Thursday, February 6, 2014

සිංගප්පූරු කතා 01: අචාරශීලී සිංගප්පූරු වැසියෝ

මෑතකදී මට සිංගප්පූරුවේ දින කිහිපයක සංචාරයක යෙදීමට අවස්ථාව ලැබුණා. මේ ගමන ඇත්තෙන්ම බොහෝ දේ ඉගෙන ගැනීමට අගනා අවස්ථාවක් වුනා. සිංගප්පූරුව ගැන බොහෝ දේ කියවා තිබූ නමුත් මේ ගමනේ අත්දැකීමන් ඉගෙනගත් දේ ඊට වඩා බොහෝ වැඩි බව කිව යුතුයි. ඒ වගේම ඒ ගමනෙන් පසුව ඒ රට ගැන කියවනවිට වඩා හොඳින් ඒ කරුණු මතක තියෙනවා. විශේෂයෙන්ම ඒ රටේ විවිධ ස්ථානවල නම් කියවෙද්දි බොහොම හොඳින් මතක තියෙනවා.

සිංගප්පූරුව යන නම මැලේ භාශාවෙන් සිංහපුරය යන තේරුම ඇති සිංගපූරා (Singapura) යන වචනයෙන් සැදුණ නමක්. මේ රට වර්ග කිලෝ මීටර 716 ක් පමණ විශාල රටක්. ප්‍රධාන දූපතක් සහ තවත් කුඩා දූපත් 60 ගණනක් මේ රටට අයිති වනවා. විවිධ අවස්ථාවල කුඩා ජනාවාස පැවතියත් සිංගප්පූරුව වැදගත් ස්ථානයක් බවට පත් වූයේ 1819 දී ස්ටැම්ෆර්ඩ් රැෆ්ල්ස් එහි ඉංග්‍රීසි පෙරදිග වෙළෙඳ සමාගමේ වෙළෙඳ මධ්‍යස්ථානයක් පිහිටුවීම සමඟයි. එම නිසා නූතන සිංගප්පූරුවේ නිර්මාතෘ ලෙස ගැණෙන්නේ සර් ස්ටැම්ෆර්ඩ් රැෆ්ල්ස්.

1963 දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලද සිංගප්පූරුව 1965 වනතුරු මැලේසියාවේ කොටසක් ලෙස පැවතුණා. නමුත් 1965 දී එරට ස්වාධීන ජනරජයක් බවට පත් වූ අතර එරට ප්‍රථම අගමැති ලී ක්වාන් යූ යටතේ සීග්‍ර ආර්ථික දියුණුවක් ලබා ගත්තා. මේ නිසා ලී ක්වාන් යූ "සිංගප්පූරුවේ පියා" ලෙස සැලකෙනවා.

මේ සීග්‍ර ආර්ථික දියුණුවත් සුඛෝපභෝගී ජීවන තත්ත්වයත් හේතුවෙන් බොහෝදෙනා සිංගප්පූරුව දකින්නේ පාරාදීසයක් ලෙසයි. මා සිංගප්පූරුව පාරාදීසයක් ලෙස දකින්නට මූලිකම හේතුව ඊට මඳක් වෙනස්. මගේ ප්‍රධානම හේතුව ඒ රටේ ජනතාව සහ ඔවුනගේ ආචාරශීලීත්වයයි.

අප සිංගප්පූරුවට ගොඩ බැස්සේ ජනවාරි මාසයේ එක්තරා දිනක එරට වේලාවෙන් රාත්‍රී 9.30 ත් පහුවෙලා. අමුතු රටකට ගොඩබහින්න අමාරුම වෙලාවක් තමයි ඒ. ගුවන්‍ යානයෙන් අපි ආවේ සිංගප්පූරුවේ චැංගි ගුවන්තොටුපලේ පළමු පර්යන්තයට​. මම හිතන්නේ මේ පර්යන්තය විතරක් ලංකාවේ කටුනායක පර්යන්තයට වැඩිය විශාලයි. ඔක්කොම පර්යන්ත තුනක් චැංගිවල තියෙනවා වගේම තව එකක් 2017 වෙද්දි ඉදිකරලා අවසාන වන්නට නියමිත බව මට අසන්නට ලැබුණා. ඒ වුනත් චැංගි ගුවන්තොටුපලේ කෙනෙක්ට අපේ ගුවන්තොටුපලේදීට වැඩිය පහසුවෙන් තමන්ට අවශ්‍ය දේ කරගන්නට පුලුවන් බව කියන්න ඕන​. ඒ විතරක් නෙවෙයි කාර්ය මණ්ඩලයත් බොහොම සුහදශීලීයි. සිංගප්පූරු වැසියන් ගේ සුහදශීලීත්වය අප මුලින්ම අත්වින්ඳේ චැංගිවලදී.

කොහොම වුනත් ගුවන්තොටුපලේ විශාලත්වයයි, අපේ ගමන් මහන්සියයි, කරගන්න තිබුණ වැඩයි නිසා අපි නගරය දිහාවට යන අන්තිම දුම්රිය යාන්තමින් තමයි අල්ලා ගත්තේ. සිංගප්පූරුවේ දුම්රිය සේවය වෙනමම අගය කළයුතු එකක්. ඒවාට ඉංග්‍රීසියෙන් කියන්නේ Mass Rapid Transit (MRT) කියලා. අපට එදා ප්‍රමාද වෙලා තිබුණ නිසා මගී සේවාවේ නිලධාරීන් අපට කිව්වා අපි බහින දුම්රියපොලෙන් ටිකට්වලට සල්ලි ගෙවන්න කියලා.

අපි දුම්රියෙන් එද්දි අපිත් එක්ක කතාවට වැටුන කෙනෙක් අපට එකේ යන විදිය කියා දුන්නා. එහි හැම ස්ටේෂමකටම කලින් නිවේදනය කරනවා දැන් එන්නේ මොන ස්ටේෂමටද කියන එක​. අතරමං වෙන්නේ නැහැ ලේසියකට​.අපි දුම්රියෙන් ඇවිත් බැස්සේ අල්ජුනයිඩ් දුම්රියපොලෙන්.

අංග් මෝ කියෝ (Ang Mo Kio) ස්ටේෂන් එකේ MRT දුම්රියක් නවතා තියෙන අවස්ථාවක්

මම සිංගප්පූරුවේ දුටු තව දෙයක් තමයි පාරවල් සොයාගැනීමේ පහසුව​. ස්ටේෂමේ මගී සේවා කාර්යාලවල සිතියම් තියෙනවා. කවුරුහරි පාර ඇහුවොත් ඒ සිතියමක් අරන් පාර ලකුණු කරලාම දෙන්න ඔවුන් කාරුණිකයි. අපි ගියපු දවසට පස්සෙන්දා සිංගප්පූරු සත්තු වත්ත බලන්න යන්න පාර ඇහුවාම අල්ජුනයිඩ් මගී සේවා කාර්යාලයෙන් මට සිතියමක පාර ලකුණු කරලා දුන්නා. ඒ සිතියම තවම මගේ ළඟ තියෙනවා.

අප බලන්නට ගියාපු තවත් තැනක් වුනේ මැරීනා බේ අසළ 'ගාර්ඩ්න්ස් බයි ද බේ' කියන උද්‍යානය​. එහිදී එක් අවස්ථාවක මට කෑම ගන්න තැනක් හොයාගන්න අවශ්‍ය වුනා. එතැන හිටපු මගපෙන්වන්නෙක්ගෙන් මම ඒ ගැන ඇහුවාම ඔහු සිතියමක් අරන් මට යන්න ඕන තැන් ඔක්කොම විස්තර කරලා පෙන්නුවා. මරීනා බේ අවට බලන්න තියෙන දේවල්, ඒ තැන්වලට යන විදිය ආදිය ඔක්කොම ඔහු ලස්සනට කියා දුන්නා. ඔහු දීපු සිතියමත් තවම මා ළඟ තිබෙනවා.

