Tuesday, May 4, 2021

චිත්‍රපටය: උණු හිම

1972 දී තිරගත වූ මෙම සෝවියට් චිත්‍රපටය මගින් අප රැගෙන යන්නේ 1942 දෙසැම්බර් මාසය වෙත ය. එම වසරේ නොවැම්බර් 19 වනදා ක්‍රියාත්මක කරන ලද යුරේනස් මෙහෙයුම මගින් සෝවියට් හමුදා විසින් ස්තලින්ග්‍රාද් හි සිටි ජෙනරල් ෆොන් පවුලුස්ගේ 6 වන ජර්මන් හමුදාව වටලන ලදී. වටලෑම කඩාගෙන එන්නට පවුලුස් අවසර පැතුවද හිට්ලර් එම අවසරය නුදුන්නේ ය. ඒ වෙනුවට ඔහු කළේ ජෙනරල් එරික් ෆොන් මැන්ස්ටයින් යටතේ විශාල යුධ ටැංකි සංඛ්‍යාවක් ද සහිත සේනාංකයක් ස්තලින්ග්‍රාද් දෙසට එවීම ය. මැන්ස්ටයින් බලාපොරොත්තු වූයේ සෝවියට් වටලෑම බිඳගෙන ස්තලින්ග්‍රාද් වෙත කඩා වැදීමට ය.


ජර්මානුන් විසින් විශාල සේනාංකයක් එව්වද, ඔවුන් මෙම ප්‍රදේශයේ තමන් සතු උපරිම ශක්තිය මේ සඳහා යොදන බව සෝවියට් හමුදා නායකත්වයට පෙනී ගිය බව දිස් විය. එහෙයින් සිය අතිරේක හමුදා සටනට එවීම හැකි තරම් ප්‍රමාද කර, තමන් සතු සේනාංකවලින් මැන්ස්ටයින්ගේ ප්‍රහාරය මැඩලීම සෝවියට් නායකත්වයේ බලාපොරොත්තුව විය.

මෙසේ මැන්ස්ටයින්ගේ දැවැන්ත යුධ ටැංකි හමුදාව නවත්වාගැනීම සඳහා යොදවන ලද යුධ ටැංකි නාශක බතරොයියක පැය කිහිපයක දැවැන්ත අරගලය​ පිළිබඳ Горячий снег (ගර්යාචි ස්නේග් - උණු හිම) චිත්‍රපටය අපට පෙන්නුම් කරයි.

සුප්‍රකට සෝවියට් ලේඛක යූරි බෝන්දරෙෆ් විසින් රචිත මෙම නමින්ම යුත් නවකතාව උණු හිම චිත්‍රපටයට පාදක වී ඇත. බෝන්දරෙෆ් එම නවකතාව ලියූයේ කාලතුවක්කු හමුදා නිලධාරියකු ලෙස තම අත්දැකීම් ද සහිතව ය.

ගබ්‍රියේල් යෙගියාසරෆ් (Gabriel Yegiazarov) විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපාන්නේ යූරි නසාරෆ්, බරීස් තෝකරෙෆ්, අනතෝලි කුස්නෙස්තෝෆ් සහ ගියෝර්ගි ජ්‍යානෆ් ආදීන් ය. සංගීතය ඇල්ෆ්‍රඩ් ෂ්නීත්ක විසිනි.

ඉංග්‍රීසි උපසිරැසි සහිතව බලන්න: 


තේමා සංගීතය​



No comments:

Post a Comment