සෝවියට් පාලන කාලය තුළ සිනමාකරුවන්, ලේඛකයන්, සංගීතවේදීන් ආදී කලා ක්ෂේත්‍රයන් හි නියැළුණ අයව මධ්‍යගත සංගම්වලට සංවිධානය කිරීමේ ක්‍රමවේදයක් පැවතුණා. එසේ කළවිට, ඔවුන්ව පාලනය කිරීම පහසු වුණා. සෝවියට් රජයයන් ඔවුන් වෙත සැලකූවේ සහන හා තර්ජන මිශ්‍ර ක්‍රමවේදයකින්. රජයේ මතය සමග යනතෙක් විවිධ අයුරින් උපකාර කිරීමත් පිට පනින්නන්ට සීමා පැනවීමත් මෙසේ සිද්ධ වුණා.
මෙම සංගම්වලට නිලධාරීන් පත් කෙරුණේ කොමියුනිස්ට් පක්ෂයට අවශ්‍ය විදියටයි. වඩාත් නිවැරදිව කිව්වොත් පක්ෂයේ දේශපාලන මණ්ඩලයට අවශ්‍ය ආකාරයට යි. මෙසේ නිලතලවලට පුද්ගලයින් නම් කිරීම දේශපාලන මණ්ඩලය විසින් සිදු කෙරුණ මේ සංගම්වල මහාසභා විසින් එම නම් අනුමත කිරීම පමණක් සිදු වුණා.
මිහායිල් ගොර්බචොෆ් සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ලෙස පත් වූ පසුවත් මෙම ක්‍රමය එකවර වෙනස් වූයේ නැහැ. එහෙත් ගොර්බචොෆ් යනු වෙනස් ආකාරයක නායකයකු බව පෙනෙන්නට පටන් ගන්න බොහෝ කල් ගත වූයේ නැහැ.
ප්‍රචාරණ මාධ්‍යයක් ලෙස සිනමවේ වූ වැදගත්කම සෝවියට් නායකත්වය මුල සිටම තේරුම්ගෙන තිබුණා. සෝවියට් යුගයේ මුල්කාලයේදී, සාක්ෂරතාවයෙන් යුතු ජන ප්‍රතිශතය අඩු වූයෙන් එහි වැදගත්කම තවත් වැඩි වුණා. වැඩි පිරිසක් වෙත සිය පණිවිඩය යැවීමට සිනමාව සුදුසුම මාධ්‍යය බව සෝවියට් රජය විශ්වාස කළා. "සිනමාව අපට වැදගත්ම වන කලා මාධ්‍යය යි" යනුවෙන් සෝවියට් රුසියාවේ සංස්කෘතික කටයුතු පිළිබඳ මහජන කොමිසාර් වූ ලුනචාර්ස්කි සමග ලෙනින් පවසා ඇතැයි ද සඳහන්.
නමුත්, සෝවියට් රජයට එරෙහිව සංගමයක් ලෙස මුලින්ම කැරලි ගැසුයේ ද සිනමාකරුවන්ගේ සංගමය යි. 1986 දි, සාමාන්‍ය විදියටම, කොමියුනිස්ට් පක්ෂය විසින් සිනමාකරුවන්ගේ සංගමයට නිලධාරී මණ්ඩලය යෝජනා කරලා එවනු ලැබුණා. එහෙත්, මැයි 13-15 දිනවල තිබුණ මහා සභා රැස්වීමෙදි මේ නම් එක්ක තමුන්ම යෝජනා කළ විකල්ප ද ඉදිරිපත් කරන්න සංගමයේ නාම යෝජනා කමිටුව ක්‍රියා කළා. පක්ෂයේ යෝජනා පරාජය කෙරුණා.
මේ කැරැල්ල පිළිබඳ ප්‍රතිසංස්කරණවාදී පිරිස් විරුද්ධ වුණේ නැහැ. එහෙත් දැඩිමතධාරී කොමියුනිස්ට්වාදීන් ඊට විරෝධය පළකළා. එමෙන්ම ඇතැම් අය චෝදනා කළේ මෙය ගොර්බචොෆ් කඳවුර විසින් කලින් සැලසුම් කර සිදුකළ දෙයක් කියා යි. එහෙත් මෙම අවස්ථාවට සහභාගී වූ සිනමාවේදී මායා තුරව්ස්කයියා සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ එවැනි පෙර සූදානමක් පිළිබඳ නොදන්නා බවයි. මේ සිද්ධිය ඔවුන් ද පුදුමයට පත් කළේ යයි ඇය කියා සිටියා.