කෙනෙක් කියන්නට පුලුවන් ආචාරශීලී වෙන එක මේ නිලධාරීන් ගේ රැකියාවේ කොටසක් කියලා. ඒ කතාව ඇත්ත​. නමුත් එයින් රටේ සාමාන්‍ය ජනතාවගේ ආචාරශීලීත්වය පැහැදිලි කරන්න බැහැ. සමහර අවස්ථාවල කෙනෙක්ගෙන් පාර ඇහුවහම​, ඔහු හෝ ඇය පාර දැනගෙන හිටියේ නැති වුනොත් ෆෝන් එක අරන් ඉන්ටර්නෙට් එක ආධාරයෙන් හරි පාර හොයලා දෙන්න ඔවුන් කාරුණික වුනා. දන්නේ නැහැ කියලා නිකන් හිටියේ නැහැ.

අනික ඔවුන් ගමනක් බිමනක් යනවිට අනෙක් කෙනාගේ නිදහසට බාධා වෙන්න කෑ කෝ ගහන්නේ නැහැ. තමන් යන ගමන තමන් ගේ පාඩුවේ යනවා. හවසට කාර් යාල ඇරෙන වෙලාවට නම් කෝච්චියේ සද්දෙ ටිකක් වැඩියි. නමුත් එයට හේතුව යන එන බොහෝ දෙනා යහලුවන් එක්ක කතාබහේ යෙදීම​. නමුත් කවුරුවත් අනවශ්‍ය විදියට අනිත් අයගේ ඇඟේ හැපෙන්නේ එහෙම නැහැ. කොච්චර සෙනඟ හිටියත් ඒක එහෙමයි.

මේ දිනවල සිංගප්පූරුවේ ජීවත් වන මගේ මිත්‍ර අරවින් ද කරුණාරත්න මට කියාපු දෙයක් හැමදාමත් මතකයේ තියෙනවා. "ලංකාවේ කෝච්චි ස්ටේසමක වුනත් නිලධාරියෙක්ගෙන් පාරක් ඇහුවොත් ඒ අය හිතන්නේ ඒක වධයක් කියලා. නමුත් ඒ අය දැනගන්න ඕන මිනිස්සු බස්වල, කෝච්චිවල යන නිසා තමයි එයාලට ඒ රස්සාව ලැබිලා තියෙන්නේ කියලා. ඒ ගැන හිතලාවත් ඒ අය මිනිස්සුන්ට සලකන්න ඕන​."

ලංකාවේ අයට සිංගප්පූරු වැසියන් ගෙන් ඉගෙනගන්න දේවල් බොහොම තියෙනවා. එරට හිටපු අගමැති ලී ක්වාන් යූ වරක් පැවසුවේ සිංගප්පූරුවේ ලොකුම සම්පත එරට වැසියන් ගේ හැකියාවන් බවයි. ඇත්තෙන්ම වෙහෙස මහන්සියෙන් කැපවීමෙන් රැකියාවහි නිරත වීමත්, ආචාරශීලීභාවයත් ඔවුන් සතු ප්‍රධානම හැකියාවන් දෙකක් බව ඒ රටට යන කෙනෙක්ට පැහැදිලි වෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ.

ඊළඟ සිංගප්පූරු කතාව ළඟදිම එනවා...

Tuesday, February 4, 2014

දැනුම මිනුම 02: ආසියාවේ පෘතුගීසි අධිරාජ්‍යය​

දැනුම මිනුම තරඟවල එකම බලාපොරොත්තුව සියලු ප්‍රශ්නවලට උත්තර සෙවීම පමණක් නොවේ. යම් පැණයක් අසන ලද විට ඒ හා සබැඳුන වඩා පුලුල් කතාන්තරයක් තිබිය හැක​. මේ විස්තරය දැනගැනීමෙන් අපේ දැනුම වඩා පුලුල් පරාසයක් කරා යොමු කළහැකි වන්නේය​. එහෙයින්, ප්‍රශ්නය මෙන්ම එයින් කියැවෙන විස්තරයද එක සේ වැදගත් වේ.

1505 නොවැම්බර් මාසයේ 09 වනදා එක්තරා තරුණ පෘතුගීසි කපිතාන්වරයෙක් ලංකාද්වීපයට ගොඩ බැස්සේය​. ලොරෙන්සෝ ද අල්මේදා නම් වූ ඔහු ලංකාවට ගොඩබට මුල්ම පෘතුගීසි වැසියා ලෙස ඉතිහාසයට එකතු වී ඇත​. දශක කිහිපයකදී ලංකාවේ සැලකිය යුතු කොටසක් පෘතුගීසි පාලනයට නතු වූවා මෙන්ම ආසියාවේ පෘතුගීසි අධිරාජ්‍යයේ ප්‍රධාන කොටසක් බවට ලංකාව පත් විය​.
1572 දී කැලිකට් නගරය​

01. 1498 දී වස්කෝ ද ගාමා නම් පෘතුගීසි නාවිකයා ඉන්දියාවේ කැලිකට් වරායට සේන්දු වෙමින් එරටට පැමිණි පළමු පෘතුගීසි ජාතිකයා ලෙස ඉතිහාසයට එක් වූයේය​. අද කැලිකට් නගරය හඳුන්වනු ලබන්නේ කොසිකොඩේ (Kozhikode) යන නමිනි. එම නගරය වර්තමානයේ පිහිතියේ කිනම් ඉන්දීය ප්‍රාන්තයේද​?

02. ලොරෙන්සෝ ද අල්මේදා වනාහී ගෝවේ පළමු පෘතුගීසි ප්‍රතිරාජයා වූ ෆ්‍රැන්සිස්කෝ ද අල්මේදාගේ පුත්‍රයාය​. ෆ්‍රැන්සිස්කෝ ද අල්මේදා එම තනතුරට පත් කල, එවක පෘතුගාලයේ රජු කවුද​?

03. මේ කියන පෘතුගීසි නාවිකයා 1500 ගණන්වල මුල් කාලයේදී අන් කවරකුටත් වඩා වැඩි  ආසියාවේ පෘතුගීසි අධිරාජ්‍යයේ ව්‍යාප්තිය වෙනුවෙන් කළේය​. සොකොත්‍රා දූපත, ගෝව සහ මලක්කාව ඇතුලු වැදගත් ප්‍රදේශ ගණනාවක්ම අල්ලාගන්නා ලද්දේ ඔහු විසිනි. එමෙන්ම පර්සියානු බොක්කට පිවිසි පළමු පෘතුගීසි කප්පිත්තා වූයේ ඔහු ය​. ඔහුගේ වාසගමම තිබෙන ප්‍රසිද්ධ නගරයක් ඇමරිකාවේ නව මෙක්සිකෝ ප්‍රාන්තයේ වේ. නමුත් එම නගරය නම් කර ඇත්තේ ඔහු වෙනුවෙන් නම් නොවේ. මොහු කවුද​?
තුන්වන ප්‍රශ්නය අසන්නේ මොහු පිළිබඳවයි

04. 16 වන සියවසෙන් පසු ආසියාවේ පැවති බොහෝ පෘතුගීසි යටත් ප්‍රදේශ වෙනත් බටහිර බලවතුන් විසින් ඩැහැ ගන්නා ලදී. නමුත් ඉන් දියාවේ ගෝව​ (Goa), දමාන් (Daman) සහ ඩියු (Diu) ඇතුලු කුඩා ප්‍රදේශ කිහිපයක් මෑතක් වනතුරු පෘතුගීසි පාලනය යටතේ වූහ​. බ්‍රිතාන්‍යයෙන් ස්වාධිනත්වය ලද ඉන් දියාව පසු කලෙක පෘතුගාලය සමඟ යුධ වැදී ඉහත කී ප්‍රදේශවල බලය අල්ලාගන්නා ලදී. මේ සිදුවීම වූයේ කිනම් වසරකද​?

