මම අහපු, දැකපු, කියවපු, රස විඳපු, විවේචනය කරපු දේවල්වලින් ලියන්න පුළුවන් සහ ලියන්න වෙලාව ලැබුණු දේවල්වල එකතුව.
Saturday, December 29, 2012
මගේ පනස්වෙනි පියවර
මගේ සිංහල බ්ලොග් එකේ පනස්වෙනි පෝස්ට් එක තමයි මේ. මේ අවුරුද්දේ අප්‍රේල් 6 වෙනිදා ඉඳන්, මේ වෙනකල් පෝස්ට් පනහක් ලියලා තියෙනවා කියපුවහම ටිකක් විතර පුදුමයි. මොකද මම ඒ අතරමැද මාස තුනක් විතර ලියුවෙම නැහැ නේ. එහෙම බලද්දී, ඒ මාස තුන අත ඇරලා බැලුවොත් මම දවස් හතරකට පෝස්ට් එකක් ගානේ වගේ ලියලා තියෙනවා. දෙසැම්බර් මාසේ ලැබුන නිවාඩුවත් ඊට බොහොම උපකාරී වුනා.
මම බ්ලොග් ලියන්න පටන් ගත්තේ 2010. ඒ ඉංග්‍රීසි බ්ලොග් එකකින් (The History Club). මම මුලින්ම ලියුවේ ඉතිහාසය ගැන. සිංහල බ්ලොග් එකක් ලියන්න ආසාවේ උන්නත් සිංහල ටයිප් කරන්න බැරි නිසා ඒ වැඩේ කල් ගියා. අන්තිමට ගූගල් එකේ පිහිටෙන් ඒ ගැටලුවත් ලිහා ගත්තා නේ. දැන් ඉතින් කොටන්නයි තියෙන්නේ දෙයියනේ කියලා...
මට සිංහල බ්ලොග් එකක් ලිවීමේ මූලික අරමුණු තුනක් තිබුනා. එකක් තනිකරම ආත්මාර්ථකාමී එකක්. ඒ තමයි, මගේ සිංහල භාෂා හැකියාව දියුණු කරගැනීම සහ සිංහල රචනා ශෛලිය ඔප මට්ටම් කර ගැනීම. ඒක ඉතින් දවසෙන් දෙකෙන් වෙන්නේ නැහැ. මම හිතන්නේ මම සිංහලෙන් ලියනකල් ඒක ටික ටික හරි දියුණු වෙයි.
මගේ දෙවැනි අරමුණ වුනේ මට හිතට එන අනේකවිධ අදහස්වලින් ලියා දක්වන්නට සුදුසුයි කියලා හිතෙන ටිකක් බෙදා හදා ගැනීම. දේශපාලනය වගේ වැඩකට නැති මාතෘකා ගැන නෙවෙයි. එදිනෙදා දකින දේවල්, මට වෙච්ච අකරතැබ්බ වගේ පුංචි පුංචි දේවල්. ඒ අතරේම සමාජය තුල වෙනස් වෙන්න ඕන කියලා මට හිතිච්ච තැන් ගැනත් මම ඉඳ හිට ලියනවා. "අද 12.12.12: ඉතින් මොකෝ?" වගේ ලිපි ඒ අතර වැදගත් ඒවා.
තුන්වෙනි අරමුණ නම් තනිකරම සාමාජීය අරමුණක්. මගේ ඉංග්‍රීසි ලිපි කියවාපු සමහරුන් මට කිව්වේ, සිංහලෙන් තියා ඉංග්‍රීසියෙන්වත් මම ලියන මාතෘකා ගැන ලියන අය ලංකාවේ නැති බව; නැත්නම් හිඟ බව. ඒ වගේම මම අපේ සමාජයේ දැකපු ලොකු අඩුවක් තමයි, රටේ ලෝකේ මොනවාද වෙන්නේ කියලා නොදන්නාකම. ගොසිප් කියෙව්වාට ඇසූ පිරූ ඇත්තෙක් වෙන්නේ නැහැනේ. නමුත් අවාසනාවකට වගේ, ටික දෙනෙක්ට ලැබිලා තියෙන ඉන්ටර්නෙට් වගේ සම්පත් අපේ අය යොදවා ගන්නේ ගොසිප් බලනවා වගේ පටු දේවල්වලට. මම රාජකාරි කරන තැන උනත් සමහරු එහෙමයි.
ගුණාත්මක දේ පරිශීලනය කරනවා අඩු වීමට එක හේතුවක් තමයි, ඒවා ඇති පමණ සංසරණය නොවීම. මේ අඩුව පුරවන්න සමහර බ්ලොග් රචකයින් ලොකු උත්සාහයක් ගන්නවා. නමුත් එයාලට ඊට කිසි මූල්‍ය ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැනේ. ඒ අය කරන්නේ සේවාවක්. මටත් ඕන වුනා ඒකට දායක වෙන්න. මම ලියන්නේ විනෝදයට, ඒ වගේම සේවාවක් විදියට.
අපි නොහිතුවාට අමුතු අමුතු තොරතුරු ගැන දැනගැනීමට අපි ගොඩාක් දෙනා ආසයි. මට ඒක තේරුම් ගියේ ඇමරිකාවේ ස්වීඩන් කොලනිය ගැන මම ලියපු ලිපියෙන්. ඒ දවස්වල මට ලොකු පාඨක පිරිසක් හිටියේ නැහැ. ඒ වුනත් වෙන ලිපියක් කියවනවා වගේ දෙගුණයක් විතර ඒ ලිපිය කියවලා තිබුනා. ඒ ගැන ඇත්තෙන්ම මට පුදුමයි.
මම සිංහල බ්ලොග් ලියන්න පටන් ගනිද්දීත් බ්ලොග් ලිවීම ගැන දැනගෙන හිටියේ බොහොම චුට්ටයි. මට පාඨකයෝ ගොඩක් හිටියේ නැත්තෙත් ඒකයි. මට සින්ඩිකේටර් ගැන කියල දීලා මගේ බ්ලොග් එක ඉන්ටර්නෙට් එකේ ජනප්‍රිය කරන්න උදව් කරපු අය තමයි දූපත් වැසියා, චන්දන සහෝදරයා සහ රතු රජරට සහෝදරයා. ඒ වගේම මට මගෙත් එක්ක ඉන්න සහෘදයින් ඔක්කොගෙන්ම ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ ගැන ඔක්කොටම ස්තූති කරන්න ඕන.
යමක් ලියනවා කියන එක ලොකු, භාරදූර කාර්යයක්. ඡායාරූපය ගත්තේ නෝනා මහත්තයා, කළණි. (2012 ජනවාරි)
යමක් ලියනවා කියන එක ලොකු, භාරදූර කාර්යයක්. අද මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න සමහරුන්ටත් ඒ බව තේරෙන්නේ නැහැ. ඉන්ටර්නෙට් එකෙන් ගන්නා මොකක් හරි ගෙඩි පිටින් සිංහලට පරිවර්තනය කලාට ලේඛකයෙක් වෙන්න බැහැ. ඉතාම විශේෂිත කරුණක් ගැන නම් එහෙම දෙයක් පල කිරීම කාටත් සෙතක් වෙන්න පුළුවනි. නමුත් යමක් ලියද්දී ඊට වැඩිය සැලකිලිමත් වෙන්න ඕන. මම ලියන දේවල් එක මූලාශ්‍රයකින් විතරක් අරගෙන ලියන්නේ නැහැ. කිහිප තැනකින් කියවලා තොරතුරු සම්පිණ්ඩනය කරලා තමයි ලියන්නේ. නමුත් වැඩේ තියෙන්නේ එහෙම ලියන්න ගතවෙන කාලය වැඩියි.
