Showing posts with label USSR. Show all posts
Showing posts with label USSR. Show all posts

Friday, April 23, 2021

ලෙනින් තම ආරූඪ නාමය තෝරාගත්තේ කෙසේද?

සෝවියට් රුසියාවේ සහ සෝවියට් දේශයේ නිර්මාතෘ ව්ලදිමීර් ඉලීච් උල්යානෆ් වඩාත් ප්‍රසිද්ධ වුණේ ලෙනින් යන නමින්. ලෙනින් යනු ඔහු 1901 දි පමණ භාවිතයට ගන්නා ලද ආරූඪ නාමයක්. සාමාන්‍යයෙන් රහසිගත දේශපාලනයේ යෙදුණ බල්ෂවික්වාදීන් මෙවැනි ආරූඪ නාම භාවිතා කිරීම ප්‍රකට කරුණක් වුණා. එමෙන්ම ඔවුන් ඇතැම්විට එවන් නම් ගණනාවක් භාවිතා කළා.

ලෙනින් යනු උල්යානෆ් භාවිතා කළ ආරූඪ නාම 146 කින් එකක්. මේ නම් අතර රුසියානු නම් 129 ක් සහ විදෙස් නම් 17 ක් වූ බවයි කියවෙන්නේ.


නමුත් ඔහු භාවිතා කළ අන් සියළු නම්වලට වඩා ප්‍රකට වූයේ ලෙනින් යන නමයි. ඔහු ඒ නම තෝරාගත්තේ කවර හේතුවක් නිසාද යන්නත් විවාදයට තුඩුදෙන කතාවක්. උල්යානෆ් කිසිදු දිනෙක ලෙනින් යන නමෙහි උපත පැහැදිලි නොකළ හෙයින් මෙම විවාදය කිසිදිනෙක සම්පූර්ණයෙන් විසඳෙනු ඇතැයි සිතන්නත් අපහසුයි.

ලේනා නදියෙන් ලෙනින්

මෙයින් වඩාත් ජනප්‍රිය සහ වැඩි පිළිගැනීමක් ලැබී ඇති මතය වන්නේ ලෙනින් සිය නාමය රුසියාවේ මහා ගංගාවක් වන ලේනා නදිය ඇසුරින් ගෙතූ බවයි. ඇතැමුන් විශ්වාස කරන්නේ එය ලේනා හෝ එලේනා හෝ යන කාන්තා නම ඇසුරින් ගොඩනගන ලද බවයි. එහෙත් එය එතරම් ජනප්‍රිය මතයක් නොවේ.

Pic - The Moscow Times

ලෙනින්ගේ ලේලියක වූ ඔල්ගා උල්යානවා ද විශ්වාස කරන්නේ ලේනා නදිය ඇසුරින් ලෙනින් යන නම පටබඳින්නට ඇති බවයි. එකල වොල්ගා නදිය ආශ්‍රයෙන් පටබැඳුණ වොල්ගින් යන නම බොහෝදෙනා භාවිතා කරන ලද හෙයින් එය උල්යානෆ් භාවිතා නොකළ බව ඇය විශ්වාස කරනවා.

රුසියානු මාක්ස්වාදයේ පියාලෙස සැලකෙන ප්ලෙහානෆ් වොල්ගින් යන නම භාවිතා කළ නිසා ඔහුව උපහාසයට ගැනීමටත් උල්යානෆ් ලෙනින් යන නම ගත්තේ යයි මතයක් තිබෙනවා. එසේ වී නම් එය රුසියානු වාමාංශිකයන්ට පමණක් වැටහෙන දේශපාලන උපහාසයක් වන්නට ඇති.

ගමන් බලපත්‍රයක්

ලෙනින් තමන්ව "එන්. ලෙනින්" යනුවෙන් හඳුන්වාගන්නට පටන්ගෙන ඇත්තේ 1901 දී යි. එයට සමකාලීනව ඔහුට ඔහුගේ මිතුරකු සිය පියාගේ පැරණි ගමන් බලපත්‍රයක් දුන් බවට සඳහන් වනවා. එහි අයිතිකරුගේ නම නිකොලායි ඊගරවිච් ලෙනින් වූ අතර එහි උපන්දිනය වෙනස් කර තිබුණ බව සඳහන්. රටින් පිටවීමට වරක් ලෙනින්ට මෙම ගමන් බලපත්‍රය උපකාර වූ බව කියවෙනවා. කෙසේ නමුත් පසුව ඔහු ඒ නම භාවිතා කරන්නට අදහස් කර ඇතැයි මේ මතය අනුව පැවසෙනවා.

