Saturday, December 7, 2013

නිදහස කරා වූ දිගු ගමන නිමකල මැන්ඩෙලා


පසුගිය බ්‍රහස්පතින්දා, එනම් දෙසැම්බර් 5 වනදා රාත්‍රියේ ලන්ඩන් නගරයේදී Mandela: Long Walk to Freedom (මැන්ඩෙලා: නිදහස කරා වූ දිගු ගමන​) චිත්‍රපටය එළිදැක්වින​. එයට විලියම් කුමරු සහ කේට් කුමරිය ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වී සිටියහ​. නෙල්සන් මැන්ඩෙලාගේ ස්වයං චරිතාපදානය ඇසුරින් නිමැවුනු මේ චිත්‍රපටය නැරඹීමට මැන්ඩෙලාගේ දියණියක වන සින්සි මැන්ඩෙලා ද පැමිණියාය​. ඇයගේ පියාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ විමසන ලද අවස්ථාවේ ඈ කියා සිටියේ "මගේ පියා හොඳින් සිටිනවා" කියාය​. නමුත් චිත්‍රපටය අවසානය වනවිට ඔහු ජොහැන්නස්බර්ග් නගරයේදී අවසන් හුස්ම හෙලා ඇතැයි යන ශෝචනීය පුවත චිත්‍රපටය නරඹන්නන්ට දැනගන්නට ලැබිණ​.

මැන්ඩෙලා නිදහස සොයා ගියේ සමාජයේ වූ විෂමතා එකකට දෙකකට එරෙහිව නොවේ. ඔහු දකුණු අප්‍රිකානු පාලකයන්ගේ විකාරරූපී වර්ණභේදවාදයට එරෙහිව සටන් කළේය​. තමා උපන් රටේදීම තමා දෙවන පලැන්තියේ පුරවැසියකු කරනු ලැබීමට එරෙහිව සටන් කළේය​. තමන් සහ තම ජනතාව පාවා දෙන්නට එළිපිට සහ රහසේ ක්‍රියාකළවුන්ට එරෙහිව සටන් කළේය​. අසාධාරණයට එරෙහිව සටන් කළේය​. එමෙන්ම​, සිරෙන් නිදහස ලැබූ පසු, ඔහු ජාතීන් අතර අවබෝධය සඳහා සටන් කළේය. බිඳුනු රටක් එක්සත් කිරීමට සටන් කළේය​.

මැන්ඩෙලා තරුණ වියේදී
ස්වකීය ගෝත්‍රයේ ජනතාව විසින් "මඩීබා" ලෙස ආදරයෙන් ආමන්ත්‍රණය කෙරුන, රොලිහ්ලාලා මැන්ඩෙලාට නෙල්සන් යන නම ලැබුණේ ඔහුගේ ප්‍රාථමික පන්තියේ ගුරුවරිය ඒ නම හොඳයැයි සිතූ හෙයිනි. ඔහුගේ මව්බස වන ක්සෝසා බසින් 'රොලිහ්ලාලා' යනු කරදරකාරයා යන්නයි. වර්ණභේදවාදයේ නියමුවන්ට නම් ඔහු කරදරකාරයකුම විය​.

තම රටේම දෙවන පන්තියේ, නැතහොත් ඊටත් වඩා පහත් තත්ත්වයක වැසියකු වූ මැන්ඩෙලා හැකි සෑම අයුරකින්ම එම ක්‍රමයට එරෙහිව සටන් කළේය​. ඔහු නීතිය උගෙන​, සිය මිත්‍ර ඔලිවර් ටැම්බෝ සමඟ දකුණු අප්‍රිකාවේ ස්වදේශකයන් විසින් පිහිටවූ පළමු නීති සමාගම පිහිටවීය​. නමුත් ඔහුට පැවති සමාජක්‍රමය කඩාගෙන යන්නට ක්‍රමයක් නොවීය​. අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ (ANC) නායකත්වය පවා සාමකාමීව, පාලකයන් සමඟ සාකච්ඡා මගින් විසඳුම් සොයා යන බව දුටු හෙතෙම තවත් කිහිප දෙනෙකු සමඟ අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ තරුණ ලීගය පිහිටුවා ගත්තේය​.