ඒ වුනත් වඩා නිවැරදි ක්‍රමය ඒක කියලයි මම හිතන්නේ. "බැළලියක් අවරුද්දකට දෙතුන් පාරක් පැටවු ගහයි. ඒත් උන් වැඩි දෙනෙක් මැරිලා යනවා. ඇතින්නක් පැටියෙක් බිහි කරන්නේ අවුරුදු කීපයකට වතාවයි. ඒ බිහි කරන්නේ ඇත් පැටියෙක්." ඒ මම අහල තියෙන කතාවක්.
අනික් කාරණය අපි ලියන දෙකින් විශේෂයෙන් තව කෙනෙක් විවේචනය වෙනවා නම් ඒ ගැන පරිස්සම් වෙන්න ඕන. නමුත් ඇත්ත කියන්න බය වෙන්න ඕනත් නැහැ. මම ජපන් දැනුම මිනුම තරඟය ගැන ලියපු කරුණු එක්ක ගොඩාක් දෙනා එකඟ වුනා. කීප දෙනෙක් විරුද්ධ වුනා. පලවෙනි වතාවට ලියපු පෝස්ට් එකක් අයින් කරන්නත් ඒ සිද්ධිය හේතු වුනා. ආයේ එහෙම දෙයක් නොවෙන්න මම වග බලා ගන්නවා. පුවත්පත් ගැන මම ලියාපු සමහර දේවල් සමහරුන්ට වැදිලා තියෙන බව ඊයේ පෙරේදා වෙච්ච දේවල් සමහරක් නිසා මට තේරුනා. මම විසි කරපු තොප්පියක් අහක ඉන්න කට්ටියක් දාගෙන. "හත්වලාමෙ වෙච්චි දේට මක්කොරන්නද?" ඒ සිද්ධිය ගැන මම ලියනවාද නැද්ද කියලා තවම තීරණය කලේ නැහැ. ඒක අනාගතයේදී බලමු.
මට තියෙන ප්‍රශ්නය මේකයි. මම පුංචි බ්ලොග්කරුවෙක්. මගේ බ්ලොග් පෝස්ට් එකක් වැඩිම වුනොත් සීයක් දෙනා කියවයි. එහෙමනම් ඇයි මේ අපි ලියන සමහර දේවල් සමහර අයට දිරවගන්න බැරි? ඒකට නම් මට උත්තර නැහැ. උත්තර හොයන්න උත්සාහ කරන්නෙත් නැහැ. මට ඊට වැඩිය ගොඩාක් වැඩ තියෙනවා. ලබන අවුරුද්දේ (ඒ කියන්නේ අපි පාවිච්චි කරන කැලැන්ඩරයට අනුව 2013) ලියන්න දේවල් තොගයක ලැයිස්තුවක් දැනුත් මගේ ළඟ තියෙනවා. ඒ වගේම, අලුත් මාතෘකා දිනෙන් දින එකතු වෙනවා. ඒවා සේරම කවදා ලියල ඉවර කරන්නද කියලා හිතාගන්නත් බැහැ.
Friday, December 28, 2012
අපට වෙච්ච දේ 007: 007
කලකට පස්සේ බ්ලොග් එක පැත්තේ ආපු නිසා ආපහු ලියන්න පුරුදු වෙන්න පොඩි පෝස්ට් එකක් එකතු කරන්න හිතුනා. පොඩි වුනත් මේක මම බොහොම කාලයක් තිස්සේ ලියන්න හිතාගෙන හිටියේ. අපේ මේ කතා මාලාවේ 6 වෙනි එක මම අයින් කලාට පස්සේ ඒක වෙනම ආපහු ලියුවානෙ. ඉතින් ආපහු 6 වෙනි කතාවක් ලියන්න ඕන නෑ කියලා මම තීරණය කළා. 7 වෙනි කතාව මම කලින්ම ඉඳන් වෙන් කරලා තිබුනේ Agent 007, එහෙමත් නැත්නම් ජේම්ස් බොන්ඩ් ගැන ලියන්න.
අපේ ගොඩක් දෙනා ජේම්ස් බොන්ඩ් ගැන යමක් දන්නවා. සමහර විට ජේම්ස් බොන්ඩ් පොත් කියවලත් ඇති. චිත්‍රපට බලලත් ඇති. සමහරවිට අපේ ජේමිස් බණ්ඩා පොත් පවා කියවලා ඇති. මම ජේමිස් බණ්ඩා පොත් ආසාවට හොයාගන්න උත්සාහ කළා. එත් තවම ලැබුනේ නැහැ. ඇත්තෙන්ම ඒ පොත් ඩීමන් ආනන්ද මහතා විසින් ලියන ලද බව විතරයි මම දන්නේ.
ජේම්ස් බොන්ඩ් චරිතය නිර්මාණය කලේ ඉංග්‍රීසි ජාතිකයෙකු වූ ඉයන් ෆ්ලෙමිං විසින්. ඔහු දෙවන ලෝක යුද්ධය කාලේ රාජකීය නාවික හමුදාවේ බුද්ධි අංශ අධ්‍යක්ෂකගේ පෞද්ගලික සහයකයා ලෙස කටයුතු කළා. මේ කාලයේ අත් දැකීම් ජේම්ස් බොන්ඩ් නිර්මාණය කරද්දී දායක වුනා. ඒ කාලයේ කමාන්ඩෝ ආදී විශේෂ බලකායන් බටහිර ලෝකයේ හමුදාවලට පවා අලුත් අත්දැකීමක් වුනා. ඒ නිසා එම අංශයේ යම් වැඩ කොටසක් ෆ්ලෙමිං අතින් ඉටු වුනා. ඒ වගේම නාසි පක්ෂයේ දෙවනියා වූ රුඩොල්ෆ් හෙස් එංගලන්තයට පැමිණීමට හේතු වූ රහස් මෙහෙයුමටත් ඔහුගේ දායකත්වයක් වූ බව කියවෙනවා.
ජේම්ස් බොන්ඩ් චරිතය නිර්මාණය වුනේ එක පුද්ගලයෙක් මත පදනම් වෙලා නෙවෙයි. නමුත් ඔහුට නම ලැබුනේ නම් එක පුද්ගලයෙක් නිසා. ඉයන් ෆ්ලෙමිං තමන්ගේ අලුත් චරිතයට නමක් හොයමින් ඉන්නා විට තමයි කැරිබියානු දූපත්වල ජීවත්වන කුරුල්ලන් ගැන පොතක් ඔහු නෙත ගැටුනේ. ඒ පොත ලියලා තිබුනේ පක්ෂි විද්‍යාඥයකු වූ ජේම්ස් බොන්ඩ්. ඒ ජේම්ස් බොන්ඩ් තමයි අද අපි සියලු දෙනා දන්නා ජේම්ස් බොන්ඩ්ට නම දමන්න හේතු වුනේ.
ඉයන් ෆ්ලෙමිං සියලුම ජේම්ස් බොන්ඩ් කතා ලියුවේ ජමේකාවේ ඔරකබෙසා ප්‍රදේශයේ ඔහුගේ ගෝල්ඩන් අයි (Goldeneye) වත්තේ නිවාඩු ගත කරන ගමන්. මේ වත්තට නම දමන්නට හේතු වන්නට ඇත්තේ 1941-42 කාලයේ ෆ්ලෙමිං යටතේ වූ රහස් මෙහෙයුමක් (Operation Golden Eye). ඔරකබෙසා කියන්නේ 4000කට ටිකක් වැඩි ජනකායක් ඉන්න පොඩි නගරයක්. නමුත් ජේම්ස් බොන්ඩ් නිසාම ඒ නගරය බොහොම ජනප්‍රියයි. ඔහුගේ නමින් වෙරළක් පවා එහි තියෙනවා. 2011 දී ඉයන් ෆ්ලෙමිං නමින් අන්තර්ජාතික ගුවන්තොටුපලකුත් එහි විවෘත කළා. ඉයන් ෆ්ලෙමිං අතින් ජේම්ස් බොන්ඩ් කතා ලියවුනු ජමේකාවේ ගෝල්ඩන් අයි වත්ත. Wikimedia Commons
මට ජේම්ස් බොන්ඩ් පොතක් මුලින්ම ඇහැ ගැටුනේ අපේ ගෙදරදී. එතකොට මට වයස අවුරුදු එකොළහක්-දොළහක් වගේ ඇති. ඒත් ඒ කාලේ මට ඉංග්‍රීසි පොත් කියවන පුරුද්දක් තිබ්බේ නැහැ. කවරේ දිහා බලලා මම යන්තම් තේරුම් ගත්තා මේ තියෙන්නේ ජේම්ස් බොන්ඩ් පොතක් කියලා. ඒත් ජේම්ස් බොන්ඩ් මෙච්චර ජනප්‍රිය කෙනෙක් කියලා මට අදහසක් තිබුනෙත් නැහැ. ඒ නිසා මට ඒ පොත කියෙව්වත් එකයි, නැතත් එකයි. කොහොමහරි පොත පෙරලලා බලනකොට එක පින්තූරයක්වත් දකින්න නැහැ. ඒකෙන්ම ඒ පොත කියවීමේ අදහස අත් අරුනා.
