Saturday, November 14, 2015

ජවිපෙට කුමාර් ගුණරත්නම් අදාළ​ නැත​

ජනතා විමුක්ති පෙරමුණට​, පෙරටුගාමී සමාජවාදී පක්ෂය හෝ එහි නායකයකු බව කියන කුමාර් ගුණරත්නම් හෝ අදාළ නැත​.

ජවිපෙ නායකයින් ඡන්ද අඩු වූ විට කියන්නේ තමන්ගේ ඡන්ද අඩු වුවද​, මතවාදය පැරදී නැති බවත්, විප්ලවීය පක්ෂයකට ඡන්ද ගණන එතරම් වැදගත් නැති බවත් ය​.

මැතිවරණ යනු විප්ලවීය පක්ෂයක අරගලයේ එක් සාධකයක් පමණක් බව ඔවුහු කියති.

ඒ අතරම​, ජනාධිපතිවරණයේදී ගත් ඡන්ද ගණනවත් ගන්නට බැරි වූ පෙරටුගාමීන් තමන්ට අදාළ නැති වග ඔවුහූ පුන පුනා කියති.

කුමාර් ගුණරත්නම් ද තමන්ට අදාළ නැති බව ඔවුහු පුන පුනා කියති.

ටීවී වැඩසටහනක හෝ මාධ්‍ය සාකච්ඡාවක හෝ කටට උත්තරය දී අමාරුවේ දැමූ අවස්ථාවක එවැනි උත්තරයක් දීමෙන් නොනවතින ඔවුහු ප්‍රසිද්ධ රැළිවලදීද එවැනි දෑ කියති.

තමන්ට එරෙහිව නඩු මගට ගිය චිත්‍රාංගනීගේ සැමියා වර්ණනයට ගත් වචන ප්‍රමාණය හා සමාන​ වචන ප්‍රමාණයක්,ඇතැම්විට ඊටත් වඩා වැඩි වැඩි වචන ප්‍රමාණයක්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ එහි නායකයකු බව කියන කුමාර් ගුණරත්නම් ගැන පැවසීමට මෙවර ඉල් මහ විරු සමරුවේදී අනුර දිසානායක සහ ටිල්වින් සිල්වා යන දෙදෙනා වැය කළහ​.

ඒ කුමාර් ගුණරත්නම් ඔවුනට අදාළ නොවන බැවිනි.

එනයින් ගම්‍ය වන්නේ, ඔවුන් වැඩි කළක් මිඩංගු කරන්නේ ඔවුනට අදාළ නොවන දේ පිළිබඳ කියැවීමට වගයි.

Friday, October 9, 2015

අන්න ඒ නිසා, Hasta Siempre Commandante!


ආර්ජන්ටීනාවේ පොහොසත්ම පවුලක උපත ලබා,
දකුණු ඇමරිකාව පුරා සැරි සරා,
පීඩිතයාගේ දුක සියලු ලෝකයාටම පොදු යයි දැන,
සියලු ලෝකයා වෙනුවෙන්,
විමුක්ති මාර්ගය මේ යයි තමා සිතූ මාර්ගයේ යමින්,
ග්වාතමාලාවේදී දේශපාලනයේ අලුත් පාඩමක් ඉගෙන,
මෙක්සිකෝවේදී සිය අතිජාත මිත්‍රයා හැඳින,
පුන්චි බෝට්ටුවක කියුබාවට පැමිණි චේ,
කියුබානු, කොංගෝ සහ බොලිවියානු ජනතාව වෙනුවෙන් අවි අතට ගෙන,
බොලීවියාවේ ලා හිගුවේරාවේදී ඝාතනය කරනු ලැබීය.
ඝාතනය කලද,
ඔහුගේ රුව ලෝකයාට අමතක නොවීය.
ඔහු මරා දැමූ ධනපති පන්තිය,
අද ඔහු වෙලෙඳ මෙවලමක් කරගෙන ඇත.
එමෙන්ම,
තමන් සතු කිසිදු විප්ලවීය ගුණයක් නැති බොරුකාරයන්,
අද චේගේ රුවට මුවා වී වීරයන් වන්නට මාන බලති.
චේ මරා දැමුණේ 1967 දී නොවේ.
චේ මරා දමන්නේ වර්තමානයේය.
කයින් එක් වරක් මරා දැමුනු චේ,
අද නැවතත්,
නැවත නැවතත්,
මරා දමනු ලබයි!!!
එසේ වෙතත්,
ඒ මරා දැමෙන ඔහුගේ,
රුව තුළින් දිස්වන්නේ,
ජයග්‍රහණයේ බලාපොරොත්තුවකි.
අන්න ඒ නිසා,
Hasta Siempre Commandante!!!