වසර ගණනකට පසු, සියලු සාමකාමී සටන් මාර්ග අහුරන ලද පසු, ආයුධ සන්නද්ධ අරගලයක් කරා සිත මෙහෙයවීමට පවා ඔහු තීරණය කළේය​. 1961 දී ANC සන්නද්ධ අංශය ලෙස Umkontho we Sizwe (Spear of the Nation හෙවත් ජාතියේ හෙල්ලය) නම් සංවිධානය පිහිටුවීමට මූලික වූ එක් අයකු වූයේ මැන්ඩෙලාය​. නමුත් ඔහු අන්තවාදියකු නොවූයේය​. අන්ත සාමකාමී විරෝධතාව ද, සාකච්ඡා මාර්ගයද එවක සිටි පාලකයන් සමඟ කටයුතු කිරීමට සුදුසු ක්‍රම නොවන බව ඒ වනවිට ඔහු තේරුම්ගෙන තිබිණ​. නමුත්, ඔහු තමන්ට පක්‍ෂපාතී සුදු ජාතිකයන් සමඟ අත්වැල් බැඳගෙන සටන් කිරීම ඇතම් අප්‍රිකානු ජාතිකවාදීන් රිස්සුවේ නැත​. කෙසේ නමුත්, සුදුසු අවි ආයුධ සහ පුහුණුව නොමැතිකමින් ආයුධ සන්නද්ධ අරගලය ලත් තැනම ලොප් විය​.

දකුණු අප්‍රිකාවේ පැවති 'නෛතික පද්ධතියට​' එරෙහි මැන්ඩෙලාගේ සටන අමතක නොකල හැක්කකි. 1956 දී, තවත් සියයකට වැඩි පිරිසක් සමඟ ඔහු අත්අඩංගුවට​ ගන්නා ලද්දේ රාජ්‍ය විරෝධී චෝදනා යටතේය​. ඉනික්බිති පැවැති 'රාජ්‍ය විරෝධීන්ගේ නඩුව​' දකුණු අප්‍රිකානු රජය අපකීර්තියට පත් කරමින් අවසන් විය​. නමුත් ඒ වනවිට වර්ණභේදවාදී ක්‍රමය එතරම් නිරවුල් ලෙස නිර්ණය වී නොතිබිණ​. තවද​, ආචාර්ය හෙන්ඩ්‍රික් වර්වෝර්ඩ් ඒ වනවිට කරලියට අවුත් නොතිබිණ​.

ස්වදේශික අප්‍රිකානුවන් පහත්කොට සැලකීම යුරෝපා පාලනය යටතේ දකුණු අප්‍රිකාවේ පොදු සාධකයක් විය​. 1948 ජාතික පක්‍ෂයේ ජයග්‍රහණය සමඟ එය දෙගුණ තෙගුණ වූයේ වර්ණභේදවාදය කරලියට පැමිණීමත් සමඟය​. නමුත් වර්ණභේදවාදය සමාජ ක්‍රමයක් ලෙස නිරවුල් ලෙස පැළපදියම් වූයේ වර්වෝර්ඩ්ගේ ආගමනයත් සමඟය​. ඔහු අගමැති බවට පත් වූයේ 1958 ය​. ජීවිතය තිබෙන තුරු කිසිවිටෙක තමන් ක්‍රියාවට නගන විකාරරූපී සමාජ ක්‍රමයේ වරදක් ඔහු නොදුටුවේය​. 1961 දී දකුණු අප්‍රිකාවට පැමිණි බ්‍රිතාන්‍ය අගමැතිවරයා, අප්‍රිකාව පුරා හමා යන විපර්යාසයේ සුළං ධාරාවක් (Winds of Change) පිළිබඳ ප්‍රකාශ කළ විට වර්වෝර්ඩ් පිළිතුරු දුන්නේ දකුණු අප්‍රිකාව බ්‍රිතාන්‍ය කිරීටයෙන් මිදුණු ජනරජයක් බවට පත්කොට එහි ජනාධිපති බවට පත් වීමෙනි. ඉනික්බිති සිය ප්‍රතිවාදීන් තවත් දරුණු ලෙස මර්ධනය කල ඔහු මැන්ඩෙලා ඇතුලු පිරිසක් "රිවෝනියා නඩුවෙන්" සිරගෙට ඇද දැම්මේය​.