නිකොලායි ලෙනින්ගේ පවුල රදළ පවුලක්. සයිබීරියාවෙහි රුසියන් බලය තහවුරු කිරීමේදී එක්තරා කොසැක්වරයෙක් සැලකියයුතු කර්තව්‍යයක් කර තිබෙන අතර එක් සීත කාලයක් ලේනා නදිය අසළ ගතකර තිබෙනවා. එහෙයින් ඔහුට ලෙනින් යනුවෙන් නමක් ලැබී තිබෙනවා. නිකොලායි ලෙනින් ඔහුගෙන් පැවතෙන්නෙක්. ඔහු කලක් රජයේ උපදේශකයකුව සිටි අතර විශ්‍රාම ගැනීමෙන් අනතුරුව යරොස්ලාව් ප්‍රදේශයේ ජීවත් වුණා.

කෙසේ වෙතත් නිකොලායි ලෙනින් මියගියේ 1902 දී බවයි සඳහන් වන්නේ. ඒ වනවිට ව්ලදිමීර් ඉලීච් සිය ආරූඪ නාමය භාවිතා කිරීමට පටන්ගෙන තිබුණා.

තොල්ස්තෝයි පාඨකයා

ලෙනින් රුසියාවේ මහා ගත්කතුවර ලෙව් තොල්ස්තෝයි මහත් රුචියෙන් කියවූවෙක්. එමෙන්ම ඔහු තොල්ස්තෝයි හඳුන්වා දුන්නේ "රුසියානු විප්ලවයේ කැඩපත" ලෙසයි. තොල්ස්තෝයි ලියූ "කසාකි" (කොසැක්වරු) නම් නවකතාවක අලේනින් (Olenin) නම් චරිතයක් වනවා. කොකේසස් ප්‍රදේශයට පිටුවහල් කෙරෙන අලේනින් එහි ස්වභාව සෞන්දර්යයට ආශක්ත වනවා. 1898 දී තමන් සයිබීරියාවට පිටුවහල් කෙරෙද්දී ව්ලදිමීර් ඉලීච් මෙම නවකතාව කියවූ බව ඔහුගේ බිරිඳ නදේස්දා කෘප්ස්කායා පවසනවා. අලේනින් සහ තමන් අතර සමාන්තර ස්වභාවයක් ලෙනින්ට හැඟෙන්නට ඇතැයි සිතන්න පුළුවන්. මෙම නම ඇසුරින් ලෙනින් තමන්ගේ නම ද තෝරාගන්නට ඇතැයි සිතිය හැකි බවයි ඇතැම් ඉතිහාසකරුවන් පෙන්වා දෙන්නේ.


ප්‍රධාන මූලාශ්‍රය: Why did Vladimir Lenin adopt the name ‘Lenin’? (Russia Beyond)

Monday, April 12, 2021

සර්බියාවෙන් සෝවියට් අභ්‍යවකාශගාමීන් සමරා මුද්දර එකතුවක්

අභ්‍යවකාශයට ගිය පළමු මිනිසා වූ යූරි ගගාරින්ගේ ඓතිහාසික අභ්‍යවකාශ ගමනට අද වසර 60 ක් සපිරෙනවා. 1961 අප්‍රේල් 12 වනදා වස්තොක්-1 යානයෙන් ඔහු අභ්‍යවකාශගත වුණා.


මෙම අවස්ථාව සැමරීමට සර්බියාව සමරු මුද්දර එකතුවක් මුද්‍රණය කර තිබෙනවා. එම එකතුවෙහි ගගාරින් මෙන්ම දෙවන සෝවියට් අභ්‍යවකාශගාමියා වූ ගර්මන් තිතෝෆ් (Gherman Titov) සහ පළමු කාන්තා අභ්‍යවකාශගාමියා වූ වැලන්තිනා තෙරෙෂ්කෝවා ද සැමරීම සඳහා මුද්දර සහ මුල් දින කවර වනවා.




ගර්මන් තිතෝෆ්ගේ අභ්‍යවකාශ ගමන සිදුවූයේ 1961 අගෝස්තු 6 වනදා වස්තොක්-2 යානයෙන්. ඒ වනවිට ඇමරිකාවේ ඇල්න් ෂෙපර්ඩ් සහ ගස් ග්‍රිසම් අභ්‍යවකාශ ගමන්වල නිරතව තිබුණෙන් ඔහු අභ්‍යවකාශගත වූ ලොව සිව්වැන්නා වුණා. කෙසේ වෙතත් පැය විසි පහක් වූ සිය සම්පූර්ණ ගමනේදී ඔහු පෘථිවිය වටා එක්වරකට වඩා ගමන් කළ මුල්ම තැනැත්තා වෙමින් 17 වරක් ඒ වටා ගමන් කළා. තිතෝෆ් ඒ වනවිට 26 වන උපන් දිනය ද පසුකර තිබුණේ නැහැ. එහෙයින් ඔහු අදටත් අභ්‍යවකාශගතවූ ලාබාලම පුද්ගලයා වනවා.