* මා 2013 දී ලියූ මෙම අදහසට වස්තු බීජය වූයේ මාලින්ද සෙනවිරත්නගේ COMMANDANTE පබැඳුමයි

Wednesday, October 7, 2015

ෂර්ලොක් හෝම්ස්ගේ අවසන් ගැටලුව නොහොත් ලංකාවේදී ඇණ ගැනීම​

Sherlock Holmes: His Sri Lanka Debacle
ප්‍රබන්ධයකි. තොප්පි වැටෙන්නේ නම් දාගත්තාට අමනාපයක් නැත​.

හෝම්ස්: වොට්සන්, අද අපිට හරිම බැරෑරුම් ප්‍රශ්නයක් එන්න නියමිතයි

වොට්සන්: ඈ හෝම්ස්, ඒ මොකක්ද ඒ? අයිසිස් එකේ බ්‍රිතාන්‍ය මෙහෙයුමද?

හෝම්ස්: නෑ නෑ... ඒ ප්‍රශ්නෙ අපි උපාය දූතයො දාල ඉවර කළා නෙ. දැන් ඉතින් ලෙස්ට්‍රෙඩ් වගේ පොලිස්කාරයෙකුට වුණත් පුලුවන් ඕක ඉවර කරන්න. දැන් ඒ ඔපරේශන් එකේ කිසි ගතියක් නෑ... අනික අපේ මහ රැජිණගෙ ආණ්ඩුවට ඕඩර්ස් ඇවිත් තියෙනව ඒක පස්සෙන් වැඩිය එලවන්න එපා කියල.

වොට්සන්: අම්මප? ඒ කාගෙන් ද?

හෝම්ස්: වොට්සන්... මිසිස් හඩ්සන් උනත් ඒ කාගෙන් ද කියල කියාවි. ඔය මොළේ පාවිච්චි කරනව යකෝ!

වොට්සන්: ආ, තේරුණා. අත්ලන්තික් සාගරෙන් එහා පැත්තෙ ඉඳන් නේද?

හෝම්ස්: අන්න හරි

වොට්සන්: දැන් ප්‍රශ්නෙ මොකක්ද?

හෝම්ස්: මේක මේ ලංකාව කියන රටේ සිද්ධියක්. ලංකාව ගැන දන්නව නේද?

වොට්සන්: අපොයි මොකද මම නොදන්නෙ? අර මෙහෙ වෙන දේවල් මුකුත් නොවෙන රට නේද? එංගලන්තෙ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ කියන එක

හෝම්ස්: ඔව් ඔව්. ඒ රටේ තමා. ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ කොටදෙණියාව කියල පළාතක.

වොට්සන්: ආ, ඔව් ඔව්. මට ආරංචි. අද මෙහෙ පත්තරවලත් තිබ්බ ඕකෙ DNA ඉෂූ එකක් කියල.

හෝම්ස්: ඒක නෙවෙයි බං ප්‍රශ්නෙ. ඒක නම් උන් දඟලල දඟලල විසඳගනී. ඕක ඔය තුන්වෙනි ලෝකෙ රටවල ප්‍රශ්නයක්. ලොකුවට හිතන්න දෙයක් නෙවෙයි. ප්‍රශ්නෙ ඒක නෙවෙයි

වොට්සන්: එහෙනම්?

හෝම්ස්: මට ඒ රටේ ඉහළම නිලධාරියෙක් කතා කළා අදම එන්න කියල. සම්පූර්ණ වියදම් එක්ක ඉල්ලන ගාණක් දෙන්නම් කීව. අනිවාර්යයෙන්ම උන් IMF එකෙන් හරි ලෝක බැංකුවෙන් හරි ණයක් දාල හරි ඕක ගෙවයි. ඒක නෙවෙයි ප්‍රශ්නෙ.

වොට්සන්: එහෙනම්?

හෝම්ස්: උන් මට දීපු ගැටලුව මට විසඳන්න බෑ!!!

වොට්සන්: මොකා?

හෝම්ස්: ඔව් වොට්සන්... හරිම භයානක තත්ත්වයක්

වොට්සන්: හරි මොකක්ද දැන් ගැටලුව?

හෝම්ස්: මතක් වෙද්දිත් ඇඟ කිළි පොළා යනවා... කො.. කොටදෙණියාව පොලිසියෙ OICගෙ මොළේ කොහෙද තියෙන්නෙ කියල හොයන එක!