මැන්ඩෙලාගේ නිදහස සඳහා වූ දිගු අරගලය වර්ණභේදවාදයට එරෙහිව දකුණු අප්‍රිකානුවන් දියත් කළ අරගලයේ මුහුණතක් විය​. 1970 ගණන් වනවිට මේ සටන අඩපණ වී තිබිණ​. බටහිර ධනපති සමාජයේ ආශීර්වාදය ලද දකුණු අප්‍රිකානු ආර්ථිකය යහපත් විය​. නමුත් 1980 ගණන් වනවිට තත්ත්වය වෙනස් විය​. වර්ණභේදවාදය ආර්ථික ක්‍රමයක් ලෙස අසාර්ථක වනබව පැහැදිලි වූයේය. එය බිඳ වැටීමට මූලික හේතුව වූයේ මෙයයි.

1990 සිරෙන් නිදහස් වීම මැන්ඩෙලාගේ දිගු ගමනේ එක් සන්ධිස්ථානයක් පමණක් වූයේය​. ඔහු නිදහස ලබා පිටතට පැමිණියේ බෙදුනු ජනතාවක් විසූ, අවිනිශ්චිත අනාගතයකට උරුම කියූ සමාජයකටය​. නමුත් ඔහු එවක පාලකයන් ගේ වැරදි අමතක කළේය​. 1994 දී ජනාධිපති ධූරයට පත් වූ පසු ඔහු ක්‍රියාවට නැගුවේ සමාජය සුවපත් කරන ක්‍රියාවලියකි. ජාතික රග්බි කණ්ඩායමේ සුදු ජාතිකයන් වැඩිපුර සිටීම නිසා එයට ජනතාව සහය නොදක්වන බව දුටු මැන්ඩෙලා රග්බි පිළ අඳින ටී-ෂර්ටයක් ඇඳ එම පිළට සහය දැක්වීමට පෙරමුණ ගත් බව ප්‍රසිද්ධ කරුණකි. අලුත් ජාතික කොඩියක්, භාෂා හතරකින් ගැයෙන් ජාතික ගීයක් ආදිය හඳුන්වා දීමට ඔහු පුරෝගාමී විය​.

1995 දී මැන්ඩෙලා ඔරානියා නම් කුඩා, පිටිසරබද නගරයට පැමිණියේය​. මේ නගර වැසියන්, පැරණි ක්‍රමයේ සමාජයක් දිගටම පවත්වාගෙන යාමට සිහින දකින අෆ්‍රිකාන්ස් ජාතිකයන්‍ ය​. මැන්ඩෙලා පැමිණියේ එක් සුවිශේෂී තැනැත්තියක හමුවීමටය​. ඒ, තමා හිරගෙට ඇද දැමූ, තම ජනතාව අන්ත පීඩාවකට පත් කළාවූ හෙන්ඩ්‍රික් වර්වෝර්ඩ්ගේ වැන්දඹුව වූ බෙට්සි වර්වෝර්ඩ්‍ ය​. ඔවුන් හමුවී, කුලුපගව කතාබහ කළෝය​. බෙට්සි වර්වෝර්ඩ් පවසා තිබුණේ තමා හමුවීමට ජනාධිපති මැන්ඩෙලාට පැමිණීමට හැකිවීම පිළිබඳ සතුටු වන බවය​. නමුත් සියල්ලන්ම ඈ මෙන් සිතුවේ නැත​. ඇගේ එක් මිණිබිරියක් පවසා තිබුණේ ඔහු වෙනත් රටක ජනාධිපති වූවානම් තමන් සතුටු බවය​.

තමන්ට අලවන ලද ඇතැම් ලේබල් ගලවා ගැනීමට මැන්ඩෙලාට බොහෝ කල් ගතවිය​. වසර 2008 වනතුරු ඔහු ඇමරිකානුවන්ගේ ත්‍රස්තවාදීන්ගේ ලැයිස්තුවේ සිටියේය​. 1990 දී හිරෙන් නිදහස් වී 1994 සිට 1999 දක්වා දකුණු අප්‍රිකාව පාලනය කරන සමයේද ඔහු ඇමරිකාව විසින් සලකන ලද්දේ ත්‍රස්තවාදියකු ලෙසය​. මෙය අතපසුවීමක් වී නම් එය අමුතුම අතපසුවීමක් බව කිව යුතුය​.

