Friday, June 19, 2015

බ්‍රිතාන්‍යයන් විසින් සාඩම්බරයෙන් සමරන වෝටර්ලූ සංග්‍රාමය​

බ්‍රිතාන්‍ය හමුදා ඉතිහාසය තුල වෝටර්ලූ සංග්‍රාමය කෙරෙහි දක්වන විශාල අවධානය එක්තරා ආකාරයකින් අධි තක්සේරුවකි. අනෙක් අතින් එහි වරදක් ද නැත​. නමුත් බොහෝ දෙනා විසින් අමතක කරනු ලබන කාරණය නම්, වෝටර්ලූ සංග්‍රාමයේදී නැපෝලියන් පරාජය වීම ඔහුගේ වැටීම ඉක්මන් කළා පමණක් බවයි. යම් හෙයකින් නැපෝලියන් එම සටනෙන් දිනූවද​, ඔහුගේ වැටීම ඒ වන විට අනිවාර්යයෙන් සිදු විය යුත්තක් බවට පත්ව තිබුණි.

අනෙක් අතට​, බ්‍රිතාන්‍යය මෙම සටන ජය ගැනීම නැපෝලියන් අධිරාජයාගේ වැටීම පිළිබඳ ගෞරවයෙන් වැඩි කොටස එම රටට දිනා දීමට සමත් වූයේය​. යම් හෙයකින් එම සටනෙන් නැපෝලියන් ජය ලද්දේ නම්, නැපෝලියන් පරාජය කිරීමේ අවසාන ගෞරවය වෙනත් රටකට අයත් වීමට ඉඩ තිබිණ​.

1814 අප්‍රේල් මාසයේදී සිහසුන අතැර ගිය නැපෝලියන් නැවත බලයට පැමිණියේ 1815 මාර්තුවේය​. ඔහු එතැන් පටන් මිත්‍ර පාක්ෂික රටවලට එරෙහිව ආරම්භ කළේ ජය ගැනීමට අතිශයින්ම අපහසු සටනකි. බ්‍රිතාන්‍යය​, රුසියාව, ඔස්ට්‍රියාව යන දැවැන්තයින් ද​, ප්‍රශියාව, ස්වීඩනය ආදී තවත් රටවල් කිහිපයකින් ද සැදුම් ලත් 'හත්වැනි සන්ධානයට​' එදිරිව කෙරුන අරගලයකින් දුර්වල වී සිටි ප්‍රංශය ජයගනිතැයි සිතීම උගහට වූයේය​.
ප්‍රංශයේ සහ ඒ අවට හමුදා ස්ථානගතව තිබූ අයුරු (1815 ජූනි 1)

තමා සිටි නරක තත්ත්වය පිළිබඳ මනා වැටහීමක් තිබූ නැපෝලියන් මේ අවස්ථාවේ කළේ කළ හැකිව තිබූ එකම උපක්‍රමයය​. එනම්, ප්‍රතිවාදී හමුදා ඒකාබද්ධ වීමට පෙර ඔවුනට පහර දීමය​. නැපෝලියන් සිය හමුදා බෙල්ජියම කරා මෙහෙයවූයේ එම අරමුණෙනි.

ජෙනරාල් ගර්බාර්ඩ් ෆොන් බ්ලූශර් විසින් මෙහෙයවුන ප්‍රශියානු හමුදාවක් සමඟ නැපෝලියන් ජුනි 16 වනදා ගැටුනේ ලිග්නි හිදීය​. මෙහිදී ප්‍රශියානු සේනාංකය පරාජය වූ නමුදු ක්‍රමානුකූලව පසු බැස්සේ තවත් දිනෙක සටන් කිරීමේ හැකියාව ඉතිරි කරගනිමිනි. එම සේනාංකය ලුහුබැඳ පලවා හැරීමට සමත් නොවීම නැපෝලියන් කළ බරපතල වරදකි.

මේ අතර ජුනි 16 වනදා මාර්ෂල් නී යටතේ වූ තවත් සේනාංකයක් ක්වාත්‍ර බ්‍රාස් හිදී නෙදර්ලන්ත හමුදාවකට පහර දුන්නේය​. මේ අවස්තාවේ වෙලින්ටන් සිය හමුදා එහි මෙහෙයවා මාර්ෂල් නී ගේ හමුදාව පළවා හැරියේය​.