(වොට්සන්ට ක්ලාන්තය දමයි)

Saturday, September 12, 2015

සිංගප්පූරු මැතිවරණයෙන් පාලක පක්ෂයට නොසිතු විරූ ජයක්

සිංගප්පූරුවේ ඊයේ පැවති මහ මැතිවරණයෙන් පාලක මහජන ක්‍රියාකාරී පක්ෂය නොසිතූ විරූ ආකාරයේ විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය​.

මහජන ක්‍රියාකාරී පක්ෂය (People's Action Party - PAP) ආසන 83 ක් ලබාගත් අතර ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂය ලබාගත්තේ ආසන 6 ක් පමණි. මහජන ක්‍රියාකාරී පක්ෂය සමස්ථ ඡන්දවලින් සියයට 69.86 ක් ලබා ගත්තේය​.
අගමැති ඇතුලු මහජන ක්‍රියාකාරී පක්ෂ Ang Mo Kio අපේක්ෂක කණ්ඩායම​

මහජන ක්‍රියාකාරී පක්ෂය මැතිවරණයෙන් ජයග්‍රහණය කරන බවට සැකයක් නොවූ නමුත් බොහෝ විචාරකයන් බලාපොරොත්තු වූයේ විපක්ෂය මීට වඩා වැඩි ආසන ප්‍රමාණයක් ලබාගනු ඇති බවය​. ආසන පහක පමණ තියුණු සටනක් බලාපොරොත්තු වුවද​, එම සියලු ආසන පාලක පක්ෂය විසින් පහසුවෙන් ජයගනු ලැබීය​.

තියුණු සටනක් වාර්තා වූ එකම ආසනය වූයේ විපක්ෂයට බලය තිබූ අල්ජුනයිඩ් කණ්ඩායම් නියෝජිත කොට්ඨාශයේ ය​ (Aljuneid Group Representative Constituency). මෙහිදී ඡන්ද නැවත ගණන් කෙරුණ අතර​, විපක්ෂ කම්කරු පක්ෂය සිය බලය රඳවා තබා ගත්තේ තියුණු සටනකින් පසුවය​.

සිංගප්පූරු මැතිවරණය පවත්වන්නේ කේවල ක්‍රමයේම වෙනස් ආකාරයකටය​. එනම් එරට තනි මන්ත්‍රී ආසන (Single Member Constituency - SMC) මෙන්ම කණ්ඩායම් නියෝජිත කොට්ඨාශ (Group Representative Constituency - GRC) ද වෙති. කණ්ඩායම් නියෝජිත කොට්ඨාශවල මන්ත්‍රීවරු සිව් දෙනකුගේ සිට සය දෙනකු දක්වා සිටිය හැක​. එම කොට්ඨාශ සඳහා තරඟ කරන පක්ෂ අදාළ මන්ත්‍රී සංඛ්‍යාවට සමාන අපේක්ෂක සංඛ්‍යාවක් ඉදිරිපත් කරති. එම ආසනය ජය ගන්නා පක්ෂයේ අපේක්ෂකයින් සියල්ලම ඒ ආසනයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වෙති. මෙම ක්‍රමය ආණ්ඩු පක්ෂයට වාසි සහගත ලෙස ක්‍රියාවට නැගෙන බැව් විපක්ෂය චෝදනා කරයි.

මෙම මැතිවරණයෙන් පසු අදහස් දැක්වූ ඇතැම් විපක්ෂ නායකයන් කියා සිටියේ මැතිවරණය පාලක පක්ෂයට වාසිදායක සමයක පැවැත්වීම විපක්ෂ ප්‍රතිඵලයට අයහපත් බලපෑමක් කළ බවය​. මාර්තු මාසයේ සිදුවූ නූතන සිංගප්පූරුවේ නිර්මාතෘ ලී ක්වාන් යූගේ මරණය සහ අගෝස්තු මාසයේ පැවති 50 වන නිදහස් සැමරුම යන අවස්ථාවලින් රජය වාසි ලබාගත් බව ඔවුහු චෝදනා කළෝය​.
අවසන් ප්‍රතිඵලය​ (The Straits Times)

අගමැති ලී සියෙන් ලූන්ග් කියා සිටියේ මැතිවරණ ප්‍රතිඵලය මගින් ජනතාව රජයේ ප්‍රතිපත්ති පිළිගෙන ඇති බව දිස්වන අතර​, විදේශික ව්‍යාපාරික ප්‍රජාවටද සිංගප්පූරුවේ ස්ථාවරභාවය පිළිබඳ පණිවිඩයක් මෙයින් ලබාදෙන බවයි.

