Monday, February 22, 2016

දැනුම මිනුම 05: පර්ල් හාබර් ප්‍රහාරය​

1941 දෙසැම්බර් 7 වනදා ජපානය විසින් ඇමරිකා එක්සත් ජනපදයේ හවායි දූපත්වල පිහිටි පර්ල් වරායට බෝම්බ දමන ලදී. මේ අවස්ථාව වන විට ඇමරිකා එක්සත් ජනදය දෙවන ලෝක යුද්ධයට සම්බන්ධ වී තිබුණේ නැත​. එමෙන්ම ජපානයද ඒ වන විට යුධ වැදී සිටියේ චීනය සමඟ පමණි. ජපානය මෙම ප්‍රහාරයට පෙර ඇමරිකාවට එරෙහිව යුධ ප්‍රකාශ කළේද නැත​. මේ හේතුව නිසා එවක එක්සත් ජනපද ජනාධිපතිවරයා වූ ෆ්‍රැන්ක්ලින් ඩෙලානෝ රූසවෙල්ට් එම දිනය හැඳින්වූයේ "නීචත්වයේ දිනයක්" (a date that will live in infamy)ලෙසය​.
ප්‍රහාරය අවස්ථාවේ ජපන් ගුවන් යානයක සිට ගත් ඡායාරූපයක්

1. එක්සත් ජනපද ශාන්තිකර (පැසිෆික්) නාවුක බල ඇණිය (Pacific Fleet) පර්ල් හාබර් වෙත යවන ලද්දේ රූසවෙල්ට් විසිනි. ඒ නැගෙනහිර ආසියාවේ මතුවෙමින් ආ උණුසුම් තත්ත්වය හේතුවෙනි. ඊට පෙර එම බල ඇණිය​, බටහිර එක්සත් ජනපදයේ නගරයක ස්ථානගතව පැවැතියේය​. දිගු කළක් මුලුල්ලේ නාවික හමුදාව හා බැඳුන ඉතිහාසයක් ඇති මෙම නගරයේ ගැඹුරු පත්ළක් ඇති වරායක්ද වේ. වර්තමානයේ ඇමරිකා එක්සත් ජනපදයේ අටවැනි විශාලතම නගරය වෙන මෙම නගරය කුමක්ද​?

2. 19 වන සියවසදී හවායි රාජධානිය ඇමරිකන් බලපෑමට නතු වෙමින් පැවැති සමයේ, පර්ල් වරාය ඇමරිකානුවනට වැදගත් ස්ථානයක් බවට පත් විය​. ශාන්තිකර සාගරයේ සරන ඇමරිකානු නෞකා සඳහා ගල් අඟුරු හා වෙනත් සැපයුම් ලබාගන්න ස්ථානයක් ලෙස එය පවත්වාගන යන ලදී. 1898 දී හවායි රාජධානිය ඇමරිකාව විසින් ඈඳා ගන්නා ලදී. පර්ල් හාබර් වරායේ නාවික කඳවුර පිහිටවූයේ ඉන් පසුය​. ඒ කිනම් වසරකද​?