පක්ෂි විද්‍යාඥ "ඔරිජිනල්" ජේම්ස් බොන්ඩ්. 1974 දී. Wikimedia Commons
ජේම්ස් බොන්ඩ් පොතක් මම මුලින්ම කියෙව්වේ ඊට අවුරුදු කීපයකට පස්සේ. දැන් නම් මගේ ලඟත් පොතක් නැත්නම් දෙකක් තියෙනවා. පොත් හතරක් විතර කියවලා තියෙනවා. නමුත් මට තවම මතක නැහැ අර මට මුලින්ම ලැබුන පොත මොකක්ද කියලා. ඒ පොත මම පස්සේ කාලෙක කියෙව්වා වෙන්නත් පුළුවන්. බැරි වෙන්නත් පුළුවන්.
ජේම්ස් බොන්ඩ් පොත්වලටත් වැඩිය ප්‍රසිද්ධ වුනේ චිත්‍රපට මාලාව නේ. පලවෙනි බොන්ඩ් ෆිල්ම් එක පිට වුනේ 1962 දී. ඒ ෆිල්ම් එක. ජේම්ස් බොන්ඩ් චිත්‍රපටවලට අවුරුදු පනහ පිරුන 2012 ඉවර වෙද්දී, එක බොන්ඩ් ෆිල්ම් එකක්වත් මම බලලා නැහැ. Casino Royale චිත්‍රපටය මාස ගණනක් තිස්සේ කම්පියුටර් එකේ තියෙනවා. තවම බැලුවේ නැහැ.
බොන්ඩ් ෆිල්ම්ස්වලට අවුරුදු 51 පිරෙන්න කලින්වත් Casino Royale බලන්න ලැබෙයි කියලා මම හිතනවා.
Friday, December 21, 2012
ලෝක විනාශය ගැන කටකතා පැතිරවීමෙන් සිය නිදහස විනාශ කරගැනීම.
ලෝක විනාශය පිලිබඳ මේ දිනවල බොහෝ සේ කතා බහ කෙරෙන බව පෙනේ. මේ පදනමක් නැති කතා ජනමාධ්‍යවලටද ප්‍රවෘත්ති නිර්මාණය කිරීමට හොඳ ක්‍රමයක් වී ඇත. මෑත යුගයේ ශ්‍රී ලංකාවේ පුවත්පත්වලද භූත විද්‍යාව වැනි කරුණු පිලිබඳ වැඩි අවධානයක් යොමු වීමට හේතුව මෙසේ සඳහන් කරන "ලෝක විනාශය ආසන්න වීම" විය හැක.
ලංකාවේ නම් ලෝක විනාශය පිලිබඳ කටකතා පැතිරවීමට කිසිදු දඬුවමක් ලැබෙන්නේ නැත. එපමණක් නොව ඊට ඇතැම් විට අනුබල දීමද සිදු වේ. කෙලින්ම නොවුනත් වක්‍ර ආකාරයෙන් ලෝක විනාශයක් ගැන නන් දොඩන්නන් පවසන්නේ පෙරදාට වඩා ස්වාභාවික විපත් වැඩි වීම ලෝක විනාශය පිලිබඳ සාධකයක් බවයි. එහෙත් 2013 වසරේ හෝ වෙනත් වසරක හෝ මීට වඩා ස්වාභාවික විපත් සිදු විය නොහැක්කේද? මීට පෙර එසේ නොවුනිද?
2008 වසරේ ඇමරිකාවේ World Watch Institute වෙබ් අඩවිය ප්‍රකාශ කලේ එම වසරේ මුල් අර්ධය තුල ඇමරිකාවේ වාර්තා වූ ස්වාභාවික විපත් සංඛ්‍යාව වෙනත් කිසිදු වසරක මුල් මාස හයට වඩා වැඩි වූ බවයි. එහෙත්, කිසිවෙක් ඒ කාලයේ සිදු වන ලෝක විනාශයක් ගැන කතා නොකළහ.
අනෙක් වැදගත් කරුණ වන්නේ ස්වාභාවික විපත් සියල්ලක්ම ඇත්තෙන්ම ස්වාභාවිකද? යන්නයි. පරිසරයට මිනිසා විසින් කරනු ලබන විශාල බලපෑම ඇතැම් ස්වාභාවික විපත් වැඩි වීමට බලපා ඇති බව අමුතුවෙන් කිව යුතු නොවන්නේය. වන විනාශයෙන් පමණක් සිදුවන ඉමහත් විනාශය සලකා බලන්න. නියඟය, ගංවතුර, නාය යාම්, ජල දූෂණය යනාදී බොහෝ විපත් ඇති වීමට සහ එහි බලපෑම උග්‍ර වීමට මේ සිදුවීම් දායක නොවන්නේද?
ඇතැම් ස්වාභාවික විපත් නම් අපට පාලනය කල නොහැක. එහෙත් ඒවා නිසා සිදුවන හානිය පෙරදාට වඩා වැඩි බව පෙනී යයි. මීට හේතු වී ඇත්තේ එවැනි ව්‍යසනවල ප්‍රමාණය හෝ භයානකකම හෝ වැඩිවීමම නොවේ. මිනිස් ජනගහනය වර්ධනය වීම නිසා එවැනි විනාශයන්ට ඍජුවම හසුවන පිරිස ඉහල යයි. එමෙන්ම, ජනගහන වර්ධනයත් සමඟ, වාසස්ථාන ගොවිපලවල් යනාදියට ඇති ඉඩ කඩ සීමා වීමෙන් මිනිසුනට අවදානම් සහිත ප්‍රදේශවල වුවද ජීවත් වීමට සිදුවී ඇත්තේය. මේ අතරම මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්ද අවදානම් ප්‍රදේශ වැඩි වන බව අමතක නොකළ යුතුය මේ සියලු කරුණු හේතුවෙන් ස්වාභාවික විපත්වලට ලක් වන්නන් ඉහල යාම අනිවාර්යය.
2012 දෙසැම්බර් 21 ලෝක විනාශය සිදුවන බව සඳහන් වීමට මූලික හේතුව වූයේ මායා ජාතිකයන්ගේ දින දර්ශනයෙහි 13 වන බක්තුන් යනුවෙන් හැඳින්වෙන යුගයෙහි නිමාව මෙදින යදී තිබීමයි. එහෙත්, මේ දිනයෙහි ලෝක විනාශය සිදු වන බවක් එහි සඳහන් නොවේ. එසේ පැවසීම පැරණි මායාවරුනටද කරන නිගරුවකි. එමෙන්ම, NASA ආයතනය ඇතුළුව ලෝකයේ ප්‍රමුඛ පෙලේ ආකාශ වස්තු නිරීක්ෂණ ආයතන මෙම අනාවැකි අසත්‍යයක් ලෙස බැහැර කොට ඇත.
