Showing posts with label සෝවියට් රුසියාව​. Show all posts
Showing posts with label සෝවියට් රුසියාව​. Show all posts

Friday, April 23, 2021

ලෙනින් තම ආරූඪ නාමය තෝරාගත්තේ කෙසේද?

සෝවියට් රුසියාවේ සහ සෝවියට් දේශයේ නිර්මාතෘ ව්ලදිමීර් ඉලීච් උල්යානෆ් වඩාත් ප්‍රසිද්ධ වුණේ ලෙනින් යන නමින්. ලෙනින් යනු ඔහු 1901 දි පමණ භාවිතයට ගන්නා ලද ආරූඪ නාමයක්. සාමාන්‍යයෙන් රහසිගත දේශපාලනයේ යෙදුණ බල්ෂවික්වාදීන් මෙවැනි ආරූඪ නාම භාවිතා කිරීම ප්‍රකට කරුණක් වුණා. එමෙන්ම ඔවුන් ඇතැම්විට එවන් නම් ගණනාවක් භාවිතා කළා.

ලෙනින් යනු උල්යානෆ් භාවිතා කළ ආරූඪ නාම 146 කින් එකක්. මේ නම් අතර රුසියානු නම් 129 ක් සහ විදෙස් නම් 17 ක් වූ බවයි කියවෙන්නේ.


නමුත් ඔහු භාවිතා කළ අන් සියළු නම්වලට වඩා ප්‍රකට වූයේ ලෙනින් යන නමයි. ඔහු ඒ නම තෝරාගත්තේ කවර හේතුවක් නිසාද යන්නත් විවාදයට තුඩුදෙන කතාවක්. උල්යානෆ් කිසිදු දිනෙක ලෙනින් යන නමෙහි උපත පැහැදිලි නොකළ හෙයින් මෙම විවාදය කිසිදිනෙක සම්පූර්ණයෙන් විසඳෙනු ඇතැයි සිතන්නත් අපහසුයි.

ලේනා නදියෙන් ලෙනින්

මෙයින් වඩාත් ජනප්‍රිය සහ වැඩි පිළිගැනීමක් ලැබී ඇති මතය වන්නේ ලෙනින් සිය නාමය රුසියාවේ මහා ගංගාවක් වන ලේනා නදිය ඇසුරින් ගෙතූ බවයි. ඇතැමුන් විශ්වාස කරන්නේ එය ලේනා හෝ එලේනා හෝ යන කාන්තා නම ඇසුරින් ගොඩනගන ලද බවයි. එහෙත් එය එතරම් ජනප්‍රිය මතයක් නොවේ.

Pic - The Moscow Times

ලෙනින්ගේ ලේලියක වූ ඔල්ගා උල්යානවා ද විශ්වාස කරන්නේ ලේනා නදිය ඇසුරින් ලෙනින් යන නම පටබඳින්නට ඇති බවයි. එකල වොල්ගා නදිය ආශ්‍රයෙන් පටබැඳුණ වොල්ගින් යන නම බොහෝදෙනා භාවිතා කරන ලද හෙයින් එය උල්යානෆ් භාවිතා නොකළ බව ඇය විශ්වාස කරනවා.

රුසියානු මාක්ස්වාදයේ පියාලෙස සැලකෙන ප්ලෙහානෆ් වොල්ගින් යන නම භාවිතා කළ නිසා ඔහුව උපහාසයට ගැනීමටත් උල්යානෆ් ලෙනින් යන නම ගත්තේ යයි මතයක් තිබෙනවා. එසේ වී නම් එය රුසියානු වාමාංශිකයන්ට පමණක් වැටහෙන දේශපාලන උපහාසයක් වන්නට ඇති.

ගමන් බලපත්‍රයක්

ලෙනින් තමන්ව "එන්. ලෙනින්" යනුවෙන් හඳුන්වාගන්නට පටන්ගෙන ඇත්තේ 1901 දී යි. එයට සමකාලීනව ඔහුට ඔහුගේ මිතුරකු සිය පියාගේ පැරණි ගමන් බලපත්‍රයක් දුන් බවට සඳහන් වනවා. එහි අයිතිකරුගේ නම නිකොලායි ඊගරවිච් ලෙනින් වූ අතර එහි උපන්දිනය වෙනස් කර තිබුණ බව සඳහන්. රටින් පිටවීමට වරක් ලෙනින්ට මෙම ගමන් බලපත්‍රය උපකාර වූ බව කියවෙනවා. කෙසේ නමුත් පසුව ඔහු ඒ නම භාවිතා කරන්නට අදහස් කර ඇතැයි මේ මතය අනුව පැවසෙනවා.

