන අවස්ථාවක්

මම සිංගප්පූරුවේ දුටු තව දෙයක් තමයි පාරවල් සොයාගැනීමේ පහසුව​. ස්ටේෂමේ මගී සේවා කාර්යාලවල සිතියම් තියෙනවා. කවුරුහරි පාර ඇහුවොත් ඒ සිතියමක් අරන් පාර ලකුණු කරලාම දෙන්න ඔවුන් කාරුණිකයි. අපි ගියපු දවසට පස්සෙන්දා සිංගප්පූරු සත්තු වත්ත බලන්න යන්න පාර ඇහුවාම අල්ජුනයිඩ් මගී සේවා කාර්යාලයෙන් මට සිතියමක පාර ලකුණු කරලා දුන්නා. ඒ සිතියම තවම මගේ ළඟ තියෙනවා.

අප බලන්නට ගියාපු තවත් තැනක් වුනේ මැරීනා බේ අසළ 'ගාර්ඩ්න්ස් බයි ද බේ' කියන උද්‍යානය​. එහිදී එක් අවස්ථාවක මට කෑම ගන්න තැනක් හොයාගන්න අවශ්‍ය වුනා. එතැන හිටපු මගපෙන්වන්නෙක්ගෙන් මම ඒ ගැන ඇහුවාම ඔහු සිතියමක් අරන් මට යන්න ඕන තැන් ඔක්කොම විස්තර කරලා පෙන්නුවා. මරීනා බේ අවට බලන්න තියෙන දේවල්, ඒ තැන්වලට යන විදිය ආදිය ඔක්කොම ඔහු ලස්සනට කියා දුන්නා. ඔහු දීපු සිතියමත් තවම මා ළඟ තිබෙනවා.

කෙනෙක් කියන්නට පුලුවන් ආචාරශීලී වෙන එක මේ නිලධාරීන් ගේ රැකියාවේ කොටසක් කියලා. ඒ කතාව ඇත්ත​. නමුත් එයින් රටේ සාමාන්‍ය ජනතාවගේ ආචාරශීලීත්වය පැහැදිලි කරන්න බැහැ. සමහර අවස්ථාවල කෙනෙක්ගෙන් පාර ඇහුවහම​, ඔහු හෝ ඇය පාර දැනගෙන හිටියේ නැති වුනොත් ෆෝන් එක අරන් ඉන්ටර්නෙට් එක ආධාරයෙන් හරි පාර හොයලා දෙන්න ඔවුන් කාරුණික වුනා. දන්නේ නැහැ කියලා නිකන් හිටියේ නැහැ.

අනික ඔවුන් ගමනක් බිමනක් යනවිට අනෙක් කෙනාගේ නිදහසට බාධා වෙන්න කෑ කෝ ගහන්නේ නැහැ. තමන් යන ගමන තමන් ගේ පාඩුවේ යනවා. හවසට කාර් යාල ඇරෙන වෙලාවට නම් කෝච්චියේ සද්දෙ ටිකක් වැඩියි. නමුත් එයට හේතුව යන එන බොහෝ දෙනා යහලුවන් එක්ක කතාබහේ යෙදීම​. නමුත් කවුරුවත් අනවශ්‍ය විදියට අනිත් අයගේ ඇඟේ හැපෙන්නේ එහෙම නැහැ. කොච්චර සෙනඟ හිටියත් ඒක එහෙමයි.

මේ දිනවල සිංගප්පූරුවේ ජීවත් වන මගේ මිත්‍ර අරවින් ද කරුණාරත්න මට කියාපු දෙයක් හැමදාමත් මතකයේ තියෙනවා. "ලංකාවේ කෝච්චි ස්ටේසමක වුනත් නිලධාරියෙක්ගෙන් පාරක් ඇහුවොත් ඒ අය හිතන්නේ ඒක වධයක් කියලා. නමුත් ඒ අය දැනගන්න ඕන මිනිස්සු බස්වල, කෝච්චිවල යන නිසා තමයි එයාලට ඒ රස්සාව ලැබිලා තියෙන්නේ කියලා. ඒ ගැන හිතලාවත් ඒ අය මිනිස්සුන්ට සලකන්න ඕන​."