ලෝක විනාශය සිදුවන ආකාරය පිලිබඳ එක අනාවැකියක්. දැවැන්ත උල්කාපාතයක් පෘථිවිය හා ගැටීම. NASA ආයතනයේ චිත්‍රයක්. Wikimedia Commons
ලෝක විනාශය පිලිබඳ අනාවැකි පල වීම අද ඊයේ පටන්ගත් දෙයක් නොවේ. මානව ඉතිහාසය පුරාවට විවිධ ජන කණ්ඩායම් හෝ පුද්ගලයන් හෝ ලෝක විනාශය පිලිබඳ අනාවැකි පල කළහ. නමුත් අද වනතෙක් ඒ එකක් හෝ සාර්ථක වී නැත. පසුගිය වසර සියයක් පමණ කාලය තුල මෙවැනි බොහෝ අනාවැකි පහල වූයේ විද්‍යාවෙන් අගතැන් පැමිණ ඇතැයි කියන ඇමරිකාවෙනි. මෙවැනි ලෝක විනාශයන් විශ්වාස කල වෙනමම ආගමික නිකායයන් පවා ඇති වූ අතර ඇතැම් ආගමික කල්ලි විශ්වාස කලේ දිවි නසාගැනීමෙන් පමණක් ලෝක විනාශයෙන් ගැලවිය හැකි බවයි. තවත් ඇතැමුන් බලාපොරොත්තු වූ විනාශය නොවූ තැන දිවි නසා ගැනීමට උත්සාහ කළහ.
මෙවරද, 2012 දෙසැම්බර් 21 වනදා ලෝක විනාශය වන බව ප්‍රකාශ කල ආගමික කල්ලි පිළිබඳව වාර්තා පලවිය. චීනයෙන් වාර්තා වූ එවැනි කණ්ඩායමක් තමන් හඳුන්වා ගන්නේ "සර්වබලධාරී දෙවියන්" (Almighty God) නිකාය ලෙසය. චීන රජය ප්‍රකාශ කරන්නේ මෙම ආගමික කල්ලිය 1990 ආරම්භ කල එකක් බවයි. 2012 දෙසැම්බර් 21 වනදා ලෝක විනාශය වන බවත් ඊට පෙර තමන් හා එක්වන්නන්ට විමුක්තිය උදා වන බවත් මෙම කල්ලිය ප්‍රකාශ කල බව කියවේ.
චීන බලධාරීන් විසින් මොවුන් හඳුන්වා දෙන ලද්දේ කටකතා පතුරවන්නන් පිරිසක් ලෙසය. මේ අනුව ඔවුන් සාමාන්‍යය ජන ජීවිතයට තර්ජනයක් ලෙස සලකා අත් අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට බලධාරීහු ක්‍රියා කළහ. දෙසැම්බර් 20 වනදා චීන මාධ්‍යයන් ප්‍රකාශ කලේ ඒ වනවිට 600කට වැඩි පිරිසක් මෙසේ රඳවනු ලබා ඇති බවය. දෙසැම්බර් 21 (අද) උදේ වනවිට එම සංඛ්‍යාව 1000ක් පමණ විය. මෙයින් 400ක් පමණ පිරිස රඳවා ගනු ලබා තිබුනේ චීනයේ වයඹදිග පලාතක් වන ක්වින්ග්හායි පලාතේදීය. මීට අමතරව නැගෙනහිර වෙරළබඩ සේජියාන්ග් ප්‍රාන්තයේ ලැන්ක්සි නගරයේද 58 දෙනෙක් රඳවා ගන්නා ලදහ.
චීනයේ චීනයේ ක්වින්ග්හායි (රතු පැහැ) සහ සේජියාංග් (කොළ පැහැ) පළාත්. මෙතනින් ලබාගත් පින්තූරය සංස්කරණය කොට සාදා ගන්නා ලදී.
මොවුන් සමඟ මෙම "ආගම" ප්‍රචාරය සඳහා යොදාගත් පත්‍රිකා, බැනර්, දැන්වීම් පුවරු, මුද්‍රණ යන්ත්‍ර, පත පොත මෙන්ම පරිඝනක තැටිද අත් අඩංගුවට ගෙන තිබුණි. එක් පත්‍රිකාවකින් කියවුනේ "ව්‍යසනයට පෙර පෙරට එන්න. සාතන්ගේ උන් වැනසෙනු ඇත. මිනිසා ගලවාගත හැක්කේ සර්ව බලධාරී දෙවියන්ට පමණි. දෙවියන්ට එරෙහි වන්නා අපාගත වනු ඇත" යනුවෙනි. මෙම කල්ලියට බැඳෙන්නන් සාර්ථක මොළ සේදීමකට ලක් වී ඇති බව පෙනී යයි. ඔවුනට මෙම දහම කෙරෙහි වන විශ්වාසය තහවුරු කිරීමට ලිපි ලිවීමට සිදුවූ බව කියවෙන අතර ආගම ප්‍රචාරයටද පොළඹවනු ලැබුණි. එක සාමාජිකයකු ලියූ ලිපියක වූයේ, "අද මා සිය දෙනෙකුටවත් මේ පණිවිඩය දිය යුතුයි නැත්නම් මා සාපලත්තෙකු වනු ඇත" යනුවෙනි.
මෙවැනි කණ්ඩායම්වල සාමාජිකයන් රඳවා තබා ගැනීම ආගමික නිදහස පාගා දැමීමක් ලෙස එකවර සිතිය නොහැක. අහිංසක, නූගත් හෝ හරි වැටහීමක් නැති මිනිසුන් මේවාට හසු වීමේ අවස්ථා එමටය. බලධාරීන් සඳහන් කරන කරුණු සත්‍යය නම්, මෙම කල්ලිය සැබවින්ම භයානක එකකි. මෙහි ඇති බරපතලම අවදානම වන්නේ 2012 දෙසැම්බර් 21 ලෝක විනාශය නොවූ තැන මොවුන් කුමක් කරයිද? යන්නයි. ඔවුනට අනුව ඉන් පසු මෙලොව ඉතිරි වන්නේ "සාතන්ගේ උන්" නම්, මේ කල්ලියේ සාමාජිකයන් ඉතිරි විය නොහැක. එසේ ඉතිරි වූ ඔවුන් ඒ පිලිබඳ කුමන නිගමනයකට ඒ දැයි කිව නොහැක. ලෝක විනාශය නොවූයෙන් තමා විශ්වාස කල දේ වැරදි බව තේරුම් ගියහොත් යහපත් වේ. එසේ නැතිව එය තමන්ගේ ආගමික විශ්වාසයේ අඩුවක් හෝ වරදක් හෝ ලෙස සිතුවහොත් ඔවුන් දිවි නසා ගන්නා තත්ත්වයට වුවද පත්වීමට පිළිවන.
Wednesday, December 19, 2012
යලි ලියන්නට සිදුවූ කතාව: ජපන් දැනුම මිනුම තරඟයේ ජයග්‍රහණය සහ අපකීර්තිය.
අපේ විදේශ ප්‍රතිපත්ති සම්බන්දයෙන් අපි නොහිතන විදියේ භූමිකාවක් රඟ දක්වන්න ඕනෑම කෙනෙකුට පුළුවනි. ඒ අපේ රට ගැන යහපත් චිත්‍රයක් පිටරැටියන් තුල ඇති කිරීමෙන්. විශේෂයෙන්ම පිටරටක අය මුණ ගැහුනහම අපිට එය කරන්න පහසු වෙනවා. රටක තානාපති කෙනෙක් වගේ වැදගත් කෙනෙක් ඉන්නා තැනක නම් අපි කරන සහ නොකරන දෙයින් අපේ රට ගැන පිට රටවලට යම් යම් දේ දැනගැනීමට ලැබෙන හැකියාව වැඩියි. ඒ නිසා අපේ රටට අපකීර්තියක් නොවෙන්න අපි ඒ වෙලාවට කටයුතු කරන්න ඕන.
ජපානය. උපුටා ගැනීම CIA World Factbook ජපානය පහුගිය දශක හය මුළුල්ලේම ලංකාවේ හොඳම මිතුරෙක්.