කෙසේ වුවද බ්ලූශර්ගේ හමුදා පසු බැසීම හේතුවෙන් වෙලින්ටන්ට සිය හමුදාව ක්වාත්‍ර බ්‍රාස් හි තබා ගැනීම අවදානම් බව පෙනී ගියේය​. මේ හේතුවෙන් ඔහු කළේ බ්‍රසල්ස් නගරයෙන් දකුණු දෙසට වන්නට පිහිටි වෝර්ටලූ වෙතට සිය හමුදා මෙහෙයවීමය​. වෙලින්ටන් මුණ ගැසේයයි අදහසින් ක්වාත්‍ර බ්‍රාස් වෙත පැමිණි නැපෝලියන්ට ඔහු හමු වූයේ නැත​.

මේ අනුව නැපෝලියන් සිය ප්‍රධාන බල සෙනඟ වෝටර්ලූ බලා මෙහෙයවූ අතර මාර්ෂල් ග්‍රෞචි යටතේ වූ තවත් සේනාංකයක් පසුබැස ගිය බ්ලූශර් හඹා යාමට යැවීය​.

1815 ජූනි 18 වන දා, එම තීරණාත්මක දිනයේ, වැඩි වාසි තිබුණේ බ්‍රිතාන්‍ය සහ ප්‍රශියානු හමුදාවලටය​. වෝර්ටලූ පෙරමුණ පහසුවෙන් ආරක්‍ෂා කළ හැකි වූ ස්ථානයක පිහිටියේය​. මේ අතරම ප්‍රශියානු හමුදාවද සිටියේ වැඩි ඈතක නොවේ. නමුත් නැපෝලියන්ට පහර දෙනු හැර විකල්පයක් නොවීය​.

සටන හරියටම ඇරඹුනේ කිනම් වේලාවකදැයි තවමත් ඉතිහාසකරුවන් අතර මතභේද පවතී. නමුත් සහතික වශයෙන්ම කිව හැක්කේ සටන 1815 ජූනි 18 වනදා උදෑසන 10 ට පමණ හෝ ඊට තරමක් පසුව හෝ ඇරඹි බවයි. අවස්ථා කිහිපයකදීම ප්‍රංශ හමුදා ප්‍රතිවාදී සටන් පෙරමුණ දෙස කඩා පැන්නද ඒ සෑම අවස්ථාවකදීම ඔවුන් පළවා හරින ලදී.

ප්‍රශියානු හමුදා මුලින්ම සටන් බිමෙහි මතු වූයේ දහවල් එකට පමණ ය​. සවස් වනවිට ප්‍රංශ සහ මිත්‍ර රටවල හමුදා දරුණු ලෙස සටන් කරන අතරවාරයේ ප්‍රධාන ප්‍රශියානු බල ඇණි ප්‍රංශ හමුදාවේ දකුණුපස පෙරමුණෙන් පහර දුන්හ​. මේ අතර, වහා වෝටර්ලූ වෙත පැමිණෙන ලෙස නැපෝලියන් විසින් ග්‍රෞචි වෙත යවන ලද පණිවිඩය ඔහුට ලැබෙන විට සටන බොහෝකොටම අවසන් වී තිබිණ​. රාත්‍රී දහය පමණ වනවිට සටන නිමා වූයේ මිත්‍ර හමුදාවලට ජය අත්කර දෙමිනි.

වෝටර්ලූ යනු නියම වශයෙන් ගතහොත් නැපෝලියනික් යුද්ධවල නිමාව නොවීය​. ග්‍රෞචිගේ හමුදා ජූනි 19 වනදා ප්‍රශියානු පසුපෙළ සේනාවක් හා ගැටී එය පරාජය කළේය​. නැපෝලියන් යටත් වූ පසුද ඇතැම් ප්‍රංශ බලකොටු යටත් නොවීය​. ඇතැම් ප්‍රංශ සෙන්පතියන්ට අවශ්‍ය වූයේ දිගටම සටන ගෙනයාමයි. නමුත් නැපෝලියන් සිහසුන අත හැරීමේ තීරණයට එළඹියේය​. ඔහු 1815 ජූනි 24 වනදා දෙවන වරටද සිහසුන අතැර, බ්‍රිතාන්‍යයන්ට යටත් විය​. හෙතෙම සාන්ත හෙලේනාවට පිටුවහල් කරන ලදී.