ලංකාවේ අයට සිංගප්පූරු වැසියන් ගෙන් ඉගෙනගන්න දේවල් බොහොම තියෙනවා. එරට හිටපු අගමැති ලී ක්වාන් යූ වරක් පැවසුවේ සිංගප්පූරුවේ ලොකුම සම්පත එරට වැසියන් ගේ හැකියාවන් බවයි. ඇත්තෙන්ම වෙහෙස මහන්සියෙන් කැපවීමෙන් රැකියාවහි නිරත වීමත්, ආචාරශීලීභාවයත් ඔවුන් සතු ප්‍රධානම හැකියාවන් දෙකක් බව ඒ රටට යන කෙනෙක්ට පැහැදිලි වෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ.

ඊළඟ සිංගප්පූරු කතාව ළඟදිම එනවා...

Tuesday, February 4, 2014

දැනුම මිනුම 02: ආසියාවේ පෘතුගීසි අධිරාජ්‍යය​

දැනුම මිනුම තරඟවල එකම බලාපොරොත්තුව සියලු ප්‍රශ්නවලට උත්තර සෙවීම පමණක් නොවේ. යම් පැණයක් අසන ලද විට ඒ හා සබැඳුන වඩා පුලුල් කතාන්තරයක් තිබිය හැක​. මේ විස්තරය දැනගැනීමෙන් අපේ දැනුම වඩා පුලුල් පරාසයක් කරා යොමු කළහැකි වන්නේය​. එහෙයින්, ප්‍රශ්නය මෙන්ම එයින් කියැවෙන විස්තරයද එක සේ වැදගත් වේ.

1505 නොවැම්බර් මාසයේ 09 වනදා එක්තරා තරුණ පෘතුගීසි කපිතාන්වරයෙක් ලංකාද්වීපයට ගොඩ බැස්සේය​. ලොරෙන්සෝ ද අල්මේදා නම් වූ ඔහු ලංකාවට ගොඩබට මුල්ම පෘතුගීසි වැසියා ලෙස ඉතිහාසයට එකතු වී ඇත​. දශක කිහිපයකදී ලංකාවේ සැලකිය යුතු කොටසක් පෘතුගීසි පාලනයට නතු වූවා මෙන්ම ආසියාවේ පෘතුගීසි අධිරාජ්‍යයේ ප්‍රධාන කොටසක් බවට ලංකාව පත් විය​.
1572 දී කැලිකට් නගරය​

01. 1498 දී වස්කෝ ද ගාමා නම් පෘතුගීසි නාවිකයා ඉන්දියාවේ කැලිකට් වරායට සේන්දු වෙමින් එරටට පැමිණි පළමු පෘතුගීසි ජාතිකයා ලෙස ඉතිහාසයට එක් වූයේය​. අද කැලිකට් නගරය හඳුන්වනු ලබන්නේ කොසිකොඩේ (Kozhikode) යන නමිනි. එම නගරය වර්තමානයේ පිහිතියේ කිනම් ඉන්දීය ප්‍රාන්තයේද​?

02. ලොරෙන්සෝ ද අල්මේදා වනාහී ගෝවේ පළමු පෘතුගීසි ප්‍රතිරාජයා වූ ෆ්‍රැන්සිස්කෝ ද අල්මේදාගේ පුත්‍රයාය​. ෆ්‍රැන්සිස්කෝ ද අල්මේදා එම තනතුරට පත් කල, එවක පෘතුගාලයේ රජු කවුද​?

03. මේ කියන පෘතුගීසි නාවිකයා 1500 ගණන්වල මුල් කාලයේදී අන් කවරකුටත් වඩා වැඩි  ආසියාවේ පෘතුගීසි අධිරාජ්‍යයේ ව්‍යාප්තිය වෙනුවෙන් කළේය​. සොකොත්‍රා දූපත, ගෝව සහ මලක්කාව ඇතුලු වැදගත් ප්‍රදේශ ගණනාවක්ම අල්ලාගන්නා ලද්දේ ඔහු විසිනි. එමෙන්ම පර්සියානු බොක්කට පිවිසි පළමු පෘතුගීසි කප්පිත්තා වූයේ ඔහු ය​. ඔහුගේ වාසගමම තිබෙන ප්‍රසිද්ධ නගරයක් ඇමරිකාවේ නව මෙක්සිකෝ ප්‍රාන්තයේ වේ. නමුත් එම නගරය නම් කර ඇත්තේ ඔහු වෙනුවෙන් නම් නොවේ. මොහු කවුද​?
තුන්වන ප්‍රශ්නය අසන්නේ මොහු පිළිබඳවයි