ජපානය සහ ශ්‍රී ලංකාව අතර තානාපති සම්බන්ධතාවලට වසර 60ක් පිරීම නිමිත්තෙන් ලංකා වාණිජ මණ්ඩලයත් (Ceylon Chamber of Commerce), ශ්‍රී ලංකා-ජපන් ව්‍යාපාරික සහයෝගිතා කමිටුවත් (Sri Lanka-Japan Business Co-operation Committee) එකතු වෙලා ජපානය සම්බන්ධව දැනුම මිනුම තරඟයක් සංවිධානය කරලා තිබුණා. මීට ජපන් තානාපති කාර්යාලයේ සහ අන්තර්ජාතික දැනුම මිනුම සංගමයේ ශ්‍රී ලංකා පර්ෂදයේ (International Quizzing Assocoation-Sri Lanka Chapter) සහයෝගය ලැබී තිබුනා. ප්‍රශ්න සැකසීම සහ ප්‍රශ්න විචාරය කෙරුනේ එම ආයතනයේ රුවන් සේනානායක මහතා අතින්. විනිශ්චය මණ්ඩලය විදියට ඔහුගේ සගයින් පිරිසක් ඇවිත් හිටියා.
2012 දෙසැම්බර් 15 වෙනිදා පවත්වපු මේ තරඟය ලංකාවේ "විශේෂිත" ඒ කියන්නේ යම් විෂයයකට පමණක් සීමා වූ දැනුම මිනුම තරඟවලින් ලොකුම එකක්. නමුත් ලොකුම තරඟය නම් මේක නෙවෙයි. මීට දින තුනකට කලින් තිබුන Global Commerce Quiz එකට කණ්ඩායම් 39ක් සහභාගී වුන බව දැන ගන්න ලැබුනා. මේකට හිටියේ 35යි.
මගේ යාලුවෙක් මුල් වෙලා හදාපු දැනුම මිනුම කණ්ඩායමක් අපිට තියෙනවා. දැන් එහි නායකයා විදියට කටයුතු කරන්නේ මම. ඒ වුනත් අනෙක් හතර දෙනාම මේ ක්ෂේත්‍රයේ මට වැඩි පළපුරුද්ද තියෙන අය. කොහොම වුනත්, අපි සැප්තැම්බර් මාසේ තිබුන විවෘත දැනුම මිනුම තරඟයකින් කණ්ඩායම් 40ක් විතර පරද්දලා ජයග්‍රහණය කළා.
ජපන් දැනුම මිනුම තරඟයට අපි ආවේ තරමක චකිතයක් නැතුව නෙවෙයි. මොකද මේක අපිට සාමාන්‍යයෙන් පුරුදු විදියේ එකක් නොවෙන නිසා. අනික, ජපන් භාෂාව ඉගෙන ගත්තු, ජපන් රටට ගියපු අයත් තරඟයට එන්න පුළුවන් නේ. එයාලාට මේක අපට තරම් අමාරු වෙන්නේ නැහැ නේ. ඔන්න ඔහොම තමයි අපිට හිතුනේ.
ලංකාවට අලුත් දෙයක් වුනාට ඉන්දියාවේ නම් ජපානය ගැන දැනුම මිනුම තරඟ කලක සිට පවත්වනවා. ළිඳේ ඉන්න මැඩියෝ වගේ ජීවත් වෙන අපි ඒ ගැන නොදන්නවා තමයි. මමත් ඒ ගැන දැනගත්තේ මේ තරඟය ගැන දැනගත්තාට පස්සේ ඉන්ටර්නෙට් එකේ හොයලා බලද්දී. ඉන්දියාවේ දැනුම මිනුම තරඟ ක්ෂේත්‍රය එක්ක අපිට ළඟින්වත් යන්න බැරි බව අපි දන්නවා. එත් අපි ඒ සඳහා හැකියාව නැති අය නෙවෙයි. ඒ සඳහා පෙළඹවීමක් ඇති කිරීමට ගුණාත්මක දැනුම මිනුම තරඟ වැඩි වැඩියෙන් පැවැත්වීම වැදගත් වෙනවා.
මේ දැනුම මිනුම තරඟය ලිඛිත තරඟයක්. ඒ කියන්නේ වට පහකට ප්‍රශ්න 50ක් අහනවා, වටයකට දහය ගන්නේ. අපි පස් දෙනා එකතු වෙලා උත්තර ලියනවා. එක එක වටයට වෙනමම උත්තර පත්‍ර තියෙනවා. එතකොට වටයෙන් වටය ලකුණු එකතු කරලා අන්තිමට වැඩිම ලකුණු ගත්තු කණ්ඩායමට ජයග්‍රහණය හිමි වෙනවා.
මේ තරඟයෙන් අපි ජයග්‍රහණය කළා. ඒ අපිත් නොහිතපු විදියට ලකුණු 41ක්ම අරගෙන. නමුත් මට මේ කතාවේදී කියන්න ඕන කරන්නේ ඒ ගැන නෙවෙයි. මේ කතාවට අපි දිනපු එකත් යම් වැදගත්කමකින් යුක්තයි තමයි. නමුත් ඒ අපි කීප දෙනෙක්ගේ ජයග්‍රහණයක් පමණයි. ඒ වුනත් මේ තරඟයට සහභාගී වෙච්ච සමහර කණ්ඩායම් නිසා අපි ඔක්කොටම සිද්ධ වුනේ ලොකු අපහසුතාවක්.
මේ තරඟයට එක්තරා සංගමයකින් කණ්ඩායම් දෙකක් ඇවිත් හිටියා. මම කවුද කියන්නේ නැහැ. එතන හිටපු අය ඒ කවුද කියලා දන්නවා. ඊට අමතරව විශ්ව විද්‍යාලයකින් කණ්ඩායම් තුනක් ඇවිත් හිටියා. (අපේ විශ්වවිද්‍යාලය, ඒ කියන්නේ කොළඹ නම් නෙවෙයි). නමුත් මේ කට්ටිය කවුරුවත් තමන්ගේ කණ්ඩායම් වෙන් කරලා දක්වලා තිබුනේ නැහැ. ඒ කියන්නේ අපි කියමු මොකක් හරි ආයතනයකින් කණ්ඩායම් දෙකක් හෝ වැඩි ගණනක් හෝ එනවා කියලා. එතකොට ඒ කණ්ඩායම් වෙන් කරගන්න විධියක් තියෙන්න එපැයි. නමුත් එහෙම එයාලා වෙන් කරගෙන තිබුනේ නැහැ.
පලවෙනි වටයේ උත්තර පත්‍ර එකතු කරගත්තාට පස්සේ, විනිශ්චයකාරයන්ට ලොකු අවුලක් වුනා. මොකද, එකම නම් තියෙන සංගමයක කණ්ඩායම් දෙකක් තිබුනා. එතකොට එයාලා නිවේදනයක් නිකුත් කළා කරුණාකරලා ඒ කණ්ඩායම් දෙක තම තමන්ව හඳුනාගන්න කියලා. එතකොට තමයි වැඩේ 'වර්චස්' වුනේ. එයින් එක කණ්ඩායමක නායකයා නැගිටලා අනික් ටීම් එකෙන් අහනවා "ඔයාල පලවෙනි ටීම් එකද? දෙවන ටීම් එකද?" කියලා. ඒ මදිවට ඒ සේරම අය බලාගෙන ඉන්දෙදි. අපිට නම් තරහයි. ඒ මදිවට හිනහයි. ටීම් දෙක වෙන් කරගන්න ඕන කියන සාමාන්‍ය බුද්ධිය පවා නැති අයද මේ ඉන්නේ? කියලා අපිට හිතුනා.
අර කැම්පස් සෙට් එකේ තත්ත්වයත් එච්චරයි. ඒ මදිවට එතන කණ්ඩායම් තුනක්. එතකොට ඒ ගැටලුව ලිහා ගන්න ඊටත් වැඩිය වෙලාව ගියා. කොහොමහරි සංවිධායකයෝ ඒ අවුල් ලිහාගෙන ඊළඟ වටයට ගියා.