නිකොලායි ලෙනින්ගේ පවුල රදළ පවුලක්. සයිබීරියාවෙහි රුසියන් බලය තහවුරු කිරීමේදී එක්තරා කොසැක්වරයෙක් සැලකියයුතු කර්තව්‍යයක් කර තිබෙන අතර එක් සීත කාලයක් ලේනා නදිය අසළ ගතකර තිබෙනවා. එහෙයින් ඔහුට ලෙනින් යනුවෙන් නමක් ලැබී තිබෙනවා. නිකොලායි ලෙනින් ඔහුගෙන් පැවතෙන්නෙක්. ඔහු කලක් රජයේ උපදේශකයකුව සිටි අතර විශ්‍රාම ගැනීමෙන් අනතුරුව යරොස්ලාව් ප්‍රදේශයේ ජීවත් වුණා.

කෙසේ වෙතත් නිකොලායි ලෙනින් මියගියේ 1902 දී බවයි සඳහන් වන්නේ. ඒ වනවිට ව්ලදිමීර් ඉලීච් සිය ආරූඪ නාමය භාවිතා කිරීමට පටන්ගෙන තිබුණා.

තොල්ස්තෝයි පාඨකයා

ලෙනින් රුසියාවේ මහා ගත්කතුවර ලෙව් තොල්ස්තෝයි මහත් රුචියෙන් කියවූවෙක්. එමෙන්ම ඔහු තොල්ස්තෝයි හඳුන්වා දුන්නේ "රුසියානු විප්ලවයේ කැඩපත" ලෙසයි. තොල්ස්තෝයි ලියූ "කසාකි" (කොසැක්වරු) නම් නවකතාවක අලේනින් (Olenin) නම් චරිතයක් වනවා. කොකේසස් ප්‍රදේශයට පිටුවහල් කෙරෙන අලේනින් එහි ස්වභාව සෞන්දර්යයට ආශක්ත වනවා. 1898 දී තමන් සයිබීරියාවට පිටුවහල් කෙරෙද්දී ව්ලදිමීර් ඉලීච් මෙම නවකතාව කියවූ බව ඔහුගේ බිරිඳ නදේස්දා කෘප්ස්කායා පවසනවා. අලේනින් සහ තමන් අතර සමාන්තර ස්වභාවයක් ලෙනින්ට හැඟෙන්නට ඇතැයි සිතන්න පුළුවන්. මෙම නම ඇසුරින් ලෙනින් තමන්ගේ නම ද තෝරාගන්නට ඇතැයි සිතිය හැකි බවයි ඇතැම් ඉතිහාසකරුවන් පෙන්වා දෙන්නේ.


ප්‍රධාන මූලාශ්‍රය: Why did Vladimir Lenin adopt the name ‘Lenin’? (Russia Beyond)

Monday, April 12, 2021

සර්බියාවෙන් සෝවියට් අභ්‍යවකාශගාමීන් සමරා මුද්දර එකතුවක්

අභ්‍යවකාශයට ගිය පළමු මිනිසා වූ යූරි ගගාරින්ගේ ඓතිහාසික අභ්‍යවකාශ ගමනට අද වසර 60 ක් සපිරෙනවා. 1961 අප්‍රේල් 12 වනදා වස්තොක්-1 යානයෙන් ඔහු අභ්‍යවකාශගත වුණා.


මෙම අවස්ථාව සැමරීමට සර්බියාව සමරු මුද්දර එකතුවක් මුද්‍රණය කර තිබෙනවා. එම එකතුවෙහි ගගාරින් මෙන්ම දෙවන සෝවියට් අභ්‍යවකාශගාමියා වූ ගර්මන් තිතෝෆ් (Gherman Titov) සහ පළමු කාන්තා අභ්‍යවකාශගාමියා වූ වැලන්තිනා තෙරෙෂ්කෝවා ද සැමරීම සඳහා මුද්දර සහ මුල් දින කවර වනවා.




ගර්මන් තිතෝෆ්ගේ අභ්‍යවකාශ ගමන සිදුවූයේ 1961 අගෝස්තු 6 වනදා වස්තොක්-2 යානයෙන්. ඒ වනවිට ඇමරිකාවේ ඇල්න් ෂෙපර්ඩ් සහ ගස් ග්‍රිසම් අභ්‍යවකාශ ගමන්වල නිරතව තිබුණෙන් ඔහු අභ්‍යවකාශගත වූ ලොව සිව්වැන්නා වුණා. කෙසේ වෙතත් පැය විසි පහක් වූ සිය සම්පූර්ණ ගමනේදී ඔහු පෘථිවිය වටා එක්වරකට වඩා ගමන් කළ මුල්ම තැනැත්තා වෙමින් 17 වරක් ඒ වටා ගමන් කළා. තිතෝෆ් ඒ වනවිට 26 වන උපන් දිනය ද පසුකර තිබුණේ නැහැ. එහෙයින් ඔහු අදටත් අභ්‍යවකාශගතවූ ලාබාලම පුද්ගලයා වනවා.

තෙරෙෂ්කෝවා වස්තොක්-6 යානයෙන් අභ්‍යවකාශගත වූයේ 1963 ජූනි 6 වනදා යි. ඒ වනවිට ඇයගේ වයස අවුරුදු 26 යි මාස 5 ක් වුණා.