තෙරෙෂ්කෝවා වස්තොක්-6 යානයෙන් අභ්‍යවකාශගත වූයේ 1963 ජූනි 6 වනදා යි. ඒ වනවිට ඇයගේ වයස අවුරුදු 26 යි මාස 5 ක් වුණා.

Wednesday, July 29, 2020

සෝවියට් සිනමාකරුවන්ගේ කැරැල්ලෙන් තිරගත වීමට වරම් ලද Repentance

සෝවියට් පාලන කාලය තුළ සිනමාකරුවන්, ලේඛකයන්, සංගීතවේදීන් ආදී කලා ක්ෂේත්‍රයන් හි නියැළුණ අයව මධ්‍යගත සංගම්වලට සංවිධානය කිරීමේ ක්‍රමවේදයක් පැවතුණා. එසේ කළවිට, ඔවුන්ව පාලනය කිරීම පහසු වුණා. සෝවියට් රජයයන් ඔවුන් වෙත සැලකූවේ සහන හා තර්ජන මිශ්‍ර ක්‍රමවේදයකින්. රජයේ මතය සමග යනතෙක් විවිධ අයුරින් උපකාර කිරීමත් පිට පනින්නන්ට සීමා පැනවීමත් මෙසේ සිද්ධ වුණා.

මෙම සංගම්වලට නිලධාරීන් පත් කෙරුණේ කොමියුනිස්ට් පක්ෂයට අවශ්‍ය විදියටයි. වඩාත් නිවැරදිව කිව්වොත් පක්ෂයේ දේශපාලන මණ්ඩලයට අවශ්‍ය ආකාරයට යි. මෙසේ නිලතලවලට පුද්ගලයින් නම් කිරීම දේශපාලන මණ්ඩලය විසින් සිදු කෙරුණ මේ සංගම්වල මහාසභා විසින් එම නම් අනුමත කිරීම පමණක් සිදු වුණා.

මිහායිල් ගොර්බචොෆ් සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ලෙස පත් වූ පසුවත් මෙම ක්‍රමය එකවර වෙනස් වූයේ නැහැ. එහෙත් ගොර්බචොෆ් යනු වෙනස් ආකාරයක නායකයකු බව පෙනෙන්නට පටන් ගන්න බොහෝ කල් ගත වූයේ නැහැ.

ප්‍රචාරණ මාධ්‍යයක් ලෙස සිනමවේ වූ වැදගත්කම සෝවියට් නායකත්වය මුල සිටම තේරුම්ගෙන තිබුණා. සෝවියට් යුගයේ මුල්කාලයේදී, සාක්ෂරතාවයෙන් යුතු ජන ප්‍රතිශතය අඩු වූයෙන් එහි වැදගත්කම තවත් වැඩි වුණා. වැඩි පිරිසක් වෙත සිය පණිවිඩය යැවීමට සිනමාව සුදුසුම මාධ්‍යය බව සෝවියට් රජය විශ්වාස කළා. "සිනමාව අපට වැදගත්ම වන කලා මාධ්‍යය යි" යනුවෙන් සෝවියට් රුසියාවේ සංස්කෘතික කටයුතු පිළිබඳ මහජන කොමිසාර් වූ ලුනචාර්ස්කි සමග ලෙනින් පවසා ඇතැයි ද සඳහන්.

නමුත්, සෝවියට් රජයට එරෙහිව සංගමයක් ලෙස මුලින්ම කැරලි ගැසුයේ ද සිනමාකරුවන්ගේ සංගමය යි. 1986 දි, සාමාන්‍ය විදියටම, කොමියුනිස්ට් පක්ෂය විසින් සිනමාකරුවන්ගේ සංගමයට නිලධාරී මණ්ඩලය යෝජනා කරලා එවනු ලැබුණා. එහෙත්, මැයි 13-15 දිනවල තිබුණ මහා සභා රැස්වීමෙදි මේ නම් එක්ක තමුන්ම යෝජනා කළ විකල්ප ද ඉදිරිපත් කරන්න සංගමයේ නාම යෝජනා කමිටුව ක්‍රියා කළා. පක්ෂයේ යෝජනා පරාජය කෙරුණා.

මේ කැරැල්ල පිළිබඳ ප්‍රතිසංස්කරණවාදී පිරිස් විරුද්ධ වුණේ නැහැ. එහෙත් දැඩිමතධාරී කොමියුනිස්ට්වාදීන් ඊට විරෝධය පළකළා. එමෙන්ම ඇතැම් අය චෝදනා කළේ මෙය ගොර්බචොෆ් කඳවුර විසින් කලින් සැලසුම් කර සිදුකළ දෙයක් කියා යි. එහෙත් මෙම අවස්ථාවට සහභාගී වූ සිනමාවේදී මායා තුරව්ස්කයියා සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ එවැනි පෙර සූදානමක් පිළිබඳ නොදන්නා බවයි. මේ සිද්ධිය ඔවුන් ද පුදුමයට පත් කළේ යයි ඇය කියා සිටියා.