ඊළඟ වටයේදී තවත් විකාරමය ජවනිකාවක්! දැන් අර සමහර කණ්ඩායම් පරණ නම් වෙනුවට වෙන නම් ලියලා. ඉතින් ඔන්න "සකුරා" වගේ නම් තියෙන කණ්ඩායම් ප්‍රාදුර්භූත වෙලා. ඒ තවත් කණ්ඩායම් සමහරක්, තමන් ලියාපදින්චි වුන නම් වෙනුවට වෙන නම් ලියලා. අලි මදිවට හරක් කියන්න වගේ ඒ අස්සේ තවත් කට්ටියක් ටේබල් නම්බර් එක වරද්දලා. දැන් උත්තර පත්‍ර බලන විනිශ්චය මණ්ඩලය අන්ද මන්ද වෙලා. එයාලට කර කියාගන්න දෙයක් නැහැ. ඒ ගොල්ලෝ අර කණ්ඩායම්වලට කතා කරලා ප්‍රශ්නය නිරාකරණය කරගන්න දැඟලුවා. ඒ උත්සාහය හරි නොගිය තැන, ඒ අය ප්‍රසිද්ධියේම කණ්ඩායම්වල නම් කියවලා, එයාලා ඉන්න තැන් සහ අදාළ ටේබල් නම්බර් ලකුණු කරගෙන, හරියට නම් දාපු නැති අයට නම් දීලා ආයේ වැඩේ පටන් ගත්තා. ඒ වෙනකොට, වට දෙකේම නාස්ති වුන මුලු වෙලාව පැයක් විතර වුනා.
කණ්ඩායම් කීපයක නොසැලකිලිමත්කම නිසා අනික් බොහෝ දෙනාට හරියට කරදර වුනා. අපි ගියේ දිනුවා හෝ පැරදුනා හෝ, හොඳ තරඟයක් දෙන්න. නමුත් මෙහෙම දෙයක් අපේ අවධානය බිඳුනා. දැනුම මිනුම තරඟ කියන්නේ මොලේ වෙහෙසලා කරන්න ඕන දෙයක් (Mind Game එකක්). ඒ සඳහා මනස නිරවුල්ව තිබීම අනිවාර්යයි. නමුත් මෙතෙන්දි ඒක සිද්ධ වුනේ නැහැ. ඒ විතරක් නෙවෙයි, අපට එදා එතනින් යන්නත් ප්‍රමාද වුනා. එදා කොළඹ නයිට් රේස් තිබුන නිසා බස් ටිකක් කරදරයි නේ. කලින් යන්න තිබුනා නම් හොඳයි. ඒ ගොල්ලෝ කරලා තිබුනේ 4ට පටන්ගෙන 8ට ඉවර කරන්න. ජපන් ජාතිකයෝ කොහොමත් පිළිවෙලට සහ වෙලාවට වැඩ කරන අය නිසා වැඩේ වෙලාවට වෙයි කියලා අපි බලාපොරොත්තු වුනා. ඒ වගේම වැඩේ 4ට පටන් ගත්තා. ඒත් ටික දෙනෙක් නිසා වැඩේ පරක්කු වුන හින්දා ඉක්මනට අන්තිම ටික ඉවර කරලා 8.30 පමණ වෙද්දී වැඩේ ඉවර කරගත්තා. ඒ වෙලත් අපිට ගෙදර යන්න බස් නැති නිසා ත්‍රී වීල් වලට වියදම් කරන්න සිද්ධ වුනා.
මේ සේරම කමක් නැහැ මේක අපි අපි අතරේ වෙච්ච දෙයක් විතරක් වුනා නම්. ඒ වුනත් මෙතන ජපන් තානාපති නොබුහිතෝ හෝබෝ මහතා ඇතුළු ජපන් ජාතිකයන් පිරිසක් ඇවිත් හිටියා. අපි දන්නවා ජපන් ජාතිකයෝ පිළිවෙලට ඒ වගේම වෙලාවට වැඩ කරන උදවිය බව. ඒ වගේම එයාලා තරහ ගියත් ඒ බව පෙන්නන්නේ නැති බව අපි අහලා තියෙනවා. ඒ කොහොම වුනත් එයාලා ලංකාවේ අයගේ පිළිවෙල ගැන මේකෙන් හොඳට ඉගෙන ගන්න ඇති. මේකේ බරපතලකම තියෙන්නේ කැම්පස් එකක කණ්ඩායම් වගයකුත් මෙහෙම කටයුතු කරපු එක. එයින් ඒ කැම්පස් එකට නම් හොඳ ප්‍රතිරූපයක් ලැබුනේ නැහැ. මේ මුළු ජවනිකාව අස්සේ එක වතාවක සංවිධායක මණ්ඩලයේ කෙනෙක් තානාපතිතුමාට සිද්ධිය පැහැදිලි කරාම එතුමා ඔලුවේ අත ගහ ගත්තාලු.
මම හිතන්නේ, තමන් රටෙන් තමන්ට වෙන්න ඕන දේ නොව තමන්ගෙන් රටට වෙන්න ඕන දේ ගැන මීට වඩා හිතන්න ඕන. මේක මේ මම මේ තරඟයක් දිනපු උද්දාමයට කියන දෙයක් නෙවෙයි. සමහරු හිතන්න පුළුවන් තරඟයක් දිනලා අපි උඩ ගිහින් කියලා. නමුත් මේ දේවල් බොහොම තාවකාලික බව අපි දන්නවා. මේ තරඟය බොහොම හොඳ මට්ටමක තිබුනා. සාමාන්‍යයෙන්, ප්‍රශ්නවල මට්ටම හොඳ තරඟයක දිනන කණ්ඩායම ලකුණු 50 කින් 35-40 පමණ ගන්නවා. එහෙම බලනකොට මෙහි ප්‍රශ්නවල තත්ත්වය ගැන සෑහීමකට පත් වෙන්න පුළුවනි. දැනුම මිනුම ක්ෂේත්‍රය ගැන නොදන්නා කෙනෙක් කොහොම හිතුවත් ප්‍රශ්නවල සංයුතිය ගැන මට කියන්න තියෙන්නේ ඔන්න ඕකයි. එහෙම තරඟයක් දිනපු එක ගැන අපි සතුටු වෙනවා.
ඒ වුනත් ඊළඟ තරඟය අපි අන්ත පරාජයකින් කෙළවර කරන්න පුළුවන්. ජීවිතේ හැටි එහෙමයි. නමුත් මම හැම දාම කියන දෙයක් තමයි අනුන්ට වදයක් නොවී ඉන්න උත්සාහ කරන්න ඕන බව. අනික් මිනිස්සු ඕන තරම් වැරදි කරයි. එහෙම කියලා අපිත් වැරදි කරන්න ඕන නැහැ නේ. ජීවිතයක සාර්ථකත්වය මනින එක මිම්මක් විදියට මම ඒක දකිනවා.
මේ තරඟය ගැන සෑහීමකට පත් වෙන්න බැරි එකම හේතුව වුනේ සමහර අයගේ නොසැලකිල්ල නිසා අපට වෙච්ච කරදරය තමයි. තමන්ගේ නොසැලකිල්ලෙන් අනික් අයට ප්‍රශ්නයක් වෙනවාද කියන එක ඔවුන් කල්පනා කල යුතුව තිබුනා. ඒ වගේම ඔවුන් පැමිණෙන ආයතනය ගැන අනෙක් අය තුල ඇති වන ප්‍රතිරූපය ගැනත් ඔවුන් කල්පනා කල යුතුව තිබුනා. විශේෂයෙන්ම විදේශිකයන් ඉන්නා තැනක. ජපන් භාෂාව හෝ සංස්කෘතිය හෝ ඉගෙන ගැනීමෙන් පමණක් පලක් නැහැ. ඔවුන්ගෙන් ගත හැකි යහපත් පුරුදු ඉගෙන ගෙන ඒවා ජීවිතයට අදාළ කරගැනීමයි වැදගත්. එහෙම නැත්නම් ජපන් රට ගැන කප්පරක් දැන ගත්තත්, ජපන් ඉගෙන ගෙන උපාධි ගැහුවත්, ඒකෙන් ජපනට වැඩකුත් නැහැ; අපිට වැඩකුත් නැහැ.