Wednesday, September 9, 2015

තීරණාත්මක 2015 සිංගප්පූරු මැතිවරණය​

සිංගප්පූරුවේ මීළඟ මහ මැතිවරණය එළඹෙන සිකුරාදා, එනම් මෙම මස 11 වනදා පැවැත්වේ. ශ්‍රී ලංකාවේ වේලාවෙන් සිකුරාදා මධ්‍යම රාත්‍රිය පමණ වන විට මැතිවරණ ප්‍රතිඵල සියල්ල නිකුත් වනු ඇතැයි සිතිය හැකි අතර සිංගප්පූරු පාර්ලිමේන්තුවේ සංයුතිය කෙබඳු වනු ඇත්දැයි එමගින් තීරණය වනු ඇත​.

මෙම මැතිවරණය කැඳවන ලද්දේ පසුගිය සිංගප්පූරු පාර්ලිමේන්තුවේ ධූර කාළය නිම වීමට මාස අටකට පෙර වීම විශේෂත්වයකි. තවද​, මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ඉතා කෙටි කාළයක් ලබාදී තිබීම ද වැදගත් සිදුවීමකි. නමුත් සති කිහිපයක සිටම මැතිවරණයක් නුදුරු අනාගතයේදීම කැඳවන බවට ඉඟි පළ වීම හේතුවෙන් විපක්ෂ දේශපාලන පක්ෂ ද ඒ සඳහා සූදානම් වනු දක්නට ලැබුණි.

මෙවර මැතිවරණය නූතන සිංගප්පූරුවේ පියා ලෙස සැළකෙන ලී ක්වාන් යූ අභාවප්‍රාප්ත වීමෙන් පසු පැවැත්වෙන ප්‍රථම මැතිවරණය වේ. ලී ක්වාන් යූ මියගියේ පසුගිය මාර්තුවේදී ය​. ලීගේ මරණය මගින් සිංගප්පූරු වැසියන් ගේ අවධානය ඔහුගේ උරුමය වෙත නිතැතින්ම යොමු කෙරිණ​. 1959 සිට මේ දක්වා සිංගප්පූරුව පාලනය වන්නේ ලී ක්වාන් යූ මෙහෙයවූ මහජන ක්‍රියාකාරී පක්ෂය (People's Action Party - PAP) මගිනි.
සිංගප්පූරු පාර්ලිමෙන්තු සංකීර්ණය (James Mason-Hudson, Wikimedia Commons)

තවද​, මෙවර මැතිවරණය පවත්වනු ලබන්නේ සිංගප්පූරුවේ 50 වන නිදහස් දිනය සමරා මාසයකිනි. සිංගප්පූරුව මැලේසියාවෙන් වෙන්ව ස්වාධීන රටක් බවට පත් වූයේ 1965 අගෝස්තු 9 වනදා ය​. අඩ සියවස් ජාතික දිනය මෙවර අති උත්කර්ශවත් අන්දමින් සමරනු ලැබුණි. මේ අතර නිදහස් දින රැළිය අගෝස්තු 23 වනදා පවත්වන ලදී. මෙම රැළිය අවස්ථාවේද​, එරට අගමැති ලී සියෙන් ලූන්ග්, ළඟ එන මැතිවරණයක් පිළිබඳ ඉඟි කළේය​.

එයින් දින දෙකකට පසු, අගෝස්තු 25 වනදා, පාර්ලිමේන්තුව විසිරුවන ලදී. නාම යෝජනා දිනය ලෙස සැප්තැම්බර් 1 වනදා ද​, මැතිවරණ දිනය ලෙස සැප්තැම්බර් 11 ද නියම කෙරිණ​.

මෙවන් පසුබිමක මැතිවරණයක් කැඳවීමෙන් පාලක මහජන ක්‍රියාකාරී පක්ෂය බලාපොරොත්තු වූ වාසිදායක තත්ත්වය එයට හිමිවේදැයි නියමාකරයෙන් දැකිය හැකිවනු ඇත්තේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුවය​. වෙන කවරදාකටත් වඩා හොඳ ප්‍රතිඵලයක් සිංගප්පූරුවේ විපක්ෂ දේශපාලන පක්ෂ විසින් පෙන්වනු ඇති බවට බොහෝ විචාරකයෝ අනුමාන කරති.

මින් පෙර පැවති 2011 මැයි පාර්ලිමේන්තු මැතිවරණයේදී අන් කවදාටත් වඩා වැඩි ආසන ප්‍රමාණයක් මෙන්ම ඡන්ද ප්‍රතිශතයක් ද එරට විපක්ෂ පක්ෂ විසින් දිනාගන්නා ලදී.