සම්මේලනයේදී කතා කළ සිනමාකරුවන් බොහෝ දෙනෙකු රජය කෙරෙහි සිය අප්‍රසාදය පළ කළා. ඔවුන්ගේ සිනමා නිර්මාණ එක්කෝ සංස්කරණය කිරීමට හෝ තිරගත කිරීමට ඉඩ නොදීමට හෝ රජය ක්‍රියාකර තිබුණා.
කෙසේ වෙතත්, සංගමයේ නව සභාපති වූ එලේම් ක්ලීමෆ් තම මුල්ම අරමුණ කරගත්තේ තහනම් වූ නිර්මාණ තිරගත කරවාගැනීම යි. 1984 දී වැඩ අවසන් කළ, ජෝර්ජියානු සිනමාවේදී ටෙන්ගිස් අබුලඩ්සේ විසින් අධ්‍යක්ෂණය කෙරුණ Repentance චිත්‍රපටය ඉන් ප්‍රමුඛ වුණා. එකල ජෝර්ජියාවේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධානී එඩුවාර්ඩ් ශෙවර්ඩ්නාඩ්සේගේ සහය ද ඇතිව නිර්මාණය වූ මෙම චිත්‍රපටය තිරගත කිරීමට අවසර ලැබී තිබුණේ නැහැ.
මේ චිත්‍රපටයට පාදක වුණේ කුඩා ජෝර්ජියානු නගරයක නගරාධිපතිවරයෙක්. වර්ලොම් නම් වූ ඔහු හිට්ලර්, මුසෝලිනී හා ස්ටාලින් යන තිදෙනාගේ එකතුවක්. කුඩා උඩු රැවුළ, කළු කමිසය හා ඝණව වැවුණ කළුවන් කොණ්ඩය එම සංකලනය පෙන්නුම් කළා. චිත්‍රපටය මුලදී වර්ලොම් මියයන අතර ගෞරව සහිත අවමගුලක් ඔහු වෙනුවෙන් පවත්වනවා. එහෙත් ඉන්පසු ඔහුගේ මළමිනිය විවිධ අවස්ථාවල පෙනී ඉන්නට පටන් ගන්නවා.
සෝවියට් ක්‍රමය තුළ ස්ටාලින්ව විවේචනය කිරීම එතරම් ජනප්‍රිය නොවූ කාලෙක මේ චිත්‍රපටය විප්ලවකාරී එකක් වුණා. එහෙයින් මෙය තිරගත කිරීමේ ප්‍රශ්නය සුළුපටු එකක් වූයේ නැහැ. ක්ලිමෝෆ් මේ ප්‍රශ්නය පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරණ අංශයේ ප්‍රධානී අලෙක්සන්දර් යාකොව්ලෙෆ් වෙත ඍජුවම යොමු කළා.
මෙකල යාකොව්ලෙෆ් යනු ගොර්බචොෆ්ගේ සමීපතමයෙක්. එමෙන්ම ප්‍රතිසංස්කරණවාදියෙක්. ඔහු වරක් ගොර්බචොෆ් වෙත ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් ගෙන ආවා. පක්ෂයේ තීරක බලය සීමා කිරීම, සමූහ ගොවිපලවල් විසුරුවා හැර පුද්ගලික ඉඩම්වල වගා කිරීමට අවසර දීම, ස්වාධීන දේශපාලන පක්ෂ ක්‍රමයක් හා මැතිවරණ ආදිය මේ යෝජනාවල තිබුණා. ගොර්බචොෆ් එම අවස්ථාවේ පවසා තිබුණේ එවැනි විප්ලවකාරී වෙනසකට එය අවස්ථාව නොවන බවයි.
එහෙව් යාකොව්ලෙෆ් ද මේ චිත්‍රපටය පිළිබඳ ප්‍රශ්නයෙදි තනි තීරණයක් ගන්නට මැළි වුණා. ඔහු එය දේශපාලන මණ්ඩලයට යොමු කළා. මෙහිදී ගොර්බචොෆ් සියුම් උපායක් කල්පනා කළා. ඔහු මේ චිත්‍රපටය පිළිබඳ තීරණය සිනමාවේදීන්ගේ සංගමය වෙත පැවරුවා. එම සංගමය චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට තීරණය කළා.
මුලින්ම ජෝර්ජියාවේ තිරගත කළ Repentance චිත්‍රපටය පසුව සෝවියට් දේශයේ අන් ප්‍රදේශයන්හි ද ප්‍රදර්ශනය කෙරුණා. එය විසින් සෝවියට් සිනමාකරුවන්ව නව නිර්මාණ කිරීම කෙරෙහි දිරිමත් කෙරුණා.
No comments:
Post a Comment