(හිතෙන දේ ලියලා යන්න. ඒක මට උදව්වක් වගේම හයියක්.)
Tuesday, December 18, 2012
නාලක ගුණවර්ධනගේ "ආතර් සී. ක්ලාක් චින්තන චාරිකා" කෘතිය දොරට වැඩීම.
නාලක ගුණවර්ධනගේ "සිවුමංසල කොලුගැටයා" පොත ගැන මම ලියුවා ඔබට මතක ඇති. අද හවස 3 ට නාලක ගුණවර්ධනගේ අලුත්ම කෘතිය, "ආතර් සී. ක්ලාක් චින්තන චාරිකා" නමින් එලි දැක්වුනා. ඒ ජාතික පුස්තකාල ශ්‍රවනාගාරයේදී. ආතර් සී. ක්ලාක් මහතාගේ 95 වන උපන්දිනය මෙම 16 වනදාට යෙදී තිබුනා. මෙම කෘතිය එලි දැක්වුණේ ඒ වෙනුවෙන්. මෙහි ඇත්තේ අවුරුදු 25ක පමණ කාලයක් තුල ලියවුනු ලිපි එකතුවක්. මෙහි සමහර ලිපි මීට පෙර පල නොවූ ඒවා වුනත් අඩකට තරමක් වැඩි ප්‍රමාණයක් කලින් විවිධ තැන්වල පලවූ ඒවා.
ආතර් සී. ක්ලාක් මහතා ඔහුගේ කාර්යාලයේදී (කොළඹ) 2005 මාර්තු 28. Wikimedia Commons
මෙම උත්සවයට සැලකිය යුතු ජනතාවක් සහභාගී වී සිටියා. මෙහිදී විද්‍යා ලේඛක, විජය පරිඝනක සඟරාවේ ආරම්භක කර්තෘ චානුක වත්තේගම මහතා සහ ආචාර්ය රොහාන් සමරජීව මහතා සභාව අමතා කතා කළා. වත්තේගම මහතා ප්‍රකාශ කලේ වසර විස්සකට විසිපහකට පෙර රූපවාහිනිය සහ පුවත්පත් අදට වඩා බෙහෙවින් ගුණාත්මක වූ වැදගත් අන්තර්ගතයන්ගෙන් යුක්ත වූ බවයි. අද වනවිට පුවත්පත්වල වැඩි ඉඩක් වෙන්වන්නේ භූත විද්‍යාව වැනි විද්‍යාත්මක නොවූ දෑ වෙනුවෙන් බව ඔහු පෙන්වා දුන්නා. සමරජීව මහතා ප්‍රකාශ කලේ ආතර් සී. ක්ලාක් මහතා අනාවැකිකරුවකු නොවූ බවයි. අනාවැකිකරුවෙකු යනු පේන කියන්නකු මෙන් අයෙකු බව ඔහු කියා සිටියා. ඔහුගේ අදහස වූයේ, ආතර් ක්ලාක් මහතා සමාජීය බුද්ධිමතෙකු ලෙස සැලකිය යුතු බවයි. මේ දෙදෙනාගේමත් නාලකගේත් අදහස වන්නේ ආතර් සී. ක්ලාක් චරිතය තවමත් මෙරට ජනතාව හරි හැටි තේරුම්ගෙන නැති බවයි.
සමරජීව මහතාගේ කතාව අවසානයේ, ආතර් සී. ක්ලාක් මහතා පිළිබඳව ළඟදී රූපවාහිනී නාලිකාවකින් විකාශය වූ නාලක ගුණවර්ධන විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහනක් තිරගතකොට පෙන්වනු ලැබුනා. ඉන්පසු සභාව අමතමින් නාලක ගුණවර්ධන ප්‍රකාශ කලේ මෙම පොතෙන් ඔහු ආතර් සී. ක්ලාක් මහතා ලාංකිකයන්ට හඳුන්වා දීමට උත්සාහ කල බව. මෙම පොත කියවා එහි සඳහන් පණිවිඩය පතුරවා හරින මෙන් ඔහු ඉල්ලා සිටියා.
මා පොත කියවා අවසන් නැති නිසා (පොත අතට ලැබුනේ අද නේ) දැන්ම නම් එය කරන්නට බැහැ. පොත කියවූ පසු ඒ ගැන යමක් ලියන්නට බලාපොරොත්තු වෙනවා.
Monday, December 17, 2012
දේශපාලනයට පැමිණි අවුරුදු 94ක නවකයා
රියුකිචි කවෂිමා ජීවත් වන්නේ ජපානයේ ටෝකියෝ නගරයට උතුරින් පිහිටි සයිටමා ප්‍රාන්තයේ, හන්යු කියන නගරයේ. ඔහු 1930-40 දශකවල ජපන් හමුදාවේ සේවය කල පැරණි සෙබලෙක්. මෙවර මැතිවරණයට ඔහු සයිටමා ප්‍රාන්තයේ (Saitama Prefecture) 12 වන මැතිවරණ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වුනා. මීට පෙර දේශපාලනයට සම්බන්ධව නැති ඔහු මෙම මැතිවරණයට ඉදිරිපත් වන විට වයස අවුරුදු 94ක් වනවා. මැතිවරණය සඳහා ඔහු වියදම් කලේ තමන් මියගිය පසු මළගම සඳහා යොදාගැනීමට ඉතිරි කල මුදලයි. (පින්තූරය සහ විස්තර මෙතනින් බලන්න).
ජපානයේ සයිටාමා ප්‍රාන්තය. Saitama Prefecture, Wikimedia Commons
කවෂිමා ප්‍රකාශ කලේ තම රටේ අනාගතය පිලිබඳ ඇති වූ භය ඔහු මෙම පියවර ගැනීමට පෙළඹවූ බවයි. දෙවන ලෝක යුධ සමයෙහි සිය සගයින් සටන් බිමෙහි මැරී වැටෙනු සියසින් දැක ඇති හෙතෙම පවසා සිටියේ ජපානය එම යුද්ධයෙන් පරාජය වූ බවත් යලිත් යුද්ධයක් තම රටට අවශ්‍ය නැති බවත්. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී නායක ෂින්සෝ ආබේ සහ ජාතිකවාදී නායක ෂින්තාරෝ ඉෂිහාරා වැන්නවුන් හමුදා පිලිබඳ බොහෝ පහසුවෙන් කතා කල බවයි කවෂිමා ප්‍රකාශ කලේ.
1918 වසරේ උපත ලැබූ කවෂිමා 1945 දෙවන ලෝක යුද්ධය අවසන් වූ පසු විවිධ රැකියාවල නිරත වී තිබෙනවා. වයස 94ක් වුනද තමන්ගේ ඇස් පෙනීම මෙන්ම මානසික ක්‍රියාකාරීත්වයද ඉතා යහපත් තත්ත්වයක පවතින බව ඔහු ප්‍රකාශ කරනවා. මැතිවරණය පිළිබඳව ඔහු ප්‍රකාශ කලේ තමන්ට ජයග්‍රහණය කිරීමට හැකියාවක් ඇතැයි නොසිතන නමුත් තමන්ගේ මතවාදය ඉදිරිපත් කිරීමට අවශ්‍ය වූ බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය ප්‍රකාරව කටයුතු කිරීම (යුධමය කටයුතුවලට සම්බන්ධ නොවීම පිලිබඳ වගන්තිය), න්‍යෂ්ටික බලශක්තිය භාවිතා කිරීම නැවැත්වීම සහ අධිරාජයාට දැනට වඩා දේශපාලනික වගකීමක් ලබා දීම වැනි කරුණු පිලිබඳ ඔහු මැතිවරණය සමයේදී ප්‍රකාශ කර සිටියා. නමුත් මැතිවරණ ප්‍රතිපලවලින් පෙනෙන්නේ ජපන් ජාතිකයින් වැඩි දෙනෙක් ඔහු වැන්නවුන්ගේ මතවාදයන් පිලි නොගත් බවයි.