04. 16 වන සියවසෙන් පසු ආසියාවේ පැවති බොහෝ පෘතුගීසි යටත් ප්‍රදේශ වෙනත් බටහිර බලවතුන් විසින් ඩැහැ ගන්නා ලදී. නමුත් ඉන් දියාවේ ගෝව​ (Goa), දමාන් (Daman) සහ ඩියු (Diu) ඇතුලු කුඩා ප්‍රදේශ කිහිපයක් මෑතක් වනතුරු පෘතුගීසි පාලනය යටතේ වූහ​. බ්‍රිතාන්‍යයෙන් ස්වාධිනත්වය ලද ඉන් දියාව පසු කලෙක පෘතුගාලය සමඟ යුධ වැදී ඉහත කී ප්‍රදේශවල බලය අල්ලාගන්නා ලදී. මේ සිදුවීම වූයේ කිනම් වසරකද​?

05. 1999 දෙසැම්බරයේදී පෘතුගාලය විසින් අවුරුදු 450 ක් ඔවුනගේ පාලනයට නතුව තිබූ ප්‍රදේශයක් යලි චීනයට භාරදෙන ලදී. ඒ, හොංකොං ප්‍රදේශය භාරදුන් ආකාරයටම "එක රටක්, ක්‍රම දෙකක්" යන ක්‍රමවේදය අනුව යමිනි. මේ ප්‍රදේශය කුමක්ද​?

ප්‍රශ්න සඳහා පිළිතුරු දැනුම මිනුම 03 සමඟ බලාපොරොත්තු වන්න​.

දැනුම මිනුම 01 සඳහා පිළිතුරු

1. Commonwealth Heads of Government Meeting

2. ලී ක්වාන් යූ (Lee Kwan Yew)

3. මොසැම්බික්

4. ගෝව​

5. මුරුසිය​ (Mauritius)

Sunday, February 2, 2014

ළමා වියට ගිය චේ

චේ. ඔහු සැබෑ මානව හිතවාදියකු වූයේය. පීඩිත ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් සටන් වැදුණ හේ ඒ සඳහා සුදුසුම යයි තමන් පිළිගත් සන්නද්ධ අරගල කෙරේ යොමුවිය. එහෙත් හේ මානව දයාවෙන් උතුරන නියම ජනතා හිතවාදියකු විය.

චේ සියලුම ලෝකවාසීන්ට ආදරය කළේය. ඔහුට පාටක්, ජාතියක්, රටක්, රාජ්‍යයන් වැදගත් නොවූයේය. එසේම ඔහු සියලු ළමයින්ට ආදරය කළේ සිය ලෙයින් උපන් ළමයිනට මෙන් සමානවය. ඔහු සටන් වැදුණේ ඔවුනගේ අනාගතය වෙනුවෙනි.
ඉහත ඡායාරූපය 1960 දී ෂැංහයි නුවර ප්‍රාථමික පාසලකදී ගන්නා ලද්දකි. චේ චීන බස දැන නොසිටියේය. නමුත් හේ ළමා බස දැන සිටියේය. ඔවුනගේ සිතුම් පැතුම් ඔහුට වැටහිණ. ඒ අව්‍යාජ සිනහව මූර්තිමත් කරන්නේ ඔහු ළමා ලෝකයට පිවිසි බවයි. හදවතින් ඔහු ළමා ලෝකයට ආදරය කල බවයි.

නමුත් මේ අහිංසකත්වය වැඩිහිටි ලෝකයේ නොවීය. මේ ළමයින්ද කවදා හෝ ඒ කුරිරු ලොවට පය තැබිය යුතු විය. චේ සටන් කළේ ඒ ලෝකයද මේ  ලෝකය මෙන් යහපත් කරන්නටය. නමුත් එම "සාපරාධී වරදට" වැඩිහිටි ලෝකය ඔහුට දුන් දඬුවම මරණයයි.

වැඩිහිටි ලෝකයේ කුරිරු බවට තවත් සාධක කුමටද?

Saturday, February 1, 2014

දැනුම මිනුම 01: CHOGM

2013 නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාව 23 වන CHOGM සමුලුව සඳහා සත්කාරකත්වය දැරීය​. මේ ඒ අවස්ථාව වෙනුවෙන් සකස් කළ ප්‍රශ්න කිහිපයක එකතුවකි. The Nation පුවත්පතෙහි දැනුම මිනුම ලිපි මාලාව ඇරඹුනේ මේ එකතුවෙනි. පුවත්පතේ ඉංග්‍රීසියෙන් මෙය පළවූයේ 2013 නොවැ. 10 වනදාය.

