Wednesday, May 25, 2016

පළමු ලෝක යුද්ධය​: 1915 සටන් පෙරමුණු

1914 වසර අවසන් වනවිට යුධ අගල් ඔස්සේ බටහිර පෙරමුණ සිරවූ අතර​, එහෙයින්ම වෙනත් 1915 වසරේදී සටන් පෙරමුණුවල ජයග්‍රහණ බලාපොරොත්තුවෙන් යුධ මෙහෙයුම් කිහිපයක්ම දියත් වනු දැකිය හැකි විය​.

බටහිර පෙරමුණ​

දෙපක්ෂයෙහි යුධ අගල් අභිබවනය කිරීමට මෙම වසර තුළදී කිහිප අවස්ථාවකම උත්සාහයන් දියත් විය​. මාර්තු 10 වනදා න්‍යු චැපෙල් (Nueve Chapelle) හිදී මිත්‍ර පාක්ෂික ප්‍රහාරයක් යම් සාර්ථකත්වයක් ලැබීය​. මේ අතර මැයි-ජූනි මාස අතරතුරදී න්‍යු චැපෙල් සහ අරාස් අතර ප්‍රදේශයට මිත්‍ර පාක්ෂිකයන් එල්ල කළ ප්‍රහාරයක ප්‍රතිඵලය ලෙස ඔවුහු කිලෝමීටර 4ක පමණ දුරක් ඉදිරියට යෑමට සමත් වූහ​.

මේ අතර 1915 අප්‍රේල් මසදී ජර්මන් හමුදා බෙල්ජියමේ යිප්‍රී (Ypres) වෙත පහර දුන්හ​. එම මස 22 වනදා, ඔවුහු පළමුවරට අලුත් යුධ ආයුධයක් හඳුන්වා දුන්හ​. අන්තර්ජාතික නීති උල්ලංඝනය කරමින් ඔවුහු සිය ප්‍රතිවාදියාට ක්ලෝරීන් වායු ප්‍රහාරයක් එල්ල කළ හ​. උදෑසන මීදුමත් සමඟ සටන් පෙරමුණෙහි කිලෝමීටර 7 ක ප්‍රදේශයක් සිසාරා එල්ල වූ එම ප්‍රහාරය මිත්‍ර පාක්ෂික සෙබලුන්ට අක්ෂි ආබාධ සහ ශ්වසන ආබාධ ගෙනාවේය​.

සැප්තැම්බර් මාසයේදී බ්‍රිතාන්‍ය හමුදා බෙල්ජියමේ ලෙන්ස් නගරයට පහර දුන් අතර ප්‍රංශ හමුදා අසළ වූ විමි රිජ් වෙත පහර දුන්හ​. ඔවුහු කිලෝ මීටර 2.5 ක දුරක ජර්මානු පළමු අගල් පේළිය අල්ලාගැනීමට පමණක් සමත් වූහ​.

මේ අනුව මෙම වසර නිම වෙද්දී ද බටහිර පෙරමුණෙහි දෙපක්ෂයටම විශේෂ වාසිදායක තත්ත්වයක් නොවීය​.

නැගෙනහිර පෙරමුණ​

ටැනන්බර්ග් සංග්‍රාමයෙන් ඔද වැඩුන ජර්මන් හමුදා 1914 සැප්තැම්බරයේදී පළමු මසුරියානු විල් සංග්‍රාමය ජයගත් අතර 1915 පෙබරවාරියේදී දෙවන මසුරියානු විල් සංග්‍රාමයෙන් ද රුසියානුන් පරාජයට පත් කළහ​.

මේ අතර ඔස්ට්‍රියානු ප්‍රදේශවලදී රුසියානු හමුදා වඩා වැඩි සාර්ථකත්වයක් ලැබුවෝය​. ගැලීසියාවට කඩා වැදුණ රුසියානු හමුදා ශෙමිෂල් (Przemyzl) නගරය වටලාගත් හ​. මෙම නගරය දින 133 කට පසු 1915 මාර්තුවේදී යටත් විය​.
ශෙමිෂල් බලකොටුව 1915

මැයි මාසයේදී ඒකාබද්ධ ජර්මන් - ඔස්ට්‍රා හන්ගේරියානු හමුදා ප්‍රහාරයකින් රුසියන් හමුදා විදුලි වේගයෙන් පසු බස්වන ලදී. මාස හතරකදී ඔවුන් පෝලන්තය​, ලිතුවේනියාව සහ කෝර්ලන්තය හරහා පසු බස්වන ලදී. මධ්‍ය බලවතුන් සිය ප්‍රහාරය නිම කරද්දී රුසියානු හමුදා සහ ඔවුන් අතර සීමාව වූයේ රීගා සහ ඩ්වින්ස්ක් (ඩෝගව්පිල්ස්) අතර ඩ්වීනා නදිය දිගේත්, එහි පටන් ඩ්නීස්ටර් නදිය තෙක් ගොඩබිම් තීරයේත් ය​.