3. පර්ල් හාබර් වරායට පහර දුන් ජපන් සේනාංකයෙහි ගුවන් යානා ගෙන යන නෞකා හයක්, ප්‍රහාරක ගුවන් යානා 414ක්, සබ්මැරීන 23ක්, කුඩා ප්‍රමාණයේ 'මිජට්' සබ්මැරීන 9ක් , සහ තවත් නෞකා කිහිපයක් විය​. ප්‍රහාරක සැලසුමෙහි මූලික නිර්මාතෘ වූයේ අද්මිරාල් ඉසොකෝරු යමාමෝටෝ ය​. ප්‍රහාරක සේනාංකයෙහි අණ දෙන නිලධාරියා වූයේ ප්‍රධානතම ගුවන් යානා ප්‍රවාහන බල සේනාංකය වූ පළමු ගුවන් නාවික බල ඇණියේ අණදෙන නිලධාරියාය​. යමාමොටෝගේ සැලසුම සමඟ ඔහු එකඟ නොවූවත් ඔහු එම ප්‍රහාරය සැලසුම අනුව දියත් කළේය​. කෙසේ වෙතත්, පර්ල් හාබර්හි වූ තෙල් ගබඩා සහ නැව් අලුත්වැඩියා අංගණවලට පහර නොදීම පිළිබඳ ඔහු පසුව දෝෂදර්ශනයට ලක් විය​. පසු කාලීනව ලංකාවට බෝම්බ දැමීම ඇතුලු ප්‍රහාර රැසක නායකත්වය ගෙන ක්‍රියා කළ හෙතෙම 1944 ජුලි 6 වනදා සයිපෑන් දූපතේ සටනේදී පරාජය අභිමුව දිවි තොර කරගත්තේය​. මරණින් පසු හෙතෙම අද්මිරාල් තනතුරට උසස් කෙරිණ​. මේ කවුද​?
ප්‍රශ්න අංක 5 හි සඳහන් නෞකාව ගිලාබසින අතරතුර​

4. හවායි දූපත් වාසී ඩේවිඩ් අකුයි ජපන් යුධ සිරකරුවකු අල්ලාගත් පළමු ඇමරිකානුවා බවට පත් වූයේද පර්ල් හාබර් ප්‍රහාරය එල්ල වූ දිනයේය​. අකුයි විසින් ඔහු සොයාගන්නා විට මෙම ජපන් සෙබළා සිහිසුන්ව උන්නේය​. යුද්ධාවසානය තෙක් යුධ සිරකරුවකු ලෙස ඇමරිකාවේ දිවි ගෙවූ ඔහු යුද්ධාවසානයෙන් පසු ජපානයට ගොස් බොහෝ කළක් ටොයෝටා සමාගමේ සේවය කළේය​. 1999 දී වයස අවුරුදු 81ක් ව සිටියදී මියගිය ඔහු කවරෙක්ද​?

5. පර්ල් හාබර් ප්‍රහාරයේදී මියගිය ඇමරිකානුවන් ගණන 2402 කි. මින් අඩකට ආසන්න ගණනක් (1177) මියගියේ එක්තරා නෞකාවක වෙඩිබෙහෙත් ගබඩාවට මිසයිලයක් වැදීමෙන් එහි වූ පිපිරීමෙනි. පර්ල් වරායේදී ගිලාබත් වූ අනෙක් ඇමරිකානු යුධ නැව් තුනම ගොඩගනු ලැබුණද මෙම නැව සම්පූර්ණයෙන්ම ගොඩගනු නොලැබිණ​. මෙම නැවෙහි ගිලුණු බඳ පිහිටි ස්ථානය කේන් ද්‍ර කරගනිමින් යුධ ස්මාරකයක් ඉදිකර තිබේ. මෙම යුධ නෞකාව කුමක්ද​?

දැනුම මිනුම 04: ජනපති කෙනඩි සඳහා පිළිතුරු

1. ජැක්
2. ඒබ්‍රහම් ලින්කන්
3. සොලමන් දූපත්
4. ජෝන් කොනලි
5. ජැක් රූබි

4 comments:

  1. හොඳ වෙලාවට මේක "සිරස ලක්ෂපති" නොවුනේ... එකක්වත් දන්නෑ අප්පා...

    ප්‍රශ්ණ විචාරාත්මක වැඩසටහන් හතරක්ම මට මිස් වුනේ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. අනික්වා ගොඩාක් කලින් නෙ පබ්ලිෂ් කළේ. ට්‍රාන්ස්ලේට් කරන්න කල් තිබ්බෙ නෑ. ඉතුරුවා හෙමින් සැරේ දාන්නම්කො. ඔක්කොම පනහක් විතර තියෙනව​

      Delete
  2. ම්හ්,කෝ බැහැනේ අෆ්පා...:(

    ReplyDelete