යුද්ධයේදී මිය ගිය තම සගයින් වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටු කල බව විශ්වාස කරන කවෂිමා, ඒ පිලිබඳ බෙහෙවින් සතුටට පත් වෙනවා.
(එකතු කිරීම 2012 දෙසැම්බර් 21: කවෂිමා ඡන්ද 2,169ක් පමණක් ලැබූ අතර සිය මැතිවරණ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් 6 දෙනාගෙන අන්තිමයා බවට පත් විය. (The Asahi Shimbun) ජපානයේ දක්ෂිනාංශික ආණ්ඩුවක් බලයට පත් වූ අතර එරට ව්‍යවස්ථාව වෙනස් කිරීම බලයට පත් වූ ලිබරල් ප්‍රජාතාන්ත්‍රික පක්ෂයේ මූලික පොරොන්දුවක් විය. එම පක්ෂයට සිය සගයින්ද සමඟ පහල මන්ත්‍රී මණ්ඩලයේ ආසන 2/3ක් ඉක්මවූ බලයක් ලැබී තිබේ. එහෙත් කවෂිමා ප්‍රකාශ කරන්නේ ජපානයේ මෙම දක්ෂිනාංශික නැඹුරුව බොහෝ කල් නොපවතිනු ඇති බවය.)
Wednesday, December 12, 2012
ගාෆීල්ඩ්ට තරම්වත් මොලේ නැති ගාෆීල්ඩ් පෙන්නන ඈයෝ!
ගාෆීල්ඩ් කියන්නේ කම්මැලි, කෑදර පූසෙක් වටා ගෙතුන විකට කතාවක්. මේක මුලින් චිත්‍ර කතාවක් විදියට තමයි බිහි වුනේ. ඒ 1978 දී, ජිම් ඩේවිස් කියන ඇමරිකානු කාටූන් ශිල්පියා අතින්. පස්සේ මේ කතා ටෙලිවිෂන් එකටත් චිත්‍රපට ශාලාවටත් ගියා. 2008 දී, චිත්‍ර කතාවට වයස අවුරුදු 30ක් පිරෙද්දී, පරිගණකයෙන් නිර්මාණය කල රූප (Computer Generated Imagery ඒ කියන්නේ CGI) සහිත කතා මාලාවක් විදියට "The Garfield Show" කරලියට ආවා. ඒ ප්‍රංශයේ France3 ටෙලිවිෂන් චැනලය හරහා. දැන් එය රටවල් ගණනාවක ප්‍රංශ සහ ඉංග්‍රීසි බසින් ප්‍රචාරය වෙලා තියෙනවා.
මෙන්න ඉන්නවා ගාෆීල්ඩ්... තමන්ගේ අයිතිකාරයා ජෝන් ආර්බකල් සහ ස්ක්වීක් කියන මීයා සමඟ. පින්තූරය ගත්තේ මෙතනින්.
අපේ රටෙත් එක්තරා මාධ්‍ය ආයතනයක් ගාර්ෆීල්ඩ් පෙන්නන එක සතුටට කාරණයක්. හවසට ගෙදර හිටියොත් ටිකක් හිනා වෙන්න බලන්න හොඳ ෂෝ එකක් තමයි ඒක. මේ ආයතනයේ සිංහල ටෙලිවිෂන් චැනල් එකේ හවස 4.30ට සිංහල හඬ කවාපු කතාව යන අතර හවස 5 ට ඉංග්‍රීසි චැනල් එකේ ඉංග්‍රීසි කතාව යනවා. සිංහල හඬ කැවීම හොඳට කරලා තියෙන බව කියන්න ඕන.
ටිකක් හිනා වෙන්න කියලා මේ ෂෝ ඒක බලන්න ඉඳ ගත්තට පලක් නෑ. මොකද සිංහල චැනල් එකට හරියට පැය භාගෙන් ඒක ඉවර කරගන්න බෑ. මේක ඇත්තටම හරි විහිළුවක්. එයාලා හැම පැයකම අන්තිම විනාඩි 5 නිව්ස් කියන්න ගන්නවා. ගාෆීල්ඩ් ෂෝ එකේ ඒක කතාවක් විනාඩි 10ක්-11ක් වගේ වෙන්නේ. එතකොට විනාඩි 22ක්-23ක් යනවා කතා දෙකකට. නිව්ස් කියන්න විනාඩි 5ක් ගත්තම ඉතුරු වෙලාවේ වෙළෙඳ දැන්වීම් එහෙම දාලා කතාව පෙන්නන්න බැහැ. එතකොට එයාලා කරන්නේ එක්කෝ ඊළඟ පැයේ ටිකක් වෙලාව ඒකට අරගන්න එක. එතකොට ඊළඟ වැඩසටහන පරක්කු වෙනවා. ඊට පස්සේ ඊළඟ එකත් පරක්කු වෙනවා. ඒගොල්ලෝ කරන අනික් වැඩේ තමයි ෂෝ එකේ කතාව අඩුවෙන් පෙන්නන එක. මේක ඇත්තටම අදාළ චැනල් එකේ හවස වැඩසටහන් බැලීම එපා කරවන දෙයක්. අදත් මේ කට්ටිය එහෙම කලාම මම ටෙලිවිෂන් එක වහලා දැම්මා.
මෙතෙන්දි මට නම් මෙහෙම පොඩි ප්‍රශ්නයකුත් ඇති වෙනවා. මේ කතාවල අයිතිය තියෙන්නේ මේ ටෙලිවිෂන් චැනල් එකට නෙවෙයි නේ. එයාලා සිංහලෙන් හඬකවන්න අවසර ගන්න ඇති. ඒ වුනාට එයාලට කොටස් අඩුවෙන් පෙන්නන්න අවසර තියෙනවාද කියන එක නම් මම දන්නේ නෑ.
පැයකට වරක් නිව්ස් කියන එකම ටෙලිවිෂන් චැනල් එක මේ චැනල් එක නෙවෙයි නේ. අර හැමෝම බනින රාජ්‍ය මාධ්‍යවලත් ඒක කරනවා. නමුත් එයාලා ඔච්චර වෙලාවක් ඒ වෙනුවෙන් කන්නේ නෑ. අනික මේ උදවිය වැදගත් නිව්ස් එකක් කියනවා නම් කමක් නෑ. ගොඩාක් වෙලාවට නිව්ස් කියලා කියවන්නේ වැඩක් නැති එව්වා. සමහර වෙලාවට Breaking News කියලා පෙන්නන නිව්ස් දැක්කාම ටෙලිවිෂන් එක Break කරන්න නම් හිතෙනවා.
මට සැටලයිට් නැති නිසා BBC බලන්න බෑ. නමුත් මට මතකයි මීට අවුරුදු දහයකට විතර කලින්, අදාළ මාධ්‍යය ආයතනයටම අයිති ඉංග්‍රීසි චැනල් එකේ BBC පෙන්නුවා. එයාලා හැම පැයකම පළමු පැය භාගේ නිව්ස් කියනවා. නමුත් වෙනස් වැඩසටහනක් තියෙනවා නම් විනාඩි දෙකෙන් හෙඩ්ලයින් ටික කියලා වැඩසටහනට බහිනවා. වල් පල් කියවලා, නැත්නම් නිව්ස් එකට වඩා දිග තේමා වාදන දාලා වෙලාව කන්නේ නෑ.
කොහොම නමුත්, එයාලගේ වරද නිවැරදි කරගන්නකල් මම නම් ආයේ හවසට ගාෆීල්ඩ් ෂෝ එක බලන්නේ නෑ.
Subscribe to:
Posts (Atom)