Sunday, March 14, 2021

ඉන්දියාවේ 2021 ප්‍රාන්ත සභා මැතිවරණ

ඉන්දියාවේ ප්‍රාන්ත සභා හතරක සහ මධ්‍යම රජයේ පාලනය යටතේ වන එක් ප්‍රදේශයක මැතිවරණ 2021 මාර්තු 27 - අප්‍රේල් 29 අතර කාලය තුළ පැවැත්වෙනවා.

බටහිර බෙංගාල ප්‍රාන්ත සභා මැතිවරණය මාර්තු 27 සිට අප්‍රේල් 29 දක්වා අදියර අටකින් පවත්වනු ලබනවා. අසාම් ප්‍රාන්ත මැතිවරණය මාර්තු 27, අප්‍රේල් 1 සහ අප්‍රේල් 6 යන දිනවල අදියර තුනකින් පැවැත්වෙනවා. එමෙන්ම තමිල්නාඩු, කේරල යන ප්‍රාන්ත දෙකේ සහ පුදුචෙරි ප්‍රදේශයේ මැතිවරණ අප්‍රේල් 6 වෙනිදා පැවැත්වෙනවා.



මේ මැතිවරණ සහ මේ ප්‍රාන්තවල දේශපාලනය පිළිබඳ පොඩ්කාස්ට් කිහිපයක්  මම මෙහි එකතු කරනවා.


* ඉන්දියාවේ 2021 ප්‍රාන්ත සභා මැතිවරණ (2021 මාර්තු 11)


* බටහිර බෙංගාලය Battle of 2021 (2020 දෙසැ. 20)


* නූතන චානක්‍යගේ තමිල්නාඩු ගේම් එක (220 නොවැ. 20)

Saturday, March 13, 2021

හඳ මොන පාටයිද?

ඉතාලි ජාතික අභ්‍යවකාශ වස්තු ඡායාරූප ශිල්පිණී මර්සෙලා ජුලියා පේස් කියන විදියට හඳට වර්ණ 48ක් වත් තියෙනව.

පසුගිය වසර දහයක් තිස්සේ ඉතාලියේ විවිධ ස්ථානවලදි ලබාගත් පූර්ණ චන්ද්‍රයාගේ ඡායාරූප අනුවයි ඇය මෙහෙම කියන්නෙ.


රතු හෝ කහ ආලෝකය සහිතව පෙනෙන්නේ ක්ෂිතිජයට ආසන්නව දිස්වන හඳ බවත් එයට හේතුව නිල් ආලෝකය විසරණය වීම බවත් සඳහන් වනවා. නිල් පැහැති චන්ද්‍රයා දුලබ දසුනක් වන අතර පෘථිවි වායුගෝලයේ විශාල ප්‍රමාණයේ දූවිලි අංශු තිබීමෙන් එසේ පෙනෙන බවයි සැලකෙන්නේ. දම් වර්ණයෙන් සඳ දිස්වන්නේ ඇයිදැයි හරියට පැහැදිලි වී නැහැ. අහසේ චන්ද්‍රයා පිහිටන ස්ථානය, දුහුවිල්ල යනාදී විවිධ කරුණු මත චන්ද්‍රයා පෙනෙන වර්ණ වෙනස් වනවා. අවසන් ඡායාරූපය මගින් 2018 ජූලි මස පූර්ණ චන්ද්‍රග්‍රහණය අවස්ථාවේ චන්ද්‍රයා දිස්වූ අයුරු පෙන්නුම් කරනවා.

පෘථිවි වායුගෝලයෙන් පිටතට ගියහොත් චන්ද්‍රයාගෙ අඳුරු කොටස දුඹුරු වර්ණයට හුරු අළු පැහැයකින් දිස්වන බවයි නාසා ආයතනය පවසන්නේ.

Thursday, March 11, 2021

චිත්‍රපටය​: The Tashkent Files

ලාල් බහදූර් ශාස්ත්‍රි ගැන අහල තියෙනවද?

The Tashkent Files චිත්‍රපටය විසින් අපෙන් අහන එක් ප්‍රශ්නයක් තමයි ඒක. ලාල් බහදූර් ශාස්ත්‍රි යනු ඉන්දියාවෙ දෙවැනි අගමැතිවරයා. ඔහු අගමැති ධුරයට පත්වන්නේ 1964 දි ජවහර්ලාල් නේරු මියගිය පසුයි.