05. 1999 දෙසැම්බරයේදී පෘතුගාලය විසින් අවුරුදු 450 ක් ඔවුනගේ පාලනයට නතුව තිබූ ප්‍රදේශයක් යලි චීනයට භාරදෙන ලදී. ඒ, හොංකොං ප්‍රදේශය භාරදුන් ආකාරයටම "එක රටක්, ක්‍රම දෙකක්" යන ක්‍රමවේදය අනුව යමිනි. මේ ප්‍රදේශය කුමක්ද​?

ප්‍රශ්න සඳහා පිළිතුරු දැනුම මිනුම 03 සමඟ බලාපොරොත්තු වන්න​.

දැනුම මිනුම 01 සඳහා පිළිතුරු

1. Commonwealth Heads of Government Meeting

2. ලී ක්වාන් යූ (Lee Kwan Yew)

3. මොසැම්බික්

4. ගෝව​

5. මුරුසිය​ (Mauritius)

Sunday, February 2, 2014

ළමා වියට ගිය චේ

චේ. ඔහු සැබෑ මානව හිතවාදියකු වූයේය. පීඩිත ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් සටන් වැදුණ හේ ඒ සඳහා සුදුසුම යයි තමන් පිළිගත් සන්නද්ධ අරගල කෙරේ යොමුවිය. එහෙත් හේ මානව දයාවෙන් උතුරන නියම ජනතා හිතවාදියකු විය.

චේ සියලුම ලෝකවාසීන්ට ආදරය කළේය. ඔහුට පාටක්, ජාතියක්, රටක්, රාජ්‍යයන් වැදගත් නොවූයේය. එසේම ඔහු සියලු ළමයින්ට ආදරය කළේ සිය ලෙයින් උපන් ළමයිනට මෙන් සමානවය. ඔහු සටන් වැදුණේ ඔවුනගේ අනාගතය වෙනුවෙනි.
ඉහත ඡායාරූපය 1960 දී ෂැංහයි නුවර ප්‍රාථමික පාසලකදී ගන්නා ලද්දකි. චේ චීන බස දැන නොසිටියේය. නමුත් හේ ළමා බස දැන සිටියේය. ඔවුනගේ සිතුම් පැතුම් ඔහුට වැටහිණ. ඒ අව්‍යාජ සිනහව මූර්තිමත් කරන්නේ ඔහු ළමා ලෝකයට පිවිසි බවයි. හදවතින් ඔහු ළමා ලෝකයට ආදරය කල බවයි.

නමුත් මේ අහිංසකත්වය වැඩිහිටි ලෝකයේ නොවීය. මේ ළමයින්ද කවදා හෝ ඒ කුරිරු ලොවට පය තැබිය යුතු විය. චේ සටන් කළේ ඒ ලෝකයද මේ  ලෝකය මෙන් යහපත් කරන්නටය. නමුත් එම "සාපරාධී වරදට" වැඩිහිටි ලෝකය ඔහුට දුන් දඬුවම මරණයයි.

වැඩිහිටි ලෝකයේ කුරිරු බවට තවත් සාධක කුමටද?

Saturday, February 1, 2014

දැනුම මිනුම 01: CHOGM

2013 නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාව 23 වන CHOGM සමුලුව සඳහා සත්කාරකත්වය දැරීය​. මේ ඒ අවස්ථාව වෙනුවෙන් සකස් කළ ප්‍රශ්න කිහිපයක එකතුවකි. The Nation පුවත්පතෙහි දැනුම මිනුම ලිපි මාලාව ඇරඹුනේ මේ එකතුවෙනි. පුවත්පතේ ඉංග්‍රීසියෙන් මෙය පළවූයේ 2013 නොවැ. 10 වනදාය.

2013 CHOGM සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය අගමැති කැමරන්, ඡායාරූපය රුක්ශාන් අබේවංශ

1. CHOGM යන කෙටි යෙදුමෙහි නිවැරදි ඉංග්‍රීසි තේරුම කුමක්ද​?

2. 1971 පළමු CHOGM සමුලුව පැවත්වූයේ ආසියාතික රටක් වන සිංගප්පූරුවයි. එවක එරට අගමැතිවරයා 1965-90 කාළය මුලුල්ලේ සිංගප්පූරු ජනරජයේ අගමැති ධූරය දැරීය​. 2013 සැප්තැම් බර් 16 වනදා ඔහු සිය 90 වන ජන්ම දිනය සැමරීය​. ඔහු කවුද​?

3. සාමාන්‍යයෙන් පොදු රාජ්‍ය මණ්ඩලයට එක් වන්නේ පැරණි බ්‍රිතාන්‍ය යටත් විජිතය​. එහෙත් 1995 දී පළමු වතාවට කිසිදු අවස්ථාවක බ්‍රිතාන්‍ය යටත් විජිතයක් නොවූ රටක් පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය ලබා ගත්තේය​. අප්‍රිකාවේ විශාලම ගංගා දෙකක් වන ලිම්පෝපෝ සහ සැම්බීසි යන ගංගා මුහුදට වැටෙන්නේ මේ රටෙනි. පැරණි පෘතුගීසි යටත් විජිතයක් වන මෙය 1975 දී නිදහස ලැබීය​. අප්‍රිකානු වහල් වෙලෙඳාමේ කටුක අත්දැකීම් මෙරට ඉතිහාසයේ වේ. ලංකාවේ වසන කාපිරි ජනයාගේ මුල් බිම ලෙස ගැනෙන්නේද මෙරටයි. මේ රට කුමක්ද​?

4. 2013ට පෙර අවසන් වරට CHOGM සමුලුවක් ආසියාවේ පැවත්වුනේ 1983 දීය​. ඉන්දියාවේ පැවති එය පවත්වන ලද්දේ අගුවාඩා නම් පැරණි පෘතුගීසි බලකොටුවකය​. එම සමුලුවේ සත්කාරකත්වය දැරූ ඉන්දීය නගරය කුමක්ද​?

5. 2015 CHOGM සමුලුව පවත්වන්නට නියමිත වූයේ ඉන්දියානු සාගරයේ දූපත් රාජ්‍යයකය​. අප්‍රිකාවේ කුඩා රටවල් වලින් එකක් වන මෙරට ජනගහනය මිලියන 1.3 ක් පමණ වන අතර ඉන්දීය ජාතිකයන් විශාල ප්‍රමාණයක් ඒ අතර වෙති. බ්‍රිතාන්‍ය යටත්විජිතවාදයට එරෙහිව කැරලි ගැසූ සමහර ලාංකිකයන් මෙරටට පිටුවහල් කෙරිණ​. ඇහැලේපොල අධිකාරමගේ සොහොන ඇත්තේද එරටය​. (කෙසේ වෙතත්, එරට අගමැතිවරයා කොළඹ CHOGM සමුලුවට සහභාගී නොවීමෙන් ඔවුනට 2015 සමුලුවේ සත්කාරකත්වය අහිමි වී එය මෝල්ටාවට ලබා දෙන ලදී). මේ රට කුමක්ද​?

පිළිතුරු ඊළඟ ප්‍රශ්න එකතුව (දැනුම මිනුම 02) සමඟ බලාපොරොත්තු වන්න​.

