Thursday, February 6, 2014

සිංගප්පූරු කතා 01: අචාරශීලී සිංගප්පූරු වැසියෝ

මෑතකදී මට සිංගප්පූරුවේ දින කිහිපයක සංචාරයක යෙදීමට අවස්ථාව ලැබුණා. මේ ගමන ඇත්තෙන්ම බොහෝ දේ ඉගෙන ගැනීමට අගනා අවස්ථාවක් වුනා. සිංගප්පූරුව ගැන බොහෝ දේ කියවා තිබූ නමුත් මේ ගමනේ අත්දැකීමන් ඉගෙනගත් දේ ඊට වඩා බොහෝ වැඩි බව කිව යුතුයි. ඒ වගේම ඒ ගමනෙන් පසුව ඒ රට ගැන කියවනවිට වඩා හොඳින් ඒ කරුණු මතක තියෙනවා. විශේෂයෙන්ම ඒ රටේ විවිධ ස්ථානවල නම් කියවෙද්දි බොහොම හොඳින් මතක තියෙනවා.

සිංගප්පූරුව යන නම මැලේ භාශාවෙන් සිංහපුරය යන තේරුම ඇති සිංගපූරා (Singapura) යන වචනයෙන් සැදුණ නමක්. මේ රට වර්ග කිලෝ මීටර 716 ක් පමණ විශාල රටක්. ප්‍රධාන දූපතක් සහ තවත් කුඩා දූපත් 60 ගණනක් මේ රටට අයිති වනවා. විවිධ අවස්ථාවල කුඩා ජනාවාස පැවතියත් සිංගප්පූරුව වැදගත් ස්ථානයක් බවට පත් වූයේ 1819 දී ස්ටැම්ෆර්ඩ් රැෆ්ල්ස් එහි ඉංග්‍රීසි පෙරදිග වෙළෙඳ සමාගමේ වෙළෙඳ මධ්‍යස්ථානයක් පිහිටුවීම සමඟයි. එම නිසා නූතන සිංගප්පූරුවේ නිර්මාතෘ ලෙස ගැණෙන්නේ සර් ස්ටැම්ෆර්ඩ් රැෆ්ල්ස්.

1963 දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලද සිංගප්පූරුව 1965 වනතුරු මැලේසියාවේ කොටසක් ලෙස පැවතුණා. නමුත් 1965 දී එරට ස්වාධීන ජනරජයක් බවට පත් වූ අතර එරට ප්‍රථම අගමැති ලී ක්වාන් යූ යටතේ සීග්‍ර ආර්ථික දියුණුවක් ලබා ගත්තා. මේ නිසා ලී ක්වාන් යූ "සිංගප්පූරුවේ පියා" ලෙස සැලකෙනවා.

මේ සීග්‍ර ආර්ථික දියුණුවත් සුඛෝපභෝගී ජීවන තත්ත්වයත් හේතුවෙන් බොහෝදෙනා සිංගප්පූරුව දකින්නේ පාරාදීසයක් ලෙසයි. මා සිංගප්පූරුව පාරාදීසයක් ලෙස දකින්නට මූලිකම හේතුව ඊට මඳක් වෙනස්. මගේ ප්‍රධානම හේතුව ඒ රටේ ජනතාව සහ ඔවුනගේ ආචාරශීලීත්වයයි.

අප සිංගප්පූරුවට ගොඩ බැස්සේ ජනවාරි මාසයේ එක්තරා දිනක එරට වේලාවෙන් රාත්‍රී 9.30 ත් පහුවෙලා. අමුතු රටකට ගොඩබහින්න අමාරුම වෙලාවක් තමයි ඒ. ගුවන්‍ යානයෙන් අපි ආවේ සිංගප්පූරුවේ චැංගි ගුවන්තොටුපලේ පළමු පර්යන්තයට​. මම හිතන්නේ මේ පර්යන්තය විතරක් ලංකාවේ කටුනායක පර්යන්තයට වැඩිය විශාලයි. ඔක්කොම පර්යන්ත තුනක් චැංගිවල තියෙනවා වගේම තව එකක් 2017 වෙද්දි ඉදිකරලා අවසාන වන්නට නියමිත බව මට අසන්නට ලැබුණා. ඒ වුනත් චැංගි ගුවන්තොටුපලේ කෙනෙක්ට අපේ ගුවන්තොටුපලේදීට වැඩිය පහසුවෙන් තමන්ට අවශ්‍ය දේ කරගන්නට පුලුවන් බව කියන්න ඕන​. ඒ විතරක් නෙවෙයි කාර්ය මණ්ඩලයත් බොහොම සුහදශීලීයි. සිංගප්පූරු වැසියන් ගේ සුහදශීලීත්වය අප මුලින්ම අත්වින්ඳේ චැංගිවලදී.