ඇත්තෙන්ම ශාස්ත්‍රි නායකත්වයට එයි කියල වැඩි දෙනෙක් හිතන්නෙ නැහැ. මොරාජි දේසායි අගමැති වෙයි කියල බොහෝ දෙනෙක් හිතුවා. කොන්ග්‍රස් පක්ෂ ප්‍රබලයකු වූ කාම්රාජ් ශාස්ත්‍රි බලයට පත්වීම පිටුපස රජුන් තනන්නායි. ඇතැමුන් විශ්වාස කරන්නෙ ශාස්ත්‍රි කාම්රාජ්ගෙ රූකඩයක් බවයි.


1965 දි පාකිස්ථානය ඉන්දියාව එක්ක යුද්ධයකට පැටලෙනව. එහි ජයග්‍රහණය ගැන පාකිස්ථානයට විශාල විශ්වාසයක් තිබෙනව. ඉන්දියාව 1962 දි චීනුන් සමග යුද්ධෙන් හොඳටම බැටකාපු නිසත්, ශාස්ත්‍රි දුර්වල නායකයෙක් කියන අදහස නිසාත් පාකිස්ථාන නායක ජෙනරල් අයුබ් ඛාන් හිතන්නෙ වැඩේ ලේසි වෙයි කියල. නමුත් ඉන්දියාව පාකිස්ථාන ප්‍රහාරයට මුහුණ දුන්නා වගේම යුද්ධය ආපහු හරවලා ලාහෝර් ආසන්නයටම ගමන් කරනව. ශාස්ත්‍රි දක්ෂ ලෙස ඊට අවශ්‍ය නායකත්වය දෙනව.

හැමෝම දැනගන්නවා ශාස්ත්‍රි කියන මේ පුංචි මිනිහා පඹයෙක් නොවන බව.

දෙරට අතර සාම ගිවිසුමක් අත්සන් කරන්න රැස්වෙන්නෙ ටෂ්කෙන්ට් නගරෙදි. සාම ගිවිසුම අත්සන් කරල පැය ගාණකින් ශාස්ත්‍රි මියයනව. ඊට හේතුව හෘදයාබාධයක් බවයි කියන්නෙ. ඒත් ඒක ඇත්තද?

මෙන්න මේ ප්‍රස්තුතය තමයි The Tashkent Files චිත්‍රපටයෙ කතාබහට ලක් කරන්නෙ. මෙය political thriller එකක් විදියට ඉතා ආසාවෙන් නරඹන්න පුළුවන් කතාවක් බවයි මගේ පුද්ගලික අදහස.


මේක වඩාත් රසවත් වෙන්නෙ චිත්‍රපටය වටේ තියෙන දේශපාලන ගේම් එක තේරුම් ගනිද්දී යි. මෙම චිත්‍රපටයෙ අරමුණක් වෙන්නෙ නේරු - ගාන්ධි දේශපාලන පවුල ප්‍රශ්න කිරීමට ලක් කිරීම සහ එමගින් භාරතීය ජනතා පක්ෂයට වාසියක් සැලසීමයි. 2019 ඉන්දීය මහ මැතිවරණය එක්කම මේ චිත්‍රපටය එළියට එන්නෙ ඒකයි.

නමුත් මේ චිත්‍රපටය බලද්දි මට මතු වෙච්ච සැබෑ ප්‍රශ්න දෙකක් තියෙනව.

එකක් තමයි, ඇත්තෙන්ම අපි ඇයි ශාස්ත්‍රිව අමතක කරල තියෙන්නෙ කියන එක. ශාස්ත්‍රි කියන්නෙ කියවිය යුතු චරිතයක්. දුර්වලයි වගේ පෙනුණ ශක්තිමත් පුද්ගලයෙක්. යුද්ධයක් දිනපු නායකයෙක්. ඒත් ශාස්ත්‍රි ගොඩක් අයට අමතක වෙලා.

අනික තමයි, අපි බටහිර රටවල් විසින් තුන්වන ලෝකයේ කරන කුමන්ත්‍රණ, ආණ්ඩු පෙරලීම්, ඔත්තු බැලීම් ගැන දෙන අවදානයෙන් කොච්චර ප්‍රතිශතයක් සෝවියට් කාලෙ KGB එක කරපු දේවල් ගැන දෙනවද කියන එක. සීතල යුද්ධය කාලෙ ඔය දෙගොල්ලොම, ඒ කියන්නෙ CIA එක සහ KGB එක, තරගෙට ඒ දේවල් කරා. අන්තිමට CIA එක විතරක් නපුරා වෙලා. අපේ වගේ රටවල්වල නම් එහෙම වෙලා තියෙන්නෙ සෝවියට් ප්‍රොපගැන්ඩාවෙ හැකියාව නිසා බවයි මගේ අදහස.