Saturday, December 7, 2013

නිදහස කරා වූ දිගු ගමන නිමකල මැන්ඩෙලා


පසුගිය බ්‍රහස්පතින්දා, එනම් දෙසැම්බර් 5 වනදා රාත්‍රියේ ලන්ඩන් නගරයේදී Mandela: Long Walk to Freedom (මැන්ඩෙලා: නිදහස කරා වූ දිගු ගමන​) චිත්‍රපටය එළිදැක්වින​. එයට විලියම් කුමරු සහ කේට් කුමරිය ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වී සිටියහ​. නෙල්සන් මැන්ඩෙලාගේ ස්වයං චරිතාපදානය ඇසුරින් නිමැවුනු මේ චිත්‍රපටය නැරඹීමට මැන්ඩෙලාගේ දියණියක වන සින්සි මැන්ඩෙලා ද පැමිණියාය​. ඇයගේ පියාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ විමසන ලද අවස්ථාවේ ඈ කියා සිටියේ "මගේ පියා හොඳින් සිටිනවා" කියාය​. නමුත් චිත්‍රපටය අවසානය වනවිට ඔහු ජොහැන්නස්බර්ග් නගරයේදී අවසන් හුස්ම හෙලා ඇතැයි යන ශෝචනීය පුවත චිත්‍රපටය නරඹන්නන්ට දැනගන්නට ලැබිණ​.

මැන්ඩෙලා නිදහස සොයා ගියේ සමාජයේ වූ විෂමතා එකකට දෙකකට එරෙහිව නොවේ. ඔහු දකුණු අප්‍රිකානු පාලකයන්ගේ විකාරරූපී වර්ණභේදවාදයට එරෙහිව සටන් කළේය​. තමා උපන් රටේදීම තමා දෙවන පලැන්තියේ පුරවැසියකු කරනු ලැබීමට එරෙහිව සටන් කළේය​. තමන් සහ තම ජනතාව පාවා දෙන්නට එළිපිට සහ රහසේ ක්‍රියාකළවුන්ට එරෙහිව සටන් කළේය​. අසාධාරණයට එරෙහිව සටන් කළේය​. එමෙන්ම​, සිරෙන් නිදහස ලැබූ පසු, ඔහු ජාතීන් අතර අවබෝධය සඳහා සටන් කළේය. බිඳුනු රටක් එක්සත් කිරීමට සටන් කළේය​.

මැන්ඩෙලා තරුණ වියේදී
ස්වකීය ගෝත්‍රයේ ජනතාව විසින් "මඩීබා" ලෙස ආදරයෙන් ආමන්ත්‍රණය කෙරුන, රොලිහ්ලාලා මැන්ඩෙලාට නෙල්සන් යන නම ලැබුණේ ඔහුගේ ප්‍රාථමික පන්තියේ ගුරුවරිය ඒ නම හොඳයැයි සිතූ හෙයිනි. ඔහුගේ මව්බස වන ක්සෝසා බසින් 'රොලිහ්ලාලා' යනු කරදරකාරයා යන්නයි. වර්ණභේදවාදයේ නියමුවන්ට නම් ඔහු කරදරකාරයකුම විය​.

තම රටේම දෙවන පන්තියේ, නැතහොත් ඊටත් වඩා පහත් තත්ත්වයක වැසියකු වූ මැන්ඩෙලා හැකි සෑම අයුරකින්ම එම ක්‍රමයට එරෙහිව සටන් කළේය​. ඔහු නීතිය උගෙන​, සිය මිත්‍ර ඔලිවර් ටැම්බෝ සමඟ දකුණු අප්‍රිකාවේ ස්වදේශකයන් විසින් පිහිටවූ පළමු නීති සමාගම පිහිටවීය​. නමුත් ඔහුට පැවති සමාජක්‍රමය කඩාගෙන යන්නට ක්‍රමයක් නොවීය​. අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ (ANC) නායකත්වය පවා සාමකාමීව, පාලකයන් සමඟ සාකච්ඡා මගින් විසඳුම් සොයා යන බව දුටු හෙතෙම තවත් කිහිප දෙනෙකු සමඟ අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ තරුණ ලීගය පිහිටුවා ගත්තේය​.

වසර ගණනකට පසු, සියලු සාමකාමී සටන් මාර්ග අහුරන ලද පසු, ආයුධ සන්නද්ධ අරගලයක් කරා සිත මෙහෙයවීමට පවා ඔහු තීරණය කළේය​. 1961 දී ANC සන්නද්ධ අංශය ලෙස Umkontho we Sizwe (Spear of the Nation හෙවත් ජාතියේ හෙල්ලය) නම් සංවිධානය පිහිටුවීමට මූලික වූ එක් අයකු වූයේ මැන්ඩෙලාය​. නමුත් ඔහු අන්තවාදියකු නොවූයේය​. අන්ත සාමකාමී විරෝධතාව ද, සාකච්ඡා මාර්ගයද එවක සිටි පාලකයන් සමඟ කටයුතු කිරීමට සුදුසු ක්‍රම නොවන බව ඒ වනවිට ඔහු තේරුම්ගෙන තිබිණ​. නමුත්, ඔහු තමන්ට පක්‍ෂපාතී සුදු ජාතිකයන් සමඟ අත්වැල් බැඳගෙන සටන් කිරීම ඇතම් අප්‍රිකානු ජාතිකවාදීන් රිස්සුවේ නැත​. කෙසේ නමුත්, සුදුසු අවි ආයුධ සහ පුහුණුව නොමැතිකමින් ආයුධ සන්නද්ධ අරගලය ලත් තැනම ලොප් විය​.

දකුණු අප්‍රිකාවේ පැවති 'නෛතික පද්ධතියට​' එරෙහි මැන්ඩෙලාගේ සටන අමතක නොකල හැක්කකි. 1956 දී, තවත් සියයකට වැඩි පිරිසක් සමඟ ඔහු අත්අඩංගුවට​ ගන්නා ලද්දේ රාජ්‍ය විරෝධී චෝදනා යටතේය​. ඉනික්බිති පැවැති 'රාජ්‍ය විරෝධීන්ගේ නඩුව​' දකුණු අප්‍රිකානු රජය අපකීර්තියට පත් කරමින් අවසන් විය​. නමුත් ඒ වනවිට වර්ණභේදවාදී ක්‍රමය එතරම් නිරවුල් ලෙස නිර්ණය වී නොතිබිණ​. තවද​, ආචාර්ය හෙන්ඩ්‍රික් වර්වෝර්ඩ් ඒ වනවිට කරලියට අවුත් නොතිබිණ​.

ස්වදේශික අප්‍රිකානුවන් පහත්කොට සැලකීම යුරෝපා පාලනය යටතේ දකුණු අප්‍රිකාවේ පොදු සාධකයක් විය​. 1948 ජාතික පක්‍ෂයේ ජයග්‍රහණය සමඟ එය දෙගුණ තෙගුණ වූයේ වර්ණභේදවාදය කරලියට පැමිණීමත් සමඟය​. නමුත් වර්ණභේදවාදය සමාජ ක්‍රමයක් ලෙස නිරවුල් ලෙස පැළපදියම් වූයේ වර්වෝර්ඩ්ගේ ආගමනයත් සමඟය​. ඔහු අගමැති බවට පත් වූයේ 1958 ය​. ජීවිතය තිබෙන තුරු කිසිවිටෙක තමන් ක්‍රියාවට නගන විකාරරූපී සමාජ ක්‍රමයේ වරදක් ඔහු නොදුටුවේය​. 1961 දී දකුණු අප්‍රිකාවට පැමිණි බ්‍රිතාන්‍ය අගමැතිවරයා, අප්‍රිකාව පුරා හමා යන විපර්යාසයේ සුළං ධාරාවක් (Winds of Change) පිළිබඳ ප්‍රකාශ කළ විට වර්වෝර්ඩ් පිළිතුරු දුන්නේ දකුණු අප්‍රිකාව බ්‍රිතාන්‍ය කිරීටයෙන් මිදුණු ජනරජයක් බවට පත්කොට එහි ජනාධිපති බවට පත් වීමෙනි. ඉනික්බිති සිය ප්‍රතිවාදීන් තවත් දරුණු ලෙස මර්ධනය කල ඔහු මැන්ඩෙලා ඇතුලු පිරිසක් "රිවෝනියා නඩුවෙන්" සිරගෙට ඇද දැම්මේය​.