කොහොම වුනත් ගුවන්තොටුපලේ විශාලත්වයයි, අපේ ගමන් මහන්සියයි, කරගන්න තිබුණ වැඩයි නිසා අපි නගරය දිහාවට යන අන්තිම දුම්රිය යාන්තමින් තමයි අල්ලා ගත්තේ. සිංගප්පූරුවේ දුම්රිය සේවය වෙනමම අගය කළයුතු එකක්. ඒවාට ඉංග්‍රීසියෙන් කියන්නේ Mass Rapid Transit (MRT) කියලා. අපට එදා ප්‍රමාද වෙලා තිබුණ නිසා මගී සේවාවේ නිලධාරීන් අපට කිව්වා අපි බහින දුම්රියපොලෙන් ටිකට්වලට සල්ලි ගෙවන්න කියලා.

අපි දුම්රියෙන් එද්දි අපිත් එක්ක කතාවට වැටුන කෙනෙක් අපට එකේ යන විදිය කියා දුන්නා. එහි හැම ස්ටේෂමකටම කලින් නිවේදනය කරනවා දැන් එන්නේ මොන ස්ටේෂමටද කියන එක​. අතරමං වෙන්නේ නැහැ ලේසියකට​.අපි දුම්රියෙන් ඇවිත් බැස්සේ අල්ජුනයිඩ් දුම්රියපොලෙන්.

අංග් මෝ කියෝ (Ang Mo Kio) ස්ටේෂන් එකේ MRT දුම්රියක් නවතා තියෙන අවස්ථාවක්

මම සිංගප්පූරුවේ දුටු තව දෙයක් තමයි පාරවල් සොයාගැනීමේ පහසුව​. ස්ටේෂමේ මගී සේවා කාර්යාලවල සිතියම් තියෙනවා. කවුරුහරි පාර ඇහුවොත් ඒ සිතියමක් අරන් පාර ලකුණු කරලාම දෙන්න ඔවුන් කාරුණිකයි. අපි ගියපු දවසට පස්සෙන්දා සිංගප්පූරු සත්තු වත්ත බලන්න යන්න පාර ඇහුවාම අල්ජුනයිඩ් මගී සේවා කාර්යාලයෙන් මට සිතියමක පාර ලකුණු කරලා දුන්නා. ඒ සිතියම තවම මගේ ළඟ තියෙනවා.

අප බලන්නට ගියාපු තවත් තැනක් වුනේ මැරීනා බේ අසළ 'ගාර්ඩ්න්ස් බයි ද බේ' කියන උද්‍යානය​. එහිදී එක් අවස්ථාවක මට කෑම ගන්න තැනක් හොයාගන්න අවශ්‍ය වුනා. එතැන හිටපු මගපෙන්වන්නෙක්ගෙන් මම ඒ ගැන ඇහුවාම ඔහු සිතියමක් අරන් මට යන්න ඕන තැන් ඔක්කොම විස්තර කරලා පෙන්නුවා. මරීනා බේ අවට බලන්න තියෙන දේවල්, ඒ තැන්වලට යන විදිය ආදිය ඔක්කොම ඔහු ලස්සනට කියා දුන්නා. ඔහු දීපු සිතියමත් තවම මා ළඟ තිබෙනවා.