Wednesday, March 10, 2021

චිත්‍රපටය: The Death of Stalin

දේශපාලන උපහාසාත්මක සහ බ්ලැක් කොමඩි චිත්‍රපටයක් ලෙස සැලකෙන The Death of Stalin සිනමා නිර්මාණය සෝවියට් නායක ස්ටාලින්ගේ මරණය සහ එහි ආසන්නම ප්‍රතිඵල අළලා සැකසූවක්.

අධ්‍යක්ෂක සහ සම තිර රචක අර්මන්ඩෝ ඉයනුච්චි ප්‍රමුඛ පිරිස මෙහිදී ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීමක් හෝ ස්ටාලින්ගේ මරණය පිළිබඳ ඇති සැක සංකා පිරික්සීම වෙනුවෙන් කල් ගත නොකරන අතර ඔවුන් හාස්‍යයට නගන්නේ ඒකාධිපති රජයක පාලකයා හදිසියේ මියගිය අවස්ථාවක ඇතිවන බල අරගලවල ස්වභාවයයි. ඓතිහාසික නිරවද්‍යතාව මෙහි මූලික අවශ්‍යතාවයක් කරගෙන නැහැ. ඉතිහාසයෙහි සිදුවූ පරිදි ස්ටාලින්ගේ මරණය සහ බෙරියා - කෘශ්ෂොෆ් බල අරගලයේ අවසානය මාස කිහිපයක පරතරයක් ඇතිවූ සිද්ධීන් දෙකක් වුණ ද එය දින දෙක තුනක් තුළ සිදුවූ ලෙස චිත්‍රපටයේ දැක්වෙනවා. මෙහි ප්‍රධාන චරිත සඳහා යොදාගෙන ඇති පුද්ගලයන් සැබෑ චරිතවල උස මහත පවා පෙන්නුම් කරන්නේ නැහැ. හීන්දෑරි බෙරියා සඳහා මහත දෙහෙත නළුවකු යොදාගනිද්දී, මහත දෙහෙත නිකිතා කෘශ්ෂොෆ් සඳහා හීන්දෑරි අයකු යොදාගෙන තිබීම ඊට උදාහරණයක්.


එමෙන්ම කල්ලිවාදයට එරෙහි වීම යන සිද්ධාන්තය අනුව යමින් ඒකාධිපති ක්‍රමයක් පවත්වාගැනීම සිදුවන ආකාරයත් මෙහි දැක්වෙන අතර, නායකත්වය අනුව යමින් සැබෑ අදහස් වසාගෙන ව්‍යාජයක් රඟ දැක්වීම පුද්ගලයන්ට බලපාන අයුරු ද මෙහි පැහැදිලි ලෙස පෙන්වනවා. සත්‍යය යනු නායකයාගේ සිතැඟි වන අන්දමත්, නායකයා සහ පක්ෂය වෙනුවෙන් දිවවල් නැමෙන හැටිත්, එහිදී පුද්ගලයින් පත්වන ව්‍යාකූලභාවයත් මෙහි බලාගන්න පුළුවන්.

මේ චිත්‍රපටයේ අරමුණ ඓතිහාසික සිද්ධියක් විස්තර කිරීම හෝ ඒ හා බැඳුණ කුමන්ත්‍රණ න්‍යායයන් විස්තර කිරීම නොව, ඕනෑම ඒකාධිපතිත්වයක් පවත්වාගෙන යන පිරිස, ඒ නිසා මුහුණදෙන ව්‍යාකූලභාවය පෙන්නුම් කිරීම බවයි කිව හැක්කේ.

Thursday, March 4, 2021

සාන්ත පීතර්බුර්ග් නගරයේ පාට පාට පල්ලිය

මොස්කව් නගරයේ සාන්ත බැසිල් ආසන දෙව් මැදුර ගැන ගොඩක් දෙනා අහලා ඇති. පෙනුමට ඒ වගේම පල්ලියක් සාන්ත පීතර්බුර්ග් නගරයේත් තියෙනව. සමහරු එය සාන්ත බැසිල් ආසන දෙව් මැදුරත් එක්ක පටලගන්නවා.


ත්සාර් දෙවන අලෙක්සන්දර් රුසියාවෙ හිටපු ප්‍රතිසංස්කරණවාදී පාලකයෙක්. ඔහු තමයි ප්‍රවේණිදාස ක්‍රමය අහෝසි කළෙත්. නමුත් ඔහුව තරම් කිසිම රුසියානු පාලකයෙක්ව ඝාතනය කරන්න උත්සාහ කරලා නැතුව ඇති.