නැපෝලියන්ගේ පරාජය සඳහා බ්‍රිතාන්‍යයේ දායකත්වය කිසිසේත් අවතක්සේරු නොකළ යුත්තේය​. එරට වෙළෙඳ හා නාවික බලයට එදිරි වීමට ශක්තියක් නැපෝලියන්ට නොවීය​. එමෙන්ම​, අනෙක් අතට, ප්‍රංශයේ යුධ හමුදාව සමඟ සටන් වැදීමට තරම් තනි ශක්තියක් බ්‍රිතාන්‍ය යුධ හමුදාවට තිබුණේද නැත​.

සත්‍ය වශයෙන්ම​, නැපෝලියන්ගේ පරාජය යනු බ්‍රිතාන්‍ය වෙළෙඳ ක්‍රමය ඉදිරියේ නැපෝලියන්ගේ මහාද්වීපික පටිපාටියේ පරාජයය​. එමෙන්ම බ්‍රිතාන්‍ය වාණිජ බලයේ මස්තකප්‍රාප්තිය සනිටුහන් කළ අවස්ථාවය​. නමුත්, අර්ධද්වීප යුද්ධය​, මොස්කව් යුධ ව්‍යාපාරය සහ 1813 ලිප්සිග් සටන නොවන්නට 1815 වෝටර්ලූ සංග්‍රාමයක් සිදු නොවන්නේය​.

12 comments:

  1. ස්තුතියි අමතක වූ තැන් මතක් උනා..

    ReplyDelete
  2. ආසාවෙන් කියවීමි

    ReplyDelete
    Replies
    1. එහෙනම් එච්චරයි... :)

      Delete
  3. අවුරුදු දෙසීයක් පරණ යුද්දයක් දෙවැනි ලෝක යුද්දේ දිනා ගත්තාට වඩා වැඩියෙන් බ්‍රිතාන්‍යයන් සමරන්නේ දෙවැනි ලෝක යුද්දේ මිත්‍ර පාර්ශවයේ අනෙක් රටවල් වෙච්චි ඇමරිකාව හා රුසියාවට වඩා තමන්ගේ දායකත්වය අඩුයි කියන ස්වයං තක්සේරුවක් හින්දාවත්ද?

    ReplyDelete
    Replies
    1. නෑ... මම හිතන්නෙ වෝටර්ලූ තමයි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ සහ වෙළෙඳ බලයේ කූටප්‍රාප්තිය​. දෙවනි ලෝක යුද්ධය කියන්නේ අධිරාජ්‍යයේ කඩා වැටීමේ පටන් ගැන්ම නෙ.

      Delete
  4. මේ වැඩේ හිංදා ප්‍රංශ ජාතිකයන්ගේ හිත් රිදෙනවා කියලා මුංට තේරෙන්නැති හැටියක් අම්මපා :D

    ReplyDelete
    Replies
    1. නොතේරෙන්නෙ නෑ... හොඳට තේරෙනවා

      Delete
  5. බොහොම හොඳ ලිපියක්. මේ විස්තර වඩාත් වැදගත් වන පිරිස් දෙකක් ඉන්නවා. එකක් යුරෝපීය ඉතිහාසය හදාරන අය. අනික් පිරිස පුහුණුව ලබන හමුදා නිළධාරීන්.

    මේ සටනේදී යොදාගෙන තිබෙන යුද න්‍යායන් අදත් යොදාගන්නවා. නැපෝලියන් යෙදුවේ block and assault නමැති න්‍යාය. මිත්‍ර හමුදා යෙදුවේ advance in contact නමැති න්‍යාය.

    ReplyDelete
    Replies
    1. එකතු කිරීමට ස්තූතියි... :)

      Delete
  6. ස්තූතියි හොද ලිපියක් නමුත් මේ කරුණු සම්බන්ධව ඇති අල්ප දැනුම නිසා හරවත් යමක් එකතු කරන්නට නොහැකියි ඒ ගැන කණගාටුයි...
    ස්තූතියි ආයෙමත් එන්නං ආයෙත්

    ReplyDelete