දකුණු පෙරමුණ​

යුද්ධයේ ආරම්භක මාසවලදී සිදුවූ සටන්වලින් පසු දකුණු පෙරමුණ​, එනම් සර්බියාව ආශ්‍රිත පෙරමුණ මඳක් නිහඬ බවක් ප්‍රදර්ශනය කළේය​. මෙම තත්ත්වය වෙනස් වූයේ 1915 ඔක්තෝබරයේදී ය​.

මෙම පෙරමුණෙහි සිදු වූ වැදගත්ම සිදුවීමක් නම් බල්ගේරියාව යුද්ධයට අවතීර්ණ වීමය. මිත්‍ර පාක්ෂිකයන්ට මෙන්ම මධ්‍ය බලවතුන්ට ද බල්ගේරියාව සිය පක්ෂයෙන් යුද්ධයට අවතීර්ණ කර ගැනීමේ දැඩි අවශ්‍යතාවයක් විය​. සැප්තැම්බර් පමණ වනවිට බල්ගේරියාවේ ෆර්ඩිනන්ඩ් රජු මධ්‍ය බලවතුන් සමඟ එක් වේ යයි සැක කළ මිත්‍ර පාක්ෂිකයෝ ග්‍රීසිය සමඟ එකඟත්වයකට පැමිණ සේනාංක දෙකක් සැලෝනිකාවට ගොඩ බැස්සවූහ​. නමුත් ඔවුනට සර්බියාව ගලවා ගැනීම සඳහා ප්‍රමාණවත් කාළයක් නොවීය​.

බල්ගේරියාව යුද්ධයට අවතීර්ණ වීමේ බලාපොරොත්තු ඇතිව ජර්මන් සහ ඔස්ට්‍රා හන්ගේරියා හමුදා සර්බියාවට එරෙහිව ප්‍රහාර ඇරඹූවේ ඔක්තෝබර් 7 වනදාය​. ඉන් සතියකට පසු, ඔක්තෝබර් 14 වනදා, සර්බියාවට එරෙහිව යුධ ප්‍රකාශ කළ බල්ගේරියාව එරට ආක්‍රමණය කළේය​.

ඔක්තෝබර් 15 වනදා බ්‍රිතාන්‍යය සහ මොන්ටිනීග්‍රෝව ද ඉන් පසුදා ප්‍රංශය සහ ඉතාලිය ද (ඉතාලිය මේ වනවිට මිත්‍ර පාක්ෂිකයන් හා එක්ව සිටියේය​) බල්ගේරියාවට එරෙහිව යුධ ප්‍රකාශ කළෝය​.
'Map of the Kingdom of Serbia in 1914' (Ministry for Culture and Heritage, New Zealand)

1915 මුල් මාසවලදී සර්බ් හමුදා ප්‍රතිසංවිධානය කෙරෙහි එරටෙහි අවධානය යොමු වුවද ඒ සම්බන්ධයෙන් එතරම් සාර්ථකත්වයක් අත්කර ගැනීමට ඔවුනට හැකි නොවීය​. මේ අනුව මධ්‍ය බලවතුන් එල්ල කළ ප්‍රහාර හමුවේ පසු බැසීම හැර විකල්පයක් ඔවුනට නොවීය​.

ප්‍රංශ ජෙනරල් මොරිස් සරේල් විසින් මෙහෙයවූ හමුදා සැලෝනිකාවේ සිට සර්බියාවට ඇතුලු වූ නමුත් සර්බියාව අභ්‍යන්තරයේ වැඩි ඈතට යාමට ජෙනරාල්වරයා කැමැත්තක් නොදැක්වීය​. කෙසේ වෙතත් ඔහුගේ පැමිණීම සර්බ් හමුදාවලට මඳ අස්වැසිල්ලක් වූයේ බල්ගේරියාවට සිය හමුදාවලින් කොටසක් සරේල්ගේ හමුදාවලට එරෙහිව යෙදවීමට සිදු වූ හේතුවෙනි.

ඔක්තෝබර් 21 සහ නොවැම්බර් 22 අතර සමයෙහි සිදු වූ ක්‍රිවෝලැක් සංග්‍රාමයේදී බල්ගේරියානු සහ ප්‍රංශ හමුදා පළමු වරට ගැටුණහ​. මෙම සටනෙන් ප්‍රංශ සේනාංකවලට අයත් වූයේ අන්ත පරාජයකි.