2013 CHOGM සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය අගමැති කැමරන්, ඡායාරූපය රුක්ශාන් අබේවංශ

1. CHOGM යන කෙටි යෙදුමෙහි නිවැරදි ඉංග්‍රීසි තේරුම කුමක්ද​?

2. 1971 පළමු CHOGM සමුලුව පැවත්වූයේ ආසියාතික රටක් වන සිංගප්පූරුවයි. එවක එරට අගමැතිවරයා 1965-90 කාළය මුලුල්ලේ සිංගප්පූරු ජනරජයේ අගමැති ධූරය දැරීය​. 2013 සැප්තැම් බර් 16 වනදා ඔහු සිය 90 වන ජන්ම දිනය සැමරීය​. ඔහු කවුද​?

3. සාමාන්‍යයෙන් පොදු රාජ්‍ය මණ්ඩලයට එක් වන්නේ පැරණි බ්‍රිතාන්‍ය යටත් විජිතය​. එහෙත් 1995 දී පළමු වතාවට කිසිදු අවස්ථාවක බ්‍රිතාන්‍ය යටත් විජිතයක් නොවූ රටක් පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය ලබා ගත්තේය​. අප්‍රිකාවේ විශාලම ගංගා දෙකක් වන ලිම්පෝපෝ සහ සැම්බීසි යන ගංගා මුහුදට වැටෙන්නේ මේ රටෙනි. පැරණි පෘතුගීසි යටත් විජිතයක් වන මෙය 1975 දී නිදහස ලැබීය​. අප්‍රිකානු වහල් වෙලෙඳාමේ කටුක අත්දැකීම් මෙරට ඉතිහාසයේ වේ. ලංකාවේ වසන කාපිරි ජනයාගේ මුල් බිම ලෙස ගැනෙන්නේද මෙරටයි. මේ රට කුමක්ද​?

4. 2013ට පෙර අවසන් වරට CHOGM සමුලුවක් ආසියාවේ පැවත්වුනේ 1983 දීය​. ඉන්දියාවේ පැවති එය පවත්වන ලද්දේ අගුවාඩා නම් පැරණි පෘතුගීසි බලකොටුවකය​. එම සමුලුවේ සත්කාරකත්වය දැරූ ඉන්දීය නගරය කුමක්ද​?

5. 2015 CHOGM සමුලුව පවත්වන්නට නියමිත වූයේ ඉන්දියානු සාගරයේ දූපත් රාජ්‍යයකය​. අප්‍රිකාවේ කුඩා රටවල් වලින් එකක් වන මෙරට ජනගහනය මිලියන 1.3 ක් පමණ වන අතර ඉන්දීය ජාතිකයන් විශාල ප්‍රමාණයක් ඒ අතර වෙති. බ්‍රිතාන්‍ය යටත්විජිතවාදයට එරෙහිව කැරලි ගැසූ සමහර ලාංකිකයන් මෙරටට පිටුවහල් කෙරිණ​. ඇහැලේපොල අධිකාරමගේ සොහොන ඇත්තේද එරටය​. (කෙසේ වෙතත්, එරට අගමැතිවරයා කොළඹ CHOGM සමුලුවට සහභාගී නොවීමෙන් ඔවුනට 2015 සමුලුවේ සත්කාරකත්වය අහිමි වී එය මෝල්ටාවට ලබා දෙන ලදී). මේ රට කුමක්ද​?

පිළිතුරු ඊළඟ ප්‍රශ්න එකතුව (දැනුම මිනුම 02) සමඟ බලාපොරොත්තු වන්න​.

Saturday, December 7, 2013

නිදහස කරා වූ දිගු ගමන නිමකල මැන්ඩෙලා


පසුගිය බ්‍රහස්පතින්දා, එනම් දෙසැම්බර් 5 වනදා රාත්‍රියේ ලන්ඩන් නගරයේදී Mandela: Long Walk to Freedom (මැන්ඩෙලා: නිදහස කරා වූ දිගු ගමන​) චිත්‍රපටය එළිදැක්වින​. එයට විලියම් කුමරු සහ කේට් කුමරිය ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වී සිටියහ​. නෙල්සන් මැන්ඩෙලාගේ ස්වයං චරිතාපදානය ඇසුරින් නිමැවුනු මේ චිත්‍රපටය නැරඹීමට මැන්ඩෙලාගේ දියණියක වන සින්සි මැන්ඩෙලා ද පැමිණියාය​. ඇයගේ පියාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ විමසන ලද අවස්ථාවේ ඈ කියා සිටියේ "මගේ පියා හොඳින් සිටිනවා" කියාය​. නමුත් චිත්‍රපටය අවසානය වනවිට ඔහු ජොහැන්නස්බර්ග් නගරයේදී අවසන් හුස්ම හෙලා ඇතැයි යන ශෝචනීය පුවත චිත්‍රපටය නරඹන්නන්ට දැනගන්නට ලැබිණ​.

මැන්ඩෙලා නිදහස සොයා ගියේ සමාජයේ වූ විෂමතා එකකට දෙකකට එරෙහිව නොවේ. ඔහු දකුණු අප්‍රිකානු පාලකයන්ගේ විකාරරූපී වර්ණභේදවාදයට එරෙහිව සටන් කළේය​. තමා උපන් රටේදීම තමා දෙවන පලැන්තියේ පුරවැසියකු කරනු ලැබීමට එරෙහිව සටන් කළේය​. තමන් සහ තම ජනතාව පාවා දෙන්නට එළිපිට සහ රහසේ ක්‍රියාකළවුන්ට එරෙහිව සටන් කළේය​. අසාධාරණයට එරෙහිව සටන් කළේය​. එමෙන්ම​, සිරෙන් නිදහස ලැබූ පසු, ඔහු ජාතීන් අතර අවබෝධය සඳහා සටන් කළේය. බිඳුනු රටක් එක්සත් කිරීමට සටන් කළේය​.

මැන්ඩෙලා තරුණ වියේදී
ස්වකීය ගෝත්‍රයේ ජනතාව විසින් "මඩීබා" ලෙස ආදරයෙන් ආමන්ත්‍රණය කෙරුන, රොලිහ්ලාලා මැන්ඩෙලාට නෙල්සන් යන නම ලැබුණේ ඔහුගේ ප්‍රාථමික පන්තියේ ගුරුවරිය ඒ නම හොඳයැයි සිතූ හෙයිනි. ඔහුගේ මව්බස වන ක්සෝසා බසින් 'රොලිහ්ලාලා' යනු කරදරකාරයා යන්නයි. වර්ණභේදවාදයේ නියමුවන්ට නම් ඔහු කරදරකාරයකුම විය​.

තම රටේම දෙවන පන්තියේ, නැතහොත් ඊටත් වඩා පහත් තත්ත්වයක වැසියකු වූ මැන්ඩෙලා හැකි සෑම අයුරකින්ම එම ක්‍රමයට එරෙහිව සටන් කළේය​. ඔහු නීතිය උගෙන​, සිය මිත්‍ර ඔලිවර් ටැම්බෝ සමඟ දකුණු අප්‍රිකාවේ ස්වදේශකයන් විසින් පිහිටවූ පළමු නීති සමාගම පිහිටවීය​. නමුත් ඔහුට පැවති සමාජක්‍රමය කඩාගෙන යන්නට ක්‍රමයක් නොවීය​. අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ (ANC) නායකත්වය පවා සාමකාමීව, පාලකයන් සමඟ සාකච්ඡා මගින් විසඳුම් සොයා යන බව දුටු හෙතෙම තවත් කිහිප දෙනෙකු සමඟ අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ තරුණ ලීගය පිහිටුවා ගත්තේය​.

වසර ගණනකට පසු, සියලු සාමකාමී සටන් මාර්ග අහුරන ලද පසු, ආයුධ සන්නද්ධ අරගලයක් කරා සිත මෙහෙයවීමට පවා ඔහු තීරණය කළේය​. 1961 දී ANC සන්නද්ධ අංශය ලෙස Umkontho we Sizwe (Spear of the Nation හෙවත් ජාතියේ හෙල්ලය) නම් සංවිධානය පිහිටුවීමට මූලික වූ එක් අයකු වූයේ මැන්ඩෙලාය​. නමුත් ඔහු අන්තවාදියකු නොවූයේය​. අන්ත සාමකාමී විරෝධතාව ද, සාකච්ඡා මාර්ගයද එවක සිටි පාලකයන් සමඟ කටයුතු කිරීමට සුදුසු ක්‍රම නොවන බව ඒ වනවිට ඔහු තේරුම්ගෙන තිබිණ​. නමුත්, ඔහු තමන්ට පක්‍ෂපාතී සුදු ජාතිකයන් සමඟ අත්වැල් බැඳගෙන සටන් කිරීම ඇතම් අප්‍රිකානු ජාතිකවාදීන් රිස්සුවේ නැත​. කෙසේ නමුත්, සුදුසු අවි ආයුධ සහ පුහුණුව නොමැතිකමින් ආයුධ සන්නද්ධ අරගලය ලත් තැනම ලොප් විය​.

