Saturday, May 1, 2021

2020 රුසියාවේ විජයග්‍රහණයේ දින සැමරුම් ප්‍රශ්නෝත්තර තරගය

2020 වසරේ, කෝවිඩ්-19 නිසා ලොක්ඩවුන් වෙච්ච කාලෙ, කොළඹ රුසියානු නිවසේ (කලින් කොළඹ රුසියානු මධ්‍යස්ථානය) ෆේස්බුක් පිටුවෙන් අපි විජයග්‍රහණයේ දින සැමරුම් ප්‍රශ්නෝත්තර තරගයක් පැවැත්වූවා.


මේ එහිදී අසන ලද ප්‍රශ්න සහ ඒවායේ පිළිතුරුයි.


Q 01

1. 1941 ජූනි 22 වනදා ජර්මානුන් "බාබරෝසා මෙහෙයුම" දියත් කරමින් සෝවියට් දේශය ආක්‍රමණය කළා. පළමු දවසේම පෙරමුණ ඔස්සේ ජර්මන් සේනාංක වේගයෙන් සෝවියට් භූමිය තුලට කඩා වැදුණා. එහෙත් එක් බලකොටුවකදී ජර්මානුන් බලාපොරොත්තු නොවූ ලෙස සෝවියට් ප්‍රතිරෝධයකට මුහුණ දුන්නා. පසුකාලයකදී මෙයට "වීරෝධාර බලකොටුව" යන ගෞරව නාමය පිරිණැමීමට සෝවියට් රජය ක්‍රියා කළා. වර්තමානයේ මෙම බලකොටුව බෙලරූස් රාජ්‍යයේ පිහිටා තිබෙනවා.

අපි අහන ප්‍රශ්නය නම් මෙම බලකොටුව කුමක්ද යන්නයි.


Q 02

2. ජර්මනිය විසින් 1941 ජූනි 22 වනදා බාබරෝසා මෙහෙයුම දියත් කළාට පස්සෙ ලෙනින්ග්‍රාද්, මොස්කව් සහ කියෙව් දෙසට දිශා තුනක් ඔස්සේ හමුදා ගමන් කළා. මොස්කව් නගරය ආසන්නයට ආපු ජර්මානුවන්, එම නගරය අල්ලාගැනීම සඳහා 1941 ඔක්තෝබරයේදි මෙහෙයුමක් දියත් කළා. බාබරෝසා මෙහෙයුමේ ම කොටසක් වෙච්ච මෙම මෙහෙයුමත් එක්ක තමයි මොස්කව් සටන පටන් ගත්තේ.

මෙම මෙහෙයුමට ජර්මානුන් දුන්න නම මොකක්ද කියලයි අද අපි ඔබෙන් අහන්නේ.


Q 03

3. බාබරෝසා මෙහෙයුමේදි ලෙනින්ග්‍රාද් දෙසට ගමන් ගත් ජර්මන් උතුරුදිග හමුදා කණ්ඩායම එම නගරය වටලාගත්තා. ලෙනින්ග්‍රාද් වටලෑම අවසන් වුණේ අවුරුදු දෙකකටත් වැඩි කලක් ගත වූ පසුවයි. සෝවියට් රතු හමුදා විසින් 1944 ජනවාරි 27 වනදා ලෙනින්ග්‍රාද් වටලෑම බිඳ දැමීමට සමත් වුණා.

අපි අහන්නේ, ලෙනින්ග්‍රාද් වටලෑම ඇරඹුණ දිනය ලෙස සලකන්නේ කවදාද යන්නයි.


Q 04

4. ස්තලින්ග්‍රාද් සටන දෙවන් ලෝක යුද්ධයේ හැරවුම් ලක්ෂයක් වූ බව අපි දන්නවා. මේ සටනේදි සෝවියට් භටයින්ගේ වීරත්වය හා කැපකිරීම ඉතා පැහැදිලිව දිස් වුණා.

මේ ස්ථානය ස්තලින්ග්‍රාද් සටනේ නොමැකෙන සිහිවටනයක්. අදත් මෙහි ස්මාරකයක් දකින්න පුළුවන්. මෙහිදී සෝවියට් සෙබළුන් පිරිසක් මාස දෙකක කාලයක් ජර්මන් ප්‍රහාර ඉදිරියේ සටන් කරමින් සිටියා. ඔවුන් මෙම ගොඩනැගිල්ල ජර්මානුන් අතට පත්වීමට දුන්නේ නැහැ.

මෙම ගොඩනැගිල්ල ස්තලින්ග්‍රාද් සටනින් පසුව හඳුන්වන නම කුමක්ද?


Q 05

5. දෙවන ලෝක යුද්ධයේ සෝවියට් පෙරමුණේදී ජර්මානුන් දියත් කළ අවසන් දැවැන්ත ප්‍රහාරක මෙහෙයුම වූයේ "ඔපරේෂන් සිටඩෙල්". 1943 ජූලි 5 වනදා දියත් කෙරුණ මෙම මෙහෙයුම කුර්ස්ක් සංග්‍රාමයේ ඇරඹුම සංකේතවත් කළා. මෙහිදී ජර්මන් හමුදා උතුරින් හා දකුණින් කුර්ස්ක් අඩකවය වෙත කඩා වැදුණා.