මේ පිළිබඳ එක්තරා පුරාවෘත්තයක් තිබෙනවා. ඒ අනුව, වරක් සාස්තරකරුවෙක් දෙවන අලෙක්සන්දර් වෙත පවසා තිබෙනවා ඔහුව හත් වරක් ඝාතනය කරන්න තැත් කරන බවත්, හත්වෙනි උත්සාහය සාර්ථක වන බවත්. මේ කතාවෙ ඇත්ත නැත්ත කොහොම වුණත් ඔහු හය වරක් ඝාතන තැත්වලින් බේරෙනව.


1881 මාර්තු 13 වනදා (පැරණි ක්‍රමයට මාර්තු 1 වනදා) ත්සාර් අලෙක්සන්දර් කැතරින් ඇළ අසළින් වින්ටර් මාලිගය වෙත පැමිණෙමින් සිටියා. ඔහුව ඝාතනය කරන්නට රැකගෙන සිටි තැනැත්තා අශ්ව කරත්තය යටට බෝම්බයක් එල්ල කළා. එය පුපුරා ගියද ඔහුට හානියක් සිදුවුණේ නැහැ. මුර භටයන් විසින් බෝම්බකරු අල්ලාගත්තා.

අලෙක්සන්දර්ට ඔහුව ඝාතනය කරන්න උත්සාහ කළ තැනැත්තා බලන්න ඕන වුණා. ඔහු කරත්තයෙන් බැස බෝම්බකරු ඉදිරියට ආවා. ඇතැම්විට සාස්තරයේ කතාව ඇත්ත නම් තමා හත්වැනි ඝාතන තැතෙන් ද ගැලවුණේ යයි අලෙක්සන්දර් හිතන්න ඇති. කෙසේ වෙතත් නැවත ඔහුට ප්‍රහාරයක් එල්ල වේ යයි ඔහු හිතුවේ නැහැ.



නමුත් ඝාතකයන් දෙවැන්නෙක් සූදානම් කර තිබුණා. සිද්ධිය බලන්නට පැමිණි දෙවැන්නා, වෙන්නේ මොකක්දැයි වටහාගත්තා. ඊළඟ මොහොතේ අලෙක්සන්දර්ගේ දෙපා මුලට තවත් බෝම්බයක් වැටුණා. ත්සාර්ගේ දෙපා බරපතල ලෙස තුවාල වී ලේ ගලා යන්නට වුණා. වින්ටර් මාලිගයට ගෙන යනු ලැබූ ඔහු එහිදී මියගියා.

ඔහුගෙන් පසුව බලයට පැමිණියේ ත්සාර් තුන්වන අලෙක්සන්දර්. ඔහු යටතේ රොමානොෆ්වරුන් මෙම ස්ථානයේ ඉඩම මිලට ගෙන දෙව් මැදුරක් ඉදිකළා. එහි වැඩ පටන් ගත්තේ 1883 දි. දෙවන අලෙක්සන්දර් තුවාල ලද ස්ථානය නිසා එයට "විසිරුණු රුධිරයේ ගැලවුම්කරුවාණන්ගේ දේවස්ථානය" (Church of the Savior on Spilled Blood) යන නාමය දෙනු ලැබුණා.

තුන්වන අලෙක්සන්දර් පරණ තාලයේ, ගතානුගතික අදහස් තිබූ අයෙක්. ඉතින් ඔහුට අවශ්‍ය වුණේ පැරණි "රුසියානු ශෛලියේ" දේවස්ථානයක් ඉදි කිරීමටයි. නූතන නගරයක් වූ සාන්ත පීතර්බුර්ග් නගරයේ අනෙක් ගොඩනැගිලිවලට වඩා මෙය වෙනස්. මෙය වඩා ළං වන්නේ මොස්කව්වල ගොඩනැගිලිවලට.


සෝවියට් පාලකයන් බලයට පත් වූ පසු මෙය විනාශ කිරීමට සැලසුම් කෙරුණා. නමුත් එය ක්‍රියාවට නැගීමට පෙර දෙවන ලෝක යුද්ධය පැමිණියා. යුද්ධයේදී එවකට ලෙනින්ග්‍රාද් නමින් හැඳින්වූ සාන්ත පීතර්බුර්ග් නගරය වටලන ලද බව අපි දන්නවා. එසමයෙහි මෙය භාවිතා කෙරුණේ මෘත ශරීරාගාරයක් ලෙසයි.