දකුණු අප්‍රිකාවේ පැවති 'නෛතික පද්ධතියට​' එරෙහි මැන්ඩෙලාගේ සටන අමතක නොකල හැක්කකි. 1956 දී, තවත් සියයකට වැඩි පිරිසක් සමඟ ඔහු අත්අඩංගුවට​ ගන්නා ලද්දේ රාජ්‍ය විරෝධී චෝදනා යටතේය​. ඉනික්බිති පැවැති 'රාජ්‍ය විරෝධීන්ගේ නඩුව​' දකුණු අප්‍රිකානු රජය අපකීර්තියට පත් කරමින් අවසන් විය​. නමුත් ඒ වනවිට වර්ණභේදවාදී ක්‍රමය එතරම් නිරවුල් ලෙස නිර්ණය වී නොතිබිණ​. තවද​, ආචාර්ය හෙන්ඩ්‍රික් වර්වෝර්ඩ් ඒ වනවිට කරලියට අවුත් නොතිබිණ​.

ස්වදේශික අප්‍රිකානුවන් පහත්කොට සැලකීම යුරෝපා පාලනය යටතේ දකුණු අප්‍රිකාවේ පොදු සාධකයක් විය​. 1948 ජාතික පක්‍ෂයේ ජයග්‍රහණය සමඟ එය දෙගුණ තෙගුණ වූයේ වර්ණභේදවාදය කරලියට පැමිණීමත් සමඟය​. නමුත් වර්ණභේදවාදය සමාජ ක්‍රමයක් ලෙස නිරවුල් ලෙස පැළපදියම් වූයේ වර්වෝර්ඩ්ගේ ආගමනයත් සමඟය​. ඔහු අගමැති බවට පත් වූයේ 1958 ය​. ජීවිතය තිබෙන තුරු කිසිවිටෙක තමන් ක්‍රියාවට නගන විකාරරූපී සමාජ ක්‍රමයේ වරදක් ඔහු නොදුටුවේය​. 1961 දී දකුණු අප්‍රිකාවට පැමිණි බ්‍රිතාන්‍ය අගමැතිවරයා, අප්‍රිකාව පුරා හමා යන විපර්යාසයේ සුළං ධාරාවක් (Winds of Change) පිළිබඳ ප්‍රකාශ කළ විට වර්වෝර්ඩ් පිළිතුරු දුන්නේ දකුණු අප්‍රිකාව බ්‍රිතාන්‍ය කිරීටයෙන් මිදුණු ජනරජයක් බවට පත්කොට එහි ජනාධිපති බවට පත් වීමෙනි. ඉනික්බිති සිය ප්‍රතිවාදීන් තවත් දරුණු ලෙස මර්ධනය කල ඔහු මැන්ඩෙලා ඇතුලු පිරිසක් "රිවෝනියා නඩුවෙන්" සිරගෙට ඇද දැම්මේය​.

මැන්ඩෙලාගේ නිදහස සඳහා වූ දිගු අරගලය වර්ණභේදවාදයට එරෙහිව දකුණු අප්‍රිකානුවන් දියත් කළ අරගලයේ මුහුණතක් විය​. 1970 ගණන් වනවිට මේ සටන අඩපණ වී තිබිණ​. බටහිර ධනපති සමාජයේ ආශීර්වාදය ලද දකුණු අප්‍රිකානු ආර්ථිකය යහපත් විය​. නමුත් 1980 ගණන් වනවිට තත්ත්වය වෙනස් විය​. වර්ණභේදවාදය ආර්ථික ක්‍රමයක් ලෙස අසාර්ථක වනබව පැහැදිලි වූයේය. එය බිඳ වැටීමට මූලික හේතුව වූයේ මෙයයි.

