Thursday, August 16, 2012

බුදුන්වහන්සේ, යේසුස්වහන්සේගේ ශ්‍රාවකයෙක් කිරීම


මෑත දිනෙක අසන්නට ලැබුණු බණක් හේතුවෙන් මම බෙහෙවින් පුදුමයටත් කම්පාවටත් පත් වීමි. අදාළ ධර්ම දේශනාව කව්රුන් විසින් කොතැනකදී කලේද යන්න මෙහිදී වැදගත් නොවේ. මගේ ඇතැම් මිතුරන් එය දන්නා නමුත් එතනින් එහාට ඒ පිලිබඳ යමක් සඳහන් කිරීම නුවුමනාය. කෙසේ වුවද, අදාළ ස්වාමීන්වහන්සේ 'මහමෙව්නාවේ' හාමුදුරුවන්ගේ අනුගාමිකයකු බව සඳහන් කිරීම වැදගත් වේ යයි සිතමි.

බුදුන් වහන්සේ අවරුදු හයක් අප වෙනුවෙන් දුෂ්කර ක්‍රියා කල අතර එසේ කලේ ලෝක සත්ත්වයා විඳින දුක දැක එයින් ඔවුන් මුදා ගැනීමට ක්‍රමයක් සෙවීම සඳහාය යනුවෙන් එම ධර්ම දේශනාවේදී ප්‍රකාශ කරන්නට යෙදුනි. මා දන්නා පරිදි සිද්ධාර්ථ කුමාරයා දුෂ්කර ක්‍රියා කලේ සත්‍යය සොයා ගන්නා පරමාර්ථයෙනි. ධර්මය අවබෝධ වීමට පෙර පටන්ම එය අවබෝධ කරගැනීමෙන් අනෙක් අය ගොඩ ගන්නා පරමාර්ථය එතන වීද යන්න අපි නොදන්නෙමු. ධර්මය අවබෝධ වූ පසු වෙනත් අයට දේශනා කිරීම වෙනමම කරුණකි. එහෙයින් අනුන් වෙනුවෙන් දුෂ්කර ක්‍රියා කළේය යයි ප්‍රත්‍යක්ෂව සඳහන් කල නොහැකියි. බුදු කෙනෙක් පහල වන්නේ අනුන්ගේ කරුම කර ගැහීමට නොවේ. අනුන් නිසා, අනුන් වෙනුවෙන් දුෂ්කර ක්‍රියා කරන්නේ කෙසේදැයි මම නොදනිමි.

කතෝලික දහමට අනුව යේසුස් වහන්සේ නම් අනුන් වෙනුවෙන් දුක් වින්ද සේක. දෙවියන් වහන්සේ විසින් සිය පුත්‍රයා එවන ලද්දේ, පව්කාර මිනිසුන්ගේ පව් තම වෙත ගෙන ඒ මිනිසුන් ස්වර්ගයට යැවීමට උපකාර වීමට යයි කියවේ. උන්වහන්සේ කුරුසිය කර ගසන්නේද ලෝ වැසි මිනිසුන් වෙනුවෙනි. ඒ අනුව, යේසුස් වහන්සේ නම් දුෂ්කර ක්‍රියා කලේ අනුන් වෙනුවෙනි. මේ අනුව උක්ත ප්‍රකාශය බුදු දහමට වඩා වලංගු වන්නේ කතෝලික දහමටය. නමුත් එම දේශනාව සිදු කලේ බෞද්ධ භික්ෂුවකි.

මහමෙව්නාවේ කෙරෙන ඇතැම් කරුණු සම්බන්ධයෙන් බෞද්ධ ආභාෂයට වඩා කතෝලික අභාෂය තිබෙන බව කියවේ. නමුත් මා එය මුලින්ම දැනුවත්ව අත් වින්දේ යථෝක්ත ධර්ම දේශනාවේදීය. එහිදී බෞද්ධයෙකු වශයෙන් මා හට සංවේගයක් ඇති වීම සාධාරණ යයි සිතේ. ඉහත දේශනාවට අනුව බුදුන් වහන්සේ යේසුස් වහන්සේගේ ශ්‍රාවකයෙක් බවට පත් කළේය වැනි අදහසක් මට ඇති විය. නමුත් බුදුන් වහන්සේ වැඩ සිටියේ යේසුස් වහන්සේ ජීවත් වූ කාලයට බොහෝ පෙරය.