මැන්ඩෙලාගේ නිදහස සඳහා වූ දිගු අරගලය වර්ණභේදවාදයට එරෙහිව දකුණු අප්‍රිකානුවන් දියත් කළ අරගලයේ මුහුණතක් විය​. 1970 ගණන් වනවිට මේ සටන අඩපණ වී තිබිණ​. බටහිර ධනපති සමාජයේ ආශීර්වාදය ලද දකුණු අප්‍රිකානු ආර්ථිකය යහපත් විය​. නමුත් 1980 ගණන් වනවිට තත්ත්වය වෙනස් විය​. වර්ණභේදවාදය ආර්ථික ක්‍රමයක් ලෙස අසාර්ථක වනබව පැහැදිලි වූයේය. එය බිඳ වැටීමට මූලික හේතුව වූයේ මෙයයි.

1990 සිරෙන් නිදහස් වීම මැන්ඩෙලාගේ දිගු ගමනේ එක් සන්ධිස්ථානයක් පමණක් වූයේය​. ඔහු නිදහස ලබා පිටතට පැමිණියේ බෙදුනු ජනතාවක් විසූ, අවිනිශ්චිත අනාගතයකට උරුම කියූ සමාජයකටය​. නමුත් ඔහු එවක පාලකයන් ගේ වැරදි අමතක කළේය​. 1994 දී ජනාධිපති ධූරයට පත් වූ පසු ඔහු ක්‍රියාවට නැගුවේ සමාජය සුවපත් කරන ක්‍රියාවලියකි. ජාතික රග්බි කණ්ඩායමේ සුදු ජාතිකයන් වැඩිපුර සිටීම නිසා එයට ජනතාව සහය නොදක්වන බව දුටු මැන්ඩෙලා රග්බි පිළ අඳින ටී-ෂර්ටයක් ඇඳ එම පිළට සහය දැක්වීමට පෙරමුණ ගත් බව ප්‍රසිද්ධ කරුණකි. අලුත් ජාතික කොඩියක්, භාෂා හතරකින් ගැයෙන් ජාතික ගීයක් ආදිය හඳුන්වා දීමට ඔහු පුරෝගාමී විය​.

1995 දී මැන්ඩෙලා ඔරානියා නම් කුඩා, පිටිසරබද නගරයට පැමිණියේය​. මේ නගර වැසියන්, පැරණි ක්‍රමයේ සමාජයක් දිගටම පවත්වාගෙන යාමට සිහින දකින අෆ්‍රිකාන්ස් ජාතිකයන්‍ ය​. මැන්ඩෙලා පැමිණියේ එක් සුවිශේෂී තැනැත්තියක හමුවීමටය​. ඒ, තමා හිරගෙට ඇද දැමූ, තම ජනතාව අන්ත පීඩාවකට පත් කළාවූ හෙන්ඩ්‍රික් වර්වෝර්ඩ්ගේ වැන්දඹුව වූ බෙට්සි වර්වෝර්ඩ්‍ ය​. ඔවුන් හමුවී, කුලුපගව කතාබහ කළෝය​. බෙට්සි වර්වෝර්ඩ් පවසා තිබුණේ තමා හමුවීමට ජනාධිපති මැන්ඩෙලාට පැමිණීමට හැකිවීම පිළිබඳ සතුටු වන බවය​. නමුත් සියල්ලන්ම ඈ මෙන් සිතුවේ නැත​. ඇගේ එක් මිණිබිරියක් පවසා තිබුණේ ඔහු වෙනත් රටක ජනාධිපති වූවානම් තමන් සතුටු බවය​.

තමන්ට අලවන ලද ඇතැම් ලේබල් ගලවා ගැනීමට මැන්ඩෙලාට බොහෝ කල් ගතවිය​. වසර 2008 වනතුරු ඔහු ඇමරිකානුවන්ගේ ත්‍රස්තවාදීන්ගේ ලැයිස්තුවේ සිටියේය​. 1990 දී හිරෙන් නිදහස් වී 1994 සිට 1999 දක්වා දකුණු අප්‍රිකාව පාලනය කරන සමයේද ඔහු ඇමරිකාව විසින් සලකන ලද්දේ ත්‍රස්තවාදියකු ලෙසය​. මෙය අතපසුවීමක් වී නම් එය අමුතුම අතපසුවීමක් බව කිව යුතුය​.

එවක සෙනට් සභිකයකු වූ බරක් ඔබාමා 2005 දී පළමුවරට මැන්ඩෙලා හමුවිය​.
කෙසේ නමුත්, නෙල්සන් මැන්ඩෙලා නිදහස සොයා හිය දීර්ඝ ගමනේ ගමනාන්තයට පැමිණියේය​. දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකබ් සූමා පැවසූ පරිදි දෙශයට එහි අගනාම පුත්‍රයාද​, ජනතාවට ඔවුනගේ පියා ද අහිමි විය​. මැන්ඩෙලා අහිමි වූයේ දකුණු අප්‍රිකාවට පමණක් නොවේ. ඔහු ලෝකයේම පුරවැසියකු විය​. ලෝකයටම ඔහු අහිමි විය​. ඔහුගේ අඩුව අදට වඩා දැනෙනු ඇත්තේ හෙටය​.

Wednesday, July 17, 2013

ඉන්දියාව භූතානයට දුන් ඉන්ධන සහන කපාහැරීම

සිය රටේ දෙවන මහා මැතිවරණයට සූදානම් වෙමින් සිටි භූතානයට 2013 ජූලි මාසයේ මුල සිට අලුත් අබග්ගයකට මුහුණ දීමට සිදු විය. ඒ අසල්වැසි ඉන්දියාව විසින් සහන මිලට ගෑස් සහ තෙල් ලබාදීම නවතා දැමීමයි. මෙය එරට ඉන්ධන මිල දෙගුණ වීමට හේතු වූ අතර එයින් රටේ දුප්පත් ජනතාවට විශාල බලපෑමක් ඇති විය. මැතිවරණයක් අතළඟ තබාගෙන ගන්නාලද මෙම පියවර භූතාන මැතිවරණයේ ප්‍රතිපලය වෙනස් කිරීමට යම් තරමක හෝ දායකත්වයක් දැරීය. ජූලි 13 වනදා පවත්වන ලද මැතිවරණයෙන්, එවකට විපක්ෂයේ සිටි භූතාන ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (People's Democratic Party) බලාපොරොත්තු නොවූ ජයග්‍රහණයක් ලැබීය.