එවක සෙනට් සභිකයකු වූ බරක් ඔබාමා 2005 දී පළමුවරට මැන්ඩෙලා හමුවිය​.
කෙසේ නමුත්, නෙල්සන් මැන්ඩෙලා නිදහස සොයා හිය දීර්ඝ ගමනේ ගමනාන්තයට පැමිණියේය​. දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකබ් සූමා පැවසූ පරිදි දෙශයට එහි අගනාම පුත්‍රයාද​, ජනතාවට ඔවුනගේ පියා ද අහිමි විය​. මැන්ඩෙලා අහිමි වූයේ දකුණු අප්‍රිකාවට පමණක් නොවේ. ඔහු ලෝකයේම පුරවැසියකු විය​. ලෝකයටම ඔහු අහිමි විය​. ඔහුගේ අඩුව අදට වඩා දැනෙනු ඇත්තේ හෙටය​.

8 comments:

  1. කාලෙකට පස්සේ අයෙත් සුපිරි පොඑස්ට් එකක් :)... එල එල :)

    ReplyDelete
    Replies
    1. පුරුදු විදියටම "තැන්ක් යූ වේවා!" කිව්වා එහෙනම්... :)

      Delete
  2. ඉන්වික්ටස් චිත්‍රපටයට පාදක වෙන්නෙ ඔහු රග්බි පිළ වෙනුවෙන් දක්වපු ඒ දායකතවයයි. මම හිතන්නෙ ඔහු එක් වරක් එල්.ටී.ටී.ඊ. සංවිධානයට පක්ශයව යම් ප්‍රකාශයක් කළා. ඒ නිසාද මංදා මගේ හිතේ ඔහු ගැන පැහැදීමක් නැහැ.

    ReplyDelete
    Replies
    1. පුදුම වෙන්න දෙයක් නැහැ... ඒ කාලේ මේ රටේ තිබ්බ ප්‍රශ්නය ගැන පිටට ගියේ තනිකරම ඒක පාර්ශවික මතවාදයක්. ඕක ලංකාවට විතරක් සීමා වූ ගැටලුවක් නෙවෙයි. සමහර ඇමරිකන්කාරයො මැන්ඩෙලා සලකන්නෙ කොමියුනිස්ට්කාරයෙක් විදියට​... ඒකත් වැරදි බව අපි දන්නවා නෙ. 1980 ගණන්වල කොන්සර්වේටිව් පක්‍ෂයේ සමහරු බ්‍රිතාන්‍යයේ පෙළපාලි ගියේ මැන්ඩෙලාව එල්ලන්න කියලා. ඒ කාලෙ අද වීරයෙක් වෙන්න ගිහින් පස්ස ඇණගෙන ඉන්න කැමරන් අයියත් තරුණ කොන්සැවේටිව් පාක්‍ෂිකයෙක්... (නමුත් එයා Hang Mandela කියලා බෝඩ් එල්ලාගෙන හිටපු බවට සාක්කි නැහැ).

      ලංකා රජයේත් වැරදි නිසා තමයි අපේ කතාව ලෝකයට ගියේ නැත්තෙ. ඒකට අපි බනින්න ඕන මැන්ඩෙලාටත් වැඩිය අපේ 'ඩෙලා'ලට​.

      Delete
    2. //ලංකා රජයේත් වැරදි නිසා තමයි අපේ කතාව ලෝකයට ගියේ නැත්තෙ. ඒකට අපි බනින්න ඕන මැන්ඩෙලාටත් වැඩිය අපේ 'ඩෙලා'ලට​.//
      ඔබ සමගින් එකගයි....

      Delete
  3. //ඔහු එක් වරක් එල්.ටී.ටී.ඊ. සංවිධානයට පක්ශයව යම් ප්‍රකාශයක් කළා//

    මෙතන තමයි මම හිතන්නේ මැන්ඩෙලා ට වැරදුන තැන. ඔහු ලංකාවේ ත්‍රස්තවාදී ප්‍රශ්නය ගැන බැලුවේ අප්‍රිකාවේ තිබුණු අර්බූදයේ දෘෂ්ටි කෝණයෙන්.

    ReplyDelete
  4. //ලෝකයටම ඔහු අහිමි විය​. ඔහුගේ අඩුව අදට වඩා දැනෙනු ඇත්තේ හෙටය​//.

    ඇතෙන්ම ලෝකයට අවශ්‍යම අය ඔවුන් ලෝකයට ඇවසිම යුගයේ ලෝකයෙන් සමුගැනීම ලෝකයේම අවසනාවක්.

    ReplyDelete
  5. //මැන්ඩෙලා අහිමි වූයේ දකුණු අප්‍රිකාවට පමණක් නොවේ. ඔහු ලෝකයේම පුරවැසියකු විය​. ලෝකයටම ඔහු අහිමි විය​.//
    සත්තකින්ම....

    ReplyDelete