මෙහි ගැටලුව වන්නට ඇත්තේ, 'මහමෙව්නාවේ' ඇතැම් ස්වාමීන්වහන්සේලා යෙසුස්වහන්සේගේ ශ්‍රාවකයන් වීම දැයි මා තුල සියුම් සැකයක් උපදී.

8 comments:

  1. මොන අදහසකින් ලියපු දෙයක්ද කියල මටනම් හිතාගන්න බෑ. යේසුස් වහන්සේගේ ශ්‍රාවකයෙක් සිවුරක් පැළදගෙන මහමෙවුනාවේ ඉන්නවා කියන්නේ මොනවගේ විහිලු කතාවක් ද?

    ReplyDelete
  2. අමුතුවෙන් අපහාස කළා නොව ඇසුණු දෙයක් පිලිබඳ අදහස් දැක්වූවා පමණි...

    ReplyDelete
  3. "බුදුන් වහන්සේ අවරුදු හයක් අප වෙනුවෙන් දුෂ්කර ක්‍රියා කල අතර එසේ කලේ ලෝක සත්ත්වයා විඳින දුක දැක එයින් ඔවුන් මුදා ගැනීමට ක්‍රමයක් සෙවීම සඳහාය යනුවෙන් එම ධර්ම දේශනාවේදී ප්‍රකාශ කරන්නට යෙදුනි"

    මේ ප්‍රකාශයේ ගැටළු කීපයක් තියෙනවා. මුල්ම එක තමා දුෂ්කර ක්‍රියා කළේ බුදුන් වහන්සේ නොවෙයි බෝසතාණන් වහන්සේ.....

    බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියාවේ යෙදෙන්නේ "කිං සච්ච ගවේසී" අවදියේදී. එනම් සත්‍ය සොයා ගිය අවදියේදී. විමුක්තිය ලබාගන්නට අත්ථකිලමතානු යෝගයෙන් හැකියි කියලා ඒ කාලයේ සමාජයේ පිළිගැනීමක් තිබුණු නිසා බෝසතාණෝ මාර්ගයේ අනුගමනය කළා.

    …නමුත් අවසානයේදී ඒක නිෂ්ඵලයි කියලා වැටහුණු නිසා එයින් අත්මිදිලා මධ්‍යම ප්‍රතිපදාවට අනුගත වුණා...

    මහමෙව්නාවේ ධර්ම දේශනා මම අහලා නැති නිසා හරියට යමක් කියන්න අමාරුයි. ඒත් කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් උපතින් කිතුණුවෙක් වීම බොහෝ වෙලාවට ඒ හාමුදුරුවන්ට විරුද්ධව මත පතුරුවන අය සාධකයක් කරගන්නවා.

    ඒත් කිතුණුවන් වෙලා ඉදලා බෞද්ධයන් බවට පත්වුණු වගේම ප්‍රකට බෞද්ධ හිමිවරුන් බවට පත්වුණු අය බොහොමයක් ඉන්නවා. ඒ නිසා ඒ ගැන අනවශ්‍ය සැක සහිත ආකාරයකින් බලන්න ඕනේද කියන එක ගැටළුවක්..

    ReplyDelete
    Replies
    1. එහෙම බැලුවොත් බෝධිසත්වයාණන් වහන්සේ උපතින් බෞද්ධ නෑ නේ. යේසුස් වහන්සේත් උපතින් කතෝලික නැහැ. උප්පැන්න සහතිකේ මොක තිබ්බත් ඕන කෙනෙකුට තමුන්ගේ ආගම වෙනස් නොකර බෞද්ධ වෙන්න පුළුවන්. එකට හේතුව බුදුදහම කියන්නේ ආගමකට එහා ගිය දර්ශනයක් නිසා. අද ඉන්න බෞද්ධයන්ගෙන් 99% ම බෞද්ධ වෙලා තියෙන්නේ උප්පැන්න සහතිකෙන් විතරයි.