සම්මේලනයේදී කතා කළ සිනමාකරුවන් බොහෝ දෙනෙකු රජය කෙරෙහි සිය අප්‍රසාදය පළ කළා. ඔවුන්ගේ සිනමා නිර්මාණ එක්කෝ සංස්කරණය කිරීමට හෝ තිරගත කිරීමට ඉඩ නොදීමට හෝ රජය ක්‍රියාකර තිබුණා.

කෙසේ වෙතත්, සංගමයේ නව සභාපති වූ එලේම් ක්ලීමෆ් තම මුල්ම අරමුණ කරගත්තේ තහනම් වූ නිර්මාණ තිරගත කරවාගැනීම යි. 1984 දී වැඩ අවසන් කළ, ජෝර්ජියානු සිනමාවේදී ටෙන්ගිස් අබුලඩ්සේ විසින් අධ්‍යක්ෂණය කෙරුණ Repentance චිත්‍රපටය ඉන් ප්‍රමුඛ වුණා. එකල ජෝර්ජියාවේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධානී එඩුවාර්ඩ් ශෙවර්ඩ්නාඩ්සේගේ සහය ද ඇතිව නිර්මාණය වූ මෙම චිත්‍රපටය තිරගත කිරීමට අවසර ලැබී තිබුණේ නැහැ.



මේ චිත්‍රපටයට පාදක වුණේ කුඩා ජෝර්ජියානු නගරයක නගරාධිපතිවරයෙක්. වර්ලොම් නම් වූ ඔහු හිට්ලර්, මුසෝලිනී හා ස්ටාලින් යන තිදෙනාගේ එකතුවක්. කුඩා උඩු රැවුළ, කළු කමිසය හා ඝණව වැවුණ කළුවන් කොණ්ඩය එම සංකලනය පෙන්නුම් කළා. චිත්‍රපටය මුලදී වර්ලොම් මියයන අතර ගෞරව සහිත අවමගුලක් ඔහු වෙනුවෙන් පවත්වනවා. එහෙත් ඉන්පසු ඔහුගේ මළමිනිය විවිධ අවස්ථාවල පෙනී ඉන්නට පටන් ගන්නවා.

සෝවියට් ක්‍රමය තුළ ස්ටාලින්ව විවේචනය කිරීම එතරම් ජනප්‍රිය නොවූ කාලෙක මේ චිත්‍රපටය විප්ලවකාරී එකක් වුණා. එහෙයින් මෙය තිරගත කිරීමේ ප්‍රශ්නය සුළුපටු එකක් වූයේ නැහැ. ක්ලිමෝෆ් මේ ප්‍රශ්නය පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරණ අංශයේ ප්‍රධානී අලෙක්සන්දර් යාකොව්ලෙෆ් වෙත ඍජුවම යොමු කළා.

මෙකල යාකොව්ලෙෆ් යනු ගොර්බචොෆ්ගේ සමීපතමයෙක්. එමෙන්ම ප්‍රතිසංස්කරණවාදියෙක්. ඔහු වරක් ගොර්බචොෆ් වෙත ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් ගෙන ආවා. පක්ෂයේ තීරක බලය සීමා කිරීම, සමූහ ගොවිපලවල් විසුරුවා හැර පුද්ගලික ඉඩම්වල වගා කිරීමට අවසර දීම, ස්වාධීන දේශපාලන පක්ෂ ක්‍රමයක් හා මැතිවරණ ආදිය මේ යෝජනාවල තිබුණා. ගොර්බචොෆ් එම අවස්ථාවේ පවසා තිබුණේ එවැනි විප්ලවකාරී වෙනසකට එය අවස්ථාව නොවන බවයි.

එහෙව් යාකොව්ලෙෆ් ද මේ චිත්‍රපටය පිළිබඳ ප්‍රශ්නයෙදි තනි තීරණයක් ගන්නට මැළි වුණා. ඔහු එය දේශපාලන මණ්ඩලයට යොමු කළා. මෙහිදී ගොර්බචොෆ් සියුම් උපායක් කල්පනා කළා. ඔහු මේ චිත්‍රපටය පිළිබඳ තීරණය සිනමාවේදීන්ගේ සංගමය වෙත පැවරුවා. එම සංගමය චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට තීරණය කළා.

මුලින්ම ජෝර්ජියාවේ තිරගත කළ Repentance චිත්‍රපටය පසුව සෝවියට් දේශයේ අන් ප්‍රදේශයන්හි ද ප්‍රදර්ශනය කෙරුණා. එය විසින් සෝවියට් සිනමාකරුවන්ව නව නිර්මාණ කිරීම කෙරෙහි දිරිමත් කෙරුණා.