ඉන්දියාව සිය පියවර සඳහා කිසිදු කරුණු දැක්වීමක් නොකළ නමුත් බොහෝ දෙනාගේ මතය වනුයේ භූතානයේ හිටපු රජය මෑත කාලයේදී චීනය සමඟ වැඩි වැඩියෙන් ඇයි හොඳයිකම් දැක්වීම මීට හේතු වූ බවයි. ඉන්දියාව ප්‍රකාශ කොට තිබුනේ මැතිවරණයෙන් පසුව පත්වන රජය සමඟ ඉන්ධන සහනාධාර පිලිබඳ අලුතෙන් සාකච්ඡා කරන බවය. එය ඔවුන් කලින් පැවති රජය යලි පත්වුවහොත් සිදුවන දේ පිළිබඳ වක්‍රාකාර අනතුරු ඇඟවීමක් වූ බව සැලකිය හැක.

මාලදිවයින හැර සිය අසල්වැසියන් අතුරින් ඉන්දියාව මෙතෙක් කල් යහපත් සම්බන්ධතාවක් පවත්වාගත් එකම රට භූතානයයි. හිමාලයානු රාජධානියක් ලෙස එය ඉන්දියාවේ "හිමාලයානු දේශසීමා" විදෙස් ප්‍රතිපත්තියේ වැදගත් කොටසක් විය.

"හිමාල කඳුවැටිය අපට ස්වාභාවික ආරක්ෂක පවුරක් ලබා දී තිබේ..... එය අප රටට ඇති වැදගත්ම ආරක්ෂක පවුර වන නිසා එය සිදුරු කිරීමට අප ඉඩ නොදිය යුතුයි" ඉන්දියාවේ පළමු අගමැති ජවහර්ලාල් නේරු මහතා බොහෝ කලකට පෙර ප්‍රකාශ කළේය. ඉන්දියාවේ "හිමාලයානු දේශසීමා" විදෙස් ප්‍රතිපත්තිය පාදක වූයේ මෙම අදහස මතය. මේ අනුව, ඉන්දියාව නිදහස ලබන සමයෙහි එවකට හිමාලයේ පැවති රාජාණ්ඩු තුන තමන්ට එරෙහි නොවන අයුරින් පවත්වා ගැනීම ඔවුනගේ මූලික අභිලාශය විය.

දැවැන්ත ඉන්දියාව සහ කුඩා භූතානය


1949 සහ 1950 වසරවලදී ඉන්දියාව භූතානය, නේපාලය සහ සිකිම් යන එම රාජ්‍යයන් තුනම සමඟ "මිත්‍ර ගිවිසුම්" අත්සන් කළාය. මේ ගිවිසුම්ප්‍රකාරව එම රටවල විදෙස් සහ ආරක්ෂක කටයුතු පිළිබඳ බලය ඉන්දියාව විසින් ලබාගන්නා ලද අතර ඒවායේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීමට ඈ පොරොන්දු වූවාය. නමුත් ඉන්දියාව නිතර නිතර එම රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වූවා පමණක් නොව, සිකිම් දේශය ඈඳා ගැනීමට පවා කටයුතු කළාය.

මෙම රටවල් තුනටම තිබුන සහ නේපාලයට සහ භූතානයට අදත් තිබෙන මූලික ගැටලුව නම් ඔවුනගේ ආර්ථිකයන් තවමත් ඉන්දියාවට කෙලින්ම සහසම්බන්ධ වී තිබීමයි. මේ රටවල් දෙකේම ජාත්‍යන්තර වෙළෙඳාමෙන් සියයට 90 ක් හෝ ඊටත් වැඩියෙන් කෙරෙන්නේ ඉන්දියාව හරහාය. එහෙයින් ඉන්දියාවට මේ රටවල් කෙරෙහි කළහැකි බලපෑම අති විශාල වේ.

 මේ සාධකය හේතුවෙන් ඉහත සඳහන් ගිවිසුම්වලට පැමිණි පසුද මේ රටවල් ඉන්දියාව සමඟ සම්බන්ධය කෙරෙහි සර්ව සුභවාදී නොවීය. අනෙකුත් රටවල් සමඟ සම්බන්ධතා වර්ධනය කරගැනීමට ඔවුන් අකමැති නොවීය. මන්දයත් එකම රටක් කෙරේ ඕනාවට වඩා යැපීමේ අවධානම ඔවුන් දත් නිසාය. පළමුවරට මෙම සීමා මායිම් ඉක්මවා යාමට උත්සාහ කළේ නේපාලයයි. 1961 දී පළමු වරට කත්මන්ඩු-ලාසා මහාමාර්ගයක් විවෘත කෙරිණ. මේ අතර 1980 දශකයේ නේපාල-චීන දෙරට අතර දෙවැනි මහාමාර්ගයක් ඉදි වූ අතර 1988 වසරේදී දෙරට අතර බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීමේ රහස්‍ය එකඟතාවයක්  කරගන්නා ලදී. එමෙන්ම නේපාලය චීනයෙන් අවි ආයුධ මිලදී ගැනීමට මුලපිරුවාය.

මේ සිදුවීම් ඉන්දියාව දුටුවේ සිය ආරක්ෂාවට තර්ජනයක් ලෙසය. ඈ ඊට පිළිතුරු දුන්නේ නේපාලයට ආර්ථික සම්බාධක පැනවීමෙනි. ජාත්‍යන්තර වෙළෙඳාම අඩපණ වීමෙන් බඩුමිල ඉහල නැගීම ඔස්සේ නේපාල ජන ජීවිතය අවුලට පත්වූ විට ජනතාව ඊට පිළිතුරු දුන්නේ රාජ්‍ය විරෝධී පෙළපාලිවලිනි. 1990 දී ආරම්භ වූ මෙම ආණ්ඩු විරෝධී ව්‍යාපාරය සාර්ථක සමඟ 1991 වසරේ සිට නේපාලයේ පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වුණු අතර එතැන් පටන් ඉන්දියාව නේපාලයේ දේශපාලන පක්ෂ හරහා එරට දේශපාලනයට විවිධ බලපෑම් කළාය.

 සිකිම් දේශයේ සිදුවූ දෑ ඊටත් වඩා අවාසනාවන්ත වූයේය. 1970 ගණන්වල මුල් කාලය වනවිට සිකිම් දේශයේ රජු හෙවත් චොග්යාල්වරයා (Chogyal) ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය සමඟ සම්බන්ධතා වර්ධනය කරගැනීම පිළිබඳ ඉන්දියාව බියට පත් විය. එහි ප්‍රතිපලය වූයේ ඉන්දියාව විසින් සිකිම් දේශයේ "ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවීම" සඳහා ව්‍යාපාරයකට ආධාර දීමය. 1973 දී එරට රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ "ඇති වූ විට" තත්ත්වය පාලනය කිරීම සඳහා ඉන්දීය හමුදා යවනු ලැබීය. ඉන්පසු සිකිම් දේශය ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට පත්වීමේ ක්‍රියාවලිය කෙදිනක හෝ නිමවීමට නියමිතව පැවතිණ. 1975 අප්‍රේල් 6 වනදා ඉන්දීය හමුදා විසින් රජ මාලිගයට පහර දී අල්ලා ගැනීමෙන් පසු සිකිම් දේශය ඉන්දියාවේ කොටසක් බවට පත්විය.