      Delete
  4. හසිත මල්ලී... බුදුන් වහන්සේ දුෂ්කර ක්‍රියා කළා කියලා ලියුවේ මගේ වචනවල වැරදීමක් වෙන්නත් පුළුවන්... නමුත් මට හරියට මතක නෑ. රේකෝර්ඩ් කරලත් නෑ. මොකද ඒ ප්‍රකාශය මටත් මහා පුදුමයක් උනා. ඒකයි... මට හරියට වචන මතක නැති නිසා තමයි උධෘත නොදා මගේ වචනෙන්ම ලිව්වේ.... ඒ නිසා තමයි මම ලියද්දී සිද්ධාර්ථ කුමාරයා දුෂ්කර ක්‍රියා කිරීම ගැන කිව්වේ...

    කතෝලික නෙවෙයි ඕනෙම ආගමක ඉඳන් ඕනේ කෙනෙක් නියම බෞද්ධයෙක් බවට හැරෙන්න පුළුවන්... ඇයි අංගුලිමාල, ආලවක වගේ කී දෙනෙක් එහෙම හරි මාර්ගෙට ආවද? ඒක නෙවෙයි ගැටලුව... ඇස පනාපිට යම් යම් දේ වෙනවා... ඒකට බෞද්ධයෝ බුරුතු පිටින් අහු වෙනවා.

    ඇත්තටම මල්ලී, අපේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි, ලෝකය දැකලා නැති එක. ඇත්තටම මීට ටික දවසකට කලින් ඔය කතාව ඇහුවා නම් මටත් ඕකේ වැරැද්ද අහු වෙන්නේ නෑ. නමුත් ඔය කතාව අහන්න දවස් කීපයකට කලින් කතෝලික මහත්මයෙක් මට යේසුස් වහන්සේ ගැන එයාලගේ ඉගැන්වීම කියලා දුන්නා... ඒ නිසා තමයි මට ඔය බන දේශනාවේ කතෝලික ලකුණ පෙනුනේ....

    ReplyDelete
  5. බොහොම ඇත්ත.බන අහද්දි මට වෙලාවකට හිනා යනවා.අපේ බෞද්ධයෝ ලොතු වලකට ඇද දාලා තියනවා කියලයි මට හිතෙන්නේ.ඔය කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ කුණ්ඩසාලේ තියෙන මහමෙව්නාවට මං ගිහින් තියෙනවා.මට හිතාගන්න බෑ සල්ලි කොහෙන්ද මෙයාලට මේවා කරන්න කියලා.

    අනික හාමුදුරුවරු කියන බන බොහෝ ඒවා නියම ධර්මය නෙමෙයි.එක්කෝ ජාතක කාවක් නැතිනම් අපි දන්න සූත්‍රයක් තමයි කියන්නේ.එයාලට අවාසිදායක වෙන විදිහේ කිසිම සුත්‍රයක් කියන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් කියලා පලක් නෑ. ඉතාම අතලොස්සක් දෙනා තමයි බුද්ධිමත් බණක් දේශනා කරන්නේ. සංවේගයෙන් උනත් කියන්න වෙන්නේ, සමහර ප්‍රසිද්ධ හාමුදුවරු ටී.වී. එකේ කියන්නෙත් 'ආතල්' බන මිසක් බුද්ධිමත් බන නෙවෙයි.
      නමුත් ඒ ගොල්ලෝ මේ වගේ කතෝලික බන කියනවාද කියන එක නම් මට සැකයි...

      Delete
  6. අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට දීපංකර පාද මූලයේ දී රහත් වීමට අවස්ථාව තිබුණත් එය නොසලකා සංසාරයට පිවිසියේ ලෝසතුන් සංසාරයෙන් එතෙර කරවීම සඳහායි.

    ReplyDelete