පරාජිත සර්බ් හමුදා ඇල්බේනියාව හරහා පසු බැසගිය අතර එතැනින් ඔවුන් ග්‍රීසියේ කෝර්ෆු දූපත වෙත රැගෙන යන ලදී. මේ අතර සර්බියාවේ මිතුරා වූ කුඩා මොන්ටිනීග්‍රෝ රාජ්‍යයේ හමුදා ඔවුනගේ රටෙහි ආරක්ෂාව තර කිරීම පිණිස එරට වෙත පසු බැස්සෝය​. ඔස්ට්‍රා-හන්ගේරියානු ප්‍රහාර හමුවේ 1916 ජනවාරි 25 වනදා මොන්ටිනීග්‍රෝ හමුදා අවි බිම තැබූහ​.

ඉතාලි පෙරමුණ​

ජර්මනිය සහ ඔස්ට්‍රියාව සමඟ වූ මිත්‍ර සන්ධානය පසෙක ලා ඉතාලිය 1915 මැයි 23 වනදා ඔස්ට්‍රා-හංගේරියාවට එරෙහිව යුධ ප්‍රකාශ කළේය​. ඒ ට්‍රෙන්ටිනෝ (ටයිරල්) ප්‍රදේශය සහ ට්‍රිඑස්ට් නගරය බලාපොරොත්තුවෙනි. ඉතාලි ජාතිකයන් විසින් එම ප්‍රදේශ හඳුන්වන ලද්දේ නිදහස් නොකරන ලද ඉතාලිය ලෙසය​.

යුධ පෙරමුණ කපාගෙන ට්‍රිඑස්ට් වෙත යාමට ඉතාලි හමුදා කරන ලද උත්සාහයන් ගණනාවක්ම ඉසොන්සෝ (Isonzo) නදී තෙරදී පරාජය කරන ලදී. මේ අනුව ජූනි 29-ජූලි 7, ජූලි 18-අගෝස්තු 3, ඔක්තෝබර් 18-නොවැම් බර් 3 සහ නොවැම් බර් 10 - දෙසැම් බර් 2 අතර වූ පළමු, දෙවන​, තෙවන සහ සිව්වැනි ඉසොන්සෝ නදී සංග්‍රාමයන් සියල්ලම අවසන් වූයේ ඉතාලියට පරාජය අත්කර දෙමිනි.

කළින් ලියූ ලිපි පෙළ​

* පළමු ලෝක යුද්ධයට බලපෑ දිගු කාලීන හේතු

* පළමු ලෝක යුද්ධයට මග විවර කල අන්තර්ජාතික අර්බුද

* පළමු ලෝක යුද්ධයේ පළමු වෙඩි මුරය

* පළමු ලෝක යුද්ධයේ ආරම්භක අවස්ථා

* පළමු ලෝක යුද්ධය: තුර්කිය යුද්ධයට එක් වෙයි

* පළමු ලෝක යුද්ධයේ ආසියානු - පැසිෆික් කලාපීය සටන්

6 comments:

  1. ඉතාලිය නිකම් දෙපැත්තම බැලන්ස් කරන් ඉන්දලා අවස්ථාව ආවම ගානට පැත්ත මාරු කේරුවා වගේ නෙමෙයිද ?

    ReplyDelete
    Replies
    1. එහෙමමත් නෙවි.
      ඉතලියට සාම්ප්‍රදායික යාලුකමක් තිබ්බා එංගලන්තෙ එක්ක​. ප්‍රංශය එක්ක තිබ්බ අවුලට ජර්මන්කාරයො එක්ක සෙට් වෙලා හිටියට තුර්කිය එක්ක තිබ්බ අවුල නිසා ඒ යාලුකම එච්චර සාර්ථක වුනෙත් නෑ.

      මේ ගැන ගොඩක් කලින් ලිපියක ලිව්වා. :)

      Delete
    2. දෙන්නකෝ පුලුවන් නම් ඒ ලින්ක් එක.
      අර උඩ "රිගා" ගැන කියන්නේ.එතකොට "හිට්ලර්ගේ එස් එස් හමුදාව" තමයි මතකෙට එන්නේ...:)

      Delete
    3. http://asidisimaanaya.blogspot.com/2014/10/blog-post.html

      Delete
    4. මම එක කලින් කියවා තියෙනවානේ.දැන් ආයෙත් කියෙව්වා.

      Delete