Tuesday, May 17, 2016

ලෝකයේ ලොකුම මගී ප්‍රවාහන නෞකාව Harmony of the Seas

ලොව විශාලතම මගී ප්‍රවාහන නෞකාව වන "Harmony of the Seas" නෞකාව අද දින (17) හිමිදිරියේ එංගලන්තයේ සදම්ප්ටන් (Southampton) වරාය වෙත ළඟා විය​.

සදම්ප්ටන් වෙත නෞකාව පැමිණියේ ප්‍රංශයේ පෝර්ට් නසායර් නෞකා අංගනයේ සිටය​. එය පැමිණි අවස්ථාවේ අසල්වැසි ජනතාව එය දැකගැනීමට වරාය අසබඩට රොක් වූහ​.

මීළඟ සතියක පමණ කාළය තුළ බොහෝදෙනා මෙම නෞකාව දැක ගැනීමට පැමිණේ යයි බලාපොරොත්තු වේ.

ඉරිදා දිනයේ නෞකාව නෙදර්ලන්තයේ රොටර්ඩෑම් වෙත ගමන් කරනු ඇත​. මැයි 29 වනදා එහි පළමු මගී චාරිකාව ලෙස ස්පාඤ්ඤයේ බාර්සිලෝනා වෙත ගමන් කරන Harmony of the Seas නෞකාව ගිම්හානයේ මධ්‍යධරණියේ සංචාරය කරනු ඇත්තේය​. සීත ඍතුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරීඩා සහ කැරිබියානු දූපත් අතර සංචාරය කරනු ඇත​.

රෝයල් කැරිබියන් ඉන්ටර්නැෂනල් සමාගමට අයත් මෙම නැවෙහි තට්ටු 18 ක් වේ. මීටර 362 ක් හෙවත් අඩි 1,181 ක් දිග නැවෙහි පළල අඩි 215.5 කි. එහෙයින් ලොව දිගින් මෙන්ම පළලින් ද වැඩිම මගී නෞකාව මෙය වේ.

තවද මෙම මගී නෞකාව ලොව වැඩිම බර (ටොන් 227,000), වැඩිම මගීන් ගෙනයාමේ හැකියාව (උපරිමය 6,780) සහ වැඩිම කාමර ගණන (2,747) සහිත මගී නෞකාව ලෙස ද වාර්තා තබා ඇත​.

නැවෙහි කාර්ය මණ් ඩලය 2,100 ක් වන අතර රටවල් 77 ක පුරවැසියෝ ඒ අතර වෙති.

පාවෙන නගරයක් මෙන් වන මෙම නෞකාවේ පිහිනුම් තටාක 23 කි. භෝජනාගාර 20 ක් සහ කැසිනෝ එකක් ද මෙහි වේ.

රෝයල් කැරිබියන් ඉන්ටර්නැෂනල් සමාගම විශාල ප්‍රමාණයේ මගී නෞකා සඳහා ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි. මේ වන විට ලොව පවතින විශාලතම මගී නෞකා හයම එය සතු වේ.

2 comments: