Monday, May 9, 2016

පැනමා පත්‍රිකා තොරතුරු අද රාත්‍රියේ නිකුත් වේ

පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට හේතු වූ පැනමා පත්‍රිකාවල (Panama Papers) සඳහන් සමාගම් 200,000 කට අධික විස්තර ඇතුලත් දත්ත ගබඩාවක් අද දින ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11.30 ට නිකුත් කරන බව අන්තර්ජාතික ගවේෂණාත්මක මාධ්‍යවේදී සංසදය ප්‍රකාශ කළේය​.

පැනමා පත්‍රිකා යනු පැනමාවේ පිහිටි නීති සමාගමක් වන මොසාක් ෆොන්සේකා සමාගමේ ගනුදෙනු පිළිබඳ ලේඛන මිලියන 11.5 ක පමණ සුවිශාල එකතුවකි. මේවායෙහි සමාගම් 214,000 ක පමණ අයිතිකරුවන්, කොටස් හිමිකරුවන් සහ අධ්‍යක්ෂකවරුන් පිළිබඳ විස්තර ඒවායේ තිබෙන බව පැවසේ. ආදායම් බදු නීති ලිහිල් රටවල සමාගම් ස්ථාපිත කොට ආදායම් බදු නීති සහිත රටවල අයවලුන් ගේ මුදල් ඉහත කී සමාගම්වල තැන්පත් කිරීම සඳහා පහසුකම් සැලසීම මොසැක් ෆොන්සේකා සමාගමට එල්ලවන චෝදනාවය​. එමගින් ඉහත මුදල් තැන්පත් කරන්නන් ඔවුනගේ රටවල ආදායම් බදු නීතිවලින් නිදහස් ව සිය මුදල් තැන්පත් කිරීමට සමත් වන බව සඳහන් ය​.

2015 අගෝස්තුවේ සියුඩ්ඩොයිෂ සෙයිටුන්ග් (Süddeutsche Zeitung - දකුණු ජර්මන් පුවත්පත) නම් පුවත්පතට අඥාත පුද්ගලයකු විසින් මෙම ලිපි ලේඛන ලබා දී ඇති අතර එම පුවත්පත විසින් ඒවා අන්තර්ජාතික ගවේෂණාත්මක මාධ්‍යවේදී සංසදය (International Consortium of Investigative Journalists) වෙත යොමු කොට තිබේ. මේවා ලොවපුරා මාධ්‍ය ආයතන රැසක මාධ්‍යවේදීන් අතර බෙදා හැර පරීක්ෂාවට බඳුන් කරන ලදී.

මෙම ඇතැම් සමාගම්වල කොටස් හිමිකරුවන් අතර රාජ්‍ය නායකයින් පස් දෙනකු සහ රාජ්‍ය නායකයින් 40 කගේ පමණ පවුල්වල සාමාජිකයින් සිටින බවද සොයාගෙන තිබේ. එමෙන්ම වෙනත් සුප්‍රසිද්ධ පුද්ගලයින් රැසකගේ නම් ද මේ අතර වේ.

මේ පිළිබඳ පළමුවෙන්ම ජනමාධ්‍යවලින් වාර්තා කෙරුණේ අප්‍රේල් 3 වනදා ය. එයින් ටික දිනකට පසු එම හෙළිදරව් කිරීම් හේතුවෙන් අයිස්ලන්ත අගමැතිවරයාට ඉල්ලා අස්වීමට සිදු වූ අතර බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ට ද ඉල්ලා අස්වන ලෙස බලපෑම් එල්ල වූයේය​.

3 comments:

  1. ඒ තරං බලපෑමක් වෙනණ තරං ඕවැයි අවුල මොකද්ද චාමර. ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්ට පුලුවන්ද

    ReplyDelete
    Replies
    1. සමහර රටවල් තියෙනවා බදු නීති අඩුයි. ලොකු බදු ගහන්නෙ නෑ. ඒ රටවල බිස්නස් පටන් අරගන ඒවායෙ කට්ටිය සල්ලි දානව​. අන්තිමට බලද්දි සමාගම බොරු එකක්. නමට විතරක් තියෙන එකක්. නමුත් ඒකෙ නමින් සල්ලි තියෙනව​. ඒ ඉන්කම් ටැක්ස් වලින් බේරෙන්න එක එක්කෙනා දාපු සල්ලි...

      Delete
    2. තෑන්ක්ස් සහෝ

      Delete