කෙනෙක් කියන්නට පුලුවන් ආචාරශීලී වෙන එක මේ නිලධාරීන් ගේ රැකියාවේ කොටසක් කියලා. ඒ කතාව ඇත්ත​. නමුත් එයින් රටේ සාමාන්‍ය ජනතාවගේ ආචාරශීලීත්වය පැහැදිලි කරන්න බැහැ. සමහර අවස්ථාවල කෙනෙක්ගෙන් පාර ඇහුවහම​, ඔහු හෝ ඇය පාර දැනගෙන හිටියේ නැති වුනොත් ෆෝන් එක අරන් ඉන්ටර්නෙට් එක ආධාරයෙන් හරි පාර හොයලා දෙන්න ඔවුන් කාරුණික වුනා. දන්නේ නැහැ කියලා නිකන් හිටියේ නැහැ.

අනික ඔවුන් ගමනක් බිමනක් යනවිට අනෙක් කෙනාගේ නිදහසට බාධා වෙන්න කෑ කෝ ගහන්නේ නැහැ. තමන් යන ගමන තමන් ගේ පාඩුවේ යනවා. හවසට කාර් යාල ඇරෙන වෙලාවට නම් කෝච්චියේ සද්දෙ ටිකක් වැඩියි. නමුත් එයට හේතුව යන එන බොහෝ දෙනා යහලුවන් එක්ක කතාබහේ යෙදීම​. නමුත් කවුරුවත් අනවශ්‍ය විදියට අනිත් අයගේ ඇඟේ හැපෙන්නේ එහෙම නැහැ. කොච්චර සෙනඟ හිටියත් ඒක එහෙමයි.

මේ දිනවල සිංගප්පූරුවේ ජීවත් වන මගේ මිත්‍ර අරවින් ද කරුණාරත්න මට කියාපු දෙයක් හැමදාමත් මතකයේ තියෙනවා. "ලංකාවේ කෝච්චි ස්ටේසමක වුනත් නිලධාරියෙක්ගෙන් පාරක් ඇහුවොත් ඒ අය හිතන්නේ ඒක වධයක් කියලා. නමුත් ඒ අය දැනගන්න ඕන මිනිස්සු බස්වල, කෝච්චිවල යන නිසා තමයි එයාලට ඒ රස්සාව ලැබිලා තියෙන්නේ කියලා. ඒ ගැන හිතලාවත් ඒ අය මිනිස්සුන්ට සලකන්න ඕන​."

ලංකාවේ අයට සිංගප්පූරු වැසියන් ගෙන් ඉගෙනගන්න දේවල් බොහොම තියෙනවා. එරට හිටපු අගමැති ලී ක්වාන් යූ වරක් පැවසුවේ සිංගප්පූරුවේ ලොකුම සම්පත එරට වැසියන් ගේ හැකියාවන් බවයි. ඇත්තෙන්ම වෙහෙස මහන්සියෙන් කැපවීමෙන් රැකියාවහි නිරත වීමත්, ආචාරශීලීභාවයත් ඔවුන් සතු ප්‍රධානම හැකියාවන් දෙකක් බව ඒ රටට යන කෙනෙක්ට පැහැදිලි වෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ.

ඊළඟ සිංගප්පූරු කතාව ළඟදිම එනවා...

10 comments:

  1. ලි ක්වාන් යූ හැත්ත ගනන් වල ලංකාවෙ ඇවිත් එයා මෙහෙ දුම්රිය සේවෙන් වින්ද අමිහිරි අත්දැකීම් ගැන එයා කියල තියෙනවා.
    ලංකාවෙ රජයේ රැකියා කරන අයට අසාමාන්‍ය ආරක්ෂාවක් රැකවරනයක් රැකියාවට ලැබිල තියෙනවා. ඒක නිසා ඒ අය කිසිම දේකට බය නැති විදියට කම්මැලි වෙලා.
    මුලින්ම රජයේ සේවකයින්ට තියෙන රැකියා සුරක්ෂිතතාවය නැතිකරල ඉන්න ඕනි මේ කම්මැලි මිනිස්සුන්ගෙන් ලංකාවෙදි වැඩ ගන්න ඕනි නම්.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ සහෝදරයා! ඒ ගැන නම් කියලා වැඩක් නෑ.
      සිංගප්පූරුව ලංකාවෙන් බොහෝ දේ ඉගෙන ගත්තා. ඒ වගේම ලංකාවේ යම් යම් දේවල් සිද්ධ වෙන විදිය බලලා ඒ දේවල් නොකරන්නේ කොහොමද කියලත් ඉගෙන ගන්න ඇති.