තවද​, මෙවර මැතිවරණයේදී තවත් වාර්තාවක් තබන විපක්ෂ දේශපාලන පක්ෂ මැතිවරණයේදී තරඟ කරනු ලබන සෑම ආසනයකටම අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට සමත්ව සිටිති. මින් පෙර එකදු මැතිවරණයකදීවත් ඔවුන් සෑම ආසනයකටම තරඟ නොකළහ​.

සිංගප්පූරුවේ කිසිදු විපක්ෂ දේශපාලන පක්ෂයකට තනිව මහජන ක්‍රියාකාරී පක්ෂයට අභියෝග කිරීමේ ශක්තියක් නොමැත​. එහෙයින් එම පක්ෂ විවිධ ආසනවලට තරඟ කරන අතර​, එක තනි මන්ත්‍රී ආසනයකදී හැර අන් ආසන සඳහා එක විපක්ෂ දේශපාලන පක්ෂයකට වඩා ඉදිරිපත් නොවේ.

මැතිවරණ ක්‍රමය​

සිංගප්පූරු මැතිවරණය පවත්වන්නේ කේවල ක්‍රමයේම වෙනස් ආකාරයකටය​. එනම් එරට තනි මන්ත්‍රී ආසන (Single Member Constituency - SMC) මෙන්ම කණ්ඩායම් නියෝජිත කොට්ඨාශ (Group Representative Constituency - GRC)ද වෙති. කණ්ඩායම් නියෝජිත කොට්ඨාශවල මන්ත්‍රීවරු සිව් දෙනකුගේ සිට සය දෙනකු දක්වා සිටිය හැක​. එම කොට්ඨාශ සඳහා තරඟ කරන පක්ෂ අදාළ මන්ත්‍රී සංඛ්‍යාවට සමාන අපේක්ෂක සංඛ්‍යාවක් ඉදිරිපත් කරති. එම ආසනය ජය ගන්නා පක්ෂයේ අපේක්ෂකයින් සියල්ලම ඒ ආසනයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වෙති. මෙම ක්‍රමය ආණ් ඩු පක්ෂයට වාසි සහගත ලෙස ක්‍රියාවට නැගෙන බැව් විපක්ෂය චෝදනා කරයි. මක් නිසාද යත් වඩා විශාල ආසනවල ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා විශාල මුදලක් අවශ්‍ය බැවිනි.

සෑම මැතිවරණයකටම පෙර, සීමා නිර්ණ කමිටුව​ (Election Boundaries Review Committee) විසින් මැතිවරණය සඳහා ආසන නිර්ණය කරනු ලැබේ. මේ අනුව මෙවර මැතිවරණයෙන් කොට්ඨාශ 29 කින් මන්ත්‍රීවරුන් 89 ක් පත්කර ගැනෙනු ඇත​. මින් ආසන 13 ක් කේවල නියෝජිත කොට්ඨාශ වෙති.

විවාදයට බඳුන් වන ප්‍රධාන කරුණු

මෙවර මැතිවරණයේදී ප්‍රධාන වශයෙන් විවාදයට ගැනෙන මාතෘකාවන් අතර සංක්‍රමණිකයන් සීමා කිරීම​, ආර්ථිකය​, විශ්‍රාම වැටුප් සහ නිවාස​, ප්‍රවාහන පහසුකම් සහ පාලක පක්ෂයේ බලය අඩු කිරීම යන කරුණු වේ.

මේ පිළිබඳ එකින් එක විමසා බැලීමට මෙහි ඉඩකඩ ප්‍රමාණවත් නොවන හෙයින් ඒ පිළිබඳ වැඩිදුර සලකා බැලීම පසුවට තබනු ලැබේ.

දේශපාලන පක්ෂ​

මහජන ක්‍රියාකාරී පක්ෂය සියලු ආසන සඳහා තරඟ කරන බව කළින් සඳහන් කෙරිණ​. සිංගප්පූරුවේ විපක්ෂ පක්ෂ නවයක් වන අතර ඒවායෙන් ද අපේක්ෂකයෝ අඩු වැඩි වශයෙන් ඉදිරිපත්ව සිටිති.
මහජන ක්‍රියාකාරී පක්ෂ ආධාරකරුවන් පිරිසක් (Pic: PAP Facebook Page)

ප්‍රධානම විපක්ෂය වන කම්කරු පක්ෂය (Workers' Party) අපේක්ෂකයින් 28 ක් ඉදිරිපත් කරද්දී, ජාතික සහයෝගීතා පක්ෂය (National Solidarity Party) අපේක්ෂකයින් 12 ක් ඉදිරිපත් කර ඇත​. ප්‍රතිසංස්කරණවාදී පක්ෂය (Reform Party) සහ සිංගප්පූරු ප්‍රජාතාන්ත්‍රික පක්ෂය (Singapore Democratic Party) අපේක්ෂකයින් 11 බැගින් ද​, සිංගප්පූරු වැසියන් පළමුව පක්ෂය (Singaporeans First) අපේක්ෂකයින් 10 ක් ද​, සිංගප්පූරු ජනතා පක්ෂය (Singapore People's Party) අපේක්ෂකයින් 8 ක් ද​, සිංගප්පූරු ප්‍රජාතාන්ත්‍රික සන්ධානය (Singapore Democratic Alliance) අපේක්ෂකයින් 6 ක් ද​, මහජන බලය පක්ෂය (People's Power Party) අපේක්ෂකයින් 4 ක් ද ඉදිරිපත් කර ඇත​. තවද තනි මන්ත්‍රී ආසන දෙකකට ස්වාධීනව තරඟ වදින්නන් දෙදෙනෙක් සිටිති.

Saturday, September 5, 2015

කොකාකෝලා කම්හලෙන් කැළණි ගඟට මුසු වූයේ ඩීසල් නොවන බව හෙළි වේ


කොකාකෝලා කර්මාන්තශාලාවෙන් මෑතකදී සිදු වූ කැළණි ගඟ දූෂණය වීමේ සිද්ධියට හේතු වූයේ භූමිතෙල් හෝ ඩීසල් හෝ නොව වෙනත් කාබනික රසායනිකයක් බව හෙළිව තිබේ.

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති අලහුදීන් අන්සාර් 'ද නේශන්' පුවත්පතට පවසා තිබුණේ මෙම සිද්ධියට හේතුව මෙතිලීන් වර්ගයේ කාබනික සංයෝගයක් බව හෙළිවී ඇති බවයි.

අඹතලේ සහ කැළණි ගඟේ වෙනත් ස්ථාන කිහිපයකින් ගෙන ඉන්දියාවට යවා පරීක්ෂා කළ ඇතම් ජල සාම්පලවල ලීටරයට මිලිග්‍රෑම් 0.5 ක ප්‍රමාණයක් මෙම සංයෝගය අඩංගු වී ඇත​.

මෙතිලීන් සංයෝගවල අහිතකරභාවය සංයෝගයෙන් සංයෝගයට වෙනස් වන නමුදු ඒ සංයෝග කිසිවක් පානීය ජලය හා මුසු වීම සුදුසු නොවේ.

කෝලා බීම නිශ්පාදනය හා බැඳුන එක් මෙතිලීන් සංයෝගයක් වන්නේ 4-මෙතිලීන් ඉමිඩසෝල් (4-MeI) ය​. මෙය කැරමල් වර්ණකවල අඩංගු වන අතර 2011 දී ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තය විසින් පිළිකා ජනක සංයෝගයක් ලෙස සැක කරන සංයෝගයක් ලෙස මෙය නම් කළේය​. දිනකට මයික්‍රෝග්‍රෑම් 29 කට වඩා ගැනීම සෞඛ්‍යයට අහිතකර විය හැකි බව කැලිෆෝර්නියා ප්‍රාන්තය නිගමනය කළේය​. කෝලා බීමවල ලීටරයක මයික්‍රෝග්‍රෑම් 700 දක්වා මෙම සංයෝගය අඩංගු විය හැකි බව පරීක්ෂණ මගින් පෙන්වා දී ඇත​.

Friday, June 19, 2015

බ්‍රිතාන්‍යයන් විසින් සාඩම්බරයෙන් සමරන වෝටර්ලූ සංග්‍රාමය​

බ්‍රිතාන්‍ය හමුදා ඉතිහාසය තුල වෝටර්ලූ සංග්‍රාමය කෙරෙහි දක්වන විශාල අවධානය එක්තරා ආකාරයකින් අධි තක්සේරුවකි. අනෙක් අතින් එහි වරදක් ද නැත​. නමුත් බොහෝ දෙනා විසින් අමතක කරනු ලබන කාරණය නම්, වෝටර්ලූ සංග්‍රාමයේදී නැපෝලියන් පරාජය වීම ඔහුගේ වැටීම ඉක්මන් කළා පමණක් බවයි. යම් හෙයකින් නැපෝලියන් එම සටනෙන් දිනූවද​, ඔහුගේ වැටීම ඒ වන විට අනිවාර්යයෙන් සිදු විය යුත්තක් බවට පත්ව තිබුණි.

අනෙක් අතට​, බ්‍රිතාන්‍යය මෙම සටන ජය ගැනීම නැපෝලියන් අධිරාජයාගේ වැටීම පිළිබඳ ගෞරවයෙන් වැඩි කොටස එම රටට දිනා දීමට සමත් වූයේය​. යම් හෙයකින් එම සටනෙන් නැපෝලියන් ජය ලද්දේ නම්, නැපෝලියන් පරාජය කිරීමේ අවසාන ගෞරවය වෙනත් රටකට අයත් වීමට ඉඩ තිබිණ​.

1814 අප්‍රේල් මාසයේදී සිහසුන අතැර ගිය නැපෝලියන් නැවත බලයට පැමිණියේ 1815 මාර්තුවේය​. ඔහු එතැන් පටන් මිත්‍ර පාක්ෂික රටවලට එරෙහිව ආරම්භ කළේ ජය ගැනීමට අතිශයින්ම අපහසු සටනකි. බ්‍රිතාන්‍යය​, රුසියාව, ඔස්ට්‍රියාව යන දැවැන්තයින් ද​, ප්‍රශියාව, ස්වීඩනය ආදී තවත් රටවල් කිහිපයකින් ද සැදුම් ලත් 'හත්වැනි සන්ධානයට​' එදිරිව කෙරුන අරගලයකින් දුර්වල වී සිටි ප්‍රංශය ජයගනිතැයි සිතීම උගහට වූයේය​.
ප්‍රංශයේ සහ ඒ අවට හමුදා ස්ථානගතව තිබූ අයුරු (1815 ජූනි 1)

තමා සිටි නරක තත්ත්වය පිළිබඳ මනා වැටහීමක් තිබූ නැපෝලියන් මේ අවස්ථාවේ කළේ කළ හැකිව තිබූ එකම උපක්‍රමයය​. එනම්, ප්‍රතිවාදී හමුදා ඒකාබද්ධ වීමට පෙර ඔවුනට පහර දීමය​. නැපෝලියන් සිය හමුදා බෙල්ජියම කරා මෙහෙයවූයේ එම අරමුණෙනි.

ජෙනරාල් ගර්බාර්ඩ් ෆොන් බ්ලූශර් විසින් මෙහෙයවුන ප්‍රශියානු හමුදාවක් සමඟ නැපෝලියන් ජුනි 16 වනදා ගැටුනේ ලිග්නි හිදීය​. මෙහිදී ප්‍රශියානු සේනාංකය පරාජය වූ නමුදු ක්‍රමානුකූලව පසු බැස්සේ තවත් දිනෙක සටන් කිරීමේ හැකියාව ඉතිරි කරගනිමිනි. එම සේනාංකය ලුහුබැඳ පලවා හැරීමට සමත් නොවීම නැපෝලියන් කළ බරපතල වරදකි.

මේ අතර ජුනි 16 වනදා මාර්ෂල් නී යටතේ වූ තවත් සේනාංකයක් ක්වාත්‍ර බ්‍රාස් හිදී නෙදර්ලන්ත හමුදාවකට පහර දුන්නේය​. මේ අවස්තාවේ වෙලින්ටන් සිය හමුදා එහි මෙහෙයවා මාර්ෂල් නී ගේ හමුදාව පළවා හැරියේය​.

කෙසේ වුවද බ්ලූශර්ගේ හමුදා පසු බැසීම හේතුවෙන් වෙලින්ටන්ට සිය හමුදාව ක්වාත්‍ර බ්‍රාස් හි තබා ගැනීම අවදානම් බව පෙනී ගියේය​. මේ හේතුවෙන් ඔහු කළේ බ්‍රසල්ස් නගරයෙන් දකුණු දෙසට වන්නට පිහිටි වෝර්ටලූ වෙතට සිය හමුදා මෙහෙයවීමය​. වෙලින්ටන් මුණ ගැසේයයි අදහසින් ක්වාත්‍ර බ්‍රාස් වෙත පැමිණි නැපෝලියන්ට ඔහු හමු වූයේ නැත​.

මේ අනුව නැපෝලියන් සිය ප්‍රධාන බල සෙනඟ වෝටර්ලූ බලා මෙහෙයවූ අතර මාර්ෂල් ග්‍රෞචි යටතේ වූ තවත් සේනාංකයක් පසුබැස ගිය බ්ලූශර් හඹා යාමට යැවීය​.

