Saturday, May 7, 2016

නැගෙනහිර ජර්මනියේ හිටපු නායක එරික් හොනෙකර්ගේ බිරිඳ මිය යයි

නැගෙනහිර ජර්මනියෙහි හෙවත් ජර්මන් ප්‍රජාතාන්ත්‍රික ජනරජයෙහි හිටපු නායක එරික් හොනෙකර්ගේ බිරිඳ වූ මාර්ගොට් හොනෙකර් ඊයේ දිනයේ චිලී දේශයේදී මිය ගියාය​.  මරණයට හේතුව ලෙස සඳහන් වූයේ පිළිකාවකි. මිය යනවිට ඈ 89 වන වියෙහි පසු වූවාය​.

1927 අප්‍රේල් 17 වනදා ජර්මනියේ හෝල් නගරයේදී උපන් ඈ මිය යනවිට 89 වන වියෙහි පසු වූවාය​. 1945 දී ජර්මන් කොමියුනිස්ට් පක්ෂයට බැඳුණාය​. ඈ 1946 දී අලුතින් බිහිවූ සමාජවාදී එක්සත් පක්ෂයෙහි (SED) සාමාජිකාවක වූවාය​.

මාර්ගොට් සිය අනාගත සැමියා වූ එරික් හොනෙකර් මුණ ගැසුනේ 1950 පමණය​. ඔහු ඇයට වඩා අවුරුදු පහළවකින් වැඩිමහලු වූවාක් මෙන්ම විවාහකයකුද විය​. 1952 දී ඔවුනට සොන්යා නම් දියණියක උපන් අතර හොනෙකර් සිය කළින් බිරිඳ දික්කසාද කොට 1953 දී මාර්ගොට් හා විවාහ වූවේය​.

1963 සිට 1989 දක්වා නැගෙනහිර ජර්මනියේ අධ්‍යාපන ඇමතිණිය වූ මාර්ගොට් එරට පාසල්වලට යුධ පුහුණුව හඳුන්වා දීම හේතුවෙන් කුප්‍රකට වූවාය​.

දැඩිමතධාරී කොමියුනිස්ට්වාදිනියක වූ ඈ එවකට නැගෙනහිර ජැමනියෙහි දෙවැනියටම වෛරයට පාත්‍ර වූ පුද්ගලයා ලෙස සැළකේ. ඇයට වඩා ජනතා අප්‍රසාදය යොමු වූයේ එරට රහස් ඔත්තු සේවය වූ ස්ටාසි හි ප්‍රධානියා වූ එරික් මීල්කේ පමණි.

සිය කොණ්ඩය වර්ණ ගැන්වීම පිළිබඳ ප්‍රකට වූ ඈ එනිසාම 'දම්පැහැ යක්දෙස්සිය' යන නමින් ජනතාව අතර ප්‍රකට වූවාය​.

1976 සිට 1989 දක්වා එරික් හොනෙකර් නැගෙනහිර ජර්මනිය පාලනය කළ අතර 1989 න් පසු ඔහු රුසියාවට පළා ගියේය​. 1993 දී ඔහු නැවතත් ජර්මනියට පිටුවහල් කළ නමුත් අයහපත් සෞඛ්‍යය තත්ත්වය හේතුවෙන් ඔහුට එරෙහිව නඩු විමසීමක් කෙරුණේ නැත​.

හොනෙකර් යුවළ ඉනික්බිති චිලී දේශයෙහි පදිංචි වූහ​. එරික් 1994 දී පිළිකාවකින් මිය ගියේය​. එරික් සහ මාර්ගොට්ගේ දියණිය සොන්යා අදත් චිලී දේශයේ වසන්නීය​.

2 comments:

  1. චිලී දකුණු ඇමරිකානු රටක් නේද? මේ අයට වගේම දෙවැනි ලෝක යුද්දේ චෝදනා ලත් බොහෝ අයගෙත් රැකවරණ ය වුනේත් ඔය කලාපයේ රටවල් නේද?

    ReplyDelete
    Replies
    1. 1990 න් පස්සෙ ආපු චිලී ආණ්ඩුව මේ අයට එහෙ එන්න දුන්නා.
      දෙවන ලෝක යුද්ධෙන් පස්සෙ ගියපු අය ගියෙ දක්ෂිනාංශික හමුදා ආණ් ඩු තිබ්බ තැන්වලට​

      Delete