      Delete
    2. වෘත්තිය සමිති කාරයේ රෙද්ද කරට අරන් ඒවි අමිල ඕව කරන්න කතා කරොත්.

      Delete
  2. සර් ලෝකෙ වටේ සන්චාරයක් වත් යන්න පටන් ගත්තද?? :D

    ReplyDelete
    Replies
    1. එහෙම නෑ ඉතින්. ලැබුනොත් යනවා :)

      Delete
  3. කලින් කියන්න එපැයි යනවා කියල. බඩු ලිස්ට් එකක් හදල දෙනවනේ එනකොට අරගෙන එන්න අපිට. :D

    ලංකාවෙත් මෑතකදී රජයේ ආයතන වලට ආපු කෙල්ලෝ කොල්ලෝ නම් මිනිස්සුන්ට සැලකිල්ලෙන් වැඩේ කරලා දෙන බව මං දැකල තියනවා, මං ගිය ආයතන කිහිපයකදිම. පහු වෙන කොට මොනවා වෙයිද කියන්න බෑ ඉතින්.

    ඊ ළඟ එකත් බලමු කො.

    ReplyDelete
    Replies
    1. යම් යම් තැන්වල යහපත් දේවල් සිදු නොවුනා කියන එක වැරදියි. නමුත් තවම අපි ඒ රටේ අහලකටවත් ඇවිත් නැහැ. ආර්ථික දියුණුව ගැන නෙවෙයි මම කතා කරන්නෙ. මිනිස්සු හැසිරෙන විදිය​, කතාබහ කරන විදිය​, පිළිවෙල වගේ දේවල් ගැන​.

      බඩු ලිස්ට් ගැන නම් කතා කරන්න එපා. මම ළඟම කට්ටිය සමහරුන්ට තෑගි ගෙනාවා. බෙදලා බලනකොට තමයි තේරුණේ, "හත්වලාමේ! මම මට කියලා කිසි දෙයක් අරන් නෑ නේද?" කියලා...

      Delete
  4. ඇත්තටම සිංගප්පුරුවේ හැම දෙයක්ම වගේ ඉතාමත්ම ක්‍රමවත්ව ක්‍රියාත්මක වෙනවා. ඒත් මිල ගනන් නම් හරිම අධිකයි. මැලේසියාවට සාපේක්ෂව එය හරිම ඉහළයි. දුම්රිය සේවාව නම් කියලා වැඩක් නෑත ඉස්තරම්ය. වරක් ටිකට් පතක් ගත්තාම එය යාවත් කාලින කරමින් දිගටම භාවිත කරන්න හැකියි. ලිට්ල් ඉන්ඩියා පැත්තේ ගියෙ නැතෙයි. අර මුස්තාපා එක ඉදිරියේ තියන පාරේ එහෙම.

    ReplyDelete
    Replies
    1. මිල ගණන් ගැන නම් කතාකරලා පලක් නැත. නමුත් සමහර දේවල් නම් ලංකාවට සාපේක්ෂව ලාභයි.

      මුස්තාෆා එක පැත්තේ ගියා. ලිට්ල් ඉන්දියා පැත්තේ ගොඩක් දුර පයින් ඇවිද්දා. ෆරර් පාක් ස්ටේෂන් එකේ ඉඳන් සෙරැන්ගූන් පාරේ ගිහින් සයිඩ් ලේන් එකකින් අනිත් පැත්තේ පාරට ඇවිත් වර්ඩුන් රෝඩ්, කිච්නර් රෝඩ් පැතිවලත් පයින් ඇවිද්දා. ඒ වුනාට චයිනාටවුන් වගේ ලිට්ල් ඉන්දියා මගේ හිතට ඇල්ලුවෙ නැහැ.

      Delete