යුද්ධයෙන් පසුවත් මෙය විනාශ කරන අදහසක් මතුවුණා. නමුත් ඊට මතුවූ ජනතා විරෝධය සමග එම අදහස අත් හරින ලද බවයි සඳහන් වන්නේ.

වර්තමානය වනවිට මෙය කෞතුකාගාරයක් වන අතර මෙය පාලනය කෙරෙන්නේ සාන්ත අයිසැක් ආසන දෙව් මැදුර පාලනය කරන පාලනාධිකාරිය විසින්.


ඡායාරූපවලින් පළමුවැන්නේ අයිතිය Legion Media. අනෙක් ඡායාරූප Museum St. Isaac's Cathedral වෙතින්.

Wednesday, March 3, 2021

වැළපෙන ප්‍රංශ ජාතිකයා

1941 මාර්තු 3 වනදා Life සඟරාවේ ලිපියක මෙම ඡායාරූපය පළ වුණේ මෙවන් විස්තරයක් සමගයි.  "A Frenchman sheds tears of patriotic grief as the flags of his country's last regiments are exiled to Africa" (ස්වකීය දේශයෙහි අවසන් රෙජිමේන්තුවල ධජ අප්‍රිකාවට ගෙන යද්දී, දේශප්‍රේමයෙන් ඇළලුන ප්‍රංශ ජාතිකයකු කඳුළු සලයි.)


ඇතැම් මූලාශ්‍රවල මෙම ඡායාරූපය දැක්වෙන්නේ පැරිසියේ නට්සි ජර්මන් පෙළපාලියක් අවස්ථාවක නරඹන්නකු ලෙස හඳුන්වමින් වුවද එය නිවැරදි නොවේ.

ඡායාරූපයේ සිටින්නේ එවකට 48 හැවිරිවි වූ ජෙරෝම් බර්සොට්ටි නමැත්තෙක්. ඇත්තෙන්ම එය චිත්‍රපට කැමරාවක සටහන් වූ දර්ශනයකින් ගන්නා ලද ඡායාරූපයක්.

1940 නොවැම්බර් 15 වනදා ප්‍රංශ රෙජිමේන්තු කිහිපයක ධජ මාර්සේයි (Marseille) නගරය ඔස්සේ එහි වරාය වෙත ගෙනයන ලද අවස්ථාවේ බර්සොට්ටි මෙසේ කඳුළු සලමින් සිටියා. ඔහුව කැමරාවට හසුකරගත්තේ මර්සෙල් ද රෙන්සිස් නම් චිත්‍රපටකරුවකු විසින්. පසුව එම දර්ශනවලින් මෙම ඡායාරූපය ලබාගත්තා.

එහිදී රැගෙනගිය රෙජිමේන්තු ධජ මාර්සේයි සිට උතුරු අප්‍රිකාවේ ඇල්ජියර්ස් වෙත රැගෙන යන ලද්දේ ජර්මානුන් අතට ඒවා පත්වීම වැළැක්වීමටයි.

Tuesday, March 2, 2021

මිහායිල් ගොර්බචොෆ්ට 90 යි (VIDEO)

සෝවියට් දේශයේ පළමු සහ එකම ජනාධිපති වූ මිහායිල් ගොර්බචොෆේ 90 වන ජන්ම දිනය අදයි.

මිහායිල් ගොර්බචොව් විවාදාත්මක චරිතයකි. ඇතැමුන් ඔහු බටහිර ඉත්තෙකු සහ සෝවියට් දේශය විනාශ කළ පුද්ගලයා ලෙස සලකන අතර තවත් සමහරුන් විසින් ඔහු සලකනු ලබන්නේ නොවැළැක්විය හැකි වූ ක්‍රියාවලියක්, එනම් සෝවියට් දේශයේ බිඳ වැටීම​, වැළැක්වීම සඳහා උත්සාහ කළ අයෙකු ලෙස යි.


බොහෝ දෙනා ඔහු ඉත්තෙකු ලෙස සැලකුව ද​, ගොර්බචොව් බටහිරට අවශ්‍ය පරිදි සෝවියට් දේශය කඩා දැමූ තැනැත්තෙකුයැ යි පිළිගැනීමට සාධක ප්‍රමාණවත් නැහැ. නමුත් ඔහු බලාපොරොත්තු වූ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඔහුගේ පාලනයෙන් ඉවතට ගියේයැ යි කිව හැකියි.

මේ වීඩියෝවෙන් ඔබට ගොර්බචොෆ් ගැන වැඩි විස්තර දැනගන්නට පුළුවනි.