භූතානයේ ආර්ථිකයද මුළුමනින්ම පාහේ ඉන්දියාවේ අනුකම්පාව මත රඳා පවතී. එරට ජාත්‍යන්තර වෙළෙඳාමෙන් සියයට 95 ක් පමණ කෙරෙන්නේ ඉන්දියාව හරහාය. අනෙක් හිමාලයානු රාජාණ්ඩු දෙකට වඩා යහපත් සබඳතාවක් භූතානය සමඟ පවත්වාගැනීමට ඉන්දියාවට හැකි විය. ඊට එක හේතුවක් වූයේ භූතානය සහ චීනය අතර එතරම් යහපත් සබඳතාවක් නොමැති වීමය. චීනය විසින් ටිබෙටය අල්ලා ගැනීමත් චීනය සහ භූතානය අතර වූ දේශසීමා ප්‍රශ්නත් ඊට හේතු විය. මේ අතර විදෙස් සම්බන්ධතා ක්ෂේත්‍රයේ යම් ස්වාධීනතාවක් පවත්වා ගැනීමට භූතානය සමත් විය. 1971 දී එරට එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ලබා ගත් අතර එරට විසින් ඉන්දියාවෙන් පිට විවෘත කල පළමු තානාපති කාර්යාලය 1978 දී බංගලාදේශයේ විවෘත කෙරිණ. මේ අතර 2007 දී භූතානය සහ ඉන්දියාව අතර වූ මිත්‍ර ගිවිසුම අලුත් කෙරුණ අතර නව ගිවිසුමට අනුව විදෙස් සම්බන්ධතා ඉන්දියාවේ බලපෑමෙන් තොරව ඇති කරගැනීමටත් ඉන්දියාවේ අවසර නොමැතිව අවි ආයුධ මිලට ගැනීමටත් භූතානයට අවස්තාව ලබා දෙන ලදී. මේ අතර 2008 භූතානයට සංචාරය කල ඉන්දීය අගමැති මන්මෝහන් සිං මහතා ප්‍රජාතන්ත්‍රවාදය කරා භූතානයේ නැඹුරුව කෙරෙහි ප්‍රසාදය පල කළේය.

ඉන්දියාව කලබලයට පත් වූයේ චීන-භූතාන අගමැතිවරුන් අතර හමුවක් පිළිබඳ පසුගිය වසරේ චීන මාධ්‍ය විසින් ප්‍රකාශ කිරීමත් සමඟය. දෙරට අතර තානාපති සබඳතා ඇති කරගනු ඇතැයි අදහස්ද පළවිය. 2007 ගිවිසුම කෙසේ වුවත් තවමත් භූතානයේ විදෙස් ප්‍රතිපත්තිය ඉන්දියාවේ අනුදැනුම ඇතිව ක්‍රියාත්මක වූ අතර මේ පියවර ඉන්දියාව කිසි ලෙසකිනුදු බලාපොරොත්තු වූවක් නොවීය. මේ අතර භූතානය චීනයෙන් බස් රථ 20 ක් මිලදී ගැනීමත් සමඟ ගැටලුව තවත් උග්‍ර විය. සාමාන්‍යයෙන් මෙවැනි ගනුදෙනුවක් කෙරෙන්නේ ඉන්දියානු සමාගමක් සමඟය. මෙම පියවර ඉන්දියාව යහපත් ලෙස පිළිගත්තේ නැත.

 ඉන්දියාවේ පිළිතුර වූයේ තෙල් සහ ගෑස් සහනාධාර කපා හැරීමයි. තවද එම සහනාධාර පිළිබඳ ඊළඟට පත්වන ආණ්ඩුව සමඟ සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව ඉන්දියානු රජය ප්‍රකාශ කළේය. මෙය කලින් රජයට පල නොකියා පලා බෙදීමක් වැනිය. එමෙන්ම විපක්ෂය මැතිවරණය ජයගත් විගසම ඉන්දියානු අගමැතිවරයා අලුත් භූතාන අගමැතිවරයාට සුබ පැතීමට කටයුතු කළේය.

මෙම ක්‍රියාකාරකම් තුලින් ඉන්දියාව, විශේෂයෙන්ම නේපාලයට සහ භූතානයට, එක දෙයක් අවධාරණය කළාය. එනම් තමන් සමඟ නොසිටින්නේ නම් ඒ පිළිබඳව කිසිත් නොකර සිටීමට තමන් සූදානම් නැති බවය.

Wednesday, July 10, 2013

සීෂෙල්ස්-ශ්‍රී ලංකා මිතුදම අනාගත ආයෝජනයකි

සාමාන්‍ය නිර්ණායකයනට අනුව සීෂෙල්ස් යනු කුඩා රටකි. වර්ග කිලෝමීටර 450ක් වන භූමි ප්‍රමාණයකින් යුතු එහි ජනගහනය 85,000 කි. එම නිර්ණායක දෙකටම අනුව සීෂෙල්ස් රාජ්‍යය අප්‍රිකාවේ කුඩාම රාජ්‍යය වෙයි. මෑත කාලයේදී ශ්‍රී ලංකාව සහ සීෂෙල්ස් රාජ්‍යය අතර මිත්‍රත්වයෙහි පැහැදිලි වර්ධනයක් දක්නට ලැබේ. ඇතැමෙක් සීෂෙල්ස් වැනි රටක් සමඟ මිත්‍රත්වය සඳහා මෙතරම් කාලය සහ මුදල් වැය කිරීම විවේචනය කරති. එහි ප්‍රතිලාභයක් ලැබේද යන්න ඔවුහු ප්‍රශ්න කරති.

බහුතරයක් ශ්‍රී ලාංකික ජනතාව, අපේ රට කුමක් හෝ බලවතෙකු සමඟ එක්වී සිටිය යුතු යයි යන එක්තරා යටත් විජිත මානසිකත්වයකින් පෙලෙන්නෝය. ඔවුන්ගේ අදහස අනුව ප්‍රබල රටක මිත්‍රත්වය නොමැතිව ශ්‍රී ලංකාවට ලෝක දේශපාලනය තුල රැඳී සිටිය නොහැක. නමුත් අප යම් ප්‍රබල රාජ්‍යයකට ඕනාවට වඩා සමීප වීම අනිකුත් ප්‍රබල රාජ්‍යයන්ගේ නොසතුටට හේතු වන්නේය. නිදහස් ලංකාවේ ඉතිහාසය පුරාවටම අප මේ ගැටලුවට මුහුණ දී ඇත්තේය.

සීෂෙල්ස් වැනි කුඩා දූපත් රාජ්‍යයක් සමඟ සම්බන්ධතා වර්ධනය කරගැනීම ශ්‍රී ලංකාව වැනි රටකට ඉතා වැදගත් වෙයි. මෙවන් කුඩා රටවලට තවත් කුඩා රටක් සමඟ මිත්‍රත්වයක් ගොඩ නගා ගැනීමට බලපාන යටි අරමුණු නොමැත්තේය. මෙවන් රටවල් සමඟ සම්බන්ධතා ගොඩනගා ගැනීමෙන් ශ්‍රී ලංකාව වැනි රටවලට කිහිප ආකාරයකින්ම වැදගත් වේ.

"ලොකු කුඩා සෑම දේශයක්ම වැදගත්" ("All nations matter, big or small") සීෂෙල්ස් ජනාධිපති ජේම්ස් ඇලික්ස් මිචෙල් මහතා 2012 අගෝස්තුවේ ශ්‍රී ලංකාවේ කරන ලද සංචාරය අතරතුර ප්‍රකාශ කළේය. ඔහු ඒ බව සඳහන් කලේ ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේදී "ලෝක දේශපාලනය තුල කුඩා දූපත් රාජ්‍යයන්ගේ කාර්යභාරය යන මැයෙන් කරන ලද දේශනයකදීය. කුඩා දූපත් රාජ්‍යයන්ට යම් යම් සීමා බාධක ඇති නමුත් ඒ අතරම යම් යම් අවස්ථාවන්ද ඇති බව එහිදී ඔහු පැහැදිලි කර සිටියේය. ඇතැම් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් එම රටවලට පුරෝගාමී කාර්යභාරයක් ඉටු කළහැකි බව ඔහුගේ මතය විය ධීවර කර්මාන්තය, වෙළෙඳ සබඳතා සහ පරිසරය සුරැකීම වැනි අංශවලදී කුඩා දූපත් රාජ්‍යයන්ට එක්ව කටයුතු කළහැකි බව මිචෙල් මහතා කියා සිටියේය.
සීෂෙල්ස් ජනපති කදිරගාමර් ආයතනයේදී. පින්තූරයේ වමේ සිට: ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා, ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා, සීෂෙල්ස් ජනාධිපති ජේම්ස් මිචෙල් මහතා සහ සීෂෙල්ස් විදේශ ඇමති ෂෝන්-පෝල් ඇඩම් මහතා. (2012 අගෝස්තු 21)

පසුගියදා සීෂෙල්ස් අගනුවර වික්ටෝරියාහිදී සීෂෙල්ස්-ශ්‍රී ලංකා ජනපතිවරුන් හමුවූ අවස්ථාවේ මෙම කරුණු ඇතුළු දෙරටට වැදගත් වන කරුණු රැසක් පිලිබඳ අදහස් හුවමාරු විය. සීෂෙල්ස් ජනපති කාර්යාල නිල නිවසෙහි වෙබ් අඩවිය සඳහන් කරන පරිදි වෙළෙඳ සහ ආයෝජන, ගුවන් ගමන්, බැංකු කටයුතු, ධීවර කර්මාන්තය, ආරක්ෂක සම්බන්ධතා, අධ්‍යාපනය, සෞඛ්‍යය, සංචාරක කර්මාන්තය, බලශක්තිය, මුහුදු කොල්ලකරුවන්ගේ තර්ජනය සහ සුළු කර්මාන්ත යනාදී කරුණු සම්බන්ධව සාකච්ඡා කෙරී ඇත. මේ අතර දෙරට අතර ගුවන් සේවා, ආරක්ෂක, වෘත්තීය පුහුණුව සහ යෞවන කටයුතු යන කරුණු පිළිබඳ ගිවිසුම් තුනක් අත්සන් කෙරිණ.

සීෂෙල්ස් ජනාධිපතිවරයා සමඟ ජුනි 30 වනදා පැවැත්වූ සාකච්ඡාව අතරතුරදී ජනපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කලේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය සීෂෙල්ස් රාජ්‍යයට ගුවන් ගමන් ඇරඹීමට සූදානම් බවය. මෙම පුවත සීෂෙල්ස් ජනපතිවරයාගේ ඉමහත් සතුටට හේතු විය. දෙරට අතර ගුවන් ගමන් ඇරඹීම වෙළෙඳ සහ සංචාරක කටයුතු වර්ධනයට හේතුවනු ඇති බව ඔහු ප්‍රකාශ කළේය. මේ අතර සීෂෙල්ස් විදේශ කටයුතු අමාත්‍ය ශෝන්-පෝල් ඇඩම් සිය Twitter පිටුවේ සඳහන් කලේ "ඊයේ ශ්‍රී ලන්කන් ගුවන් යානයක් සීෂෙල්ස්වල ගොඩ බැස්වීම සතුටට කාරණයක්. නිතර මේ දර්ශනය දකින්නට බලාපොරොත්තු වෙමි." යනුවෙනි. ඔහු ඊයේ පැමිණි ගුවන් යානය යයි සඳහන් කලේ ජුනි 29 වනදා ජනාධිපති රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස පැමිණි යානයයි.


ජනාධිපති රාජපක්ෂ මහතා සමඟ පැවති ඉහත සාකච්ඡාවේදී ජනාධිපති මිචෙල්ද දූපත් රාජ්‍යයන්ට ලෝක දේශපාලනය තුල වැදගත් කාර්යභාරයක් ඇති බව යලිත් අවධාරණය කළේය. තිරසාර සංවර්ධනයට අනුබල දීම සහ එය ප්‍රචලිත කිරීම එහිදී වැදගත් වගකීමක් වන බව ඔහු කියා සිටියේය. ගෝලීය උණුසුම ඉහල යාමෙන් වැඩිම හානියක් සිදුවිය හැක්කේ දූපත් රාජ්‍යයන්ට බැවින් ශ්‍රී ලංකාව සහ සීෂෙල්ස් වැනි රටවල් ඒ පිලිබඳ එක්ව කටයුතු කිරීම වැදගත් බව ඔහුගේ අදහස විය. තවද ඒ ගැන හඬ නගන්නන්ට හඬක් ලබා දීමද වැදගත් බව ඔහුගේ අදහස විය. සීෂෙල්ස් පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපති රාජපක්ෂ මහතාද ලෝක දේශපාලනය තුල දූපත් රාජ්‍යයන්ට කල හැකි වැදගත් කාර්යභාරය පිළිබඳ අදහස් දැක්වීය.

පරිසරය සුරැකීම සහ සමුද්‍ර ගවේෂණය යනාදී අංශවලින් ශ්‍රී ලංකාවටද වැදගත් කාර්යභාරයක් ඉටුකළ හැක්කේය. පරිසරය සුරැකීම වැනි කර්තව්‍යයක් සඳහා ප්‍රමුඛත්වය ගැනීමෙන් ශ්‍රී ලංකාව වැනි රටකට මිතුරන් රැසක් ඇති කරගතහැක. විශාල ජෛව විවිධත්වයක් සහිත රාජ්‍යයක් ලෙස සීෂෙල්ස් රාජ්‍යය දැනටමත් ඒ සඳහා මූලිකත්වය ගෙන ඇත. 2012 දී ඉහත සඳහන් කල දේශනයේදී එරට ජනපති මිචෙල් මහතා සඳහන් කලේ සීෂෙල්ස් රටේ බිම් ප්‍රදේශයෙන් අඩක්ම රක්ෂිත ප්‍රදේශ බවයි. ඒ අනුව රටේ බිම් ප්‍රමාණයෙන් වැඩිම ප්‍රතිශතයක් රක්ෂිත ප්‍රදේශ බවට පත්කොට ඇති රාජ්‍යය සීෂෙල්ස් වන බව සඳහන් කල ඔහු ඒ අතින් තමන්ගේ රට ලෝකයෙන්ම උසස් බව ප්‍රකාශ කලේ මහත් ආඩම්බරයෙනි.

ලෝක දේශපාලනය තුල ඉන්දියන් සාගරයේ උපායමාර්ගික වැදගත්කම ඉහලගොස් ඇති සමයක කලාපීය මිතුදම් වර්ධනය කරගැනීම ශ්‍රී ලංකාවට ඉතා වැදගත්ය. සීෂෙල්ස් රාජ්‍යයේ පිහිටීම හේතුවෙන් බලවත් රාජ්‍යයන් කිහිපයකම අවධානය එරට වෙත යොමුවී ඇත. එරට තුල තානාපති කාර්යාලයක් පවත්වාගෙන යන රටවල් අතලොස්ස අතරට චීනය, ඉන්දියාව සහ රුසියාව යන රටවල් තුනම අයත් වේ. එමෙන්ම 2017 වනවිට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය නොවන සාමාජිකත්වය සඳහා තරඟ කිරීමට සීෂෙල්ස් රාජ්‍යය අදහස් කරන බව මිචෙල් මහතා ශ්‍රී ලංකාවේදී කල ඉහත දේශනයේදී සඳහන් කළේය. එවන් අරමුණක් ඉටු කරගැනීමට සීෂෙල්ස් වැනි කුඩා රාජ්‍යයකට හැකිවේදැයි කිව නොහැක. නමුත් එවැනි පුළුල් අරමුණු සහිත රටක් සමඟ මිත්‍රත්වයක් පැවැත්වීමෙන් ශ්‍රී ලංකාවට අවැඩක් වේ යයි කිව නොහැක.