දකුණින් පැමිණි ජර්මන් පැන්සර් සේනාංකයක් හා සෝවියට් යුධ ටැංකි අතර 1943 ජූලි 12 වනදා සිදුවූ සටන ඉතිහාසයේ විශාලම යුධ ටැංකි සටනක් ලෙස සැලකෙනවා. මේ දිනය නිම වෙද්දී දෙපාර්ශවයම සිය අරමුණු ඉටු කරගත්තේ නැහැ. එහෙත් ජර්මන් ඉදිරි ගමන එයින් ඇණහිටියා.

මෙම සටන සිදුවූ ස්ථානයේ එය සිහි වීමට යුධ ස්මාරකයක් ඉදි කර තිබෙනවා. ඔබ මේ පින්තූරයේ දකින්නේ එයයි.

අපි අහන්නේ මේ ඓතිහාසික යුධ ටැංකි සටන කුමක්ද යන්නයි.


Q 06

6. 1944 පෙබරවාරි අවසානයේදී 1 වන යුක්‍රේනියානු පෙරමුණේ අණදෙන නිලධාරියා වූ නිකොලායි වතූතින් වෙත යුක්‍රේනියානු ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයක් එල්ල වුණා. වතූතින් රෝහල්ගත කෙරුණා. (අප්‍රේල් 15 වනදා ඔහු මියගියා). වතූතින් තුවාල ලැබීමෙන් හිස් වූ 1 වන යුක්‍රේනියානු පෙරමුණේ අණදෙන නිලධාරී තනතුර මාර්ෂල් ෂූකොෆ් විසින් තාවකාලිකව බාරගත්තා. ඉන්පසු එය පැවරුණේ මෙම නිලධාරියාට යි. ඔහු ජර්මනිය පරාජය වීම දක්වා එම පෙරමුණ මෙහෙයවූවා. මොහු කවුද?


Q 07

7. 1944 ජූනි මාසයේදි සෝවියට් හමුදා බෙලෝරුසියාවේ දැවැන්ත ක්‍රියාන්විතයක් දියත් කළා. මෙයට 1 වන බෙලෝරුසියානු පෙරමුණ, 2 වන බෙලෝරුසියානු පෙරමුණ, 3 වන බෙලෝරුසියානු පෙරමුණ හා 1 වන බෝල්ටික් පෙරමුණ යන සෝවියට් හමුදා පෙරමුණු දායක වුණා. මෙම මෙහෙයුමට නම ලබා දුන්නේ නැපෝලියන්ගේ යුද්ධවලදී රුසියාව වෙනුවෙන් සටන් වැදී, බොරෝදිනෝ සටනින් තුවාල ලබා, එම තුවාල හේතුවෙන් මරණයට පත් වූ ජෝර්ජියානු සම්භවයකින් යුතු සෙනවියකුගේ නමින්. මෙම සෙනවියාගේ නම කුමක්ද?


Q 08

8. සෝවියට් හමුදා ඉතිහාසයේ ලාබාලම ජෙනරාල්වරයා ලෙස සැලකෙන මොහු 3 වන බෙලෝරුසියානු පෙරමුණේ ආරම්භක අණදෙන නිලධාරියා වුණා. 1945 පෙබරවාරි 18 වනදා ක්‍යෝනිග්ස්බර්ග් (වර්තමාන කලිනින්ග්‍රාද්) නගරය අසළදී එල්ල වූ ප්‍රහාරයකින් මියයන විට ඔහු 37 හැවිරිදි වුණා. එමෙන්ම දෙවන ලෝක යුද්ධ සමයේදී සෝවියට් හමුදා පෙරමුණක අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ එකම යුදෙව්වා වූයේ ද මොහු යි.

මොහු කවුදැයි ඔබ දන්නවාද?


Q 09

Q 09

9. ශ්‍රේෂ්ඨ දේශප්‍රේමී යුද්ධයේ ආරම්භය සහ අවසානය සනිටුහන් වන ප්‍රසිද්ධම ඡායාරූප දෙක මේවා විය යුතුයි. මෙහි පළමුවැන්නේ දිස් වන්නේ ජූනි 22 වන දා ජර්මන් ආක්‍රමණය පිළිබඳ සෝවියට් රජයේ නිවේදනයට සවන් දෙන මොස්කව් වැසියන් පිරිසක්. දෙවැන්නේ දිස් වන්නේ බර්ලිනයේ රයික්ස්ටාග් ගොඩනැගිල්ල මත සෝවියට් ධජය එසවීමයි.

අද ප්‍රශ්නය පහසු එකක්. යුද්ධයේ ඇරඹුම හා නිමාව සටහන් වන මේ ඡායාරූප දෙකම ගන්නා ලද්දේ එකම ඡායාරූප ශිල්පියා විසින්. ඔහු කවුද​?


පිළිතුරු

1. බ්‍රෙස්ට් බලකොටුව​

2. ඔපරේෂන් ටයිෆූන්

3. 1941 සැප්තැම්බර් 8

4. පාව්ලෆ් නිවස​ (Pavlov House)

5. ප්‍රෝහරව්කා (Battle of Prokhorovka)

6. මාර්ෂල් ඉවාන් කෝනෆ් (Marshal Konev)

7. ජෙනරල් ප්‍යෝතර් බග්‍රතියෝන් (General Pyotr Bagration) 

8. ජෙනරල් ඉවාන් චර්නිකෝව්ස්කි (General Ivan Chernyakovsky)

9. යෙව්ගෙනි හ​ල්දෙයි (Yevgeny Khaldei)

No comments:

Post a Comment