1990 සිරෙන් නිදහස් වීම මැන්ඩෙලාගේ දිගු ගමනේ එක් සන්ධිස්ථානයක් පමණක් වූයේය​. ඔහු නිදහස ලබා පිටතට පැමිණියේ බෙදුනු ජනතාවක් විසූ, අවිනිශ්චිත අනාගතයකට උරුම කියූ සමාජයකටය​. නමුත් ඔහු එවක පාලකයන් ගේ වැරදි අමතක කළේය​. 1994 දී ජනාධිපති ධූරයට පත් වූ පසු ඔහු ක්‍රියාවට නැගුවේ සමාජය සුවපත් කරන ක්‍රියාවලියකි. ජාතික රග්බි කණ්ඩායමේ සුදු ජාතිකයන් වැඩිපුර සිටීම නිසා එයට ජනතාව සහය නොදක්වන බව දුටු මැන්ඩෙලා රග්බි පිළ අඳින ටී-ෂර්ටයක් ඇඳ එම පිළට සහය දැක්වීමට පෙරමුණ ගත් බව ප්‍රසිද්ධ කරුණකි. අලුත් ජාතික කොඩියක්, භාෂා හතරකින් ගැයෙන් ජාතික ගීයක් ආදිය හඳුන්වා දීමට ඔහු පුරෝගාමී විය​.

1995 දී මැන්ඩෙලා ඔරානියා නම් කුඩා, පිටිසරබද නගරයට පැමිණියේය​. මේ නගර වැසියන්, පැරණි ක්‍රමයේ සමාජයක් දිගටම පවත්වාගෙන යාමට සිහින දකින අෆ්‍රිකාන්ස් ජාතිකයන්‍ ය​. මැන්ඩෙලා පැමිණියේ එක් සුවිශේෂී තැනැත්තියක හමුවීමටය​. ඒ, තමා හිරගෙට ඇද දැමූ, තම ජනතාව අන්ත පීඩාවකට පත් කළාවූ හෙන්ඩ්‍රික් වර්වෝර්ඩ්ගේ වැන්දඹුව වූ බෙට්සි වර්වෝර්ඩ්‍ ය​. ඔවුන් හමුවී, කුලුපගව කතාබහ කළෝය​. බෙට්සි වර්වෝර්ඩ් පවසා තිබුණේ තමා හමුවීමට ජනාධිපති මැන්ඩෙලාට පැමිණීමට හැකිවීම පිළිබඳ සතුටු වන බවය​. නමුත් සියල්ලන්ම ඈ මෙන් සිතුවේ නැත​. ඇගේ එක් මිණිබිරියක් පවසා තිබුණේ ඔහු වෙනත් රටක ජනාධිපති වූවානම් තමන් සතුටු බවය​.

තමන්ට අලවන ලද ඇතැම් ලේබල් ගලවා ගැනීමට මැන්ඩෙලාට බොහෝ කල් ගතවිය​. වසර 2008 වනතුරු ඔහු ඇමරිකානුවන්ගේ ත්‍රස්තවාදීන්ගේ ලැයිස්තුවේ සිටියේය​. 1990 දී හිරෙන් නිදහස් වී 1994 සිට 1999 දක්වා දකුණු අප්‍රිකාව පාලනය කරන සමයේද ඔහු ඇමරිකාව විසින් සලකන ලද්දේ ත්‍රස්තවාදියකු ලෙසය​. මෙය අතපසුවීමක් වී නම් එය අමුතුම අතපසුවීමක් බව කිව යුතුය​.

එවක සෙනට් සභිකයකු වූ බරක් ඔබාමා 2005 දී පළමුවරට මැන්ඩෙලා හමුවිය​.
කෙසේ නමුත්, නෙල්සන් මැන්ඩෙලා නිදහස සොයා හිය දීර්ඝ ගමනේ ගමනාන්තයට පැමිණියේය​. දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකබ් සූමා පැවසූ පරිදි දෙශයට එහි අගනාම පුත්‍රයාද​, ජනතාවට ඔවුනගේ පියා ද අහිමි විය​. මැන්ඩෙලා අහිමි වූයේ දකුණු අප්‍රිකාවට පමණක් නොවේ. ඔහු ලෝකයේම පුරවැසියකු විය​. ලෝකයටම ඔහු අහිමි විය​. ඔහුගේ අඩුව අදට වඩා දැනෙනු ඇත්තේ හෙටය​.