1815 ජූනි 18 වන දා, එම තීරණාත්මක දිනයේ, වැඩි වාසි තිබුණේ බ්‍රිතාන්‍ය සහ ප්‍රශියානු හමුදාවලටය​. වෝර්ටලූ පෙරමුණ පහසුවෙන් ආරක්‍ෂා කළ හැකි වූ ස්ථානයක පිහිටියේය​. මේ අතරම ප්‍රශියානු හමුදාවද සිටියේ වැඩි ඈතක නොවේ. නමුත් නැපෝලියන්ට පහර දෙනු හැර විකල්පයක් නොවීය​.

සටන හරියටම ඇරඹුනේ කිනම් වේලාවකදැයි තවමත් ඉතිහාසකරුවන් අතර මතභේද පවතී. නමුත් සහතික වශයෙන්ම කිව හැක්කේ සටන 1815 ජූනි 18 වනදා උදෑසන 10 ට පමණ හෝ ඊට තරමක් පසුව හෝ ඇරඹි බවයි. අවස්ථා කිහිපයකදීම ප්‍රංශ හමුදා ප්‍රතිවාදී සටන් පෙරමුණ දෙස කඩා පැන්නද ඒ සෑම අවස්ථාවකදීම ඔවුන් පළවා හරින ලදී.

ප්‍රශියානු හමුදා මුලින්ම සටන් බිමෙහි මතු වූයේ දහවල් එකට පමණ ය​. සවස් වනවිට ප්‍රංශ සහ මිත්‍ර රටවල හමුදා දරුණු ලෙස සටන් කරන අතරවාරයේ ප්‍රධාන ප්‍රශියානු බල ඇණි ප්‍රංශ හමුදාවේ දකුණුපස පෙරමුණෙන් පහර දුන්හ​. මේ අතර, වහා වෝටර්ලූ වෙත පැමිණෙන ලෙස නැපෝලියන් විසින් ග්‍රෞචි වෙත යවන ලද පණිවිඩය ඔහුට ලැබෙන විට සටන බොහෝකොටම අවසන් වී තිබිණ​. රාත්‍රී දහය පමණ වනවිට සටන නිමා වූයේ මිත්‍ර හමුදාවලට ජය අත්කර දෙමිනි.

වෝටර්ලූ යනු නියම වශයෙන් ගතහොත් නැපෝලියනික් යුද්ධවල නිමාව නොවීය​. ග්‍රෞචිගේ හමුදා ජූනි 19 වනදා ප්‍රශියානු පසුපෙළ සේනාවක් හා ගැටී එය පරාජය කළේය​. නැපෝලියන් යටත් වූ පසුද ඇතැම් ප්‍රංශ බලකොටු යටත් නොවීය​. ඇතැම් ප්‍රංශ සෙන්පතියන්ට අවශ්‍ය වූයේ දිගටම සටන ගෙනයාමයි. නමුත් නැපෝලියන් සිහසුන අත හැරීමේ තීරණයට එළඹියේය​. ඔහු 1815 ජූනි 24 වනදා දෙවන වරටද සිහසුන අතැර, බ්‍රිතාන්‍යයන්ට යටත් විය​. හෙතෙම සාන්ත හෙලේනාවට පිටුවහල් කරන ලදී.

නැපෝලියන්ගේ පරාජය සඳහා බ්‍රිතාන්‍යයේ දායකත්වය කිසිසේත් අවතක්සේරු නොකළ යුත්තේය​. එරට වෙළෙඳ හා නාවික බලයට එදිරි වීමට ශක්තියක් නැපෝලියන්ට නොවීය​. එමෙන්ම​, අනෙක් අතට, ප්‍රංශයේ යුධ හමුදාව සමඟ සටන් වැදීමට තරම් තනි ශක්තියක් බ්‍රිතාන්‍ය යුධ හමුදාවට තිබුණේද නැත​.

සත්‍ය වශයෙන්ම​, නැපෝලියන්ගේ පරාජය යනු බ්‍රිතාන්‍ය වෙළෙඳ ක්‍රමය ඉදිරියේ නැපෝලියන්ගේ මහාද්වීපික පටිපාටියේ පරාජයය​. එමෙන්ම බ්‍රිතාන්‍ය වාණිජ බලයේ මස්තකප්‍රාප්තිය සනිටුහන් කළ අවස්ථාවය​. නමුත්, අර්ධද්වීප යුද්ධය​, මොස්කව් යුධ ව්‍යාපාරය සහ 1813 ලිප්සිග් සටන නොවන්නට 1815 වෝටර්ලූ සංග්‍රාමයක් සිදු නොවන්නේය​.